අවුරුදු ගමන, ගමට…

අවුරුදු කීපයකට පසුව මම අද ආයෙත් මං පුංචි කාලේ වගේම දැනුත් වඩාත් ලගින්නට ආසාම කරන ගම් පොජ්ජට මංගෙච්චුවෙමි. කලින් ලිපි කීපයකම කිව්වාක් මෙන් දැන් ප්‍රදේශය හෙනට වෙනස් වී ඇත. මා කුඩා කල මගේ කර මත ඉංදා ගෙන කජු ගස් වල කජ්ජක රස බැලු පොඩිවුන් දැන් මහඑවුන්ය. ගස්වල කජු නැතත් උංගේ කජ්ජ නම් බිමට බර වීගෙන සෙයක් බැලු බැල්මටම දුර තියාම පෙනේ. පාසල් නිවාඩු කාලය නිසාම හැම එකාම පාහේ උංගේ කොන්ඩ වලට අමුතු අමුතු මැජික් කට් ගසා ඇත. කොළඹදීවත් නොදුටු අමුතුම ආකරයේ කට් මුංගේ ඔලුවල ඇත. ඒවා උංට ගැලපෙනවාද නැද්ද කියා සිතන්නේ නැත. එකෙක් කරොත් තව එකෙක් කරයි. විලාසිතාවකට නොව කරන්නන් වාලේ කිරීමකි.

ඒ කොල්ලන්ගේ හැටිය. කෙල්ලෝ ගැනනම් කිසිම අප්ඩේට් එකක් නැත. ඒ දවස් වල මගේ පුංචි සමයේ ඉරෝමි නම් ඒක පාර්ශවීය පෙමක මා පැටලී වුන් අන්දම අද දින මා හට මතක් වුයේ, පුංචිලාගේ ගෙදරට පිටුපසින් තවමත් ඉරෝමිලාගේ දරමඩුව පෙනෙන බැවිනි. නම විතරක් මතකය. කෙල්ලගේ මූන වත් මතක නැත. මේ වගේ අවුරුදු නිවාඩුවකට මං ගමේ එන විට, ඊට කලින් නිවාඩුවකට ආ විට මා හට මුකුලු පපා සිටි ඇය මොකෙක්දෝ හෝහපුටුවෙක් සමග පැන ගොස්ය. ඒ ගමේ කෙල්ලන්ගේ හැටියයි මා සිතා සිටියද, අම්මට හුඩු වූයේ නගරේ කෙල්ලන් ඊට නොදෙවෙනි බැවිනි. කෙසේ හෝ දැන් ඇය මගේ වයසේම වගේ බබෙක්ව හුරතල් කර කර කොහේ හෝ ඇත.

ගෙදරින් පාන්දර හතරාමාරට පැමිනෙන අම්මාටත්, තාත්තාටත්, මල්ලිටත් මටත් වෙනදා නම් දවල් දොලහ වෙන විටද ගම් පියසට ඒගත නොහැකිය. වෙනදාට අපි ජයන්ති හෝටලයෙන් කන්නේ දවල් කෑම වේලය. ඒත් අද අපි උදෑසන ආහාර වේල බුක්ති වින්දෙමු. ඒ ආශ්චර්යයේ ආනුභාවයෙනි. පාරවල් වෙනස් වී ඇත. දෙපස සුදු ඉරිද මැද පේමන්ට් එකේ අලංකාර මලින් පිරි මල් ගස්ද ඇත. වෙනදා තරම් වාහන තද බදයක්ද නොවුන හෙයින් මට හිතුනේ මගේ ගමේ වුන් දැන් දුප්පත් වෙලාවත්ද කියලායි. නැත… පාරවල් පලල් වී කාර් පාර්ක් තැනී ඇත. දැන් මහ මග දෙපස වාහන නවත්තන්නේ නැත. නවතන්නට නියමිත තැන් තිබේ. ඒ අනුව බලද්දි නම් ගිය පාරේ ඡන්දෙදි මම වැරදි තීරණයක් ගෙන ඇති බවක් සිතේ. කමක් නෑ… ගියදේ ගියාවේ… අහුවුනේ මං… රැවටුනේ මං… උඹලටනම් මොකද ඉතිං…

ඊට පසු අපගේ පරන පෞරාණික අළුත තනපු නිවසට සේන්දු වූයේ නෑදෑ අයියා කෙනෙක්ගේ ත්‍රී වීල් රථයෙනි. දුර තියාම පෙනුන ආකාරයටම වත්ත වල් වැදී ඇත. කලින් වත්තට එන්ටරන්ස් තිබූ තැන මහා දැවැන්ත රුක් රාජයෙකි. වැසි හතර පහකට පසුව මිනිසුන් පය නොතබන බිමක් වේ නම් එහි තඩි ගස් බිහිවීම අපේ ගමේ සාමාන්‍ය දෙයකි. ඒ මදිවට ගෙදරට යන්න තියෙන ඉතුරු මීටර් දහය කටු පඳුරුය. යකෝව්… මේ පොළොව… අපිටම කෙලින හැටි. කරන්නට දෙයක් නැත, කටු ඇනගෙනම ගෙට ගොස් ඉබි යතුරු ඇර මුලින්ම කලේ උදැල්ල ගෙන වත්තට ඒමට පාරක් කැපීමය. උදලු පාර හත අටක් වදින විට පඳුරු දෙක තුනක් ගැලවුනද මගේ හඳුන්පොත ගල් මෝල්ක් මෙනි… හෝ…ස් හෝ…ස් ගායි. ඒ අවුරුදු ගානක සිට ඒ.සී කාමරවල සැප පුටුවල ගත කරන කොන්ක්‍රිට් සූ ලයිෆ් ජීවිතයට පිං සිදු වෙන්නය.

රෑට කොටයිද දන්නෙත් නෑ…

පාර කැපීම තාත්තට පවරා මගේ යැයි ඒ දවස් වලම වෙන් කරගත් කාමරයට එබුනෙමි. එහි තවත් මගුලකි. මදුරු දැල එල්ලන කම්බියේ හොට මෙව්වා වෙච්චි කුරුල්ලෙක් කූඩුවක් තනා ඇත. දැන් ඉතිං මට ඌව පන්නන්නටද බැරිය, මට පැන්නෙන්නටද බැරිය. මෙහෙ ඉන්නා දවස් දෙක තුන දැන් ඉතිං මූ සමග එක ගෙයි කන්නට මං තීරණය කොලෙමි. ඌ පවු බව පෙනේ. මාස ගානකින් මිනිස් පුළුටක් නොදුටු කුරුල්ලා එහි කූඩුවක් සෑදීම සැබැවින්ම ආරක්ෂිතය. හැබැයි දැන් මම අනාරක්ෂිතය. ඌ උඩ එල්ලී සිටී. ඌට නයින්, පොළඟුන්ගෙන් අන්තරාවක් නැත. ඒත් ඌව සොයා එන එවුන්ගෙන් මට අපලය. මම බිම් මට්ටමෙන් සිටින නිසා කුරුල්ලාව සොයා එන වුන්ට බෝනස් මස් ගාතයක් ලැබේ. හරි වරෙල්ලකෝ… දෙන්නං තොපිට මේ අවුරුදු කාලේ… තෙල් බේරෙන කැවුම් ගෙඩිය වාගේ වෙන්ට.

කෙසේ හෝ ගෙමිදුල ඉදිරිපිට මහා කැලෑවකි. ඒ දවස් වල ඉන්දවූ, අපි වසන තාක් හරියකට කොල පැහැ නොවූ යෙලෝ ෆාම් ගස් තුනක් විසාලෙට කෑලෑවට සෑදී තිබේ. ඊට මත්තෙන් ඉබේ පැලවූ පෙතං ගහක් සුදු පෙතං මල් පුරෝගෙන හිනාවෙයි. ඊටත් එපිටින් ආච්චිලාගේ මැටි ගේ තියෙන දවස් වල මට ඒ ගේ අඳුනා ගැනීමට මෙන් පාර අයිනේ වවා තිබූ රුකඅත්තන ගහක්ද සරුවට හැදී ඇත.

ප්‍රේමනීය රුක්අත්තන...

ප්‍රේමනීය රුක්අත්තන…

ඒ ගහටනම් මං බොක්කෙන්ම ප්‍රේම කරමි. එතරම් ශාන්ත කහපාටක් ඇපල් මොනිටරයකින්වත් මම දැක නැත.

කියන්නට බැරිවිය… මගේ කාමරයට දෑකැත්තෙක් හෝ කෑදැත්තෙක් අයිතිවාසිකම් කියනවා වගේම අපේ වත්තට වල් හා පවුලක් අයිතිවාසිකම් කියයි. උං සිටින්නේ මගේ කාමරයට ඉදිරියෙන් තියෙන ගොහොල්ලේ බැවින් මම එය සුද්ධ නොකරන්න තීරනය කර ඇත. තව වත්තේ අයිනේ පොල් කොටයක් තුල තලගොයෙක්ද වසයි. ඌට බයේ සැඟවුනු පොළොං පැට්ටෙක් අපේ මල්ලිට කුස්සියේ සිට අසුවී ඌව බාගෙට මරා මෙගා බෝතලයකට දැමුවෙමි. ඉතිරි පන ටික එහිදී හෙලනු ඇත. තවත් නම නොදත් ශාක විශේෂ හා සත්ත්ව විශේෂ කීපයක් වත්ත වටේ රවුමක් යද්දී සොයාගතිමි. උං ගැනනම් මගේ ඒ හැටි පැහැදීමක් නැත. රෑට වැස්සොත් ගෝනුස්සන්ද, දිවිමකුළුවන්ද එලිබහිනු ඇත. දැන්නම් මට හිතෙන්නේම කුඩා කල මා කියවූ බෝට්ටු ගෙදර ළමයි වගේ… මාත් දැන් කැලෑ ගෙදරක සිටින බවකි. ඒ හෙට දිනයේදී තාත්තා විසින් වත්තෙන් භාගයක් සුද්ධ කරනකං පමණි.

මේ ආකාරයෙන් ගෙවෙන අවුරුදු දවස් කීපය ආතල් කර ගැනීම වස් හැන්දෑ ජාමයේ ටවුමේ පොල වටේ රවුමක් යාමට ආසාවෙන් හිටියද මවුතුමෝ බකට් එකක් හෙලා එය නැවැත්වීය. මෙදා පාර අයි.ටී.එන් අවුරුදු අසිරිය අපේ ගමේ වන බැවින්… අවුරුදු උත්සවයට මමද යන්නට සිතාගෙන සිටිමි. තවත් බ්ලොග් සහෝදරයින් කීපදෙනෙක් මගේ ගම් පියසේ වෙසෙන බැවින් උංට කෝල් එකක් දෙනවාද නැද්ද යන්න තවමත් තීරණයක් නැත. තීර්ථ යාත්‍රිකායාව නම් මෙදා පොටේ තනියම අල්ලා ගැනීමට බැරි බැවින් ඌට කරදර නොකරමි.

අවුරුදු උත්සවේ බලන්න යන්න එකෙක් ඇත්තේම නැතිවුනොත්… මල්ලි කැටුව යමි. එය සැක සහිතය. ඕකා කුකුලාය. මෙහෙන් කෑල්ලක් සෙට් වුනොත් ඌ අනිවා ඩෙෆා මෙහේ නවතීද කියන්නට බැරිය. අයියාගේම මල්ලි කියා ඒ දවස් වල එක එකා කීවට… දැන් නම් කියන්නට වෙන්නේ මල්ලිගේම අයියා කියාය. ඒ තරමට ඌ එක්ස්ප්‍රස්ය.

හරි අවුරුදු වැනිල්ල අවසානයට කල හරිය. ලැපේ බැටරි බොඳව යමින් ඇත. කෝ මේ ඩැඩා…? වයරින් එකට මීයන් වගකිව යුතු බැවින් ටෙම්පරි වයරින් එකක් දාගත යුතුව ඇත. නැත්තං අර හොට ඇද වෙච්ච මයිනත් එක්ක මට කළුවරේ තමා එක ගෙයි කන්න වෙන්නේ… ඌ දැනටම නිදිය. මං ඉන්නවාද කියාවත් ගානක් නැත. ඌට ෆන් දසුනක් මෙවෙන තැනක උගේ කූඩුව තනාගන්නට මගේ කාමරය උදවු වී ඇත. ඌ ආතල් එකේ කූඩුවෙන් එලියට හොට දමා ගෙන ඈතින්… පොල් ගස් වලට, උසට හැදුන කජුගස් වලට මුවා වෙවී ඉර බැහැගෙන යන හැටී බලාගෙන ඉඳී. මම පෙරේතයා වගේ මෙතන මේක කොටමි. මමද යමි… ඌ සමග ඒ අසිරිමත් වැහිබර ඉර බැසීම නරඹමි… මගේ ජනේලයට එහායින් බැස යන ඉර වෙන කොහේට හෝ දැන් පායනවා ඇත. උන්ට සුභ උදෑසනක් පතමින් මමද ඉර සමග නිදාගන්නට යමි.

කෙසේ හෝ මේ පාර මං අවුරුදු අරගෙන අපේ ගමට ආවෙමි. අවුරුදු අරගෙන ගමට එන්නේ කව්ද කියලා දන්නවනේ ඉතිං… නෙහ්…

එහෙම නම් ලබන්නා වූ අළුත් අවුරුද්ද මේක කියවපු නොකියවපු හැම දෙනාටම වගේම ගමේ යන්න බැරි වුන, දාහතර වෙනිදටත් වැඩට යන්න වෙන සියළු දෙනාටමත් සුභ සිංහල හිංදු අළුත් අවුරුද්දක් වේවා…!

Advertisements

රට වටේ යන වෙසක්…!

අනුරාධපුරේ අපි ඇවිද්ද තැන්...

අනුරාධපුරේ අපි ඇවිද්ද තැන්…

ඉස්සර වෙසක් එකට ගම වටේ ගියාට දැන් යන්නේ රට වටේ. අපි ලොකුයිනේ දැන්…! හතර පස් දෙනෙක් එකතු කරගෙන අනුරාධපුරේ යන්න ලෑස්ති වෙලා හිටියට අන්තිමට ඉතුරු දෙන්නයි. ම්… මං හිතන්නේ ඒ “හොඳම කණ්ඩායම“ වෙන්න ඇති. කවදාවත් කෝච්චියෙන් අනුරාධපුරේට ගිහිං නැති නිසා යන දවසට හරියටම සති දෙකකට කලින්ම දෙවෙනි පංතියේ ආසන වෙන් කරලා තමා වැඩේ පටන් ගත්තේ. වෙසක් දවසේ උදේ තියෙන කෝච්චියට සීට් බුක් කිරීම ඇරඹුන දවසෙම මම ගියේ දවල් දෙකට විතර. ඒ වෙනකොටත් ආසන හතලිහක් වෙන් වෙලා ඉවරයි. හිතාගන්න පුළුවන්නේ සෙනග කොච්චරක් ඉන්න ඇතිද කියලා.

ඇත්තටම අනුරාධපුරේ යන්න ඕනේ කියලා හිතුනේ පිං සිතුවිලි පහලා වෙලා නම් නෙමෙයි. වෙසක් එකේ බොරු කියන්න ඕනේ නෑනේ. ඇත්තටම ගියේ, පුංචි කාලේ ගියාට පස්සේ අවුරුදු ගානකින් නොගිය නිසා වගේම අනුරාධපුරේ දැක ගන්න ආසා හිතුන නිසා. සමහරවිට ඉතිං… එහෙම හිතෙන්න ඇත්තෙ පෙර පිනකට වෙන්න ඇති…! නැත්තං ඉතිං අනිත් වෙසක් දවස් වලට වගේ ගෙවල් පැත්තෙම කැරකි කැරකි ඉන්න තිබුනනේ.

ඉතිං ආසන වෙන් කරපු දා ඉඳන් ගමනට ඕනේ වෙයි කියලා හිතන දේවල් කීපයක් ලෑස්ති කරා. ගොඩක් දේවල් තිබුන නිසා කරදර වෙන්න වුනේ නෑ වැඩිය. ඒත් අනුරාධපුරේට පැලෙන්න වහිනවා කියලා රේන කෝට් එකක් ගෙනියපං කියපු එකාටනම් අහුවුනොත් දෙනවා දෙකක්. අනුරාධපුරේට පුංචි පොද වැස්සක් ඇරෙන්න සති ගානකින් වැහැලා නෑ. අළුතෙන්ම රේන් කෝට් එකක් ගන්න වුනා වැරදි ආරංචිය නිසා. ඒක කමක් නෑ. වෙන ගමනක් යද්දි පාවිච්චි කරන්න බැරියැ.

ගමන පිටත් වෙන දවසේ, අනුරාධපුරේට කොළඹින් කෝච්චිය පිටත් වෙන්නේ උදේ 6.50ට. ඒක නිසා පාන්දරම නැගිටලා ගාලු පාරට ඇවිල්ලා දුර බස් එකක නැග්ගා. දුර බස් කියන්නේ ලග ලඟ හෝල්ට් වල නවත්තන්නේ නැති එව්වා. කොහොමහරි කොළඹට එද්දි උදේ හයයි. විනාඩි පනහක් තියෙනවා කෑම කාලා ගමනට සූදානම් වෙන්න. පස්සේ ඉතිං ඔක්කොම කරගෙන කොටුවේ ස්ටේෂන් එකෙන් ඇතුල් වෙද්දි හයයි හතලිස් පහට විතර ඇති. සීට් නැතිවෙයි කියලා බය වෙන්න දේකුත් නෑනේ. ඒක නිසා ඉතිං හැමදේම ගානට වෙලාවට, හදිස්සියක් නැතුවම කෙරුනා. කෝච්චයට නැගලා අපිට වෙන් කරපු සීට් එක තිබුන තැන නම් මරු. හරියටම දොරක් ගාව ඉස්සරහා පොඩි මේසෙකුත් එක්කම. අපේ බෑග් කෑම බීම ඔක්කොම ඒක උඩ තියන්න පුළුවන්.

දෙවන සමාධි පිළිමය

දෙවන සමාධි පිළිමය. මේක බලන්න යන්න වෙන්නේ පොඩි කැලේ පාරකින්. අපි ලොකු වටයක් යන්න තිබුන පාරක් මග හැරලා කෑලෑවෙන් පැන ගෙන යද්දි තමා මේ පිළිමය දකින්න ලැබුනේ. වාහන වල එන අයටනම් ප්‍රශ්නයක් නෑ. පිළිමය කිට්ටුවටම අනිත් පැත්තෙන් එන්න පුළුවන්.

ඊට පස්සේ ඉතිං හුලං වැදි වැදි එක දිගට පැය හතරාමාරක් විතර ගියා. සමහර තැන් වල ටික ටික ප්‍රමාද වුන නිසා ඇරෙන්න පැය තුන් කාලට අනුරාධපුරේට යන්න තිබුනා. ඊට පස්සේ ඉතිං දුම්රිය පොලෙන් බැහැලා එතෙනම තිබුන සිසිල් බීම දන්සැලෙන් බීම එකකුත් බීලා ගමන පටන් ගත්තා. අනුරාධපුරේ ගැන ඉතිං විශේෂයෙන් කියන්න දෙයක් නෑනේ… ඒක නිසා තැන් තැන් වලදී ගත්ත පින්තූර ටිකක් බලන්නකෝ. වැඩේ කියන්නේ ගෙදර ඉඳන්ම ලෑස්ති කරගෙන ගූගල් මැප් එකේ තියෙන පාරම තමා අනුරාධපුරේ ගියාම, එහෙන් ගන්න තියෙන මැප් එකේ තියෙන්නෙත්. ඒක නිසා ගමන ගොඩක් ලේසි වුනා. ඔන්න තියෙනවා උඩින්ම ලොකුවට. ඒක උඩ ක්ලික් කරලා ලොකු කරලා බලන්න පුළුවන්. අන්තිමට කුට්ටම් පොකුණ බලලා එද්දි හෙම්බත් වෙලා හිටියේ පයින්ම ඇවිදලා. අපි මුළු ගමනම ගියේ පයින් නිසා ටිකක් මහන්සියි. ඒක නිසා ආපු බස් එකේ නැගලා අනුරාධපුර නගරයට ආවා. ඊට පස්සේ තමා මතක් වුනේ ජේතවනාරාමය බැලුවේ නෑ නේද කියලා. වගේම තවත් තැන් කීපයක් මග හැරුනා. ඒ ඔක්කොම ආයෙම දවසක ගිහිං බලනවා කියලා හිතාගෙන රෑ දහයට පිටත් වෙන බස් එකේ නැගලා ඇවිත් කොළඹින් බහිද්දි පාන්දර දෙකයි හතලිහයි. ඊට පස්සේ කතරගම බස් එකක නැගලා ගෙදර යද්දි පාන්දර හතරයි… ගේට්ටුව වහලා නිසා ගෙට ගියේ තාප්පෙන් පැනලා…!

කුට්ටම් පොකුණ

කුට්ටම් පොකුණ

මෙතෙන හරි අපූරු වෙළඳාමක් සිද්ධ වෙනවා. කුට්ටම් පොකුනේ ඉන්න මාළුන්ට මෙතෙනට එන අය කෑම දානවා. ඒක නිසාම කඩ කිහිපයක බෝඩ් ගහලා තියෙනවා “මාළුන්ට දාන්න පොරි“ කියලා. ඒ අය පොරි විකුණන්නේ මාළුන්ට කන්න දෙන්න….!

සමාධි පිළිමය

සමාධි පිළිමය

සමාධි පිළිමය ගාවට කිට්ටු වෙන්න ටිකක් අපහසුයි. ඒ තරමට එතෙන සෙනග පිරිලා. එන ගමන් සීයා කෙනෙක් කිව්වා සමාධි පිළිමට දැන් දුර්වර්ණ වෙලා කියලා. හේතුව වෙලා තියෙන්නේ හරිහැටි ඉර එලිය නොලැබීමලු. උඩින් තියෙන පියස්ස නිසා පිළිමය නෙලලා තියෙන ගලට වැටෙන ඉර එළිය සීමා වෙලා නිසා පිළිමය නාස්ති වේගෙන යනවලු. පොළොන්නරුවේ අවුකන පිළමයටත් වැඩි ආරක්ෂාවට පියස්සක් හදලා මේ හේතුව නිසා ඒ පියස්ස නැවත අයින් කලා කියලත් කිව්ව… එයාගේ තර්කය වෙන්නේ… “මේ ගල් වලට ඉර එළිය අවශ්‍යයි. පියස්සක් ඕනෙනම් මෙච්චර හරියක් කරපු එකේ පියස්සක් නොගහා ඉන්න බැරි කමක් නෑනේ“

නටඹුන්

නටඹුන්

නටඹුන් කියන්නේ අපේ පැරණි සශ්‍රීකත්වයේ ඉතුරු වෙච්ච කෑලි. ආක්‍රමන නිසා අනුරාධපුරය දාලා පැනලා දිව්වා මිසක් ඒ ගැන හොයා බලන්න පැරැන්නන්ට වෙලාවක් තියෙන්න නැතුව ඇති. දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේවා මතු කරගෙන ගොඩක් තැන් වල, මේ ස්ථාන වල නම් ගහපු පුංචි බෝඩ් එකක් තියලා තියෙනවා ගල් බැමි මත. කොහොම වුනත් මේ දේවල් වලට තාම පන තියෙනවා වගේ. අතරින් පතර ගල් බැමි මත අරක්කු බෝතල්, බිඳුන වීදුරු කටු තියෙන්නේ ඒකයි.

ආයෙම පාරක් යන්න අදහසක් තියෙනවා. දැන්මම නෙවෙයි. තව අවුරුද්දකින් දෙකකින් විතර. ඒ වෙද්දි සමහර විට තාම හදාගෙන යන අභයගිරිය හදලා ඉවර කරලා තියේවි. බලන්න බැරි වෙච්ච තැන් ටිකත් බලාගන්න පුළුවන් එතකොට. –at අපේ මිනිස්සු පාලු නිසංසල තැන් හොයන්නේ බොන්න විතරයි.

 

හෙන්දිරික්කා දඩයම…

හවසට මල් පිපෙන්නේ නපුරු මිනිස්සුන්ගේ ඇස් වලින් වහං වෙලා රාත්‍රියට සුවඳ දෙන්න. ඒත් හවස මල් පිපෙන්නේ නපුරු මිනිස්සුන්ට රාත්‍රියට සුවඳක් වෙන්න. එහෙම හවස මලක් දඩයම් කරන්න නම් මහ ගොඩක් අමාරුනෑ… ඒත් හවසට පිපෙන මලකට ලංවෙනවා කියන්නේ ටිකක් අසීරු වැඩක්…!

ඒක එහෙට මෙහෙට විසිවෙන සල්ලි වලින් කරන්න බෑ. ඒකට පුහුණුවටත් වැඩිය අධික කැපවීමක් අවශ්‍යයි. කැපවීම හොඳටම තිබුනොත් තමා පුහුණු වෙන්නේ. ඒ වගේම කඩිසර බව වගේම නිශ්චල බවත් අවශ්‍යයි. තව සුළු සුළු දේවල් කීපයකුත්…! ඒත්  ඒ හැම දෙයකම අවසානය හිතේ ඇතිවන සියුම් සතුටක් විතරක් වෙන්න පුළුවන්.

මුල්ම උත්සාහය

මගේ හෙන්දිරික්කා දඩයම පටන් ගත්තේ 2011 අගෝස්තු වල. හෙන්දිරික්කම මට දඩයම් වුනේ අපේ ගෙවල් කිට්ටුව හොයාගන්න ලේසිම ඒවා නිසා. ඒකත් හවසට. මේ තියෙන්නේ මුල්ම කුරුමානම.

දෙවෙනි...

දෙවෙනි…

මේ දෙවෙන තැත. හැමෝම උඩින් බලද්දී. මම බැලුවේ යටින්. උඩින් පේනවට වැඩිය සෑහෙන වෙනසක්. කොහොමත් එහෙමනේ…! උඩින් පේනදේට වඩා වැඩි දෙයක් යටින් බැලුවම පේනවා.

දැනට අවසාන...

දැනට අවසාන…

ම්… මේ දැනට අවසානය. මට පුළුවන් උපරිමෙන් ලංවුනා. තව ලංවෙන්න අදහසක් තියෙනවා. හ්ම්… මේ දඩයම නරක නෑ…!

නොදුටු දේ දැක ගතිමි…

ආඬිඅම්බලම නැවතුම් පොලට උඩ මලුව පෙනෙන හැටි...

ආඬිඅම්බලම නැවතුම් පොලට උඩ මලුව පෙනෙන හැටි…

මං පුංචි කාලේ අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට මාව වඩාගෙන සිරිපාදේ කරුණා කෙරුවලු. මට ඉතිං මතක ඇති එකක් නෑ ඕවා. ඒ හැටන් වලින්. මතක නෑ කිව්වට ලාවට වගේ මතකයි බොරළු පාර අයිනෙන් බෑවුමට විහිදෙන කොල පාට තේ ගස් යායනම්. ඊට පස්සේ ආයෙමත් අම්මලා එක්කම රත්නපුරෙන් සිරිපාදේ ගියා. ඒ නම් තනියම යන්න එන්න පුළුවන් මතක තියෙන කාලේ.

2002 විතර වෙන්න ඕනේ. ඒ වතාවේ නම් ගියේ අම්මගේ යාළුවෝ කට්ටයක හිටිය මගේ වයසෙම වගේ යාළුවෝ ටිකක් එක්ක මග දිගට විකාර කර කර. ඊට පස්සේ ආයෙමත් දෙපාරක් ගියා යාළුවෝ එක්ක. මේ තමා නොදන්න කුරුවිට පාරෙන් ගිය වතාව. සෑහෙන කාලෙක ඉඳන් අවාරේ සිරිපාදේ යන්න හිතාගෙන හිටියත් මගෙත් එක්ක යන්න ලෑස්ති වෙච්චි හැම කෙනෙකුටම ගමන යන්න කිට්ටු වෙද්දි මොකක් හරි කරදරයක් වෙනවා. එහෙම වෙන්නේ මාත් එක්ක අවාරේ සිරිපාදේ ගිහිං උංට වෙන කරදර වලින් මග හැරෙන්නද එහෙම නැත්තං මට වෙන්න තියෙන ඒවායින් මග ඇරෙන්න කියලා දෙයියෝ තමා දන්නේ. කොහොම හරි අවාරේ ගමන අතෑරලා දාලා කුරුවිටින් යන්න ඕනේ කියලා හිතුනා ඊට පස්සේ. හිතුනට තනියම යන්න බැහැ. ඒක නිසා ඒ ගමනත් ටික ටික පස්සට ගියා.

කුරුවිට පාර පටන් ගන්න තැන

කුරුවිට පාර පටන් ගන්න තැන

ඒ අතරෙදි තමා මාත් එක්ක එහෙ මෙහෙ රවුං ගහන්න ලෑස්ති වෙලා ඉන්න හොඳම යාළුවෙක් මට කතාකලේ “අපි සිරීපාදේ යනවා. උඹත් එනවද?“ කියලා. යන්නේ කුරුවිටින් නිසා බැහැ කියන්න පුළුවන් කමක් තිබුනේ නෑ කොහොමත්. අනිත් එක වෙන වැඩක් වැටිලා තිබුනෙත් නැති නිසා ගමන යන්න පුළුවන්.

ඔහොම ගමනට දවස් කිට්ටු වෙලා සෙනසුරාදා සිරීපාදේ යනවා කියලා අම්මලට කිව්වේ ඊට දවස් දෙකකට කලින් බ්‍රහස්පතින්දා. හොඳ ගමනක් යන නිසා බැන්නේ නෑ… නැත්තං දවස් දෙකක් තියලා ලෑස්ති වෙනවට අහගන්න තිබුනා හොඳවැයින්. කොහොම හරි සිකුරාදා රෑම අවිස්සාවේල්ලේ යාළුවගේ ගෙදරට ගිහිං එහෙම නිදාගෙනන කෑම ලෑස්ති කරගෙන ගමන පිටත් වෙද්දි, ගමනට එන්න පොරොන්දු වෙලා හිටිය අයගෙන් කීපදෙනෙක් එන්න වෙන්නේ නෑ කිව්වා. එක මල්ලි කෙනෙක් නම් අසනීප තත්වය මත එන්න බෑ කියලා කිව්වා. ඇත්තටම ඒක හොඳ තීරණයක් කියලා මටත් හිතුනේ ගමනේ මැදක් හරියට ගියාම.

උදේ දහයට විතර කුරුවිටින් පටන් ගත්ත ගමන රත්නපුර පාරට වැටිලා ආඬිඅම්බලම ගාවින් නතර කලේ රෑ නවයට විතර. වැඩිහරියක්ම වෙලාව ගත වුනේ කුරුවිට පාරේ තියෙන සීතල වතුර වලවල් වල බහින්නයි සීත ගඟුලේ නාන්නයි. ගමන ටිකක් විතර වෙහෙසකර වුනාට අවටින් ඇවිත් මූනේ වැදීගෙන යන සුළං රැලි නිසා ඒක ලොකු විඩාවක් වුනේ නෑ. අනිත් පාරවල් දෙකෙන්ම නැගලා බැහැලා තිබුනත් මේ පාරෙන් එද්දි දකින්න පුළුවන් බොහෝ දේ ඒ පාරවල් දෙකේදී දකින්න ලැබෙන්නේ නෑ.

මග හම්බුවෙන වතුර පාරක් හරහා

මග හම්බුවෙන වතුර පාරක් හරහා

ඒකාකාර පඩි පෙලේ නගිනවට වඩා පෙලවල් මතින් හා සාමාන්‍ය වැලි පාරවල් වලින්, දිය කඳුරු මතින් ඇවිදගෙන යන එක හරි අමුතු අත්දැකීමක්.

කුරුවිට පාරේ කඩචෝරු කන්න තියෙන තැන් නම් ගොඩක්ම අඩුයි. ඒ චාන්ස් එක ඇරෙන්න වෙන කිසිම දෙයක් මග ඇරුනේ නෑ.

ඒත් ඉතිං ඒ මග ඇරිච්ච දේවල් වලට හරියන්න කන්න පුළුවන් රත්නපුර පාරට වැටුනම. රත්නපුරේ පාරෙන් ටිකක් උඩහට ඇවිත් අපි “අවසන් ගිමන් හල“ කියන ආඬියාමළතැන්න අම්බලම නැවතුම් පොලේ නැවතුනේ උදේ පාන්දරම ඉර සේවයත් බලාගෙන ආයෙම බහින්න ප්ලෑන් කරගෙන වුනත්… සීතල එක්ක ඒ ඔක්කොම ප්ලෑන් වෙනස් කරන්න වුනා.

ශ්‍රී පාද කන්ද වටේට තියෙන කඳු පන්තිය

ශ්‍රී පාද කන්ද වටේට තියෙන කඳු පන්තිය

මමයි යාළුවයි කම්මැලි කමට පොරෝ ගෙන නිදා ගත්තට අපේ මල්ලියි මගේ යාළුවගේ යාළුවෙකුයි නැග්ග පාන්දරම උඩ මලුවට. 4.30ට විතර ඉර සේවය බලන්න ගිය දෙන්න ආවේ උදේ අටට විතර. එක පාරක් ඇරෙන්න අනිත් හැම පාරකම වුනා වගේ මේ වතාවෙත් “අද ඉර නෑ… මීදුම වැඩියි… මෙතෙන තෙරපෙන්නේ නැතුව පහලට බහින්න“ කියලා උඩ මලුවේ ආරක්ෂකයෝ කිව්වලු. ඒක දන්න නිසා තමා මම නම් පරක්කු වෙලා උඩ මලුවට ගියේ. 😉

ඊට පස්සේ ඉතිං අපිත් සිරිපතුල වැඳගෙන ආයෙම පහලට බැහැල රත්නපුර පාරෙන් ගෙදරට ආවා. ඔක්කොමත් හරි… දැන් මේ කකුල් දෙකේ අමාරුව තමා ඉවසන්න බැරි… -at සිද්ධාලේප ගාන්න කෙනෙක් හිටියනම්…!

ඉමේජ් ඔෆ් ද ට්‍රිප් :)

ඉමේජ් ඔෆ් ද ට්‍රිප් 🙂

බුල්ටෝ…

බුල්ටෝ…. ♥ ♥ ♥

බුල්ටෝ කියන්නේ අපි පුංචි කාලේ  කාපු නියම කෑමක්.  අම්මෝ රස. කට ඇලි ඇලි කන කොට නියමයි. කාලා ඉවරවෙද්දි හක්ක රිදෙනවා ඉන්න බෑ. ගල් වගේ හයියයි. කටේ තියාගෙන ඒක හපන්නේ නෑ… නිකංම දියවෙන්න දෙනවා. වෙලාවකට බුල්ටෝ එක දියවෙන්න පැයක් විතර යනවා.  සීනි උණු කරලාලු බුලටෝ  හදන්නේ. සුදු පාට තෙල් කොලේක තමා ඔතලා එන්නේ. ඉස්සර හැමදාම කැන්ටිමෙන් ඉන්ටවල් එකට බුල්ටෝ කනවමයි. පස්සේ ටික ටික ලොකු වෙද්දි බුල්ටෝ කියන්නේ තවත් දෙයක් එක්ක සෙට් වෙලා ෆන් එකක් ගන්න දෙයක් වුනා. ඊට පස්සේ දෙකම එකතු වෙලා අන්තිමේ ප්ලේනටියකුත් ඕනෙ වුනා.

බුල්ටෝ නිසාම මං ඇතුලු කීප දෙනෙක් සතියකට පාරක්වත් පන්තියෙන් එලියේ දනගහගෙන ඉඳලා තියෙනවා හය හත වසර වලදී. සර්ලට කෙසේ වෙතත් මිස්ලට නම් බුල්ටෝ කටේ තියාගෙන සූප්පු කරනවා පේන්නම බෑ… කනෙන් ඇදගෙන ගිහිං දනගස්සනේ. ඒත් අපි බුල්ටෝ එක කටින් විසික් කරනවද… නෑ…  ඇයි හත්තිලව්වේ බුල්ටෝ එක චූටි උනාට ම්ස්ලා උගන්නද්දි එන නිදිමත නැතිවෙලා  යන්තං හරි ඔලුව උස්සන් ඉන්න පුළුවන් වුනේ බුල්ටෝ එකෙන් හින්දා. ඉතිං කොච්චර කලත් ඒක විසික් කරලා කොහොමද…  ඒක නිසාම ඉතිං දනගහගෙන ඉන්නත් වුනා.  මොනා කරන්නද ඉතිං පෙරේත කමනේ…! ඒ වගේ කොයි තරම් බුල්ටෝ එක්ක ලඟින් හිටියත් ස්කෝලේ කාලේ ඉවර වුනාම බුල්ටොත් නැතුව ගියා.

දැන් නම් ටිකක් ලොකුයි…

ඒ මං හිතන්නේ අවුරුදු ගානකට කලින්. ඒ කාලෙ ඇතුලතදී බ්ලොග් වලින්ම කීප වතාවක් බුල්ටෝ ගැන දැක්කත්, කොයි තරම් නම් හෙව්වත් ඔයා ගන්න බැරි වුනා. ඔන්න ඊට පස්සේ ආයෙමත් පෙරේත කම ඇවිස්සුනා ඔෆිස් එක ගාව තියෙන කඩේක තියෙන බුල්ටෝ දැකලා. හම්මෝ… කොයි තරම් කාලෙකින්ද…!!! පරන යාළු ෆිට් එක මතක් වෙද්දිත් කටට කෙල උනනවා. ඉස්සර නම් අපි බුල්ටෝ එකක් ගත්තේ සත විසිපහට. ඒකට දැන්. ප්‍රමාණය නම් ටිකක් ලොකු වෙලා. ගාන රුපියල් දෙකක් වෙලා. ඉස්සර තරම් හයියත් නෑ. කටේ දාලා විනාඩි දහයෙන් විතර දියවෙලා යනවා. කමක් නෑ ඉතිං ඒත් බුල්ටොනේ… ඒක නිසා ගත්ත දහයත්. දහයම ගත්තේ තනියම කන්න. ඒක හරිගියේ නෑ… අපරාදේ. අනිත් එවුන්ටත් බෙදන්න වුනා ලොකු කම් කියවන්න ගිහිං… “බුල්ටෝ හම්බුනා කියලා“. හුම්…. අපරාදේ… පස්සෙන්දාත් කඩෙන් බැලුවා බුල්ටෝ තියේද කියලා. අවාසනාවක මහත… ඒ අවට ඉන්න ඔක්කොම එවුන් අපි වගේ ඉස්කෝලේ ගිය එවුන්. 😀 උං එක දවසට බුල්ටෝ ටික ඉවර කරලා. දැන් ඉතිං… හ්ම්… තව මාසයක් විතර බලාගෙන ඉන්න වෙයි බුල්ටෝ වෑන් එක බුල්ටෝ ගේනකං කඩේට….! – at ඇයි මන්දා කඩේ නැන්දි ටිකක් වැඩිපුර ගත්තේ නැත්තෙ කියලා සිතමින්.

පැතලි බඳුනේ කුරුගස් කලාව…

අහලා ඇතිනේ බොන්සායි කියලා කලාවක් ගැන. කිසිම ගැටළුවක් නෑ…. ඒක සුපිරිම කලාවක්. බොන්සායි කලාවේ ආරම්භය අපි දන්න විදියට ජපානය වුනත්, ඇත්තටම පටන් ගැන්ම සනිටුහන් වෙලා තියෙන්නේ චීනයේ. ඒක වැඩි දියුණු වෙලා ලෝකෙට පැතිරිලා තියෙන්නේ ජපානෙන්.

බොන්සායි කියන එකේ තේරුම වෙන්නේ පැතලි බඳුනක හිටවූ කුරු ගස යන්නයි. ලංකාවට බොන්සායි කලාව හඳුන්වා දීලා තවම අවුරුදු 30ක් විතර වුනාට ජපානේ හා චීනයේ මේ කලාව පැවත එන්නේ අවුරුදු දහස් ගානකට කලින් ඉඳලලු. ඒ වගේම පරම්පරා ගානක ඉඳන් රැකබලාගෙන එන ශාක තියෙනවලු ජපානයේ හා චීනයේ.

ලංකාවේ ගසක්…

ඉතිං පහුගිය සෙනසුරාදා, ලංකාවේ ඉන්න බොන්සායි ලෝලීන්ගේ බොන්සායි පැල ප්‍රදර්ශනයක් පැවැත් වුනා කලාභවනෙදි. මාත් ගියා බලන්න. ඇත්තටම අමුතු අත්දැකීමක්. ලොකුවට ලවුඩ් ස්පීකර්ස් බැඳගෙන කනක් ඇහෙන්නෙ නැතිවෙන්න තියෙන මල් ප්‍රදර්ශන වලට වඩා අළුත් අත්දැකීමක් ඒක. කිසිම සද්දයක් බද්දයක් නෑ තමන්ගේ පාඩුවේ පැල එකින් එක බලමින් ලොකු වින්දනයක් ලබන්න පුළුවන් වුනා. අපි දකින මහ ලොකු ගස් පුංචි කරලා ඒවාටම ආවේනික බඳුන් වල හිටවලා තියෙන්නේ හරියට මැජික් එකකින් කුඩා කරලා වගේ.

නිකං හිතන්න බෝ ගහක කොලයක් කොයි තරම්ද..! මං දැක්ක බොන්සායි කරපු බෝ පැලේ ලොකුම කොලේ ඇති රුපියල් දෙකේ කාසියක් තරම් විතර. ඊට පස්සේ අඩි හතලිහක් පහනක් විතර උසට හැදෙන දිවුල් ගහක් පරිමානයෙන් කුඩා කරලා තියෙනවා අඩියක් විතර උසට. ඒක හරි අපූරු කලාවක්…! මං ගොඩක් විස්තර ලියන්නේ නෑ… මෙන්න ශ්‍රී ලංකා බොන්සායි සංගමයේ වෙබ් ලින්ක් එක. එතනින් හැම දෙයක්ම දැන ගන්න පුළුවන්. ඒ වගේම එතෙන්ට යන්න කම්මැලි නම් මෙන්න ඒ වෙබ් අඩවියෙන් දෙන සිංහල භාෂාවෙන් සැකසුන බොන්සායි ක්‍රමය පටන් ගැනීමේ සිට අළුතෙන් පැලයක් සිටවා සාත්තු කර සාර්ථක පැලයක් තනා ගැනීම දක්වාම සරලව ලියැවී ඇති ලිපියේ pdf ෆයිල් එක. ඩවුන් කරගෙන හිමීට කියවන්න…!

මේ ප්‍රදර්ශනය ගැන මං දැනගත්තේ අරුණි අක්කා මගේ කලින් ලිපියකට (පස් නැතුව මල් වැවිල්ල) දාපු කමෙන්ට් එකකින්. එදා ඉඳන් බලාගෙන ඉඳලා, ඉඳලා ගිය සෙනසුරාදා තමා පළවෙනි වතාවට සජීවී බොන්සායි පැල දැකගන්න ලැබුනේ. ඉතිං… ලංකාවේ බොන්සායි සංගමය ගැන දැනුම් දුන්නට අරුණි අක්කට ගොඩක් ස්තූතියි. ඒ වගේම මේ ප්‍රදර්ශනය ගැන කලින් නොකිව්වේ, මේක කොහොම එකක් වෙයිද කියලා දන්නේ නැති නිසයි. එක පාරක් වත් දැකලා නැති දෙයක් ගැන මට බොරුවට වර්ණනා කරලා කියන්න බැහැනේ. දැන් ඉතිං දන්න නිසා බය නෑ… ඒ ප්‍රදර්ශනේ ඇත්තටම මරු..! ආයෙම ප්‍රදර්ශනයක් තියෙන්නේ ලබන අවුරුද්දේ. එතකන් ඉතිං ඉවසගෙන ඉන්න වෙයි කුරුගස් කලාවට කැමති අයට….!!!

ගඟ මැද්දෙන් රවුමක්….

ලාස්ට් සැටර්ඩේ…. ඒ කියන්නේ අපේ තවත් ෆන් දවසක්. ඉතිං ඔෆිස් එකට වෙලා ඉන්න කම්මැලි නිසා අපි ගියා රවුමක්…! රවුමක් කියන්නේ අර ස්කෝලේ යන කාලේ කුසු-කුසු ගගා කෝච්චි ගියා වගේ නෙවෙයි. ඇත්තටම ඔෆිස් එකෙන් එලියට බැහැලා අහල පහල ස්ථානයක් දැක බලාගන්න තමා ගියේ.

ඉතිං දැන් බලන්න ගියේ මොකද්ද දන්නවද….? අපි ගියේ පාලම් පාරුවක් බලන්න….!!! මං ජීවිතේට ගිහිං තිබුනේ නෑ පාලම් පාරුවක. ගමන් මග වුනේ (හරියට නිකං ඇඩ්වෙන්චර් ටුවර් එකක් වගේ) පානදුර – දිග්ගල තොටුපොලේ ඉඳන් කැස්බෑවට අයිති වෙන දම්පේ තොටුපොල දක්වා පාලම පාරුවෙන් විනාඩි 15ක විතර ගමනක්. යන්න තියෙන්නේ බොල්ගොඩ ගඟ මැද්දෙන්.

මෙහා ඉවුරේ තිබුන ඔරුව…

දිග්ගල තොටුපොලට  ගිහිං අපිට පැය භාගයක් විතර බලාගෙන ඉන්න වුනා එහා ඉවුරේ තියෙන පාලම් පාරුව, ඒ පැත්තේ සෙනගයි වාහනයි පටවගෙන මෙහා පැත්තට එනකං. ඒ අතරෙදි පොඩි වෙලාවක් පැවතුන ලොකු වැස්සකටත් තෙමුනා. ඒ අත්දැකීමත් මරු. ස්කෝලේ යන කාලේ හොරෙන් ගඟේ නාද්දි, ගඟක් කිට්ටුවක වැස්සට තෙමුනට පස්සේ… ගඟ උඩින් හමා ගෙන එන හීතල හුළඟත් කාගෙන වැස්සට තෙමුනමයි ඔය. අප්පා ඒක නම් සුපිරි. මතක් කරන්න මතක් කරන්න ආසයි. වෙලාවට කුඩයක්  තිබුනේ නෑ කාගාවවත්. නැත්තං ඒ ෆන් එකත් කුඩේට යට වෙන්න තිබුනා.

පාලම් පාරුව එන තැනට ටිකක් එහාට වෙන්න ඔරුවකුත් තිබුනා. ඒකත් පදින්න උත්සාහ කලාට වැඩේ හරිගියේ නෑ හරි හමං හබලක් තිබුනේ නැති නිසා.

පාලම් පාරුව ගැන කියනවනම්, ඒක ඔරු දෙකක් එකට එකතු කරලා ඊට උඩින් ලෑලි දාලා හදපු එකක් නෙවෙයි. මං බලාපොරොත්තු වුනේ එහෙම එකක්. ඒත් මේක තනිකරම යකඩ වේදීකාවක් එකක් හදලා තව භූමිතෙල් මෝටර් එකකුත් සෙට් කරපු අලුත් පන්නයේ එකක්. ඇත්තටම හිතේ ඇඳන් ගිය එක නෙවෙයි නිසා පින්තූරක් වත් ගත්තේ නෑ. නිකං මොකටද යකඩ ගොඩවල් වල පින්තූර ගන්නේ. අනිත් එක සමහරු මූණු පබ්ලිෂ් කරන්න අවසර නැති නිසා ඉතුරු පින්තූර දාන්න විදියක් ඇත්තේම නැත.

ආදරය ප්‍රකාශ කිරීමක්… 😀

ඊට පස්සේ ඔන්න පාරුවට නැගලා අර භූමිතෙල් මෝටරේ ආධාරයෙන් ගියා අනිත් පැත්තට. ඒ කියන්නේ කැස්බෑව – දම්පේ තොටුපලට. කවදාවත් ඒ පැත්තට අඩිය තියලා තිබුනේ නැති නිසා ඊලඟ වටේ පාලම් පාරුව ගිහිං එනකං අපි පොඩ්ඩක් ඇවිද්දා. ඇත්තටම පාර දෙපැත්තේ තිබුනා සිරා තැන් ටිකක්. රඹුටන් ගස් කීපයක් තිබුනත් ගෙවල් වල මිනිස්සු හිටි නිසා හා එවේලේ වටේ පිටේ එලිය තිබුන නිසා රඹුටන් ගස් ටික නම් යාන්තං බේරුනා.

ඊට පස්සේ දම්පේ තොටුපොල අවට ටිකක් ඇවිදලා කරලා එහෙම පාලම් පාරුවෙන්ම මෙගොඩට ආවා. වැඩි විස්තරයක් නෑ. ඒත් වැස්සයි ගඟයි පාලම් පාරුවයි එක්ක ලබාගත්ත අත්දැකීමනම් නියමයි…!!! ආයේ කාලෙකට අමතක වෙන්නේ නෑ…

බොල්ගොඩ ගඟ පැතිරිලා තියෙන හැටි…

මෙන්න දම්පේ තොටුපොල කිට්ටුව තිබුන බොල්ගොඩ ගඟේ මෙව්වා එක. ෆොටෝ ටික බලද්දි තමා දැක්කේ අපි නැව් නැගලා තියෙන්නේ 672B  ස්ථානයෙන් හා අනිත් පැත්තේ ඉවුර වෙලා තියෙන්නේ 566න් ආවරණය වෙන ප්‍රදේශයේ තැනක් කියලා. මුළු ගමනටම වැය වුනේ රුපියල් හතලිස් අටයි. ඒ පාලම් පාරුවේ ආව – ගිය වාරයකට රුපියල් 15 ගානයි බස් එකේ දෙවාරෙට රුපියල් 9 ගානෙයි විතරයි…! ඉන්ස්ටන්ට් මිනි ට්‍රිප් කියන්නේ මෙව්වා තමා.

%d bloggers like this: