අපි කැමතිම ගීතය…

මේ හදිස්සියේ මේ කතාව ලියන්න හිතුනේ, කතාවට අදාල සිංදුව ලඟදී ඇහුන නිසා. නැත්තං මේ කතාව කවදාවත් නොලියැවී යන්නත් තිබුනා. මේක අපි කැමතිම ගීතය කිව්වට අපේ ඩැඩා තමා වැඩියෙන්ම කැමති. ඊට පස්සේ මායි මල්ලියි…. අම්මත් ඉතිං කැමති ඇති සමහරවිට…

දැන් මෙහෙමයි සීන් එක. ඉස්සර අපේ තාත්තා නිවාඩු දවසට ගෙදර ඉඳන් සිංදු අහනවා. ඒ කියන්නේ රේඩියෝ එකේ. දැන් අහන්නේ අපේ මල්ලි. ඌත් දැන් තාත්තෙක් කියලා තමා පොර හිතං ඉන්නේ. අහන තරමක් අහන්නේ අපේ තාත්තා ඒ දවස් වල අහුවා වගේ තේරුම් තියෙන අළුත් සිංදු. අනේ මන්දා ඉතිං මල්ලිත් දැම්මම…. හ්ම් කොහොම හරි අපේ තාත්තා ඔය අහන සිංදු අතරෙ එක සිංදුවක් තියෙනවා අපේ අම්මව කුලප්පු කරවන සුළු. සමහර වෙලාවට අපි දෙන්නවත් ලඟට කරගෙන අඬන්න තරම් අප්සට් යනවා. අපිත් ඉතිං ඒ දවස් වල “අනේ අම්මේ අඬන්න එපා“ කිය කිය බොරුවට හූල්ලනවා.

ඒකට අපේ තාත්තා, මේ සිංදුව යනකොට… තියෙන හිනාව. තාත්තා දන්නවා අම්මට කේන්ති යනවා කියලා ඔය සිංදුව යනකොට. ඉතිං ඩැඩා කරන්නේ තව ටිකක් සද්දේ වැඩි කරලා අම්මව බොරුවට අවුස්සනවා. සිංදුව විනාඩි තුනනම් අම්ම ඔය විනාඩි තුනට වචන තුන්සීයක් විතර කියලා තාත්තට බනිනවා ඇති. හිතෙන්… නැත්තං අපිට අහෙනවනේ… එතකොට චූටි අපි නරක් වෙනවනේ…! ඒ වගේම ඔය විනාඩි තුනට අපේ තාත්තත් තුන්සිය සැරයක් විතර අම්මා දිහා බලලා, හොටු පෙර පෙර අඬන්න හදන අම්මගේ සුදු මූන දිහා බලලා හිනාවෙනවා ඇති. එයත් එහෙම කරන්නේ අපිට හොරෙන්. නැත්තං ඉතිං අපිත් ගෑණුළමයින්ට හිනා වෙන්න පුරුදුවෙයි කියලා වෙන්න ඇති. හික්ස්… එව්වා ජාන වලින් එන ඒවනේ ඩැඩෝ. එව්වා කොහොම නවත්තන්නද….!

ඩැඩාගේ ෂේප්මන්ට් එක

ඩැඩාගේ ෂේප්මන්ට් එක

ඉතිං ඔය සිංදුව යන අතරෙදි, අපේ අම්මගේ නිහඬ බැනීමේ ඉවසීම පැන්න ගමන්… “එහෙනම් මොන මගුලටද මගේ පස්සේ ආවේ“ කියන කොට තාත්තගේ කට වැහෙනවා. සිංදුවේ සද්දේ නිකංම වගේ අඩුවෙනවා. ඒක තමයි ජොලිම මොහොත. ඔන්න දැන් දෙන්නගේ මූඩ් වෙනස් වෙනවා. ඩැඩා හැඟීම් බර වෙනවා. “පුතේ ඔන්න ඕක වහල දාන්න“ කියලා අම්මට දිනුම දීලා තමා ගේම අතාරින්නේ. ඊට පස්සේ ඉතිං ලඟට ගිහිල්ලා ඔලුව අතගාලා… බලන්න ඕනේ කෝලම් ටික… අම්මත් නිකං ඉන්නේ නෑ… කොහොමත් පොඩි වලි බර ගතියක් තියෙන නිසා, කලින්ම වෙන සිංදුවක් දැම්මනම් හරිනේ… කියලා එයාගෙත් හිතේ අමනාපයක් නැති බව පෙන්නනවා. ඒ දවස් වල අපි හිතුවේ එහෙම. දැන් තමා තේරෙන්නේ, අම්මා කරලා තියෙන්නේ තාත්තට නක්කලේ දැමීමක්… නිකං හරියට… “මොනා කිව්වත් මං නැතුව ඉන්න බෑ වගේ නේද…?“ කියලා අහනවා වගේ.

දෙන්නම ඒ දවස් වල අපිට නොතේරෙන්න මාර රොමෑන්ටික් නාට්ටියක් තමා රඟපාල තියෙන්නේ. අපි ඉතිං බබාලනේ. වෙලාවට අපිට හැම දේම මතක තිබුනේ. නැත්තං තාමත් අපි ඔය සිංදුව යද්දි උඩ බිම බලන තත්තවෙකට පත් වෙන්න තිබුනා. කොහොම හරි ඔය සිංදුව අපේ ප්‍රියතම ගීතය වෙන්න තවත් හේතුවක් බලපෑවා. ඒ තමා සිංදුව නිසා තරහා වුන අම්මව යාළු කරගන්න තාත්තා ස්පෙෂල් මොනාහරි එදා හවසට ගෙනත් දෙන එක. ඒකේ අනිසි ප්‍රතිලාභ ඉතිං අපිටත් හිමිවෙනවනේ කොහොම වුනත්. එහෙම නැත්තං හවසට ඩේ අවුට් පාරක් ‍සෙට් වෙනවා. ඒක නිසා ඉතිං අපි දෙන්නටත් ඒ සිංදුවට අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නෑ. මං හිතන්නේ අම්මත් බොරුවටද කොහෙද මූන දෙක කරගෙන හිටියේ. ඔය ඉන්නේ දැන් යස අපූරුවට සිංදුව යද්දි. හිහ් දෙන්නම හිතං ඉන්නේ අපිට කිසිදෙයක් මතක නෑ කියලා.

සිංදුව තමා මිල්ටන් මල්ලවාරච්චිගේ, තනිවී සිටින්නයි මා අදහස් කලේ…. සිංදුව. ඒ දවස් වල අපි දහඅතේ කල්පනා කරා මේ දෙන්නට රංඩු වෙන්න තරම් මේකේ තියෙන තේරුම මොකද්ද කියලා.

[audio ammp3.com/sinhala_mp3/Milton_Mallawarachchi_Thaniwee_Sitinnai.mp3 ]

දැන්නේ තේරෙන්නේ…. මාත් ෂේප් එකේ වෙලාවක කියලා බලන්න ඕනේ… මේක තමා මගේ ආසම සිංදුව කියලා. අපේ අම්මවගේ මූන බෙරි කරගත්තොත් මං දිනුම්, එහෙම නැතුව “ආහ් එහෙමද… එහෙනං ඉතිං එහෙම්ම ඉන්නව“ කියලා ගියොත්…? හ්ම්… එතකොට කියනවා, “මං නිකංනේ සුදූ කිව්වේ… ඇයි ඔයා සීරියස් ගන්නේ“ කියලා. මොකක් හරි පැනි වදනක් දාපු ගමන් වලි ෂේප්…! මං දන්නවනේ ඒක…!

Advertisements

නියමිතය….

separation

separation

මැවුන දහසක් සිතුවිලි අතර,
ගණනය නොකල හැකි… ඉපදෙන මැරීම් මැද..
කෙසේ නම් වෙන් වුනිද මේ ලෙස…
තවත් එකම එක පෙම් සිතුවිල්ලක්ව…?

රැයට නෙත් නොපියවන…
දාවලට නෙතට නිවනක් නොදෙන…
සුළඟ හමන අත දැන දැනම,
කුමට ළං වුනිද හදපත්ලටම…?

විසුමක් නොමැති සංවාද මැද,
එකම සිතුවිල්ලක එල්බ ගෙන…
කෙසේ නම් දරා ඉන්නද…
අනාගතයේ වෙන්වීම…?

-Just Random-

පැනලා ගිය ලව් එක…

ඒකි හරි පන්ඩිතයි… මොකද මන්දා මං ගෑණු ළමයි ගැන චුච්ච චුච්ච දැනෙන්න ගත්ත දවසේ ඉඳන්, අලි ඔලුවෙන් ඉන්න… පඬි ටෝක් දෙන කෙල්ලොන්ව පේන්න බෑ. ඒ මදිවට අපි මනුස්ස කමට හිනා වුනාම පස්සයි කොන්ඩෙයි දෙකම ගසල දාලා අනිත් පැත්ත හැරෙනවා. හරියට නිකං සත්තු වත්තේ ඉන්නේ පැස්බරා වගේ…

මේ වගේ

මේ වගේ

මම ඒ ගෑණු ළමයව දකින්නෙ මාස හයකට සැරයක්. ඇත්තටම කොන්ඩෙයි, නෑ අනිත් එක ඕනේ නෑ…. ඉතිං ඒ එව්වා මෙව්ව ඇරෙන්න වෙන ඇති දෙයකුත් නෑ. තරමක් ලස්සනයි. සුදුයි. හුරුබුහුටියි… අතීතීතී පණ්ඩිතයි. ගෙවල් තියෙන්නේ අපේ ගමේ. ආච්චිලගේ ගෙවල් පිටිපස්සේ තිවුන මැටි ගහපු ගෙයක තමා ජීවත් වුනේ. මං ගමේ ගිය වෙලාවට ඉතිං කොයි වෙලෙත් කරන්නේ, බොරුවට කජු ගහ උඩට නැගගෙන ඒ ළමයා ගෙදරින් එළියට ඇවිත් එලියෙන් පුටුවක් තියාගෙන පොත් කියවන හැටි බලාගෙන ඉන්න එක. සමහර වෙලාවට ආච්චි කෑ ගහනවා…

බැහැපිය කොල්ලෝ ගහෙන්, ගහේ ඇති කජ්ජකුත් නෑ… මොනා කරනවද මන්දා ගහට වෙලා… කියලා. ආච්චිට නෙමේ අපේ අම්මලටවත් මාව පේන්නේ නෑ ගහට නැග්ගම ගහේ තියෙන කොල නිසා. මං කරන්නේ තරමක් පාත තිබ්බ අත්තකට වෙලා පොඩි ඇලට් එකක් දාගෙන ඉන්න එක. බිම බලන්නේ බහින්න හිතුනම විතරයි. නැත්තං ඉතිං බය හිතෙනවනේ. අන්න එහෙම හැංගිලා තමා මං පෙම් කෙරුවේ…! හුම්….!

කොහෙද ඉතිං මං ගහේ හිටියා කියලා ඒ ළමයා ගහ දිහා බලන එකක්යැ. ඒ ළමයා පොත කියෝනවා. අන්තිමේ ඉර බැහැගෙන යද්දි මදුරුවෝ එකා දෙන්නා අනින්න ගන්න කොට තමා මම බහින්නේ. ඒ වෙනකොට ගෙදර අයගේ උගුරු ලේ රහ වෙලා මට කෑගහලම. එහෙම බහින්න බහින්න කියලා කෑ ගහද්දී මොකක් හරි උත්තරයක් දුන්නොත් වැඩේ කපෝති. එතකොට දන්නවා මූව බස්සගන්න පුළුවන් කියලා. ඒක නිසා මං කරන්නේ බීරා වගේ කිසිදෙයක් නෑහෙන ගානට ඉන්නවා. පස්සේ රෑ වෙන්න කිට්ටු වෙද්දි බහිනවා. එතකොට මගේ කනෙන් අල්ලන්නවත් කට්ටියට පන නෑ…

ගෙදර අයගේ දැඩි විරුද්ධත්වය මත එහෙම තමා ඒක පාර්ශවික ලව් එක ගියේ. ඇත්තටම මට ඕනේ වුනේ නම අහගන්න විතරයි. ඊට පස්සේ ඉතිං වචනයක් දෙකක් කතා කරන්න තිබුනම මදෑ ඒ දවස් වල හැටියට. මටත් ඒ වෙද්දි අවුරුදු හතරක් පහක් විතර වෙන්න ඇති. ඒ දවස් වල නටපු නාඩගං මතක් වෙන්නේ දැන් තමා.

දැන් තියෙනවා මේ වගේ පහන් වැටක්

දැන් තියෙනවා මේ වගේ පහන් වැටක්

ඉතිං යන්තං ගුටි නොකා බේරිලා, බලෙන්ම ඇඟ හෝදවනවා ආච්චි. එහෙම ඇඟ හේදුවයි කියලා ගස් ගඳ යන්නේ නෑ. ඉතිං කරන්නේ පවුඩර් දානවා. ඒත් ඉතිං අත් හීරුන තුවාල, මදුරුවෝ කාපුවා එහෙම එහෙම්මයි. පස්සේ ඔන්න බලෙන්ම වගේ ඇදන් යනවා පන්සලට. ඒ දවස් වල පන්සලේ චෛත්‍යයක් තිබුනේ නෑ. තිබුනේ බන මඩුවයි, ආවස ගේයි, බෝ ගහයි, හැම පැත්තටම ලනු ඇදලා ඒවයේ කොඩි එල්ලපු උස උණ බම්බු කොඩි ගහකුයි විතරයි. පාන් පත්තු කරන්න හඳුන් කූරු ගහන්න එහෙම වැලි පුරවපු ලොකු වංගෙඩි වගේ ඒවා දෙකක් තිබුනා. කොඩි ගහ තාම තියෙනවා. දැන් එක යකඩ බම්බුවකින් හදලා තියෙන්නේ.

මාව පන්සල් ඇදන් යන මුල්ම දවස් දෙක තුනේ මං බෑම කිව්වා පන්සල් යන්න. කාගේ හරි අතක එල්ලිලා හොඳටම ඇඬුවා. පස්සේ ඔන්න කොහොම හරි එක දවසක් සෙට් වුනා මුළු පවුලම පන්සල් යන. එදානම් කියනවා මහ ලොකුවට, පුතා ඕනෙ නම් අද ඉන්න ගෙදර. අම්මලත් යනවනේ… ගෙදර කව්රුවත් ඇත්තෙත් නෑනේ… කියලා. හුහ්… මම නම් ඉඳියි. ලයිට් එකක් වත් නෑ… කට්ට කරුවලේ භූමිතෙල් කුප්පියේ එළියෙන් පැයක් හමාරක් ඉන්න…? අනේ බෑ… බෑ… මාත් එනවා කියලා එදා නම් වෙන කරන්න දෙයක් නැති කමට යන්න වුනා.

එදා තමයි දවස…! අර ළමයත් පන්සල් ඇවිත්. අම්මෝ හැඩ. සුදු පාට දිග සායකුයි, ලා කහ පාට ටී ෂර්ට් එකකුයි ඇඳගෙන. වෙලාවට අපේ ආච්චිගේ ෆිට් එකක්. අපේ ආච්චි මාවත් අතින් අල්ලගෙන ගියා ඒ ළමයි ගාවට.

කෝ දුවේ අම්මලා…?

අන්න අහේ පාන් පත්තු කරනවා. හරි මිහිරි කටහඬක් ඒක.

දූත් යමුද අපි එක්ක ඒ පැත්තට…? අපේ ආච්චි අහනවා. මොන මගුලක්ද මන්දා. ආච්චිට තිබුනේ අපේ පුතත් එක්ක ඒ පැත්තට යන්න මමත් එන්නම් කියන්නනේ… කොහෙද ඉතිං….

ඒ ඔක්කොමත් හරි මේකි නිකමට මාත් එක්ක හිනා වෙයං. මං ආච්චිගේ අතේ එල්ලිගෙන කොච්චර වෙලා බලාගෙන හිටියද… පන්ඩිතකම තියෙන. දෙන්න හිතයි හොම්බට හැටක්…!

ඇයි මොකෝ ඔරවන්නේ…?

ඈහ්… මට කේන්ති ගිහිං ඒ ළමයට නොදැනුවත්වම එරවිලා.

කව්ද ඔරවන්නේ… ඔයාගේ ඇස් පේන්නේ නැතුව ඇති.

හා… හා… කටවහගන්නවා. මේක පන්සල. ආච්චිත් එන්නේ මට බනින්න. මං අත ගසලා දාලා දිව්වා අම්මලා ගාවට.

ඔන්න ඊට පස්සේ එනවා නැලවී නැලවී සක බඹරේ. මං නෙමේ ගනන් ගත්තේ. අම්මේ අපි යමුකෝ නිදි මතයි. කියලා මං අම්මගේ ඇඟේ එල්ලුනා.

හ්ම්… ඉන්නකෝ මල් ටික පූජා කරලා එනකං. කියලා මාව පැත්තකට කරලා අම්මලා ගියා. මාත් ලඟ තිබුන පොඩි අත්තිවාරම් කෑල්ලක් උඩින් වාඩි වෙලා බලාගෙන ඉඳියා මොකද වෙන්නේ කියලා. අරකි ගිහිං අපේ අම්මා එක්ක තොඳොල් වෙනවා…. දෙන්න හිතයි මට…. බෑනේ ඉතිං මේක පන්සලනේ…

පස්සේ අපිත් එක්කම ඒ ළමයත් එයාගේ අම්මයි තාත්තයි එක්ක ගෙදර ආවා. වැඩිහිටියෝ ඉන්න තැන් වල සංවරව හැසිරෙන්න ඕනේ නිසා මං කට පියාගෙන නිකං හිටියා. නැත්තං මං කියනවා එයාට දෙකක්.

පස්සේ කොහොම හරි එක කාලයක් ඒ ළමයව දකින්න නැතුවම ගියා. අවුරුදු අටකට විතර පස්සේ දවසක් ඔන්න මට මූනටම හම්බු වෙනවා.

ආහ්… අයියේ… කවදද ආවේ…?

මාව නිකං කරකෝලා අතෑරියා වගේ. අවුරුදු අටකට කලිං ලව් එක කාටද මතක තියෙන්නේ…? ඊයේ රෑ ආවේ… අම්මලා එහෙම කොහොමද…? මං එයාගේ අම්මලාව පුංචි කාලේ දැක්කට ඒ වෙද්දි මූන වත් මතක නෑ.

හොඳින් ඉන්නවා… හෙට යනවද…?

මාස හයට වෙච්චි දේ...

මාස හයට වෙච්චි දේ…

ඔව් හෙට යන්න තමා ඉන්නේ… ඊළග පාර එන්නම්කෝ සතියක් විතර ඉඳලා යන්න. ඊළග වාරේ මං ගමේ ගත කරන දින ගාන මං එවෙලේම තීරණය කරා. ආයේ මොකටද පහු ගහන්නේ.

හ්ම්… හ්ම්…. ඒක හොඳයි… යන්නං අයියේ…. කියාගෙන කෙල්ල ඇවිදගෙන ගියා ගෙදරට. මං ඉතිං බලාගෙන උන්නා වෙන කරන්න දෙයක් නෑනේ…! ඒකෙත් අමුතු මෙව්වා එකක් තිබුනා.

ඔන්න ඉතිං ඒ වෙච්ච පොරොන්දුවට අනුව සතියක් ඉන්නවා කියලා අම්මලාව කැමති කරගෙන ඊළඟ පාර ගියා ගමේ. මගේ ගාව තිබුන හොඳම ඇඳුම් ටිකක් ගෙනිච්චා. ඒ දවස් වල තිබුන තත්ත්වයට මෙන්න මේ සිංදුව හරියටම ගැලපෙනවා….

අපරාදේ උස්සං ගිය බර බෑග් ටික…මොකක් වෙන්න ඇති කියලද හිතන්නේ…?

මෙච්චර වෙලා ලිව්ව කතාව…. ගමේ, කජු ගහේ කට්ට කාගෙන බලාගෙන ඉඳපු ආදර කතාව කටුගාලා මේකි කොල්ලෙක් එක්ක පැනලා ගිහිං….! –at මාස හයක් ඉන්න බැරුව ගියානේ…

 

මතක සුවඳ…

Rain

Rain

[audio http://www.lankantunes.net/songs/sinhala/TM/(TM)Adath%20Wessa%20Wahina.mp3 |titles=අදත් වැස්ස වහින සඳේ… |artists= ටී.එම්.ජයරත්න |animation=no ]

සති දෙකක තුනක විතර ඉඳන් තියෙන කම්මැලිකම යවාගන්න කියලා කොරන්නම දෙයක් නැති තැන, කොහෙන්දෝ මන්දා ඇහුන සිංදුවක් හොයලා දාන්න හිතුනා. කොහොමත් ඉතිං මේ වැහි දවස්නේ. ඒක නිසා කම්මැලිකම හොඳටෝම වැඩිවෙලා.
ඉස්සර නම් ඉතිං කුඩේ තියාගෙනත් වැස්සේ තෙමුනා. දැන් නම් එහෙම නෑ. දැන් ඉතිං වයසයිනේ. වැහි පොදක් වැදිලා හෙම්බිරිස්සාවක්වත් හැදුනොත් එහෙම…

සිරි පැරකුම්

ප්‍රදර්ශනය පටන් ගත්ත දාම චිත්‍රපටියක් බලන්න ගියානම් ඒ මේක. නෙට් එකෙයි පත්තර වලයි හැමතැනම දැකලා, ප්‍රමෝෂනල් වීඩියෝ දැකලා දැකලම ආසාවක් ඇතිවෙලා තිබුනේ සිරි පැරකුම් බලන්න. ඒත් මුලින් හිතන් හිටියේ පටන් අරගෙන ටික දවසක් ගිහිං උණුසුම පහවුනාම ගිහිං බලන්න උනත්… ඔෆිස් එක එහා පැත්තේ තියෙන ෆිල්ම් හෝල් එකට උදේ 10.30 දර්ශන වාරයට ඇවිත් හිටිය හා ඇවිත් හැරිලා ගිය සෙනග දැක්කම මේක අදම බලන්න ඕනේ කියලා හිතුනේ මොකක් හරි විශේෂත්වයක් ඇති කියලා හිතුන නිසා.

සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටියක් හෝල් එකට ගිහිං බලන්න මම පුද්ගලිකව ආසා නෑ. ඉංග්‍රිසි/හිංදි හා වෙනත් ෆිල්ම් බලලා බලලා ඒවයේ තියෙන රූප හා ශබ්ද තත්වයන්ට හුරු වෙලා නිසා සිංහල ෆිල්ම් වල තියෙන තාමත් නොදියුණු මට්ටමේ තත්වයන්ට වැඩි කැමැත්තක් නැති නිසයි ඒ. ඒත් මේ ලඟකදී… දශකයට විතර ආසන්න කාලයක් පුරාවට නිමැවුන සමහර සිංහල චිත්‍රපටි තුල, නිහඬ බවක් තිබුනත් එයත් යම් ආකාරයක විඳීමක් බවට පත් කරන්න පුළුවන් නිර්මාණකරුවන් පිරිසක් බිහිවෙලා තියෙන නිසාත්, ඔවුන් යම් තරමකට අළුත් තාක්ෂණය සමගින් ඉදිරියට යන්න උත්සාහ දරන නිසාත්, වඩාත් හොඳ හා ගුණැති තිර පිටපත් ලියැවීම නිසාත් ලංකාවේ සිනමා කර්මාන්තයේ යම් තරමක විඳින්න පුළුවන් ගුණාත්මක භාවයක් ඉස්මතු වෙලා තියෙනවා. විදෙස් රටවල තියෙන හැම තාක්ෂණයක්ම අපිට ලැබෙන්න සෑහෙන්න කලක් යාවි. ඒ වෙද්දි ඒ තාක්ෂණය පිට රටවලට යල්පැන ගිය තාක්ෂණයක් වේවි. කොහොම නමුත් ලංකාවේ ළමයින් වෙනුවෙන් නිර්මාපකයින් කීපදෙනෙක් ඉදිරිපත් කරන මෙවැනි චිත්‍රපට නම් වැඩිහිටි අයට පවා වඩාත් ගුණාත්මක බවකින් යුක්තව බලන්න පුළුවන් බව ඇස් දෙකෙන්ම දැක ගන්න පුළුවනි.

කලිකාල, සාහිත්‍ය, සංගීත, සර්වඥ දෙවන පරාක‍්‍රමබාහු රජතුමාගේ ළමාකාලයේ සිට රජකම දක්වා ගතවුන කාල පරිච්චේදය දැක්වෙන සිරි පැරකුම් තැනී ඇත්තේ පැරණි ජනකතා හා ස්වල්පයක් වූ ලිඛිත සාහිත්‍යයේ එන උපුටාගැනීම් වලින්, අතීතය මෙසේ වන්නට ඇතැයි සිතමින් නිමකරන ලද සොඳුරු සිත්තමක් ලෙසිනි.

කාලෙකට පස්සේ සිංහල චිත්‍රපටියක් ඇත්තටම විඳීම ගැන සොම්නසින් ලියුවෙමි…!

භූමිතෙල් කුප්පිය…!

.

.

මට මතක් වෙන්නෙම චූටි බෙහෙත් බෝතලයකින්ද කොහෙද හදලා තිබුන දුඹුරු පාට කුප්පි ලාම්පුව. ඒකෙ එලිය මහ ගොඩක් නෑ… ඒත් සාමාන්‍ය කාමරයක් එලිය වෙන තරමට කහ-තැඹිලි පැහැ දුබල එලියක් හැමදාමත් ඒ කුප්පි ලාම්පුවෙන් විහිදුනා.  හ්ම්… ඒක තිබුනේ අපේ ගෙදර නෙවෙයිනේ… ඒක කියන්න බැරිවුනා මට.

ලාම්පු කුප්පිය, කුප්පි ලාම්පුව, භුමිතෙල් කුප්පිය, භුමිතෙල් ලාම්පුව වගේ නම ගොඩකින් වගේම ආච්චිට තරහා ගියාම “ඔන්න ඔය කුප්පිය“ කියලා අහගන්නෙත් ආච්චිලාගේ ගෙදර තිබුන, මට අතපොවන්න පුළුවන් පහතක තිබුන එකම එක කුප්පි ලාම්පුවයි. අනිත් ඒවා ඔක්කොම කම්බි කෑල්ලකින් පොල් අතු වහලේ හරහට වැටිලා තියෙන පරාලයකට බැඳලා තියෙන්නේ. ඒවා හදලා තියෙන්නෙත් පිච්චුන බල්බ්වල මදේ අයින් කරලා ඒවට භූමිතෙල් පුරවලා, කටට තහඩු කෑල්ලක් දාලා ඒක මැද්දෙන් තිරයක් ඇදලා. සමහර වෙලාවට ඒවා වහලේ එල්ලන්න ඇත්තේ බිම තියන්න තරම් සමතලා නැති නිසා වෙන්න ඕනේ. බලබ් එක රවුම්නේ…

කොහොමහරි මට අවුරුදු තුනක් විතර වෙද්දිත් අපේ ගමට කරන්ට් එක තිබුනේ නෑ. කරන්ට් එක තිබුනත් තිබුනේ ගෙදර ඉඳන් කිලෝමීටරයක් විතර දුරින් තිබුන බස් පාරේ මීටර් දෙසීයෙන් දෙසීයට වගේ හිටවලා තිබුන කළු තෙල් ගාපු ලී ලයිට් කනු වල විතරයි. ඒවා පත්තු වෙන්නෙත් හවස හයාමාර විතර වෙද්දි. එච්චර ඩොටේ තියෙන ගමක විදුලි බල්බයක් තිබුනනම් තිබුනේ අපේ ආච්චිලෑ ගෙදර වගේ පිච්චිච්ච බල්බ් එකකට භූමිතෙල් දාලා පත්තු කරන්න හදාගත්ත එකක් විතරයි. ඒ කුප්පි ලාම්පුවත් ගේන්නේ බ්‍රහස්පතින්දාට ටවුමේ තියෙන පොලෙන්. ඒ දවස් වල කුප්පි ලාම්පුව රුපියල් 5ක් විතර ඇති මතක විදියට.

හ්ම්...

හ්ම්…

ඉතිං මං කැමතිම කුප්පි ලාම්පු සර්කස් සංදර්ශනේ පටන් ගන්නෙ ආච්චිලෑ ගෙදර ගිහින් අම්මල කෑම උයන්න ගියාම තමා. මුලින්ම හිමීට මේසේ කෙලවර තියෙන ලාම්පුව ගාවට යනවා. ඊට පස්සේ කරන්නේ ඉතිං බලං ඉන්න  එක තමා. ටික වෙලාවක් යනකං ලාම්පු දැල්ලට  පියාඹා ගෙන මැස්සෝ දිහා බලාගෙන ඉන්නවා. ආපු ගමන් චුරුස් ගාලා තටු පුච්ච ගෙන කුප්පි ලාම්පුව පාමුල වැටිලා දඟලන පළඟැටි, ගොයම් මැස්සෝ දිහා බලාගෙන ඉද්දි උං පවු කියලා හිතෙනවා. උං ටික වෙලාවක් එහෙට මෙහෙට දඟලා දඟල ඉඳලා එක පාරටම නිසල වෙනවා. ඊට පස්සෙ ලඟ තියෙන පොල් අත්තකින් කඩාගන්න ඉරට්ටකින් ඇන්නත් උං නෙමේ දඟලන්නේ. ගොඩක් වෙලාවට ඔය ගොයම් මැස්සෝ එහෙම මැරෙනවා ඇත්තේ පිහාටු පිච්චිලාම වෙන්න බෑ… කුප්පි ලාම්පුවෙන් උඩට යන දැලි කන්දරාව මම දැකලා තියෙනවනේ. උං බිම වැටෙනවා ඇත්තෙත් ඒ දැලි ඇස්වල වැදිලා වෙන්න ඇති. ම්… ගොඩක් වෙලාවට ඔය කුප්පි ලාම්පු පහන් දැල්ලට එන්නේ පළඟැටියි, ගොයම් මැස්සොයි තමා. මෙරු එන්නේ ගොඩක් කලාතුරකින්. මදුරුවෝ කොයිතරම් හිටියත් උං නම් පහන් දැල්ල කිට්ටුවටවත් එන්නෙ නෑ.

හ්ම්… ඔහොම ටික වෙලාවක් ඉද්දි කකුල් දෙක කකියන්න ගන්නවා. හිටගෙන ඉඳලම නෙමේ මදුරුවො කාලා. එතකොට ඉතිං ලඟ තියෙන ඇඳි පුටුව ඇදගන්නවා මේසේ කිට්ටුවට. ඊට පස්සේ ඉතිං වේවැල් උඩ දනහිසින් හිටගෙන අයෙමත් පහනට ඇදෙන චූටි සත්තු දිහා බලන් ඉන්නවා. හැම තත්පරේකම එක සතෙක් ඇවිත් පිච්චිලා වැටුනත් එන සත්තු ගාන ඉවරයක් වෙන්නේ නෑ… ඒ වගේම කුප්පි ලාම්පුව පාමුල සත්තු එකතු වෙන්නෙත් නෑ. මොකද අපේ ආච්චි කුප්පි ලාම්පුව පත්තු කරනකං පොල් අතු අස්සේ හැංගිලා ඉන්න හූනෝ බලාගෙන ඉන්නේ. කුප්පි ලාම්පුව පත්තු කරපු ගමන් හූනෝ දෙතුන් දෙනෙක් ලාම්පුව පේන මානයේ ඉන්නවා. සතෙක් ඇවිත් පිච්චිලා වැටන ගමන් නැට්ට දෙපැත්තට වන වන ඇවිත් දිව දික් කරලා වැටුන සතාව ගිලිනවා. සමහර විට වෙලාවට ඒ සතා මැරිලත් නෑ හූනා ගිලිනකොට.

මහ ලාම්පුව

මහ ලාම්පුව

ඔහොම බලාගෙන ඉද්දි දන්නෙම නැතුව පැයක් හමාරක් නිකංම ගෙවිලා. ඊට පස්සේ තමා ආච්චි දුවගෙන එන්නේ මහ ලාම්පුවත් අරගෙන“මෙන්න මේ කොල්ලා පුච්ච ගන්න හදන්නේ“ කියාගෙන. වටේට වීදුරුවකින් ආවරණය කරපු ලොකු භූමිතෙල් ලාම්පු තිබුනේ ගෙදරකට එකයි නැත්තං දෙකයි. ඒකට මහ ලාම්පුව කියලත් කියනවා. ඒක කෑම උයන වෙලාවට කුස්සියට, කෑම කන වෙලාවට කෑම මේසෙට, පාඩම් කරන වෙලාවට පොත් මේසෙට වශයෙන් සංචාරක ලාම්පුවක්. ඒක භාවිතා වෙන්නේ ඒ වෙලාවට ඇති වැදගත්ම වැඩය කරන්න ආලෝකය ලබාගන්න විතරයි. ඒක නිසා තමා මට කුප්පි ලාම්පුවේ සත්තුන්ගේ සෙල්ලම් බලන්න පුළුවන් වුනේ.

හ්ම්… ඒ භූමිතෙල් කුප්පියෙන් කොච්චර දැලි නිකුත් වෙලාද කියන්න තියෙන එකම සාක්ෂිය තමා ලාම්පු තියෙන තැන්වල වහලේ තියෙන කළු පැහැති දැලි ලපය. ඒ දැලි අතින් පිහිදුවට යන්නෙත් නෑ.. ඒ තරමටම ඒවා පොල්අතු වලට කාවැදිලා. මං නොදන්න කාලේ ඉඳලත් ඒ ලාම්පු පත්තු වුනා. දන්න කාලේ, නොගිය දවස් වලත් ඒ ලාම්පු පත්තු වුනා. ඒත් මං දැක්කේ එහේ ගිය දවස් දෙක තුනක විතරයි. ඊට පස්සේ කරන්ට් එක ආවත් එකක්ම ඒ හැම නිවෙන දැල්වෙන, හුලඟට ලෙලදෙන කහ-තැඹිලි එළියක්ම නැතුව ගියා. දැන් තියෙන්නේ මෙලෝ රහක් නැති සුදු පාටයි, කහ පාටයි එලි විතරයි. ඒකට තමාලු ගමක දියුණුව කියන්නේ…! – at මේ දියුණුව මට හරි අප්පිරියයි…!

කතාවට කෙලින්ම අදාල නොවුනත්, වෙනස්ම අදහසක් තිබුනත් පාඩුවේ අහන්න පුළුවන් ගීතයක්… http://ananmanan.org/sinhala_mp3/Nanda_Malani_Sulagata_Salena.mp3%20

ආදරය දැනෙන, මිනිසත් බවම පතන “ඩේවිඩ්“ නම් වූ රොබෝ…

මව් සෙනෙහස…!

හරිත ආචරණය නිසා අයිස් කඳු දියවෙලා, මුහුදු මට්ටම ඉහල ගිහිං ලෝ ප්‍රසිද්ධ නගර කීපයක් ජලයෙන් යටව, සදහටම අතුරුදන් වූ… කාලගුණයත් ව්‍යාකූලව ගොස් මනුෂ්‍යයින් සුළු ප්‍රමාණයක් පමණක් ලෝ තලය මත ඉතිරි වෙන  අනාගත යුගයක…!!!!

මනුෂ්‍යයින්ගේ තනිකමට පාළුවට, දියුණු වූ මිනිසුන්ගේ සිහිනයක් වූ රොබෝ සුරතලුන් බිහි වී අහවරය. කතා කරන, කලින් සිදුවූ දේ මතක තබාගෙන ඒ අනුව හැසිරෙන රොබෝ වරු අතර එක් මිනිසෙකුගේ මහන්සියෙන් උපදින, නියුරෝන ආශ්‍රිත සංවේදන ලබාගන්නා, ඒ සංවේදන මතකයන් අනුව හැසිරෙන “ඩේවිඩ්“ නම් විශේෂිත රොබෝ දරුවෙක්,…. තම දරුවා අසනීප වී කල් ගෙවන මොනිකා නම් වූ මවට පුදන පුතු සෙනේහය අපරිමිත වූ මොහොතක නැවතත් තම තුරුලට පැමිණෙන තම මනුෂ්‍ය දරුවා නිසා ඩේවිඩ්ට අහිමි වන මව් සෙනෙහස මැද, එයම පතන සංවේදි කතාවක සොඳුරු ගලායාම.

Don`t burn me! Don`t burn me!

l`m not Pinocchio!

Don`t make me die!

l`m David! l`m David!

 ඒ මගේ හිතට වැදුන කොටස…. A.I – Artificial Intelligence (කෘතිම බුද්ධිය) 2001 දී ලෝක සිනමාවට දායද වුන අපූර්වතම මූව් එකක්. විඳින්න…. රොබෝ කෙනෙකුටත් ඒ තරම් මව් සෙනෙහසක් දැනේ නම්… මනුෂ්‍යයෙකුට…..!!!

 මෙන්න ටොරන්ට් එක…  මේ පෝස්ට් එක දාන්න හිතුනේ මේ දවස් වල රූ සිරිනි බ්ලොග් එකේ යන “රොබී“ කියෙව්වට පස්සේ….! අද ඔක​තෝබර් පළවෙනිදානේ… ලොක් ළමා දිනේ… ඒ වෙනුවෙන් පුංචි බබෙකුට එයාගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි ලැබෙන පුංචි තෑග්ගක් වෙන්නත් පුළුවන් මේක…!!! – at හැම ළමයෙකුටම සුභ දවසක් පතමින්….

%d bloggers like this: