හ්ම්…..!!!!

කියවලා ඉවර කරන්න හිතෙන්නේ නැති, පොත් කියවිල්ල…!

අපි හැමෝම පොත් කියවනවනේ… අර කව්දෝ මන්දා කියලත් තියෙනවනේ පොත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ… කියලා. මටත් ඒ වැකිය ස්කෝලේ යන කාලෙ ඉඳලම අහලා අහලා ඇති වෙලා තිබුනේ. ඒ මදිවට අපේ පුස්තකාලෙත් තඩි අකුරින් බ්‍රිසිල් බෝල් හතරක් පහක් සෙට් ‍කරලා ලොකුවට ඇඳලා තිබුනා. ඒ දවස් වල ඉතිං ‍මගේ පොත් කියවීම ගැන කියනවනම්, මං අර පුස්තකාලේ තිබුන වැකිය දකින්නේ අවුරුද්දටම වැඩිම වුනොත් පස් පාරයි. එක පාරක් යනකොට දූවිලි පිහිදලා ලස්සනට බැබලෙන්න තියෙනවා. ආයෙ යන දාට මකුළු දැල් බැඳිලා දූවිලි පිරිලා…

කොහොම කොහොම හරි මං ටිකක් වැඩියෙන් පොත් කියවන්න ගත්තේ කුමාරිකාව එක්ක නඩු දාගන්න ගත්තට පස්සේ. ඒ දවස් වල ඉතිං එයා කියවන පොත් ප්‍රමාණේ එක්ක බැළුවම මාව අහලකින් වත් තියන්න බෑ. පියතුමා එයාලගේ පුස්තකාලෙන් පොත් ගේනවා නඩු කාරිත් එයාලගේ පුස්තකාලෙන් පොත් ගේනවා. ඉතිං එයා ඔක්කොම වැඩ පැත්තක තියලා පොත් ටික කියවනවා. ඒ දවස් වල මාත් බලනවා මොනාද මෙයා මේ කියවන්නේ කියලා. පස්සේ ඔහොම බලන්න ගිහිං තමා පොත් වල රහ මටත් දැනුනේ. එව්වා මැක්සා පොත් ටිකක්, ඔක්කොම පරිවර්තනය කරපු ළමා කතා. ආයෙ මොනාද පොත කියවද්දී අපිත් නිකං බෝට්ටු ගෙදර පොඩි ළමයි වගේ කියලා හිතෙන තරමටම සංවේදීව ලියලා තියෙනවා. ඊට පස්සේ නම් ඉතිං සතියකට එක පොතක් එයා කියවනවා, අනික මං කියවනවා…. ඒ ඉතිං හොරන්. මොකද කුමාරිකාවගෙන් ලස්සන කතා පොතක් ඉල්ලගන්නවා කියන්නේ ඉබ්බගෙන් පිහාටු ගන්නවාට වැඩිය හපන්….!

ඉබ්බනම්… අනේ මයේ ගාව නෑ ඕයි පිහාටු … බලනවකෝ කට්ටක් විතරයි තියෙන්නේ… තමුසෙට ඕනෙමනම් කුරුල්ලෙක් ගෙන් ඉල්ලලා දෙන්නං… කියලා හරි කියයි… ඒත් ඉතිං හපෝව්… මතක් කරන්න එපා… ඒකට අර ගල් ඉබ්බි….

නෑ…. නෑ… නෑ….කියවල මිසක් දෙන්නේ නෑ….!  ඉතිං එයා කි‍යෝලා ඉවරවෙන කොට පොත ආපහු බාර දෙන්න ඕනේ කාල සීමාවත් පැනලා.  ඒක නිසා මං පුරුදු වුනා පොත් හොරකම් කරගෙන ගිහිං එක හුස්මට කියෝලා ආයෙම ගෙනත් දෙන්න. පවුනේ ඉතිං අනිත් අයත් කියවන්න ඕනෙනේ…!

මේ තියෙන්නේ හොරකම මාට්ටු වෙලා අහගත්ත ටික…!

ඊට පස්සේ ඔහොම එක එක පැත්තට හැරී හැරී මගේ පොත් කියවිල්ල ටික ටික වැඩි වුනා. වැඩි හරියක්ම පරිවර්තන… ඊට පස්සේ විද්‍යාත්මක එව්වා, එතනින් පස්සේ ලංකාවේ අතීතය වගේ දේවල්. හිතට අල්ලපු නවකතා, යාළුවෝ හොඳයි කියපු නවකතා එහෙමත් හොයාගෙන හරි සල්ලි දීලා අරගෙන කියවන්නත් පුරුදු වුනා.

ඔහොම ගිහිං ගිහිං එක එක ඒවා කියෝ කියෝ හිටි මට ආයෙමත් ඉස්සර වගේ ළමා කතා කියවන්න හිතුනනේ…! ඒ දවස් වලට වැඩිය දැන් තමා ඒවා රස. කොටින්ම කියන්න කතා පොත කියවලා ඉවර කරන්න ලෝබයි. කතාව ඇතුලේ ජීවත් වෙමින් පොත කියවද්දී, චුරු චුරු ගගා වැස්සකුත් තිබ්බ නිසා ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද පරිවර්තනය කරපු‍ ලෝරා ඉන්ගල්ස් ගේ වන අරණක කුඩා නිවස පොත කියවලා ඉවර කරන්න මට දවස් හයක් ගියා කිව්වොත් මොකද හිතන්නේ…?

ඒ තරමටම අපේ හිත් තාමත් පුංචි කාලෙට ආස කරන හැටි. කතාවේ කියවෙන ලෝරායි මේරියි දිහා බලාගෙන, අපි එයාලගේ පුංචි ගේ ඇත්ලේ එහෙ මෙහෙ යන අදෘශ්‍යමාන චරිතයක් වෙන්නේ අපි හිතන්නත් කලිං.

දැන් ඉතිං ලැපිත් නැති එකේ පුංචි කාලේ කියෝපු පොත් සේරොම හොයාගෙන කියවන්න ගන්න ඕනේ…! මොකද සමහර පොත් තියෙනවා එක පාරක් කියෙවුවම තව තව කියවන්න ආසා හිතෙන එව්වා… ඒ අතරින් ඔය ගංගා නිරෝෂනී පරිවර්තිකාව පරිවර්තනය කරපු පොත් සීරීස් එකම නියමයි. ටිකක් තේරුම් ඇති වයසක පොඩි එහෙකුට තෑගි දෙන්නත් ගැලපෙනවා…

හරි කියලා ඉවරයි….! මගේ යශෝධරාවත 19

කාලෙකට පස්සේ මේ ලඟදී දවසක මං කුමාරයා ගියා මගේ රටක් වටින දේවියව බැහැදකින්න…! ඉතිං උදේ පාන්දරම යද්දී නඩුකාරි වැටක් බඳිනවා. ඒකට සපෝට් එක දීගෙන යශෝධරාවගේ පියතුමා ඉනි වගයක් කපනවා. ඒත් ඉතිං නාලා කරලා, විලවුන් නාගෙන ගිය මං කුමාරයට විදියක් තිබුනෙම නෑ එයාලට උදව් වෙන්න….!

පස්සේ ඉතිං කර කර හිටිය වැඩේ දාලා යශෝධරාවගේ මව්තුමී ආවා මාලිගයට. ඊට පස්සේ කව්දෝ මන්දා කෙල්ලෙක්ගේ රත්තරං පාට අත් දෙකක් ඇවිදින් මවුතුමීගේ ඉන වටේ පටලැවිලා උරේ උඩින් පසොලොස්වක සඳක් වගේ මූන තියාගත්තා. මං කුමාරයටත් ඉතිං වෙන මොනාද ඔය මූන දිහා බලාගෙන ඉන්න තියේනම්…!

ඉතිං අර මං කුමාරයට පෙන්නන්නේ නැතුව බලෙන්ම හංගගෙන ඉන්න දාංගලෙත් එක්ක ටික වෙලාවක් යශෝධරාව කතා කලා. ඉතිං ඒ ඇති මං හිතන්නේ දවස් තුන හතරකට හුස්ම අරං ජීවත් වෙන්න. ඊට පස්සේ තමා මේ අතීත කතාව මතක් වුනේ…

ඒ දවස් වල, යශෝධරා – ගෝල්ඩ් ෆිෂ් පෙම පටන් ගත්ත අළුත. හරිම නැවුම්. ඉතිං පුළුවන් හැම වෙලාවෙම දෙන්නට දෙන්නා තමන්ගේ ටැලන්ට්ස් පෙන්නනවා. ඉතිං දවසක් දා නිවාඩු දවසක… නඩු කාරි, යශෝධරාවයි මං කුමාරයවයි එක්කන් ගියා එයාට බාර දීලා තියෙන පාසල් පරිගණක විද්‍යාගරයට. ඒක ඉතිං අපි දෙන්නටම අමුතු තැනක් නෙවෙයි. මම ඒකේ තිබ්බ කොම්පියුටර් 17ටම වින්ඩෝස් දාලා තියෙනවා. ඊට පස්සේ යශෝධරාවගෙයි මගෙයි පීසී වලට නීඩ් ෆෝ ස්පීඩ් දාගෙන තියෙනවා. ඒ මදිවට මං පාවිච්චි කරන මැසිමට ජෙට් ඕඩියෝ, මියුසික් මැච් ජියුක් බොක්ස් එහෙමත් දාගෙන තිවුනා.

ඉතිං යශෝධරාව ගිය ගමන් එයාගේ සුපුරුදු එන්.එෆ්.එස් ගහන්න තියාගත්තා. කවදාවත් එයා මං නැතුව ඒ ගේම් එකේ පළවෙනියා වෙලා නෑ… අදටත් ඒක එහෙම්මයි…! මාත් ඉතිං ටිකක් ගනන් උස්සලා එහෙම මගේ පාඩුවේ හෙඩ් සෙට් එකත් දාගෙන කොලෝනියල් කසින්ස් ලෑ ඇල්බම් එක අහ අහ ඉන්න කොට… චූටි රෝස පාට ඇඟිල්ලක් මගේ උරේට වදිනවා වගේ ඇහැ කොනකින් දැක්කා. පස්සේ හැරිලා බලද්දී කුමාරිකාව මං කුමාරයා ලඟ හිටගෙන මොනාද මන්දා කියලා, බැරිම තැන තමා මට ඇඟිල්ලෙන් කතා කරලා තියෙන්නේ. පස්සේ ඉතිං හෙඩ් සෙට් එක එහෙම ගලවලා ඇහුවා…. ඇයි…? කියලා…

මටත් ඕනේ සිංදුවක් අහන්න…..

අනේ ඔයා අහන සිංදු…. මහ ලොකුවට මියුසික් ක්ලාස් ගියාට සිංදු කියන දන්නෙත් නැද්ද කොහෙද….

අනේ අම්මේ… මේ බලන්නකෝ…..

ඇ… දෙයියනේ … නඩුවක් නේද…. මං කුමාරයා කර ගත්ත විපත මහත…. ඔය එන්නේ නඩුකාරි පොතත් අරගෙන…

ඇයි පුතේ….?

මෙයා කියනවා මට සිංදු කියන්න බෑ කියලා…. හුම්….

අනේ තියෙන කොමලේ…. කියලා කියන්න ගියාට කිව්වේ නෑ.

ඉතිං පුතා අයියට ඇහෙන්න සිංදුවක් කියන්නකෝ…

ඊට පස්සේ හරී සතුටින් ඇස් දෙක ලොකු කරගෙන ගොඩක් ආසවෙන් මගේ ලඟින්ම තිබ්බ කැරකෙන පුටුවේ වාඩි වෙලා, හරියට ඉන්ටවීව් එකකට ගිහිං සිංදු කියනවා වගේ මගේ දිහාම බලාගෙන පුංචි කට පොඩ්ඩෙන්, කිව්වා සිංදුවක්… ඒ සිංදුව මට ඇහුනෙනම් නෑ එවෙලේ… මොකද මං කුමාරයා ඒ සිංදුව පටන් ගන්න කොටම ඒ මූනේ තිබ්බ ආලෝකයට වශිවෙලා, තාලෙට පැද්දෙන රන් පාට මූන දිහා ඇහි පිල්ලම් නොගහම බලාගෙන ඉන්න තරමට ධ්‍යාන ගත වෙලා හිටිය නිසා…. ඒත් මං සිංදු අහ අහ හිටිය හෙඩ් සෙට් එකේ මයික් එකෙන් ඇතුලට ගිය යශෝධරාවගේ කට හඬ ජෙට් ඕඩියෝ වලින් ප්‍රොසෙස් වෙලා ඕඩියෝ ෆයිල් එකක් හැදුවා…!

සිංදුව කියලා ඉවර වුනාට පස්සේ… හරි කියලා ඉවරයි….! කියලා මහා ලෝකයක් දිනාගත්තා වගේ ජයාග්‍රාහි බැල්මකින් මගේ මූන දිහා බලන් හිටිය හැටි….! ලස්සනයි සිංදුව කියලා කටක් ඇරලා කියාගන්න බැරි තරමට මං කුමාරයාගේ කට උඩඟු වෙලා හිටියට…. යශෝධරාව දන්නේ නෑනේ….. එයා කිවුව සිංදුව මැරෙනකම්ම අහන්න පුළුවන් වෙන්න මගේ ගාව රෙකෝඩ් වුනා කියලා… ඒ සිංදුවට මං කොයිතරම්ම ආසා කරනවද කියලා….! කොහොමහරි සිංදුවේ රෙකෝඩින් වොලියුම් මදි නිසා ඔඩ්යෝ එක එඩිට් කරද්දී අන්තිමටම කිව්ව “හරි කියලා ඉවරයි…” කිව්ව ටික මං කුමාරයා ඉවත් කලා. දැන් නම් ඒ ඔරිජිනල් රෙකෝඩින් එක හොයාගන්න නෑ….. ඒත් සිංදුව තියෙනවා. ඒ එක්කම අර මැකිලා ගිය කොටස හැම දාමත් හිතේ රැවුදෙනවා…. හරී… කියලා ඉවරයි…..! කියලා….. ඒ පොඩි වෙලාව කොහේ රෙකෝඩ් නොවුනත් මගේ ඇස් දෙක අස්සෙන් ගිහිං, කන් දෙකෙන් ශබ්දය උරාගෙන…. මගේ මතකයේ නම් රෙකෝඩ් වෙලා තියෙනවා අදටත්….!

ආයෙ මයේ ගාව සිංදු කියන එකක් නැති වුනාට, මේ ඇතිවෙයි තව කාලයක් හුස්ම ගන්න.

මහ ලොකු ස්පෙෂල් කැටගරිය….

මොනාද හොයන්නේ ඔයා….?

ෂා‍‍‍…. ෂෝයි අක්කියෙක්…. ආහ්…. මම මේ බර්ත් ඩේ කාඩ් හොයනවා….

බර්ත් ඩේ කාඩ් තියෙන්නේ එහා පැත්තේ…. එතනින් තෝරගන්න….

හා….. කියලා මම  බර්ත් ඩේ කාඩ් තියෙන තැනට ගියා. හප්පේ තෝරගන්න බැරි තරමට කාඩ්…. එක එක කාන්ඩ යටතේ වෙන් කරලා.

මුලින්ම අවුරුද්දට වඩා අඩු බබාලට, පස්සේ අවුරුද්දට වැඩි… පහට වැඩි, වගේ ඉඳන් අවුරුදු හැට දක්වාම පිලිවෙලට තියෙනවා. අර චූටිම බබාලගේ හරියේ තිබුනා මරු කාඩ් සෙට් එකක්. එව්වා ඇරියම චූස් චූස් ගාලා හැප්පි බර්ත් ඩේ සිංදුව ප්ලේ වෙනවා. ඒ මදිවට එක එක පාටින් තොරන වගේ ලයිටුත් පත්තු වෙනවා.

මදර්, ෆාදර්, සිස්ටර්, බ්‍රදර්…. ටීචර්, මදර් ඉන් ලෝ…. අරකද මේකද හැම ‍එකම. ඒත් ඉතිං ඔය කොයි වර්ගෙන් තිබුනත් මට ඕනේ එක නැහැ.

දැනට අවුරුදු කීපයකට කලින් නම් ඉතිං කිසි බයක් සැකක් නැතුව ගිහිං දුන්නේ ටීචර් කැටගරියේ කාඩ් එකක් වුනාට පහු වෙද්දී එහෙම කොරන්න බැරුව ගියානේ. තැන් තැන් වල ඇවිද්ද හිත කුමාරිකාවක් ගාව නැවතුනාම ඉතිං ආයෙම කුමාරිකාවගේ අම්මට ටීචර් කැටගරියේ කාඩ් දෙන්නේ මොන හිතකින්ද දෙයියනේ. ඒක නිසා ඉතිං එදා ඉඳං හැම අවුරුද්දෙම දුන්නේ ස්පෙෂල් කාඩ් එකක්.

ඒත් ඉතිං දැන් එහෙමත් බැහැනේ… ඒක නිසා දැං මං හොයන්නේ හිටිය මදර් ඉන් ‍ලෝ කියන කාන්ඩය හරි ආයෙමත් වෙන්ඩ මදර් ඉන් ‍ලෝ කාන්ඩය හරි දෙකම නැත්තං හිටිය/වෙන්ඩ ස්පෙෂල් කාන්ඩය හරි.

සාමාන්‍යයෙන් හිටිය, වෙන්ඩ මදර් ඉන් ලෝ නැතිවුනත්, ස්පෙෂල් කැටගරියක් තියෙන්න එපැයි බර්ත් ඩේ කාර්ඩ් තියෙන තැනක. මෙතෙන ඒකත් නෑ. ඇත්තටම මට මෙදා පාර වෙලාවක් තිබුනේ නෑ බම්බලපිටියේ උතුම් පැතුම් එක පැත්තට වටයක් දාන්න… ඒක නිසයි පානදුරේ අලුතින් දාපු බුක් ෂොප් එකකට රිංගුවේ. මොන වැඩක් තියෙන තැනකට ආවනම් කමක් නෑ…. ඒත් ඉතිං එවෙලේත් ටිකක් රෑ වෙලා තිබුන නිසා මෙතනින්ම එකක් ඇගෙන යනවා කියලා හිතාගෙන කාඩ් එකක් තෝරන්න ගත්තා.

හතර වටේටම බැළුවා ස්පෙෂල් කියලා කාඩ් සෙට් එකක් නෑ. අනිත් එව්වා ඔක්කොම තියෙනවා. ඒක විතරක් නෑ… ඉතිං මොනා කරන්නද අහෙන් මෙහෙන් ඇද ඇද ස්පෙෂල් තත්ත්වෙට සරිලන කාඩ් එකක් අනිත් කාඩ් අස්සේ හොයන්න කියලා මං හිතාගත්තා. එහෙම හිතලා කාඩ් සීයකට වඩා පෙරලන්න ඇති ම්හු…. ඒත් නෑ….

පස්සේ ඔන්න අර ස්වීට් අක්කා ආයෙම ආවා….

තාම තෝරගත්තේ නැද්ද….?

අයියෝ…. මෙතෙන ස්පෙෂල් කාඩ් සෙට් එකක් නෑනේ…

ආහ්… ස්පෙෂල් කියලා ගහලා නම් නෑ… ඒත් අර ලේබල් එකක් නැති රැක් එකේ බලන්න. කියලා එයා ගියා.

පස්සේ ඉතිං මාත් මොකාද වගේ ගිහිං බැළුවා. එතකොටත් මගේ කාඩ් තෝරන මිෂන් එකට විනාඩ් 45ක් විතර ගතවෙලා. ඒක නිසා තමා අක්කා එන්න ඇත්තේ. ඒ පාර නම් යන්තං එක දෙක මීටර් වෙනවා අර ලේබල් එකක් නැති රැක් එකෙන්. සමහර එව්වයෑ ඇතුල හිස්… අපිට ලියන දෙයක් ලියලා දෙන්න තමා ඒ. ඉස්සර නම් කාඩ් එක අරගෙන මගෙ අතිනුත් මොනහරි කුරුටු ගාලා දුන්නට දැන් ඉතිං එහෙම කරන්න තරම් වෙලාවක් නැහැනේ. ඒක නිසා ඉතිං කවුරු හරි ලියපු, මට ගැලපෙයි කියලා හිතුන වචන වගයක් තිබ්බ එකක් තෝරගත්තා…. ඊට පස්සේ ඉතිං ආයෙම ඉස්සරහ පිට බලද්දි තමා දැක්කේ… ඒක මං හොයපු විදියෙම You are very special to me…. ! කියලා තියෙනවා. පස්සේ ඉතිං ආයෙම කාලෙ නාස්ති කරන්න දෙයක් නෑනේ, ඒක නිසා යන්නං විනාඩි 55කින් විතර වැඩේ ගොඩ දාගත්තා.

♥ inter mission ♥

ඉතිං ඊයේ යශෝධරාවගේ මවුතුමියගේ උපන් දිනේ. මං කාඩ් එක තේරුවේ ඊට සති දෙකකට විතර කලින්. ඊට පස්සේ ඉතිං කාඩ් එකේ මගේ නමත් ලියලා ක‍වරෙට දාලා යශෝධරාව‍ගේ අතට පත් කලාම ගානට වෙලාවට, ඒකිට අමතක නොවුනොත්… නඩුකාරිගේ උපන් දිනේ දා උදේට කාඩ් එක අතට ලැබෙනවා.

ඊයෙත් දැනගන්න ලැබුන විදියට කාඩ් එක ලැබිලා තියෙනවා. මට ස්තූතියි කියලත් කිව්වා… ඒත් ඉතිං ටිකක් දුකයි. ඇයි ඉතිං මාත් ආස නැද්ද ඔය පහල තියෙනවා වගේ කාඩ් දෙකින් එකක් නඩුකාරිට දෙන්න…..!

ඇත්තමයි මට නම් දැන් ස්පෙෂල් කැටගරියෙන් කාඩ් තෝරන එක එපා වෙලා තියෙන්නේ… ඊළඟ අවුරුද්දෙවත් මේ තියෙනවා වගේ එකක් දෙන්න පුළුවන් වුනොත්….!

යශෝධරාවගේ මියුසික් කඩේ… මගේ යශෝධරාවත 18

මේ………… සිංදු ටික ගෙනාවද…?

මාලිගයට පළවෙනි අඩිය තියන්නත් කලිංම යශෝධරාවගෙන් ලොකූ පස්නයක්…. ඔය ප්‍රශ්නෙට මං කුමාරයා නෑ කියන්නත් හදලා….. ආයේ මොකටද නිකං උදේ පාන්දර නඩුවක් ඇද ගන්නේ කියලා හිතලා හ්ම් ගෙනාවා…. කියලා ජුංඩං උත්තරයක් දීලා නැවැත්තුවා. වැඩි හරියක්ම මට අප්සට් ගියේ මේ යෝදි, මගෙන් මහන්සිද කියලවත් අහන්නේ නැතුව අහපු ප්‍රශ්නෙට.

ඊට පස්සේ ඉතිං මං සීඩී එක දෙනකං සක බඹරේ ව‍ගේ කැරකි කැරකි මාලිගාව පුරාම එහාට යනවා ‍මෙහාට යනවා. පව්නේ….. ඒ පාර ඉතිං මගේ ඩයරියේ කවරේ අස්සේ තිබ්බ ඩිස්ක් එක ඇදලා දුන්නා.

ඒ වෙලා‍වේ බලන්න ඕනේ හිනාව…. ආයෙ තැන්ක් යූ කිවිලි අනං මනං මොකුත් නෑ… ඉස්සර හුරතලේ පිටින්ම පොඩි එකෙක් වගේ ඩිස්ක් එක අරං ගිහිං පීසී එකට දාලා ඉප්පීකර් දෙකත් ගහගෙන වැඩ පටන් ගත්තා‍. දැන් ඉතිං මං ඉන්නවද නැද්ද කියලා ගානක් නෑ කුමාරිකාවට. මුලින්ම රුමේෂ්ගේ දිගු දෑස දුටුවාම… ඊට පස්සේ භාතියලාගේ දේදුන්න සේදී…. ඔහොම ගිහිං සිංදු 10ක් විතර අහලා තමා ආයෙමත් මං කුමාරයා ඉන්නවාද කියලා බලන්න පිටි පස්ස හැරුනේ. එයා දන්නේ නෑනේ මං මේ සිංදු ටික හොයාගත්ත හැටි. සමහර සිංදු වල මැද්දේ පද දෙකක් විතරක් ලියලා දුන්නම ඩොකීට කියලා එව්වා හොයාගත්ත හැටි කුමාරිකාව දන්නේ නෑනේ…

මං කුමාරයත් ඉතිං ඇහි පිය නොගහා බලාගෙන ඉන්නේ ඔය වෙලාව එනකම් තමා. එතකන් කරන්නේ යශෝධරාවට පිටිපස්සෙන් තියෙන ෆෑන් එකෙන් විදින හුළං පාරට පුංචි කුමාරිගේ කොන්ඩ ගස් එකින් එක… සැරින් සැරේට ඒ මේ අත යන හැටි බලාගෙන ඉන්න එක තමා. හිටිගමන් ජනේලෙන් එන ඉර එළිය තැඹිලි පාට කර්ටන් එකට වැදිලා තව ටිකක් පැහැපත් වෙලා විහිදෙන එලියට තවත් එළිය දෙන්න වගේ යශෝධරාවගේ ඇඟිලි ඇවිත් කන වටේට ගිය කොන්ඩ ගස් ටික හදලා ආයෙමත් යනවා. හරියට නිකං උත්තර ධ්‍රැවයේ අවුරෝරා එලි වගේ.

පස්සේ  ඉතිං ඔහොම ඉන්න ගමන් තව සිදු ටිකක් ප්ලේ වෙන්න දාලා ඕං දුවනවා සිරියහන් ගැබට.

අම්මේ…. මට තේ එකක් හදලා දෙන්න….

ඉතිං නඩුකාරිත් එනවා තේ හදන්න. හප්පේ එතෙන තියෙන විකාර. මං කුමාරයා කලිනුත් කියල ඇති අනන්තවත් ඔය වග. නඩුකාරිගේ අතේ එල්ලිලා යශෝධරාව හුරතල් වෙන්නේ හරියට නිකං මොන්ටිසෝරි යන පොඩි කෙල්ලෙක් වගේ. වෙලාවකට ඉතිං මටත් හිතෙනවා දුවලා ගිහිං අනිත් අතේ එල්ලෙන්න. ඒත් ඉතිං නිකං මොකටද නඩු  ෆයිල් කරගන්නේ කියලා හිතලා ඉන්න ඉරියව්වෙන්ම පුටුව උඩට වෙලා ඉන්නවා. පස්සේ ඉතිං ටික වෙලාවකින් යශෝධරාව ආයෙමත් එනවා පීසී එකට ගාවට.  ඒ ඇවිදින් අර සිංදු ටින ආයෙමක් අහනවා. අහනවා නෙමෙයි බලනවා. ඕඩියෝ ටික තියාගන්නවා පස්සේ අහන්න. වීඩියෝ ටික එවෙලෙම බලනවා.

ඊට පස්සේ ඉතිං නඩු කාරි එනවා තේ දෙක අර ගෙන අත්දෙකට. එකක් යශෝධරාවට, අනික මට. දෙන්න එක්ක පොරකාලා එක දශමයක් හරි වැඩියෙන්  තියෙන තේ එක ගන්න දඟලන්නේ ඇයි මන්දා…? ඇති වැඩකුත් නෑ…. මොකද දෙන්නගෙං එක්කෙනෙක් වත් ඔය තේ දෙකෙන් අන්තිම උගුර වෙනකම්ම බොන්නේ නෑ. එක්කෝ උණුයි කියලා පැත්තකින් තියනවා, එහෙමත් නැත්තං විසි කරනවා. කොහොමත් උණුයි කියලා තිබ්බම ටික වෙලාවකින්  එක් බොන්නේ කූඹි….

ඉතිං ඊට පස්සේ අයෙමත් අර සිංදු වල ඉතුරු ටික අහනවා. මං කුමාරයක් ඉතිං යශෝධරාව දිහා බලාගෙන ඉඳලා ඉඳලා ඇස් රතු වුනාම ලක්බිම හරි විදුසරක් හරි අරගෙන කියෝනවා. ඒ කියවන අතරෙදි එකපාරටම….

නිකං ලයිට් ගියා වගේ සීන් එකක් වෙලා, ප්ලේ වෙවී තිබ්බ සෙන්ටිග්‍රේඩ්ලගේ නිල් සඳ මඬල නැවතුනා. මං කුමාරයත් පත්තරේ බැලුවට සිංදුව අහගෙන හිටි නිසා වෙච්චි දේ ගැන හොඳ අවධානෙන්…..! මං බලන කොටම මේං කුමාරිකාවත් අර නිල් පාට සූටි ඇස් දෙකෙන් මගේ දිහා බලාගෙන මොකද්දෝ ලොකු ප්‍රශ්නෙකුත් දිව අග තියාගෙන ඉන්නවා.

ඔය ප්‍රශ්නේ ඉතිං කවදාවත්… මට ආදරෙයි නේද…? කියලා අහනවා වගේ එකක් වෙන් බෑනේ. ඒක නිසා ඉතිං මටත් එක පාරට උත්තරයක් දීගන්න බැරිවෙයි කියලා හිතෙද්දිම, මේ… මේ… කියලා පටන් අර අහනවා…

ඇයි හැම සිංදුවෙම “මියුසික් කඩයක්” කියලා මැද්දෙන් කියන්නේ….?

හරිනේ ඉතිං දැන් දීපල්ලකෝ බලන්න ඕකට උත්තර. මට පටාර් ගාලා මීටර් වුනේ මියුසික් අවන් එක… ඒත් ඒක හැම ​එකේම දාන්න විදියක් නැහැනේ. ඉතිං මං කුමාරයා ඉතිං දහඅතේ කල්පනා කරනවා මොකද්ද බොල මේ හරුපේ තේරුම කියලා… මට හිතාගන්නම බැරි පාර මං කිව්වා මට ප්ලේ කරලා පෙන්නන්න කියලා. ඊට පස්සේ ඉතිං ඔන්න නිල් සඳ මඬල ආපස්සට ටික දුරක් ගිහිං ආයෙමත් ප්ලේ වෙනවා. එක තැනකදී නිකං රහසින් වගේ පොඩි වචන වගයක් කියනවා. පස්සේ මං ආයෙමත් පාරක් ලඟටම ගිහිං කන ඉප්පීකරේ තියාගෙන ඇහුවා.

මට ඇහුන දේ හරි… මොකද මගේ කන් දෙක මට විශ්වාසයි. ඒ වගේම මං මේක මීට කලිනුත් හැම වීඩියෝ ගොඩක දැකලා තියෙනවා.  ඒත් ඉතිං යශෝධරාවගේ කන් දෙක් ඇහෙන්නේ අඩුවෙන් කියලා කිව්වොත් එල්ලුම් ගස් යන නඩුවක් සෙට් වෙනවා ෂුවර්. ඒත් ඉතිං මේ වගේ චාන්ස් එකක් අතාරින්නේ කොහොමද….? මට දෙන ගින්දර වල හැටියට පොඩ්ඩක් නෝන්ඩි කලාම මක් වෙනවද…?

ඒක නිසා මං ඇහුවා… මොකද්ද ඔයා කිව්වේ…?

මේ හැම එකේම “මියුසික් කඩයක්” කියලා කියනවනේ….

ආහ්…. එහෙමද…. මං හිතුවේ නෑනේ වයස හැටක විතර කන් ඇහෙන්නෙ නැති කෙනෙක් කියලා…

අනේ කියනවාකෝ… මොකද්ද ඒ කියලා….

මං මොකටද කියන්නේ…? කන් දෙක සුද්ද කරලා කර අහගන්න… නැත්තං මං අම්මට කියන්නං දුවගේ කන් දෙක ඇහෙන්නේ නෑ කියලා…

යනවා යන්න මෝඩරජා….

හරි හරි මං මෝඩයා… එහෙනම් ටිකක් සද්දේ වැඩිකරගෙන අහලා බලන්නකෝ ආයෙමත්…

ඔන්න ආයෙමත් නිල් සඳ මඬල මුල ඉදන් ප්ලේ වෙනවා… ඒ අතරේ මැද්දෙන්‍…. මියුසික් ඩොට් එල්කේ… කියලාත් ලාවට ඇහෙනව‍ා….

ඔය ඔක්කොම අහගත්තට පස්සේ ඔන්න රිප්ලයි එනවා….

ඉතිං මට ඇහුනේ එහෙමනේ…… කියලා තව තො‍ඳොල් වෙන්නත් එනවා.  එත‍කොට ඉතිං වෙනදා වගේම තමා. මං කුමාරයට කට උත්තර නැති වෙනවා….! කොහොමහරි මෙදා පාර නම් මදි නොකියන්න ෂොට් එක දුන්නා…..

අඹ නංගි…. මගේයශෝධරා වත 17

මේ කතාවටනම් මං කුමාරයයි, යශෝධරාවයි නඩුකාරියි වගේම මං කුමාරයාගේ මවුතුමිය හා පියාතුමාත් කෙලින්ම සම්බන්ධයි. අපි ඉතිං අවුරුදු කාලෙට වගේම වෙසක් හරි පොසොන් මාස වල හරිත් යනවා අපේ මවුතුමියගේ උපන් දේශය බලාගෙන එන්න. ඒ ඉතිං වැඩි හරියක්ම යන්නේ අර කිව්වත් වාග් වෙසක් හරි පොසොන් හරි පෝයක් අල්ලලා තමා…

ඒ දවස් වලට අපේ මවුතුමියගේ රාජ්‍යයේ වැසියෝ ඉන්නේ හරියට අවුරුදු ලබලා වගේ තමා. ඒ වගේම පෝය දවස් වලට කට්ටිය සෙට් වෙලා පඬුවස් නුවර්, යාපහුව එත‍‍කොට වැල්ලෑගල එහෙමත් යනවා. මං කුමාරයත් ඔය වගේ ගමන් වලට හිටි ගමන් බොහොම කැමැත්තෙන් සහභාගී වෙනවා. ඉතිං මේ කතාව වෙද්දී මං කුමාරයට මතක විදියට ගෙවෙමින් තිබුනේ 2005 අවුරුද්ද…

ඔන්න අපි ගමේ ගිහිං ආවා. එනකොටම කව්දෝ මන්දා අ‍ෙප් මවුතුමිගේ යාළු නැන්ද කෙනෙක් ඇවිත් අපේ මවුතුමීට කියලා කව්දෝ මන්දා දුවෙකුයි අම්ම කෙනෙකුයි ඇවිල්ලා ගියා කියලා… පස්සේ ඉතිං වැඩි විස්තර හොයාගෙන යද්දී ඇවිත් තියෙන්නේ මගේ රාජකුමාරියි එතුමිගේ මවුතුමීයි. ඒ ඇවිදිල්ලා තියෙන්නේ අපේ ගේ ලඟ තියෙන නඩුකාරිගේ යාළුවෙක්ගේ මාලිගයට ආපු ගමන්ම තමා.

පස්සේ ඉතිං අපේ මවුතුමීටත් හරි දුකයි වෙච්ච සීන් එකට. මොකද මං කුමාරයාගේ මවුතුමීත් බලාගෙන ඉන්නේ යශෝධරාව අපේ මාලිගයට එනකං, ඒකිව හුරතල් කරන්න. අපෝ අම්මලා දෙන්නයි යශෝධරාවයි එකතු වුනාම තියෙන විකාර… අපේ මවුතුමීගේ වැඩේම කෙල්ලට ලෙමන් පෆ් කවන එක… කෑවේ නැත්තං අල්ලලා කටේ ඔබන තරමට ආදරෙයි. මං කුමාරයට ඉතිං ඔව්වා බලන් ඉද්දී අපේ මවුතුමීව පේන්නේ හරියට නිකං ආලවක ව‍ගේ. ඇයි වදේ යශෝධරා ආව ගමන් මං කඩේ දුවන්නයි, වීදුරු හෝදන්නයි වැඩ ගොඩයි. මේ කෙල්ල ඉඳලා හිටලා එද්දී මෙහෙමනම් කවද හරි අපේ ගෙදර පදිංචි වෙච්චි දාට මට කඩේකුත් දාගෙන කඩේ තමා නවතින්න වෙන්නේ… ඇයි ඉතිං නැන්දගෙයි ලේලිගෙයි විකාර බල බල ඉන්න ඇහැක් මොන කුමාරයටද…?

ඉතිං අපේ ගමේ අවුරුද්දට එකපාරකුයි අයෙම පොසොන් මාසෙට තව පාරකුයි, වාර දෙකක් අඹ හැදෙනවා. මං කුමාරයත් අඹ වලට වැඩිය පෙරේත නැති නිසා අඹ ගෙඩි පනහක් විතර අරගෙන තමා ආපහු එන්නේ. ඉතිං ගෙදර ආපු ගමන්ම මං කුමාරයා කරන්නේ හොඳට ඉඳුනු අඹ ගෙඩි දහයක් විතර අරගෙන මගේ මේසේ උඩින් තියාගන්න එක. ආයේ ඉතිං එව්වා ඇල්ලුවොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැති නිසා ‍මාලිගයේ කිසිම කෙනෙක් අඹ වලට අතක් තියන්නේ නෑ. අඩුම ගානේ ආනේ…. මේ අඹ නේද කියලා අඹ දිහා බලන්නේ වත් නෑ,.. ඉතිං මේ අඹ වල සුවඳ එද්දී අපේ මවුතුමීට ආවා මරු අදහසක්…!

ලොකූ….

ඇයි අම්මේ…?

මේ… මායි තාත්තයි ගිහිං එන්නං ඔයාගේ නංගිව බලන්න….

ඈහ්… මල මගුලයි. අපේ මවුතුමීට දුක කොච්චරද කියනවනම්, කෙල්ලව බලලා එන්නත් යන්න ප්ලෑන් කරගෙන… මාත් එන්නද කියලා අහන්න හිතුනත් ඒ වගේ වෙලාවට කට පන නැතුව යනවා. වෙන මොකවත් නිසා නෙමේ අපේ අම්මා මගේ ගුණ කියලා සාධුකාර දෙන නිසා.

පස්සේ ඔන්න අපේ පියතුමාවත් ලෑස්ති කරගෙන මගේ ගාවට ඇවිත්‍‍‍…

නංගිට ගෙනියන්න අඹ ටිකක් දෙන්න. ඔයා අරං තියාගත්තනේ හොඳට ඉඳිච්ච අඹ වගයක්…

යකෝ මේක හරි ලවු එකක්නේ. මට නිකමටවත් හිතුනේ නෑ ඒකිට අඹ ගෙඩියක් දෙන්න. එහෙව් එකේ අපේ අම්මට මොකද්ද ඒකි ගැන තියෙන කැක්කුම. ඒ ඔක්කොමත් හරි මේ අඹ ටික මං ගමේදි බෑග් එකට දාගත්දි කියපුවා… කාට කන්නද ඔච්චර… ඔව්ව තැලනවා නේද ගෙනියිද්දී… අරකයි මේකයි රටේ නැති එවුවා කියද්දී ඒ කිසි දෙයක් ඇහුනේ නෑ වගේ තමා මං මේ අඹ ටික පරිස්සමින් අරගෙන ආවේ… දැං මේ අඹ ටික යශෝධරාවට පුදන්න ලෑස්තිය… එව්වා කොහෙද මාත් එක්ක…

අනේ එයාට අඹ ඕ‍නේ නෑ අම්මේ… මේ ටික ගෙනාවේ මට කන්න….

ආ.. ඇත්තද… මෙහෙට දෙනව අඹ මල්ල … කියලා මගේ අතේ තිබුන අඹ මල්ලම අරගෙන තාත්ත එක්ක පිටත් වුනා යශෝධරාවගේ ‍මාලිගයට යන්න… දැං ඉතිං හරිනේ… මගේ හිත මටම ඔච්චං කරනවා…

‍තොට හොඳ වැඩේ… පෙරේතයා…!

හැමදේම වෙන්නේ මං කුමාරයටම නිසා ඒ වෙච්චි දේ අරුමයක් නෙමේ. පස්සේ ඉතිං ඔන්න මවුතුමී යශෝධරාවගේ මාලිගයට ගිහිං ආවා. ආපු ගමන් මං හිතුවට වෙච්චි දේවල් කියයි කියලා, කිසි දෙයක් කිව්වේ නැහැනේ…

ආයෙ ඉතිං ඕවා හාරවුස්සලා අහන්නත් බෑ… එහෙම ඇහුවොත් ආයෙම ම‍ං කුමාරය‍ාගේ ගුණ වරුණාවක් පටන් ගන්නවනේ. ඒක නිසා කිසි දෙයක් වෙච්චි නැති විදියට උන්නා.

පස්සේ ඔන්න මාත් දවස් දෙකකින් විතර යශෝධරාවගේ මාලිගයට. එදා නම් මං යද්දී උඩ පැනගෙන ඉස්සරහට ආවා… කට පුරෝලා හිනාවකුත් දාගෙන. ඒත් ඉතිං අර අඹ ටික ගැන ලෝභ හිතිච්චි නිසා මං ඉන්නේ ඔරෝගෙන… ඒ පාර…

එයත් අර හිනා කට වහගෙන, මුහුන කළු කරගෙන… මොකද ඔරවගෙන ඉන්නේ….?

දැං ඉතිං ඔය ප්‍රශ්නෙට මං කුමාරයා කොහොමද උත්තර දෙන්නේ… මගේ අඹ ටික නැතිවුන නිසා කිව්වොත් වසලා හමාරයි… ආයේ දෙකක් නෑ මට මේකි හූ කියනවා…

ඒක නිසා මං හිත රවට්ටගෙන, නෑ නිකං මට එදා ඔයාව බලන්න එන්න බැරිවුනානේ ඒකයි කිව්වා… ඒ ටික ඇහුනම ඉතිං යශෝධරාවටත් ටිකක් විතර දුක තුනී වුනා. පස්සේ ඉතිං ඔන්න එයත් පටන් ගන්නවා අපේ අම්මගේ ගුණ වරුනාව.

එදා අම්මා ඇවිත් මගේ කාමරේටම ආවා. හිහ්… මේං වැඩක් මේකි අපේ අම්මට ඇන්ටි නොකියා අම්මලු. ඒ මදිවට කියන කියන වචනයක් ගානේ ඇඹරෙනවා…

මං කුමාරයටත් ඉතිං හිනා යන්න එනවා… හා ඉතිං… අපේ අම්මා මොනාද කිව්වේ…?

මුකුත් කිව්වේ නෑ…… අම්මලා එද්දි මං නිදාගෙන හිටියේ. අම්මා ඇවිත් අඹ ටික දීලා කිව්වා අයියා දුන්නා කියලා…

මට ඉතිං ලැජ්ජත් ව‍ගේ… අපේ අම්ම ගම කාලනේ. කමක් නෑ මට ලකුණු ටිකක් වැටුනනේ… ඊට පස්සේ ඕන්න එනවා නඩුකාරි….

ආ… ළමයා… එදා අම්මලා අතේ එවපු අඹ ටික එක දවසට ඕං ඉවර කලා…

කවුද….?

කවුද ඉතිං ඔය ඉන්නේ… ඔයාගේ පෙරේත නංගි…

බලාගෙන යද්දි යශෝධරාව මට දෙවෙනි නෑ,… මං කොහොමත් ඔය අඹ ටික ඉවර කරන්නේ දවස් හතරකින් විතර. මෙයා එක දවසින් ගේම දීලා…  හොඳයි ඉතිං බැන්ද දාට පලතුරු කඩයක් තමා දාගන්න වෙන්නේ….! මවුතුමී එහෙම කියනකොට බලන්න ඕනේ යශෝධරාවගේ මූන… හරියට හොඳට ඉදිලා රෝසපාට වෙච්චි මී අඹ ගෙඩියක් වගේමයි….! ආසාවේ බෑ රත්තරං පාට මූනු පොඩ්ඩ….

ඔහොම ඉඳලා ඉඳලා… මාත් අන්තිමේ ආපහු මගේ මාලිගයට එන්න පිටත් වෙලා එන ගමන්… කන්ථකව අරගෙන… මේ අඹ නංගි…. ගාලා ටිකක් සද්දෙන් කතාකරලා… මම යනවා… අඹ ඇට ටික පැලකරන්න කිව්ව…

මේං ඊළඟ මොහොතේ එනවා… දූවිලා විසරුවාගෙන පොළොව ගුගුරවාගෙන මගේ ඉස්සරහට…

මොකද්ද කිව්වේ….

ඉතිං මට කට උත්තර නෑ… හිත චුට්ටක් රිදිලා තියෙන වෙලේ තවත් රිද්දන්න බැහැ මට. අනික මං බයම දේ තමා යශෝධරාවගේ හිත රිද්දන එක… ඒක නිසා ඉතිං කට පියාගෙන බලෙන්ම වගේ පැමිණිල්ලේ වරදකරු මං වෙලා ඒ පාරත් නඩුවේ දිනුම එයාටම දුන්නා…

හ්ම්… එනව මෙතෙන මට නම් දාන්න…. කියලා මගේ කනත් අර චූටි ඇඟිලි වලින් මිරිකලා…

දැන් පරිස්සමින් යන්න…. කියලා තරහා ඔක්කොම නිවාගෙන හෙන ආදරෙන් කියනවා. ඒ වෙලාවට ඉතිං ගෙදර යන්න හිතෙන්නේ නෑ … මොනා කරන්නද යන්න වෙනවනේ….! ඉතිං අ‍ායෙමත් අර අන්තිම මොහොතේ හම්බුවෙච්ච මතකයත් එක්ක මං කුමාරයා මගේ මාලිගයට එනවා.

දැන් නං ඉතිං මං අරගෙන එන අඹ කන්න කවුරුත් නෑ… ඒවා ඔක්කොම කන්නේ මං කුමාරයාම තමා. අඹ වල‍ට පෙරේත කෙනා නැහැනේ ඉතිං… ඒක නිසා වැඩිවෙලා අහක යන එව්වා ඔක්කොම ගිරවුන්ට, මයිනන්ට තමා…

අම්මේ අයියා මාව………. මගේ යශෝධරා වත 16

මෙන්න මං කුමාරයට මුහුන දෙන්න වුන තවත් නඩුවක්…. අනිත් ගොඩක් නඩු වලදී වගේම මේ නඩුවෙනුත් මම පැරදි. කට්ටිය දන්නවනේ මං කුමාරයට විතරක් ආවේනික එකම එක කතාව, මගේ යශෝධරාවත කියලා. ලඟදී මං කුමාරයාගේ අමාත්‍ය මණ්ඩලයට එකතු වුන ඇමැති වරුන්ට හා වරියන්ට මෙතෙන්ට ගිහිං ඒ කතා ටික කියවන්න පුළුවන්. කොටින්ම කියනවා නම් මේ තමා මං කුමාරයාගේ ලොස්ට් ලව් එක.

ඒ දවස් වල යශෝධරාව වැඩ වාසය කලේ රම්‍ය මාලිගයේ. මං කුමාරයා ඉතිං කෝමත් සතියකට දෙසැරයක් විතර කුමාරිකාව බැහැදකින්න යන කාලේ තමා ඒ. ගොඩක් දවස් වලට ඉරිදට තමා යශෝධරාවගේ මාලිගයට යන්න මට පර්මිෂන් ලැබිලා තිබුනේ. ඊට පස්සේ බ්‍රහස්පතින්දට. මොකද ඔය දවස් දෙකට විතරයි යශෝධරාවගේ මවුතුමියටයි යශෝධරාවටයි දෙන්නටම පන්ති නැත්තේ.

මේ කියන දවස බ්‍රහස්පතින්දා දවසක්. ඉතිං ඔන්න මාත් මගේ අධ්‍යාපන වැඩ කටයුතු සඳහා ඉක්කෝලේ ගිහිං ගෙදර ආවා. ඇවිල්ලා නාලා කරලා, බොඩි ස්ප්‍රේද, හෙයා ජෙල්ද අරවද මෙව්වද තියෙන ඔක්කොම සමයන් ටික උලාගෙන යශෝධරාවගේ මාලිගයට ගියා‍. මං කුමාරයා ගිහිං කන්ථකව පැත්තකින් හේත්තු කරලා එහෙම ගෙට ගොඩ වෙද්දී වෙනදට නම් හිනා කටක් පුරෝගෙන එන කෙල්ල අද නෑ… ඔයිට කලිනුත් ඔහොම වෙලා තියෙන නිසා මං කුමාරයා ඒක එච්චර ගනන් ගත්‍තේ නෑ…

කොහොමත් යශෝධරාවට මං එයාගේ මාලිගයට ගිහිං මගේ කටහඬ ඇහෙද්දී දුව ගෙන මහා නැහැදිච්ච ගතියක් තියෙන නිසා ටිකක් ඉවසා වදාර ගෙන ඉඳියා…. ම්හු… ඒත් නෑ… පස්සේ බැරිම තැන…

නංගී…..

කියලා පොඩි සද්දයක් දැම්ම, එයාගේ සිරියහන් ගබඩවෙන් ඇහෙනවා රිප්ලයි එක… පොඩ්ඩක් ඉන්න මං ‍පොඩි වැඩක්….. කියලා. යකෝ මේක හරි මගුලක්නේ… වෙනදට මං ආවම තියෙන වැඩ ඔක්කොම දාලා දුවගෙන එකීට අද මක්ක වෙලාද කියලා මගේ හිතත් ගැහෙනවා. පස්සේ ඉතිං නඩුකාරි ඇවිත් කියනවා…. කෑ ගහන්නේ නැතුව ඉන්න ළමයෝ… නංගි ඒවි… කියලා.

ඒත් ඉතිං මං කුමාරයට ඉවසුම් නෑ සුදු මූන දකින කං. පස්සේ මෙන්න ඇහෙනවා හිමීට කෙඳිරිල්ලක්…. මේකි සිරියහන් ගැබට වෙලා අඩනවා වත්ද කියලා මගේ හිත ආයෙම අප්සට්. පස්සේ ඕනෙ මගුලක් කියලා වාඩිවෙලා ඉඳිය පුටුවෙන් නැගිටලා ගිහිං, සිරිහයන් ගැබට ඔලුව දැම්මා. කෙල්ලන්ගේ කාමර වලට එබෙන එක වැරදි වැඩක් තමා… ඒත් ඉතිං මං මොනා කරන්නද….? මං කුමාරයටත් තියෙන්නේ මහ නොසංඩාල හිතක්නේ… ඒක නිසා ඉතිං කරන්න දෙයක් නෑ,..

පස්සේ මං බලනකොට කුමාරිකාව ඇඳ උඩට වෙලා සිංදු කියනවා. කෙල්ලට සිංදු පොතක් හම්බුවෙලා. පස්සේ ඔන්න මං සිරියහන් ගැබට ඇතුල් වෙලා අර මොකෙද්ද එකෙක් වගේ ඔලුව දාගෙන ඉන්නවා දැක්කම සිංදු පොතත් අරං එනවා ඉස්සරහට… හරියට නිකං පුංචි සුනාමියක් එනවා වගේ… ඇ‍ඳේ රෙදි, කොට්ට එහෙම උඩ විසික් කරගෙන… පැයට හැතැප්ම එකසිය ගානකින් මගේ වම් අතේත් හැප්පි ගෙන මාව පහුකරගෙන ගියා සාලෙට. දැං ඉතිං ඉන්නවා සැටියට වෙලා කර බාගෙන සිංදු පොතේ අකුරු ගැන ගැන… මූනත් රතු කරගෙන… ඒ මදිවට මටත් ඔරෝගෙන….

ඒ තමා ඉතිං හැමදාම මට නඩුවක් ෆයිල් වෙන රෑටින් එක. පස්සේ ඔන්න නඩුකාරිත් එනවා කර කර හිටිය මගුල දාලා කෙල්ලව නලවන්න. ඇවිල්ලා ඉතිං ඔලුව අතගාලා කන අස්සේ ගිය කොන්ඩ කෑල්ල කන පිටිපස්සට කරලා එහෙම නලවලා යනවා. ඒ ඔක්කොම කෝලම් ටික පිටිපස්සේ පුටුවේ ඉඳන් මං කුමාරයා බලාගෙන ඉන්න ඕනේ. මට පේන්නම බැරිදේ තමා ඔය.

ඊට පස්සේ නම් කුමාරිකාව යන්තං ෂේප්. පස්සේ ඔන්නේ සැටියේ අනිත් පැත්තට යනවා මගේ මූන පේන විදියට. එතකොට තමා මගේ වාරේ. හොදට ගනන් උස්සලා මාත් ගන්නවා පත්තරයක් අතට. ආයේ යශෝධරාව මට කතාකරනකං මං නෙමේ කතා කරන්නේ… ඊට පස්සේ ඉතිං මං හොරෙන් බලද්දී අර පුංචි ඇස් දෙක මගේ දිහා බලාගෙන ඉන්නවා. මං ආයෙම ටක් ගාලා පත්තරේ දිහා බලාගන්නවා. වෙලාවකට නම් හිනාත් යනවා. ඒත් කොහොම හරි හිනාව තද කරගෙන ඉන්නවා. ඊට පස්සේ තමා යශෝධරාවට සත්තු වත්ත මතක් වෙන්නේ… ඔන්න කියනවා එක එක නම්… අර කලිං පෝස්ට් එකක දැම්මේ…. අන්න ඒ වගේ….

ගොඩක් වෙලාවට….. මේ මෝඩයෝ…… කියපු ගමන් ඉතිං මං ඔලුව උස්සනවා… මොකද ඉතිං මං කුමාරයට ගැලපෙනම නම ඒකනේ.

එදත්…

අයියා මෝඩයෝ……

ටිකක් මොඩිෆයි කරලා නික් නේම් එක වෙනස් කරලා. මාත් ඉතිං නින්දෙන් ඇහුරුනා වගේ දඩස් ගාලා ඔලුව ඉස්සුවා. අර පුංචි බෝල ඇස් දෙක මගේ දිහා බලාගෙන ඉන්නවා අහිංසක විදියට හිනාවේගෙන. එතකොට ඉතිං හිතේ තියෙන ඔක්කොම තරහා මරහා, දුක සෝකය, කාන්සිය මාන්සිය ඔක්කොම ඉවරයි. පස්සේ ඉතිං මාත් …. ටිකක් තරහින් වගේ… මොකද මෝඩි… කියලා ඇහුවම….

මේ…. කියලා සිංදු පොත උඩට උස්සලා මට පෙන්නලා නැලවෙනවා‍. ඔය වගේ වෙලාවකට කාටද ඉතිං ඉවසුම් තියෙන්නේ. මාත් පත්තරේ පැත්තකට දාලා නැගිට්ටා…. කෝ දෙන්න මටත් බලන්න… කියලා. යශෝධරාවත් නැගිටලා සැටිය පිටිපස්සට පැන්නා. ඒකි දන්නවා මං මොකාටද එන්නේ කියලා…

පස්සේ ඔන්න, ආ…. කියලා සිංදු පොත මගේ කිට්ටුවටම දික් කරලා ආයේ අරගෙන දුවනවා. මාත් අරියි ඔය වගේ වෙලාවට…. මාත් එලෝනවා පස්සෙන්… වෙනදටනම් එලෝගෙන ගිහිං ඔලුවට ටොක්කක් අයිනවා නැත්තං පිට මැද්දට ලාවට තට්ටුවක් දානවා. ඒත් අද ඉතිං අතේ සිංදු පොතකුත් තියෙන එකේ එව්වා කරන්න ඕනේ නැහැනේ. අද තියෙන්නේ සිංදු පොත උදුර ගන්න එකතමා. පස්සේ ටික දුරක් ගේ ඇතුලෙම එයාට මෙහාට දුවද්දී මං ටිකක් ස්පීඩ් කරලා ගිහිං යශෝධරාවගේ පිටිපස්සෙන් අත්දෙක දාලා ඉස්සරහින් ආයෙම එයාගේ අත්දෙක අල්ලගෙන සිංදු පොත ගන්න ට්‍රයි එක්ක දෙනවා. මේකි පොත් අතාරින්නෙම නෑ,… පස්සේ තත්පර දෙක තුනකින් තමා දෙන්නටම ක්ලික් වුනේ මං මේකිව බදාගෙන නේද දෙයියනේ මේ ඉන්නේ කියලා.

පස්සේ ඔන්න යශෝධරාව සිංදු පොත අතෑරලා ලැජ්ජාවෙන් ආයෙම යනවා සැටියට. ගිහිං …. අම්මේ….. කිව්ව ගමන් නඩුකාරි එනවා නඩු පොතත් උස්සගෙන. ඒකෙ තියෙන තරමක් තියෙන්නේ මං කුමාර‍යාගේ පෙර වැරදි. එව්ව වැරදි උනාට ඔක්කොම රොමැන්ටික් වැරදි නිසා වැඩිය ‍ලොකු දඬුවම් නෑ… පුංචි කනේ පාරක්, පිටට පහරක් වගේ තමා දඩුවම. හැබැයි දෙයියෝ මේ පාරනම් වැඩේ භයානකයි. මේ පාර ඕනෙ නම් මං කුමාරයව මාලිගෙන් නෙරපන්න උනත් පුළුවන් තරමේ ලොකු වැරැද්දක් තමා වුනේ…

පස්සේ…. ඇයි දූ… කියාගෙන මව්තුමී ආපු ගමන්…. යශෝධරාව මව්තුමියගේ කනට ලංකරලා …  මගේ සිංදු පොත ගන්න ඇවිත් අයියා මාව…… කියලා ඉතුරු වචනේ මට ඇහෙන්නේ නැතිවෙන්න නඩුකාරීට කිව්වා. මං කුමාරයා අදටත් දන්නෙ නෑ මොනාද කිව්වේ කියලා. පස්සේ ඔන්න එනවා නඩුකාරි.. හරියට නිකං ආලවකයා වගේ… ඇස් දෙකත් රතු කරගෙන. ඒ මදිවට යශෝධරාව එනවා අතේ එල්ලිගෙන හිනා වෙවී… දැන් ඉතිං මං කුමාරයට හරි පස්නේ…මොකද මං අත්දැකීමෙන් දන්න විදියට කෙල්ල හිනාවෙවී අම්මා ඔරෝගෙන එන්නේ මං කුමාරයට නඩුවක් දාලා නිදහසට කරුනු විමසන්න තමා…

දෙන්න ආපු ගමන්… මං බිම බලාගත්තා. මං නිකං මොකටද එක එක්ගෙනාගේ රැවුම් ගෙරවුම් බලන්නේ. මං වැරැද්දක් කලේ නැහැනේ…. ඔහොම හිත හිත ඉද්දී….

මෙහෙ බලනවා…. කියලා හෙන සැරෙන් කේන්තියෙන් මව්තුමී කියනවා. මාත් ඉතිං බොහොම දුක් බර මූනක් දාගෙන බැලුවා. මොකද්ද නංගිට කලේ…..

හත්වලාමේ…. මේකි මොකක් හරි ලොකු පචයක් ඇරලා වගේ මව්තුමිට. නැත්තං ඒ පොඩි වෙලාවට මං මොනා කරන්නද…?

ඊට පස්සේ ආයෙමත් මව්තුමී…. කියනවා නංගිට මොනාද කලේ….?

දැන් ඉතිං මට කට උත්තර නෑ… ඒ පාර මං කුමාරයා ආයෙම බිම බලාගෙන… මුකුත් කලේ නෑ… සිංදු පොත ගත්ත විතරයි.. කිව්වා….

හූ… හූ… බය වුනා… බය වුනා…. කියලා මෙන්න කුමාරිකාව හිනා වෙවී කෑගහනවා. මව්තුමිත් දෙන්නගෙම ඔලුව අතගාලා මට තේ එකක් හදන්න ගියා. පස්සේ බැලින්නං යශෝධරාව මවුතුමීට සීන් එක කියලා, මාව බයකරන්න කියලා….

අනේ ඉතිං මං කුමාරයා මොනා කරන්නද… මට කරගන්න දෙයක් හිතා ගන්න බැරුව කට තද කරගෙන හෙන දුකින් හිටියා. පස්සේ ඉතිං ආයෙම නැලවී නැලවී ඇවිත්… සොරි……. දැන් ඉතිං හිනා වෙනවකෝ… ඔයා නෙමේනේ තරහා වෙන්න ඕනේ හරිනං මමනේ තරහා වෙන්න ඕනේ…. කියලා යශෝධරාව මගේ ගාව තො‍ඳොල් වෙනවා. පස්සේ ඉතිං මාත් හිනා වෙලා යශෝධරාවටම කියලා සිංදුවකුත් කියෝගත්තා. ඇයි ඉතිං සිංදු කියන්න බැරිනම් සිංදු පොත් වැඩක් නෑනේ…. කියපු සිංදුව නම් මතක නෑ මට. ඒත් කටහඬ නම් මතකයි…

ඒ තමා මං මෙච්චර කාලෙකට අහපු ලස්සනම කටහඩ….

ඒත් එව්වා ඔක්කොම දැනට කාලෙකට කලිං අතීතෙට එකතු වෙලා ඉවරයි. ඒත් හැමදාටම මං කුමාරයාගේ හිත ඇතුලේ සැරින් සැරේට මතුවෙවී උඩ ඇවිත් ආයෙම යට යනවා, අද වුනා වගේ. මේ සිංදුවෙන් කියවෙන්නෙත් ඒ වගේ දෙයක්ද කොහෙද….!

%d bloggers like this: