අරෑ මට ඇන්නනං එහෙම….

දැන් ඉතිං මේ ගෙවෙන්නේ පොසොන් මාසනේ… ඉතිං මමත් ඔය දැන් චූටි චූටි නෝටි වැඩ කලාට පොඩි කාලේ හෙන හුරතල් එකා. බොරු නෙමේ බොල ඇත්ත.  වැඩිය ඕනේ නෑ තුන වසරේ ඉඳන් දහම් පාසලුත් ගියා. ඉතිං හිතා ගන්න පුළුවන්නේ මං කොයි තරම් උපාසකයෙක්ද කියලා….

ඔය දහම් පාසල් ගමනත් මරු. මුලින්ම තුන වසරෙදි එක පන්සලකට ගිහින්, ඒකෙදි කොල්ලෙක්ගේ ඔලුව පලපු නිසා අම්මලා මාව වෙන පන්සලකට දැම්මා. එදා ඉඳන් හැම දාම උදේට මට ෂෝට අන්දලා, ඊට උඩින් සරම අන්දලා ඒ මදිවට බෙල්ට් එකකුත් දාලා තමා යවන්නේ. කියන්න බැහැනේ ඉතිං තියෙන දාංගලේට සරම ගැලවුනොත් එහෙම අහල පහල අක්කලා නංගිලාට නූල් බඳින්නනේ වෙන්නේ…. සරම පුරුදු නැතිවුනාට අවුලක් නෑ… තාත්තා හැමදාම උදේට ගිහිං ඇරලවනවා…. ඊට පස්සේ 12ට ඇවිත් මාව පික් කරනවා….

ඉතිං ඔය දෙවෙනියට ගිය දහම් පාසලේ තමා මං එකොලහ වසරට වෙනකම්ම ගියේ. හරි ආසයි ඉතිං ඒ දවස් වල පන්සල් යන්න. ඇයි කියල නම් අහන්ට එපා, මොකද උත්තර දෙන්න විදියක් නෑ… මේ මගේ ගෑණු ළමයි විරෝදී  සතියනේ… ඒක නිසා. ඉතිං ඔහොම හය වසරට විතර යද්දී… අපිවත් පන්සලේ භක්ති ගීත කණ්ඩායමට තේරුනා. තේරුනා නෙමේ බලෙන් ඇදලා අරං, සවසට සවසට පන්සලට ගෙන්න ගෙන බලෙන්ම භක්ති ගීත කියෙවුවා. ඒ ගමනත් ඉතිං එච්චර අවුලක් නෑ… හැම ඉරිදම සුදු ළමාසාරිය ඇඳගෙන එන අයව වෙන වෙන පාට ඇඳුම් වලින් බලන්න වෙන්නේ ඔය දවස් වලට විතරක් නිසා.

ඉතිං ස්කෝලේ ගිහිං ආපු ගමන් නෑවා…. කෑවා… ඇඳගත්තා… ගියා… ගිහිං ඉතිං නිකං ඉන්නවා කියලයැ… රිංගනවා අස්සකට ඉතිං කියෝනවා ගීත ටික. දවස් දෙක තුනක් කොලේ බලාගෙන කියද්දී අන්තිම දවස වෙද්දී ගීත 6න් තුනාමාරක් විතර පාඩම්. කොහොම කොහොම හරි පොසොන් පෝය දාට තමා භක්ති ගීත පටන් ගන්නේ… එතෙන ඉඳන් දවස් තුනක්…

ඉතිං ඔය භක්ති ගීත කියද්දී අත් දෙක වන වන කියන්න බෑ නොවෙ. ඒක නිසා අපි හදාගන්න ඕනෙ නෙළුම් මල් කූඩුවත් මිටකුත් එක්ක. අලවන්නේ රතු පාටින්. ඔක්කොමත් හරි කියමුකෝ… ඊළඟට තියෙන බැරෑරුම්ම පස්නේ තමා කූඩුව හදන්න බට හොයන එක. අපේ පැත්තේ වෙසක් එකට කූඩු හදන්න බට කැපුවම ආයේ බට වැවෙන්නෙ ඊළඟ වෙසක් එකට. ඒක නිසා අපි කරන්නේ කොහේ හරි ගමෙන් පිට තැනකින් බට හොයන එකතමා.

ඉතිං මේ සීන් එක වෙද්දී මං දහය වසරේ. ඒ දවස් වල ඉතිං බටගහක් අතට ගෙනත් දුන්නත්… ඕක උඹම තියාගන්… කියලා අපිම ගිහිල්ලා අනුන්ගේ වතු වලට පැනලා හොරෙන් තමා බටකපන කාලේ. හෙන චන්ඩිනේ ඒ දවස් වල. ඔන්න ඉතිං මාත් ගියා මගේ ස්කෝලේ යාළුවෙක් එක්ක බට හොයන්න… බට හොයන්න කිව්වට ගියේ තව තව එව්වා හිතේ තියාගෙන…

මගේ යාළුවගේ නම සුරාජ්. පොර පානදුර පැත්තේ. ඉතිං මූ පොඩි දවස් වල ඉඳන්ම මාව අවුස්සනවා උගේ ගම ගැන කිය කිය. පොර වැඩිහරියක්ම කියන්නේ ඌ වෙල දිගේ ගිහින් බට පඳුරු අස්සෙන් රිංගලා ඇඟ කහ කහ කිරල ගස් වලට නැගලා කිරල කඩන හැටි එහෙම තමා. ඒ කතාව කොයිතරම් ඇහුවත් මට එපාවෙන්නේ නෑ…. ඉතිං මටත් හෙන ආසාවක් තිවුනා මූ මේ කියන වෙලයි, බට පඳුරුයි බලාගන්න. ඒක නිසා ඉතිං මං සුරාජ්ට ඇත්තම කතාව කියලා කිව්වා මාව එක්කගෙන පලයන් ඔය මහ ලොකු වෙලයි ගස් වැලුයි බලන්න කියලා. මූත් ගත් කටටම හා කිව්වා…

දැන් ඉතිං වැඩේ හරි. ඔන්න දවසක් දා හවසක ස්කෝලේ ඇරිලා මෑන් එක්ක ගියා උගේ ගෙදරට. ගිහිල්ලා බත් එහෙම කාලා, මාව එක්ක ගෙන ගියා බට කපලා දෙන්න… ඉතිං වෙලා ගාවට ගිහිං මූ මට කියනවා…

උඹ ඔහොම හිටපං… මං ගිහිං බට අත්තක් කපාගෙන එන්නං…. කියලා….

ඇයි බොල ඌරෝ තෝ දන්නවැයි මට ඕනේ බට අත්තේ ප්‍රමාණය… කියලා මං කිව්වම… හා එහෙනං යමං… හැබැයි මග මී හරක් ඉන්නවා… බලාගෙන යමන් කිව්වා.

ඒ දවස් වලත් හෙන පන්ඩිත කමනේ… කියන දෙයක් අහන එකෙක්යෑ… ඉතිං ගියා… සුරාජ් යනවා මට ඉස්සරහින්… ආෆ්ටර් යූ කියලා මං උගේ පිටිපස්සෙන්.

කොහොමහරි අක්කර දෙකක් විතර වෙලක් මැද්දෙන් මාව එක්කගෙන ගියා මුගේ කතා වල කියැවෙන බට පඳුරු ගාවට. දුරට පේනනේ කෑලෑව් වගේ… තද කොල පාටයි….එව්වා තමා බට… මං ඒ වගේ බට ඊට පස්සේ දැක්කේ එකම එක පාරයි, ඒ පේරාදෙණිය මල් වත්තෙන්… මට මතක විදියට එව්වැයි නම යෝධ උණ… උණ බට කිව්වට ඒ බට කොල පාටයි.  ඒ උණ ගහකින් පොඩි නෙළුම් මල් කූඩු සීයක් විතර හදන්න පුළුවන්. තව ඉතුරුත් වෙනවා… මට ඉතිං ඒ තරම් ලොකු එව්වා ඕනේ නැහැනේ… ඒක නිසා පොඩි අඟල් තුනක් විතර වට ප්‍රමාණයක් තියෙන අඩි 4ක විතර කෑල්ලක් කපා ගත්තා. පස්සේ ඉතිං කිරල ගස් බලන්න යනවා නම් මඩ නාගෙන යන්න ඕනේ. ඒ ගමන හෙන ඇඩ්වෙන්චර් ගමනක්. සුරා කිව්ව විදියට උඩින් තනකොල වැවිච්ච මඩ වලවල් එහෙම තියෙනවලු. ඉතිං ඔව්වා අස්සේ රිංගන්න ගිහින් මඩ නාන්න උනාම කව්ද මගෙ ඇඳුම් හෝදන්නේ…? අම්මා ඇඳුම් ටික නම් හෝදයි ඒත් දෙයියනේ අහන්න වෙන බැනුම් ටික….!

ඒක නිසා ඒ අදහස අතෑරියා. පස්සේ ඉතිං ඔන්න ආපහු වෙල මැද්දෙන් එනවා. මෙන්න බොල එනකොට මී හරක් රංචුවක්. ඉස්සරහින්ම එන එකාගේ අං දෙක අංසක 120ක් විතර ඇඹරිලා. හෙන තේජස් පෙනුමයි. මං හිතන්නේ ඌ තමා නාකිම එකා. පස්සේ සුරාජ් කිව්වා…

අඩෝ අරූ එන පොට හොඳ නෑ වගේ දුවන්න බලාගෙන හිටපිය කියලා…

මාත් හා… කියලා බට කෑල්ලත් හයියෙන් අල්ලාගෙන ඉද්දීම….

අපේ අම්මා මගෙන් අහනවා…  තෝ කොහෙද රිංගුවේ… මෙහෙමද බස් එකේ ආවේ…? දැන් කව්ද මේ ඇඳුම් වල මඩ හෝදන්නේ….? වගේ පස්න ගොඩක්…  ඒ අස්සේ මී හරකා කුලප්පු වෙලාද කොහොද ඌ එනවා අපේ පැත්තට… නිකං කාලෙකින් දැක්ක සහෝදරයෝ බලන්න දුවගෙන එන පොඩි මල්ලියෙක් වගේ… ඔය වගේ වෙලාවට අපිත් අරියි…. කකුල් දෙකට වඳින්න නම් වෙලාවක් වුනේ නෑ…. දිවුවා දිවිල්ලක්… අපේ අම්මට ඕනේ දෙයක් කොරගන්න කියලා. … පස්සේ ඕං යන්තං වෙල් නියර දිගේ දුවලා දුවලා ඇවිත් කලිසම දිහා බලද්දී… ෂා… එක මඩ පැල්ලමක් වත් නෑ….

හරී ලස්සනයි… නිකං වටු කුරුල්ලෙක් වගේ…. කලි‍සමේ පිටිපස්සයි, ෂර්ට් එකේ පිටිපස්සයි දෙකම බතික් කරලා වගේ. මට ඉතිං ආස‍ා‍වේ බෑ… ගෙදර ගියාම අම්මගෙන හම්බුවෙන සංග්‍රහය ගැන මතක් වෙද්දී… ආව්… කන් දෙක දැම්මං කූං කූං ගානවා.

ඊට පස්සේ වෙලාවට සුරාජ් ලගේ ගෙදරින් රෙදි කෑල්ලක් පොඟවලා මඩ ටික ලාවට වගේ හෝදගෙන, බස් එකක නැගලා ගෙදර ගියා. ගිය ගමන් මං බලාපොරොත්තුවෙන් හිටි සංග්‍රහය. ඒක ගැනනම් කියන්න බෑ… නිකං මොකටද මංම මගේ මූනේ දැලි ගාගන්නේ… ඒක නිසා හිතාගන්නලා අපේ අම්මා මට බැන්නේ නෑ කියලා හරිය…. අනික ඔය මොනා වුනත් මං අර කතාවලින් අහලා තිවුන බට කැලෙයි… වෙලයි දැක්කනේ… ඒ මදෑ…. ඒත් සත්තලනේ අරෑ මට ඇන්නනං එහෙම…. අපේ අම්මට මේ වගේ වටිනා කියන උපාසක පුත්‍ර රත්නයක් ආයේ හොයන්න වෙයිනේ….

පස්සේ ඉතිං දවස් දෙකක් විතර මහන්සි වෙලා කූඩුව හදාගෙන භක්ති ගීත කිව්ව‍ා. එක දවසක් නම් මොකෑ… දවස් තුනක්…. අන්තිම දවසේ වෙනකොට පන්සලට, අනිත් දවස් දෙකට වැඩිය කට්ටිය එනවා. ඒ නිසා ඉතිං සංදර්ශනය දෙපාරක් තියනව‍ා. හරියට අර මගේ යශෝධරාවට වුනා වගේ. ඒ කියන්නේ අපි භක්ති ගීත හය දෙපාරක් කියනවා. ඒක නම් මහ එපා වෙන වැඩේ අප්පා… ඉතිං අන්න එහෙමයි අපි දහම් පාසල වෙනුවෙන් ඇප කැප වුනේ… දැන් ඉන්න එවුන් ආසාවට පන්සලක් පැත්තේ යනවද…? ඔය කිව්වට මාත් දැනට මාස දෙකකට විතර කලිං ගියාට පස්සේ අද හවසට තමා යන්න හිතාගෙන ඉන්නේ…. අද අන්තිම දවසනේ…. බලමුකෝ අපි කිව්ව විදියටම කට්ටිය කියයිද කියලා….

හැම දෙයක්ම ඉගෙන ගන්න…

“හැම දෙයක්ම ඉගෙන ගන්න…” මේ පඬි වදන නම් මහා ලොකු පණ්ඩිතයෙක් කිව්ව එකක් නෙමේ. මගේ පණ්ඩිත පියාණන් තමයි හැම තිස්සෙම මේක කියන්නේ….

ඉතිං ටිකක් කල්පනා කරලා බැළුවම මේ කියන කතාව ඇත්ත. මොකද අපේ තාත්තා පොඩි කාලේ ඉඳන්ම අපි මොකක් හරි අන්ඩපාල වැඩක් කලාම, ඒ කියන්නේ අරං දීපු සෙල්ලං බඩුවක් කෑලි කරාම, රේඩියෝ එකක් ගැලෙව්වම එහෙම කවදාවත් අපිට බැන්නේ නෑ. අපි කිව්වේ මටයි මල්ලිටයි. හැමදාමත් අපි ඔය වගේ දෙයක් මකබාස් වැඩක් පටන් ගත්තම අම්ම කොච්චර කෑගැහුවත් තාත්ත අපිව ධෛර්‍යමත් කලා අපි කරගෙන යන වැ‍ඩේ දිගටම කරගෙන යන්න. ඒ එක්කම අම්ම තව තව ගෝරි දාන්න ආවොත් අම්මටත් කරුණු පැහැදිලි කරලා දීලා අම්මගේ සහයෝගයත් අපිට ලබාදුන්නා.

ඇත්තටම ඒ කාලේ හරි සුන්දරයි. අපි මොකක් හරි වැරද්දක් කරලා අම්මගෙන් බැනුම් අහන හැම වෙලාවකම තාත්තා අපිට කිව්වේ… ඕනේ දෙයක් කරපල්ලා, හැබැයි පරිස්සමින්… ඒ එක්කම ඒ කරපු දෙයින් යමක් ඉගෙන ගනිල්ලා කියලයි. අනේ මන්දා මට නම් ඒ දේ නිකංම කෙරෙනවා. සමහර විට අපි තාත්තාගෙ කටේ බලේට එහෙම හැඩ ගැහුන නිසා වෙන්න ඇති.

ඇත්තටම එදා තාත්ත කිව්ව දේ අපිට තේරුනේ නෑ. ඒත් වයසින් මෝරන්න මෝරන්න කිව්ව දේ ටික ටික පැහැදිලි වුනා. තාත්තා අපිට කිව්වේ හැම දෙයක්ම ‍ඉගෙන ගන්න කියලා. අපිට හොඳ දේම ඉගෙන ගන්න කියලා විතරක් සීමා පැනෙවුවේ නෑ… ඇත්තටම තාත්තා දන්නවා හැම හොඳ නරක දෙයක්ම අපිට කවද හරි ඕනෙ වෙන බව.

ඒ හැම දෙයක්ම කියලා එදා අදහස් කලේ අපිට පුළුවන් තරම් අත්දැකීම් වලින් සන්නද්ධ වෙන්න කියන එකයි. මං මුලින්ම බියර් එකක් බීපු දවසේ තාත්තට ඒක කිව්වට මට බැන්නේ නෑ… කිව්වේ… දැන් බියර් එක මොන වගේද කියලා දැනගත්තද කියලා…? විතරයි.

ඒක නිසා මට, මං හිතන විදියට ගොඩක් දේවල් ගැන විවෘතව බලන්න පුළුවන් වුනා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සමහර වෙලාවට වෙන කාටවත් නොලැබෙන අත්දැකීම් පවා මට ලැබුනා. ඒ හැම දෙයක්ම ලැබුනේ මගේ ජීවිතයට. කවුරු කිව්වත් මොකක් හරි දෙයක් කරන්න එපා කියලා… මට ඒක කරනකං නින්දක් නැති වුනා. ඒ දේ මුලින්ම නම් කරන්නේ මං ඒ වෙලාවට ලඟ ඉන්න කෙනා එක්ක රංඩු වෙලා හරි මට අවශ්‍ය අත්දැකීම් වින්දා.

2002 විතර නෙස්ටොමෝල්ට් අනුග්‍රහයෙන් තිබුනා මැරතන් එකක්. පානදුරේ ඉඳන් බණ්ඩාරගමට. මට ආසා හිතුනා ඒකට සහභාගී වෙන්න. අම්මා මට බැන්නත් එක්ක හාල් මැස්සා වගේ ඉඳගෙන මොන මැරතන්ද කියලා…. මං කොහොමත් ඒ දවස් වල ස්කෝලේ මීටර් 100, 200 කරනවා. දුර දුවලා තිබුනෙම නෑ. ඒත් තාත්තා… මට කැන්වස් සපත්තු දෙකකුත් ගෙනත් දීලා… මාව සූදානම් කරා මැරතන් එකට. තරගෙට සතියක් තියලා හැමදාම උදේට මාව ‍දිවෙව්වා. එයා බයිසිකලෙන් පස්සෙන් එනවා. මං දුවනවා. හෙන හීතලේ… සමහර දාට වැස්සත් එක්ක. ඒ දවස් පහ හය නම් මට අමතක වෙන්නේ නෑ…

ඊට පස්සේ මැරතන් දවස ආවා. මුළු දුර කිලෝමීටර් 15ක්. ඇත්තටම මට සැකයි…. මට ඒ තරම් දුරක් දුවන්න පුළුවන්ද කියලා. කොහොමහරි තාත්ත මගෙත් එක්ක හිටිය නිසා මං දිව්වා. අපි ඔක්කොමලා 1000ක් විතර දුවන්න ඇති. මං තරඟය ඉවර කලේ 998 විතර වගේ. අන්තිමේ මට හම්බුනේ නෙස්ටොමෝල්ට් කප් එකක් විතරයි.

ඒත් මට ඒ හම්බුන අත්දැකීම ගැන නම් කියන්න චවන නෑ. දුර දුවද්දී වතුර පාරක් ඇඟට වැදුනම තියෙන ෆිට් එක. ඒ වගේම කන්දක් නැගලා ඉවර වුනාම තියෙන සන්තෝසේ… තව කාව හරි පාස් කරගෙන ඉස්සරහට ඇදෙන කොට හිතට දැනෙන ආඩම්බරේ වගේ ගොඩක් දේවල් මං ඒ තරඟයෙන් ඉගෙන ගත්තා.  ඇත්තටම තාත්ත අපිව ධෛරමත් කරපු නිසා තමා ඒ. තාමත් එහෙම්මයි… මොකක් හරි අළුත් වැඩක් කරන්න ගත්තම එයාගේ අත්දැකීම් වලින් අපිට පුළු පූළුවන් විදියට සපෝට් එක දෙනවා.

ඊට පස්සේ  තව තව දේවල් කරන්න මට ආසා හිතුනා. ඇත්තටම කටක් ඇරලා කියන්න බැරි දේවල් පවා මං කරා. ඒත් ඒ හැම දේකින්ම අත්දැකීමක් ලබාගන්න හිතෙන් මිසක්, ඇබ්බැහි වෙන අරමුනකින් නෙවේ. සමහරු කියනවා එක සිකරට් එකක් බිව්වම හැමදාම ‍බොන්න හිතෙනවා කියලා. මං නම් කියන්නේ ඒක බොරුවක්. මං මුලින්ම සිකරට් එකක් බීලා ඊට පස්සේ ආයෙ එකක් බිව්වේ තවත් අවුරුදු 4කින් විතර. ඇත්තෙන්ම මං මුලින්ම සිකරට් බීපු දවසේ මට ඇතිවුන කැස්ස, දුම් ගඳ වගේ දේවල් මට තවම මතකයි. ඒවා මගේ අත්දැකීම් ලැයිස්තුවට ඇතුල් වෙලා තියෙන්නේ.

ඉතිං මම අනිත් අයටත් කියන්නේ තමන්ගේ සීමාවක ඉඳලා පුලුවන් තරම් අත්දැකීම් එකතු කරන්න. ඒවා කවදාවත් අප‍තේ යන්නේ නෑ… හැම වෙලාවෙම අළුත් දෙයක් කරන්න ට්‍රයි කරන්න..මගේ පණ්ඩිත පියතුමන් කිවුවා වගේ හැම දෙයක්ම ඉගෙන ගන්න. ඇත්තටම ඒ ඉගෙන ගන්න දේවල් කවදාවත් අපතේ යන්නේ නෑ… කොයි වෙලාවක හරි අපිට වැදගත් වෙනවා.

ඒ වගේම සමාජය වැරදියි කියලා තීරණය කරලා තියෙන දේවල් වල නම් අත්දැකීම් ගන්න යන එක තීරණය කරන්න ඕනේ අදාල කෙනාමයි. මොකද සමාජය විසින් ඒවා නරකයි කියන්නේ අපිට කලින් කවුරු හරි ඒ අත්දැකීම් විඳලා තියෙන නිසානේ. ඒකෙන් කාට හරි හානියක් වෙන නිසානේ. ඉතිං පුළුවන් තරං ඒ වගේ දේවලින් නම් ඈත් වෙන්න. නරක දේවල් ඇරෙන්න කොයි තරම් හොඳ අත්දැකීම් ලබාගන්න පුළුවන්ද මේ ලෝකේ… ඒවට යොමුවෙන්න. නිවාඩුවක් තියෙන හැම වෙලාවකම අළුත් දෙයක් කරන්න. ඒ හැම දේකින්ම පොඩි දෙයක් හරි ඉගෙන ගන්න. ඊට පස්සේ අපිට ඒ වගේ අවස්ථාවක් ආවම අපි දන්නවා කරන්න ඕනේ දේ… එහෙම නේද…?

ඒ වගේම… ඔය පුතාලා දුවලා ඉන්න තාත්තලා අම්මලා ඉන්නවනම්, ඒ අයත් තමන්ගේ පොඩි එවුන්ට අත්දැකීම් විඳින්න දෙන්න. ඒ ගමන්ම එයාලා පිටිපස්සෙන් ඉන්න, කරන්නේ මොනාද කියලත් බලන්න එපැයි. මොකද අපේ කාලෙට වැඩිය දැන් ඉන්න පොඩි එව්වෝ හෙන ඇඩ්වාන්ස්. කතාවට ගියොත් එහෙම අපි දන්න මගුලක් නැති ගානට තමා ‍පුංචි එවුන් හරි අපුරුවට වචන එකතු කරන්නේ…

බබා වේල්ල බලන්න ගිය හැටි….

අද නම් ඕං හුරතල් කතාවක්. අර සමහර තැන් වල තියෙන්නේ සූර තල් මසුන් විකිනීමට ඇත…. කියලා. අන්න ඒ වගේ.

‍අර දඟකාර, නිර්භිත පොඩි පැටියෙක් ගැන කිව්වේ මතකද…? අර නර්ස් ආන්ටිට ත්‍රස්තවාදි ප්‍රහාරයක් එහෙම එල්ල කලේ… අන්න ඒ පොඩි බබා එයාගේ අම්මත් එක්ක ට්‍රිප් එකක් යන්න ලෑස්ති වුනා. එතකොට බබාට වයස අවුරුදු 3ක් විතර ඇති. ඒ දවස් වල නම් පූස් පැටියා වගේ අහිංසකයි. දැන් තමා… කෙල්ලෙක් ලඟින් යන්නේ නෑ බයයිලු. කොහොමත් ඒ දවස් වලම අම්මා කිව්වා, ඉෂාරා අක්කා අතේ හුරතල් වෙද්දී… මූ ලොකු වෙද්දී මීයෝ දෙන්නා දෙන්න අල්ලයි කියලා… අනේ ඉතිං පොඩි එකාට ඔව්වා ඒ දවස් වල තේරුනේ නැහැනේ…

ඔන්න ඉතිං පුංචි පැට්ටා ඇඟිලි ගැන ගැන බලන් හිටිපු දවස උදා වුනා. ඒ තමා අම්මයි අනිත් අක්කලයි එක්ක ට්‍රිප් එක යන එක. අර ඇඟිලි ගැනපු කතාවක් කිව්වනේ… ඉතිං ඔය ට්‍රිප් එකක් යනවා කියලා දැනගත්ත දා ඉඳන් පොඩි එකාගේ වැඩේ මනෝ පාරක් දාගෙන ට්‍රිප් එක ගැන හිතන එකලු. ඉතිං ඔහොම බැරූරුම් දෙයක් ගැන හිතද්දි හපන්නත් මොනා හරි තිබ්බනම් කෝමද..? පොඩි එකාට ඉතිං හපන්න දෙයක් අම්මගෙන් ඉල්ලන්න බැහැනේ… ඒක නිසා ඉතිං ඒකත් බබාම කරගත්තලු. කොහොම හරි බබාව ට්‍රිප් එකට කලින් දවසේ නියපොතු කපන්න හොයද්දී මුගේ නියපොතු නෑ… අර මනෝ පාර අස්සේ මූ ඒ ටිකට තමා වැඩේ දීලා තියෙන්නේ…

ඉතිං ඔන්න කෝම හරි බාබවයි අම්මවයි උදේ පාන්දරම තාත්ත ගෙනත් බැස්සුවා බස් එක ගාවට. පස්සේ ඉතිං අම්මා කොලු පැටියාව දුන්නා අක්කා කෙනෙක් අතට. වෙන කාගෙවත් අතට යන්නේ නැහැනේ ඉතිං… ඒක නිසා ඉෂාර අක්කා අතටම තමා. එතෙනින් එහාට වෙන එව්වා කියන්න ඕනේ නැහැනේ… බබා චුට්ටක් කලු නිසා හොඳා… නැත්තං ඉතිං කම්මුල් දෙක රතු වුනාම අම්මා දැක්කොත්….!

පස්සේ දැං ඕං ගමන යනවා…. බස් එක ඇතුලේ එක විකාරයයි. සිංදු කියනවා, අප්පොඩි ගහනවා… තාලම්පටකුත් කොහොන්දෝ මන්දා වදිනවා. ඉතිං පොඩි කොල්ලා කරන්නේ අම්මගෙයි ඉෂාර අක්කගෙයි මැද්දෙ… සීට් එකේ හිටගෙන උගේ චූටි ඇස් දෙකෙන් වටේටම ස්කෑන් කරනවා. දැන් නම් ඉතිං රබර් ඇහැ දාන්නේ වෙන දේකට වුනාට එදා හෙව්වේ ස්ලිං ස්ලිං සද්දේ එන්නේ කොහෙන්ද කියලා… තාලම්පට තියෙන තැන අන්තිමේ හොයාගත්තා. පස්සේ ඉතිං ඒක ඌට දෙන්නත් වුනා….

ඔහොම ගිහිං ගිහිං මෙන්න කට්ටියම ආවා වික්ටෝරියා වේල්ල බලන්න. ඉතිං ඒ යන පාරේ අයිනේ ලස්සනට මල් වවලා. පස්සේ ඉතිං ඔන්න කොල්ලට ලඟ පාත ඉන්නේ කෙල්ලෝ මල් කඩලා දෙනවා. සීතලට හැදෙන මල්නේ… පාට පාට.. එක එක සුවඳ…. ඉෂාර අක්කනම් කරන්නේ මල් ගත්ත ගමන් පුංචි එකාගේ කන උඩින් ගහනවා.. ඉකේ… මාර ලැජ්ජාව එතකොට. හරියට නංගි කෙනෙක් වගේ කියන්නේ… තාම බබා ගාව තියෙනවා කහපාට මලක් ගහලා ගත්ත පොටෝ කෑල්ලක්. එව්වා ඉතිං මේවෑ දාන්න බෑ නොවැ.

ඕං ඊට පස්සේ යාන්තං කිට්ටු කොලා වේල්ලට. අම්මට හුඩු අන්න තියෙනවා එල භාන්ඩයක්. බබාට සෙල්ලං කොරන්න කියාපු භාන්ඩේ… චූටියි… හුලුබුහුටියි… සෝයි… අනේ අම්මේ මට අරක ඕනේ… අනේ අනේ…. මට අරක අරං දෙන්න…. කියලා මෙන්න මූ විලාප තියනවා….

මොකද්ද…

අල තියෙන්නේ අම්මේ… අල කාපාට….

කොහෙද පැටියෝ…

අල තියෙන්නේ අනේ…. අල පාල උඩ…

ආච්චිට හාල් ගරන්න මූ ඉල්ලන්නේ අර පෙරිය සයිස් ක්‍රේන් එක නේද දෙයියනේ… කියලා බබාගේ අම්ම හිතුවට කිව්වේ නෑලු.

ඒක අපිට ගන්න බෑනේ පුතේ… ඒක කොහොමද ගන්නේ…

ඇයි අනේ… ඒක චුටියිනේ…

ඒ ඔයාට පේන හැටි… ඒක ගොඩක් ලොකුයි පුතේ…

අනේ… බෑ… බෑ… ඒක ඕනිමයි…. ඉහි…ඊ…. ඊ…..

දන්නවනේ පොඩි බබාලා බොරුවට අඩන හැටි. මූන බෙරි කරගෙන, තොල් දෙක අනිත් පිට හරෝගෙන… අත්දෙකෙන් චූටි ෂොට් දිදී… ඒත් කඳුළු නැතුව….

දැන් ඉතිං කෝමද මුගෙන් බේරෙන්නේ කියලා හිත හිතා බබාගේ අම්මා ලතවෙනවලු… අනේ දැං කොල්ලත් නිකං අඩන සයිස්ලු. ‍පොඩි එවුන් දන්නවැයි පර්යාවලෝකනය ගැන. දැන් ඉන්න සමහර අලියොත් නොදන්න කොට. ඉතිං කොලුවාට හි‍ෙතන්නෙම අර වාහනේ චූටි‍යි කියලා… ඊටත් හෙන හොට් කලර් එකක්නේ…ආසා හිතෙන්නේ නැද්ද ඉතිං… අනික ඔය කොල්ල ඉස්සරත් දැං වගේමලු හෙනම මුරන්ඩු කොල්ලලු. දැන් නම් ලඟදිම දවසක කොල්ලව ගෙදරින් පන්නන සම්භාවිතාව සෑහෙන වැඩියිලු.

ඊට පස්සේ…. ඒ වගේ එකක් ඔයා ලොකු උනාම ගන්න. දැන් අම්මට ඉන්න දීලා එන්න මෙහෙට… කියලා අර මෝඩ අක්කා අත් දෙක දික් කලාම කෝමද දෙයියනේ නොගිහින් ඉන්නේ… බෝනස් හාදුත් හම්බුවෙනවනේ….

අනේ ඉතිං කොල්ලා ක්‍රේන් එකේ හීනය අතෑරලා ගියාලු අක්කාගේ අත් දෙකට… ඒ ගියා… ගියාමලු අද වෙනකං ඊට පස්සේ වික්ටෝරියා වේල්ල බලන්න යන්න බැරිවුනාලු. දැං ඉතිං කෝමද බොල මං ඒ ක්‍රේන් එකෙන් සෙල්ලං කරන්නේ‍‍‍…? මේ ලඟදී හම්බුවෙච්ච පින්තූර වගයක් නිසා බබාට ඔය කතාව ආයෙම මතක් වුනා. ඒක නිසා ඕං හුදී ජන හිත සුව පිණිස ලියලා දැම්මා… අර බබාගේ අම්ම හිතුව වගේ මටත් දැං හිතෙනවා මෙහෙම…

ආච්චිගේ රෙද්ද කොහොමද යකෝ මේක හුදී ජන හිත සුව පිණිස වෙන්නේ…! මාත් ඉතිං ඕක හිතුනට අහන්න යන්නේ නෑ… නිකං ලියනවා විතරයි. ඒකයි පස්නාර්තේ නැතුව ආශිර්වාද ලකුණ දැම්මේ… නිකං මොකටද ඉල්ලං කන්නේ…?

 

වතුර වෙනුවට ගිනි වතුර බොන අවුරුදු උත්සවය…

හෙට තමා අපේ ඔෆිස් එකේ අවුරුදු උත්සවේ… ඉතිං මමත් යන්න කියල තමා හිතාන ඉන්නේ… බලමුකෝ…

ගිය පාරවල් වල වගේම මේ පාරත් මේ අවුරුදු උත්සවේ… සිරාම විනෝදජනක ලෙස අපිට සහභාගී වෙන්න පුළුවන් වෙයි. ක්‍රිකට් මැච් එකේදී මහන්සි වුනාම වතුර වෙනුවට අරක්කුයි… බිත්තර අල්ලන්න ගියාම ඉස්සරහා එකාව තල්ලු කිරීමේ සීන් එකයි මේ පාරත් තියෙයි.

ඊට අමතරව මාත් හිතාගෙන ඉන්නවා කඹ ඇදිල්ලට සහභාගී වෙන්න… සයිබර් අවුරුදු උත්සවේ වගේ හැමෝටම සාධාරණ කඹ ඇදීමේ තරඟයක් පවත්තන්න එතකොට අපිටත් පුළුවන් වේවි…

දන්නවද … අපේ එච්.ආර් එකේ… අර මාත් එක්ක ඩෙල්ටා ෆෝස් ගහන වැස්සිත් එනවා කිව්වා… මම තිරණය කොරලා තමා තිබුනේ අවුරුදු උත්සවේට නෑවිත් ඉන්න. ඒත් ඉතිං… ඒ හුරතලේ මතක් වෙද්දී නෑවිත් කෝමද…? ඒ කියන්නේ කොල්ලා මේ පාර අවුරුදු උත්සවේට යන්නේ වැස්සි එක්කද…? අනේ මංදා… මට හිතෙන එව්වා…. යශෝධරාව ඔව්වා දැනගත්තොත් එහෙම…

අනේ අම්මේ…. මේ බලන්න… මෙයා තව කෙල්ලෙක් එක්ක අවුරුදු උත්සවේ බලන්න ගිහිං…

එත‍කොට ඉතිං මං කුමාරයට තවත් නඩුවක්. ඒකත් මගේ අවාසියට තමා විසඳෙන්නේ… ඒක නිසා මං හිතාගත්තා උදේ පාන්දරම ගිහිං යශෝධරාවට කතා කරලා මං අවුරුදු උත්සවේට යනවා.. ඔයා එන්නේ නැහැනේ….? කියලා පස්නයක් යොමු කරලා එන්න… එතකොට කියයි…

පිස්සුද… මට වැඩ තියෙනවා… ඔයාත් එක්ක මගුලේ යන්න වෙලා නෑ… කියලා…

ඒ වචන ටික ආවා කියන්නේ කොල්ලට පර්මිෂන් ලැබුනා වගේ තමා. අනේ එහෙම වුනයි කියලා ඒකි ගැන තියෙන ආදරේ නම් බිංදුවක් වත් අඩුවෙන්නේ නම් නෑ… (කොහොමත් ඉතිං බිංදුව අඩුකොරන්න බෑ නොවැ) මං කෝමත් ගොඩක් දුකින් ඉන්නේ එයා මාත් එක්ක කිසි දේකට එන්නේ නැති නිසා….එයත් දන්නවා ඒක.

දන්නවැයි තව දෙයක්…? මේ ලඟදී අපේ ඔෆිස් එකේ තිබ්බා ධර්ම දේශනයක්. වැඩම කලේ දොඩම්පහළ රාහුල හාමුදුරුවෝ. ඉතිං එදා… බන අහන්න යන්න කියලා මාත් වැස්සි කිට්ටුවට වෙලා එච් ආර් එකේ ඉද්දී… ධනුෂ්ක කියලා මගේ යාළුවෙක් අරගෙන ආවේ නැතෑ සිරිවට පිපුන හෙනම ලස්සන නා මලක්… දැං පොරට ඕනේ ඒකෙ ෆොටෝ එක් ගහලා වයිපරේට පෙන්නන්න. (මං එදයි දැනගත්තේ උගේ වයිපරේ ලංකාවේ නෙමේ කියල… නැත්තං ඉතිං නා මල් දැකල නැතුවයෑ) ඉතිං මාව තාම හැම දාමත් වගේ පොටෝ ගැහැල්ලට නිතරඟෙන්ම මාට්ටු වෙන්නේ… ඉතිං මාත් නා මල පොටෝ එකක් ගන්න කියලා මේසෙ උඩින් තිබ්බම… මෙන්න බොල කොහෙන්දෝ මන්දා සෝස පාට පුංචි දිග ඇඟිලි වගයක් මල් පෙති වල දැවටෙනවා… අන්තිමේ නාමල් පෙත්තයි ඇඟිලි තුඩුයි හොයාගන්න බැරි තරමට කැමරාවත් මඤ්ඤං වෙලා… ෆෝකස් කලාම ෆෝකස් වෙන්නේ ඇඟිලි වලට. ඒත් මං හිතුවේ නා මල බලන්න දිව්‍යාංගනාවක් වත් ඇවිද්ද කියලා…

මොන… දිව්‍යාංගනාවක්ද … ඒ අපේ වැස්සී. පස්සේ ඉතිං නා මල එයාගේ අතට දීලා පොටෝ එක ගන්න ලෑස්ති වෙලා කැමරා කාචෙන් පුංචි සිනිදු අල්ලේ ලස්සන බල බල ඉද්දී… අපේ අයියලා දෙතුන් දෙනෙක් එනවා දැකලා…

අපෝ… පස්සේ ගමු… නැත්තං මට කාඩ් එකක් ගහ ගන්නයි වෙන්නේ… කියලා වැඩේ නතර කලා… ඒත් ඒ වෙනකොටත් මං ප්‍රමාදයි කියලා දැනගත්තේ ඊට පස්සෙන්දා ෆැක්ටරිය මැදින් යද්දී… ඒයි… නාමල් ගාලා සුපුරුදු හඩකින් මට අමතනව ඇහුනට පස්සෙයි… ඉතිං කෝම හරි අන්තිමට පොටෝ එක ගන්න බැරිවුනා…

ඉතිං හෙට වැස්සි ආවම මොන වෙයිද කියලා දන්නේ දෙයියෝ තමා. හෙටත් සය සාමාජික ක්‍රිකට් තරඟේ තියෙනවා. මැරතන්, මීටර් 100, සතය සෙවීම… බනිස් කෑම… (සීනි බනිස් නෙවේ) බිත්තර ඇල්ලීම… කඹ ඇදීම… අනුමත වීම… ආහ් වැරදුනා… ඒක මේ ගොඩට නෙමේනේ…

ඉතිං ඔහොම යද්දී ලොක්කන්ගේ වාහන වල පිටිපස්සේ රජ මගුල්. ලෝකේ තියෙන ඔක්කොම බිම ජාති ඒවයේ තියෙනවා. අනික අපේ හිටිය ලොකු මහත්තයෙක් දැන් බියර් කොම්පැනියක වැඩ. ඒ නිසා ඉතිං මටත් ටිකක් සරුයි හෙට… ඒ වුනත් මේ වෙසක් මාසනේ… අනික ගෙදර යන්නත් එපැයි… එහෙම හිතලා බියර් බෝතල් දෙකකට වැඩිය නොබී ඉන්න කියලා මං තීරණය කොරං ඉන්නවා…

අනේ මගේ හැඳුනුම්පත…(වීසා නැති ඉතියෝපියානුවා…)

දැන් ඉතිං කීපදෙනෙක් දන්නවනේ ගෝල්ඩ් fish ගේ හැඳුනුම්පත ඇතුළු තවත් වටිනා කියන දේවල් ටිකක් එක්ක උගේ පර්ස් එක ඩිස් මිස් වෙලා කියලා…

දැන් ඉතිං හිත් කොනින් හිතන්න එපා ඕකට හැඳුනුම්පතක් තිබුනද කියලා… තිබුනා … තිබුනා… ග්‍රී ලංකා ආණ්ඩුවෙන් නිකුත් කරපු ජාතික හැඳුනුම්පතක් තිබුනා. ඉතිං මැයි දෙවෙනිදා හවස ඉඳන් ඒක නෑ…. ඒ විතරක් නම් කමක් නෑ… මගේ ඔය පොඩි පොඩි අවශ්‍යතාවලට ඕනෙ වෙන මුදල් ගන්න තිබුන බැංකු ඩෙබිට් කාඩ් එකයි… ඩ්‍රයිවින් ලයිසන් එකයි… ඔෆීස් එකේ අයි ඩී එකයි.

ඉතිං ඔය ඔක්කෝම නැතිවෙලා කියලා දැන්ගත්තේ 3 වෙනිදා උදේ. සනීපයි නේ…. ඊට පස්සේ ඔෆිස් යන්න කියලා ලෑස්ති උන ඇඳුම් මාරු කරලා ගියා පොලෝසියට… හැඳුනුම්පත නැතිවුනා කියන්න…. මොකද නැත්තං ඉතිං මං පාරට බැහැල හමාරයි. දකින දකින එකා හිතන්නේ මං ඉතියෝපියාවෙන් ලංකාවට සංක්‍රමනය වූන එකෙක් කියලනේ ඒකයි. ඒ තරමට කොල්ලා සුදුයිනේ…. ඉතිං ඔය චෙක් පොයින්ට් එකකට එහෙම අහුවුනොත් බේරිලා යනවා බොරු… අනිවා ඩෙෆා අනිත් මොකාගෙන් කෙසේවෙතත් මගේ හැඳුනුම්පත බලනවාමයි. දැන් ඉතිං ඒකත් නැහැනේ… ඒක නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුවට කියලා මාව අත්අඩංගුවට ගනියි. ඊට පස්සේ මගේ වීසා හොයයි… සංචාරක වීසාද… බිස්නස් වීසාද අරක‍ද මේකද ඔක්කොම හොයයි… ඇයි ඉතිං මං ඉතියෝපියානු සංචාරකයෙක් වගේනේ ඔක්කොටම පේන්නේ….

 කොයි තරම් සිංහලෙන් කතා කරත් විශ්වාස කරන එකක් නෑ,… හික්… මට මැවිලා පේනවා…. පොලිස් කාරයෙක් මාව අල්ලගෙන ප්‍රශ්න කොරනවා…

 තෝ කොයි ප්‍රදේශයෙන්ද ආවේ….

 අනේ රාළහාමි මං ලංකාවේ ශ්‍රේෂඨ පුරුවැසියෙක් බං…. තාම ජ්‍යෙෂ්ඨ වුනේ නෑ… යන්න දියංකෝ මට… චූත් බරයි… මොනාද බං….

 පස්සේ ආයෙම රාළහාමි කියයි….

 පිස්සු කෙලින්න එපා… උඹ ඔයතරම් හොඳට සිංහල පුරුදු වුනේ කොහෙන්ද… ඇත්ත කියපං නැත්තං දඩුවම සැරයි….

 මොන මගුලක්ද යකෝ…. මං සිංහල පුරුදු වු‍නේ අපේ අම්මගෙනුයි තාත්තගෙනුයි … බොරුනම් ගෙන්නලා අහපිය…. වල් හෝතම්බුවා…

 අඩෝ තෝ ගාව වීසා තියෙනවාද…. ආයෙත් රාළහාමි අහනවා….

මොන වීසාද බං… ලංකාවේ උපන් මට… අන්න උප්පැන්නේ නම් ගෙදර තිබ්බා… ඕනෙ නම් පොටෝ කොපියක් ගෙනත් දෙන්නම් … දැන් යන්න දියං යකෝ…..

 මොකද්ද පරය උඹ කිව්වේ…. උඹ ලංකාවේ උපන් එකෙක්….

 ඔව් බං… මේ බලපං….

 හා හා…. ඕක එලියට ගන්න එපා… ඕකෙන් කොහොමද උඹ ලංකාවෙද කියලා හොයන්නේ….?

 එහෙනං නරියෝ මං වෙන අහවල් එකක්ද පෙන්නන්නේ… මට ජාතියෙන් ජන්මයෙන් උරුම වුනේ ඔච්චරයි… ඉතිං මෙච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ…. තම්බි වුනානම් මේකත් නෑ යකෝ….

 ඔන්න ඊට පස්සේ … ‍

 හා… හා… පුතා යන්න… පුතා ලංකාවේ තමා…

 ඒකෙනේ ගොන්ටෝ කිව්වේ….

 පුතා… මෙන්න මේ පැත්තේ ටොයිලට් එක… චූ බරයි කිව්‍වනේ….

 හික්…. එතනින් මාරු වෙලා ආවා… දැන් හරි…

 ඉතිං මං ඊයේ දවසම ගෙව්වේ පොලිසිගානේ තමා… මොකද එක පොලිසියකින්වත් මගේ හැදුණුම්පතයි පර්ස් එකයි නැතිවුනා කියලා පැමිණිල්ල ලියන්න බැහැ කිව්වා. අර කලින් එක තමා සීන් එක‍. උං හිතන්නේ මං තව දුරටත් ඉතියෝපියානු ජාතිකයෙක් කියලා… පස්සේ ගම්බට්ටියෙක් ගෙන් ඇහුවම…

 මේකනේ මල්ලෝ…. පොලිස් පොතේ අයිඩන්ටිය නැතිවුනා කියලා ලියන්න ඕනේ නම්… ග්‍රාම සේවකට කියලා පදිංචිය සනාථ කරලා ලියුමක් ගේන්න ඕනේ….

 දැං ඉතිං කාලා වරෙන්කෝ… ආයේ ගියා ග්‍රාමසේවකව හොයන්න… ඒ උත්තමාවිය අපේ ගමේ එකෙක් ‍නොවෙයිලු… ඉතිං උන්දෑ එන්නේ සඳුදායි සිකුරාදයි විතරලු….

 දැන් ඉතිං තවත් ෂනීපයි…. මං ආයෙම පොලිසියට ගිහින් කිව්වා….

 අනේ සුදු අක්කියෝ…. ග්‍රාමසේවක ගෑණි මගේ පදිංචිය අනාථ කරලා ගිහිං… ආයේ එන්නේ සිකුරාදා ඒ වෙනකම්… මං ශ්‍රී ලාංකිකයෙක් කියලා ඔප්පු කරගන්න ලියුමක් ඉල්ලා දියං බං කියලා…

 මේකි කියනවා… එහෙම බෑනේ පැටියෝ…. (අනේ පල පල යන්න… පොලිස් අක්කලා එහෙම කතා කරන්නේ නෑ… කියලා කස්ටිය කියනවනම් ඒ ඉරිසියාවට) ඔයා ඉතියෝපියාවෙන්ද කියලා අපි කොහොමෙයි දන්නේ…

 ඒක තොගේ අම්මගෙන් අහගනින් කියලා මං එන්න ආවා….

 පස්සේ ගියා වෙන පොලිසියකට…. එතෙනත් පට්ට ආතල්….

 පොරවල් දෙකක් ඇවිත්. එකෙක් ගෑණියෙක්ගේ නිත්‍යානුකූල සුවාමියා… අනිත් එකා ඇඩ්මින්ගේ ෆයර් වෝල් එකෙන් රිංගලා හොරෙන් සිස්ටම් එක පාවිච්චි කරලා මාට්ටු වෙච්ච එකෙක්… අයිතිකාරයා කියනවා… මගේ ගෑණි මේ මිනිහා එක්ක සම්බන්ධයක් තියෙනවා…

 අනිත් හොර බුවා කියනවා… අනේ බුදු සෑර් …. සත්තයි දෙයියම්පා… ඇඩ්මින්ගේ ඔලුවේ අත තියලා දිවුරලා…. මේ ගල් මූසලයා පල්ලා එහෙම එකක් තිබ්බේ නෑ සෑර්…

 පස්සේ රාළහාමී අහනවා…

 එහෙම එකක් කිව්වේ… කොහොම එකක්ද…?

 සම්බන්ධයක් රාළහාමි…

 එහෙනං කෝ මේ මිනිහාගේ ගෑණි….?

 මං කොහොමද දන්නේ….

 පස්සේ ඇඩ්මින් කියනවා… රාළහාමි මූ මගේ ගෑණිව හංගගෙන ඉන්නේ…

 අරූ…. නෑම කියනවා….

 ඉතිං ඔය දෙබස පැයක් විතර ගියා. මට බැංකුවට යන්න ඕනෙ නිසා මං පොලිසියේ වැඩේ පැත්තක තියාල ආපහු ආවා. ඒ එනගමන් මට හිතුනෙම‍‍‍‍ මොකද යකෝ හොර බුවයි ඇඩ්මිනුයි දෙන්නම ඉද්දී ගෑණි නැත්තේ කියලා…. සමහරවිට තවත් අයිතිකාරයෝ ඉන්නවද දන්නෙත් නෑ,.. මේ කතාව නම් ඇත්තම ඇත්ත එකක් ඕං… පව් අහිංසක කොල්ලෝ දෙන්නා… එකෙකුට 20යි… ඌ තමා හොරා…. ඇඩ්මින්ට 24යි… කෙල්ලට කීයද මන්දා…

 ඊට පස්සේ ඕං හොඳටම හන්ටර් වෙලා ගෙදර ඇවිත් කාලා බුදිය ගත්තා. හතරට විතර නැගිටලා ගියා පානදුරේ. මොකද ඉතිං හෙට ගෙනියන්න පර්ස් එකක් ගන්න එපැයි. දාන්න නම් දෙයක් නෑ… දාන්න ඕනේ ඔක්කොම කලින් එකේ දාලනේ තිබ්බේ… ඒත් ඉතිං නමට හරි පර්ස් එකක් තියෙන්න එපැයි.

 පස්සේ ඉතිං පානදුරේට යද්දී මගේ අනිත් බැංකු පොතත් අරං යශෝධරාවගේ මව්තුමිය ඇවිත්… මොකට කියනවද ගිහින් එතෙනත් පැය භාගයක් ගියාට පස්සේ තමා ආවේ… ඉතිං වෙන්ඩ බිසොවුන්නාන්සෙට පන්ති නිසා… ඒකිව ගන්න එන ගමන් තමා ආවේ… ඇවිත් ඉතිං මාත් එක්ක පර්ස් එකක් තෝරාගන්නත් ආවා…. එ‍තකොට තමා කොල්ලට මීටර් වුනේ…. අර පර්ස් එකේ … තව කීයක් ජාති තිබුනද කියලා…

 යශෝධරාව වයලින් විශාරදේ කරද්දී මොකද්දෝ එහෙකට ගත්ත චූට්ටං පින්තූරක් මං පර්ස් එකේ තියාගෙන උන්න… හදිස්සි හෘදය අකර්මණ්‍ය වීම් වලින් බේරෙන්න…. තව තිබ්බා ඒකි දැති කතුරකින් කපලා මගේ සාක්කුවට දාපු කොල කෑල්ලකුත්. ඊට පස්සේ තවත් මොනාදෝ මන්දා තිබ්බා…. අනේ ඉතිං ඒ ඔක්කොමත් ඉවරයි…

 ඒ අස්සේ ‍නඩුකාරීත් මගේ දිහා අමුතු විදියට බලනවා…

 මොකෝ මැඩම්… ඉතියෝපියාවෙන් ආවා වගේද පේන්නේ…? කියලා ඇහුවම නඩුකාරිට හිනා…

 නෑ… ඔයා කලුවෙලා…. ඉතිං ඒක ඇහුවම මට හිනා… යන්තං මගේ දත්ටික විතරයි සුදට තිබ්බේ… කොහොම හරි මං ඉතිං හිතා ගත්තා … උණහපුලුවගේ වෙන්ඩ නැන්දම්මටත් එයාගේ බෑණා මැණිකක්ය කියලා…

 ඉතිං කෝම හරි ද ලවර්එකෙන් පර්ස් එකක් ගත්තා. වැඩිය නෑ රුපියල් පන්සිය හතලිහයි. එත‍කොට මට වෙච්ච මුළු පාඩුව රුපියල් දෙදහස් නවසිය පනහයි…. සන්තෝසයි ඉතිං… කාලෙකට පස්සේ ලොකු පිං කමක් කොරගත්තනේ…

  අනේ සත්තලනේ මට සල්ලි එපා…. මගේ ලයිසමයි, හැඳුනුම්පතයි, අර ඇබිත්තං කෙල්ලගේ පින්තූරෙයි… ඒකිගේ මං ආසම ගවු‍ම් රෙද්දේ කෑල්ලයි විතරක් එවපං… ඈ… ගවුම් රෙද්දේ කෑල්ල… එහෙම එකක් කිව්වේ නෑනේ කලිං….කොහොමද යකුනේ කියන්නේ එව්වා. ලැජ්ජාවක් කියලා එකක් තියෙනවනේ…. මේකත් මේ දැම්මේ පෝස්ට් එක භාගෙට කියෝන අයට මාට්ටු නොවෙන්න….

 අනේ ඉතිං ඒකිට ඒ වගේ වෙන පාටකින් රෙද්දක් ගන්න කියලා තමා තියං උන්නේ… දැං ඉතිං ඒකත් ඉවරයි.

 මං පාරෙ බැහැලා ගිහිල්ලත් ඉවරයි… දැක්ක තැන… අඩෝ කලූවා… තෝ වීසා නැතුව නේද මේ සිරි ලංකද්වීපයේ සැරිසරන්නේ කියලා අහපු ගමන් ඔක්කොම කම්මුතුයි. ඔන්න කව්රු හරි එකෙක් චෙක් පොයින්ට් එකක චාටර් වෙනවා වගේ දැක්කා නම් ඉතිං ඉතියෝපියාවෙන් ආපු එකා තමා ඒ….

 

 

 

දයාබර සෙනෙහස – ඉෂාරා අක්කා…..

අර මොන්ටිසෝරි ගිය චූටි බබා… මොන්ටිසෝරි ඉවර වෙලා එයාගේ අම්මා වැඩ කරන තැනට ඇවිල්ලා හවස් වෙනකං ඉඳලා තමා ගෙදර එන්නේ….‍

බබාට ඉෂාරා අක්කව එහෙම සෙට් වුනේ එහෙදී තමා. ඉෂාර අක්කා වගේ බබාට ආදරේ අක්කා කෙනෙක්ව බබා ඒ දවස්වල ඉඳන් කොයිතරම් හෙව්වත් තාම හම්බුනේ නෑ… ඉතිං බබා ඔය අක්කත් එක්ක විකාර කර කර තමා ඒ දවස් වල මුළු හවස් වරුවම ගෙව්වේ…

ඒ කාලේ බබාගේ අම්ම වැඩ කරපු තැන ඉන්න ළමයින්‍ට ඉංග්‍රිසි උගන්නන්න කියලා නෙදර්ලන්තෙන් සුදු අක්කලා දෙන්නෙක් ඇවිත් හිටියා. සුදුයි කියන්නේ සුදුම සුදුයි… චීස් වගේ… අම්මෝ එයාලයෙ උස… අඩි 6ක් විතර ඇති. ඒ වුනාට හරිම සුවීට්…

බබාව වඩාගන්නවා… ඉඹිනවා…. අඩි හයක් විතර උස නිසා, බබාව වඩා ගත්තම බබාගේ කකුල් දෙක සුදු අක්කගේ ඉනටත් පොඩ්ඩක් උඩට හිටින්නේ… ඉතිං අනිත් හරිය ගැන කුමන කතාද…! ඒ විතරක්නම් ම‍දෑ… එයාලා ගාවින් එන සුවඳ‍. ලංකාවේ කෙල්ලෝ කොයිතරම් සෙන්ට් නෑවත් ඒවගේ සුවඳක් නම් එන්නේ නෑ…

ඉතිං ඒ දෙන්නගෙන් එක්කෙනෙක් කැතී… අනිත් එක්කෙනා ඇනා. අම්බෝ මාර ලස්සනයි. තාමත් බබා ගාව ඒ අක්කලා දෙන්න එක්ක ඉඳන් ගත්ත පොටෝ එකක් තියෙනවා. ඒ දවස්වල බබා ෆේස්බුක් හිටියනම්…! ෂිඃ ඒ දවස් වල ඔව්වා තිබ්බේ නැහැනේ… මාක් අයියත් ඉක්කෝලේ ගිය අළුතනේ…

ඉතිං ඔය අක්කලා දෙන්න බබාව හුරතල් කරද්දී ඉෂාර අක්කට පොඩ්ඩක් විතර මල. මොකද එයාගේ චූටි මල්ලි පැටියව වෙන අක්කල වඩාගෙන ඉඹිද්දී ඉතිං ඉරිසියා හිතෙනවනේ… පස්සේ ඉතිං අර අක්කලා බබාව ඉෂාර අක්කට දෙන්නේ… කොල්ලගේ මූන සතූ………… පාට කරලා… පැනි පාට ඔපවත් කරලා තමා.  ඔන්න ඉතිං ඉෂාර අක්ක බබාව වඩා ගත්ත ගමන්….

හුම්… මගේ ගාව සුවඳ නැහැනේ… මොකටද මගේ අතට ආවේ…. අර සුද්දියෝ දෙන්න එක්කම ඉන්නනේ තිබුනේ….

අනේ පොඩි කොල්ලා ඉෂාරා අක්කගේ බෙල්ල බදාගන්නවලු. ඊට පස්සේ ඉතිං කොලුවට දුක හිතිලා කාටවත් ඇහෙන්නේ නැති වෙන්න අඩනවලු. ඉෂාරා අක්කගේ බෙල්ලට කඳුළු බිංදු වැටුනම….

කෝ… බලන්න කොලු පැංචා අඩනව‍ා නේද…?

………………………………. කොල්ලා සද්ද නෑ…. මූන රතුවෙලා… කඳුළු බේරෙනවලු.

පස්සේ බබා ටිකක් ඉස්සරහට වෙලා ඉෂාර අක්කා දිහා බලද්දී අක්කාගේ ඇස් වලත් ලාවට කඳුලු පිරිලලු. බබානම් කවදාවත් ඉෂාර අක්කගේ කඳුළු පිහිදුවයි කියල මතකයක් නෑ… ඒත් හැමදාමත් බබා අඩන වෙලාවට ඉෂාර අක්කනම් එයාගේ සුදු දිගටි අත්දෙකෙන් බබාගේ කඳුළු පිහිදලා, චූටි නායත් මිරිකනවා.

ඔය තරම් ආදරෙන් හිටිය ඉෂාර අක්කයි බබයි වෙන් වුනේ ‍කොහොමද කියන්න බබාට මතකයක් නෑ… සමහරවිට බබායි බබාගේ අම්මයි වැඩ කරන තැනින් නවතින්න කලින් ඉෂාර අක්කා ගෙදර ගියා වෙන්නත් පුළුවන්. ඒත් ඉතිං බබාට ඒ ආදරේ රැකවරණය තාමත් මතක් වෙනවා. බබා මෙච්චර කාලෙකට අම්මගෙන් ඇරෙන්න වැඩියෙන්ම ආදරයක් ලැබුවේ ඉෂාර අක්කගෙන්. බබාට මේ මොහොතේ මේක ලියද්දීත් ඇස් වල කඳුළු පිරිලා. පුංචි කොල්ලා කොයිතරම් සතුටෙන් හිටියද ඒ දවස් වල. වෙරළු ඇටේ හිර වෙච්ච වෙලාවේ ඉෂාර අක්කා කොයි තරම්නං බය වුනාද…? කොලු පැංචට ටොක්කක් ඇන්නත්, පස්ස පැත්තට පාරක් ගැහුවත් ඒ හැම දෙයක්ම එයා ක‍ලේ ගොඩක් ආදරෙන්. අම්මා බබාට බත් කවද්දී…. අම්මා කන්න, ඉෂාර අක්කට කියලා කවාගන්නම් කියද්දී…. ඉෂාරා අක්කා කකා හිටිය කෑම එක පැත්තක තියලා ඇවිත් බබාව ළඟට අරගෙන දවස් කීයක් නම් බත් කැව්වද…?

බබා එයාව හොයන්න ගොඩක් උත්සාහ කලත් තාම හමුබුනෙත් නෑ… බබාට පොඩි බයක් තියෙනවා ඉෂාර අක්ක හිටියේ පයාගල නිසා සුනාමියට ගොදුරුවුනාවත්ද කියලත්… අද මේ වගේ ගොඩක් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා, ආදරයක් රැකවරණයක් බලාපොරොත්තුවෙන් ඉන්න වෙලාවක ඉෂාර අක්කා බබාගේ ළඟ හිටියනම්… ප්‍රශ්න විසඳුනේ නැතත් හිතට පොඩි හරි සහනයක් දැනෙයි. අනිවාර්යෙන් බබාව ධෛර්‍යමත් කරයි. ඉස්සර වගේ මූන ඉඹින්න බැරිනම් අඩුමගානේ ඔලුව අතගා‍ල‍ා හරි සනසයි. වැරැද්දක් කරද්දී පස්ස පැත්තට ගහන්න බැරිනම්… බබාට බනියි. ඔහොමද මෝඩ කොල්ලෝ ඔය වැඩේ කරන්නේ කියලා… බබාගේ ප්‍රශ්න ටික ඔක්කොම අහගෙන ඉඳියි. ඒවට ඉතිං උත්තර දෙන්න කෙනෙක් තාම පහල වෙලා නැති නිසා ඉෂාර අක්කත් ඔලුවේ අතගහගෙන කල්පනා කරයි … මං මොනාද මූගේ ප්‍රශ්න වලට කියන්නේ කියලා….

ඇත්තෙන්ම අදටත් මේ ඒ සෙනෙහසට, රැකවරණයට අලි පැනි බබා ආදරෙයි. බබා… පුංචි කොලුවා කාලෙදී ඌට ලැබුන ඒ සෙනෙහස අවුරුදු විසිගානක් ගිහිල්ලත් අමතක වෙලා නැත්තේ ඒක ගොඩක්  වටින නිසා වෙන්න ඇති. එයා මගේම අක්කා කෙනෙක් නොවුනත් මට එයාගෙම මල්ලියෙකුට වැඩිය ආදරේ කලා…. ඒක මට දැනුනා… මං වින්දා….

ඉෂාර අක්ක මගේ ජීවිතයට ආයෙමත් එනවනම්….! මට අක්ක කෙනෙක් වෙලා… මාව හැමදාමත් මල්ලි කෙනෙක් වගේ ආදරෙන් සනසවනම්…! එදා බබා වෙරළු ඇටේ හිර කරගත්ත වෙලේ හුස්ම හිරවුනා වගේ… අද මගේ හිත ඇතුලේ පුංචි ඉකියක් හිරවෙලා. එදා බබාගේ පිටට ගහලා ඉෂාරා අක්කා වෙරළු ඇටේ අයින් කලා වගේ අද නම් මගේ හිතේ හිරවෙලා තියෙන ඉකිය ඇදලා පැත්තකට දාන්න කෙනෙක් නෑ…

වැස්සට පෙම් බැඳි අමුතු එකෙක්….

ඉස්සර දවසක…

පුතා… පුතා…. කෝ අනේ මේ ළමයා… අපේ අම්මා තාත්තගෙන් මාව අහනවා… ඒක හෙන වැස්ස වෙලාවක්.  අකුණු ගහන්නේ නැති වුනාට මුළු ලෝකෙම කළුම කළු පාට වෙලා. ලොකු වැහි වලාකුළකින් මුලු අහසම පිරිලා.

ඉතිං මමත් කලේ අම්ම කුස්සිය පැත්තට යනකං ඉඳලා මිදුලට පැනපු එක. අවුරුදු නිවාඩුවත් එක්ක පටන් ගන්න වැස්සට මං හරි ආසයි. මොකද ඔය වහින්න ගන්න වැස්ස සැරින් සැරේට, එක එක වෙලාවට… හරියටම කියනව නම් වෙලාවක් කලාවක් නැතුව වෙසක් මාසේ වෙනකම්ම වහිනවා.

ඉතිං මං කරන්නේ ඇඳන් ඉන්න ඇඳුම පිටින්ම මිදුලට පැනලා… අත් දෙක උඩට උස්සගෙන හරි එක්කෝ අත් ගුලි කරලා බැඳගෙන හරි… අර කළුම කළු අහසෙන් වැටෙන වතුර බිංදු කටට ‍වැටෙන්න දීලා දිවත් එලියට දාගෙන කට ඇරගෙන වැස්සේ නටන එක…

අර පුංචි සීතල ඉඳිකටු තුඩුවල් වගේ වැහි බිංදු අත් දෙකෙයි මූනෙයි වදිද්දී… ඊ….කිති වගේ. කට ඇරගෙන දිව එළියට දාගෙන ඉද්දී දිවටත් ඒ ඊතල පාරවල් වදිනවා. ඒ වෙලාවට ඉතිං මතක් වෙන්නේ මම පුංචි කාලේ බලපු හිම කුමාරි කතාවයි අම්මා මාව ළඟින් කියන් ඔළුව අතගගා කියල දුන්න හත් පෙති මල කතාවයි. අර ශේන්යා කියන ගෑණු ළමයාට පාට හතක් තියෙන පෙති හතක මලේ කතාව… අන්න ඒක…

ඉතිං ඔය ඔක්කොම කතා ටික මතක් කර කර වැස්සේ තෙමෙද්දී මටත් නොදැනිම මගේ ඇස් දෙකත් පියවෙනවා… එතකොට තමා පුංචි ඉඳිකටු තුඩවල් වල ස්පර්ෂය හොඳටම විඳින්න පුළුවන් වෙන්නේ… අම්මෝ… දැනුත් නිකං ඇඟ හිරිවැටීගෙන යනවා…

ඉතිං කෝම කෝම හරි ඔය වගේ වැස්සේ තෙමෙද්දී, අම්මාගේ කටහඩත් ඇහෙනවා… තාත්තත් අම්මට කියනවා බලන්න කාමරේ නිදි ඇති කියලා… හික් මං නම් නිදියයි අනිත් කම්මැලියෝ වගේ වැස්ස වෙලාවට. මං ආසාම වෙලාව තමා වැස්ස වෙලාව.  ඉතිං කොහෙ නිදාගන්නද… ඔහොම අපේ අම්මා මාව ගේ පුරාම හොයලා හොයලා අන්තිමේ බලනවා මිදුල දිහා…

පටාස්…

පසුබිමින් සද්දයක් අහෙනවා. ඒ එක්කම පස්ස පැත්ත නිකං රත්වුනා වගේ එකකුත් වෙනවා. ඉතිං මං කල්පනා කරනවා කොහොමද බොල මේ මහ වැස්සේ කලිසම අස්සේ රත් වෙන්නේ කියලා… ආයෙමත් තව ටිකකින් කනත් රත් වෙනවා…  පස්සේ ඉතිං මං…

ඉහි..ඉහි… ඊ.. ඊ……

කිව්වා නේද වැස්සේ තෙමෙන්න එපා කියලා…? දැන් තාත්තා ගාවට ගිහින් ඔය ඇඳුම් මාරු කරවගන්නවා… යනවා….

හ්ම්… මගේ පුංචි කටත් උල් කරගෙන අම්මා දිහා බලාගෙන ඇස්වලින් දිය ඇල්ලකුත් වක්කරගෙනමයි. පස්සෙ ඉතිං අම්මම තුවායක් අරං මගේ ඇඟ වටේ ඔතලා… යන්න තාත්තාට කියලා ඇඳුම් මාරු කරව ගන්න…

මමත් ඉතිං කුරුල්ලා වගේ… නෑ… නෑ… තෙමිච්ච කුකුලා වගේ දුවනවා තාත්තා ගාවට. තාත්තා ඉතිං හිනාවෙලා, කියව කියවා ඉන්න පත්තරේ පැත්තකින් තියලා ඇදලා ගන්නවා මාව ලඟට. අරගෙන අර මහවැස්සේ තෙමිලා තෙමිලා තෙතබරියම් වෙච්ච මාව උණුහුමට තුරුල් කරගන්නවා. පස්සේ ඉතිං ඔලුව පිහිදලා, ඇඳුම් මාරු කරවලා එහෙම ඇඳට එක්කගෙන ගිහින්… පෙරලෙන්නේ එහෙම නෑ බිමට කියලා… කොට්ටෙකුත් තියලා යනවා.

ඊට පස්සේ නම් අනේ මන්දා… අම්මයි තාත්තායි කතාවෙනවා, හීනෙන් වගේ ඇහෙනවා… ඔන්න ඔහේ තෙමුන දෙන්… ආසාවනේ…

ඒ වුනාට හෙම්බිරිස්සාවක් වත් හැදුනොත්…

නෑ… නෑ… කොල්ලා ලෙඩ වෙන්නේ නෑ… ඔයිට කලිනුත් කොයිතරම් වැස්සට තෙමෙනවද..?

අම්මයි තාත්තයි ඔහොම කිව්වට ආයෙත් මං වැස්සට තෙමෙනව දැක්කම අම්ම දුවගෙන ඇවිත්… පටාස්… තාත්ත ලඟට අරං ආයෙමත් ඇඳුම් මාරු කරවලා නිදිකරනවනවා…

ඉතිං මං පුංචි කාලේ ඉඳන්ම වැස්සට හරි ආසයි. මං ගොඩක්ම ආසා විදුලි කොට කොට ලොකු හුළඟක්තු එක්ක එන වැස්සට. වැස්සේ තියෙන නියම ගාම්භිර කම පේ‍න්නේ ඒ වෙලාවට තමා. නැත්තං නිකං හරියට, ලයිට් නැති චිත්‍රපටි හෝල් එක වගේ වෙනවා. ඒ වගේද නිල් පාට, සුදු පාට විදුලි ගගහා ගොරවන සංගීත සංදර්ශනයක් වගේ වුනාම අහස…

ඔය වැස්ස නිසා ගොඩක් හානි වෙනවා තමා. ගංවතුර ගලලා මිනිස්සුන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙනවා… පාරක යන්න බැරිවෙනවා. වගාවන් කුඹුරු ඔක්කොම හේදිලා යනවා… අකුණු වදිනවා… තව ගොඩාක් ජාති වෙනවා. ඒත් ඉතිං මං තාමත් වැස්සට ආසයි.

මං අදටත් ඔෆිස් ඇරිලා යද්දී වැස්සොත් කුඩයක් ඉහල ගන්නවා තමා, ඒත් කවම දාකවත් මගේ සපත්තු අස්සට ගිහින් චිරි චිරි ගාලා, අනිත් අයට හිරිකිතට පෑගෙන වතුර බිඳක්වත් මං නම් නෙමේ ගෙදර ගිහින් මිසක් මග හලලා යන්නේ… දැන් ඉතිං හිතනවා ඇති ඌරන්ට මොන සෞඛයද කියලා…

සපත්තු දෙක අස්සට වතුර යන්නේ ඔය වගේ වැස්සකට විතරයි. ඉතිං ඒකෙ පොඩි ගතියක් මටනම් තියෙනවා. ඒ වගේම තමා මාව හොඳටම තෙමිලා ඇඳුම් ඇඟටම ඇලුනත් මං හෙන ජොලියේ ඉන්නේ… අනිත් අයගේ මූනු නිකං පෙඟිච්ච පපඩම් වගේ වෙද්දී මං විතරක් හෙන ෆන් එකේ. ඉතිං මාව දකින් මිනිස්සු හිතනවා ඇති මූ නම් පිස්සෙක් කියලා… හික්… ඒත් ඉතිං මංනේ දන්නේ මං වැස්සට ආසයි කියලා…

මේ ටිකෙත් හවසට වහිනවා… ආහ්..  හවසට විතරක් නෙමේ වෙලාවක් කලාවක් නැතුව. ඉතිං ඔය කවුරු අකමැති වුනත් මං නම් මාර ආසයි ඔය වැස්සට. රෑ අට විතර වෙලා වැස්සෙම ගෙදර ගිහින් එලියේ තෙමී තෙමී ෂවර් එකෙන් නාගෙන තේ එකක් බීලා… වැස්සෙම නිදාගන්න කොට අම්මෝ…. හරියට නිකං ස්වීට්සර්ලන්ඩ් ගියා වගේ… ආයේ මොනාද ඉතිං උදේට ෆෝන් එක වයිබ්‍රේට් වෙවී එළාම් එක වදින කම් නිදි….

ආයෙත උදේට බාගෙට තෙමීගෙන ඇඳුම් ඇඳ‍ගෙන තෙමී තෙමී ඔෆිස් යද්දීනම් එපා වෙනවා තමා. ඒත් ඉතිං ඔෆිස් එකට ගියාට පස්සේ ගානක් නෑ… හැබැයි ඔය පාරේ තිායන මඩ වල වල් වලට නම් මං ආසම නෑ…

දැන් මේක ලියද්දී නම් වැස්ස පායලා තියෙන්නේ… අනේ අදත් ගෙදර යද්දී වැස්සොත් නම් නියමයි…!

%d bloggers like this: