කපුටාගේ වෙනස්වීම…

.

.

කතාව කියන්න කලින් කපුටා ගැන ටිකක් කියලා ඉන්නම්. කපුටා කියන්නේ බොහොම සුලභ පක්ෂියෙක්. ඒ වගේම කොයිතරම් කුණු කසල ශෝධකයෙක්ද කියනවනම්… කපුටා නැතිවුනොත් උගේ වැඩ කරන්න නගරසභාවට වෙනමම සේවකයන් පිරිසක් යොදවන්න වෙන තරමට සෑහෙන සේවයක් කරන සතෙක්. මං දන්න විදියට අන්න ඒ හේතුව නිසාම කපුටන්ව මැරීමත් තහනම්.

ඉතිං මේ කපුටා කියන සතා වෙලාවකට සාස්තර කාරයෙක්. තවත් වෙලාවකට නගරසභා සේවකයෙක්. හැබැයි ජනකතා අනුව නම් කපුටා අලි පන්ඩිතයෙක් වගේම ගොන් මීහරකෙක්. ඒක නිසා තමා අනිත් කුරුල්ලෝ සම්පූර්ණයෙන් ආවරණය වෙන කූඩුවක් හදද්දි කපුටා විතරක් භාගෙට කුඩුවක් හදන්නේ. ඒ ජනකතා අනුව මට මතක විදියට, කපුටා මුලින් කූඩු හදන්න දන්නේ නෑලු. ඉතිං කූඩු හදන්න දන්න වෙන කුරුල්ලෙක් ගාවට ගිහිං කපුටා අහගන්නවලු කූඩුව හදන හැටි. ඉතිං ඒ කූඩුව හදන්න හරියටම දන්න කුරුල්ලාව මට මතක නැති වුනත්, පාඩම කෙරීගෙන යන අතරේදි… ඒ කියන්නේ කූඩුවේ යට කොටස හදාලා ඉවර වේගෙන යද්දි කපුටා… “අයියෝ… ඕක නම් මාත් දන්නවනේ…” කියලා පාඩම භාගෙට අහගෙන පියාඹලා ගියාලු. ඉතිං එදා ඉඳං ඌ කූඩුව හදන්නේ ඌ ඒ දන්නවයි කියලා හිතන් ඉන්න ටිකෙන් තමා.

ඇත්තටම මේක ජොලි කතාවක්මත් නෙවෙයි. ඇසින් දැක්ක වෙනස්ම අළුත්ම දෙයක්. කපුටා සාමාන්‍යයෙන් කුඩූ හදන්න උපයෝගි කරගන්නේ පරඬැල්, ගස් වල අතු රිකිලි වගේ ශාකමය ද්‍රව්‍ය. කපුටා විතරක් නෙවෙයි අනිත් සෑම කුරුලලෙක්ම දන්න තරමින් එහෙමයි. පුංචි කාලේදී ස්කෝලේදී ඒකට හේතුව විදියට ඉගෙන ගත්තේ කූඩුව ඇතුලෙ සිසිල් කරන්න එහෙම කරනවා කියලයි. අතරින් පතර පලාස්ටික් පටි වලින්, නූල් කෑලි වලින් එහෙම හදපු කූඩුත් දැකලා තිබුනාට කම්බි කෑලි වලින්, ලෝහ යොදාගෙන හදන වඩාත් ශක්තිමත් කූඩුවක්…!

මේ ලඟකදී මං දැක්කා කපුටෙක් බයින්ඩින් කම්බි කෑල්ලක් එක්ක ඔට්ටු වෙනවා. ඌ ඒක ගෙනියන්නේ යකඩ වලට විකුණන්න වෙන්න බැරි නිසයි, මං අනුමාන කරේ ඒක ගෙනියන්නේ කූඩුවක් හදන්න විය යුතුයි කියලා. ඒ දැක්කේ කොල්ලුපිටියෙදී. ඊට සතිදෙකකට විතර පස්සේ නාරාහේන්පිටදිත් ඒ වගේම කපුටෙක් බකට් කම්බියක්, පාරේ තිබ්බ කුණු ගොඩකින් ඇදලා අරං පියාඹලා ගියා. ආයෙමත් මේ සතියේ සඳුදා නෙළුම්පොකුණ රඟහල හෝල්ට් එකේ බස් එක නැවැත්තුවම දැක්කා කලින් වගේම බයින්ඩින් කම්බි කෑල්ලක් උස්සන් යන ගමන් ගිමන් හරින්න වගේ පොඩ්ඩක් නැවතුන කපුටෙක්ව. වෙනස් ස්ථාන තුනක වෙනස් කපුටෝ තුන් දෙනෙක්. එකාම වෙන්න බැහැනේ.

මේක මට දැන් යම් තරමකට සාමාන්‍ය දෙයක් වුනාට, නොදැකපු කෙනෙක්ට අළුත් දෙයක්. මොකද මෙච්චර කල් කම්බි සිමෙන්ති යොදාගෙන වාසස්ථාන හැදුවේ මිනිස්සු විතරනේ. දැන් කපුටොත් කම්බි වලින් කූඩු හදන්න පටන් අරගෙන. හැබැයි තාම දැක්කේ නෑ කම්බි වලින් සම්පූර්ණ වුන කපුටු කූඩුවක් නම්. ඒකත් අනාගතයෙදී දකින්න ලැබෙයි කියලා හිතනවා. සමහරවිට ඒක මොකක් හරි පොයින්ට් එකක් වෙයි කපුටන්ගේ පරිනාමයේ..!!! උං දැනට කාක් කාක් ගාගෙන හිටියට සමහර වෙලාවට උනුත් කාර්මීකරණය පටන් අරගෙන ඇති… ඉස්සරහට උංටක් එක්ක කම්බි හදන්න වෙයිද දන්නේ නෑ මිනිස්සුන්ට. 😀

ඕකිඩ් ඓශ්චර්යය…

අසිරිය

අසිරිය

සමහර දේවල් තියෙනවා ලංකාවට විතරක් සීමාවුන. එක අතකින් බලද්දි ඒ දේවල් ලංකාවට විතරක්ම වෙච්ච එක හොඳයි… නැත්තං අනිත් රටවලුත් අපේ රට වගේ, මහජනයාට හුඟාක්ම ප්‍රිය රටවල් වෙයි. දරුවෙකුට උපදින්න සුදුසුම රටක් කියලත් හංවඩු ගැහෙයි. ඒ හැමදෙයක්ම මිනිසුන් විසින් කරන ලද දේවල් වල ප්‍රතිපල. ඒත් මිනිසුන්ගේ මැදිහත් වීමකින් තොරව ඉබේම ඇති වෙච්චි දේවලුත් ලංකාවට තියෙනවා. ඒවා ලංකාවට ආවේණිකයි කියල තමා කියන්නේ. ඒ වගේම ලංකාවට ආවේණික නොවුනත් වෙනත් රටවලත් සුළු වශයෙන් හා ලංකාවේ වැඩි වශයෙන් තියෙන දේවලුත් තියෙනවා. සමහර වෙලාවට අපි වැඩිය සොයා නොබලන නිසා මෙන්ම, දැන ගන්න ලැබෙන අවස්ථාත් අඩුනිසා ඒ වගේ දේවල් මග හැරෙනවා.

මිනිසා විසින් කොයිතරම් දේවල් කෙරුවත් ඒ කිසිවකට සොබාදහම පරයා නැගී සිටින්න බැරි බව මගේ පෞද්ගලික මතයක්. අපි ආහාර ලබාගන්නේ, වතුර ලබාගන්නේ… හුස්ම ටික පවා තාමත් ලබා ගන්නේ ගස්වලින්. තාක්ෂණය යම් දිනයක දියුණු වෙලා හයිඩ්‍රිජන් අණු දෙකකට එක ඔක්සිජන් අණුවක් අමුණලා අවශ්‍ය කරන ලවන වර්ගත් එක්ක බීමට සුදුසු ජලය ලැබෙන්න පුළුවනි. ඒ වගේම කෑම වලින් ශරීරයට ලබාදෙන සියළු දේවල් එක එන්නතකින් ලබාදෙන කාලයකුත් ඒවි. මිනිසාට ජීවත් වෙන්න අවශ්‍ය කරන හැමදේම කෘතිමව නිපදවන්න හැකිවේවි. ඒත්… සොබාදහමෙන් ලබාදෙන දේවල් තරම් ඒ කිසිවක් ලාභ දායක නොවේවි…! සුන්දර නොවේවී…! චිත්තයක් කර ගහ ගත්තු භෞතික ශරීරවල පැවැත්මට පමණක් ඒ දේවල් සීමා වේවි.

ඒකට තව කාලයක් ගතවෙයි. එතකන් ඉතිං මේ මහ පොළවේ පය ගහලා නිකං ලැබෙන ඔක්සිජන් ටික පෙනහල්ලට දාගෙන ශරීරය පුරා දුවවලා කාබන්ඩයොක්සයිඩ් ටිකක් පිට කරන ගමන් මේ අසිරියත් දැකගන්න. සොබාදහමෙන් තිළිණ වුන ලෝකයේ විශාලම සපුෂ්ප ශාක කුලයට අයත් වන, මේ පෘථිවියේ පැරණිම මලක් වන ඕකිඩ්…! වර්ග 25,000 කට අධික සෑම රටකම පාහේ දකින්නට ඇති, සමහර රටවලට විශේෂිත වූ වර්ගත් ඇති මේ මල් වර්ගය ගැන ලෝකයට උනන්දුවක් ඇති වුයේ 19 ශතවර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් බ්‍රසීලයේ සිට, තමා එක් රැස් කර ගත් ඕකිඩ් මල් පිරවු බඳුනක් එංගලන්තයට ගෙන යාමත් සමගයි.

ඉගිල්ලෙන වෙර දරන තාරාවුන් වැනි

ඉගිල්ලෙන වෙර දරන තාරාවුන් වැනි

පුරාණ එංගලන්ත වාර්තාවල ඇති පරිදි ලෝකයේ අනුරාගීම මල ලෙස පිදුම් ලැබුවේත් මෙම ඕකිඩ් කියලා සඳහන් වුන තැන් කීපයක් තියෙනවා. ඒ වගේම නොමුහුන් ඕකිඩ් වර්ග 25,000කට අධික ප්‍රමාණයක් තියෙද්දි දෙමුහුන් ඕකිඩ් වර්ග 40,000කට අධික ප්‍රමාණයක් තියෙනවා. දැනට ලෝකයේ උත්සව අවස්ථාවන් සඳහා වැඩියෙන්ම භාවිත වන මලත් ඕකිඩ්. ඕකිඩ් මල් වල අනෙකුත් මල්වල නොමැති විශේෂයක් වන්නේ සමහර ඕකිඩ් විශේෂ වලින් දිස්වෙන විවිධාකාරයේ සතුන්ගේ හැඩතලයි. ලාංකික අපිට හොඳින්ම දැක පුරුදු “කැන්ඩියන් ඩාන්සර්“ නම් වූ කහ පැහැති උඩරට නැට්ටුවෙකුගේ හැඩය ගත් මලත් ඕකිඩ් විශේෂයක්. ලංකාවේදී ඕකිඩ් වලට උඩවැඩියා කියන නම් භාවිතා කරනවා වගේම වෙනත් රටවලත් ඔවුන්ටම ආවේණික නම් භාවිතා වෙනවා.ලංකාවේ පමණක් නෙවෙයි, වෙනත් රටවලත් විවිධ හැඩතල ඉස්මතුවෙන ඕකිඩ් විශේෂ තිබෙන බව ඔබ දන්නවාද…?

බලන්න මෙතෙක් නොදැක්කානම් ඒ සුන්දරත්වය. අතීතයේ මිනිසුන් විශ්වාස කරලා තියෙනවා මේ මල් වලට මෙවන් හැඩ ලැබෙන්නට හේතුවී ඇත්තේ එම විවිධ හැඩැති සතුන් ඕකිඩ් මල් මත මියයාම හෝ මියගිය ආත්ම ඕකිඩ් මල් මගින් නැතවත් පුනර්ජනනය වෙන නිසා බව. ඒ වගේම සමහර ඕකිඩ් සුවඳ ආග්‍රහනයෙන් දීර්ඝ ආයුෂ ලබාගන්නත් පුළුවන් බව ඔවුන් විශ්වාස කර තිබෙනවා. ඒ වගේම සමහර ඕකිඩ් මත වසන මීමැස්සන් ක්ෂනිකව මැරී වැටෙන තරම් විසකුරු බවත් ඔවුන් දැක ඇත. –at මිනිසුන් තරම් විසකුරු නැත.

තණකොල පෙත්තෙක්

තණකොල පෙත්තෙක්

කළු වවුලා නමින් හඳුන්වන ඕකිඩ්... මෙයම ක්ළු සමනලයා නමිනුත් හඳුන්වනවලු

කළු වවුලා නමින් හඳුන්වන ඕකිඩ්… මෙයම කළු සමනලයා නමිනුත් හඳුන්වනවලු

ශීත බබෙක් වැනි ඕකිඩ්

ශීත බබෙක් වැනි ඕකිඩ් (Oh kid 🙂 )

වඳුරු මුහුණක් පෙන්වන ඕකිඩ්

වඳුරු මුහුණක් පෙන්වන ඕකිඩ්

නිරුවත් සුරංගනාවන් සේ දිස්වෙන

නිරුවත් සුරංගනාවන් සේ දිස්වෙන

ඩ්‍රැකියුලා ඕකිඩ් නම් විශේෂය

ඩ්‍රැකියුලා ඕකිඩ් නම් විශේෂය

හැමදාම බොන තේ ගැන, අහලවත් නැති දේ…

Black Tea

Black Tea

තේ කියන්නේ ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් වගේම ලෝකෙම දෙවෙනියට ජනප්‍රියම පානය. ඒ අතරිනුත් ලංකාව හා තවත් රටවල් කීපයක වැවෙන කළු තේ වලට තමා ලෝක ඉල්ලුම වැඩිම. ඉතිං අපි කොයිතරම් තේ බිව්වත් තේ කොල වල වර්ග ගනනාවක් තියෙන බව දන්නවා ඇත්තේ බොහොම ටික දෙනයි. අනිත් එක තමා ඒ තේ වර්ග වලින් ඉස්තරම්ම වර්ග දිවගාලා තියෙනවා ඇත්තේ ඊටත් සුළු ප්‍රමාණයක්..!

ලංකාවේ තේ වැවෙන ප්‍රදේශවල උස අනුව තේ ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. ඒ වර්ග තුන ඇතුලත තේ කොල වල යම් යම් ගුණ අගුන මත තවත් ප්‍රධාන කොටස් පහකටත් අතුරු කොටස් ගනනාවකටත් බෙදෙනවා. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 2000කට පහත ප්‍රදේශවල වැවෙන තේ පහතරට තේ ලෙසටත් (Low grown) අඩි 2000ත් 4000ත් අතර වැවෙන තේ මධ්‍යම තේ (High and medium) ලෙසටත් අඩි 4000ට වඩා උස ප්‍රදේශවල වැවෙන තේ උඩරට තේ (High grown) ලෙසටත් ලංකාව තුල හඳුන්වනවා. අනෙකුත් රට වලදී උස මට්ටම් අනුව තවත් වර්ග කීපයකට බෙදෙනවා.

ඉතිං ඔය උස් මට්ටම් තුනේදිම එකිනෙකට වෙනස් ගතිගුන ඇති තේ ප්‍රධන වර්ග පහක් යටතේ වර්ග කෙරෙන අතර එම වර්ග තවත් අතුරු වර්ග ගනනාවකටම කැඩෙනවා. ඒ වර්ග වලට කියන සිංහල වචන නම් හොයාගන්න පුළුවන් වුනේ නෑ. මොකද හැමෝම හඳුන්වන්නේ තේ වර්ගයට අදාල ඉංග්‍රිසි වදනින්ම වෙන නිසා. ඒ ප්‍රධන වර්ග පහ තමා…

  1. Dust

    Dust

    Dust – කළු තේ වර්ග කීරිමේදී පහත්ම ස්ථානය හිමිවෙන්නේ මෙයට. මෙහි අඩංගු වෙන්නේ තේ කොල වල පුංචි කැබලි හා තේ කොල කැබලි කිරීමේදී ඉවත් වෙන ඉතාමත් පුංචි කොටස්. දන්නවද අවාසනාවට වගේ, ලංකාවේ කොයිතරම් ඉස්තරම් තේ තිබුනත් කඩවල සිල්ලරට විකුණන්න තියෙන තේ වලින් වැඩිහරියක්ම මේ ජාතියේ තේ බව.

  2. Fanning

    Fanning

    Fanningමෙයත් වර්ග කිරීමේ පහතින් තියෙන තේ වර්ගයක්. ප්‍රධන වශයෙන්ම අඩංගු වෙන්නේ තේ දළු වල කැබලි. කැබලි කියන්නේ සාමාන්‍ය මට්ටමට වඩා පහත් මට්ටමේ කැබලි. ඒත් තරමක් වටින වර්ගයක්.

  3. BOP – Broken Orange Pekoe

    BOP – Broken Orange Pekoe

    BOP – Broken Orange Pekoe – මේ වර්ගය තමා වෙළඳ පොලේ වැඩි වශයෙන්ම තියෙන්නේ. ඒ කියන්නේ විවිධ ලේබල යටතේ පැකට් කරලා වෙළඳ පොලට එන්නේ මේ වර්ගයේ තේ. වර්ගකිරීමේ මධ්‍යම ස්ථානයක පසුවෙන මේ තේ වර්ගය තමා ලංකාව තුල වැඩියෙන්ම නිෂ්පාදනය වෙන්නේ. මෙහි අඩංගු වෙන්නේ පුංචි තේ දළු හෝ විශාල තේ දළුවල කැබලි.

  4. OP - Orange Pekoe

    OP – Orange Pekoe

    OP – Orange Pekoe – මෙම වර්ගයේ තේ හොඳ තේ වර්ගයක් ලෙස සලකනවා. ටිකක් මිල අධිකයි. මේ තේ වර්ගයේ අඩංගු වෙන්නේ පුංචි හා මධ්‍යම ප්‍රමාණයේ මුළු තේ දල්ලම… තේ මල් හා පොහොට්ටු නැතුව.

  5. FOP – Flowery Orange Pekoe

    FOP – Flowery Orange Pekoe

    FOP – Flowery Orange Pekoe – මෙය තමා සාමන්‍යෙයන් දන්නා විදියට හොඳම තේ වර්ගය. මෙහි අඩංගු වෙනවා සම්පූර්ණ තේ දල්ලම හා මල් සමග පුංචි පොහොට්ටුත්. මං නම් තාම මේ වර්ගයේ තේ කෝප්පයක රස විඳලා නෑ.

ඊට අමතර වශයෙන් නිපදවෙන තවත් තේ දෙවර්ගයක් තියෙනවා. ඒවා වැඩි වශයෙන් ජනප්‍රිය නැහැ. ඉතාමත් මිල අධිකයි. සාමාන්‍යයෙන් මෙම වර්ග දෙක සුපිරි වෙලඳ සැල් වලවත් සොයාගැනීමට අපහසුයි. තේ නිපදවන වත්තටම ගිහිං ගන්න ඕනේ වර්ගයක්. ගොඩක් වෙලාවට විකුණන්නෙත් පෞද්ගලික ඇඳුනුම් කම් මත පමණයි. එයින් එක් වර්ගයක් Silver tips හා  අනෙක Golden tips නම් වෙනවා. Silver tips කිලෝවක් රුපියල් 11000.00 සිට ඉහලටත් Golden tips කිලෝවක් රුපියල් 16000.00 සිට ඉහලටත් මිල වෙනවා. දන්න තරමින් උපරිම මිල රුපියල් 30000.00 දක්වාත් වෙන්න පුළුවනි.

SilverTips

Silver Tips

ඉතිං මේ විදියට තේ වතු තුල නිපදවෙන තේ පිටරට යවන්නේ හා ලංකාව තුල විවිධ ආයතන වලට ලබාදෙන්නේ තේ වෙන්දේසි කිරීම් මගින් අතරමැදි ආයතන හරහා. ඒ කියන්නේ බ්‍රෝකර් ආයතන හරහා. වත්තෙන් තේ සාම්පල ලබාගෙන බ්‍රෝකර් ආයතන වල ඉන්න තේ රස පිළිඹඳ මනා දැනුමක් හා අත්දැකීම් ඇති පළපුරුදු තේ රස බලන්නන් විසින් තේ වල ස්වභාවය අනුව මිලක් නියම කරනවා. ඊට පස්සේ හැම සතියකම තේ වෙන්දේසියක් පවත්වන අතර එහිදී තේ ගැණුම් කරුවන්ට අතරමැදියන් මගින් තේ ලබාගන්න පුළුවන්.

තේ ගැණුම් කරුවන් කියන්නේ තේ අරගෙන පැකට් කරලා වෙළඳ පොලට නිකුත් කරන ආයතන. එම ආයතනවලට අතරමැදියන් මගින් තේ ලබාදෙන්නේ තේ වගාකරන පිරිසට නියමිත වටිනාකමකට තේ අලෙවි කරන්න ඕනේ නිසා. එහෙම නැතුව ගාන වැඩිකරන්න නෙමෙයි. තේ පරීක්ෂකයන් විසින් නියම කරන්නේ තේ වල සියළුම ගුන අගුන සොයාබලා වෙන නිසා එම මිලට තේ ගැනීමට ගැණුම් කරුවන් උත්සුක වනවා මෙන්ම වඩාත් හොඳ ගුණයෙන් යුක්ත තේ නිපදවීමට තේ නිපදවන්නුත් ක්‍රියාකරනවා. ඒ වගේම කලින් කියපු Silver tips හා  Golden tips මෙම වෙන්දේසි වලට ඉදිරිපත් කරන්නේ බොහෝම කලාතුරකින්. ඒත් කිලෝඑකක් දෙකක් පමන ඉතා සුළු ප්‍රතිශතයක් පමණයි.

Golden Tips

Golden Tips

අපි හැමදාමත් දැකලා තියෙන්නේ නිකංම නිකං තේ කොල වුනාට මීට පස්සේ ගෙදරට තේ කොල ගෙනවාම බලන්නෙ ඒවා මොන වර්ගයට අයත්ද කියලා. මුල් වර්ග දෙක තුන අතර තේ වර්ගයක් වීමට තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.

ඒ වගේම පුංචි දෙයක් කියන්නම්… තේ කොල වල Dust කියන වර්ගය ඉතා සුළු ගානකට විශාල ප්‍රමාණයක්  මිලදී ගෙන ඊට වඩා තත්වයෙන් ඉහල තේ ස්වල්පයක් සමග මිශ්‍රකර ඉහල මිලකට විකුණන වෙළෙන්දෝ ඕනෙ තරම් ඉන්නවා. ගොඩක් වෙලාවට නිවෙස් වල කරන තේ පැකට් කර විකුණන අය කරන්නේ ඒක. ඒ නිසා හැකි තරම් ජනප්‍රිය හා විශ්වාසනීය වෙළඳාමක් සිද්ධවෙන ආයතනවලින් වෙළඳ පොලට නිකුත් කරන තේ වර්ගම ගන්න  උත්සාහ කරන්න. ගොඩක් වෙලාවට තේ පැකට්ටුවේ ඉස්සරහා තේ වර්ගයත් සඳහන් කරලා ඇති. අනිත් සිල්ලර තේ යම් තරමකට සෞඛ්‍යයට අහිතකර වෙනවා. හේතුව තමා තේ වල නැවුම් රතු පාට ඇති කිරීමට බාල තේ කොල වර්ග සමග විවිධ වර්ණකාරක මිශ්‍ර කිරීම. මෙය මේ වෙනතෙක් සෞඛ්‍ය බලපෑමක් ඇති නොවුනත් ඉදිරියට වෙන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න කොයිතරම් විශ්වාසවන්ත තේ පැකට්ටුවක් වුනත් එහි යම් අනුමත ප්‍රමාණයකට රසකාරක එකතු කරන්න ඉඩකඩ තියෙන බව. ඒත් දන්න තරමින් තේ වල කහට රසය ඇති කරන රසකාරකය නිස්සාරනය කරන්නෙත් භාගෙට වියලුන, අසම්පූර්ණ… ඒ කියන්නේ සම්පූර්ණ කොලයක් වශයෙන් වශයෙන් වෙළඳ පොලට ඉදිරිපත් කරන්න බැරි හොඳ තේ වර්ගවලින්.

♥ Tea ♥

♥ Tea ♥

මේ විදියට තේ කොල අපි අතරට එන්න කලින් ක්‍රියාවලි ගනනාවකට බඳුන් වෙනවා. තේ දළු නෙලීමේ පටන් තේ කොල රැස් කර විකුණන මධ්‍යස්ථාන දක්වා ගෙනඒමේදී අතරමැද සිදුවන කටයුතු දැනගන්න නම් තේ කොල නිපදවන කර්මාන්තශාලාවකටම යන්න ඕනේ. ඊට පස්සේ තේ කොල විකුණන්න පෙර මිලක් නියම කිරීමේදීත් තවත් ක්‍රියාවලි ගනනාවක් සිද්ධ වෙනවා. ඒවා වෙන්නේ තේ කොල වල නියැදි පරීක්ෂාකර මිල නියම කරන ආයතනතුල. එතනින් පස්සෙත්… තේ කොල පැකට් කරන, විවිධ නම් වලින් වෙළඳ පොලට නිකුත් කරන ආයතන තුලත් දීර්ඝ ක්‍රියාවලියකට මුහුන දීලා තමා අපිට තේ කොල කඩෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ…! at – ගෝල්ඩන් ටිප්ස් චුට්ටක් තිබුනනම්…!

ලෝකේ දෙවෙනියට ජනප්‍රියම කළු තේ… තුන්වෙනියට…?

පාරාදීසයේ ඉතුරු ටික…

new

පරිසරයට ආදරේ කරන මිනිස්සු දෙන්නෙක් පාරාදීසයක් හොයාගත්ත කතාව කලින් ලිපියෙන් කිව්වනේ. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් නැෂනල් ජියෝග්‍රැෆි 2012 දෙසැම්බර් කලාපයෙන් ලෝකයට කියලා තියෙනවා. ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියාව ආශ්‍රිත ප්‍රදේශවලින් තමා මේ පාරාදීසය හොයගෙන තියෙන්නෙ. කියවන්න කැමති කෙනෙක්ට මේ ලින්ක් එකෙන් නැෂනල් ජියෝග්‍රැෆි සඟරාවේ අදාල පිටුටික විතරක් ඩවුන් කරගන්න පුළුවන්. මං සිංහලට හරවලා ඇත්ත විස්තරේ කනවට වැඩිය හොඳයිනේ තියෙන විදියටම බැළුවනම්…!

පාරාදීසය සොයාගෙන ඇත…

19 වන සියවසේ ඇල්ෆ්‍රඩ් රසල් විසින් ගවේෂණය කරන ලද පක්ෂියෙක්

19 වන සියවසේ ඇල්ෆ්‍රඩ් රසල් විසින් ගවේෂණය කරන ලද පක්ෂියෙක්. අළුතින් සොයාගත් පරාදීසයේ ඌ තාමත් ජීවත් වෙනවා.

පාරාදීසය කිව්වම අපිට හිතට නැගෙන්නේ උස ගස් කොලන් වලින් පිරිච්ච, දිය ඇලි ගංගා හැම තැනම ගලාගෙන යන ලස්සන කුරුල්ලෝ එහෙ මෙහෙ පියාඹන අමුතුම ආකාරයක ජෛවීය කලාපයක්. මිනිසුන් විසින් පරිසරයට හානි කරන්න කලින් සමහරවිට එහෙම ලස්සන තැන් තියෙන්න ඇති මේ මහ පොළොව මතම. ඒත් දැන් නම් තියෙනවද කියන්න අමාරුයි.

ඉතිං අන්න ඒ නැති වෙලා ගිය පාරාදීසයක හෝඩුවාවක්වත් හොයන්න හිතාගෙන හරියටම මීට අවුරුදු 9කට කලින් උද්යෝගීමත් පරිසරයට ආදරය කරන මිනිසුන් දෙදෙනෙක්, තරමක් වෙනස් විදියේ ගවේෂණයක් පටන් ගත්තා.

ටිම් ලාමන් හා එඩ්වින් ස්කෝල්ස්  නම් එම පිරිසර වේදීන් දෙදෙනා විසින් පටන් ගත් ඒ ගවේෂණය වූනේ පුරාවෘත්ත හා සඹැඳි පාරදීසයන්හි වෙසෙතැයි සැලකුනු පක්ෂීන්ගේ ඇත්ත නැත්ත සෙවීමයි. ඉස්සර ලියවුන පොත් වල අඩංගු පක්ෂීන් එකෙක් හෝ ජීවත් වෙතැයි කියන විශ්වාසයෙන් පටන් ගත්ත මේ ගවේෂණය යම් කෙනෙකුට විකාරයක් ලෙස පෙනුනත් පරිසරය ගැන හිතන අයට නම් සුභ ආරංචියක් සමගින් ගවේෂණය සාර්ථකව අවසන් වෙන්නේ ගවේෂණ වාර 18කදී 39,000 කට අධික ඡායාරූප ප්‍රමාණයක් එකතු කරගනිමින්. සියළුම විස්තර නැෂනල් ජියෝග්‍රැෆි වෙතින්.

නිදිමත – බුදිමත…

නිදිමත….

නින්ද කියන්නේ මිනිස්සුන්ගේ වගේම සතුන්ගෙත් ප්‍රධාන සෞඛ්‍යමය අවශ්‍යතාවක්. දවස පුරාම වෙහෙසෙන ශරීර අවයව වලට නිවාඩුවක් දෙන්න, ඒ ඒ අවයවයන් භාවිතා කිරීමේදී වැය වුන ශක්තිය, පේශීන්, අස්ථි ආදි සෑම දෙයකම නැවත වැඩීමත් සිද්ධ වෙන්නේ නින්දෙදි. සෞඛ්‍යමය වශයෙන් විතරක් නෙමෙයි මානසික වශයෙනුත් විඩාවට පත් මොල වලට පුංචි විවේකයක් දීලා, තැන් තැන් වල ඉතුරු වෙලා තියෙන සිතුවිලි හිත ඇතුලෙ එක තැනක ඩිෆ්‍රෙග් වෙන්නෙත් නින්දෙන්. ඒක නිසා තමා හදිසියේ ඇතිවෙන මොකක් හරි විසඳුමක් හොයාගන්න බැරි ප්‍රශ්නයක් සඳහා හොඳම බේත සුළු නින්දක් කියන්නේ…!

ඉතිං නින්ද කියන්නේ සාමාන්‍ය වගේම අනිවාර්යය අවශ්‍යතාවයක්. මිනිස්සුන්ට විතරක් නෙමෙයි හැම සත්ත්වයෙකුටම.

මූ නම් කාලා කාලා දොයිද කොහෙද…

නිදා ගන්න වෙලාව එක එක සත්ත්වයින්ගෙන් සත්ත්වයින්ට වෙනස් වුනාට හැමෝම කරන්නේ නිදියන එකම තමා…! නිදියගන්න ඕනේ වුනාම ඒකට කියන්නේ නිදිමත කියලා. ඈණුමක් දෙකක් යද්දී ඒකෙන් පෙන්නුම් කරන්නේ “දැන් ඔබේ ශරීරයට පුංචි විවේකයක් අවශ්‍යයි“ කියන එක. ඉතිං එහෙම ඇලර්ට් වෙන්න ගොඩක් දෙනෙකුට නියමිත වෙලාවක් තියෙනවා. අන්න ඒ වෙලාවට ඉතිං ඇඳ හොයාගෙන ඇඳට පනින එක තමා කරන්න තියෙන්නේ. හිටිගමන් ගොඩක් වෙහෙස වෙලා යම් කාර්යයක නිරත වෙලා ටික වෙලාවක් නිකං හිටියොත් ඈණුම් දෙක තුනකින් ඇලර්ට් කරනවා විවේකය ගැන පණිවිඩය. එතකොටනම් ඉතිං හිටගෙන වුනත් විවේකයක් ගන්න තමා මොලේ ට්‍රයි කරන්නේ.

බුදිමත…

බුදිමත කියන්නේත් නිදමතටම කියලා තමා ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ. ඒත් ඒක එහෙම නෙවෙයිලු. නිදිමත කියන්නේ ස්වභාවිකව ඇතිවෙන අවශ්‍යතාවයක් වුනාට බුදිමත කියන්නේ ටිකක් විතර අස්වාභාවික තත්වයක්. ඒ මෙහෙමයි… බුදිමත කියන්නේ, කාලා කාලා බංඩිය පිරුනම ඒ ආහාර දිරවීම සඳහා අවශ්‍යවන රසායනික ක්‍රියාවලිය නිසා ශරීරයේ අනෙකුත් ක්‍රියාවන්ට වැඩිය ප්‍රමුඛස්ථානයක් ලබා ගැනීමට ලබාගන්න සුළු විවේකය. බුදිමත ඇතිවුනාම කොයිම වෙලාවකවත් සිටින ස්ථානය අදාල වෙන්නේ නැතිලු. නිදා නොගැනිය යුතු තැනකදි කෙනෙක්ට බුදිමත හැදිලා එතෙනම ඉඳන්  නින්ද යන එක වලක්වන්න උත්සාහ ගත්තොත් තවත් නිදිමත ස්වභාවය වැඩි වෙනවලු. ඒක නිසා කරන්න පුළුවන් හොඳම දේ ටිකක් ඇවිදින එක, කා එක්ක හරි කතාකරන එක වගේ වැඩිය මොලෙත් නොවෙහෙසෙන ශරීරයත් නොවෙහෙසෙන පුංචි ක්‍රියාකාරකම් කියලා තමා කියන්නේ.

ඒ වගේම නිදිමත හැදිලා නිදියන කෙනෙකුගේ මූහුණේ ඉරියවු හා බුදිමත හැදිලා නිදියන කෙනෙකුගේ මුහුණේ ඉරියවු සම්පූර්ණයෙන්ම වෙනස්ලු. නිදිමත හැදිලා නිදියන කෙනෙක්ගේ මූනේ තියෙන ස්වභාවයට වඩා බුදිමත අයගේ මුහුණ ගොඩක් වෙහෙසෙකර පාටක් පෙන්නුම් කරනවා වගේම යම් කිසි වේදනාවකින් පෙලෙන ගතියකුත් පෙන්නුම් කරනවලු.

ඉතිං ඒක නිසා ගොඩක් කාලා බංඩිය පුරෝගෙන, කවදාවත් නිදාගන්න නම් හිතන්න නම් එපා. ඒක තනිකරම බුදිය ගැනීමක් විතරයි. ඒකෙන් කෙරෙන්නේ ආහාර දිරවලා ආහාර ටික පැක් වෙන එක විතරයි. එහෙම නැතුව සිතුවිලිවල පිලිවෙල කිරීමක් ගැනනම් හිතන්න බෑ…

නිදිමතටයි, බුදිමතටයි අමතරව තවත් මත වල් තියෙනවා…. වෙරිමත / කනමත තමා ඊලඟට ලීඩ් කරන්නේ…!!!

පාට පාටින් මූන හැංගිල්ල….

මුන හැංගිල්ල කියන්නේ ඉතිං අපි හැමෝම වගේ සාමාන්‍යයෙන් කරන දෙයක්නේ. අපේ ඇත්ත මූන යට ගහගෙන හොඳ මූනක් පෙන්නන එක කාටවත් අමුත්තක් වෙන්න බෑ. එව්වා ඉතිං කරන්නේ කාවහරි රවට්ටන්න තමා. එහෙමත් නැත්තං කාට හරි ලෙඩක් අදින්න හිතාගෙන. ඒත් මේ කියන මූන හැංගිල්ලනම් කරන්නේ ගොඩක් වෙලාවට අසනීප වෙච්ච කෙනෙක්ව සනීප කරන්න එහෙමත් නැත්තං සිතට යම් සහනයක් අවශ්‍ය වෙච්ච කෙනෙකුට ඒ සහනය ලබාදෙන්න හිතාගෙන.

ඉතිං මේ මුන හැංගිල්ලට මූලිකවම යොදාගන්නේ වෙස් මූන කියලා හඳුන්වන ලී වලින් කැටයම් කරලා නොයෙක් වර්ණ වලින් වර්ණවත් කරපු පළදනාවක්. දන්න විදියටනම් ගොඩක් වෙලාවට වෙස් මූනු හදන්නේ  වෙල් කදුරු ලීයෙන්. වෙල් කදුරුම පාවිච්චි කරන්න හේතුවෙලා තියෙන්නේ ලීයේ ඇති සැහැල්ලු බව වගේම ඕනෑම අතකට හරවා කැටයම් කිරීමේ පහසුව නිසයි. මොකද මේ ලීය කොයි පැත්තෙන් කැපුවත් පතුරු ගැල වෙන්නේ නෑ… ඒ වගේම කල් පවතින ලීයක්.

වෙස් මූනු ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පහත රට හා මුහුදු බඩ කලාප වල කියල තමා දැනගන්න තියෙන්නේ. ඒ වගේම ඒ පැතිවලිනුත් මාතර, අම්බලන්ගොඩ ආදි ප්‍රදේශ විශේෂ තැනක් ගන්නවා. ඒ වගේම වෙස් මූනු වල විවිධත්වය ගොඩක් වැඩියි. අපේ අතීත සාහිත්‍යයේ කියවෙන දෙවිවරු, රජවරු,බිසෝවරු, විවිධ නම් තියෙන හා විවිධ දේ වලට අරක්ගත් අමනුෂ්‍යයින් හා අලි ඇතුන් වැනි සතුන් දක්වාම මේ වෙස්මූනු කලාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම අපි සමාජයේ නිතර ඇස ගැටෙන චරිත කිහිපයකුත් මේ වෙස්මූනු වලින් හාස්‍යයට ලක් කරලා තියෙනවා.

මේ තියෙන්නේ විවිධ වර්ණ වලින් පැහැ ගන්වපු නැති වෙස් මූනු කිහිපයක්. අපේ රටට පැමිණෙන විදේශිකයින් දැන් දැන් වැඩිපුරම නැඹුරුවක් තියෙන්නේ මේ වගේ කදුරු ලීයෙන් හදලා පාට නොකරපු ලීයේ ස්වභාවික පැහැයෙන්ම තියෙන වෙස් මූනු වලට කියලා තමා ව්‍යාපාරිකයින් කියන්නේ.

මේ එක්තරා විශේෂ වෙස්මූනක්. අපි හැමකෙනෙක්ම කලාත්මකව පැහැ ගන්වන ලද වෙස් මූනු කොයි තරම් දැකලා තිබුනත් මේ වගේ කලු හා සුදු පැහැයෙන් පමණක් අලංකෘත කරන ලද වෙස්මූනු නම් දැකලා නැතුව ඇති වැඩි පිරිසක්…! ඉතිං මේ තියෙන්නේ එහෙම වෙස් මූනක්. වෙළඳ පොලේ ඇති ඉල්ලුම අනුව මේ වගේ නිර්මාණ කෙරෙන බව තමා වෙස් මූනු නිපදවන්නන් කියන්නේ.

මේ වෙස්මූනු අශ්‍රිතවම කෙරෙන තවත් නිර්මාණයක්. කදුරු ලීයෙන්ම කරන ලද කුඩා ඇත් රුවක් සහිත යතුරු රඳවන කීපයක් තමා මේ. මේ සියල්ල දැක බලාගන්නට වගේම මිලදී ගන්නටත් හැකියාව තියෙනවා අම්බලන්ගොඩ පිහිටි වෙස්මූනු කෞතුකාගාරයෙන්. මේ වගේ තවත් බොහෝ දේ නිර්මාණය වෙලා තියෙනවා. ඒවා අතර කුඩා දේව ප්‍රතිමා, ඉතා කුඩා ප්‍රමාණයේ වෙස් මූනු හා විවිධ සත්ව රූපද, අම්බලන්ගොඩ – මාතර ප්‍රදේශ වලට විතරක් ආවේනික රිටක හිඳ මාළු බෑමේ නිරත වෙන මිනිසුන්ගේ නිර්මාණද තියෙනවා.

ඇත්තටම ලංකාවේ අතීතෙයේ ඉඳලම පැවත එන මේ වගේ පාරම්පරික කලාවක් ගැන අහන්න ලැබෙන තොරතුරු බොහොම අපූරුයි. ඉස්සර මිනිසුන්‍ගේ විවිධාකාර ඇදහිලි ක්‍රම හා විශ්වාසයන් මූලික කරගෙන තමා මේ වෙස් මූනු නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම අර කලින් කිව්ව වගේ එක චරිත මෙන්ම මිනිසුන්ගේ විවිධ ඉරියව් වලට  පවා ඒ වෙනුවෙන්ම වෙන්වුන වෙස් මූනුත් තියෙනවා. කම්මැලිකම, සතුට, කේන්තිය, වමනය වගේ දේවල් වලට දැන් භාවිතා වුනේ ඉමොටිකන්ස් වුනාට ඉස්සර ඉඳන්ම ඒ ඒ දේවල් වලට අදාල දැනට වඩා පිරිපුන් සංකේතමය මූනු ශ්‍රී ලාංකිකයා පාවිච්චි කරල තියෙනවා.

ඉතිං මේ හැම දෙයක්ම හොයාගෙන ගියේ, ඉරිදට ගෙදර ඉන්න බැරි අමාරුවට පිංසිද්ධ වෙන්න. මේ හැම කරුණක්ම දැන කියාගත්තේ අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකගාරයෙන්. මට මේ කෞතුකාගාරය පෙන්වන්න එක්කං ගිහිං කට්ට කාගෙන සෑහෙන උදවුවක් දුන්නේ මාඩාගේ අම්බලම ලියන මනූජ සහෝ තමා… ඇත්තටම ඒ කෞතුකාගාරයට ගියාම, කාලය හරහා ලංකාවේ අතීතයට ගියා වගේ හැඟීමක් තමා ඇතිවෙන්නේ. බලන බලන හැම පැත්තෙම හිනා වෙලා ඉන්න, විරිත්තගෙන ඉන්න, ඔරෝගෙන ඉන්න…. දිව එලියට දාගෙන හෑ… කියාගෙන ඉන්න එක එක විදියේ වෙස්මූනු වලින් පිරිලා.

නිවාඩු වෙලාවක හරි ගාල්ල පැත්තට යන ගමන් හරි නිකමට හරි ඒ තැනට ගියොත් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙයි… ඒ නැතත් තමන් ඉන්න මූඩ් එකට හරි යන වෙස් මූනක් හරි හොයාගන්න බැරියෑ….

pdf එකක් ඕනේ නම් මෙතනින්…

%d bloggers like this: