ක්‍රෑෂ් දිස් කොම්පූටර්…!!!

කට්ටිය දන්නවා නේද වොයිස් රෙකග්නිෂන් සොෆ්ට් වෙයා ගැන. ඉංග්‍රිසි ෆිල්ම් වල එහෙම නම් දැන් ඕනේ තරම් තියෙනවා. අයන් මෑන් එකේ, එතකොට මේ ලගඳී ආව රියල් ස්ටීල් එකේ එහෙමත් තියෙනවා. ඒකෙන් කරන්නේ අපි වාචිකව දෙන යම් ශබ්ද තරංගයක් පීසී එකේ රන් වෙන විශේෂිත මෘදුකාංගයකින් අඳුනගෙන ඒ ශබ්ද සංඥාවට අදාලව අපි අසයින් කරල තියෙන කමාන්ඩ් එක හෝ කමාන්ඩ් සෙට් එක රන් කරන එක.

ඉතිං මේක මං දන්න තරමින් සාමාන්‍ය භාවිතයට ආවේ වින්ඩෝස් XP හා ඔෆිස් 2003 පැකේජ් එකත් එක්ක. ඉතිං ඒ දවස් වල ස්කෝලෙදි ගොඩක් වෙලාවට කලේ වර්ඩ් ඇර‍ගෙන මගේ වචන උච්චාරනය කොම්පියුටර් එකට උගන්නපු එක. කොහොම හරි මාසයක් විතර යද්දී වැඩේ ගොඩ ගියා. ඒ කියන්නේ බැරි බැරි ගාතේ මං ඉංග්‍රිසි කියන කොට එව්වා අකුරක් දෙකක් එහා මෙහා වෙලා ටයිප් වෙනවා වර්ඩ් වල. ඒ දවස් වල ඉතිං ඒ සීන් එක මැජික් වගේ.

ඊට පස්සේ ඉතිං ඒ ගැන උනන්දුව අඩුවෙලා ගියා. මේ ලගඳී වොයිස් කමාන්ඩ් වලින් පී.සී එක කන්ට්‍රෝල් කරන ආසාව ආයෙමත් ආවා. අපි කියන දේ අනුව වැඩ කරන කම්පූටරයක් තියෙද්දි කාටද ආඩම්බර…!!! ඉතිං එහෙම්ම හිතපු මමත් ජුංඩං සොෆ්ට් වෙයාර් කෑල්ලක් හොයාගෙන ආයෙම මුල ඉඳන් කන්ෆිගරේෂන් හදලා වැඩේ පටන් ගත්තා.

දැන් ඔන්න මම ලැපී ඉස්සරහින් වාඩි වෙලා ඕපන් ෆයර් ෆොක්ස් කියලා එහෙම කිව්ව ගමන් සං ගාලා ෆයර් ෆොක්ස් ඕපන් වෙනවා. පස්සේ කව්රු හරි එද්දි හොර වැඩක් කර කර ඉඳියොත් එහෙම ක්ලෝස් දිස් කියපු ගමන් ඇක්ටිව් වින්ඩෝ එක ක්ලෝස් වෙනවා. මොකක් හරි වැඩක් කර කර ඉද්දී චූ බරක් එහෙම හැදිලා ‍වොෂ් රූම් දුවන්න හිතාගෙන පුටුවෙන් නැගිටින කොටම ලොක් පීසී කිව්ව ගමන් ඔක්කොම රනින් ඇප්ලි‍කේෂන් නැවතිලා පීසී එක ලොක් වෙනවා.

ඔය වැඩේ හෙන ජොලි ඉතිං. ඔෆිස් එකේදි එහෙම හිටි ගමන් යාලූවෝ සෙට් වෙලා ලැපීගේ පිහිටෙන් මේල් චෙක් කරද්දී… මේ මචං, උඹ වැඩේ කරගෙන ඉවර වෙලා ඕක… ෂට් ඩවුන් කරලා දාපං… කියලා ටිකක් ලොකු අකුරෙන් බෝල්ඩ් කරලා කියාගෙන එතනින් යද්දිම මැෂින් එකේ ෂට් ඩවුන් ප්‍රොසෙස් එක රන් වෙනවා.

අප්පා බලන්න ඕනේ ඒ වෙලාවට වැඩ කර කර ඉන්න එකාගේ මූන….. ඉතිං ඔහොම ඉද්දි දවසක් අපේ කැෂියර් කොලුවට මං සීන් එක පෙන්නුවා… ඒ පාර පොරටත් හෙන ආසයි ලැපී එක්ක වැඩ කරන්න. මාත් ඉතිං කිව්වා උඹ මොනා හරි කියපංකෝ බලන්න කියලා…

මූ ගත් කටටම…. ක්‍රෑෂ් දිස් කොම්පියුටර්කියලා කියපි. මගේ ඇඟේ මයිල් කෙලින් වෙලා… ඔලුවේ තිබ්බ කොන්ඩෙ චුට්ටත් ස්පයික් වෙලා වගේ ගියා. හොඳටම ෂුවර් ඒ වෙලාවේ ඇඟේ දිව්වේ ලේ නම් නෙවේ කියලා… මාව නිකං සීතල වෙලා වගේ ගියා… මටත් සැකයි වැරදිලා හරි මේකට සොෆ්ට් වෙයාර් එක හදපු එකා කමාන්ඩ් එකක් අසයින් කරලා තිබුනොත් කියලා…!!!

හම්මෝ… ඊට තත්පර දෙකකට විතර පස්සේ ලේ ටිකක් උනා ගෙන පහලින් වැටුනා එහෙම කමාන්ඩ් එකක් නැහැයි කියාල. දැනුන සනීපේ…….!!!! මං හිතාගත්තේ මං තනියම මටම ඇඩ් දාගත්තත් ආයෙනම් එකෙකුටවත් ඕක පෙන්නන්නේ නෑමයි කියලා….

**දැනට අවුරුදු කීපයකට කලින් මොරටුව යුනියේ තිබ්බ ප්‍රදර්ශනයකදී මං දැක්කා සිංහල චවන හඳුනාගෙන වැඩ කරන්න පුළුවන් විදියට වැඩිදියුණු කරපු මයික්‍රො සොෆ්ට් වොයිස් කමාන්ඩ් රෙකග්නිෂන් මොඩියුල් එක. අනේ ඒත් ඊට පස්සේ අද වෙනකං ඒක ගැන කිසිම දෙයක් අහන්නවත් ලැබුනේ නෑනේ… ඇත්තටම ඒකට සිංහල වචන පහ හයක් අඳුන ගන්න පුළුවන් කම තිබුනා… මාත් ට්‍රයි කරලා බැලුවා… කාට හරි පුළුවන් නම් ඒ ප්‍රොජෙක්ට් එකට මොකද වුනේ කියලා හොයාලා දෙන්න, ඒක ලොකු දෙයක්….!

ජීවිතයේ අන්තය දැන… සතුටුවන්නා….

මේක ඔයාලා කොයිතරම් දුරට හිතට සමීප කරගනියිද කියන්න නම් මං දන්නේ නෑ. ඒත් මගේ හිතට නම් ගොඩක් කිට්ටු වුනා. මේක දුක් අ‍ඳෝනාවක් නෙමේ… ජීවිතයේ කෙලවර, එහෙමත් නැත්තං හරියටම මැරෙන දවස දැනගෙන, ජීවත් වෙන ටික කා‍ලයේදී සතුටින් … පුළුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ දරන, එතුවක් කාලෙකට ලබන්න බැරි වුන යහපත් අත්දැකීම් ලබන්න උත්සාහ කරන අඳුරු වෙන තාරුණ්‍යයක කතාවක්.

කට්ටිය දැකලා ඇතිනේ සුව කරන්න බැහැයි කියන රෝග හැදිච්චි පුද්ගලයින්ව. අඩුම ගානේ අහලවත් ඇතිනේ. ඇත්තට මුන ගැහිලා නැති වුනාට, රූපවාහිනියෙන් හරි දැකලා ඇතිනේ. වාසනාවකට වගේ මමත් දැකලා අහලා තියෙන්නේ ඒ වගේ මාධ්‍ය වලින්ම තමා. දොස්තරලා කියන්නේ ඒ වගේ පුද්ගලයින්ගේ ජීවිත කාලය කෙටි නිසා ඒ අයගේ හිත් වලට දුකක් දෙන්නේ නැතුව, හැම වෙලාවම සතුටින් තියන්න කියලයි.

ඒත් ඒ වගේ සුව කරන්න බැරි අසනීපයක් දොස්තර කෙනෙකුට හැදුනොත්…???? ඔහු කොහොම හැසිරෙයිද, තමන්ගේ තත්වය හොඳින්ම දැන ගෙනත් වෙන කෙනෙක්ගේ හිත සතුටු කරන වැඩ වලින්, හිත සතුටු කරගෙන මරණයට හිත හදාගනීද…?

ඒක මහ ප්‍රෙහේලිකාවක්…!!! ඒත් තමන්ගේ බිරිඳට පවා තම ‍වෙන්වීම දරාගන්න පුළුවන් වෙන්න, මැරෙන්න කලිංම වෙන්වෙලා, වෙනත් රටකට ගිහිං හිත හොඳ, නරක හිත් ඇති මිනිසුන් මැද්දේ දුක හංගගෙන, හිනාව වපුරගෙන… ජීවත් වෙන ටික කාලය සතුටින් ඉන්න හදන දොස්තර කෙනෙක්ගේ කතාවක් මේ.

ඇත්තටම මේක දෙමළ චිත්‍රපටියක්…! භාෂාව නොතේරුනත්, කියන දේ පපුව ඇතුලටම දැනෙන හොඳ  නිර්මාණයක්. (මං හිතන විදියට) අපේ මලයා තමා මේක බාගෙන ඇවිත් තිබුනේ. මේ ටිකේ මගේ මූවි සංචිතය හිස් වෙලා තියෙන්නේ. ඉතිං මං මලයාගෙන් තමා ෆිල්ම් ඉල්ල ගන්නේ. පොර මේක හෝම් ලෑන් එකේ ෂෙයාර් කරද්දිම කිව්වේ… අයියේ මේකේ වලි ගහගන්න එව්වා නම් නෑ… කියලා. පස්සේ ඉතිං මාත් අදිමදි කරලා  අරගෙන සෑහෙන කාලයක් තියාගෙන හිටියා බලන්නේ නැතුව. ඇයි ඉතිං වලි නැතුව මොන ෆන්ද… මං ආසම දෙමළ ෆිල්ම් වල ගහගන්න එව්වට. ඒවා ඔක්කොම බොරු වුනත් බලාගෙන ඉන්න හරි ආසයි.

ඉතිං කොහොම හරි අන්තිමේ බලන්න ඉතුරු වෙච්චි ෆිල්ම් එකක් නැතිවුන තැන මං මේ මූවි එක බලන්න ගත්තා. පටන් ගන්න කොටම ඇතිවෙච්චි හැඟීම මූවි එක ඉවර වෙනකම්ම එක හා සමානව දැනුන පළවෙනි ෆිල්ම් එක තමා මේ. හිතාගන්න වත් බැරි අමුතු අවසානයක් තියෙන, හැමදාම දකින මූවි වලට වැඩිය වෙනස් ආකාරයක මූවි එකක්…!!!

ඇත්තටම ඇස් දෙකින් දැකලා, ප්‍රචන්ඩ මනසකින් විඳිනවට වැඩිය හදවතින් දැකලා ශාන්ත මනසකින් විඳන්න පුළුවන් ෆිල්ම් එකක්…!!! ඒ ව‍ගේම දෙමළ වුනාට කාටත් තේරෙයි මං හිතන්නේ. මේකේ නම වෙන්නේ 180 Rules Kidaiyathu. බලන්නකෝ බාගෙන මං කියන්නේ බොරුද කියලා. මේක අනාගත ආයෝජනයක් නම් නෙමෙයි, ඒත් ජීවත්වෙන වර්තමානය අර්ථවත් කරගන්න පුළුවන් එකක්.

මෙන්න ටොරන්ට් ලින්ක් එක... මෙන්න සබ්…

මං නම් රැවටෙයි…!!!

නිලුයිසුදුයි ඇස් දෙක දැක්කම හිතුවා නේද මාත් රැවටුනා කියලා…

මං නම් රැවටෙයි…!!!

රෝස පාට තොල් පෙති දැක්කමත්, මං ඒ ගැන හිතුවයි කියලද හිතන්නේ…

අනේ මං නොදන්න රෝස පාට….!!!

සන්සූට් එකක් වගේ චූටි ගවුම් කෑල්ලක් ඇ‍ඳගෙන…

ලස්සනට කැරකෙද්දි මං, ඔයා දිහා බැලුවා වගේ දැක්කද…

පුහ්….

අපෝ මං ඔයිට වැඩිය ලස්සන සන්සූට් දැකලා තියෙනවා.

චූටි කාලේ මටත් එකක් තිබුනා…

දැන් ඉතිං හිතනවද දන්නේ නෑ…

එහෙනම් මොකටද පොටෝ ගත්තේ කියලා…!!!

මං ගත්තේ ඔයා බිම බලාගෙන ඉන්න එකක්නේ….

ඔය මොකටද මං දිහා බැලුවේ…!!!

අවලං මල්ල…

ඔය මලු තියෙනවා නේද… මට නම් මහ එපාම කරපු දෙයක්. විශේෂ හේතුවක් නැති වුනාට, ඔය මලු ඔක්කොම එක වගේ. මල්ල වැඩි පුරම යූස් කරන්නේ බැඳපු අය. ඒ ගොල්ල ඊට කලින් ස්කෝලේ යන අවදියෙදිත් මල්ල පට්ට විදියට පාවිච්චි කරනවා. ඒ ඉතිං ඉස්සරහට බූරුවා වෙන්න එක්ස්පිරියන්ස් ගන්න. අපි කියලත් ඉතිං වෙනසක් නෑ… අනික මල්ල වැඩිපුර පාවිච්චි කලොත් නම් ඉතිං සොරි ඩොට් කොම්. ආයේ මං අමුතුවෙන් කියන්න ඕනේ නෑ ඇයි කියලා… ස්කෝලේ ගිය කට්ටිය දන්නවා ඒක හොඳටම. ස්කෝලේ නොගිය අයට කෙටියෙන් කියනව නම්… මල්ල වැඩි පුර පාචිච්චි කරාම කොන්දෙ අමාරුව හැදෙනවා. අන්තිමට නතර වෙන්නේ විශේෂඥ දොස්තරලා ගාව. නැත්තං ගොඩ ගන්න බෑ….. ආයේ මොටෝ ජීවිතේට මල්ලක් පාවිච්චි කරන්න බෑ…

ඔය මල්ලට තියෙනවා එක එක ආකාරයේ හැඩ තල, පාට, එතකොට විවිධ මෝස්කර එහෙම. ඒ ගැන නම් ඉතිං මං වගේම අනිත් හැම කෙනෙක්මත් දන්නවා. එහෙම දන්නේ නැත්තං ඉතිං ඒ පොර මේ ලෝකේ වෙන්න බෑ. එක කාලයක් තිබුනනේ මලු ඔක්කොම ට්‍රාන්ස්පේරන්ට් වෙච්ච. ඒ කාලේ නම් ඉතිං කියල වැඩක් නෑ… මල්ල ඇතුලේ තියෙන ඔක්කොම පේනවා. හරියට නිකං හෙලුවෙන් වගේ. ඔය මලු වලට වැඩියෙන්ම ආසා මොන්ටිසෝරි යන පොඩි එවුන්… අම්මෝ උන්ට මල්ලක් දැක්කම තියෙන සන්තෝසේ… හරියට නිකං දිව්‍ය ලෝකේ ගියා වගේ.

ඉතිං දැන් කියන්න ගියේ වෙන කතාවක්නේ. මාත් ඔය මල්ලක් පාවිච්චි කරනවනේ. වෙන මොකකටවත් නෙවෙයි, මගේ ලැපයි, කෑම එකයි ඔෆිස් ගෙනියන්න. පවු වැඩේ කට්ටිය වෙන වෙන මෙව්වා හිතේ මවා ගෙන කතාව කියෝගෙන ආවද කියලා. මං මේ කියන්නේ මලු, මල්ල, වගේ නම් වලින් හඳුන්වන බෑග් ගැන. අර පොඩි කාලේ ඉක්කෝලේ ගෙනිච්චේ… අන්න එව්වා… ඔය බැන්ද අය තමා දැන් වැඩිපුර බෑග් පාවිච්චි කරන්නේ. වැඩි හරියක් ඉතිං ගෙවල් වලට අවශ්‍ය කරන බඩු අරගෙන එන්න. එතකොට කුණු එකතු කරලා ගිහිං දාන්න, ආහාර ද්‍රව්‍ය ගෙනියන්න වගේ දේවල් වලට.

ඉතිං මාත් ඉස්සර ඉඳන්ම හෙන මලු ලෝලියෙක්. මට මතක විදියට මං මුලින්ම ආසා කලේ ටොයි ස්ටෝරි කාටුන් එකේ චරිත ප්‍රින්ට් කරලා තිබ්බ රතු පාට බෑග් එකට. මං ඒ බෑග් එක අවුරුදු දෙකකට වැඩිය පාවිච්චි කලා. ඒක ඒ දවස් වල ලංකාවේ තිබුනේ නෑ. රට ගිහිං ආපු අම්මගේ යාළුවෙක් තමා මට ඒක දුන්නේ. ඒක කරේ දාගෙන යද්දි… මම දෙක වසරේ උනත්, ලොකු අක්කලා හිටං මගේ දිහා බලපු හැටි මට තාම මතකයි. ඇස් දෙක ලොකු කරගෙන ආසාවෙන් පිරිලා… හ්ම්… එතනින් එහාට ඕනේ නෑ… නිකං මොකටද පෞද්ගලිකත්වය එලියට දාන්නේ.

ඔන්න ඊට පස්සේ එක එක ජාතියේ බෑග් තිබුනා. කොහොම හරි අන්තිමේ ස්කෝලේ ගිහිං නතර වෙද්දි මට තිබුනේ අර රස්තියාදු පාට් එකට ටිකක් ලං වෙච්චි චූටි නූල් දෙකකින් එල්ලුන කලු පාට බෑග් එකක්. ඒක කරේ දාගත්තම බලු කුක්කෙක්වත් බලන්නේ නෑ. මොනා කරන්නද ඉතිං, මාස දෙක තුනක් වෙනුවෙන් අළුත් බෑග් එකක් ගන්නෙ අහවල් එකටැයි කියලා තමා මං ඒක පාචිච්චි කලේ. දැන් නම් මටත් ඊයා, ඈක්කා කියලා හිතෙනවා. පස්සේ අන්තිමේටම පොත් ටික අතේ අරගෙන ගියා.

ඊටත් පස්සේ ආයෙම ක්ලාස් යද්දී එහෙම තව තව බෑග් ගත්තා. අනේ එව්වා ගැන නම් කියන්න දෙයක් නෑ… ඒකෙනුත් වැඩි හරියක් පාවිච්චි කලේ ඩීසල් බෑග් එක.

එව්වා පැත්තකට දාමුකෝ… මෙන්න කතාව. මේ ලඟදී දවසක මං මගේ ලැපීවත් කුදලගෙන බස් එකට නැගලා බෑග් එක දාන්න රැක් එකේ ඉඩක් හෙව්වට හම්බුනේ නෑ. පස්සේ ඉතිං කරන්නම දෙයක් නැති පාර බෑග් එකේ එක පටියක් දකුණු උරෙන් පන්නලා මුළු බෑග් එකම වම් පැත්තේ උර හිසට බර වෙන්න දාගෙන හිටියා. නැත්තං ඉතිං කොන්දා එනවනේ රෙද්ද උස්සගෙන. පස්සේ ඔන්න ටික දුරක් ගිහිං මගින් නැග්ගා ස්වීට් ළමයි දෙතුන් දෙනෙක්. අක්කලාද නංගිලාද මන්දා… කොහොම හරි හුරුබුහුටි කෙල්ලෝ වගයක්. පස්සේ ඉතිං මං ඒ දිහා බලන්නවත් ගියෙ නෑ.

ඉතිං ටික දුරක් යද්දී කෙල්ලෝ ටික එහාට හැරෙනවා මෙහාට හැරෙනවා එක විකාරයයි එතෙන. එයාලා ගාවත් ලොකූ බෑග් කිපයක් තිබුනා. ඒවත් දාගෙන හිටියේ මං බෑග් එක එල්ල ගෙන හිටිය වගේම එක උරේකට බර වැටෙන්න. පස්සේ ඔන්න පානදුරෙන් ඒ සෙට් එක බහිද්දි මට දැනෙනවා මාවත් ඇදගෙන යනවා කියලා ඒ එක කෙල්ලෙක්. මං නිකංමට වගේ බැළුවා මොකද මේ වෙන්නේ කියලා.

මල මගුලයි… මගේ බෑග් එකේ අනිත් පටිය මේ කෙල්ලගේ එක උරේක එල්ලිලා. අනේ අම්මපා, මගේ අවලං බෑග් එක…. ඌට තියෙන විසේට අර කෙල්ලගේ උරේට පැනලා.

මට එහෙම හිතුනේ … කෙල්ල මට රවපු විදියෙන් , කෙල්ල මගේ බෑග් එකත් එක්ක ඔරොප්පු වෙලා තමා කියලා. පස්සේ ඉතිං මං කිව්වා…

මොකද ඔරවන්නේ… ඔයානේ මගේ බෑග් එකේ පටිය ඔයාගේ කරේ දාගෙන තියෙන්නේ… කියලා…

අනේ සොරි අයියේ… සොරි… සොරි… කියලා මගේ අවලං බෑග් එකේ පටිය ආපහු ගලෝලා දිලා ලඟ පාත හිටිය කිහිප දෙනෙක්ගේ හිකි හිකි හඬ මැද්දේ බැහැලා ගියා….

පවු ඒ ගෑණු ළමයා…. මගේ අවලං බෑග් එක නිසා එයා අපහසුතාවයට පත් වුනාද මන්දා….

ලස්සනම දවසකට සුභ පැතුම්…!!!

අද ඉතිං ආදරණීය හිත් වල ලස්සන ලස්සන හීන පිරුණු දවසක්නේ…! ඒක නිසා ඉතිං ආදරය දන්න අඳුරන හැම ​​කෙනෙක්ම අද දවසට ගොඩක් ආදරෙයි. හැබැයි ඉතිං ඒ ආදරය අද දවසට විතරක් සීමා කරන එක නම් හොඳ නෑ. හැමදාමත් එක වගේ ආදරයක් නෙවෙයි… ටිකෙන් ටික වැඩිවෙන ආදරයක් එක්ක ජීවත් වෙන්න පුළුවන්නම් ​ජීවිතය ගොඩක් ලස්සන වෙනවා… මට නම් ඉතිං අද වැලන්ටයින් කියලා අමුත්තක් නැති වුනාට, ආදරය කරන, ලබන හැම කෙනෙකු වෙනුවෙන්ම මගේ හිතේ උපන් සතුට හා සුභ පැතුම පහලින් තියලා තියනවා…!

Posted in Flash. 30 Comments »