අපි කැමතිම ගීතය…

මේ හදිස්සියේ මේ කතාව ලියන්න හිතුනේ, කතාවට අදාල සිංදුව ලඟදී ඇහුන නිසා. නැත්තං මේ කතාව කවදාවත් නොලියැවී යන්නත් තිබුනා. මේක අපි කැමතිම ගීතය කිව්වට අපේ ඩැඩා තමා වැඩියෙන්ම කැමති. ඊට පස්සේ මායි මල්ලියි…. අම්මත් ඉතිං කැමති ඇති සමහරවිට…

දැන් මෙහෙමයි සීන් එක. ඉස්සර අපේ තාත්තා නිවාඩු දවසට ගෙදර ඉඳන් සිංදු අහනවා. ඒ කියන්නේ රේඩියෝ එකේ. දැන් අහන්නේ අපේ මල්ලි. ඌත් දැන් තාත්තෙක් කියලා තමා පොර හිතං ඉන්නේ. අහන තරමක් අහන්නේ අපේ තාත්තා ඒ දවස් වල අහුවා වගේ තේරුම් තියෙන අළුත් සිංදු. අනේ මන්දා ඉතිං මල්ලිත් දැම්මම…. හ්ම් කොහොම හරි අපේ තාත්තා ඔය අහන සිංදු අතරෙ එක සිංදුවක් තියෙනවා අපේ අම්මව කුලප්පු කරවන සුළු. සමහර වෙලාවට අපි දෙන්නවත් ලඟට කරගෙන අඬන්න තරම් අප්සට් යනවා. අපිත් ඉතිං ඒ දවස් වල “අනේ අම්මේ අඬන්න එපා“ කිය කිය බොරුවට හූල්ලනවා.

ඒකට අපේ තාත්තා, මේ සිංදුව යනකොට… තියෙන හිනාව. තාත්තා දන්නවා අම්මට කේන්ති යනවා කියලා ඔය සිංදුව යනකොට. ඉතිං ඩැඩා කරන්නේ තව ටිකක් සද්දේ වැඩි කරලා අම්මව බොරුවට අවුස්සනවා. සිංදුව විනාඩි තුනනම් අම්ම ඔය විනාඩි තුනට වචන තුන්සීයක් විතර කියලා තාත්තට බනිනවා ඇති. හිතෙන්… නැත්තං අපිට අහෙනවනේ… එතකොට චූටි අපි නරක් වෙනවනේ…! ඒ වගේම ඔය විනාඩි තුනට අපේ තාත්තත් තුන්සිය සැරයක් විතර අම්මා දිහා බලලා, හොටු පෙර පෙර අඬන්න හදන අම්මගේ සුදු මූන දිහා බලලා හිනාවෙනවා ඇති. එයත් එහෙම කරන්නේ අපිට හොරෙන්. නැත්තං ඉතිං අපිත් ගෑණුළමයින්ට හිනා වෙන්න පුරුදුවෙයි කියලා වෙන්න ඇති. හික්ස්… එව්වා ජාන වලින් එන ඒවනේ ඩැඩෝ. එව්වා කොහොම නවත්තන්නද….!

ඩැඩාගේ ෂේප්මන්ට් එක

ඩැඩාගේ ෂේප්මන්ට් එක

ඉතිං ඔය සිංදුව යන අතරෙදි, අපේ අම්මගේ නිහඬ බැනීමේ ඉවසීම පැන්න ගමන්… “එහෙනම් මොන මගුලටද මගේ පස්සේ ආවේ“ කියන කොට තාත්තගේ කට වැහෙනවා. සිංදුවේ සද්දේ නිකංම වගේ අඩුවෙනවා. ඒක තමයි ජොලිම මොහොත. ඔන්න දැන් දෙන්නගේ මූඩ් වෙනස් වෙනවා. ඩැඩා හැඟීම් බර වෙනවා. “පුතේ ඔන්න ඕක වහල දාන්න“ කියලා අම්මට දිනුම දීලා තමා ගේම අතාරින්නේ. ඊට පස්සේ ඉතිං ලඟට ගිහිල්ලා ඔලුව අතගාලා… බලන්න ඕනේ කෝලම් ටික… අම්මත් නිකං ඉන්නේ නෑ… කොහොමත් පොඩි වලි බර ගතියක් තියෙන නිසා, කලින්ම වෙන සිංදුවක් දැම්මනම් හරිනේ… කියලා එයාගෙත් හිතේ අමනාපයක් නැති බව පෙන්නනවා. ඒ දවස් වල අපි හිතුවේ එහෙම. දැන් තමා තේරෙන්නේ, අම්මා කරලා තියෙන්නේ තාත්තට නක්කලේ දැමීමක්… නිකං හරියට… “මොනා කිව්වත් මං නැතුව ඉන්න බෑ වගේ නේද…?“ කියලා අහනවා වගේ.

දෙන්නම ඒ දවස් වල අපිට නොතේරෙන්න මාර රොමෑන්ටික් නාට්ටියක් තමා රඟපාල තියෙන්නේ. අපි ඉතිං බබාලනේ. වෙලාවට අපිට හැම දේම මතක තිබුනේ. නැත්තං තාමත් අපි ඔය සිංදුව යද්දි උඩ බිම බලන තත්තවෙකට පත් වෙන්න තිබුනා. කොහොම හරි ඔය සිංදුව අපේ ප්‍රියතම ගීතය වෙන්න තවත් හේතුවක් බලපෑවා. ඒ තමා සිංදුව නිසා තරහා වුන අම්මව යාළු කරගන්න තාත්තා ස්පෙෂල් මොනාහරි එදා හවසට ගෙනත් දෙන එක. ඒකේ අනිසි ප්‍රතිලාභ ඉතිං අපිටත් හිමිවෙනවනේ කොහොම වුනත්. එහෙම නැත්තං හවසට ඩේ අවුට් පාරක් ‍සෙට් වෙනවා. ඒක නිසා ඉතිං අපි දෙන්නටත් ඒ සිංදුවට අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නෑ. මං හිතන්නේ අම්මත් බොරුවටද කොහෙද මූන දෙක කරගෙන හිටියේ. ඔය ඉන්නේ දැන් යස අපූරුවට සිංදුව යද්දි. හිහ් දෙන්නම හිතං ඉන්නේ අපිට කිසිදෙයක් මතක නෑ කියලා.

සිංදුව තමා මිල්ටන් මල්ලවාරච්චිගේ, තනිවී සිටින්නයි මා අදහස් කලේ…. සිංදුව. ඒ දවස් වල අපි දහඅතේ කල්පනා කරා මේ දෙන්නට රංඩු වෙන්න තරම් මේකේ තියෙන තේරුම මොකද්ද කියලා.

දැන්නේ තේරෙන්නේ…. මාත් ෂේප් එකේ වෙලාවක කියලා බලන්න ඕනේ… මේක තමා මගේ ආසම සිංදුව කියලා. අපේ අම්මවගේ මූන බෙරි කරගත්තොත් මං දිනුම්, එහෙම නැතුව “ආහ් එහෙමද… එහෙනං ඉතිං එහෙම්ම ඉන්නව“ කියලා ගියොත්…? හ්ම්… එතකොට කියනවා, “මං නිකංනේ සුදූ කිව්වේ… ඇයි ඔයා සීරියස් ගන්නේ“ කියලා. මොකක් හරි පැනි වදනක් දාපු ගමන් වලි ෂේප්…! මං දන්නවනේ ඒක…!

සැඟව යන පුරාවත…

Legend

Legend

මෙතුවක් කාලෙකට මගේම නොවෙන කෙනෙක් නිසා දුකක් ඇති වුනානම් මේ පළමු අවස්ථාව වෙයි. මගේ යාළුවෙක්වක්, නෑයෙක් වත් නොවෙන කිසිම දිනක අතේ දුරින් සජීවීව දැක නැති කෙනෙක් ගැන ඉකියක් හිර වුයේ නම් ඒද පළමු අවස්ථාවයි. සාමාන්‍යයෙන් අනිකුත් ගැහැණුන් පිරිමින් චිත්‍රපටිවල ඇති බොළඳ සීන් වලට සට පට ගා අඬන විට මම සිනාසුනෙමි. ඒ වැඩි හරියක්ම බොරු කතාවක් වෙනුවෙන් ඇත්තටම අඬන ජොලි බුවාලා දැකීමෙනි. මට කිසි දිනෙක ඒ කිසිම කතාවක් සඳහා කඳුලක් නැඟආවේ නැත. ඒ හැටිය. බොරුව … බොරුව ලෙස දැකීමට මා කැමතිය. එහිද යම් ෆන් ගතියක් ඇත.

කෙසේ හෝ මා කියන්නට ගියේ මා ක්‍රිකට් වලට ඇත්තටම අකමැත්තෙන් හිටි කාලෙක යම් යම් හේතු නිසා යම් තරමක කැමැත්තක් ඇති වුයේ යම් යම් ක්‍රීඩකයන් නිසාය. මුලින්ම මහානාම, අරවින්ද, කලූ ආදී ඒ සමකාලීනයන් නිසා ඇතිවූ කැමැත්ත වඩාත් තීව්‍ර වූයේ මුරලි හා මහේල – සංගා යන අරුම පුදුම සංයෝජන නිසාය. ඒ අතරිනුත් මහේල විශේෂය. කිසි දිනෙක සජීවීව දැක නොමැති වුවත්, මැච් එකක් අවසානයේ කරන සුළු කතා බහෙන් පවා දිස්වෙන ඔහුගේ පෞරුෂයට, තරඟයක පරාජය ගැන අනෙකෙකුට ප්‍රසිද්ධියේ ඇඟිල්ල දැක් නොකිරීම ගැන මහත් සේ ඇළුම් කලෙමි. ක්‍රීඩාකරන විලාශය මෙසේයැයි හුවා දැක්වීමට තරම් ක්‍රිකට් ගැන දැනුමක් නැති වුනත් මහේල අනිත් අයගෙන් වෙනස් බව පමණක් තේරුම් ගැනීමට තරම් නම් ක්‍රිකට් ගැන දැනුමක් ඇත.

කෙසේ හෝ ඔහු අදින් පසු 20-20 මැච් වලදී වත් ටෙසට් මැච් වලදීවත් දකින්නට නොලැබීම ගැන පට්ට දුකය. එනමුත් ප්‍රතිවාදී පිළෙන් ඔහුට අවසන් තරඟයේදී ලැබුන උණුසූම් පිලිගැනීම ගැනනම් මාර සන්තෝසය. වෙනත් කෙනෙකුට පිටස්තර කන්ඩායමකින් එහෙම සැලකීමක් ලැබුනාද නැද්ද නම් දන්නේ නැති නමුත් මහේල ඒ පිලිගැනීමට වඩාත් සුදුස්සෙක් බව විශ්වාස කරමි.

කිසිම අප්සැට් චවනයක් අසානොගත්, ක්‍රිකට් දිවිය අනානොගත් මගේ ප්‍රියතම පිතිකරු ලෑයිස්තුවේ පළමු ස්ථානය තවත් නොදැකීමට හැකිවීම දුකකි. ඇත්තෙන්ම මහේල පුරාවෘත්තයකි. ක්‍රිකට් තියෙන තුරාවට මහේල යන නමද පවතිනු ඇත. ඒ තරම් හිත්ගත් ක්‍රීඩකයෙක් තවත් කාලෙකට බිහි නොවෙනු ඇත. බිහිවුනත් ගතිගුන නම් ඒ වගේ නොවෙනු ඇත.

එක්දින තරඟ වලදී දැක ගන්නට හැකි වුනත් දැන් නම් ඒ ගැනත් බයය. ඊළඟට සංගක්කාර… ලෑයිස්තුවේ දෙවෙනියාත් ටෙස්ට් මැච් වලින් සමුගනීදෝ යන්න නිල නොවන ලෙස ආරංචි වී ඇති බැවින්, ලෑයිස්තුව අළුත් කරගත යුතුව ඇත. වැඩි විස්තර අනවශ්‍යය. පිටු ගනන් පුරා, පත්තර පුරා ඔහු ගැන ඕනෑ තරම් ලියවී ඇත. තවත් ලියන්නටද ඇත. මහේලගේ අවසන් ටෙස්ට් දිනයේ මැච් එක නොබැලුවත්, ගෙදර ඇවිත් පත්තර වල, නෙට් එක පුරා තියෙන පින්තූර දැක්කාම දැනුන, කිසිදාක නොදැනුන දුක මෙසේ විය.

කජු ගහ…

හරියටම මේ වගේ...

හරියටම මේ වගේ…

කජු ගහක් කිව්වට ඒක පුංචියට හැදුන, අතු දෙක තුනක් බෙදිච්ච කජු ගහක් නෙවෙයි. හරියට නිකං මහ විසාලෙට අතු බෙදිච්ච රූස්ස නුග ගහක් වගේ ලොකු කජු ගහක්. ඒක තිබුනේ මගේ යාළුවෙක්ගේ ගෙදරට එහා පැත්තේ වත්තේ. ඉස්සර අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනාම, ඒ කිව්වේ… ඔය ගෙදරට කියාගන්න බැරි මිතුරන් අතරේ පමණයි දේවල් කතා කරන්න අපි සෙට් වුනේ ඔය කියන කජු ගහේ බිම ඉඳන් තියෙන දෙවෙනි දෙබලට.

තව චුට්ටක් කියන්න ඕනේ කජු ගහ ගැන. අපි කතා කරපු ප්‍රශ්න පස්සේ කියන්න බැරියෑ. ඔය කජු ගහේ කඳ ඒ දවස් වල අපි තුන්දෙනෙක් එකට අත්වැල් අල්ලගෙන වටකරන්න හැදුවත් කරන්න බෑ. ඒ තරම් හෙන සයිස් කඳක්. හැබැයි කඳ කොච්චර ලොකු වුනත් ඔය කජු ගහේ එක පුහුලමක්වත් හැදුනේ නෑ. ඒකනම් ඇයි කියන්න දන්නේ නෑ. කොහොමහරි ඉතිං ඔය කජු ගහට අපි නගින්නේ පහලට පාත් වෙච්චි අතුවල එල්ලිලා. මොකද ගහේ කඳ වටේට අත් වලින් බදලා ගහට නගින්න බෑ. ගහට නැග්ගට පස්සේ මුලින්ම කරන්නේ ඒ දවස්වල වට අඩි හතරක් පහක් විතර වෙන අත්ත දිගේ ගහේ පළවෙන දෙබලට යන එක. එතනින් පස්සේ දෙවෙනි දෙබලට.

අන්න එතෙන තමයි අපේ මරු සිරා පොට් එක. ඒ දෙබලේ තිබුනා පොඩි ඉඩක්. හරියට නිකං පොරෝ පාරක් ගහලා වගේ. ;) එතෙන තමා අපේ සියළුම ලිපි ලේඛන හංගලා තිබුනේ. ඒ දවස් වල ඉතිං වැඩිපුර අතේ ගැවසෙන ලිපි ලේඛන මොනාද කියල කියන්න ඕනේ නෑනේ. කොටින්ම හුවමාරු මධ්‍යස්ථානය වුනේ එතෙන. හිටිගමන් කෙල්ලන්ට ලියුම් ලියන්න, කෙල්ලන්ගෙන් යාළුවෙන්න අහන්න ප්ලෑන් කරෙත් ඔය ගහ උඩම තමා.

ආහ්… ඔය දෙබලට උඩින් තියෙනවා තව පොඩි සයිස් දෙබලක්. ඒකේ එකපාරට ඉන්න පුළුවන් දෙන්නටයි. පහල එකේ පුළුවන් පස් දෙනෙකුට විතර එක එක ඉරියවු වලින් පහසුවෙන් ඉන්න. ඉතිං ඔය තුන්වෙනි දෙබල උපයෝගි කරගත්තේ කජු ගහ තිබුන වත්තට පිටිපස්සෙන් ටිකක් දුරින් තිබුන රේල් පාරේ කෝච්චි යනවා බලන්න. තුන් වෙනි දෙබලට නැග්ගේ නැත්තං කෝච්චි පේන්නේ නෑ. මොකද වටේටම එක එක ජාතිය උස ගස් වැවිලා තිබුනේ. ඒක නිසා තමා කජු ගහ ආරක්ෂිත ස්ථානයක් වුනේ. අනික අපි කොලුකමට කටු පඳුරු අස්සෙන් රිංගලා ඔය ගහට නැග්ගට වැඩිහිටියෙකුට නම් එන්න හිතෙන්නෙවත් නැති ගමනක්. යාළුවගේ ගෙදර ඉඳන් ඔය ගහ ගාවට එනවනම් මුලින්ම අඩි හතරක් විතර උස තාප්පෙන් පනින්න ඕනෙ. ඒකත් සෙල්ලං වැඩක් නෙවෙයි. යාළුවගේ වත්තේ ඉඳන් අඩි හතරක් උස වුනට තාප්පේ… කජු ගහ තියෙන වත්තේ ඉඳන් අඩි හයක් උසයි. මොකද ඒ වත්ත පාතයි. ඊට පස්සේ තාප්පෙන් පැනලා හරියටම මීටර් පනහක් විතර යන්න ඕනේ කැලේ මැද්දෙන්. කැලේ කියන්නේ ඒක නම් මහ එපා කරපු කැලයක්. ඉන්න තරමක් ඉන්නේ කටුස්සො. අන්න ඒ වගේ දුෂ්කරතා නිසා වැඩිය කවුරුවත් ඔය ගහ කිට්ටුවට එන්නේ නෑ.

ඉතිං ඔය ගහ උඩදී කරපු වැඩ… අම්මෝ ලියපු ලියුං ගොඩ. ඒ දවස් වල කවි ලියන්න නිසදැස් ලියන්න බෑනේ. ඒක නිසා කලේ කාගේ හරි සිංදුවක් කෑල්ලක් ලියුමේ පැත්තකින් ලිවුව එක තමා. ඔය ලියපු ලියුම් වලින් කීප දෙනෙක්ම ගොඩ ගියා. එක පාරම නෙමේ ඉතිං. ලියුම් දහයක් දොලහක් දුන්නට පස්සේ කෙල්ලට කොල්ලා ගැන දුක හිතිලා ඕං ඊළඟ දවසේ… හරි හරි මං කැමතියි…. කියලා කියනවා. ඊට පස්සෙන්දා ඉඳං ඌ එන්නේ නෑ කජු ගහට. ඌ කරන්නේ ගෙදරට වෙලා තනියම මනෝ ගහනවා. හැබැයි වැඩේ පොඩ්ඩක් හරි චකබ්ලාස් වේගෙන යද්දි ඕං එනවා ආපහු. අපි ඉතිං ඒත් ලියුමක් ලියලා දීලා වැඩේ ශේප් කරලා යවනවා.

ඒ දවස්වල අපි ස්කෝලේ ගියේ වෑන් එකේ. වෑන් එකේ සෙට් එකම තමා ඔය කජු ගහට සෙට් වෙන්නෙත්. ඉතිං එක දවසක්, අන්තිමට ළමයි ගන්න ස්කෝලෙන් ළමයි අරගෙන එනකොට ඒ ස්කෝලේ වයිස් ප්‍රින්සිපල් එනවා තැපැල් නයින්ටියක පුටු පුටු ගගා. හෙන පරන කබල් බයික් එකක්. පස්සේ ඕක දැකපු අදාල ස්කෝලේ සෙට් එක එක්ක වෑන් එකේ ඉඳන් වයිටෝ… වයිටෝ කියලා කෑගැහුවා. දැන් අනිත් ස්කෝල වල එවුනුත් බලනවා කාටද බොල මේ කෑගහන්නේ කියලා. අම්මටසිරි, මුං මේ කෑගහන්නේ උංගෙම ස්කෝලේ වයිටට. සොරි… වයිස් ප්‍රින්සිපල්ට.

කොහොමහරි අර කසි කබලේ පුටු පුටුව අස්සෙන් ඕක ඇහුනා කියන්නකෝ වයිස් ප්‍රින්සිපල්ට. අම්මටඋඩු මූ නයිට්‍රස් ගහලා වගේ කෙලගෙන ඇවිත් නැවැත්තුවේ නැතෑ වෑන් එක ඉස්සරහින් පාර හරස් කරලා. දැන් ඉතිං සෙට් එකම බය වෙලා. මාත්…. මාත් ඉතිං අනිත් එවුන්ට සහයෝගෙට අඩෝ වයිටා…. හරි මොකක් හරි කියලා කෑගැහුවා වගේ මතකයි. පස්සේ ඔන්න පොර එනවා සුදුම සුදු කිට් එක ඇඳගෙන වෑන් එක ගාවට ඇවිල්ලා නවත්තනවා ඔය එන්ජිම කියලා වෑන් එකේ අයියට සද්දයක් දැම්මා. ඌ අපිට වැඩිය බයයි. පස්සේ ඔන්න ඇවිත් දොර ඇරලා, මුලින්ම බැස්සවා සර්ගේ ස්කෝලෙ ළමයි ටික.

තමුසෙලා මෙහාට වෙනවා. කියලා උංව පැත්තකට කරලා… අනිත් ස්කෝල වල කොල්ලෝ ටික ඉන්නවනේ. ඒ කියන්නේ මමයි තව හතර දෙනෙකුයි විතර.

හ්ම් දෙනවා තමුසෙගේ පොතක්… කියලා අර ස්කෝලේ එකෙක්ගේ පොතක් ඉල්ලගෙන, දැන් ලියනවා තමුසෙලාගේ ස්කෝලෙයි, නමයි, පන්තියයි, පංති භාර ගුරුවරයාගේ නමයි…. කියලා මූ පොත දෙනවා අපි පස්දෙනාට.

අපි දැන් මූනට මූන බලාගෙන. ඇයි ඕයි බලාගෙන ඉන්නේ… ලියනවා ඕකේ.

ඒ වෙලාවේ ඉතිං බොරු නම් මතක් වෙන්නෙත් නෑ. ඉතිං ඇත්තම ලිව්වා. ඊට පස්සේ පොත දුන්නා වයිටට. පොර පොත අරගෙන… මම දන්නවා හොඳටම මගේ ස්කෝලේ ළමයි මට කවදාවත් ඔහොම කෑගහන්නේ නෑ කියලා. ඒක නිසා තමුසෙලා තමා මේක කරලා තියෙන්නේ. මං හෙටම තමුසෙලාගේ ස්කෝල වලට කතා කරලා දඬුවම් දෙන්න කියනවා.

දැන් කට්ටියගේ කටවල් ඇරිලා… ඇස් ලොකු වෙලා. අර වයිටගේ ස්කෝලෙ ගොබිලෝ ටික ඉන්නවා කිසිම දෙයක් වුනේ නැති ගානට. පස්සේ වයිස් ප්‍රින්සිපල් ගියා කොලේත් කඩාගෙන. අරුං ටික නැග්ග වෑන් එකට. එතනින් පස්සේ ඉතිං හිනාවෙවී අරුංට ගැහුවා ගැහිල්ලක්. අන්තිමේ නතර වුනේ කොලේ කඩපු පොත කීතු කරලා හුළඟේ පාකරලා.

පස්සේ කොහොමහරි කට්ටියම සෙට් වුනා හවස කජු ගහට, හෙට ගුටි කන්න වෙන සීන් එක ගැන කතාකරන්න.

ම්… මේ බං… ඔන්න ඔහේ ගුටි කෑවත් මොකද බං… මේං මේක බලලා හිටපන්. අද හම්බුනේ. හෙට ගෙනියන්න ඕනෙ. ඉරන්නේ පොඩිකරන්නේ නැතුව කියවලා දියන්…

කොහොම හරි කරුවල වැටෙනකං සමාජ අධ්‍යනය පත්තරක් කියෙව්වා මිසක් ගුටි කන සීන් එක අමතක වුනා. පස්සෙන්දා උදේ ආයෙ මතක් වුනා. එදා උදේම මට බඩේ අමාරුවක් හැදුනා. ඒක නිසා අම්මා කිව්වා ගෙදර ඉන්න කියලා. පස්සේ බලද්දි අනිත් උංටත් උන, වමනය, ඔක්කාරය වගේ ලෙඩ හැදිලා තිබුනා. කොහොමහරි දඩුවමක් ලැබුනේ නෑ. අඩුම තරමේ එකෙක්ගෙන්වත් අහලාවත් තිබුනේ නෑ…

දැන් තමා දුකම හරිය. එදා අච්චර කැලේ රිංගගෙන ඇඟපත තුවාල කරගෙන අපි නැග්ග කජු ගහ කපලා දාලා. ඉස්සර කෝච්චි බලන්න කජු ගහේ තුන්වෙනි කරුවට නගින්න ඕනේ වුනාට, දැන් කොච්චියේ යන ගමන් කජු ගහ තිබුන මුළු වත්තම පේන විදියට ගස් ඔක්කොම කපලා. පට්ට දුකයි සීන් එකට. සමහරවිට ගහ කපන කොට ගහේ බෙදල අස්සේ අපි ඒ දවස් වල තියලා තිබ්බ අධ්‍යාපනික කඩදාසි, රසාස්වාද, පෑන්, පැන්සල් එහෙමත් තියෙන්න ඇති. ඒත් දැන් ඉතිං මොනා කරන්නද… ගහත් නෑ… යාළුවොත් ටික ටික දුරස් වෙලා. :(

 

නියමිතය….

separation

separation

මැවුන දහසක් සිතුවිලි අතර,
ගණනය නොකල හැකි… ඉපදෙන මැරීම් මැද..
කෙසේ නම් වෙන් වුනිද මේ ලෙස…
තවත් එකම එක පෙම් සිතුවිල්ලක්ව…?

රැයට නෙත් නොපියවන…
දාවලට නෙතට නිවනක් නොදෙන…
සුළඟ හමන අත දැන දැනම,
කුමට ළං වුනිද හදපත්ලටම…?

විසුමක් නොමැති සංවාද මැද,
එකම සිතුවිල්ලක එල්බ ගෙන…
කෙසේ නම් දරා ඉන්නද…
අනාගතයේ වෙන්වීම…?

-Just Random-

සතිදෙකෙන් අමතක වීම…

හ්ම්…. ටික කාලෙකට පසුව. අද නම් දෙන්න හදන්නේ ඇට්ටි හැලෙන්න. කාටද…? සිංහල අපිට. මොකටද…? වැරදි වටහා ගැනීමකට. අපිට වාසියක් කරගන්න තිබුන සිතුවිල්ලක් අපිට අවනම්බුවක් කරගත්ත එකට… සමහරවිට ඇට්ටි ටික මටම කැරකිලා ඒවිද දන්නෙත් නෑ. කමක් නෑ… සාමාන්‍යයෙන් වෙන දේනේ…!

සතිදෙකක්...

සතිදෙකක්…

මෙහෙමයි… දැන් ඔය මැරිච්චි ප්‍රභාකරන් ඉන්නවනේ… ඉතිං බුවා ඒ දවස් වල කොහෙහරි කරපු කතාවකදී කියලා තියෙනවා “සිංහල එවුන්ට දෙයක් මතක තියෙන්නේ සති දෙකයි” කියලා. අනිවාර්යෙන් පොර එහෙම කියලා තියෙන්නේ සිංහලයව මුදු මොලොක් මල් පිහාටුවක් වගේ බිමට පා කරලා දාලා නැතිබංගස්ථාන කරන්න හිතාගෙන. කනගාටුවෙන් වුනත් මාත් ඇතුළුව බොහෝ දෙනෙක්… බොහෝ දෙනෙක් කිව්වට සියළුම දෙනා වගේම, ඔය අලි ටෝක් එක මහ ඉහලින් පිළිඅරගෙන තිබුනා. දැනටත් තියෙනවා. ඒ වගේම මොකෙට්ට හරි බනින්න වේදිකාවකට නැග්ගත් ප්‍රභාකරන්ට ලකුණු වැටෙන නොවැටෙන ගානට ඔය වැකිය එහෙමම කියනව කතාව අහගෙන ඉන්න අයට.

ඉතිං අහගෙන ඉන්න අයත් ඕක පිළිඅරගෙන තමාගේ සිත් තුල තැම්පත් කරගන්නවා. කොහොම කොහොම හරි ඔය වගේ සිංහල අයට අපහාස වෙන විදියට ඔය කතාව ලංකාව තුල පැතිරුනේ අපේම සිංහල කතා කාරයෝ නිසා කිව්වොත්, කේන්ති ගියත්… කතාව ඇත්ත නේද කියලා හිතෙයි. මං හිතන්නේ වැඩිහරියක්ම දේශපාලකයෝ තමා ඔය කතාව රට පුරා මහ ලොකුවට කිය කිය මිනිස්සුන්ගේ හිත් වලට ඔය කතාව ඇතුල් කලේ.

කොහොම හරි අන්තිමේ සිද්ධ වුනේ ඇත්තටම අපේ මිනිස්සු ඔය කතාවට අනුව බලෙන්ම වගේ වැඩ කරන්න පෙළඹිච්ච එක. ඒ කියන්නේ යම් හොඳ හෝ නරක සිදුවීමක් මතකයේ තියානොගෙන බලෙන්ම වගේ අමතක කරලා වෙන අලුත් සිදුවීමක එල්ලිච්ච එක. දැන් කෝ අර පාට පාට වැහි වල අප්ඩේට්…? ඒවා ගැන කොරපු පරීක්ෂණ… ඒවා කාටවත් මතක නෑ… දැන් මතක අපි අවුරුදු දහඅටකට පස්සේ වර්ල්ඩ් කප් එකක් ඉස්සුවා කියන එක විතරයි. ඒකත් දැන් අමතක වෙලා යන ගානේ තියෙන්නේ… ඇයි ඉතිං අවුරුදු ගැන හිතන්න එපැයි.

මට කියන්න ඕනේ නැවතත් පාරක් “සිංහලයාගේ හැටි එහෙම තමයි” කියන එකමයි. ප්‍රභාකරන් කිව්ව කතාව හරි කියන එකමයි. ඒ වගේම ඒක අපි හිතන විදයට, අපේ ඔලු වලට කිඳා බස්සපු තරමට… ඒක කවදාවත් සිංහලයාගේ දුර්වලතාවයක් වුනේ නෑ කියන එකයි. අපි වැඩිහරියක් සිංහල බෞද්ධයෝ. අපි දන්නවා අටලෝ දහම කියල එකක් ගැන. නින්දා – ප්‍රශංසා, යස – අයස ගැන අපි අහලා තියෙනවා, විඳලා තියෙනවා. ඒත් ඒ කිසිම දෙයකින් නොසැලී, ඕනෙවට වැඩියෙන් ආඩම්බර නොවී, ඕනෙවට වැඩියෙන් දුක් නොවී… අපේ වැඩ අපිට කරගෙන යන්න පුළුවන් කියන්නේ උපේක්ෂාව කියන එකයි. හැම දෙයක්ම මැදහත් සිතින් ඉවසගෙන ඉන්නව කියන එකයි.

මං හිතන්නේ ඒකත් අපිට ආර්යන්ගෙන් ආපු පුරුද්දක් වෙන්න ඕනේ. හැබැයි දැන් නම් ඒකේ වැරැද්දක් පේන්නේ නෑ. ඉස්සර මාත් ලොකුවට ඔය වැකිය අල්ලගෙන් ලිව්වා. ආයේ ලියන්නේ නෑ. වෙච්චි දෙයක්, නැති වෙච්ච දෙයක් ගැන මාස ගනන් හිත හිත ලතවෙනවට වැඩිය ඒක සති දෙකෙන් බැරිනම් සතියෙන් හරි අමතක කරලා දාලා කරගෙන යන වැඩේම හරි, අළුත් වැඩකට හරි අතගහන එක වැරැද්දක්ද…? ලැබිච්ච දේකින් සතුටු වෙවී නිකං කාලෙ කනවට වඩා ඒක හැකි ඉක්මනින් අමතක කරලා දාලා තවත් දෙයක් ගැන හිතන එක වැරැද්දක්ද…? තව දුරටත් මට එහෙම හිතන්නේ නෑ. සමහරවිට ප්‍රභාකරන් කියන්නේ ඇත්තේ අපි ඔය දකින දේ නෙවේ වෙන්න ඇති. බුවා කියන්න ඇත්තේ මුංට කොච්චර අත්දැකීම් ලැබුනත් ඒ අත්දැකීම් ජීවිතයට ‍එකතු කර නොගෙන කලින් වෙච්චි වැරැද්දක්ම නැවත නැවතත් කරනවා කියන එක වෙන්න ඇති. එහෙම නැතුව අපේ පොරවල් කියන විදියට හැම දේම සති දෙකෙන් අමතක කරනවා කියලා ලේසි පහසුවට කියන එක නෙමෙයි වෙන්න ඇති. කොහෙද ඉතිං ඒක හරියට පැහැදිලි කරගන්න පොර ඉන්න එකක්යැ…!

අන්තිමේ මට හිතෙන්නේ ඒ කියමන සිංහල අපිට අවනම්බු වෙන්න හැදුවට, අපේ සිංහලයොත් ඒක අපිට අවනම්බු වෙන විදියටම පැතිරෙව්වට… ඒ කියමන සිංහල බෞද්ධයන්ගේ සැබෑ ලක්ෂණයක් ඉදිරිපත් කරනවා කියලයි. හැබැයි අර අත්දැකීම් එකතු කරගන්නේ නැතුව මග හලන එකටනම් මටත් ටිකක් මෙව්වා එකයි වගේ…!

ප්‍රින්සිපල් ඩබල…

මේ දවස් වල ප්‍රින්සිපල්ලා ගැන කතා කරන්න බයයි. කියන්න බෑනේ අපිටත් බනියිද කියලා ෆේස් බුක් යන නිසා. හ්ම්… ඉතිං මේ කියන්නේ මාර ඩබලක් ගැන.

ලොකු එකා තරිඳු. පොඩි එකා චතුර. දෙන්නගෙම ගෙවල් එක ලඟ. දෙන්නම යන්නේ එක ස්කෝලෙට, එකම වෙලාවට, එකම තාප්පෙන් පැනලා. ඒ තමා මුන් දෙන්නට දෙන්න පුළුවන් හොඳම හැඳින්වීම.

ලොකු එකා ගැන කතා දෙක තුනක් මීට කලින් ලිව්වා. නම කිව්වද නැද්ද කියලනම් මතක නෑ. ඉතිං මේ දෙන්නා යන ස්කෝලේ තියෙන්නේ ගෙදර ඉඳන් කිලෝමීටර් දෙකක් විතර දුරින්. පයින් යනවනම් විනාඩි විස්සක විතර දුරක්. කොහොමත් කොච්චර බයිසිකල් තිබුනත්, පාරේ යන ට්‍රයිෂෝ කාරයෙක් මුං දෙන්නව ගිහිං දාන්න හැදුවත් දෙන්නම ඒ උදව්ව ප්‍රතික්ෂේප කරලා පයින්ම යනවා. ඒවටත් දෙන්න ගාවම සාධාරණ හේතු තියෙනවා.

ලොකු එකානම් විෂය කීපයකට අකැමැතියි. ඌ පරක්කු වෙලා යන්නේ අකමැති විෂයන් මුලට තියෙන දාට. ඒ විෂයන් අතර, සිංහල, බුද්ධාගම, ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව, පුරවැසි මොකද්ද එක, තවත් මොකද්ද විෂයන් තුනක්  තියෙනවා. එකතොට පොඩි එකා පරක්කු වෙලා යන්නේ “තරිඳු අයියාත් පරක්කු වෙලානේ යන්නේ“, අන්න ඒක නිසා.

ප්‍රින්සිපල් ඩබල

ප්‍රින්සිපල් ඩබල

මේ ඩබල උද්ට ස්කෝලේ යන්න ගෙදරින් එලියට බහින්නේ මහා පාන්දර 7.45ට. හැබැයි ස්කෝලේ පටන් ගන්නේ 7.30ට. 8.05 හෝ 8.10 වෙද්දි ස්කෝලෙට යද්දි ඉස්සරහින් යන්න තියෙන ගේට්ටුව වහලා. එතකොට කරන්නේ පරණ අතෑරලා දාලා තියෙන ස්කෝලේ ගොඩනැගිල්ලකින් කවර් වෙලා තියෙන තාප්පෙන් පැනලා යන එක. දැන් ඒක මුං දෙන්නගේ දින චරියාවේම කොටසක් වෙලා.

කොහොමහරි මේ දෙන්නා ස්කෝලෙ යන වෙලාව දන්න ගමේ කට්ටිය මුං දෙන්න උදේට එන කොට පාරේ අයිනට වෙනවා. හරියට හාමුදුරුවන්ට ඉඩදෙන්න පාරෙන් අයින් වෙනවා වගේ. හේතුව තමා මුළු ගමේම අය මුං දෙන්නට කියන්නේ ප්‍රින්සිපල් සහ වයිස් ප්‍රින්සිපල් කියලා. ඇයි දෙන්නම දෙන්නට ඕනේ වෙලාවට යනවා දෙන්නට ඕනේ වෙලාවට එනවා.

කොහෙන් හරි ඔය නම ස්කෝලේටත් ලීක් වෙලා. දවසක් ඩබල තාප්පෙන් පැනලා ස්කෝලේ එනකොට පන්තිභාර සර් ඉන්නවලු තරිඳු එනකං. පොඩි එකා ලොකු එකාට වැඩිය හපන් නිසා  කොහොම හරි ෂේප් එකේ හැංගි හැංගි ගිහින් උගේ පුටුවෙන් වාඩෙවෙලා නමට එකත් දාගන්නවලු. ඒත් ලොකු එකා හැමදාම මාට්ටු. ඔහොම මාට්ටු වෙච්චි දවසක, තරිඳුලාගේ පංති භාර සර්, මූ පන්තියට එනකොටම ළමයින්ව නැගිට්ටවලා “ ආයුබෝවන් සර්“ කියලා කියවලා. දැන් තරිඳුවා ෆුල් හොල්මන්ලු. ඌ වටපිට බලනවලු වෙන කවුරු හරි සර් කෙනෙක් වත් උගේ පිටිපස්සෙන් ඇවිත්ද කියලා. ඒත් නැහැලු.

ඒ පාර පංති භාර සර්ම ඇවිත්, කොහොමද ප්‍රින්සිපල් සර්…? අදත් ටිකක් පරක්කුයි නේද…? කියලා අහනකොට… දන්නවනේ ඉතිං එකට එක බත් පත කාගෙන ඉන්න එවුන්ට යන චූං එක…

කොහොමහරි මුං දෙන්නට කොච්චර අවවාද කලත් හදන්න බැරි එකේ. විදුහල්පති පොඩි චාන්ස් එකක් දුන්නලු, කමක් නෑ පරක්කු වෙලා වරෙල්ලකෝ කියලා. මොකද ළමයි පාසල් නොගිහින් නතර වෙනවට වැඩිය පරක්කු වෙලා හරි එනඑක හොඳයිනේ… ඒකයි.

පොඩි එකාවත් එක දවසක් මාට්ටු වෙලා. උගේ පන්ති භාර මිස් ඇහුවලු… මොකද චතුර පරක්කු කියලා… මොකද්ද උත්තරේ….

“තරිඳු අයිය පරක්කු වුනානේ මිස්“ කියලා ඌ අහක බලා ගත්තලු….! මිස් කටවහගෙන පැත්තට ගියාලු මුංව හදන්න පුළුවන් පුතාලා නෙවෙයිනේ කියාගෙන…!

හැබැයි තරිඳුවා මීටරේ. ඌ සමස්ථයක් වශයෙන් සියළුම විෂයන් වලට අකමැති වුනාට විද්‍යාවටයි, ට්‍රේනින් මිස්ලා උගන්නවන ඉංග්‍රිසි වලටයි කැමතියි… ;)

හිටි ගමන් රහත් වෙන, බුදු වෙන ඇත්තන්ට…

ටිකක් විතර යල් පැනපු, ඒත් ආයමත් කොයි මොහොතක හරි පත්තර වල හෙඩ් ලයින් පුරවන, සමාජ ජාල වල ෂෙයාර් වෙන සෑහෙන්න හිට් වෙන මාතෘකාවක්.

මේක මහ අමුතු රටක්. ඒ අමුතුකමත් සුද්දන්ගෙන් අපිට උරුම වුන දෙයක් කියලා අද වගේ නිදහස් දවසකත් බනීද දන්නේ නෑ. කොහොමහරි දැන් අවුරුදු කීපයකට කලින් ඉඳලා අපේ රටේ තැන් තැන් වලින් බුදුවරු, රහත් හිමි නමවල්, සෝවාන් වෙච්චි ගිහියෝ පහල වෙනවා. ඒකේ ආරම්භය කවදා කොහොම වුනාද කියලා හොයාගන්න බැරි වුනාට පත්තර වලින් දැකලා, ටීවී එකෙන් බලලා, එහෙම දෙයක් වුනා කියන එක මතකයි.

පුංචි කාලේ අපිට දහම් පාසලේ කියලා දුන්නේ සෝවාන් වෙන්න සෑහෙන කාලයක් පෙරම් දම් පුරන්න ඕනේ කියලායි. ඒ වගේම සෝවාන් වුනාට පස්සේ ආත්ම හතකට වැඩිය උපදින්නෙත් නෑ, ඒ ආත්ම හත ඇතුලත වෙන කිසිම ආගමක දරුවෙක් වෙලා උපදින්නෙත් නෑ කියලයි. ඒවායේ ඇත්ත නැත්ත අපි නොදන්නවා වුනාට ඒවා විශ්වාස කරනවා. ඒ වගේම එහෙම සෝවාන් වෙන්න නම් මනා හික්මීමක් ඇති කරගන්න ඕනෙලු. හවසට කන පැලෙන්න බීලා තව කාලකුත් බෝතලයක අරගෙන ගිහිං  නිදාගන්න මිහිහෙක්ට තව ආත්ම ගානක් යන කං යහපත් උපාසකයෙක්වත් වෙන්න බැරි බව පොඩි එකෙක් උනත් දන්නවා. එහෙම මිනිහෙක් කොහොමද එක පාරට සෝවාන් වෙන්නේ? එක විදියක් තියෙනවා…. ඊයේ රෑ බීපුවෑ ආනුභාවෙන් ඌට හොඳටම ඩෝප් උනොත් සෝවාන් නෙවෙයි බුදු වෙන්න උනත් පුළුවන්..!

ඒ වගේම තමා බුද්ධ භාවයත්. බුදු වෙනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයිලු. පන්සල් යන හැම පාරකම අපිට අහන්න ලැබෙන්නේ “සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා“ කියලා උනාට එහෙම සියළු දෙනාම නිදුක් වෙන්න නම් මේ ලෝකේ ඉන්න ජනගහනය වැඩි කරන්න ඕනේ කල්ප ලක්ෂ ගානකින්. ඒ ගාන හදලා ඉවර කරන්න බ්ලූ ජීන් එකටවත් බැරිවෙයි.

ඉතිං එහෙම සාමාන්‍ය දැනීමක් තියාගෙන ඉන්න අපි වගේ එවුන්ව කිසි දෙයක් නොදන්න ගොන්නු කියලා අන්දන්න හදන හොර උපාසකයෝ කීදෙනෙක් නම් ඉන්නවද…? කී දෙනෙක් නම් පහල වුනාද…? කී දෙනෙක් නම් අනාගතේ පහල වෙන්න ප්ලෑන් කරගෙන ඉන්නවද…? ඒ හැමෝටම අහුවෙන, කොටින්ම ඒ මිනිස්සුන්ගේ අනුශාසනා වලට – වචන පෙරළියට අහුවෙලා රැවටිලා තම තමන්ගේ හිත් බුද්ධ ගෞරවයෙන් පුරෝගෙන *ක දීගෙන යන මිනිස්සු කොයිතරම් ඉන්නවද…? ඒ අතර උගත් මහාචාර්යවරු, හාමුදුරුවරු වගේම තනිකරම බුද්ධ ශාසනේ ගැන ශ්‍රද්ධාව විතරක් තියෙන, ගාථාවක තේරුමක් නොදන්න, මල් සුවඳට, හඳුන්කූරු දුමට ආසා කරන, පැන් කලයක් අරගෙන අනිත් අය එක්ක පෝලිමේ ගිහිං බෝධිය නාවන අධි-ශ්‍රද්ධාසම්පන්න උපාසක උපාසිකාවොත් ඉන්නවා.

පිරිණිවන් පාලා ඇති දැන්...

පිරිණිවන් පාලා ඇති දැන්…

ගිහිගෙයි ඉඳගෙන කම්සැප විඳ විඳ ඉන්න එවුන් සෝවාන් වෙන්නේ, රහත් වෙන්නේ, බුදු වෙන්නේ අපේ සහ උංගේ යන දෙගොල්ලොගෙම පවට. අනික එහෙම සෝවාන් වෙන, රහත් වෙන, බුදු වෙන අපේ කාලයේ කිසිම එකෙකුට අපේ සැකය නැතිකරන්න කිසිම පෙළරහක් පාන්න බෑ. බුදුරජාණන් වහන්සේ නෑදෑයින්ගේ කුකුස නැති කරන්න යමා මහ පෙළහර පෑවා. යමාමහ පෙළහර කියන්නේ ශරීරයේ එක පැත්තකින් ගින්දරත් අනිත් පැත්තෙන් ජලයත් නිකුත් කරමින් කරන, බුදු කෙනෙකුට පමණක් කලහැකි පෙළහරක්. ඒත් ඒක කරන්න බැරිවුනා ගාල්ල පැත්තේ බුදු වෙච්ච, ගෑණිත් එක්ක පන්සල් යන බුදු හාමුදුරුවන්ට. ඌට අඩුම ගානේ එක ගිනීකූරකින් ඉටිපන්දම් දහයක් වත් පත්තු කරන්න පුළුවන්ද දන්නේ නෑ වටේ ඉන්න එවුන්ගේ සහයක් නැතුව. කොහොම හරි අන්තිමේ පොර දැන් පේන්න නැත්තේ කොහේ හරි ගහක් යට පිරිණිවන් පාලද දන්නේ නෑ…

ඔය ලබන හැම තත්වයක්ම, ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමී, අර්හත්, බුදුබව යන හැම එකකින්ම ලබන්නේ, වෙනස් වෙන්නේ, දියුණු වෙන්නේ හිත සහ හිතන විදිය විතරයි. එහෙම නැතුව සිවුරේ පාටවත්, භාවිත කරන නමවත්, ගමන් බිමන් යන මෝටර් රථයවත්, ආවාස ගෙයි බිමට අල්ලන ටයිල් එකවත් නෙවෙයි. ඒ වගේම ඒ ලබන හිතේ දියුණුවත් සමග විවිධ මානසික් හැකියාවන්, භෞතික වස්තූන් පාලනට කිරීමට හැකියාවන් ඇති වෙනවා. මේ ලඟකදී සෝවාන් වුන, රහත් වුන හැම කෙනෙක්ටම තිබුනේ ටීවී එකේ තමන්ගේ නම වෙනස් කරලා සිවුර වෙනස් කරලා මූන චුට්ටක් පෙන්නන කාලය වැඩි කිරීමේ හැකියාව පමණයි. නැත්තං වටේ ඉන්න ගෑණුන්ට කියලා කකුල් දෙක අල්ලලා වන්ද ගන්න හැකියාව විතරයි.

එකෙකුට පුළුවන් වුනාද එක තත්පරක් අහසට නැගලා, කියන්න “බලන්න උපාසික උපාසිකාවනි, ඔබලා මා ලැබූ තත්ත්වය ගැන සැකකරන්නේ ඔබලාගේ නොදැනුවත් කම නිසාමය“ කියලා. බැහැ උං ලබලා තියෙන්නේ රෑට බීලා එලිවෙන කොට තැපෑලේ එන බුද්ධත්වයක් හා රහත් භාවයක්. ඒක වැඩි කල් අල්ලලා හිටන්නේ නෑ, කවුරු හරි ගෑණියෙක් කකුල් දෙකේ හරි ඊට උඩින් හරි දෙහි ගෙඩියක් ඇතිල්ලුවම ඔය ගතිය ඇරිලා යයි අපේ හාමුදුරුවරුනේ, ගිහි බුදුනේ….! එතකන් ලැබෙන දෙයක් කාගෙන, තර්ක වලට නොයා, අපේ සැකයන් දුරු නොකර ඔහොමම සිටිනු මැනවි. නැතිනම් ඉතිරි අවුරුදු දෙදාස් ගානම තව අවුරුදු දහයක් විස්සක්  ඇතුලත අපේ ඇස් ඉදිරි පිටිම තොලොන්චි වී යනු ඇත.

-

-

ධ්‍යානයක් ලැබූ අයකුගේ භෞතික වශයෙන් වෙනස් වනවා නම් වෙනම් වන්නේ හැසීරීම් රටාව පමණි. එයද තව දුරටත් වෙනස් වන්නට දෙයක් නැත. ධ්‍යානය ලබන්නේ හැසිරීම් රටාවේ පවතින උසස් බව නිසාය. හිත යම් ඉහල අධ්‍යාත්මිකතාවයකට පැමිණීම ධ්‍යානයක් නම්, මුන් අපිට භෞතිකව පෙන්නන්න හදන රහත් බව, බුදු බව කුමක්ද…?

අහිංසක මිනිස්සු හැමදාම පන්සල් යන්නේ හිතේ දුක නිවාගන්න. ඔවුන් බලාපොරොත්තු වෙනවා හද පත්ලෙන්ම කවදාම හරි දවසක, ආත්ම කල්ප ගානකින් පස්සේ හරි බුදුකෙනෙකුන්ගෙන් බන පදයක් අහලා මේ විඳින දුකින් සදහටම අත් මිදෙන්න. ඒ මිනිස්සුන්ගේ ඒ හිතේ තියෙන ශ්‍රද්ධාව, ලස්සන වචන වලින් හොරකම් කරගෙන… බොරු මවාපෑම් කරලා, ශ්‍රද්ධාවට ලස්සනට විදින ගිහි-පැවිදි ඇත්තන්ට බුදුන්ගේම සරණයි. –at කේන්තියෙන්…

අමතක වෙන්න කලියෙන්…

පුංචිම කාලේ  “අ“ යන්නෙ ඉඳන් තාමත් ඉගෙන ගන්නව වුනාට සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න ගත්තට පස්සනේ යුනිකෝඩ් ඉගෙන ගත්තේ. ඉතිං දැන් වැඩිය නොලිය වෙන නිසාම මට පොඩි බයක් තිබුනා අකුරු ටික අමතක වෙලාවත් යාවිදෝ කියලා. ඉතිං මේ කොටා ගෙන කොටා ගෙන යන්නේ යුනිකෝඩ් මතකයේ ප්‍රගති සමාලෝචනයකට.

හ්ම්… නරකම නෑ පළවෙනි ඡේදෙ ලියලා ඉවර කරාම නම් අකුරු පැටලිලි, අකුරු අමතක වීම් මුකුත් නෑ. ඒ කියන්නේ ප්‍රගතිය කෙසේ වෙතත් සමාලෝචනේනම් මරු ! දැන් ඉතිං අලුත් අවුරුද්දක්නේ. ඒක නිසා ඉතිං මේ අවුරුද්දෙත් බ්ලොග් එකේ මොනා හරි ලිවුවා කියන්නවත් මොනා හරි ලියලා යන්න ඕනේ. ඇත්තටම කාටවත් සුභ පතන්නවත් බැරි වුනා මේ පාර. හරි හමං හේතුවක් නම් නෑ නිදහසට කරුණු විදියට…

එහෙමනම් මේ අවුරුද්දේ පළවෙනි ලිපිය මං කැමතිම පුංචි කාලේ ගැන. තාමත් නිදහස් වෙලාවට හිතින් දුවන, මනෝ ගහන මං කැමති අතීතය ගැන. ඇත්තටම අනිත් අයට වගේ මට ගමේ ඉන්න ලොකූ කාලයක් තිබුනේ නෑ. මුළු අවුරුද්දටම මං ගමේ ඉන්න ඇත්තේ දවස් 30කටත් අඩුවෙන්. ඒකත් සැරින් සැරේට. සමහරවිට ඒ හින්දම වෙන්න ඇති තාමත් මට අගේ දැනෙන්නේ ඒ දවස් ගැන. අනිත් මිනිස්සු ගමේ ඉඳන් නගරෙට එන්න හදද්දි, කවදාවත් නොයනව වුනත් හැම වෙලේම හිතින් හරි යන්න ට්‍රයි කරන්නේ ඒ නිසා වෙන්න ඇති.

මං මගේ සීයලා දෙන්නගෙන් එක්කෙනෙක්ව විතරයි දැකලා තියෙන්නේ. අම්මගේ තාත්තා මං උපදින්න කලින් නැතිවෙලා. ඒක නිසා ගමේ ඉන්න තිබුන සීයාව මම දැකලා නෑ. ඒත් ආච්චිව නම් මතකයි. ඒ එයාගේ තිබුන ආදරය සහ තවත් එක එක ගතිගුන නිසා. ආච්චි ඉඳිය මැටි ගහලා පොල් අතු හෙවිල්ලපු ගේත් එක්ක ආච්චිගේ මතකය තාම තියෙනවා. ඒ ගමේ හැම කෙනෙක්ම අම්මගේ අම්මට හෝ තාත්තගේ අම්මට කියන්නේ කිරිඅම්මා කියලා. මං ඉතිං ඔව්ව දන්නවැයි මං හැම දාමත් කිව්වේ ආච්චි කියලා. සමහර වෙලාවට මං එහෙම කියද්ද අවට ගෙවල් වලින් ආපු පොඩි එවුන් කට ඇරන් බලන් ඉන්නවා මොකද්ද ඒ මං කිව්වේ කියලා.

ඇති… ඇති… මේං කතාව. ඒ පැත්ත අර්ධ ශුෂ්ක පළාතක්. හැබැයි දවල්ට විතරයි. සමහර විට ඒක වෙන්න ඇති අර්ධ ශුෂ්ක කියන්නේ. ;) රෑට නම් රෙදි දෙක තුනක් පොරව ගෙනවත් හීතලෙන් බේරෙන්න බෑ. ඒකත් මාර කාලගුණයක්. ඉතිං හැම දාමත් රෑ වේගෙන එද්දි දවල්ට නොතිබුන කැලෑ ගස් වල ගඳත් එක්ක හීතල හුළං එන්න ගන්නවා. ඒක අනිවාර්ය දෙයක්. සමහර වෙලාවට ඒ ගස් වල ගඳ අස්සේ ඇත්තෝර, කජු ගස් වලින් එන සුවඳ වගේ අතලොස්සක් විතරක් වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙනවා. ඉතිං මං කරන්නේ ගෙදර අගුපිලට වෙලා පොඩි වේවැල් පුටුවේ වාඩි වෙලා, කකුල් දෙකත් උඩට අරගෙන හමන හුළඟට ඉව අල්ල අල්ල ඉන්න එක තමා. ඒකත් මාර ජොලි වැඩේ. හයාමාර විතර වෙද්දි ඔය වැඩේ පටන් ගද්දිම එහායින් තියෙන කුස්සියෙන් එනවා ආච්චියි, අම්මයි, මම්මයි කෑම උයන සුවඳ. මොනවා ඉව්වත් මාර සුවඳයි… රසයි…

හත, හතයි කාල වගේ වෙද්දි මදුරු සේනාව එනවා. උංගෙන් බේරෙන්න ආච්චි මට ගෙනත් දෙනවා පොඩි තුවායක්. “කකුල් දෙක වහගනින් කොල්ලෝ“ කියලා. මට සරං අඳින්න දන්නේ නෑනේ. ඒක නිසා කොට කලිසම ඇන්දම දනිස්සෙන් පහල එලියේ. ඒ ටික වහගන්න තමා තුවාය දෙන්නේ. ඒ වුනාට මං කරන්නේ බෙල්ල වටේ වටයක් දාලා මුළු ඇඟම වහගන්න එක. එතකොට ඉතිං මදුරුවෝ ඉඳියා කියලා දැනෙන්නෙවත් නෑ.

ජනේලෙන් පිටත

ජනේලෙන් පිටත

පස්සේ රෑට කාලා එක එක කතා අහලා එහෙම නිදාගන්න යන වෙලාව තමා දවසක් අවසානයේ ගෙවෙන හොඳම මොහොත. මං හැමදාමත් නිදා ගන්නේ ජනෙල් පියන් නැති ලී කූරූ හතරක් විතරක් තියෙන ජනේලේ අයිනට වෙන්න. වෙනදට නම් ආච්චිලා ජනේලෙට රෙද්දක් දානවලු. හැබැයි මං යන දාට ඒවා බෑ. ජනේලේ අයිනේ මම, ඊගාවට තාත්ත, එහාපැත්තෙන් අම්මා. එහෙමයි පිළිවෙල. ආච්චි ෆුල් ට්‍රයි එක දෙනවා ඔය පිළිවෙන වෙනස් කරන්න. ජනේලෙන් මට පිනිබානවා කියලා. එක දවසක් පිනි බෑවට මොකෝ කියලා මාත් අරින්නේ නෑ… දෙතුන් පාරක් “අනේ අනේ“ කියලා බැගෑපත් වෙනවා… ඒත් හරියන්නේ නැත්තං මූන බෙරි කරගන්නවා. එහෙමත් බැයිනම් හයියෙන් අඬනවා…! අන්න එතකොට ආච්චියි, අම්මයි, තාත්තයි, මම්මයි තුන් දෙනාම සටන අතෑරලා මට දිනුම දීලා මාව දානවා ජනේලේ අයිනට. එතකොට ඇඬිල්ල ඉවරයි. ආච්චි දෙන රෙද්ද තාත්තා මගේ ඔළුවේ ඉඳන් පොරවලා මූන විතරක් ඇරලා තියෙනවා මට ජනේලෙන් අහස පේන්න.

ඒක හරියට කවුරු හරි ඇන්ද චිත්‍රයක් වගේ. අහසේ තරු තියෙනවා. ඊට පහලින් එක එක ගස්වල කලු අඳුරු හෙවනැලි තියෙනවා. ඊටත් පහලින් කනාමැදිරි පියාඹනවා. හරියට නිකං ඇනිමේටඩ් මූවි එකක් වගේ. ඔය ඔක්කොමට මෙහායින් පොල් අතු වහලෙන් බේරෙන පොල් කොල ටික පේනවා උඩින් පේන ප්‍රමාණය අවහිර කරපු සීමාවක් වගේ. ඇඳ ගාවින්ම තියෙන්නේ ජනේලේ. ඒක තමා ඈතින් පේන සජීවී චිත්‍රයේ පින්තූර රාමුව.

පිනි වැටුන මකුළු දැල්

පිනි වැටුන මකුළු දැල්

කොහොම හරි ඔහොම පැය භාගයක් විතර යද්දී නින්ද යනවා. ඊට පස්සේ පාන්දරට ඇහැරෙන්නේ එහා වත්තේ මී දෙන්නු ටික උම්බෑ එලාම් එක ගහන්න ගත්තම. ඉතිං ඇහැරිලා බලද්දි මට දකින්නේ රෑ තිබුන තරු පිරුන අහස වෙනුවට ලා වට නිල් පාටක් ගෑවුන වෙන චිත්‍රයක්. ඒකත් ලස්සනයි… ඒක දිහා බලාගෙන ඉද්දි තව ටිකකින් ආයෙ පටන් ගන්නවා කුකුල් එලාම් එක. ඒක නවතින්නේ උදේ හත අට වෙලා “ස්නූස්“ වෙවී දිගටම වදිනවා ඒක. අන්තිමේ මං නැගිටිනේ ආච්චි ගේන එළකිරි එකේ සුවඳට. දැන් මං බොන නෙස්ප්‍රේ වගේ නෙමේ… සුවඳයි… රසයි… ආච්චි ඉඟුරුත් දාන නිසා තවත් සුවඳයි. ඒක බිව්වම මාර ෆිට් ඇඟට. පුංචි වහු පැටව් වගේ තමා ඒක බිව්ව වෙලේ ඉඳන් එහාටයි මෙහාටයි දුවනවා….! ඊට පස්සේ පින්නෙන් තෙත් වෙච්ච පොලොවේ ඇවිදිනවා… මකුලු දැල් වලට වැටුන පිනි දිහා බලාගෙන ඉන්නවා. ඊට කලින් දවසේ මකුලු දැලක් තිබුනයි කියලා හිතෙනන්නෙවත් නැති තැන්වල පිනි වැටිලා මකුලු දැල් වල රැඳිලා. මුළු වත්ත පුරාම ඒ වගේ සුදු පාට බිම පිපිච්චි පිනි මල් සියගානක් තියෙනවා. අට නවය වෙද්දි නැති වෙලා යනවා.

ඒත් මතකය ඉතුරු වෙනවා…!

සුං… සුං… සුංගාරාත්මක දර්ශන

කලින් කතාවේ ඇම්ඩන් මල්ලි ඉන්නවනේ…. ඉතිං පොර එක්ක මේ ලඟදීත් කතා කර කර ඉන්දැද්දි එයාගේ යාළුවන්ගේ වැඩ කිඩ ගැනත් පොඩි පහේ පුරසාරමක් කියන්න මිනිහා අමතක කලේ නෑ. ඇම්ඩගේ හැටි එහෙමනම් යාළුවන්ගේ හැටි ගැන අහන්න දෙයක් නෑනේ.

...

ඔන්න මුං සෙට් එක නවය වසරෙදි විතර, දවසක් දා එක යාළුවෙක් ස්කෝලෙට ගෙනාවලු වැඩිහිටියන්ට පමණයි සීඩී එකක්. ඒ දවස් වල දැන් වගේ නෙට් එක හැම තැනම පැතිරිලා තිබුනේ නැති නිසා සීඩී එකකින් තමා වේල පිරිමහා ගන්නේ. සීඩී ප්ලේයරුත් තිබුනේ ගමකට ගෙයක දෙකක විතරයි. ඉතිං කොහොමහරි දැන් වගේම ඉස්සරත් ෆයිල් ෂෙයාරිං පහසුකම තිබුන නිසා වෙන යාළුවෙකුට දෙන්න තමා අර සීඩී එක ගෙනත් තියෙන්නේ. ඒ කියන්නේ ගෙනාපු එකා බලල ඉවර වෙලා.

ඉතිං හැම පන්තියකම ඉන්නවනේ ගොට්ටෝ සෙට් එකකුත්. අඩුම ගානේ තනි තනියෙන් ක්‍රියාත්මක වෙන එකෙක් දෙන්නෙක් හරි. ඒ ගොට්ටෙක් ගිහිං ඇම්ඩලාගේ අංශ භාර සර්ට කියලා ඇම්ඩාගේ යාළුවෙක් ගාව “බඩුම තමා සීඩී“ එකක් තියෙනවා කියලා. දැන් සර් එනවලු පිඹගෙන. කොහොමහරි වෙනදට නම් සර්ට මෙහෙම ආරංචියක් ගියා කියලා හරි නිවුස් එකක් ආවාට පස්සේ තමාලු සර් එන්නේ. ඒත් මේ කියන දවසේ ආරංචිය ගිය ගමන් අනිත් පැත්තට සර් එනවලු. දැන් සීඩී හංගන්නවත් වෙලාවක් නැතිලු. සර් පන්තියට ආපු ගමන් ඇම්ඩගේ යාළුවා ගාවටම කෙලින්ම ගියාලු. දැන් කොල්ලෝ  ඔක්කොම බය වෙලාලු ඉන්නේ. මොකද ඔය හැම එකාගෙන නම් ටික ටික හරි ගෑවෙනවා එකක් පාව දුන්න ගමන්ම. දැන් සර් නඩුව විභාග කරනවලු…

මොනාද සීඩී එකේ…?

සර්… සුං…. සුං….

සුං සුං ගාන්නේ මොනාද කියපිය… සර්ට මළ පැනලා. කොල්ලට භය හිතිලා.

සුං… සුං… සුංගාරාත්මක දර්ශන… සර්…

අනිත් පැත්තට කොල්ලගේ කම්මුලට වැදුනලු එකක් “චැස්“ ගාලා… කන් දෙක “කීං කීං“ ගාන්න…

ඇම්ඩලා මිසින්ලු. සීඩී එක සර් ගෙනිච්චලු…!!!

තව කතාවක් තියෙනවා. ඒක ඇම්ඩන්ලා සිරීපාදේ ගිහිං වෙච්ච සීන් එකක්.

...

නඩයේ ඔක්කොම දහ දෙනයිලු. ඔක්කොම සම වයසේ කොල්ලෝ. දැන් ඔන්න මුං සිරිපාදේ නගිනවලු නල්ලතන්නි පාරෙන්. ඒ පාරනේ ලඟම. ඒක නිසා තමා ඒ පාර තෝරගෙන තියෙන්නේ. වන්දනාවේ ගියත් කම්මැලි කම යවන්න බෑනේ. ඒ දවස් වල තිබුනා “මලුවටම එකයි“ කියලා සුරුට්ටු ජාතියක්. අඩියක් විතර දිගයි. දැන් මුං දහදෙනාගෙන් තුන්දෙනෙක් අමධ්‍යප නිසා සුරුට්ටුවක් වත් බොන්නේ නෑ. ඒක නිසා සුරුට්ටු හතරක් අරගෙන එක්කෙනෙක් භාගේ ගානේ බීබී යනවලු. අර භාගයක් ෂෙයාර් වෙන්නේ නැති සුරුට්ටුව බොන බුවාගේ සුරුට්ටුව අනිත් එවුං බීලා ඉවර වෙද්දිත් ඉවර නැති නිසා පොර චන්ඩියා වගේ තනියම සුරුට්ටුව ඇද ඇද උඩට යනවලු. වෙන එකෙකුට දෙන්නෙත් නැතිලු තනියම ටික ටික උර උර ඉස්සරහින්ම නගිනවලු.

ඔන්න දැන් පොර ඉස්සර වෙලා යද්දි පොලිස් කාරයෙක් මූව අල්ල ගත්තලු. පොඩි එකෙක් සුරුට්ටු බොන කොට ඉතිං කන පැලෙන්න දෙකක් දෙන්න හිතෙනවනේ. අනික මූ තනියමනේ. පස්සේ දැන් ඔන්න කොල්ලො ඔක්කොම වට වෙලා සීන් එකට කන දාගෙන වෙන දේ බලගෙන ඉන්නවලු.

මොනාද ඔය…?

සු… සු… සුරුට්ටු …. හීතේලේටයි බයටයි කොල්ලව ගැහෙනවලු.

වයස…?

සර්… අවුරුදු… පහ… පහලොවයි.

මොකටද සුරුට්ටු බොන්නේ….?

සී…සී…සී….සීතලට සර්…

රාලහාමි සුරුට්ටු අරගෙන විසික් කරාලු. පොරට පොල් ටොක්කක් ඇනලා… හා දැන් කරුණා කරන්ඩ, දැන් සීතල දැනෙන එකක් නෑ කිවුවලු.

කොහොම හරි ටොක්ක කාපු එකාට අනිත් එවුන් හිනාවෙනවලු. පස්සේ පොර අනිත් නව දෙනාවම, වෙච්චි සීන් එක කාටවත් කියන්නේ නෑ කියලා පොරොන්දු කරගෙන. ඇයි ඉතිං සිරීපාදේ ගිහිං ටොක්කක් කෑවයි කිව්වම නෝන්ඩියිනේ. ඒකයි. හැබැයි ඔය සෙට් එකේ වල් කොල්ලෙක් උංව එක්කන් යන්න ආපු වෑන් එකේ අයියගෙන් ෆෝන් එක ඉල්ලගෙන යන ගමන් කෝල් එකක් දීලා කාට හරි එකෙකුට කියලා වෙන කාටවත්ම කියන්න එපා කියලා. පණිවුඩේ අහගත්ත බුවා ටොක්ක කාපු පොරව පිළිගන්න ලස්සනට පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා තිබුනලු. ;)

ඇම්ඩාගේ අමාරුම ප්‍රශ්නය…

මේක ඔය හැම වලත්ත වැඩේටම වගකිවයුතු ඇම්ඩාගේ කතාවක් නෙවෙයි. එකමත් එක ගමක හිටිය හත වසරේ ඇම්ඩෙක්ගේ කතාවක්. පොරගේ නම කියන එක හොඳ මදි නිසා තමා ඌට ඇම්ඩා කියන්නේ. ඇත්තටම අපි ඔය අවලම් ඇම්ඩා කරා කරා කියන දේවලින් භාගයක්වත් ඌ කරපුවා නෙමෙයි. ඒ ඔක්කොම වෙන කවුරු හරි නමක් ගමක් කියන්න බැරි කෙනෙක් කරපුවා. ඒ වුනාට ඔක්කොම යන්නේ අසරණ ඇම්ඩාගේ අකවුන්ට් එකට. ඉති අනුන්ගේ කුණු සෑහෙන ප්‍රමාණයක් ඇම්ඩාගේ අකවුන්ට් එකේ තියෙන එකේ මාත් ඇම්ඩාගේ ගිණුමට මොනා හරි එකතු කරාම මක්ක වෙනවද…!

දැන් මෙහෙමයි කතාව. මං මේ කියන ඇම්ඩා ඒ දවස් වල හත වසරේ. මිනිහාට හෙන උනන්දුවක් තිබුනා ආරම්භක විද්‍යාවට. ඒ කියන්නේ හතර වසරෙන් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් විෂය කරුණු වැඩිවෙන විද්‍යා විෂයට. මූ ඒ දවස් වල ඉඳන්ම ඔය විෂයට පට්ට දක්ෂයි. ඒත් ඉතිං මොනා හරි වෙලා හැම විභගෙදිම පොරට ලකුණු ලැබෙන්නේ අඩුවෙන්. ඒක නිසා පොර හැම විද්‍යාව ගුරුවරයෙක් එක්කම හිටියේ යටිහිතේ තරහක් තියාගෙන. හැබැයි ඔය ස්කෝලෙන් දෙන පරීක්ෂන එහෙම කලට වේලාවට බුවා කරනවා ගෙදරම. ඒ දවස්වල පොර ගාව තිබුනා ටෙස්ට් ටියුබ් රඳවනයක්. ඒක නම් මං හිතන්නේ ස්කෝලෙන් උස්සපු එකක් වෙන්න ඕනේ.

:)

:)

තව තිබුනා වත්තේ පිටියේ ගස් වැල් එකට පූට්ටු කරලා බැමි දාපු ගස් කොලන්. පොර එකකට එකක් නොගැලපෙන ගස් ඉඳන් බද්ධ කරලා එක ගහකින් මල් වර්ග ගානක් ගන්න සෑහෙන උත්සාහයක් දැරුවා. එක දවසක් දැක්කා රෝස අත්තකුයි, රුක්අත්තන අත්තකුයි පූට්ටු කරලා මොනාදෝ මන්දා කරලා තියෙනවා. ඒකට උදේ හවා වතුර දානවා… දම් කැට පොහොර දානවා… ඒ දවස්වල බුවාගේ වත්ත කෘෂි පර්යේෂණායතනය වගේ. මට මතක විදියට ඒ ගස් වල මල් පිපෙනවා වෙනුවට මුගේ වැඩි සාත්තුව නිසා ගස් සේරම මැරුණා.

දැන් තමයි කතාව. අම්ඩා හත වසරේ ඉන්දැද්දි ස්කෝලේ ටීචර් කියලා තියෙනවා ඒ දවස් වල කරන පාඩමට අදාලව හැම ළමයෙක්ම ප්‍රශ්නයක් හදාගෙන එන්න ඕනේ කියලා අනිත් ළමයින් ගෙන් අහන්න. ඒ ළමයින්ට බැරිවුනොත් ටීචර් ප්‍රශ්නෙට උත්තරේ දෙනවා කිව්වලු. ඒ දවස් වල පන්තියේ කර කර ඉඳලා තියෙන්නේ “බල පරිවර්තන“ පාඩමක්. මටත් හරියට පාඩමේ නම මතක නෑ. අර… චුම්බක ශක්තිය, විද්‍යුත් ශක්තියට…. විද්‍යුත් ශක්තිය, ආලෝක ශක්තියට කියලා එහෙම තියෙන්නේ…. අන්න ඒ පාඩම.

ඉතිං දැන් මේක පොරට මාර චාන්ස් එකක් උගේ පණ්ඩිත කම පෙන්නන්න. කොහොමහරි කාටවත් උත්තර දීගන්න බැරි ප්‍රශ්නයක් හදා ගන්න මෑන්ස්ට බැරි වෙලා මූ මගේ ගාවට දුවගෙන ආවා ප්‍රශ්නයක් හදා ගන්න. එතකොට මං මොකක් හරි ෆෝන් කට්ටක් අත ගගා මොකක් හරි කර කර හිටියේ. ඇම්ඩා ඇවිත් කෙලින්ම උගේ කාරනේ මට කිව්වා. ඒත් ඇම්ඩාගේ ප්‍රශ්නෙට වැඩිය මට මගේ වැඩේ ලොකු නිසා මම ඒ වැඩේ කරගෙන හිටියා…

අයියේ…. මේ… ලොකු අයියේ….

ඇයි බං… මට මල පැනලා ඇහුවා….

අනේ ප්‍රශ්නයක් කියන්නකෝ….

මොන ප්‍රශ්නද… පොත බලලා මොකක් හරි බොරුවක් ගිහිං කියපං….

එහෙම බෑනේ….

එහෙමනම් ඔහොම හිටපං මේ වැඩේ ඉවර වෙනකං….

හ්ම්….

මං එහෙම කිව්වේ ඇම්ඩා යයි කියලා හිතාගෙන. මොන…. මූ නෙවේ යන්නේ. මං කරන වැඩේ දිහා පොර බලාගෙන ඉන්නවා.

මේ…. අයියේ…. ඕකේ මෙමරි කාඩ් එකක් තියෙනවද…?

හ්ම්….

සයිස් එක කීයද….?

සයිස් එක මෙච්චරයි…. කියලා මං මගේ අතක චූටි ඇඟිල්ලේ නියපොත්ත පෙන්නුවා.

නෑ… නෑ… බයිට් ගාන…

බයිට් එකක් රුපියල් විස්සයිනේ…

මං දැන් මූව එලෝගන්න ෆුල් ට්‍රයි… ඇම්ඩෙක්ම තමා. ඌ සැලෙන්නේ නෑ.

නෑ අයියෝ…. ඕකේ ඉඩ ප්‍රමාණය…

ආහ්… ඉඩ ටූ ජීබී….

සිංදු ගොඩක් දැම්මැකි නෙහ්…

හ්ම්….

පොර ටිකක් වෙලා කට පියාගෙන ඉඳියා. විනාඩි දෙක තුනක්… ඊට පස්සේ මං බැළුවා මොකද ඇම්ඩා කට පියාගෙන ඉන්නේ කියලා.

මොකෝ…

අයියේ ඕකේ සිංදු කොහොමද රෙකෝඩ් වෙන්නේ…

කරන්ට් එකෙන්…

මේ… මං ගෙදර ගිහිං එන්නම් ඈ… කියාගෙන් මූ එක පාරටම නැගිටලා යන්න ගියා. මාත් ඉතිං කරදරේ ඉවරයිනේ කියලා හිත හදාගෙන වැඩේ ඉවරයක් කලා.

මෙන්න පහු වෙනිදා මූ එනවා තඩි චොකලට් එකකුත් උස්සං… මග ඉඳලම කෑගහගෙන.

අයියේ… ලොකු අයියේ….

මාත් පැන්න එලියට…

ඇයි බං…

ආ… මේක… කියලා මූ මට දුන්නා චොකලට් එක…

මේ මොකටද…

අද මං තමා අමාරුම ප්‍රශ්නේ ඇහුවේ… ඔය ඒකට හම්බුන තෑග්ග.

නෑහ්….

නැත්තේ මොකෝ… මං අහපු ප්‍රශ්නෙට ටීචර්ටවත් උත්තර දීගන්න බැරිවුනා…

පලයං බං යන්න බොරු නොකියා… මොකද්ද උඹ අහපු ප්‍රශ්නේ…?

මං ඇහුවා “ මෙමරි කාඩ් එකක ඇති සිංදුවක් වාදනය කිරීමේදී ඇති වන ශක්ති පරිවර්තනය“ කියන්න කියලා. කවුරුත් උත්තර දුන්නේ නෑ… මිස්ටත් බැරි වුනා… හූ… හූ…

දැන් මූ හෙන සතුටෙන් මරලතෝනි දෙනවා… මටත් කටපියාගෙන ඉන්න බැරි කමට මාත් ඇහුව ඇම්ඩගෙන්… “දැන් උඹ දන්නවද උත්තරේ“ කියලා… මොකද මම දන්නෙත් නෑනේ ඒකට උත්තරයක්. හෙන සංකීර්ණ ප්‍රශ්නයක්නේ මූ අහලා තියෙන්නේ. වැරදිලා හරි ඇම්ඩා “හා… ලොකු අයියා කියන්න බලන්න උත්තරේ“ කියලා මගෙන් අහන්න කලින් තමා මං ඒක උගෙන් ඇහුවේ…

නැතුව… ඊයේ අයියනේ කිව්වේ… කරන්ට් එකෙන් කියලා… ඉතිං මං උත්තරේ හදාගෙන ගියා… විද්‍යුත් ශක්තිය, ශබ්ද ශක්තියට කියලා.

අම්මට සිරි එහෙමද… එතකොට මිස් ඇහුවේ නැද්ද උත්තරේ…?

නෑ… මිස් කිව්වා “ඇම්ඩන්… පුතා…. මං ඒකට උත්තරේ හෙට කොහෙන් හරි හොයලා කියන්නම් කියලා“…

හ්ම්…. ඒක් මිසක්…  කියලා මං ශේප් වුනා. නැත්තං මේකා මගෙනුත් තව මොනා මොනා අහයිද දන්නේ නෑනේ…!

හැබැයි මිස් දීපු උත්තරේ මට මූ කිව්වේ නෑ… එක්කෝ මිස් උත්තරේ දීලා නෑ… එහෙම නැත්තං පොරට මිස් කියපු උත්තරේ තේරිලා නෑ… මමත් ඉතිං අහන්න ගියේ නෑ. වැරදිලා හරි මගෙන් හරි උත්තරේ ගැන ආයෙම ඇහුවොත් කියලා.

ඊට මාසයකට විතර පස්සේ මූ ආයෙ එනවා…

ටීච ප්‍රශ්නයක් දුන්නා අයියේ… උත්තරේ දන්නේ නෑනේ… කියාගෙන මූන එල්ලගෙන…

ආහ් කියපං බලන්න…

“සුදු පාට දෙයක්… ඒවා ගොඩක් එකතු වෙලා එකතු වෙලා කළුපාට වෙනව“…

මාව නිකං කරකෝල අතෑරියා වගේ… ටිකක් කල්පනා කරද්දි ඔළුවට එන්නේ කුනුහබ්බ… ඒ උත්තර නම් කීයටවත් වෙන්න බෑනේ… ඒක නිසා ඌටම හොයාගනින් කියලා මං ප්‍රශ්නේ ඌටම දුන්නා… “පස්සේ බලමු… අද වැඩ ගොඩක් තියෙනවා බං“ කියලා.

පස්සේ උත්තරේ පොර මට කිව්වා… දැන් ඉතිං ඇම්ඩාගේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවනම් කියන්න බලන්න… ඒ ගමන් අර මෙමරි කාඩ් එකේ ප්‍රශ්නෙත් ටිකක් හිතන්න. –at මට දැන් ඒක ආයෙ මතක් වෙලා නිකං පිස්සු වගේ වෙලා තියෙන්නේ ඔලුව…!

sugv

Glory of a regional historical and sub cultural heritage

රැඩිකල් අදහස්

Think Different, හදවතින් නොව මොළයෙන් හිතන්න!

ශානුගේ බ්ලොග් අවකාශය

ආදරණීයයන්ගෙන් වෙන් වෙලා රන් කහවනු පසුපස යන තවත් එක් ජීවිත කතාවක්.

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

සමනළ විප්ලවය The Butterfly Revolution

(දේශපාලන නවකථාවකි - A political novel)

Dust Tracks on the Web

words and images by Janson Jones

ජනිත් ගේ විකාර කතා .

මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

planetview

Adventures out and about

Phil Kneen Photography

I shoot people...

බූඩිගේ තීරුව | buddie's column

කියවන්න රස විදින්න

Elisa Ruland

Short Takes ~ Life Stuff

Guitarmonk

Guitar classes - Delhi, Noida, Gurgaon, Ghaziabad

නන්නාඳුනනා ඔබගේ . . අත් අකුරින් ලියනු මැනව

අදුරන අයටද ඉඩ ඇත...... චමිල් ප්‍රසාද්

මරුවා

වයසට ගිය කුඩා ළමයින් සඳහා නොවේ.

ටිකිරිමලයාගේ අඩවිය

මේක ඉතින් අච්චාරු බ්ලොග් එකක් .... එකියන්නේ එක තේමාවක් නෑ අහුවෙන එක ලියනවා ... ඔයගොල්ල අහුවෙන එකක් කියවන්න ...!

Looking at the West

A blog by photographer Andrew McAllister

%d bloggers like this: