ඩෝනටී…. – මගේ යශෝධරා වත 24

ලොකු කතා කියෙවුවට තාම බබා....

ලොකු කතා කියෙවුවට තාම බබා…. 😉

දවසක්දා හදිස්සියෙම මං කුමාරයට සිද්ධවුනා නඩුකාරිට කතාකරන්න. ම්… මතක විදියට කඩු හරඹයේ කොහො හරි තැනක් පටල ගෙන හිර වෙච්චි අවස්ථාවක වෙන්න ඕනේ. ඉතිං මං නඩුකාරිගෙන් පාඩම අහගන්න කොට බැක් ග්‍රවුන්ඩ් එකෙන් මට අහෙනවා හොඳට අහලා පුරුදු හඬකින් කිරිල්ලියෙක් කෑ මොර දෙනවා…. කා එක්කද අම්මේ කතා කරන්නේ…. අපිව අමතක අයත් එක්ක කතා කරන්න ඕනේ නෑ… මෙහේ එන්නකෝ… කියලා.

පරන පුරුදු තාම අතෑර ගන්න බෑනේ මටත්. ඒ කටහඬ ඇහෙන කොට කිති කැවෙනව වගේ නලියන්න ගන්නවා. මොකද මන්දා. මං නඩුකාරිට “අර මළ හොල්මන නේද කෑගහන්නේ” කියලා අහන්න හදනකොටම අනිත් පැත්තෙන් යශෝධරාව දුවගෙන ඇවිත්… කෝ… කෝ.. මටත් අහගන්න ඕනෙ කියලා… රහසෙන් කියලා ෆෝන් එකට හේත්තු වෙච්චි විත්තිය මං කුමාරයට තේරුනා. ඉතිං කොයි තරම් දේවල් කියන්න ගත්තත් එකක් හරි කියවුනොත් පුරුදු පරිදිම නඩුවක්…! මං නං අහුවෙයි හොරාට හේත්තු වෙලා අහන් ඉන්න එව්වට…

ඒක නිසාම මං කුමාරය ඔන්න නඩුකාරිට කියන විදියට යශෝධරාට කියනවලු… කෝ ඉතිං පැත්තකට වෙලා සමහරු කෑගැහුවට අපිත් එක්ක කතා කරන්නේ නෑනේ. කතා කරානම් මම හිටියේ ඩෝනට් පැක් එකක් ඕනෙද අහන්න…

ඇත්තටම කාලෙකින් කිසිම දෙයක් ගිහිං නුදුන්න නිසාම බොහෝම තදබල ලෙස තෑග්ගක් දීමේ අවශ්‍යතාව නොතිබුනාම නෙවේ ඉතිං.  ඒ‍කනේ පැන්න ගමං එහෙම කිව්වේ…

එතකොටම අනිත් පැත්තෙන් එක්කෙනෙක් අම්මට කියනවලු… අම්මේ… දැන් මොකද කරන්නේ…? අම්මා මොනා හරි කියලා මට ෆෝන් එක දෙන්නකෝ… අනේ අම්මේ… නඩුකාරි මගේ හොරවැඩ ගැන ටිකක් දන්න නිසා මං හිතන්නේ එයා දැනන් හිටියා යශෝධරා කතාව අහගෙන හිටිය බව මං දන්න විත්තිය. නඩුකාරීත් හිමීට යශෝධරාට කියනවා… මොනා කියලා ඔයාට දෙන්නද… ඔන්න ඔහොම ඉන්න…

දැන් ඉතිං මට පුළුවනෑ මේ ඔක්කොම මට ඇහිච්චි විත්තිය දැනගන්න දෙන්න…

කෝ… ඇයි කවුරුත් කතා නැත්තේ… සකබඹරේ නැද්ද ලඟ….?

ආහ්… සකබඹරේ කිව්වේ මටද….? බොහෝම දුබල කඩ හඬකින් බොරු කොමලෙයි, දුකයි එක්ක මගෙන් අහනවා.

අනේ අනේ… හොරෙන් අහගෙන හිටියා නේද… ඇ හොර ගෙම්බි….!

කතා කරන්නේ නෑ මම ආයේ….. හ්ම්… ඒක නම් අනතුරු ඇඟවීමක්…! ගෙම්බි කිව්ව එකට. මං බයයි තාමත් ඒ නිවේදනයට.

හරි… හරි… කියන්නකෝ ‍දැන් ඩෝනට් ඕනෙද එපාද…?

ඕ‍නේ ඕනේ… මට ඕනේ… ස්ට්‍රෝබෙරි ක්‍රීම් දාපුවා ගේන්න…. අනේ…. ඒවා රසයි…. හම්මෝ තියෙන සතුට… හැමදාම විඳගන්න විදියක් නෑනේ ඒ වචනයි, හුරතලෙයි, සතුටයි…!

ම්… ගේන්නම්කෝ….

මේ වගේ තමා ...!

මේ වගේ තමා …!

පස්සේ ඉතිං මාත් මාලිගයට යන දවසේ, ඩෝනට් තියෙන තැනකට ගිහිං ස්ට්‍රෝබෙරි ක්‍රීම් තියෙන ඒවා ඉල්ලුවා. ඒවා තියෙනවා ඒත්  ස්ට්‍රෝබෙරි ක්‍රීම් තියෙන එව්වා ගෙනයන්න බෑ… ඒවා රස්නෙට දියවෙනවලු. ඒත් ඉතිං කුමාරිකාව‍ගේ දොල සංසිඳවන්න බැරිවෙන බව දන්න නිසාම වෙන වර්ග තුනකින් 6ක් ගත්තා. නැත්තං ඉතිං මං දන්නවනේ වෙන දේ…

“අම්මේ…. මෙයා ගේන්නම් කියපුවා නෙමෙනේ ගෙනැත් තියෙන්නේ… අනික එකයි ගෙනැල්ලා තියෙන්නේ…” කියයි‍.

පෙරේති….. ඊට පස්සේ ‍ඩෝනට් පැක් එක අරගෙන මාලිගයට ගියාම… හ්ම්….  ඇඟිල්ල හප හප ලඟට දුවගෙන ඇවිත් පාර්සලේ උදුරගෙන ගිය හැටිවත්, සැටියට වෙලා ඩෝනට් තුනක්ම විනාඩි දෙක තුනට ගිල දාපු හැටි කියන්නවත් වචන හොයාගන්න අමාරුයි. ඒ මුළු වෙලාවම මං කලෙ එක්කෙනෙක්ගේ මූණ දිහා බලාගෙන ඉන්න එක. කාලා ඉවරවෙලා අන්තිමටම ලඟට ඇවිත්… කෝ මේවගේ ස්ට්‍රෝබෙරි නෑනේ…! ඕකනේ ඉතිං කරන්න බැරි…

එහෙනං ඉතිං කෑවේ….? හරස් ප්‍රශ්නෙ මගෙන්…

ම්… ආ මේක කන්න ඔයා… පෙරේතයා වගේ බලාගෙන හිටිය හැටි මං දැක්කා….

හ්ම්.. ඔව් ඔව් කවුද දන්නේ නෑ පෙරේති….!!! අනික එයා දන්නේ නෑනේ පෙරේතයා වගේ බලෙන් හිටයේ එයා දිහා කියලා..

දැන් ඇති දෙන්නම…. රන්ඩු වුනොත් දෙන්නටම දෙනවා පාරක්…. හැමදාම වගේ එනවා බකට් එක උස්සගෙන… හුහ්… එයා එක්කනේ වැඩේ කරන්න බැරි. කොහේ හරි ඉඳන් ගිනි නිවන හමුදාව වගේ මැද්දට කඩා පනිනවා. පොඩ්ඩක් රංඩු වෙන්න දෙන්නේ නෑනේ… ඇයි දෙයියනේ වයසට ගිහිං වත් පොඩි එවුන්ගේ රොමෑන්ටික් වලි මැද්දට පනින්නේ නැතුව ඉන්නම බෑනේ… මොනා කරන්නද ඉතිං ඒ වෙලාවට දෙන්නටම කට පියාගන්න වෙනවා…!

ඒකත් හොඳයි නැත්තං එක මහා පුරුෂයෙකුට එරෙහිව කාන්තාවෝ දෙන්නෙක්  යුද්ධයක් පටන් ගන්නවනේ. ඒක ඉවසන්න පුළුවන්ද වෙන මොනා ඉවසුවත්…!  thinking – හදිසියේවත් ලෝකෙ විනාශ වුනොත් හෙට, මේ ඔක්කොම ඉවරයි නේ. ඒක නිසා අමාරුවෙන් ගලප‍ගෙන ලෝක විනාසෙට කලිං යශෝධරා වත ලිව්වා. ගොඩක් දෙනා මාව දන්නේ මේ කතාව නිසා මේක නොලිය මැරෙන්ට පුළුවනෑ…!

 

මොනාද ඔච්චර කියවන්නේ ඇස් දෙකෙන්…? | මගේ යශෝධරාවත 23

එදා සෞම්‍ය සුන්දර කාලගුනේ. ම්… අද නම් හොඳ දවස යශෝධරා එක්ක රන්ඩුවක් අල්ලන්න. මං කුමාරයාගේ අකීකරු හිතට එහෙම හිතෙන්නේ, වැඩිය අව්ව වගේම වැස්ස තියෙන දාටත් කුමාරිකාව එක්ක නඩු පටලෝ ගන්න ගියොත් නඩුකාරි ගෙන් ලැබෙන දඬුවම ටිකක් සැර නිසා. එතකොට නඩුව වටේට තව තව අපරාද චෝදනාත් එල්ල වෙනවා.

මේ වගේ වැස්සේ තෙමිලා ඇති  ඕනෙතරම්….

වැස්ස දවසට රන්ඩුවක් ඇල්ලුවොත්… යශෝධරාව රන්ඩුවට පොළඹවාගෙන මහ වැස්සේ තෙම්මවීම කියන අධි චෝදනාව තමා කෙලින්ම. හරියට නිකං හා පැටික්කිව මං කුමාරයා කරේ තියං දිව්වා වගේ මහ අසාධාරණ විදියට තමා නඩුකාරි ඇවිත් ඒක පාර්ශවික නඩු තීන්දුවක් දීලා මං කුමාරයාගේ කන මිරිකලා, “හිටපිය… කෙල්ලගේ ඔළුව පිහිදලා ඇවිත් දෙන්න දෙකක්“ කියලාකියන්නේ. අම්මටම හරියන දූ පොඩ්ඩගෙන්, මං කොච්චර බලාපොරොත්තු වුනත්  “ අනේ පවු අයියා“ කියලා කියයි කියලා… කොහෙද… මේ නපුරි කියන්නෙත්… හොඳ වැඩේ, හොඳ වැඩේ… අල්ලගෙන ගහමු අම්මේ කියලා… කමක් නෑ ඒ අතින් පාරක් වදිද්දිත් සැපයි… රොමෑන්ටික් වලිනේ.

එහෙම්ම තමා අව්ව තියෙන දාට… “බලනවා හොර කොල්ලෝ, නංගිත් එක්ක ඔට්ටු වෙලා ඔට්ටු වෙලා, මේහ්….  කෙල්ලට ආයෙ දාඩිය බේරෙනවා…” කියලා මට කියලා, “හ්ම්… දැන් ඉතිං අයියත් එක්ක නැටුවනම්, අයියටම කියලා නාවලා ඔළුවත් පිහිදවා ගන්නවා…!” කියලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න සුදු බෝලෙට කියනවා.

අන්න ඒ වෙලාවට අර බේරෙක් නැති චැටර් බොක්ස් එක ඉබේ ක්‍රියාත්මක වෙනවා. හා… යං යං… අම්මට බැරිනම් මං නාවලා, ඔළුව පිහිදන්නම්… කියාගෙන පුටුවෙන් නැගිටින කොටම… නෑ නෑ… මගේ කෙල්ලව මංම නාවා ගන්නම්… කියලා ආයේ මැද්දට පැනලා කලින් වාක්‍යයෙන් දාපු පොර ටෝක් එකේ සම්පූර්ණ පරාජය නඩුකාරි භාර ගන්නවා. එහෙම වෙලාවට තමා ඉතිං නඩුකාරි ඇරෙන්න විත්ති පාර්ශවයයි, පැමිණිලි පාර්ශවයයි දෙන්නම හිනා වෙන්නේ….!!!

ඉතිං ඔය අව්ව වැස්ස මැද්දේ ගෙවෙන දවස් වලට, ගොඩක් වෙලාවට මාලිගය ඇතුලෙම යශෝධරාවයි, මං කුමාරයයි ඉන්නේ…. නෙවෙයි හිටියේ….  අදාල දවසෙත් මං යන කොටම කුමාරිකාව ඉන්නව, සැටියට වෙලා පොතක් කියෝ කියෝ.

මොකද්ද ඔය පොත…? ම්…..

……………………………………………………………………………………

මොකද්ද ඔය පොත…?

……………………………………………………………………………..

එකම ප්‍රශ්නේ දෙපාරක් අහලත් උත්තර නැතිවුනාම ඉතිං සුළු අවි ප්‍රහාරයක්….

ඒයි බීරි කෙල්ලේ මොකද්ද ඔය පොත….?

අම්මේ…. මෙයා මට බීරි කෙල්ලලු…. බලන්නකෝ….. ම්… දැන් හරි වැඩේ… ආදරේ ඉතිරෙන යුද්ධයක ආරම්භය…!

කව්ද බීරි කෙල්ල….. කියලා අහගෙන සිරියහන් ගැබෙන් එනවා නඩු කාරි, නඩු කාරි නෙමෙයි නඩු ආච්චි…

ඇයි මගේ දෝනිට බීරි කෙල්ල කිව්වේ…? ඈහ්….?

අම්මෝ සැර… බීරි කෙල්ල කිව්වේ ඇස් පේන්නේ නැති නිසා.

ඊට පස්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි නඩුව නිශ්ප්‍රභයි….!

ම්… මේ… ඔයාට පුළුවන්ද මෙහෙම කුෂන් එක කරකවන්න…? යශෝධරාව තව සෙල්ලමක් පටන් අරගෙන ඒ පාර. පුටුවේ කුෂන් මහපට ඇඟිල්ලේ තියලා එක දිගට රබන් කරකවනවා වගේ වට දහයක් විස්සක් කරකවන්න පුළුවන් එයාට. කුෂන් එක කරකවන එකට වැඩිය ලස්සන චූටි කට පොඩ්ඩ එයාටත් නොදැනිම ඇරිලා, ඇස් දෙකත් අර බෝනික්කන්ගේ ඇස් වගේ කුෂන් එකත් එක්ක කැරකෙන එක…!

අනේ මට බැහැනේ…. කියලා දෙන්න…. මටත්….

බෑ… බෑ… මේක කියලා දෙන්නේ නෑ… එතකොට ඔයා මට පේන්න කරකවයි….

හ්ම්… අනේ තියාගන්නවා තමුසෙගෙ මහ ලොකු සෙල්ලම.

තමුසේ…????

හ්ම්…………..!

නෑ… නෑ… ඔයාගේ… ඒ වෙලාවට පැණි බේරෙන වචන කොච්චර ආවත්, හිතේ තියෙන දඩබ්බර කමට ඒවා කියවෙන්නේ නෑ… වටිනා කම අඩු “ඔයා“ කියන වචනය විතරයි පිටවෙන්නේ. එකම එක පාරක් ඔය වගේ වෙලාවක මං කුමාරයාගේ කටින් “මැණික“ කියලා කියවිලා, මගේ දිහා මූන රෝස පාට කරගෙන, ඇස් දෙක දිලිසි දිලිසි බලාගෙන හිටිය හැටි මතකයි මට. එවේලෙනම් ගොඩක් ආදරේ හිතෙන්න ඇති මං ගැන. මටත් එහෙමයි… නැත්තං ඒ බලාගෙන හිටිය විදිය මට දැනුත් මතක් වෙන්නේ නැහැනේ.

හා…. හරි…. ඔයා මහ ලොකු වැඩ්ඩා නම් මගේ ඇස් දෙක දිහා බලාගෙන කරකවන්න ඔය කුෂන් එක…

මං මොකටද ඇස් දිහා බලන්නේ ?

ඔයාට බෑනේ… හූ… හූ….

ඉන්නකෝ…

ඔය මොනා කියලා පටන් ගත්තත්, එක දිගට තත්පර දෙක තුනක්වත්… දුඹුරුපාට මගේ ඇස් දෙක දිහා බලාගෙන යශෝධරාවට ඉන්න බැරි බව මං කුමාරයා දන්නවනේ…. ඇයි කියන්න දන්නේ නෑ… ඒත් එයාට එහෙම කරන්න බෑ… සමහරවිට බය හිතෙනවා ඇති…. අනන්තවත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් අහන්න හිතුනට… කවදාවත් ඒ ඇයි කියලා අහගන්න බැරිවුනා.

ඉතිං ඔන්න පටන් ගත්තා,  යශෝධරාවගේ සෙල්ලම. වට තුනක් උපරිම කරකවන්න ඇති… අනේ මට බෑ…..

හූ… හූ…

සුදු මූනු පොඩ්ඩ සතූ කරගෙන… යනවා යන්න… හ්ම්… මොනාද ඔච්චර කියවන්නේ ඇස් දෙකෙන්…? කට නැද්ද…?

ඒ ප්‍රශ්නෙට උත්තර නැත…..!!! තාමත්….!!!! මටම…!!!! මං ඇත්තටම මොන තරම් දේවල් කියන්න හිටියද…?

මොනවා කිව්වත් කියපුවා තේරුම් ගන්න බලන් හිටියේ නෑනේ ඉතිං ටිකක් වෙලා. හැමදාමත් ඇස් දෙක මග ඇරියා මිසක්…!!!

ඇයී හිතන්නේ….? කතා කරන්නකෝ… මගේ යශෝධරාවත 22

ඒ ස්කෝලේ නිවාඩු දෙන දවස. මං කුමාරය ඒ දවස් ටිකේ කොහොමත් නිවාඩු.  ගෙදර ඉඳියේ පාඩම් කරන්න කියලා හිතාගෙන වුනාට, සුදු මූණු පොඩ්ඩ මතක් වෙද්දි මොන පාඩම්ද…

ඉතිං ඔන්න, ඒ වාරේ අන්තිම දවස සිකුරාදා දවසක්. ඒ කියන්නේ මං කුමාරයට යශෝධරාවගේ මාලිගාවේ ක්ලාස් තිබුනේ ඊට කලින්දා. එදා ක්ලාස් එකේදි, දෙයියනේ කියල වැඩ ටික කරගෙන ඉන්න කොට මයේ ඉස්සරහා එක පාරටම පෙනී හිටියා යශෝධරාව…

හෙට ස්කෝලේ යනවද…?

ම්…ම්…. තාම හිතලා නෑ… ඇයි එහෙම අහන්නේ…?

ඒකට පිළිතුර ලැබෙන්නේ මේ විදියට….

මුලින්ම චූටි කට පොඩ්ඩ ඇරෙනවා හුරතල් හිනාවකුත් එක්ක. ඊට පස්සේ ඇස් දෙක ලොකු වෙනවා. මූන රෝස පාට වෙනවා…. අන්තිමටම තමා උත්තරේ කටින් පිටවෙන්නේ.

මාත් හෙට අම්ම එක්ක අම්මලාගේ ස්කෝලෙට යනවා…!!!

ඉතිං මට මොකද… මටත් එන්නද කියන්නේ… මට ඊට වැඩිය වැඩ තියෙනවා… හෙට ස්කෝලේ එවුන් එක්ක හොරෙන් ග‍ඟේ නාන්න යන්න තියෙනවා. දැන් වැඩේ ප්ලෑන් කරලා ඉවරයි… දැන් කරන්න දෙයක් නෑ… ඔයා එක්කෝ කලින් කියන්න ඕනේ. මාත් ආසාවෙන් තමා ඉන්නේ ඔයා එක්ක අම්මලාගේ ස්කෝලෙට යන්න. අපි ඉන්ස්ටෝල් කරපු ගේම් එක කවුරුවත් සෙල්ලං කරන්නෙත් නෑ… මං ආසයි ඔයා ‘අප් ඇරෝ’ කී එක ඔබාගෙන ඉද්දී, ඒ පුංචි ඇඟිලි අස්සෙන් මගේ අතත් දාගෙන , පුංචි අතේ දැවටිලා ‘ලෙෆ්ට්’ ‘රයිට්’ කීස් ඔබන්න… ඒත් ඉතිං දැන් මොනා කරන්නද… මං යාළුවන්ට කියලානේ තියෙන්නේ… කියලා හිත හිත ඉද්දි…

ඇයී හිතන්නේ….? කතා කරන්නකෝ…

ම්… එහෙනම්…. මාත් එන්නද…?

හ්ම්… එන්න… ඒක තමා ඇහුවේ… කියලා සුරංගනාවි මාලිගයට ඉගිල්ලුනේ පුංචි අත්තටු වලින් වෙන්න ඕනේ.

ඊට පහු වෙනිදට එළිවුනේ, මහා දිග රැයවල් දාහක් විතර ගෙවලා දාලා… ඒ රාත්‍රියට පැය දාස් ගානක් තියෙන්න ඇති. අන්තිමේ හරියට නින්දකුත් නැතුව මං කුමාරයට ඇහැරුනේ උදේ හතාමාරට විතර. ඉක්මනින්ම නාලා කාලා ලෑස්ති වෙලා කන්තකවත් අරගෙන නඩුකාරිගේ ස්කෝලෙට ගියේ කොහොමද කියන්න මට මතකයක් නෑ…! ඒ හරිය නිකං හිස් අවකාශයක් වගේ… හරියට මාව ගෙදරින් අතුරුදහන් කරලා, නඩුකාරිගේ ස්කෝලෙන් මැව්වා වගේ.

ඊට පස්සේ අනිත් ගුරුවරුත්… කොහොමද පුතා කියලා අහද්දී, හැමෝත් එක්කම හිනා වෙලා පුළුවන් ඉක්මනින් ලැබ් එකට දිව්වේ… කලින්දා රෑ නින්දක් නැතුව සැරින් සැරේ දැක්ක සඳමඩල දැකගන්න…!

හ්ම්… ඔය ඉන්නේ කුමාරිකාව කැරකෙන පුටුවකට සැපත් වෙලා. මං එනකං ගේම් එක පටන් අරගෙන නෑ. ටික දවසකට කලින් මං දුන්න දියඇලි වල පින්තූර වගයක් බලනවා. මං කුමාරයා හිමින් සැරේ පිටිපස්සෙන් ගිහිං ඇස් දෙක වහන්න කියලා මූන දෙපැත්තෙන් අත්දෙක දාද්දිම…

මෙන්න මෙයා ඇවිත්…!!! කියාගෙන මගේ දිහාට හැරුන හැටි…!!!

පටන් ගමුද එන්.එෆ්.එස්…?

හා….

මං කුමාරයත් ලඟම තිබ්බ කැරකෙන පුටුවක් ඇදගෙන යශෝධරාවගේ ලඟටම වුනේ, ඇත්තටම ගේම් එක සෙල්ලං කරනවටත් වැඩිය එයාගේ ලඟට වෙලා ඉන්න ආසා නිසා. ඔන්න ඉතිං ගේම් එක ලෝඩ් වෙලා දෙන්නම එක වාහනයක් ඩ්‍රයිව් කරද්දී, පාත්වුනා… හෙනහුරා….

ආහ්… දැන්ද ආවේ…

ඔව් මැඩම්…

හ්ම්… කෑම කාලද ආවේ…

චුට්ටක් කාලා ආවේ.

ආහ්… එහෙනම් ඉන්නකෝ ටිකක් දවල් වෙනකං… අද පොඩි පාර්ටි එකක් තියෙනවනේ… නංගිනම් නොකාමයි ආවේ ඒ කෑම එක කන්න ඕනේ කියලා…

හ්ම්…

ඊට පස්සේ ආයෙමත් ගේම් එක… ඔහොම ගිහිං ගිහිං… මොනිටරේ දිහා බලාගෙන ඉඳලා මං කුමාරයාගේ ඇස් දෙකෙනුයි, යශෝධරාවගේ ඇස් දෙකෙනුයි කඳුළු බේරෙන කම්ම සෙල්ලං කලා… පස්සේ ළමයි හැමෝම පන්ති වලට ගියාට පස්සේ නඩුකාරි එනවා බත් එකත් අරගෙන.

ම්… දෙන්න එක්ක කන්න. කියලා අපි දෙන්නට බත් එක දුන්නේ, එයාගේ බඩගින්න ගැන නොහිත වෙන්න ඕනේ. කොහොමත් නඩුකාරිට ලැබෙන බෙනිෆිට් අපි දෙන්නටත් අයිතියිනේ. ඊට පස්සේ ඉතිං දෙන්න එක්ක බත් එක තවත් පුටුවකින් තියාගෙන අපි දෙන්නත් දෙපැත්තට වෙලා කෑම කද්දි, යශෝධරාව කැව්වා නඩුකාරිට බයියං කටක්.

මමත් නිකා ඉඳියි… මමත් කැව්වා කටක්. ඊට පස්සේ කුමාරිකාවගේ ඇස් දෙක මගේ මූනේ. බොහොම ලොකු මොකද්දෝ මංදා හැඟීමකුත් එක්ක.

ඇනුවා පුංචි බත් කටක්… ම්… කන්න….

චූටි කුරුළු පැටියෙක් වගේ, පුංචි කට පොඩ්ඩ ඇරගෙන මගේ මූන දිහා බලාගෙන ඉන්න ලස්සන.

එක කටක් කැව්වම, එයාගේ පාඩු‍වේ කෑම එක කෑවා… මමත් බලාගෙන හිටියා එයා මටත් ඒ අතින්  බත් කටක් කවනකම් ගොඩක් වෙලා… ඒත් එයාට ඒක තේරෙන්න නැතුව ඇති.

මටත් කටක්  කවන්න කියලා කුමාරිකාවට කියාගන්න බැරි තරමට මගේ හිත එදා දඩබ්බර වෙච්චි හැටි…!!! 

නෙළුම් මල දෙනවද….. නැත්තං….

She is still bud…

හ්ම්… හ්ම්… මං දන්නවා… ඒ ඉතිං ඉස්සරනේ….

දැන්… She is flower… නේ,

මොකද කියන්නේ….නෙළුම්  මල  මට දෙනවද..? නැත්තං පොකුණ පිටින්ම උස්සං ගිහිං අපේ වත්තෙන් තියාගන්නද…???

නැත්තං හිටියා වගේ තව සුට්ටක් ඉවසලා ඉන්නද….??? (නඩුකාරි දැක්කොත් හෙම මේක…. හ්ම්… නෑ එක්කෝ මුකුත් කියන එකක් නෑ…)

ආ… මේක තියාගන්න… මගේ යශෝධරාවත 21

හරියටම මාසයයි සති කීපයකට පස්සේ අයෙමත් මං කුමාරයට මගේ සුන්දර…. ඒත් දුක් මුසු තැන් වලිනුත් අඩු නොවිච්ච, ඒත් හරිම අමුතු ආදරේ ගැන මතක් වුනා. ඒ කාලේ තමා යශෝධරාව විශාරද කර කර හිටයේ. ඉතිං එහෙ යන දවසක් ඇත්තං මං කුමාරයටත් අනිවාර්යෙන් සිංදුවක් අහන්න ලැබෙනවා වගේම සමහර වෙලාවට ලෝකෙ පෙරලලා හරි යශෝධරාව ඉල්ලන සිංදු ගෙනත් දෙන්නත් වෙනවා. ඇත්තටම ඒ දවස් යශෝධරාවගේ කෙසේ වෙතත් මං කුමාරයාගේ හිතේ නම් තිබුනේ පුංචි නංගි කෙනෙක් ගැන ඇතිවෙන අමුතු මෙව්වා එකක් විතරයි.

හැබැයි මේ කියන දවසින් පස්සේ තමා ඒ හැඟීම ටිකක් වෙනස් වෙලා, ඇඩ්වාන්ස් වෙලා එතනින් එහාට… මහා ලොකූ හීන කන්දකුත් ගොඩගහගෙන, ලස්සන ප්‍රාර්ථනා ගොඩකුත් හිතේ පුරෝගෙන ඉන්න වුනේ.

ඉතිං මේ කියන දවසේ මං කුමාරයට නඩුකාරි ගේ ක්ලාස් තිබ්බ දවසක්. මං කුමාරයත් ස්කෝලේ ගිහිං ඇවිත් පට පට ගාලා නාලා කාලා ලෑස්ති වෙලා ගියේ පුංචි හුරතල් මූනත් දැකබලාගෙන තව සතියකට විතර ඇති වෙන්න අමුතු මතකයන්  රොත්තක් එකතු කර ගෙන එන්න. යශෝධරාවත් ස්කෝලේ ගිහිං ඇවිත්, එයාලගේ මාලිගය ඉස්සරහා තියෙන කොන්ක්‍රිට් කනුවක් උඩ එහෙට මෙහෙට පැන පැන, ඇට්ටේරියා මල් එකතු කරගෙන මං එන දිහා බලාගෙන ඉන්නවා මං දැක්කේ දුර තියාමයි. එදා නම් මට හිතුනේ නෑ එයා පුංචි සුරංගනාවියක් වගේ නේද කියලා… ඒත් අද නම් සිය දහස් සැරයක් එහෙම හිතෙනවා.

කොහොම හරි ඉතිං මං යශෝධරාව පහු කරගෙන ගේට් එක ගාවින් යද්දී ඇට්ටේරියා මල් දෙක තුනක් මගේ ඇඟේ වැදීගෙන හුළඟත් එක්ක මුහු වෙලා මගේ හිතත් තෙමා ගෙන ගිය බව නම් මතකයි. පස්සේ ඉතිං කෝලම් කරන්න වෙලාවක් නැහැනේ. මාලිගයට ආවේ ඉංග්‍රිසි ඉගෙන ගන්නනේ. ඒක නිසා ඉතිං වැඩිය දඟලන්නේ කරන්නෙ නැතුව ක්ලාස් එකට ගිහිං වාඩි වුනා. පස්සේ ඉතිං මයෙ පෙර අකුසල කර්මයකටද කොහෙද මාත් එක්ක ක්ලාස් එන එක යාළුවෙක්වත් එදා නෑ. දැන් ඉතිං තනියම ඇක්ටිවිටි කොරපංකෝ කියලා හිතින් හිත හිත ඉද්දී… ක්ලාස් එකේ තිබුන ලී කණුවක් ගාව කොහෙන්දෝ ආපු පුංචි කෙල්ලෙක් නතර වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං ඒ දිහා බැළුවත් හරි ඒ පුංචි කටෙන් අහන්න ලෑස්ති වෙලා හිටිය ප්‍රශ්නේ ඇහුවා.

අම්මා ඇහුවා යාළුවෝ එන එකක් නැද්ද කියලා…???

ම්…ම්… ම්… දන්නේ නෑනේ… කවුරුවත් මට හම්බුනේ නෑ… වචන පැටලුනේ නෑ මං හිතන්නේ. ඒත් දිව නම් මොකක් හරි පිස්සුවක් නැටුවා.

හා… මං අම්මට කියන්නම්…. කියාගෙන මට තවත් කිසි දෙයක් කියන්නවත් තත්පරයක්වත් නොදී යශෝධරාව දිව්වා මාලිගයට. ඇත්තටම දැන් හිතුනට එවෙලේ මුකුත් කියන්න වුනේ නෑ නේද කියලා… ඇත්තට මං එවෙලේ මොනා කියන්නද…???

පස්සේ ඉතිං නඩුකාරි එනවා, පොත් ටිකත් අරගෙන. ඇවිත්, අද යාලුවෝ නැහැනේ… ක්ලාස් එක ටිකක් වෙලා කරලා නවත්තමු… කියාගෙන. මටත් ඉතිං ඉක්මනට ගෙදර යන්න පුළුවන් නිසා සංතෝස හිතුනට, මොකක් හරි දුකකුත් දැනුනා. දන්නේ නෑ ඒ මොකද්ද කියලා.

ඊට පස්සේ මොනා හරි ලෙසන් එකක් කරා. පස්සේ ටික වෙලාවක් යද්දී රෝස පාට පුංචි කොල කෑල්ලක් අතේ ගුලි කරගත්ත පුංචි ඇස් දෙකක් එයාගේ අම්මගේ අතේ එල්ලිලා මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒ හැඟීම් විස්තර කරන්නවත්, ඒ මතකය ආයෙම කෙනේ ඉදිරියේ මවලා පෙන්නන්වත් විදියක් මං තාම දන්නේ නැති නිසා හොඳයි. නැත්තං ඒ මොහොත කොයිතරම් හැඟීම් බරද කියලා දැක ගන්නම තිබුනා. පස්සේ ඉතිං මගේ ගාවට පුංචි පුංචි අඩි තිය තිය ඇවිත්….

ආ… මේක තියාගන්න… මට මේ සිංදුව හොයලා දෙන්න පුළුවන්නම්….

කියලා ආයෙම හෙමිහිට නඩුකාරි ළඟට ගිහිං ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉඳලා එක පාරට දිව්වා ගෙට. නඩුකාරිත් ඇවිත්…

ඔය සිංදුවට නංගි ආසයිලු. පුතාට පුළුවන්නම් හොයලා ගෙනත් දෙන්න… කියලා ඔලුවත් අතගෑවද කොහෙද…

පස්සේ ඉතිං නඩුකාරිත් ටිකක් එහාට මෙහාට වෙනකං ඉඳලා මං කුමාරයා දිග ඇරියා මෙදා පාර ඉල්ලන සිංදුව මොකද්ද කියලා බලන්න. ලස්සන ලියුම් ලියන රෝස පාට කොලයක නිල් පාට කාබන් පෑනකින් පුංචි වටකුරු අකුරු වලින් මමත් ආසම, මගේ ගාව ඒ වෙනකොටත් තිබුන සිංදුවක් ලියලා ඒ කොලේ….!!! ඉතිං ඒ  සිංදුව හොයලා දෙන එක ගැටළුවක් වුනේ නෑ මං කුමාරයට. ඊට පස්සෙන්දම සිංදුව සීඩී එකකට බර්න් කරලා ගිහිං දුන්නා.

ඒත් ඒ සිංදුව ලියලා දුන්න කොලේ….!!! ඒක මං කුමාරයට ලොකු ගැටළුවක් වුනා. එදා විතරක් නෙමේ අදටත්. තාමත් ඒක මගෙ ගාව තියෙනවා. හැබැයි සිය දහස් වාර ගනනක් නවලා දිග ඇරලම නැවුම් පාරවල් වලින් ඉරිලා ගිහිල්ලා. ඒත් එහෙම වෙන්න කලින් කොලේ ස්කෑන් කරලා තිබුන විදියටම ආයෙම එකක් හදාගන්න මට පුළුවන් වුනා. අකුරු ටික විතරක් කොපි කරගෙන කොලේ ආයෙම ඩිසයින් කරලා, දැන් මගෙ ගාව තියෙන සොෆ්ට් කොපිය තමා ඔය උඩ තියෙන්නේ….!!!

මට නම් නෙළුම් විලේ මල් සීයක් නෙමේ… නෙළුම් විල් සීයක් තිබුනත් එක නෙළුමයි…!!!

අද එක්කෙනෙක්ගේ උපන් දිනේ…

අද තමා මට වැඩියෙන්ම වටින දවස. මගෙ උපන් දිනේටත් වඩා වැඩියෙන් මට අද දවස නම් සෑහෙන්න වටිනවා. හේතු නම් ගොඩයි. ලොකුම එක තමා, අනිත් අයට ජනවාරි පළවෙනිදට අවුරුද්දක් ලැබුවට… මට වසරක් ගෙවිලා වසරක් ලබන්නේ ජනවාරි හය වෙනිදට වීම… ඉතිං වෙනදා වගේම මෙදා පාරත් හැමෝගෙන්ම තෑගි ලැබෙන්න කලින් මගේ උපන් දින තෑග්ග ලැබෙන්න ඇති කියලා හිතනවා. නොලැබී යන්න විදියක් නැහැනේ ඉතිං, නඩුකාරීට යශෝධරාවගේ උපන් දින තෑග්ග භාර දුන්නේ සති දෙකකට විතර කලින්නේ. ඉතිං දෝනියන්දට නොපෙනෙන්න හංගලා තිවුන තැන මතක තිබුනනම් ලස්සන කාඩ් එකයි අනිත් තෑග්ගයි අනිවා හම්බුවෙන්න ඇති.

අද  වැඩිය ලියන්න බෑ අප්පා… මේං මේ විදියට බර්ත් ඩේ කාඩ් එකේ තිබ්බ සුභ පැතුම විතරක් මං බ්ලොග් එකේ ඉතුරු කරන්නම්… අඩුම ගානේ ඒ ලස්සන කාඩ් එකේ පින්තූරයක්වත් මට කස්ටිය එක්ක බෙදා ගන්න ලෝබයි… මොකද මං ඒකි වෙනුවෙන් වෙන් කරන හැමදේම එයාට විතරක්ම වෙන්න ඕනේ කියලා මගේ හිතේ තියෙන නපුරු කුහක සිතුවිල්ල නිසයි ඒ. අනිත් එවුන් වගේම මාත් ආදරයෙදී මාරම ආත්මාර්ථකාමීයි….!!!

මගේ ගැණි වෙච්චි දාට… රත්තරං අම්මි වුනාට, එතකං තමුසේ මට නංගියෙක් හරිද….!!! මං ජීවත් වෙනවා කියලා මට දැනෙන්න සැලස්සුව ඔය පුංචි ඇස් දෙකට… ඇත්තටම මං හැමදේකටම වැඩියෙන්, ආදරය කරනවා අදටත්…!!! හැමදාටමත්…!!!

 

I love you for

so many things, I don’t know

where to start,

but most of all I love you

for your understanding heart.

A heart that makes you thoughtful,

considerate and kind,

a heavenly combination that

is difficult to find.

It would be a pleasure

just to know you, for you’re

kind and considerate, too…

… But I’m double lucky

to have not just a friend,

but also a Sister as sweet as you.

LOVE YOU, SISTER !

මෙයා හරි වැඩකාරයානේ… මගේ යශෝධරාවත 20

ගෙදර කවුදෝ…?

මේ ඉලවු මාලිගාවේ බෙල් එකක සුයිච් එකක් තිබුනට ඒක එබුවට බෙල් එකක් වදිනවා කියලයැ… ඒක නිසා ඉතිං කුමාරිකාව හරි නඩුකාරි හරි පියාණන් හරි පේන්න නොහිටියොත් මං කුමාරයා කරන්නේ ගෙදර කවුද කියලා කෑගහන එක තමා… ඊට පස්සේ ඉතිං නඩුවක් සහතිකයි…

ඊට පස්සේ ඉතිං ඔන්න එනවා… ආහ්… අම්මේ මේ කවුද ඇවිල්ලා……

ඔය චූටි බබා මාව දන්නේ නැද්ද….? ආ…..

ම්… සීයව දැකලා පුරුදුයි….

අඩෝ… මං සීයනං ඔයා ආච්චි හරිද….

ඒ පාර ගෙට එන්නත් කලින් රංඩුද…? නියම අයියයි නංගියි… අනේ අනේ…

මෙයා තමා මැඩම් මට එව්වා මෙව්ව කිව්වේ…

ඔව් ඔව් අම්මේ මං තමා මෙයාට එක එක කිව්වේ…. හ්ම්….

ඊට පස්සේ නඩුකාරිගේ ඉන වටේට  රත්තරං පාට පුංචි ඇඟිලි ටිකෙන් බදාගෙන අම්මට තුරුල් වෙන පුංචි කෙල්ලව  දකිද්දි… හ්ම්...... මං කුමාරයාගෙ ඉන වටේ මේ ඇඟිලි ටික දුවන දවස ඉක්මනට උදාවෙනව නම් කියල හිතෙනවා…!!!

පස්සේ ඉතිං මං කුමාරයට වාඩි වෙන්න කියලා, යශෝධරාවයි, නඩුකාරියි සිරි යහන් ගැබට යන්නේ වෙනදා වගේම මට විරුද්ධව ක්‍රමන්ත්‍රණයක් දියත් කරන්න තමා. යශෝධරාවගේ ඔලුවට මට ෂොට් එක දෙන්න අදහස් එන්නේ නඩුකාරි ඔලුව අතගාද්දි කියන්නේ…

මං ඒ දවස් වල තමා ක්‍රන්චර් එකට ගේම් එක හද හද හිටියේ. ඉතිං ඒකට මුලින්ම අදහසක් ගන්න හිතලා කතාකරේ යශෝධරාවටයි මවුතුමියටයි තමා. දෙන්න එක්ක එක එක අදහස් දුන්නත් ඒවා ක්‍රියාත්මක කරන්න ගියොත් මට වෙන්නේ රස්සාවෙන් අස් වෙලා ගෙදර ඉන්න නිසා. දෙන්න එක්ක අදහස් ප්‍රකාශ කරද්දි හිස් මුදුනින් පිළිඅරගෙන ගෙදර ගිහින් රිසයිකල් බින් එකට දාන එක ඇරෙන්න වෙන කොරන්න දෙයක් තිබුනේ නෑ.

ටික වෙලාවකින් සියළුම රහස් සාකච්චා ඉවර වෙලා ඕං පැමිණෙනවා…. අර ගේම් එක හදලා ඉවරද…?

තාම නැහැ… ගෙදර ඇවිත් කරන්න වෙලාවක් නැහැනේ….

හ්ම්….

මං නම් දන්නවා ලේසි ගේම් එකක්. කියන්නද ඒක…?

හා කියන්න…

ඔයා කියන ඕනේ අවුරුද්දක ඕනේ දිනයකට අදාල දවස මට කියන්න පුළුවනි.

ඈ… අනේ පල කෙල්ලේ බොරු නොකිය… එනවා මෙතෙන මට මැජික් පෙන්නන්න කියලා හිතින් හිතුවට කිව්වේ මෙහෙම….

නෑ… ඔයා දන්නවා එහෙම ක්‍රමයක්… හා එහෙනම් කියන්න බලන්න එක දාස් නවසිය අසූ හයේ ඉල් මස හතර වෙනි අඟහරුවාදාට දවස මොකද්ද කියලා.

අනේ ඉතිං පුංචි ඇස් දෙකත් ලොකු කරගෙන, කටත් වෙස් මූන වගේ කරගෙන මොලේ කරකව කරකව හිතන විදිය දැක්කම මටම හිනා. මුලින්ම අසූහය ගැන හිතන්න ඕනේලු… ඊට පස්සේ ඉල් මාසේ සිංහල මාස ක්‍රමයෙන් අනිත් මාස ක්‍රයට පරිවර්තනය කරගන්න ඕනේලු… ඒකට මොකද්ද මන්දා නමක් කිව්වා යශෝධරාව මට දැන් මතක නෑ. ඔය ඔක්කොටම පස්සේ හතර වෙනිදා කවද්ද කියලා හිතන්න ඕනෙලු. ඒ ඉතිං එයාගේ තියරිය. ආහ් තව… අධික අවුරුද්දක් එද්දී ඔන්න කීයක්ද මන්දා එකතු කරන්න ඕනැයි කියලත් කිව්වේ… පවු කෙල්ල මහන්සි වෙනවා සෑහෙන්න මං කියපු දිනේට අදාල දවස මට හොයලා දෙන්න… එතකොට තමා ඉතිං අර ගෑණු  මොලේ හැඳි මිටේ කියන එක ආයමත් මතක් වෙන්නේ.

එයාට ඒකේ මහ ලොකුවට හිතන්න දෙයක් නෑ, මං ප්‍රශ්නේ අහද්දිම අන්තිමට අඟහරුවාදා කියලා කියලම තමා ප්‍රශ්නේ ඇහුවේ. ඒත් ඉතිං දැන් ඔව්වා කියවන්න ගිහිං නිකං ඉල්ලං කන්න ඕනේ නැහැනේ. අනික ඉතිං ඔය වගේ පොඩි විහිළුවකට ඒ මූන කොයි තරම් නම් රතු වෙයිද…???

ඒක නිසා ඉතිං මං කුමාරයා විනාඩි දෙකක් විතර ඉවසගෙන හිටියා. ඒක ඇත්තටම කෙටි චිත්‍රපටියක් බැළුවා වගේ තමා. එව්වෑ කතා කරනවා අඩුයිනේ… ඔක්කොම තියෙන්නේ අංග චලන වලන් කතාව කියන ඒවනේ. මේ හොල්මනත් ඒ වගේ තමා… අයින්ස්ටයින්ද, පයිතරගරස්ද අයිසෙක් නිව්ටන්ද, ඩෝල්ටන්ද, රොජන්ජන්ද තව තව හිටිය ඔක්කෝගෙම මූන ටික අර පොඩි ප්‍රශ්නෙට උත්තර හොයන මූනෙන් සැරින් සැරේ මතු වෙනවා යනවා…

අන්තිමේ මං හිතන විදියට කනා මුට්ටි පාරක්ද කොහෙද ඇදලා ඇරියා… හරි… අඟහරුවාදා නේද….?

ඒ වෙලාවෙ ඉතිං ම්… හරි හරි…  කියනවා ඇරෙන්න පඬි ටෝක් දෙන්න ගියානම් දෙවෙනි නඩුවත් නිකංම ෆයිල් වෙන නිසා දිනුම දීලා නිකං හිටියා.  කාට කියන්නද ඉතිං… ඊට පස්සේ මං කුමාරයට කුමාරිකාව කියනව… හා පුළුවන්නම් මීට වැඩිය ලේසියෙන් මේක කරන විදියක් හොයලා දෙන්න කියලා… පේනවනේ ලස්සනට බටර් පාර ගාල පාං අරං එන්න කඩේ යවන හැටි….

මොනා වුනත් හිත රිද්දන්න බැරි කමටම මං කුමාරයත් වැඩේ බාර ගත්තා. පස්සේ ඉතිං වෙබ් පොජ්ජට මං ගච්චලා සමීකරන පොජ්ජවල් බැලුම් ලාල හරියන්නෙම නැති තැන පොඩි පොඩි ස්ක්‍රිප්ට් කෑලි දෙක තුනක් අමුනලා කරලා යාන්තං ජාමේ බේර ගන්න පුළුවන් තරමේ ෆ්ලෑෂ් මෙව්ව එකක් හදාගත්තා.

මේකෙන් ඉතිං භය නැතුව ඕනේ අවුරුද්දක ඕනේ දවසක් හොයාගන්න පුළුවනි. වැඩිය ඕනේ නෑ, පෙබරවාරි මාසේ තිස් එක්වෙනිදත් හොයාගන්න පුළුවනි…! පස්සේ ඉතිං ෆෝන් එකට ඔබාගෙන ගිහිං පෙන්නුවා…

ම්හ්… මෙයා හරි වැඩකාරයානේ…

ඉතිං මං කුමාරයටත් එනවා කටට…. ඔයා දන්නේ නෑ සුදු මගේ වැඩ ගැන තාම…. කියලා කියන්න වුනාට කටක් ඇරලා මං කුමාරයාගේ ඔය ජිඟිරි බිරිස් වැඩ ගැන කොහොම කියන්නද….

ඔය ෆයිල් එක ඕනෙ අය ඉන්නවනම් ඩවුන් කරගන්න. සමහරවිට එක පාරක් අනිත් ෆ්ලෑස් ෆයිල් වලට වුනා වගේ මේකත් නැති වෙන්න පුළුවන් නිසා මටත් ආයේ ඕනේ වුනොත් ඉල්ල ගන්න පුළුවන් වෙන්න පරිස්සං කොරලා තියාගන්න. ඒ වගේම උන තියෙන ඇමතිවරු ඉන්නව නම් මේ ෆයිල් එක කෑලි කරලා වෙනස් කම් කරලා වැඩි දියුණු කරා කියලා මං යුද්ධෙට එන්නේ නෑ…

%d bloggers like this: