බයිබලය…

1. බයිබලය…

Bible

මේක ඇත්තටම ටිකක් විතර විකාර කතාවක්. කා විසින් කාහට කියන ලද්දක්ද කියලා නම් කියන්න විදියක් ඇත්තේම නෑ. මොකද එහෙම වුනොත් මට හෙට ඉඳන් පොඩි පොඩි අප්සට් සීන් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා කතාව විතරක් දැන ගන්න. අනිත් එක මේක කියෙව්වම අදාල මුළු කතාවම තේරෙන්නේ කිහිප දෙනෙකුට විතරක් වෙන්නත් පුළුවන්…! නොතේරුනා නම්, අන්න ඒවගේ කෙනෙක්ම තමයි මේක කියන්න ඇත්තේ කියලා සන්තෝස වෙන්න…

ඔන්න පහුගිය බුක් ෆෙයා එකට කොල්ලෙක් තමන්ට වෙන්ඩ භාර්යාවත් එක්ක යන්න ලෑස්ති වුනාලු. දෙන්නම තොරතුරු තාක්ෂණ වැඩ නිසා කරන්නේ දෙන්නටම පොත් ටික ටික ගන්න ඕනෙ. බුක් ෆෙයා එකේදි, එහෙම පරිගණක සම්බන්ධ පොතක් ගන්නවනම් ගොඩ දෙනෙක් ගොඩවදින්නේ එක්ස්ෆෝ ග්‍රැෆික් පොත් හලට. ඉතිං දැන් අර කොල්ලගේ වෙන්ඩ භාර්යාවට ඩේටා බේස් ගැන පොතක් ඕනේ වෙලා තිබුන නිසා… කොල්ලා කිව්වා, එහෙනම් අපි එක්ස්ෆෝ ග්‍රැෆික් එකෙන් sql bible එකක් ගමු කියලා.

ඔන්න ඊට පස්සේ කෙල්ල කිසිම ප්‍රතිචාරයක් නොදක්වා තත්පර ගනනකට පසු….

“ඒක හරි යන්නේ නැති වෙයි නේද? බයිබල් එකේ තියෙන්නේ වාක්‍ය වාක්‍ය නේ… මට ඕනේ විස්තර තියෙන එකක්…!”



 
2. ඉතිං මට කිව්වේ නැත්තේ මොකද…?

Radiationපසුගිය දිනවල බුකියේ ස්ප්‍රෙඩ් වුනා ඉමේජ් එකක්, සිංගප්පූරුවෙන් රෑ දොලහට එන අහිතකර කිරණ වර්ගයක් ගැන. ඇත්තම කතාව වුනේ ඒ වෙලාවට තමා ගොඩක් ඉන්ටනෙට් කනෙක්ෂන් වල රාත්‍රි ඩේටා බන්ඩල ක්‍රියාත්මක වෙන්නේ. ඉතිං රෑ දොලහට ෆෝන් ඔක්කොගෙන්ම ඩවුන් ලෝඩ් දැම්මම කනෙක්ෂන් ස්පීඩ් එක තරමක ස්ලෝ වෙන නිසා, කවුරු හරි බුද්ධිමතෙක් අර කිව්ව විදියට ඉමේජ් එකක් දාලා ඒක හැමෝමට ෂෙයාර් කලා. එතකොට ඉතිං රෑ දොලහට ෆෝන් ඕෆ් කරපු එවුන් නැති වෙන්න විදියක් නම් කොහෙත්ම නෑ. අනිවාර්යෙන් ඇති.

ඉතිං ඔය කතාව අර කොල්ලා එයාගේ වෙන්ඩ භාර්යාවට කියාලා, ෆෝන් ඕෆ් කරපු එවුන්ට හිනා වෙන්න හිතාගෙන, මෙන්න මෙහෙම කියනවා….

මේ… දැක්කද ඊයේ අර බුකියේ ගිය ඉමේජ් එක…

මොකද්ද…?

අර රෑ දොලහට ෆෝන් ඕෆ් කරන්න කියලා… ස්ප්‍රෙඩ් වුනේ…

ඇයි ඒ ඕෆ් කරන්නේ….?

සිංගප්පූරුවේ ඉඳන් අහිතකර කිරණ වගයක් ෆෝන් එකට එන නිසා කියලා…

“ඒක දැනගත්ත නම්, ඉතිං මට කිව්වේ නැත්තේ මොකද…?”

 

හ්ම්… දීපන්කෝ ඉතිං උත්තර… කමක් නෑ එකෙක්වත් බනිනවා එහෙම නෙවෙයි…. ඒ අහිංසක වෙන්ඩ භාර්යාවට… ගෑණු ළමයින්ගේ කොමන් සෙන්ස් ගැන දන්නවනේ ඉතිං…!

කපුටාගේ වෙනස්වීම…

.

.

කතාව කියන්න කලින් කපුටා ගැන ටිකක් කියලා ඉන්නම්. කපුටා කියන්නේ බොහොම සුලභ පක්ෂියෙක්. ඒ වගේම කොයිතරම් කුණු කසල ශෝධකයෙක්ද කියනවනම්… කපුටා නැතිවුනොත් උගේ වැඩ කරන්න නගරසභාවට වෙනමම සේවකයන් පිරිසක් යොදවන්න වෙන තරමට සෑහෙන සේවයක් කරන සතෙක්. මං දන්න විදියට අන්න ඒ හේතුව නිසාම කපුටන්ව මැරීමත් තහනම්.

ඉතිං මේ කපුටා කියන සතා වෙලාවකට සාස්තර කාරයෙක්. තවත් වෙලාවකට නගරසභා සේවකයෙක්. හැබැයි ජනකතා අනුව නම් කපුටා අලි පන්ඩිතයෙක් වගේම ගොන් මීහරකෙක්. ඒක නිසා තමා අනිත් කුරුල්ලෝ සම්පූර්ණයෙන් ආවරණය වෙන කූඩුවක් හදද්දි කපුටා විතරක් භාගෙට කුඩුවක් හදන්නේ. ඒ ජනකතා අනුව මට මතක විදියට, කපුටා මුලින් කූඩු හදන්න දන්නේ නෑලු. ඉතිං කූඩු හදන්න දන්න වෙන කුරුල්ලෙක් ගාවට ගිහිං කපුටා අහගන්නවලු කූඩුව හදන හැටි. ඉතිං ඒ කූඩුව හදන්න හරියටම දන්න කුරුල්ලාව මට මතක නැති වුනත්, පාඩම කෙරීගෙන යන අතරේදි… ඒ කියන්නේ කූඩුවේ යට කොටස හදාලා ඉවර වේගෙන යද්දි කපුටා… “අයියෝ… ඕක නම් මාත් දන්නවනේ…” කියලා පාඩම භාගෙට අහගෙන පියාඹලා ගියාලු. ඉතිං එදා ඉඳං ඌ කූඩුව හදන්නේ ඌ ඒ දන්නවයි කියලා හිතන් ඉන්න ටිකෙන් තමා.

ඇත්තටම මේක ජොලි කතාවක්මත් නෙවෙයි. ඇසින් දැක්ක වෙනස්ම අළුත්ම දෙයක්. කපුටා සාමාන්‍යයෙන් කුඩූ හදන්න උපයෝගි කරගන්නේ පරඬැල්, ගස් වල අතු රිකිලි වගේ ශාකමය ද්‍රව්‍ය. කපුටා විතරක් නෙවෙයි අනිත් සෑම කුරුලලෙක්ම දන්න තරමින් එහෙමයි. පුංචි කාලේදී ස්කෝලේදී ඒකට හේතුව විදියට ඉගෙන ගත්තේ කූඩුව ඇතුලෙ සිසිල් කරන්න එහෙම කරනවා කියලයි. අතරින් පතර පලාස්ටික් පටි වලින්, නූල් කෑලි වලින් එහෙම හදපු කූඩුත් දැකලා තිබුනාට කම්බි කෑලි වලින්, ලෝහ යොදාගෙන හදන වඩාත් ශක්තිමත් කූඩුවක්…!

මේ ලඟකදී මං දැක්කා කපුටෙක් බයින්ඩින් කම්බි කෑල්ලක් එක්ක ඔට්ටු වෙනවා. ඌ ඒක ගෙනියන්නේ යකඩ වලට විකුණන්න වෙන්න බැරි නිසයි, මං අනුමාන කරේ ඒක ගෙනියන්නේ කූඩුවක් හදන්න විය යුතුයි කියලා. ඒ දැක්කේ කොල්ලුපිටියෙදී. ඊට සතිදෙකකට විතර පස්සේ නාරාහේන්පිටදිත් ඒ වගේම කපුටෙක් බකට් කම්බියක්, පාරේ තිබ්බ කුණු ගොඩකින් ඇදලා අරං පියාඹලා ගියා. ආයෙමත් මේ සතියේ සඳුදා නෙළුම්පොකුණ රඟහල හෝල්ට් එකේ බස් එක නැවැත්තුවම දැක්කා කලින් වගේම බයින්ඩින් කම්බි කෑල්ලක් උස්සන් යන ගමන් ගිමන් හරින්න වගේ පොඩ්ඩක් නැවතුන කපුටෙක්ව. වෙනස් ස්ථාන තුනක වෙනස් කපුටෝ තුන් දෙනෙක්. එකාම වෙන්න බැහැනේ.

මේක මට දැන් යම් තරමකට සාමාන්‍ය දෙයක් වුනාට, නොදැකපු කෙනෙක්ට අළුත් දෙයක්. මොකද මෙච්චර කල් කම්බි සිමෙන්ති යොදාගෙන වාසස්ථාන හැදුවේ මිනිස්සු විතරනේ. දැන් කපුටොත් කම්බි වලින් කූඩු හදන්න පටන් අරගෙන. හැබැයි තාම දැක්කේ නෑ කම්බි වලින් සම්පූර්ණ වුන කපුටු කූඩුවක් නම්. ඒකත් අනාගතයෙදී දකින්න ලැබෙයි කියලා හිතනවා. සමහරවිට ඒක මොකක් හරි පොයින්ට් එකක් වෙයි කපුටන්ගේ පරිනාමයේ..!!! උං දැනට කාක් කාක් ගාගෙන හිටියට සමහර වෙලාවට උනුත් කාර්මීකරණය පටන් අරගෙන ඇති… ඉස්සරහට උංටක් එක්ක කම්බි හදන්න වෙයිද දන්නේ නෑ මිනිස්සුන්ට. 😀

උන – සිලි සිලිය

green bamboo plantඅපි…. ඒ කියන්නෙ කීපදෙනෙක් විතරක් යන්න පුරුදු වෙලා හිටිය ලස්සන තැනක් ගැන මට හොඳටෝම මතකයි. ගොඩ දවසට හවස හතර හතරාමාර වෙද්දී එතෙන්ට එන්න කියලා නීතියක් නැති වුනත්, සීතලට ගලන වතුර පාරෙ කකුල් දෙක දාගෙන කකුල් වටේ කැරකි කැරකි යන මාලු දිහා බලාගෙන මොනා හරි දෙයක් කියවනවා කියන්නේ… ඒක හද පත්ලෙන්ම කියවෙනවා කියන එකයි. එක අපි හැම දෙනාටම පොදුවුනා. ගෙවල් වල ප්‍රශ්න, ස්කෝලේ ප්‍රශ්න, කෙල්ලෝ ප්‍රශ්න අරක මේක හැම එකම අපි අතර බෙදා ගන්න ඉඩ තිබුන එතෙනට නමක් තිබුනේ නෑ. අපි කිව්වේ “යමං ඇලපාර අයිනට” කියලා.

හරියටම හඬ මේ වගේ කියලා කියන්න බැරි විවිධත්වයක් එක්ක නිරතුරුවම ගලාගෙන ගිය ඇල පාර අපිට සුන්දර අපේම තැනක් වුනේ, මං එක පාරක් ගිහිං එතෙන්ට උඩහ තිබුන කැලෙන් කොටයක් පෙරලගෙන ඇවිත් දාපු දා ඉඳන්. ඒ කපලා දාලා තිබුන කොටේට පයින් පාරක් ගැහුවේ තිබුන දාංගලේට ඇලපාරට වැටෙන්න කියලා හිතාගෙන මිසක් ඇති වැඩකට නෙමෙයි. ඒත් කොටේ ඇලට නොවැටී ඇල අයිනෙම තිබුන උන පඳුරට හේත්තු වෙලා නැවතුනේ “පිස්සු කෙලින්නේ නැතුව, වැඩක් ඇත්තෙම නැත්තං මේං මෙතෙන්ට වෙලා වාඩිවෙලා, ඇලට කකුල් දෙක දාගෙන පොඩ්ඩක් කූල් වෙයන් මිනිහෝ” කියන්න වගේ. මං එදා ඒ ඇරයුම පිලිගත්තා. ඒකෙන් මට හොඳක් මිසක් නරකක් වුනේ නෑ. මට විතරක් නෙමේ මගේ යාළුවන්ටත් හොඳක් මිසක් නරකක් වුනේම නෑ.

ඇත්තටම වැඩක් නැතිව කම්මැලි වුනාම ලඟ ලඟ තිබුන යාළුවන්ගේ ගෙවල් ඉස්සරහට ගිහිං “උදාර යමාං…” කියලා කෑගහපු ගමං “හා ටිකාක් හිටපාං… මං කනෝ…” කියලා ගේ ඇතුලෙන් සද්දේ එන්නේ ඌත් මාත් එක්ක යන්න එන වග ස්ථිර කරන්නයි. උදාරලාගේ අම්මා මිදුලට ඇවිත් “පුතා දන්නවනේ අපේ එකාගේ කෑම… එන්න ගෙට මං බත් බෙදන්නම් පුතාටත්” කියලා ගේ ඇතුලට යනවා. “මට බත් එපා නැන්දේ… මේ කාපු ගමං ආවේ” කියලා කියන කොටම උදාර එනවා “හා යමං” කියාගෙන. ඒක එක උදහරණයක් විතරයි යාළුවන්ව එකතු කරගැනීම ගැන. අනිත් තැන් වලදිත් ඔහොමම තමා. එහෙම නැත්තං “උඹලා පලයං මං තව ටිකකින් එන්නං” කියනවා. එහෙම කිව්වනම් අනිවාර්යෙන් ඌ එනවා. පොලු තියන්නේ නෑ. මොකද හිතේ තියෙන හැම දෙයක්ම කටෙන් වචන කරලා අතෑරලා දාන්න පුළුවන් එකම තැන ඇලපාර නිසා.

ඒ වගේම හැමදාමත් අපි කතා තැන ඇලපාරේ සද්දේ එකක්ම අපිට ඇසුන දැනුන අනෙක් හඬ මගේ කොටේ නවත්තලා අපිට කතා කරන්න තැනක් හදලා දුන්න උන පඳුර. ඒ වටේටම උන පඳුරු තිබුනත් මේක තරමක් විසාලෙට හැදුන කොලයි කහයි දෙකම මිශ්‍ර වෙච්චි උන පඳුරක්. කාට හරි එකෙකුට මොකක් හරි මගුලට අඬන්න ඕනේ වුනානම් උන ගහක් බදාගෙන අඬනන්නයි, මොකක් හරි කතාවකට බඩ කොරවෙනකංම හිනාවෙලා අන්තිමේ හිට ගෙන ඉන්න අමාරු වුනාම පොඩ්ඩක් පිට දීලා ඇලවෙන්නයි හැම එකටම එපා නොකිය සහයෝගය දුන්න උන පඳුර කොච්චර හුළඟට පැද්දී පැද්දී සිලි සිලි ගෑවත් කවමදාකවත් ඒ සිලි සිලිය අපේ කතාවලට බාධාවක් වුනේ නෑ.

හැම වෙලේම අපේ ඇඟට වේලුන උන කොල වලින් දමා ගහන කොට කවදාවත් අපිට කේන්ති ගියෙත් නෑ. ඇත්තටම මොකක් හරි සීන් එකකට කවුරු හරි කේන්තියෙන් ආවත් උන පඳුර ඒ කේන්තිය උගෙන් උදුර ගන්නවා විනාඩි ගානක් ඇතුලත. ඒ නිංස්කලංක බව අස්සේ ඉඳගෙන හිත ඇතුලෙන් කේන්තියෙන් පිච්චෙන්න දෙන්නේ නෑ එක මොහොතක්වත්. හැම වෙලාවෙම දෙපා සිසිල් කරගෙන ගලන වතුර පාරත් එක්ක එකතු වෙලා ගින්දර නිවනවා. ඇලපාර ලඟ උන පඳුර යට කෙල්ලෝ ප්‍රශ්නම කීයක් විසඳෙන්න ඇත්ද…? අපේ සෙට් එකේ හිටිය හත් අට දෙනාගෙන් හතර දෙනෙක්ම ඔය වගේ චීත්ත ප්‍රශ්න වලට අනිත් අයගෙන් උදවු ඉල්ලුවේ උන පඳුර යටදී. ප්‍රශ්නයක් උන ගමන් හැම එකාම බලන් ඉන්න ඇලපාර අයිනට දුවන්න. අනිවාර්යෙන් ප්‍රශ්න වලට උත්තර කෙසේ වෙතත් හිත හරි හැදෙනවා. සතියකට වතාවක් දෙවතාවක් ඇලපාර ගාවට යන එක නිකංම පුරුද්දක් වුනාට නියමිත දවසක් නෑ. අර කලින් කිව්වා වගේ කවුරු හරි එකෙක් ඇවිත් නම කියලා කෑගහලා “යමාං…” කිව්ව ගමන් තමයි රැස්වීම පටන් ගන්නේ. කාට හරි අසනීපනම් හෝ කොහෙ හරි ගමනක් ගිහිං නම් ඇරෙන්න උන පඳුර යටට යන ගමන මග අරින්නේ නෑ කවුරුවත්ම.

අපි ලොකු වෙලා දුර බැහරට වෙන් වෙලා යනකං වගේම ඉඳලා ඉඳලා දින ගැනලා නිවාඩුවකට අපිට පොඩ්ඩක් ස්ටෙලා වෙන්නත් ඒ උනපඳුරම ලඟක් වෙනකම්ම හෙවන දුන්නා. ඒ හැම දවසකම ඉස්සර තිබුන දඟකාර සිලි සිලියවත්, තාලයක් හොයාගන්න බැරි ඇලපාරේ සද්දෙවත් වෙනස් වුනේ නෑ. ඒ වගේම මාස ගනන් හිතේ තද කරන් ඉඳිය ඒවා එලියට ඇදලා ගන්න හැකියවත් ඒ තැනින් තුරන් වෙලා තිබුනේ නෑ. ඒ තරමට හිතින් විතරක් නෙවෙයි බොක්කෙන්ම ආදරය කරපු තැන දැන් අපිට අයිති නෑ.

දැන් ඒක කාටවත් අයිති නෑ. මගේ අතින් පෙරලුන කොටේ සමහර විට ඇල පාරටම වැටිලා ගහගෙන යන්න ඇති. නැත්තං කොහේට හරි විසික් කරන්න ඇති. දැන් එතෙන ඇලපාරකුත් නෑ… තියෙන්නේ ටිකක් විසාල වතුර හිඳුන කොන්ක්‍රිට් වලින් බැමි බැඳපු ඇලක්. ඉවුරු දෙපැත්තෙන් හාරලා ලොකු කරපු කෘත්‍රිම ඇලේ දැන් මාලු පැටවු නෑ. තියෙන්නේ හැම තැනින්ම ගලාගෙන ඇවිත් කංකුං ගස්වල බැඳුන වතුර උඩ පාවෙන දේදුන පාට ගහන තෙල් තට්ටුවක් විතරයි. උන පඳුරත් ඇලේ ඉවුරු ලොකු කරද්දී කපලා දාලා. දැන් සිලි සිලියක් නෑ… අන්තිමටම ඉතුරු වෙලා තියෙන්නේ අගින්ම කපලා දාපු උන පඳුරු කෑලි ටිකක් විතරයි. ඒ වගේම එතෙනට එකතු වෙන්න කොල්ලොත් නෑ. උං හැමෝම කාමර අස්සේ බිත්ති වලට කොටුවෙලා ගේම් ගහනවා, චැට් කරනවා, එහෙමත් නැත්තං නිදි. උං උන්ගේ ප්‍රශ්න කාට කියනවා ඇත්ද…? උත්තර කොහෙන් හොයනවා ඇතිද…? වර්චුවල් යාළුවෝ ගොඩක් මැද සිමෙන්ති කාමරයකට වෙලා මොනාවනං කරන්නද…?

උංට අපිට තිබුන පින නෑ. අපිට සංවර්ධනය නොතිබුනාට බොක්කෙන්ම ඉන්න යාළුවෝ ටිකක් හිටියා. හවසට සෙට් වෙන්න අපේම තැනක් තිබුනා. හැමදේම කතා කරන්න, හිනාවෙන්න තැනක් තිබුනා. දැං එවුං කාමරේට වැදිලා මොනිටරේ දිහා බලාගෙන බකමුනෝ වගේ තනියම හිනාවෙනවා ඇති. උංට උන පඳුර කැපුවත්, ඇලපාර හිඳුනත් වගේ වගක් නෑ. උංට ප්‍රශ්න තියෙන්නේ කරන්ට් එක නැතිවුනාමයි ඉන්ටර්නෙට් ස්ලෝ වුනාමයි විතරයි.

ඒත් අපිට තාමත් උන පඳුරේ සිලි සිලිය, ඇල පාරේ සින්දුව නැතුව පාළුයි.

ගොඩ කාලෙකින්, 2015 ප්‍රථම ලිපිය විදියටයි මේ…

සැඟව යන පුරාවත…

Legend

Legend

මෙතුවක් කාලෙකට මගේම නොවෙන කෙනෙක් නිසා දුකක් ඇති වුනානම් මේ පළමු අවස්ථාව වෙයි. මගේ යාළුවෙක්වක්, නෑයෙක් වත් නොවෙන කිසිම දිනක අතේ දුරින් සජීවීව දැක නැති කෙනෙක් ගැන ඉකියක් හිර වුයේ නම් ඒද පළමු අවස්ථාවයි. සාමාන්‍යයෙන් අනිකුත් ගැහැණුන් පිරිමින් චිත්‍රපටිවල ඇති බොළඳ සීන් වලට සට පට ගා අඬන විට මම සිනාසුනෙමි. ඒ වැඩි හරියක්ම බොරු කතාවක් වෙනුවෙන් ඇත්තටම අඬන ජොලි බුවාලා දැකීමෙනි. මට කිසි දිනෙක ඒ කිසිම කතාවක් සඳහා කඳුලක් නැඟආවේ නැත. ඒ හැටිය. බොරුව … බොරුව ලෙස දැකීමට මා කැමතිය. එහිද යම් ෆන් ගතියක් ඇත.

කෙසේ හෝ මා කියන්නට ගියේ මා ක්‍රිකට් වලට ඇත්තටම අකමැත්තෙන් හිටි කාලෙක යම් යම් හේතු නිසා යම් තරමක කැමැත්තක් ඇති වුයේ යම් යම් ක්‍රීඩකයන් නිසාය. මුලින්ම මහානාම, අරවින්ද, කලූ ආදී ඒ සමකාලීනයන් නිසා ඇතිවූ කැමැත්ත වඩාත් තීව්‍ර වූයේ මුරලි හා මහේල – සංගා යන අරුම පුදුම සංයෝජන නිසාය. ඒ අතරිනුත් මහේල විශේෂය. කිසි දිනෙක සජීවීව දැක නොමැති වුවත්, මැච් එකක් අවසානයේ කරන සුළු කතා බහෙන් පවා දිස්වෙන ඔහුගේ පෞරුෂයට, තරඟයක පරාජය ගැන අනෙකෙකුට ප්‍රසිද්ධියේ ඇඟිල්ල දැක් නොකිරීම ගැන මහත් සේ ඇළුම් කලෙමි. ක්‍රීඩාකරන විලාශය මෙසේයැයි හුවා දැක්වීමට තරම් ක්‍රිකට් ගැන දැනුමක් නැති වුනත් මහේල අනිත් අයගෙන් වෙනස් බව පමණක් තේරුම් ගැනීමට තරම් නම් ක්‍රිකට් ගැන දැනුමක් ඇත.

කෙසේ හෝ ඔහු අදින් පසු 20-20 මැච් වලදී වත් ටෙසට් මැච් වලදීවත් දකින්නට නොලැබීම ගැන පට්ට දුකය. එනමුත් ප්‍රතිවාදී පිළෙන් ඔහුට අවසන් තරඟයේදී ලැබුන උණුසූම් පිලිගැනීම ගැනනම් මාර සන්තෝසය. වෙනත් කෙනෙකුට පිටස්තර කන්ඩායමකින් එහෙම සැලකීමක් ලැබුනාද නැද්ද නම් දන්නේ නැති නමුත් මහේල ඒ පිලිගැනීමට වඩාත් සුදුස්සෙක් බව විශ්වාස කරමි.

කිසිම අප්සැට් චවනයක් අසානොගත්, ක්‍රිකට් දිවිය අනානොගත් මගේ ප්‍රියතම පිතිකරු ලෑයිස්තුවේ පළමු ස්ථානය තවත් නොදැකීමට හැකිවීම දුකකි. ඇත්තෙන්ම මහේල පුරාවෘත්තයකි. ක්‍රිකට් තියෙන තුරාවට මහේල යන නමද පවතිනු ඇත. ඒ තරම් හිත්ගත් ක්‍රීඩකයෙක් තවත් කාලෙකට බිහි නොවෙනු ඇත. බිහිවුනත් ගතිගුන නම් ඒ වගේ නොවෙනු ඇත.

එක්දින තරඟ වලදී දැක ගන්නට හැකි වුනත් දැන් නම් ඒ ගැනත් බයය. ඊළඟට සංගක්කාර… ලෑයිස්තුවේ දෙවෙනියාත් ටෙස්ට් මැච් වලින් සමුගනීදෝ යන්න නිල නොවන ලෙස ආරංචි වී ඇති බැවින්, ලෑයිස්තුව අළුත් කරගත යුතුව ඇත. වැඩි විස්තර අනවශ්‍යය. පිටු ගනන් පුරා, පත්තර පුරා ඔහු ගැන ඕනෑ තරම් ලියවී ඇත. තවත් ලියන්නටද ඇත. මහේලගේ අවසන් ටෙස්ට් දිනයේ මැච් එක නොබැලුවත්, ගෙදර ඇවිත් පත්තර වල, නෙට් එක පුරා තියෙන පින්තූර දැක්කාම දැනුන, කිසිදාක නොදැනුන දුක මෙසේ විය.

නියමිතය….

separation

separation

මැවුන දහසක් සිතුවිලි අතර,
ගණනය නොකල හැකි… ඉපදෙන මැරීම් මැද..
කෙසේ නම් වෙන් වුනිද මේ ලෙස…
තවත් එකම එක පෙම් සිතුවිල්ලක්ව…?

රැයට නෙත් නොපියවන…
දාවලට නෙතට නිවනක් නොදෙන…
සුළඟ හමන අත දැන දැනම,
කුමට ළං වුනිද හදපත්ලටම…?

විසුමක් නොමැති සංවාද මැද,
එකම සිතුවිල්ලක එල්බ ගෙන…
කෙසේ නම් දරා ඉන්නද…
අනාගතයේ වෙන්වීම…?

-Just Random-

සතිදෙකෙන් අමතක වීම…

හ්ම්…. ටික කාලෙකට පසුව. අද නම් දෙන්න හදන්නේ ඇට්ටි හැලෙන්න. කාටද…? සිංහල අපිට. මොකටද…? වැරදි වටහා ගැනීමකට. අපිට වාසියක් කරගන්න තිබුන සිතුවිල්ලක් අපිට අවනම්බුවක් කරගත්ත එකට… සමහරවිට ඇට්ටි ටික මටම කැරකිලා ඒවිද දන්නෙත් නෑ. කමක් නෑ… සාමාන්‍යයෙන් වෙන දේනේ…!

සතිදෙකක්...

සතිදෙකක්…

මෙහෙමයි… දැන් ඔය මැරිච්චි ප්‍රභාකරන් ඉන්නවනේ… ඉතිං බුවා ඒ දවස් වල කොහෙහරි කරපු කතාවකදී කියලා තියෙනවා “සිංහල එවුන්ට දෙයක් මතක තියෙන්නේ සති දෙකයි” කියලා. අනිවාර්යෙන් පොර එහෙම කියලා තියෙන්නේ සිංහලයව මුදු මොලොක් මල් පිහාටුවක් වගේ බිමට පා කරලා දාලා නැතිබංගස්ථාන කරන්න හිතාගෙන. කනගාටුවෙන් වුනත් මාත් ඇතුළුව බොහෝ දෙනෙක්… බොහෝ දෙනෙක් කිව්වට සියළුම දෙනා වගේම, ඔය අලි ටෝක් එක මහ ඉහලින් පිළිඅරගෙන තිබුනා. දැනටත් තියෙනවා. ඒ වගේම මොකෙට්ට හරි බනින්න වේදිකාවකට නැග්ගත් ප්‍රභාකරන්ට ලකුණු වැටෙන නොවැටෙන ගානට ඔය වැකිය එහෙමම කියනව කතාව අහගෙන ඉන්න අයට.

ඉතිං අහගෙන ඉන්න අයත් ඕක පිළිඅරගෙන තමාගේ සිත් තුල තැම්පත් කරගන්නවා. කොහොම කොහොම හරි ඔය වගේ සිංහල අයට අපහාස වෙන විදියට ඔය කතාව ලංකාව තුල පැතිරුනේ අපේම සිංහල කතා කාරයෝ නිසා කිව්වොත්, කේන්ති ගියත්… කතාව ඇත්ත නේද කියලා හිතෙයි. මං හිතන්නේ වැඩිහරියක්ම දේශපාලකයෝ තමා ඔය කතාව රට පුරා මහ ලොකුවට කිය කිය මිනිස්සුන්ගේ හිත් වලට ඔය කතාව ඇතුල් කලේ.

කොහොම හරි අන්තිමේ සිද්ධ වුනේ ඇත්තටම අපේ මිනිස්සු ඔය කතාවට අනුව බලෙන්ම වගේ වැඩ කරන්න පෙළඹිච්ච එක. ඒ කියන්නේ යම් හොඳ හෝ නරක සිදුවීමක් මතකයේ තියානොගෙන බලෙන්ම වගේ අමතක කරලා වෙන අලුත් සිදුවීමක එල්ලිච්ච එක. දැන් කෝ අර පාට පාට වැහි වල අප්ඩේට්…? ඒවා ගැන කොරපු පරීක්ෂණ… ඒවා කාටවත් මතක නෑ… දැන් මතක අපි අවුරුදු දහඅටකට පස්සේ වර්ල්ඩ් කප් එකක් ඉස්සුවා කියන එක විතරයි. ඒකත් දැන් අමතක වෙලා යන ගානේ තියෙන්නේ… ඇයි ඉතිං අවුරුදු ගැන හිතන්න එපැයි.

මට කියන්න ඕනේ නැවතත් පාරක් “සිංහලයාගේ හැටි එහෙම තමයි” කියන එකමයි. ප්‍රභාකරන් කිව්ව කතාව හරි කියන එකමයි. ඒ වගේම ඒක අපි හිතන විදයට, අපේ ඔලු වලට කිඳා බස්සපු තරමට… ඒක කවදාවත් සිංහලයාගේ දුර්වලතාවයක් වුනේ නෑ කියන එකයි. අපි වැඩිහරියක් සිංහල බෞද්ධයෝ. අපි දන්නවා අටලෝ දහම කියල එකක් ගැන. නින්දා – ප්‍රශංසා, යස – අයස ගැන අපි අහලා තියෙනවා, විඳලා තියෙනවා. ඒත් ඒ කිසිම දෙයකින් නොසැලී, ඕනෙවට වැඩියෙන් ආඩම්බර නොවී, ඕනෙවට වැඩියෙන් දුක් නොවී… අපේ වැඩ අපිට කරගෙන යන්න පුළුවන් කියන්නේ උපේක්ෂාව කියන එකයි. හැම දෙයක්ම මැදහත් සිතින් ඉවසගෙන ඉන්නව කියන එකයි.

මං හිතන්නේ ඒකත් අපිට ආර්යන්ගෙන් ආපු පුරුද්දක් වෙන්න ඕනේ. හැබැයි දැන් නම් ඒකේ වැරැද්දක් පේන්නේ නෑ. ඉස්සර මාත් ලොකුවට ඔය වැකිය අල්ලගෙන් ලිව්වා. ආයේ ලියන්නේ නෑ. වෙච්චි දෙයක්, නැති වෙච්ච දෙයක් ගැන මාස ගනන් හිත හිත ලතවෙනවට වැඩිය ඒක සති දෙකෙන් බැරිනම් සතියෙන් හරි අමතක කරලා දාලා කරගෙන යන වැඩේම හරි, අළුත් වැඩකට හරි අතගහන එක වැරැද්දක්ද…? ලැබිච්ච දේකින් සතුටු වෙවී නිකං කාලෙ කනවට වඩා ඒක හැකි ඉක්මනින් අමතක කරලා දාලා තවත් දෙයක් ගැන හිතන එක වැරැද්දක්ද…? තව දුරටත් මට එහෙම හිතන්නේ නෑ. සමහරවිට ප්‍රභාකරන් කියන්නේ ඇත්තේ අපි ඔය දකින දේ නෙවේ වෙන්න ඇති. බුවා කියන්න ඇත්තේ මුංට කොච්චර අත්දැකීම් ලැබුනත් ඒ අත්දැකීම් ජීවිතයට ‍එකතු කර නොගෙන කලින් වෙච්චි වැරැද්දක්ම නැවත නැවතත් කරනවා කියන එක වෙන්න ඇති. එහෙම නැතුව අපේ පොරවල් කියන විදියට හැම දේම සති දෙකෙන් අමතක කරනවා කියලා ලේසි පහසුවට කියන එක නෙමෙයි වෙන්න ඇති. කොහෙද ඉතිං ඒක හරියට පැහැදිලි කරගන්න පොර ඉන්න එකක්යැ…!

අන්තිමේ මට හිතෙන්නේ ඒ කියමන සිංහල අපිට අවනම්බු වෙන්න හැදුවට, අපේ සිංහලයොත් ඒක අපිට අවනම්බු වෙන විදියටම පැතිරෙව්වට… ඒ කියමන සිංහල බෞද්ධයන්ගේ සැබෑ ලක්ෂණයක් ඉදිරිපත් කරනවා කියලයි. හැබැයි අර අත්දැකීම් එකතු කරගන්නේ නැතුව මග හලන එකටනම් මටත් ටිකක් මෙව්වා එකයි වගේ…!

අමතක වෙන්න කලියෙන්…

පුංචිම කාලේ  “අ“ යන්නෙ ඉඳන් තාමත් ඉගෙන ගන්නව වුනාට සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න ගත්තට පස්සනේ යුනිකෝඩ් ඉගෙන ගත්තේ. ඉතිං දැන් වැඩිය නොලිය වෙන නිසාම මට පොඩි බයක් තිබුනා අකුරු ටික අමතක වෙලාවත් යාවිදෝ කියලා. ඉතිං මේ කොටා ගෙන කොටා ගෙන යන්නේ යුනිකෝඩ් මතකයේ ප්‍රගති සමාලෝචනයකට.

හ්ම්… නරකම නෑ පළවෙනි ඡේදෙ ලියලා ඉවර කරාම නම් අකුරු පැටලිලි, අකුරු අමතක වීම් මුකුත් නෑ. ඒ කියන්නේ ප්‍රගතිය කෙසේ වෙතත් සමාලෝචනේනම් මරු ! දැන් ඉතිං අලුත් අවුරුද්දක්නේ. ඒක නිසා ඉතිං මේ අවුරුද්දෙත් බ්ලොග් එකේ මොනා හරි ලිවුවා කියන්නවත් මොනා හරි ලියලා යන්න ඕනේ. ඇත්තටම කාටවත් සුභ පතන්නවත් බැරි වුනා මේ පාර. හරි හමං හේතුවක් නම් නෑ නිදහසට කරුණු විදියට…

එහෙමනම් මේ අවුරුද්දේ පළවෙනි ලිපිය මං කැමතිම පුංචි කාලේ ගැන. තාමත් නිදහස් වෙලාවට හිතින් දුවන, මනෝ ගහන මං කැමති අතීතය ගැන. ඇත්තටම අනිත් අයට වගේ මට ගමේ ඉන්න ලොකූ කාලයක් තිබුනේ නෑ. මුළු අවුරුද්දටම මං ගමේ ඉන්න ඇත්තේ දවස් 30කටත් අඩුවෙන්. ඒකත් සැරින් සැරේට. සමහරවිට ඒ හින්දම වෙන්න ඇති තාමත් මට අගේ දැනෙන්නේ ඒ දවස් ගැන. අනිත් මිනිස්සු ගමේ ඉඳන් නගරෙට එන්න හදද්දි, කවදාවත් නොයනව වුනත් හැම වෙලේම හිතින් හරි යන්න ට්‍රයි කරන්නේ ඒ නිසා වෙන්න ඇති.

මං මගේ සීයලා දෙන්නගෙන් එක්කෙනෙක්ව විතරයි දැකලා තියෙන්නේ. අම්මගේ තාත්තා මං උපදින්න කලින් නැතිවෙලා. ඒක නිසා ගමේ ඉන්න තිබුන සීයාව මම දැකලා නෑ. ඒත් ආච්චිව නම් මතකයි. ඒ එයාගේ තිබුන ආදරය සහ තවත් එක එක ගතිගුන නිසා. ආච්චි ඉඳිය මැටි ගහලා පොල් අතු හෙවිල්ලපු ගේත් එක්ක ආච්චිගේ මතකය තාම තියෙනවා. ඒ ගමේ හැම කෙනෙක්ම අම්මගේ අම්මට හෝ තාත්තගේ අම්මට කියන්නේ කිරිඅම්මා කියලා. මං ඉතිං ඔව්ව දන්නවැයි මං හැම දාමත් කිව්වේ ආච්චි කියලා. සමහර වෙලාවට මං එහෙම කියද්ද අවට ගෙවල් වලින් ආපු පොඩි එවුන් කට ඇරන් බලන් ඉන්නවා මොකද්ද ඒ මං කිව්වේ කියලා.

ඇති… ඇති… මේං කතාව. ඒ පැත්ත අර්ධ ශුෂ්ක පළාතක්. හැබැයි දවල්ට විතරයි. සමහර විට ඒක වෙන්න ඇති අර්ධ ශුෂ්ක කියන්නේ. 😉 රෑට නම් රෙදි දෙක තුනක් පොරව ගෙනවත් හීතලෙන් බේරෙන්න බෑ. ඒකත් මාර කාලගුණයක්. ඉතිං හැම දාමත් රෑ වේගෙන එද්දි දවල්ට නොතිබුන කැලෑ ගස් වල ගඳත් එක්ක හීතල හුළං එන්න ගන්නවා. ඒක අනිවාර්ය දෙයක්. සමහර වෙලාවට ඒ ගස් වල ගඳ අස්සේ ඇත්තෝර, කජු ගස් වලින් එන සුවඳ වගේ අතලොස්සක් විතරක් වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙනවා. ඉතිං මං කරන්නේ ගෙදර අගුපිලට වෙලා පොඩි වේවැල් පුටුවේ වාඩි වෙලා, කකුල් දෙකත් උඩට අරගෙන හමන හුළඟට ඉව අල්ල අල්ල ඉන්න එක තමා. ඒකත් මාර ජොලි වැඩේ. හයාමාර විතර වෙද්දි ඔය වැඩේ පටන් ගද්දිම එහායින් තියෙන කුස්සියෙන් එනවා ආච්චියි, අම්මයි, මම්මයි කෑම උයන සුවඳ. මොනවා ඉව්වත් මාර සුවඳයි… රසයි…

හත, හතයි කාල වගේ වෙද්දි මදුරු සේනාව එනවා. උංගෙන් බේරෙන්න ආච්චි මට ගෙනත් දෙනවා පොඩි තුවායක්. “කකුල් දෙක වහගනින් කොල්ලෝ“ කියලා. මට සරං අඳින්න දන්නේ නෑනේ. ඒක නිසා කොට කලිසම ඇන්දම දනිස්සෙන් පහල එලියේ. ඒ ටික වහගන්න තමා තුවාය දෙන්නේ. ඒ වුනාට මං කරන්නේ බෙල්ල වටේ වටයක් දාලා මුළු ඇඟම වහගන්න එක. එතකොට ඉතිං මදුරුවෝ ඉඳියා කියලා දැනෙන්නෙවත් නෑ.

ජනේලෙන් පිටත

ජනේලෙන් පිටත

පස්සේ රෑට කාලා එක එක කතා අහලා එහෙම නිදාගන්න යන වෙලාව තමා දවසක් අවසානයේ ගෙවෙන හොඳම මොහොත. මං හැමදාමත් නිදා ගන්නේ ජනෙල් පියන් නැති ලී කූරූ හතරක් විතරක් තියෙන ජනේලේ අයිනට වෙන්න. වෙනදට නම් ආච්චිලා ජනේලෙට රෙද්දක් දානවලු. හැබැයි මං යන දාට ඒවා බෑ. ජනේලේ අයිනේ මම, ඊගාවට තාත්ත, එහාපැත්තෙන් අම්මා. එහෙමයි පිළිවෙල. ආච්චි ෆුල් ට්‍රයි එක දෙනවා ඔය පිළිවෙන වෙනස් කරන්න. ජනේලෙන් මට පිනිබානවා කියලා. එක දවසක් පිනි බෑවට මොකෝ කියලා මාත් අරින්නේ නෑ… දෙතුන් පාරක් “අනේ අනේ“ කියලා බැගෑපත් වෙනවා… ඒත් හරියන්නේ නැත්තං මූන බෙරි කරගන්නවා. එහෙමත් බැයිනම් හයියෙන් අඬනවා…! අන්න එතකොට ආච්චියි, අම්මයි, තාත්තයි, මම්මයි තුන් දෙනාම සටන අතෑරලා මට දිනුම දීලා මාව දානවා ජනේලේ අයිනට. එතකොට ඇඬිල්ල ඉවරයි. ආච්චි දෙන රෙද්ද තාත්තා මගේ ඔළුවේ ඉඳන් පොරවලා මූන විතරක් ඇරලා තියෙනවා මට ජනේලෙන් අහස පේන්න.

ඒක හරියට කවුරු හරි ඇන්ද චිත්‍රයක් වගේ. අහසේ තරු තියෙනවා. ඊට පහලින් එක එක ගස්වල කලු අඳුරු හෙවනැලි තියෙනවා. ඊටත් පහලින් කනාමැදිරි පියාඹනවා. හරියට නිකං ඇනිමේටඩ් මූවි එකක් වගේ. ඔය ඔක්කොමට මෙහායින් පොල් අතු වහලෙන් බේරෙන පොල් කොල ටික පේනවා උඩින් පේන ප්‍රමාණය අවහිර කරපු සීමාවක් වගේ. ඇඳ ගාවින්ම තියෙන්නේ ජනේලේ. ඒක තමා ඈතින් පේන සජීවී චිත්‍රයේ පින්තූර රාමුව.

පිනි වැටුන මකුළු දැල්

පිනි වැටුන මකුළු දැල්

කොහොම හරි ඔහොම පැය භාගයක් විතර යද්දී නින්ද යනවා. ඊට පස්සේ පාන්දරට ඇහැරෙන්නේ එහා වත්තේ මී දෙන්නු ටික උම්බෑ එලාම් එක ගහන්න ගත්තම. ඉතිං ඇහැරිලා බලද්දි මට දකින්නේ රෑ තිබුන තරු පිරුන අහස වෙනුවට ලා වට නිල් පාටක් ගෑවුන වෙන චිත්‍රයක්. ඒකත් ලස්සනයි… ඒක දිහා බලාගෙන ඉද්දි තව ටිකකින් ආයෙ පටන් ගන්නවා කුකුල් එලාම් එක. ඒක නවතින්නේ උදේ හත අට වෙලා “ස්නූස්“ වෙවී දිගටම වදිනවා ඒක. අන්තිමේ මං නැගිටිනේ ආච්චි ගේන එළකිරි එකේ සුවඳට. දැන් මං බොන නෙස්ප්‍රේ වගේ නෙමේ… සුවඳයි… රසයි… ආච්චි ඉඟුරුත් දාන නිසා තවත් සුවඳයි. ඒක බිව්වම මාර ෆිට් ඇඟට. පුංචි වහු පැටව් වගේ තමා ඒක බිව්ව වෙලේ ඉඳන් එහාටයි මෙහාටයි දුවනවා….! ඊට පස්සේ පින්නෙන් තෙත් වෙච්ච පොලොවේ ඇවිදිනවා… මකුලු දැල් වලට වැටුන පිනි දිහා බලාගෙන ඉන්නවා. ඊට කලින් දවසේ මකුලු දැලක් තිබුනයි කියලා හිතෙනන්නෙවත් නැති තැන්වල පිනි වැටිලා මකුලු දැල් වල රැඳිලා. මුළු වත්ත පුරාම ඒ වගේ සුදු පාට බිම පිපිච්චි පිනි මල් සියගානක් තියෙනවා. අට නවය වෙද්දි නැති වෙලා යනවා.

ඒත් මතකය ඉතුරු වෙනවා…!

%d bloggers like this: