ලොකු මාමා නම් වු ඔහු…

ඔහු ඇත්තටම ලොකුය. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වැඩියෙන් දේහධාරීය. ඔහු විඳි දුක් කන්දරාව මා අම්මාගෙන් අසා ඇති බැවින්, ඒ අතින්ද ඔහු ලොකුය. එමෙන්ම අම්මාගේ පවුලේ සහෝදර සහෝදරියන් අතරින්ද ඔහු ලොකුය. ඒ වගේම සැර පරුෂ කමින්ද මගේ වයසේ සිටි අවධියේ ඔහුට ඉදිරියෙන් කිසිවෙක් ගමේ සිට නැත. ඔහු චන්ඩියෙකු නොව වරදේදි වහා කිපෙන අයෙකි. අම්මා කියන්නේ මා තුල පවත්නේද ඒ ජානමය ගතිය බවය. ඒ ලොකුකමම මගේ හිත තුලද ඔහු ලොක්කෙක් කර ඇත.

මට මතක අයුරින්, අම්මා කියා ඇති අයුරින් ඔහු අම්මාගේ පියානන් අකාලයේ මිය ගිය දින සිට පවුලේ සාමාජිකයින් පස්දෙනා ගැන පියෙකු මෙන් වෙහෙස වී සොයාබැලූ බවද අනන්ත අප්‍රමාණ දුක් කම්කටොලු විඳ දරාගෙන මුළු පවුලම යහපත් තලයකට ගෙන යෑමට කටයුතු කල බවය. ඉගෙනීමට සමතෙකු වූ ඔහු ඉගෙනීම අවසානයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බැඳී ඇත්තේ යම් වැදගත් නිලයක සහකාර ලෙසය. දැන් එය මට මතක නැත. අම්මාගෙන් ඇසීමටද නොහැක. එයට යම් මිත්‍යා හේතුවක් ඇත.

මට අවුරුදු පහලොවක් පමන වන තෙක් ඔහු ගැන කිසිදු මතකයක් නැත. ඔහු මහ ගෙදරින් පිට පොළොන්නරුවේද මා මහ ගෙදරින් පිට කළුතරද විසීම නිසා ඔහු පිළබඳ අවුරුදු පහලොවකට දාසයකට එපිට කිසිදු මතකයක් මට නැත. නමුත් අපේ නව නිවස මහ ගෙවල් අවට සාදන කාලයේ සිට මට මතකයේ තැම්පත්ව ඇති කිසිදු සේයාවක් මට අමතක නැත. ඒ අවධියේ පටන් මගේ පවුලේ වීරයා ඔහුය. අප මහ ගෙදර සිට නව නිවසට යාමට කිලෝමීටර් එකාමාරක් පමන දුරක් සෘජුකෝණාස්‍රාකාර ගමන් පථයක ගමන් කල යුතුය. එනම් මහ ගෙදර සිට එක එල්ලේ උතුරට ඉරක් ඇඳිවිට මීටර් එකසිය පනහක් දුරින් නව නිවස ඇත. නමුත් ඒ අතර මැද ඇත වතුපිටි නිසා යාමට ඒමට නොහැකිය. මෙවන් අවස්ථාවල ඔහුගේ පරන දැන ඇඳුනුම් කම් මතින් එම වතුපිටි මැදින් පාරක් තනාගන්නේ ඔහුටත් නොදැනිමය. නමින් විමල් නම් වූ තලෙලු දේහධාරියා දුටුවිට ගම්මුන්ගේ මුවින් පිටවන වදන් කාලයක් යන තුරු සිත රජ කරනු ඇත. “විමල් මහත්තයා මොකෝ වටෙන් යන්නේ… අර තියෙන්නේ කඩුල්ල. ඒක මහත්තයටයි නංගිලටයි ඕනේ වෙලාවක ඇරලා. එතනින් යන්න…” ඒ බයට නොව සෑහෙන ප්‍රමාණයක ගෞරවයකිනි.

කිසිවෙක් එසේ පැවසූ විට ලොකු මාමා සමග සිටින මගේ දෙස මහත් වූ දයාවෙන් බලා ඔලුව අතගාන්නේ ඔහුගෙන් පසු ඒ ගෞරවය මටත් ලැබෙන ලෙස ඉඟිකරමින් කියා සිතුනු වාර අනන්තය. අම්මාගේ පවුලේ සාමාජිකයින් අතරින් ඔහු ඔහුගේ පුතුන් දෙදෙනාට හැරෙන්නට වඩාත් සමීප මටය. මට වඩා වැඩිමල් එවුන් හිටියද යම් කිසි විශේෂ දාරක ප්‍රේමයක් මා කෙරේ තිවුන බව මට මතකය.

ඒ වෙසක් මාසයකි. වරක් ඔහු මාව මහ ගෙදර ගොස් සිටින දිනයක මැදිරිගිරි එක්කගෙන ගියේය. ඒ ගමනට පැය තුන හතරක් ගත වූ බව මතකය. ඒ දිනවල මට වයස දහඅටක් දහනවයක් පමන ඇත. මා කොම්පියුටර් වැඩ කරන බව දන්නා ඔහු, ඔහුටද පරිගණයක් මිලදී ගත්තේය. ඒ අවධියේ මා ආධුනිකයෙකු වුවත් ඔහු විශ්වාස කලේ, ඔහුට ගුරු හරුකම් දීමට තරම් මා හපනෙක් බවය. ඔහුගේ ගෙවල් පොලොන්නරුවේ වුවද ඔහු රාජකාරි වැඩ සඳහා නැවතී සිටියේ මැදිරිගිරියේය. එදා මැදිරිගිරි ගියේ, මින්නේරියෙන් බැස ඔහුට යාමට විශේෂ අවසරයක් ඇති කැලෑ පාරකිනි. මෝටර් බයිසිකලේ ගිය ඒ ගමන මට කිසිදා අමතක නොවේ. ගමන පටන් ගැනීමට ප්‍රථමයෙන් මට දුන් එකම උපදෙස වූයේ… “අලි දැක්කෝත් මට පෙන්නන්න එපා. පුතා බලාගෙන යන්න කියාය.” අදටත් එහි තේරුමක් දන්නේ නැත. දැන් ඔහුගෙන් අසන්නටත් බැරිය. එමෙන්ම අලි බෙටි හැරෙන්නට දුටු අලියෙකුද නැත. දුටු එකම දෙයනම් වියලි සුළඟින් අනූන කැලයත්, සයිලන්සරයට උනුවී ගිය මගේ සපත්තු අඩියත්ය.

මැදිරිගිරිය වටදාගෙය

මැදිරිගිරිය වටදාගෙය

එදා හවස්ජාමය ඔහු සමග ගතකරන අතර ඔහුගේ ලොකු පුතා ගෙන්වා ඔහු සමග මා වටදාගෙය නැරඹීමට පිටත් කර හැරියේය. එහි සිට මුරකරුවන් අප දෙදෙනා දෙස රවා බැලුවේ, “අහවල් මහත්තයාගේ මෝටර්බයිසිකලය හොරකන් කලාවත්ද …?” කියමින්ය. පසුව විස්තරය කියූ පසු කොහේදෝ හිඳි මග පෙන්වන්නෙකු ගෙන්වා අප දෙදෙනා අතට තම්බා ලුණු පොවන ලද බඩඉරිඟු කරල් දෙකක්ද දුන්නේ ලොකු මාමාට ඇති ගරු සරුව පෙන්වමිනි.

ඉන්පසු මට ඔහු හොඳින් සිටින විට යන්නට ලැබුනේ නැත. හමුවූයේ මහ ගෙදර ගිය විටෙක පමණි. ඒ එන ගමන්ද ඔහු විසින් වෙරිටාස් සේවයෙන් ගෙන්නා ගන්න ලද සඟරා කීපයක්, වාරි ඇල මාර්ග සම්බන්ධ රූප සටහන් ඇඳි ඉංග්‍රීසි පොත් කීපයක් හා තවත් පරිගණක පොත් රැසක් මා අතට පත් කලේය. දැන් භාවිතා කරන සමහර ඉලෙක්ට්‍රොනික උපාංග වල මුල් අවධි ඒ සඟරාවලින් දුටු මම යම් තරමකට වික්ෂිප්ත විය. ඒ හැම අවස්ථාවකම මැදට පැන ඔහු විසින් සියලු ගැටලු වලට පිළිතුරු සැපයුවද මට ඒ දිනවල තේරුනේ ඉන් අඩක් හෝ ඊටත් අඩු ප්‍රමාණයක් පමණි.

කෙසේ හෝ කාලයක් යන විට ඔහු සමග බැඳීම තදවිය. ගෙදර දුරකථනයට නිතර දෙවේලේ කතා කරන ඔහු පරිගණකය පිළිබඳ යම් ප්‍රශ්න අසයි. මා පුළුවන් හැටියට උත්තර දෙයි. දවසක්… ලොකු මාමාගේ නැන්දා අම්මාට කතා කොට කියා ඇත්තේ ලොකු මාමාට හදිසි අනතුරක් වී ඇති බවය. පසුදාම අම්මා හා මල්ලී පේරාදෙණිය රෝහලට ගියේ හැප්පුන හැප්පිල්ලට බෙහෙත් කිරිමට සමත් දොස්තර මහත්මයෙක් හෝ අවශ්‍ය පහසුකම් පොලොන්නරුව අවට රෝහල් වල නැති බව පවසා ඔහුගේ නිලරථයෙන්ම ඔහුව පේරාදෙණිය රෝහලට ගෙනවිත් තිබූ නිසාය.

පසුව ඔහුව මහනුවරට මාරුවිය. ඒ සමයේ නම් අතිරේක පන්ති පවා පසෙක දමා මා අම්මා සමග මහනුවර රෝහලට ගියෙමි. ඔහුගේ කකුලක් කැඩී ඇත. ඔලුවටද යම් හානායක් වූ මුත් පසුව ඒ තුවාල සනීප විය. කටට නම් කිසිම ප්‍රශ්නයක් නැත. මා ගිය ගමන් ප්‍රශ්න අසාගෙන අසාගෙන යයි. පැයකට ආසන්න කාලයක් අප සමග කතා කරන ඔහු තවත් සතියක් හෝ දෙකක් යන තුරු කතාවට කිසිවෙක් නැතිව ඇඳ උඩ ලැග්ගේය. නැන්දා ආවද අළුත් දේ ගැන නැන්දා දන්නේ නැත. එබැවින් සියළු අප්ඩේට් මා විසින් ලබාදිය යුතුය. මතක හැටියට අවුරුද්දකට ආසන්න කාලයක් මහනුවර රෝහලේ ගිමන් නිවූ ඔහු, කකුලේ තුවාලය සනීප බව පවසමන් බලෙන්ම ටිකට් කපාගෙන නිවසට ගියේය. එතැන් පටන් ඔහුගේ වීර ක්‍රියා සෙමෙන් අඩුවිය.

කාලයකට පෙර ඔහු කෙරූ කියූ සියල්ල අමතකව ඇත. විදුලියෙන් ක්‍රියාක්මක වන විශේෂිත මෙට්ටයක් මත හාන්සි වී නැන්දාගේ නොමද රැකවරණය මැද ඔහු කල් ගෙවයි. එය ඇත්තටම හිතට නිවනකි. ඔහුගේ පුතුන් දෙදෙනා විදේශ රටක සේවය කර නිවසේ ආදායම සරි කරයි. මමද හිටිගමන් එහි ගොස් පැමිණේ. ඒ යෑමත් නැවත නිවසට ඒමත් යනු වචනයෙන් විස්තර කල නොහැකි අන්තයන් දෙකකි. යන්නේ ඔහුව දැකීමට, ඔහු සමග පෙර මෙන් දොඩමලු වීමට වුවද… එසේ නොකරන තැන හැඬුම් ආවද ඒ සියල්ල දරාගෙන ඔහු දෙස බලාසිටිමි. මහනුවර රෝහලේදීද ඒ තත්වයම එන විට මා ටික වේලාවකට එලියට ගොස් නැවත පැමිණියෙමි.

ඔහු විසින් මා හට සහ තාත්තා සමග පැවසූ යම් යම් නොපිලිගත හැකි අද්භූත දේ ගැන කතා කීපයක් ඇත, ඒවා පසුවට ලියමි. ඔහු අප සමග බොරු නොකියන බැවින් ඒ කතා නිකං බොරු යැයි කියා අතහැර දැමීමට මට මෙන්ම තාත්තාටද නොහැකිය. එවන් එක් කතාවක් නිසා අම්මා ඔහුට කතා කිරීමද අඩුකර මටද තහංචි දැමීය. ඔහුට අප කියන දේ ඇසේ… නමුත් පිලිතුරු දෙන්නේ නැද්දාය. නැද්දාට යම් තරමකට ඔහුගේ වෙනස් අංගචලන භාෂාව හුරුය. එනිසා අප අතර සංනිවේදනයේ ගැටලු තරමක් අඩුවී ඇත.

අම්මාගේ පියා නැතිවූ දා සිට ඇයව මෙන්ම අනිත් දරු දෙදෙනාවත් ආච්චිවත් රැකගත් ඒ උත්තමයාට වචනයකින් හෝ අඩුවක් කිරීම යම් තරමකට හිත පාරවන බැවින්, හිටිගමන් ඇවිලෙන ගිනි නිමෙන්නේ ලොකු මාමාගේ මෙන්ම නොසැලකිල්ලට හා අසාධාරණයට කිපෙන මගේ හිත හිවී ගිය පසුව…!

ඉදින් මේ සියල්ලේ ලියවුනේ… පොසොන් දිනය යනු ඒ තේජවන්තයාගේ අවාසනාවන්ත දිනය වූ බැවිනි. එමෙන්ම කැලැන්ඩර් දිනයද දවසක් එහාට මෙහාට වුවද ආසන්න වශයෙන් සමාන බැවිනි. සිදුවූ දෙයනම්… පොසොන් සමයේ පොළොන්නරුවට ගලන අධික ජන ගඟ කෙරේ යොමුවෙන පහසුකම් නිරීක්ෂන චාරිකාවක, මෝටර් සයිකලයෙන් යමන් ගමන් සිටිද්දි… දන්සැලක බෞද්ධ කොඩියක් ඔසවා ගත් තරුණයෙකු පාරේ අනිත් පැත්තට පනින විටම ඔහුව බේරීමට සිතා එක්වරම බයසිකලට දකුණට කපා ඇත. පාරේ දෙපස හා වාහන වල අයකරන දේ ගැන විමසිලිමත්ව ඉතාමත් හිමින් යමින් සිටි ඔහු ඉදිරියේ බෞද්ධ කොඩිය දිගහැරී පාර වැසි ගොස් ඉදිරියෙන් අධිවේගයෙන් පැමිණි බසයේ ගැටී යම් දුරක් ඇදී යාමෙන් ඔහුට එම පොසොන් උත්සවය රුදුරු විය. එතැනින් පසු ඔහු සදහටම යහන් ගත විය. තාමත් හුස්ම ගන්නා ඒ ලොකු මිනිහා දැන් වැහැරී ගොස් ඇත. හරිහැටි මතකයක්ද නැත. නමුත් තවමත්… සදහටමත්… ඔහු මගේ වීරයෙකි. එනමුත් විඳින දුක දැක දීර්ඝායුෂ පැතීමට හිත මැලි වේ. ඒ හිතේ කොනක නලියන කඳුල ගැන දැන් යම් අවබෝධයක් ඇති නිසා මිස ආදරක් නැති නිසා නොව. යම් විදියකින් ඔහු සුව වේනම් එය අපි හැමටම නිරාමිස සතුටකි…!

Advertisements

ස්කෝලෙන් පැනිල්ල…

 n

🙂

ස්කෝලේ ගිය හැම පිරිමි ළමයෙක්ම වගේ ඒ අවුරුදු දහතුන ඇතුලත එක පාරක් හරි ස්කෝලෙන් පැනලා ඇති මං හිතන්නේ. එහෙම නැත්තං ඉතිං ඒ පැනිල්ලේ තියෙන ගතිය ගැන කිසිම හැඟීමක් ඇති වෙන එකක් නෑ.

ඇත්තටම ස්කෝලෙන් පනින්න අපිට ඒ දවස් වල ඕනෙ තරම් හේතු තිබුනා. ඒක තනිකරම විනය විරෝධි වැඩක් වුනාට පොඩි නරක වැඩක් ඉඳලා හිටලා කරද්දී හිතට අපුරු කික් එකක් තියෙනවා. ඒ වගේම ඒ දේවල් වයසට යනකොට කිය කිය හිනා වෙන්න පුළුවන් වෙන විදියට මතක පොතේ ඉබේම ලියවෙනවා. සමහර වෙලාවට ගුරුවරුන්ගේ බැනුම්, වේවැල් පාරවල් එක්කම ලියවෙන වෙලාවලුත් තියෙනවා.

ඉතිං මේ අළුත්ම විදිය ගැන කියන්න කලිං අපේ කෙරුවාවල් ටිකක් කියන්නම වෙනවා. නැත්තං ස්කෝලෙක තාප්පෙකින් හොරෙන් පැනලා නැති කෙනෙකුට ඒ ගැන අදහසක් නැතිවෙයි. අපි ස්කෝලෙ යද්දි වැඩි හරියක්ම හොරෙන් පැන්නේ මගේ පන්තියේ හිටිය අරුණ කියන යාළුවගේ ගේ එහා පැත්තෙන් ගලාගෙන යන බොල්ගොඩ ගඟේ නාන්න යන්න. ඇත්තටම තරමක් අවදානම් කටයුත්තක් වුනාට ඒ අවට හිටිය අරුණ අඳුනන මාළු බාන අය නිසා එපිට බයක් දැනුනේ නෑ. නාන ඇඳුමක් නැති නිසා උපන් ඇඳුමෙන්ම තමා වතුරට පනින්නේ. නාලා ඉවර වෙලා පිහිදගන්න විතරක්, අරුණගේ අම්ම වැලේ වනලා තියෙන තුවායක් හොරට උස්සං එනවා. ඒකෙන් පිහිදගෙන ආයෙම ඇඳුම් ඇඳගෙන ස්කෝලේ ඇරෙනකම්ම ස්කෝලේ ඉඳියා වගේ ගෙදර යනවා. එකම එක දවසක් නම් මට පොඩි කේස් එකක් වැටුනා. ඒ තමා අරුණගෙයි මගෙයි කලිසම් දෙක මාරු වීම. එදා මගේ ඇඳුම් හෝදද්දි කලිසම වෙන එකක් කියලා අම්මට මාට්ටු වෙලා මල මගුලක් වෙන්න ගිහිං, බොරු දාහක් විතර කියලා යාන්තං අම්මා ස්කෝලෙට එන එක නවත්තගෙන පහුවෙනිදම කලිසම මාරු කරගත්තා. අරුණට කිසිම අවුලක් නෑ. උගේ ඇඳුම් ඒ දවස්ල ඉඳන්ම ඌමනේ හෝදගත්තේ.

මෙහෙමත් පැන්නනේ..!

මෙහෙමත් පැන්නනේ..!

ඔය ගඟේ නාන්න ඇරෙන්න අපි ස්කෝලෙන් පනින්නේ වෙන යාළුවෙක්ගේ ගෙදරක යන්න. එහෙමත් නැත්තං කාන්තා පාසලක තියෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් බලන්න යන්න වගේ හෙන වැදගත් වැඩකට. එහෙමත් නැත්තං බිග් මැච් එකට හැට් කලෙක්ෂන් යන්න. ඒ ගමන තමා මරු. ලොරි භාගෙක පිටිපස්සේ ඉඳගෙන යුනිෆෝම් එකට උඩින් නයිටි ඇඳගෙන කාන්තා පාසල් ගාව සල්ලි එකතු කරනවා කියන්නේ… දැන් නම් මතක් වෙද්දිත් ලැජ්ජයි.

ඒ වගේම අපේ පාසල කිට්ටුවම වගේ තිබුන තව පාසලක්. පිරිමි එකයි ගැහැණු එකයි වෙන වෙනම තිබුනේ. දැන් නම් පිරිමි පාසල වෙන තැනකට ගෙනිහිල්ලා තියෙන්නේ. ඒ දවස් වල තිබුන පාසල දැන් ඉංජිනේරු බලකායේ කෑම්ප් එකක් විදියට පරිවර්තනය වෙලා. කොයිතරම් ස්කෝලේ නම් නොකියා බේරෙන්න හැදුවත් ඒක කරන්න බෑ. කතාවේ අන්තිමට නම කියනෙවා. ඒ කාලේ අපේ සමවයස් යාළුවෝ සෙට් එකක් ඔය පාසලේ තිබුන අඩි දහයක් විතර උස තාප්පෙ තිබුන හිලකින් එහා පැත්තට රිංගද්දි, වයිස් ප්‍රින්සිපල්ටද කොහෙද මාට්ටු. දහයක විතර සෙට් එකෙන් අන්තිම එකා දනගාගෙන රිංගද්දි, උගේ පපුව හරිය එලියට ගියාම තමා වයිස් ප්‍රින්සිපල් ඒ ලඟින් යන්න ඇවිත් තියෙන්නේ. මේ සීන් එක දැක්ක වයිස් ප්‍රින්සිපල් බාගෙට රිංගලා ඉන්න කොල්ලගෙන් ඇහුවලු “මොකද්ද මේ තොපි රිංගන ගුල” කියලා. අරුත් ඉන්නේ බාගෙට රිංගන ගමන්නේ. මොනා කිව්වත් ඉතිං මොකාද කියන්නේ කියලා පස්ස පැත්තෙන් අඳුන ගන්න බැරි නිසා අරූ හෙන හයියෙන් “මේක තමා සර්… සුමගුල” කියලා ඉතුරු ටිකත් අනිත් පැත්තට රිංගුවලු.

හරි දැන් කියන්නම් මාතෘකාවට අදාල කතාව. මේක මට අහන්න ලැබුනේ දවසක් පාන්දරක කෝච්චිය එනකං ස්ටේෂන් එකේ බංකුවේ ඉඳගෙන ඉද්දි. ඔන්න මට එහා පැත්තෙන් ඉන්නවා මැදි වයසේ පුද්ගලයෙක්. බුවා අපේ තාත්තගේ යාළුවෙක්. ඒත් මාව වැඩිය මතක නෑ. අනික කළුවරේ අඳුන ගන්න කොහොමත් බෑ. ඉතිං ඔහොම ඉද්දි ඒ අංකල්ගේ යාළුවෙකුත් එනවා ස්ටේෂන් එකට. ඒ දෙන්නා මං හිතන විදියට ගොඩ කාලෙකින් හම්බුවෙලා නෑ.

තාත්තගේ යාළුවා අහනවා අර අනිත් මනුස්සයාගෙන්, “කොහොමද මචං. උඹව දැක්ක කල්. දැන් මොකද කරන්නේ?” කියලා.

අනිත් කෙනත් ඉතිං උත්තර දුන්නා. ඊට පස්සේ ඉතිං අපේ කතාවට අදාල නැති බ්ලා… බ්ලා… බ්ලා… ටිකක් ගියා. අායෙම තාත්තගේ යාළුවා ඇහුවා “උඹ කෝච්චියේ නෙවෙයිනේ යන්නේ. අද මොකෝ මේ..?” කියලා.

ඊට පස්සේ අනිත් කෙනා කියනවා “නෑ බං මේ පුතාගේ ස්කෝලෙන් එන්න කියලා. ඒකට යනවා. පොඩි එකා වෑන් එකේ ගියා. මං මේ කෝච්චියේ යන්න කියලා” එහෙම කියලා.

පස්සේ අනිත් පැත්තෙන් අහනවා “ඇයි ගුරු දෙගුරු රැස්වීමක්ද..?” කියලා

“නෑ බං… අපේ එකා පෙරේදා ස්කෝලෙන් පැනලනේ…”

“අම්මට සිරි…”

n

පැනීමේ සතුට…

“ඔව් බං බලපන්කෝ… මුගේ වැඩ. මාත් වැඩිය ගහන්න කරන්න ගියේනෑ… පොඩ්ඩක් බයකරා විතරයි. දන්නවනේ ඒ දවස් වල අපි කරපු වැඩ. ඕවා ඉතිං කවදහරි මතක සටහන් විදියට ඉතුරු වෙනවනේ.”

“හෙහ්… ඒක නම් ඇත්ත. කොල්ලා දැන් කීයෙද?”

“තාම දෙක වසරේ බං”

“ඈහ්… මොකක්…? දෙක වසරේ… මං හිතුවේ ලොකු එකා ස්කෝලෙන් පැනලා කියලා. කොහොමද බං පැනලා තියෙන්නේ..?” දැන් අර අංකල් ෆුල් හොල්මන්. ඒ අංකල් විතරක් නෙමෙයි කතාව අහෙන් මෙහෙන් අහගෙන ඉන්න මාත් හොල්මන්…!

“උංගේ පංතිය ගාව තමා ගංඨාරේ හදලා තියෙන්නේ. මූ මිස් එලියට යනකං ඉඳලා පොත් බෑග් එකත් කරේ දාගෙන ගිහිං ලණුව ඇදලා ගේට්ටුව ගාවට දුවලා. මේ යකා බෑග් එකත් දාගෙන දුවනවා දැක්ක අනිත් ළමයිනුත් බෑග් අරගෙන එලියට දුවලා.”

“ඉතිං….”

“ඉතිං කියන්නේ බං. ස්කෝලෙන් මට කතා කරලා කිව්වා. ඒ මදිවට ස්කූල් වෑන් එක මුලින්ම ගන්නේ අපේ එකාව. ඌ ඩ්‍රැයිවර්ටත් කියලා අද ස්කෝලේ කලිං ඇරියා අංකල් ඉක්මනට යං අනිත් වෑන් ඇවිත් ට්‍රැෆික් වෙන්න කලිං කියලා.”

“මරු බඩුවක්නේ…”

“වැඩක් නෑ කියලා… ගෑණි මාව කන්න හදනවා, පොඩි එකාව හුරතල් කරනවා වැඩියි කියලා”

දැන් මට තනියම හිනා මේක අහගෙන ඉද්දි. ඒ අස්සේ කොහොමහරි කෝච්චිය ආවා. මම කෝච්චියට නැගලා කල්පනා කලේ… දැන් පොඩි එවුන් ඇඩ්වාන්ස් කියන කතාව ඇත්ත. අපි අටේ නවයෙදි කරපුවා දැන් එවුන් දෙකේ තුනේදිම කරනවනේ කියලා. ඒක ඉතිං ඒ හැටි දේකුත් නෙමෙයි, පොඩි එවුන්ගේ සිලබස් එක හිටං දැන් ඇඩ්වාන්ස්නේ…! කොහොමහරි ඔය පොඩි එකා විප්ලවවාදියෙක් වුනොත් නම් අනිත් අයගේ නිදහස ගැනත් හිතයි… පේනවනේ, හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ…!

කහපාට නිවාසය

හැමෝම කියන විදියට පරන දේවල් ඇදලා එලියට දාන්න මේක නම් කාලය, ආයේ මං විතරක් මොකට කටපියාගෙන අත්දෙක බැඳගෙන ඉන්නද…

වෙලාවකට නම් හිතෙනවා මේවා අමතකවෙලා යන තරමටම හොඳා කියලා. ඒත් අමතක වීගෙන යනකොට හිතෙනවා ලියලා තිබ්බනම් හොඳා කියලා. ඔය කොච්චර මොනවා හිතුනත් කම්මැලිකම මැද්දට හරස් වුනාම හැම දෙයක්ම ඉවරයි. ඒක නිසා පරන බ්ලොග් අලුත් කරමු කියලා හම්බුන මෝටිවේෂන් එකට පිං සිද්ධවෙන්න කියලා පරන අමතක වේගෙන යන කතා කීපයක් ලියලා දාන්න ඕන කියලා හිතුනා. සමහර එව්වා සංසන්දනාත්මක වෙයි, තවත් සමහර ඒවා තනිකරම මඩ ගොහොරු වෙයි. ඒ මොනවා වුනත් ඒ හැමදෙයක්ම අතීතයේ එක්තරා කාලයකට අයත්වුන, නැවත සිදුවේයැයි බලාපොරොත්තු නොවියහැකි අපූරූ දේවල්ම වෙයි.

ඉතිං පළමු‍වෙන්ම අපි හැමෝම ආසා කරන පාසල් කාලයට යනවා මම. ඇත්තටම ඒ දවස් තමා ජීවිත වල ගෙවුන සුන්දරම දවස් ටික. ඒකෙනුත් වාර්ෂික ක්‍රීඩා උත්සව සමය කියන්නේ හෙන ජොලි කාලසීමාවක්. වයස් භේදයකින් තොරව එක වසරේ ඉඳන් දහතුන වසර වෙනකංම කෙල්ලෝ කොල්ලෝ ඔක්කොමලා පස්වනක් ප්‍රීතියෙන් පසුවන කාලයක්.

ඒ දවස් වල මම අපේ නිවාසයේ ක්‍රීඩා උපනායක. දැන් මීටර් දෙසීයක්  දුවගන්න බැරිවුනාට… හිතන්න එපා ඒ දවස් වලත් එහෙම්මයි කියලා. ඒ දවස් වල අපි හොඳ ස්පෝට්මීට් කොල්ලෝ. ඉතිං දැන් ඔය ක්‍රීඩා උපනායක පට්ටමෙන් මට වඩා වැඩ ගත්තේ මගේම අවංක එඩිතර යාළුවෝ. ඒ ගැන අපි කතා නොකර ඉන්න තරමට හොඳයි. ඉඳලා ඉඳලා ලියන එකේ මොකටද නිකං එක එකාට බනින්නේ නෙහ්.

හරි… ඔය දවස් වලට ඇත්තටම මොකක් හරි පට්ටමක් හම්බුවෙනවා කියන්නේ ඇත්තටම ලොකු වගකීම් ගොඩක් ඔලුව උඩ පැටවෙනවා කියන එක. ක්‍රීඩා නායක උපනායක උනත් නිවාසයේ අනෙකුත් වගකීම් වලින් මිදෙන්න බැහැ. ඇත්තටම ඒ දවස් වල ක්‍රීඩා ගැනට වැඩිය හිතන්නේ උත්සවේ දවසට අපේ නිවාසය හදන හැටි ගැන. වැඩි හරියක්ම රැස්වීම් කැඳෙව්වෙත් ඒ ගැන කතා කරන්නම තමා. ඇත්තටම ඒක හරිම සාමූහික දෙයක්. ඒ කොයිතරම්ද කියලා ඉස්සරහට තේරෙයි. අපේ නිවාසයේ පාට කහ පාට. නම “තිස්ස” නිවාසය.

ඒ දවස් වල හිටිය හොඳම… ඒ කියන්නේ බො‍හොම හොඳම ළමයි හිටියේ අපේ නිවාසයේ. ඒක නම් කොහොම වුනාද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ස්කෝලෙට ඇතුලත් වෙන කොටනම් අර තෝරාගත්ත එවුන් වගේ වෙච්චි අපිව හරියටම හතරෙන් බෙදුනාම එකක් ඉතිරිවෙන ඇතුලත් වීමේ අංකයක් ලැබෙන විදියට ඇතුලත් වෙලා තියෙනවා.

ඒක නිසා ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නිවාසය ඇතුලේ තියෙන තත්ත්වය. කොහොමහරි හැමදෙනාම එකතු වෙලා සෑහෙන ජයග්‍රහන සංඛ්‍යාවක් ලබාගන්න එක නම් අනිවායාර්ය දෙයක්.  ඒත් අපේ එවුන්ගේ තිබුන දාංගලේ නිසාම අපේ පැත්තට තිබුන ලකුනු කැපුන අවස්ථාත් තිබුනා.

ඒ දවස් වලට අර කලින් කිව්වත් වගේ අපිට තියෙන ලොකුම මෙව්වා එක තමයි උත්සවේ දවසට අනිත් නිවාස වලට වැඩිය ගතියට අපේ නිවාසය හදන එක. ඒකට හැමෝම වගේ භාවිතා කලේ ස්වභාවික දේවල්. හේතුව තමා වියදමකින් තොරව අඩුම කුඩුම සොයා ගැනීමට තියෙන හැකියාව සහ එහෙම අඩුමකුඩුම සෙවීමේ මෙහෙයුමේ තියෙන ෆන් එක.

ඒ අඩුමකුඩුම සෙවිල්ල ගැන කියන්න තමා මෙච්චර වෙලා දැඟලුවේ. හැබැයි අපි කෙල්ලොන්වනම් හලලා තමා මේ වැඩේ කරේ. එයාතට තිබුනේ කොඩි හදන්න, එක එක බෝඩ් ලියන්න වගේ ඒවා. ඉතිං මෙහෙමයි ඒ කතාව… අපේ පාසල තියෙන්නේ නාගරික පරිසරයක වුනත් පාසල අවට තියෙන පාරවල් වලින් ගියාම ලේසියෙන්ම අපූරු ගැමි කුඹුරු වලින් වටවුන තැන් වගේම ගඟක් එහෙමත් තියෙන පෙදෙසකට ඉතා ඉක්මනින් ලං කරන්න පුළුවන්. ඉතිං ඒ වගේ පාරිසරික අලංකාරය තියෙද්දි අපි මොකටද ඉටිරෙදි එල්ලගෙන නිවාස හදන්නේ. එහෙම හිතන අපි කරන්නේ ක්‍රීඩා තරඟ අවසන් දිනේට දවස් දෙකතුනක ඉඳන් අර කිව්ව  ලෝ  කොස්ට් අඩුමකුඩුම හොයන එකතමා.

මුලින්ම අපි කරන්නේ ලෑයිස්තුවක් හදාගන්න එක. ඊට පස්සේ තමා රෑට රෑට අහල පහල ගෙවල් වලට තාප්ප  වලින්  පැනීමේ මෙහෙයුම පටන් ගන්නේ. ඇත්තටම ඒක හොරකමක් වුනාට පාසල වෙනුවෙන් කරන, අපේ නිවාසය වෙනුවෙන් කරන ලොකු කැපකිරීමක් කියලා හිතාගෙන තමයි සැම එකවගේ සෑහෙන අවධානමක් අරගෙන තාප්ප උඩින් පැන පැන කකුල්  හූරගෙන තුවාල කරගෙන එහෙ අවශ්‍ය දේවල් එකතු කරගන්නේ.

පිදුරු එකතු කරන ගමන් මේ වගේ දේවල් නම් අනන්තයි…

කලින් ගිහින් ඒ කියන්නේ එලිය තියෙන වෙලාවට ගිහින් අදාල දේවල් තියෙන තැන් ගැන අපිව දැනුවත් කරන්න වෙනමම සෙට් එකක් හිටියා. රෑට අපි ක්‍රියාත්මක වෙන්නේ දවල් වරුවේදි අපට ලැබෙන ස්ථාන ගැන පිහිටීම අනුව. වැඩිපුරම අපි වද වුනේ දිගල එල්ලා හැලෙන මල් වර්ග ගැන. ඔය මල් දවල්ට පිපිලා තියෙන නිසා හොයාගන්න ලේසි වුනාට රෑට හොයන්න හෙන ගේමක් දෙන්න ඕනේ. ඇයි ඉතිං මල් ඔක්කොම පරවෙලානේ. ගහ මොකද්ද මල මොකද්ද කියලා හොයාගන්න බැරි නිසාම ගොඩක් වෙලාවට කරන්නේ ගහ පිටින්ම ගලොගෙන එන එක. ඒක ලේසි වැඩක් කියලා හිතන්න එපා. තුන් හතර දෙනෙක් එක්ක වත්තට තාප්පෙන් පැනලා සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න ගහ පිටින්ම කපලා තාප්පේ අනිත් පැත්තේ ඉන්න එවුන්ට තාප්පේ උඩින් පාස් කරනව කියන්නේ… ඒකත් මහ රෑ එකට දෙකට විතර.

ඊට පස්සේ කරන්නේ යෙලෝ ෆාම් ගස් වලින් අතු කපන එක. එක්නම් ඉතිං සිම්පල්. හැබැයි හිටපු ගමන් බල්ලෝ එලෝගෙන එද්දි නම් කැපිටල් වෙන වෙලාවලුත් තිබ්බා. එහෙම වෙලාවට නම් ඉතිං කරේ තියෙන ඒවා බිම දාලා හරි බල්ලගෙන් බේරෙන්න දුවන එක තමා කරන්නේ. වෙලාවට කවදාවත් බල්ලෙක්ට අපිව කන්න ලැබුනේ නෑ. ඒ ගෙවල් වල බල්ලෝ හෙන බුද්ධිමත්. මුලින්ම සද්දේ ආවම බුරන්නේ නෑ. ෂේප් එකේ සද්දේ එන පැත්තට පොඩි ගෙරවිලි සද්දයක් කර කර එනවා. එහෙම ලඟටම ඇවිත් තමා බුරන්නේ. හැබැයි හැම පාරකම කව්රු හරි එකෙක්ට ඔය ගෙරවිලි සද්දේ එහෙන නිසා බල්ලා එන්න කලින් අපි අඩුම ගානේ තාප්පේ උඩටවත් නැගලා. ආයේ ඉතිං ඒ ගේ දිහා බලන්නේ නෑ. වෙන ගෙදරකට යනවා. අම්මපා ඒ බල්ලෝ හෙන පොෂ් එවුන්. දුර ඉඳන් බුරාගෙන එන්නේ නෑනේ… දැන් නම් හිතෙනවා අපි ඒ දවස් වල හෙන හොරු වගේ නේද කියලත්…

රෑට ඔය වගේ දේවල් කරද්දි දවල්ට කරන්නේ වෙල් වලින් පිදුරු උස්සන එක. ඒවා නම් ඉතිං උස්සන්න දෙයක් නෑ. කවුරුත් බනින්නේ නෑ අරගෙන ගියාට. ඒ පිදුරු ගෙනියන්නේ ගොඩක් වෙලාවට වහලෙට දාන්නේ. වෙලාවට පිදුරු කහපාටට හුරු පාටක් වුනේ. කිසිම වෙනසකින් තොරව කෙලින්ම වහලට දාන්න පුළුවන්. අන්න ඒ වාසිය අපිට තිබුනා. තව විජය නිවාසයේ පාට කොල පාට නිසා උංටත් ඒ චෑන්ස් එකම තිබුනා. දන්න දා ඉඳන් උං දැම්මේ අමු පොල් අතු වියලා.

ඊට අමතරව බට ගස් එහෙම ගේනවා නිවාසයේ සැකිල්ල හදන්න. ඒවනම් හොරකන් කරන්නේ නෑ. මොකද හොරකන් කරලා ගේන්න බෑනේ. ඒක නිසා.

සැරසුවට පස්සේ…

ඔය අඩුම කුඩුම එකතු කරගත්තට පස්සේ දවල් වරුවක් අල්ලලා වැඩේ පටන් ගන්නවා. නිවාසය භාර ගුරුවරු දෙන සැලැස්මට අනුව මුලින්ම සැකිල්ල හදලා ඊට පස්සේ එවේලෙට හොයාගන්න මොනාවෑයින් හරි වහලේ දැල් දැල් වගේ වෙන්න හදලා පිදුරු දානවා. හවස් වෙද්දි ඒක අපි හදපු නිවාසය ඇතුලෙම මොනාහරි කාලා නිදාගන්නවා. ඇතුලේ විස්සකට විතර ඉන්න පුළුවන් වෙන්න තමා හැමපාරම හදන්නේ. ඊට පස්සේ එලි වෙන්නේ ස්පෝට් මීට් දාට. ඉතිං උදේම ගෙවල් වලට ගිහිං තව පාට ඇඳුමකුත් දාගෙන ආයේ එනවා. ඒ ඇවිදින් තමා දවස් දෙක තුනකට කලින් කඩා ගෙන ඇවිත් වතුර බේසම් වල බස්සපු මල් ජාති ටික අරගෙන නිවාසයේ එළියෙයි ඇතුලතයි එල්ලන්නේ. ඒකෙන් තමා තියෙන පාලු මූසල ගතිය යවන්නේ. මල් එල්ලලා ඉවර වෙද්දි නිවාසය හරියට නිකං සුරංගනා නිවසක් වගෙයි.

ඔන්න ඔහොම හදන අපේ නිවාසයේ උඩින් කහ පාට කොඩියක් ගහනවා ස්පෝට් මීට් පටන් ගන්න කලින්. ඊට පස්සේ ඉතිං … දැනෙන සනීපේ… එක දිගට දවස් තුනක් හෝ හතරක් ඔය වැඩේටම විතරක් මහන්සි වෙනවා. අන්තිම දවසේ හවස් වරුවේ තමා නිදහසක් ලැබෙන්නේ. අන්තිමට ක්‍රීඩා උත්සවය දාට හැමෝම පොරේ නිවාසේ ඇතුලට රිංගන්න. ඒ තරමට ඒක හිතට අල්ලලා යනවා. ඒත් ඒක අපි වෙන්කරේ නිවාසයේ ගුරු දෙගුරුන් වෙනුවෙන්. ළමයි හැමෝම නිවාසය පිටිපස්සේ තියෙන ගස් හෙවන් වල හරි කුඩ ඉහලගෙන හරි තමා හිටියේ. ඒ අතර වගකීම් දරපු අපි හැමදාමත් වගේ අවුවේ… ඒත් එදා දුකක් ඇතිවුනෙත් නෑ ඒ ගැන. අදත් නෑ.

ඇත්තටම අපි ඒකෙන් ගොඩක් දේවල ඉගෙන ගත්තා. එක සැලසුමකට අනුව කට්ටියක් වැඩ කිරීම මූලිකයි. ඊට පස්සේ අදහස් බෙදා ගැනීම. වඩා හොඳ අදහසට ඉඩදීම. ඒකට තව දේවල් එකතු කිරීම වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැබැයි ඔය හැමදෙක්ම කලේ පොඩි පොඩි හොරකම් කරලා වුනාට අපි එකෙක් වත් හොරු වුනෙත් නෑ, නිකරුනේ හොරකම් කලෙත් නෑ. හැම දේකින්ම වුනේ අපි වැඩි වැඩියෙන් නිර්මාණශීලි වුන එක තමා. ඒ ගැන නම් චූටි මෙව්වා එකක් තියෙනවා.

ඒ වගේම අපේ ගෙවුන අතීතය එක්ක දැන් සසෑඳීමක් කලොත් නම්, බොහොම දුක හිතෙන කාලයක් කියලා කියන්න පුළුවන්. දැන් නිවාසය හදන්නේ නෑ. කුලියට ගන්නවා. මළ ගෙවල් වල ගහන ටෙන්ට් එකක් ගෙන්නලා වටේට කහපාට ඉටිරෙදි ඔතලා උඩින් කහපාට කොඩියක් ගහනවා. ඒක ඇතුලේ දෙසීයකට තුන්සීයකට ඉන්න පුළුවන්… අපේ කාලේ වගේ විස්සකට තිහකට නෙමේ දෙසීයකට තුන්සීයකට. ඒ තමයි දැන් ඉන්න එවුන්ගේ නිර්මානාත්මක කුසලතාවය…!

 

 

 

උන – සිලි සිලිය

green bamboo plantඅපි…. ඒ කියන්නෙ කීපදෙනෙක් විතරක් යන්න පුරුදු වෙලා හිටිය ලස්සන තැනක් ගැන මට හොඳටෝම මතකයි. ගොඩ දවසට හවස හතර හතරාමාර වෙද්දී එතෙන්ට එන්න කියලා නීතියක් නැති වුනත්, සීතලට ගලන වතුර පාරෙ කකුල් දෙක දාගෙන කකුල් වටේ කැරකි කැරකි යන මාලු දිහා බලාගෙන මොනා හරි දෙයක් කියවනවා කියන්නේ… ඒක හද පත්ලෙන්ම කියවෙනවා කියන එකයි. එක අපි හැම දෙනාටම පොදුවුනා. ගෙවල් වල ප්‍රශ්න, ස්කෝලේ ප්‍රශ්න, කෙල්ලෝ ප්‍රශ්න අරක මේක හැම එකම අපි අතර බෙදා ගන්න ඉඩ තිබුන එතෙනට නමක් තිබුනේ නෑ. අපි කිව්වේ “යමං ඇලපාර අයිනට” කියලා.

හරියටම හඬ මේ වගේ කියලා කියන්න බැරි විවිධත්වයක් එක්ක නිරතුරුවම ගලාගෙන ගිය ඇල පාර අපිට සුන්දර අපේම තැනක් වුනේ, මං එක පාරක් ගිහිං එතෙන්ට උඩහ තිබුන කැලෙන් කොටයක් පෙරලගෙන ඇවිත් දාපු දා ඉඳන්. ඒ කපලා දාලා තිබුන කොටේට පයින් පාරක් ගැහුවේ තිබුන දාංගලේට ඇලපාරට වැටෙන්න කියලා හිතාගෙන මිසක් ඇති වැඩකට නෙමෙයි. ඒත් කොටේ ඇලට නොවැටී ඇල අයිනෙම තිබුන උන පඳුරට හේත්තු වෙලා නැවතුනේ “පිස්සු කෙලින්නේ නැතුව, වැඩක් ඇත්තෙම නැත්තං මේං මෙතෙන්ට වෙලා වාඩිවෙලා, ඇලට කකුල් දෙක දාගෙන පොඩ්ඩක් කූල් වෙයන් මිනිහෝ” කියන්න වගේ. මං එදා ඒ ඇරයුම පිලිගත්තා. ඒකෙන් මට හොඳක් මිසක් නරකක් වුනේ නෑ. මට විතරක් නෙමේ මගේ යාළුවන්ටත් හොඳක් මිසක් නරකක් වුනේම නෑ.

ඇත්තටම වැඩක් නැතිව කම්මැලි වුනාම ලඟ ලඟ තිබුන යාළුවන්ගේ ගෙවල් ඉස්සරහට ගිහිං “උදාර යමාං…” කියලා කෑගහපු ගමං “හා ටිකාක් හිටපාං… මං කනෝ…” කියලා ගේ ඇතුලෙන් සද්දේ එන්නේ ඌත් මාත් එක්ක යන්න එන වග ස්ථිර කරන්නයි. උදාරලාගේ අම්මා මිදුලට ඇවිත් “පුතා දන්නවනේ අපේ එකාගේ කෑම… එන්න ගෙට මං බත් බෙදන්නම් පුතාටත්” කියලා ගේ ඇතුලට යනවා. “මට බත් එපා නැන්දේ… මේ කාපු ගමං ආවේ” කියලා කියන කොටම උදාර එනවා “හා යමං” කියාගෙන. ඒක එක උදහරණයක් විතරයි යාළුවන්ව එකතු කරගැනීම ගැන. අනිත් තැන් වලදිත් ඔහොමම තමා. එහෙම නැත්තං “උඹලා පලයං මං තව ටිකකින් එන්නං” කියනවා. එහෙම කිව්වනම් අනිවාර්යෙන් ඌ එනවා. පොලු තියන්නේ නෑ. මොකද හිතේ තියෙන හැම දෙයක්ම කටෙන් වචන කරලා අතෑරලා දාන්න පුළුවන් එකම තැන ඇලපාර නිසා.

ඒ වගේම හැමදාමත් අපි කතා තැන ඇලපාරේ සද්දේ එකක්ම අපිට ඇසුන දැනුන අනෙක් හඬ මගේ කොටේ නවත්තලා අපිට කතා කරන්න තැනක් හදලා දුන්න උන පඳුර. ඒ වටේටම උන පඳුරු තිබුනත් මේක තරමක් විසාලෙට හැදුන කොලයි කහයි දෙකම මිශ්‍ර වෙච්චි උන පඳුරක්. කාට හරි එකෙකුට මොකක් හරි මගුලට අඬන්න ඕනේ වුනානම් උන ගහක් බදාගෙන අඬනන්නයි, මොකක් හරි කතාවකට බඩ කොරවෙනකංම හිනාවෙලා අන්තිමේ හිට ගෙන ඉන්න අමාරු වුනාම පොඩ්ඩක් පිට දීලා ඇලවෙන්නයි හැම එකටම එපා නොකිය සහයෝගය දුන්න උන පඳුර කොච්චර හුළඟට පැද්දී පැද්දී සිලි සිලි ගෑවත් කවමදාකවත් ඒ සිලි සිලිය අපේ කතාවලට බාධාවක් වුනේ නෑ.

හැම වෙලේම අපේ ඇඟට වේලුන උන කොල වලින් දමා ගහන කොට කවදාවත් අපිට කේන්ති ගියෙත් නෑ. ඇත්තටම මොකක් හරි සීන් එකකට කවුරු හරි කේන්තියෙන් ආවත් උන පඳුර ඒ කේන්තිය උගෙන් උදුර ගන්නවා විනාඩි ගානක් ඇතුලත. ඒ නිංස්කලංක බව අස්සේ ඉඳගෙන හිත ඇතුලෙන් කේන්තියෙන් පිච්චෙන්න දෙන්නේ නෑ එක මොහොතක්වත්. හැම වෙලාවෙම දෙපා සිසිල් කරගෙන ගලන වතුර පාරත් එක්ක එකතු වෙලා ගින්දර නිවනවා. ඇලපාර ලඟ උන පඳුර යට කෙල්ලෝ ප්‍රශ්නම කීයක් විසඳෙන්න ඇත්ද…? අපේ සෙට් එකේ හිටිය හත් අට දෙනාගෙන් හතර දෙනෙක්ම ඔය වගේ චීත්ත ප්‍රශ්න වලට අනිත් අයගෙන් උදවු ඉල්ලුවේ උන පඳුර යටදී. ප්‍රශ්නයක් උන ගමන් හැම එකාම බලන් ඉන්න ඇලපාර අයිනට දුවන්න. අනිවාර්යෙන් ප්‍රශ්න වලට උත්තර කෙසේ වෙතත් හිත හරි හැදෙනවා. සතියකට වතාවක් දෙවතාවක් ඇලපාර ගාවට යන එක නිකංම පුරුද්දක් වුනාට නියමිත දවසක් නෑ. අර කලින් කිව්වා වගේ කවුරු හරි එකෙක් ඇවිත් නම කියලා කෑගහලා “යමාං…” කිව්ව ගමන් තමයි රැස්වීම පටන් ගන්නේ. කාට හරි අසනීපනම් හෝ කොහෙ හරි ගමනක් ගිහිං නම් ඇරෙන්න උන පඳුර යටට යන ගමන මග අරින්නේ නෑ කවුරුවත්ම.

අපි ලොකු වෙලා දුර බැහරට වෙන් වෙලා යනකං වගේම ඉඳලා ඉඳලා දින ගැනලා නිවාඩුවකට අපිට පොඩ්ඩක් ස්ටෙලා වෙන්නත් ඒ උනපඳුරම ලඟක් වෙනකම්ම හෙවන දුන්නා. ඒ හැම දවසකම ඉස්සර තිබුන දඟකාර සිලි සිලියවත්, තාලයක් හොයාගන්න බැරි ඇලපාරේ සද්දෙවත් වෙනස් වුනේ නෑ. ඒ වගේම මාස ගනන් හිතේ තද කරන් ඉඳිය ඒවා එලියට ඇදලා ගන්න හැකියවත් ඒ තැනින් තුරන් වෙලා තිබුනේ නෑ. ඒ තරමට හිතින් විතරක් නෙවෙයි බොක්කෙන්ම ආදරය කරපු තැන දැන් අපිට අයිති නෑ.

දැන් ඒක කාටවත් අයිති නෑ. මගේ අතින් පෙරලුන කොටේ සමහර විට ඇල පාරටම වැටිලා ගහගෙන යන්න ඇති. නැත්තං කොහේට හරි විසික් කරන්න ඇති. දැන් එතෙන ඇලපාරකුත් නෑ… තියෙන්නේ ටිකක් විසාල වතුර හිඳුන කොන්ක්‍රිට් වලින් බැමි බැඳපු ඇලක්. ඉවුරු දෙපැත්තෙන් හාරලා ලොකු කරපු කෘත්‍රිම ඇලේ දැන් මාලු පැටවු නෑ. තියෙන්නේ හැම තැනින්ම ගලාගෙන ඇවිත් කංකුං ගස්වල බැඳුන වතුර උඩ පාවෙන දේදුන පාට ගහන තෙල් තට්ටුවක් විතරයි. උන පඳුරත් ඇලේ ඉවුරු ලොකු කරද්දී කපලා දාලා. දැන් සිලි සිලියක් නෑ… අන්තිමටම ඉතුරු වෙලා තියෙන්නේ අගින්ම කපලා දාපු උන පඳුරු කෑලි ටිකක් විතරයි. ඒ වගේම එතෙනට එකතු වෙන්න කොල්ලොත් නෑ. උං හැමෝම කාමර අස්සේ බිත්ති වලට කොටුවෙලා ගේම් ගහනවා, චැට් කරනවා, එහෙමත් නැත්තං නිදි. උං උන්ගේ ප්‍රශ්න කාට කියනවා ඇත්ද…? උත්තර කොහෙන් හොයනවා ඇතිද…? වර්චුවල් යාළුවෝ ගොඩක් මැද සිමෙන්ති කාමරයකට වෙලා මොනාවනං කරන්නද…?

උංට අපිට තිබුන පින නෑ. අපිට සංවර්ධනය නොතිබුනාට බොක්කෙන්ම ඉන්න යාළුවෝ ටිකක් හිටියා. හවසට සෙට් වෙන්න අපේම තැනක් තිබුනා. හැමදේම කතා කරන්න, හිනාවෙන්න තැනක් තිබුනා. දැං එවුං කාමරේට වැදිලා මොනිටරේ දිහා බලාගෙන බකමුනෝ වගේ තනියම හිනාවෙනවා ඇති. උංට උන පඳුර කැපුවත්, ඇලපාර හිඳුනත් වගේ වගක් නෑ. උංට ප්‍රශ්න තියෙන්නේ කරන්ට් එක නැතිවුනාමයි ඉන්ටර්නෙට් ස්ලෝ වුනාමයි විතරයි.

ඒත් අපිට තාමත් උන පඳුරේ සිලි සිලිය, ඇල පාරේ සින්දුව නැතුව පාළුයි.

ගොඩ කාලෙකින්, 2015 ප්‍රථම ලිපිය විදියටයි මේ…

අපි කැමතිම ගීතය…

මේ හදිස්සියේ මේ කතාව ලියන්න හිතුනේ, කතාවට අදාල සිංදුව ලඟදී ඇහුන නිසා. නැත්තං මේ කතාව කවදාවත් නොලියැවී යන්නත් තිබුනා. මේක අපි කැමතිම ගීතය කිව්වට අපේ ඩැඩා තමා වැඩියෙන්ම කැමති. ඊට පස්සේ මායි මල්ලියි…. අම්මත් ඉතිං කැමති ඇති සමහරවිට…

දැන් මෙහෙමයි සීන් එක. ඉස්සර අපේ තාත්තා නිවාඩු දවසට ගෙදර ඉඳන් සිංදු අහනවා. ඒ කියන්නේ රේඩියෝ එකේ. දැන් අහන්නේ අපේ මල්ලි. ඌත් දැන් තාත්තෙක් කියලා තමා පොර හිතං ඉන්නේ. අහන තරමක් අහන්නේ අපේ තාත්තා ඒ දවස් වල අහුවා වගේ තේරුම් තියෙන අළුත් සිංදු. අනේ මන්දා ඉතිං මල්ලිත් දැම්මම…. හ්ම් කොහොම හරි අපේ තාත්තා ඔය අහන සිංදු අතරෙ එක සිංදුවක් තියෙනවා අපේ අම්මව කුලප්පු කරවන සුළු. සමහර වෙලාවට අපි දෙන්නවත් ලඟට කරගෙන අඬන්න තරම් අප්සට් යනවා. අපිත් ඉතිං ඒ දවස් වල “අනේ අම්මේ අඬන්න එපා“ කිය කිය බොරුවට හූල්ලනවා.

ඒකට අපේ තාත්තා, මේ සිංදුව යනකොට… තියෙන හිනාව. තාත්තා දන්නවා අම්මට කේන්ති යනවා කියලා ඔය සිංදුව යනකොට. ඉතිං ඩැඩා කරන්නේ තව ටිකක් සද්දේ වැඩි කරලා අම්මව බොරුවට අවුස්සනවා. සිංදුව විනාඩි තුනනම් අම්ම ඔය විනාඩි තුනට වචන තුන්සීයක් විතර කියලා තාත්තට බනිනවා ඇති. හිතෙන්… නැත්තං අපිට අහෙනවනේ… එතකොට චූටි අපි නරක් වෙනවනේ…! ඒ වගේම ඔය විනාඩි තුනට අපේ තාත්තත් තුන්සිය සැරයක් විතර අම්මා දිහා බලලා, හොටු පෙර පෙර අඬන්න හදන අම්මගේ සුදු මූන දිහා බලලා හිනාවෙනවා ඇති. එයත් එහෙම කරන්නේ අපිට හොරෙන්. නැත්තං ඉතිං අපිත් ගෑණුළමයින්ට හිනා වෙන්න පුරුදුවෙයි කියලා වෙන්න ඇති. හික්ස්… එව්වා ජාන වලින් එන ඒවනේ ඩැඩෝ. එව්වා කොහොම නවත්තන්නද….!

ඩැඩාගේ ෂේප්මන්ට් එක

ඩැඩාගේ ෂේප්මන්ට් එක

ඉතිං ඔය සිංදුව යන අතරෙදි, අපේ අම්මගේ නිහඬ බැනීමේ ඉවසීම පැන්න ගමන්… “එහෙනම් මොන මගුලටද මගේ පස්සේ ආවේ“ කියන කොට තාත්තගේ කට වැහෙනවා. සිංදුවේ සද්දේ නිකංම වගේ අඩුවෙනවා. ඒක තමයි ජොලිම මොහොත. ඔන්න දැන් දෙන්නගේ මූඩ් වෙනස් වෙනවා. ඩැඩා හැඟීම් බර වෙනවා. “පුතේ ඔන්න ඕක වහල දාන්න“ කියලා අම්මට දිනුම දීලා තමා ගේම අතාරින්නේ. ඊට පස්සේ ඉතිං ලඟට ගිහිල්ලා ඔලුව අතගාලා… බලන්න ඕනේ කෝලම් ටික… අම්මත් නිකං ඉන්නේ නෑ… කොහොමත් පොඩි වලි බර ගතියක් තියෙන නිසා, කලින්ම වෙන සිංදුවක් දැම්මනම් හරිනේ… කියලා එයාගෙත් හිතේ අමනාපයක් නැති බව පෙන්නනවා. ඒ දවස් වල අපි හිතුවේ එහෙම. දැන් තමා තේරෙන්නේ, අම්මා කරලා තියෙන්නේ තාත්තට නක්කලේ දැමීමක්… නිකං හරියට… “මොනා කිව්වත් මං නැතුව ඉන්න බෑ වගේ නේද…?“ කියලා අහනවා වගේ.

දෙන්නම ඒ දවස් වල අපිට නොතේරෙන්න මාර රොමෑන්ටික් නාට්ටියක් තමා රඟපාල තියෙන්නේ. අපි ඉතිං බබාලනේ. වෙලාවට අපිට හැම දේම මතක තිබුනේ. නැත්තං තාමත් අපි ඔය සිංදුව යද්දි උඩ බිම බලන තත්තවෙකට පත් වෙන්න තිබුනා. කොහොම හරි ඔය සිංදුව අපේ ප්‍රියතම ගීතය වෙන්න තවත් හේතුවක් බලපෑවා. ඒ තමා සිංදුව නිසා තරහා වුන අම්මව යාළු කරගන්න තාත්තා ස්පෙෂල් මොනාහරි එදා හවසට ගෙනත් දෙන එක. ඒකේ අනිසි ප්‍රතිලාභ ඉතිං අපිටත් හිමිවෙනවනේ කොහොම වුනත්. එහෙම නැත්තං හවසට ඩේ අවුට් පාරක් ‍සෙට් වෙනවා. ඒක නිසා ඉතිං අපි දෙන්නටත් ඒ සිංදුවට අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නෑ. මං හිතන්නේ අම්මත් බොරුවටද කොහෙද මූන දෙක කරගෙන හිටියේ. ඔය ඉන්නේ දැන් යස අපූරුවට සිංදුව යද්දි. හිහ් දෙන්නම හිතං ඉන්නේ අපිට කිසිදෙයක් මතක නෑ කියලා.

සිංදුව තමා මිල්ටන් මල්ලවාරච්චිගේ, තනිවී සිටින්නයි මා අදහස් කලේ…. සිංදුව. ඒ දවස් වල අපි දහඅතේ කල්පනා කරා මේ දෙන්නට රංඩු වෙන්න තරම් මේකේ තියෙන තේරුම මොකද්ද කියලා.

[audio ammp3.com/sinhala_mp3/Milton_Mallawarachchi_Thaniwee_Sitinnai.mp3 ]

දැන්නේ තේරෙන්නේ…. මාත් ෂේප් එකේ වෙලාවක කියලා බලන්න ඕනේ… මේක තමා මගේ ආසම සිංදුව කියලා. අපේ අම්මවගේ මූන බෙරි කරගත්තොත් මං දිනුම්, එහෙම නැතුව “ආහ් එහෙමද… එහෙනං ඉතිං එහෙම්ම ඉන්නව“ කියලා ගියොත්…? හ්ම්… එතකොට කියනවා, “මං නිකංනේ සුදූ කිව්වේ… ඇයි ඔයා සීරියස් ගන්නේ“ කියලා. මොකක් හරි පැනි වදනක් දාපු ගමන් වලි ෂේප්…! මං දන්නවනේ ඒක…!

ඇම්ඩාගේ අමාරුම ප්‍රශ්නය…

මේක ඔය හැම වලත්ත වැඩේටම වගකිවයුතු ඇම්ඩාගේ කතාවක් නෙවෙයි. එකමත් එක ගමක හිටිය හත වසරේ ඇම්ඩෙක්ගේ කතාවක්. පොරගේ නම කියන එක හොඳ මදි නිසා තමා ඌට ඇම්ඩා කියන්නේ. ඇත්තටම අපි ඔය අවලම් ඇම්ඩා කරා කරා කියන දේවලින් භාගයක්වත් ඌ කරපුවා නෙමෙයි. ඒ ඔක්කොම වෙන කවුරු හරි නමක් ගමක් කියන්න බැරි කෙනෙක් කරපුවා. ඒ වුනාට ඔක්කොම යන්නේ අසරණ ඇම්ඩාගේ අකවුන්ට් එකට. ඉති අනුන්ගේ කුණු සෑහෙන ප්‍රමාණයක් ඇම්ඩාගේ අකවුන්ට් එකේ තියෙන එකේ මාත් ඇම්ඩාගේ ගිණුමට මොනා හරි එකතු කරාම මක්ක වෙනවද…!

දැන් මෙහෙමයි කතාව. මං මේ කියන ඇම්ඩා ඒ දවස් වල හත වසරේ. මිනිහාට හෙන උනන්දුවක් තිබුනා ආරම්භක විද්‍යාවට. ඒ කියන්නේ හතර වසරෙන් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් විෂය කරුණු වැඩිවෙන විද්‍යා විෂයට. මූ ඒ දවස් වල ඉඳන්ම ඔය විෂයට පට්ට දක්ෂයි. ඒත් ඉතිං මොනා හරි වෙලා හැම විභගෙදිම පොරට ලකුණු ලැබෙන්නේ අඩුවෙන්. ඒක නිසා පොර හැම විද්‍යාව ගුරුවරයෙක් එක්කම හිටියේ යටිහිතේ තරහක් තියාගෙන. හැබැයි ඔය ස්කෝලෙන් දෙන පරීක්ෂන එහෙම කලට වේලාවට බුවා කරනවා ගෙදරම. ඒ දවස්වල පොර ගාව තිබුනා ටෙස්ට් ටියුබ් රඳවනයක්. ඒක නම් මං හිතන්නේ ස්කෝලෙන් උස්සපු එකක් වෙන්න ඕනේ.

:)

🙂

තව තිබුනා වත්තේ පිටියේ ගස් වැල් එකට පූට්ටු කරලා බැමි දාපු ගස් කොලන්. පොර එකකට එකක් නොගැලපෙන ගස් ඉඳන් බද්ධ කරලා එක ගහකින් මල් වර්ග ගානක් ගන්න සෑහෙන උත්සාහයක් දැරුවා. එක දවසක් දැක්කා රෝස අත්තකුයි, රුක්අත්තන අත්තකුයි පූට්ටු කරලා මොනාදෝ මන්දා කරලා තියෙනවා. ඒකට උදේ හවා වතුර දානවා… දම් කැට පොහොර දානවා… ඒ දවස්වල බුවාගේ වත්ත කෘෂි පර්යේෂණායතනය වගේ. මට මතක විදියට ඒ ගස් වල මල් පිපෙනවා වෙනුවට මුගේ වැඩි සාත්තුව නිසා ගස් සේරම මැරුණා.

දැන් තමයි කතාව. අම්ඩා හත වසරේ ඉන්දැද්දි ස්කෝලේ ටීචර් කියලා තියෙනවා ඒ දවස් වල කරන පාඩමට අදාලව හැම ළමයෙක්ම ප්‍රශ්නයක් හදාගෙන එන්න ඕනේ කියලා අනිත් ළමයින් ගෙන් අහන්න. ඒ ළමයින්ට බැරිවුනොත් ටීචර් ප්‍රශ්නෙට උත්තරේ දෙනවා කිව්වලු. ඒ දවස් වල පන්තියේ කර කර ඉඳලා තියෙන්නේ “බල පරිවර්තන“ පාඩමක්. මටත් හරියට පාඩමේ නම මතක නෑ. අර… චුම්බක ශක්තිය, විද්‍යුත් ශක්තියට…. විද්‍යුත් ශක්තිය, ආලෝක ශක්තියට කියලා එහෙම තියෙන්නේ…. අන්න ඒ පාඩම.

ඉතිං දැන් මේක පොරට මාර චාන්ස් එකක් උගේ පණ්ඩිත කම පෙන්නන්න. කොහොමහරි කාටවත් උත්තර දීගන්න බැරි ප්‍රශ්නයක් හදා ගන්න මෑන්ස්ට බැරි වෙලා මූ මගේ ගාවට දුවගෙන ආවා ප්‍රශ්නයක් හදා ගන්න. එතකොට මං මොකක් හරි ෆෝන් කට්ටක් අත ගගා මොකක් හරි කර කර හිටියේ. ඇම්ඩා ඇවිත් කෙලින්ම උගේ කාරනේ මට කිව්වා. ඒත් ඇම්ඩාගේ ප්‍රශ්නෙට වැඩිය මට මගේ වැඩේ ලොකු නිසා මම ඒ වැඩේ කරගෙන හිටියා…

අයියේ…. මේ… ලොකු අයියේ….

ඇයි බං… මට මල පැනලා ඇහුවා….

අනේ ප්‍රශ්නයක් කියන්නකෝ….

මොන ප්‍රශ්නද… පොත බලලා මොකක් හරි බොරුවක් ගිහිං කියපං….

එහෙම බෑනේ….

එහෙමනම් ඔහොම හිටපං මේ වැඩේ ඉවර වෙනකං….

හ්ම්….

මං එහෙම කිව්වේ ඇම්ඩා යයි කියලා හිතාගෙන. මොන…. මූ නෙවේ යන්නේ. මං කරන වැඩේ දිහා පොර බලාගෙන ඉන්නවා.

මේ…. අයියේ…. ඕකේ මෙමරි කාඩ් එකක් තියෙනවද…?

හ්ම්….

සයිස් එක කීයද….?

සයිස් එක මෙච්චරයි…. කියලා මං මගේ අතක චූටි ඇඟිල්ලේ නියපොත්ත පෙන්නුවා.

නෑ… නෑ… බයිට් ගාන…

බයිට් එකක් රුපියල් විස්සයිනේ…

මං දැන් මූව එලෝගන්න ෆුල් ට්‍රයි… ඇම්ඩෙක්ම තමා. ඌ සැලෙන්නේ නෑ.

නෑ අයියෝ…. ඕකේ ඉඩ ප්‍රමාණය…

ආහ්… ඉඩ ටූ ජීබී….

සිංදු ගොඩක් දැම්මැකි නෙහ්…

හ්ම්….

පොර ටිකක් වෙලා කට පියාගෙන ඉඳියා. විනාඩි දෙක තුනක්… ඊට පස්සේ මං බැළුවා මොකද ඇම්ඩා කට පියාගෙන ඉන්නේ කියලා.

මොකෝ…

අයියේ ඕකේ සිංදු කොහොමද රෙකෝඩ් වෙන්නේ…

කරන්ට් එකෙන්…

මේ… මං ගෙදර ගිහිං එන්නම් ඈ… කියාගෙන් මූ එක පාරටම නැගිටලා යන්න ගියා. මාත් ඉතිං කරදරේ ඉවරයිනේ කියලා හිත හදාගෙන වැඩේ ඉවරයක් කලා.

මෙන්න පහු වෙනිදා මූ එනවා තඩි චොකලට් එකකුත් උස්සං… මග ඉඳලම කෑගහගෙන.

අයියේ… ලොකු අයියේ….

මාත් පැන්න එලියට…

ඇයි බං…

ආ… මේක… කියලා මූ මට දුන්නා චොකලට් එක…

මේ මොකටද…

අද මං තමා අමාරුම ප්‍රශ්නේ ඇහුවේ… ඔය ඒකට හම්බුන තෑග්ග.

නෑහ්….

නැත්තේ මොකෝ… මං අහපු ප්‍රශ්නෙට ටීචර්ටවත් උත්තර දීගන්න බැරිවුනා…

පලයං බං යන්න බොරු නොකියා… මොකද්ද උඹ අහපු ප්‍රශ්නේ…?

මං ඇහුවා “ මෙමරි කාඩ් එකක ඇති සිංදුවක් වාදනය කිරීමේදී ඇති වන ශක්ති පරිවර්තනය“ කියන්න කියලා. කවුරුත් උත්තර දුන්නේ නෑ… මිස්ටත් බැරි වුනා… හූ… හූ…

දැන් මූ හෙන සතුටෙන් මරලතෝනි දෙනවා… මටත් කටපියාගෙන ඉන්න බැරි කමට මාත් ඇහුව ඇම්ඩගෙන්… “දැන් උඹ දන්නවද උත්තරේ“ කියලා… මොකද මම දන්නෙත් නෑනේ ඒකට උත්තරයක්. හෙන සංකීර්ණ ප්‍රශ්නයක්නේ මූ අහලා තියෙන්නේ. වැරදිලා හරි ඇම්ඩා “හා… ලොකු අයියා කියන්න බලන්න උත්තරේ“ කියලා මගෙන් අහන්න කලින් තමා මං ඒක උගෙන් ඇහුවේ…

නැතුව… ඊයේ අයියනේ කිව්වේ… කරන්ට් එකෙන් කියලා… ඉතිං මං උත්තරේ හදාගෙන ගියා… විද්‍යුත් ශක්තිය, ශබ්ද ශක්තියට කියලා.

අම්මට සිරි එහෙමද… එතකොට මිස් ඇහුවේ නැද්ද උත්තරේ…?

නෑ… මිස් කිව්වා “ඇම්ඩන්… පුතා…. මං ඒකට උත්තරේ හෙට කොහෙන් හරි හොයලා කියන්නම් කියලා“…

හ්ම්…. ඒක් මිසක්…  කියලා මං ශේප් වුනා. නැත්තං මේකා මගෙනුත් තව මොනා මොනා අහයිද දන්නේ නෑනේ…!

හැබැයි මිස් දීපු උත්තරේ මට මූ කිව්වේ නෑ… එක්කෝ මිස් උත්තරේ දීලා නෑ… එහෙම නැත්තං පොරට මිස් කියපු උත්තරේ තේරිලා නෑ… මමත් ඉතිං අහන්න ගියේ නෑ. වැරදිලා හරි මගෙන් හරි උත්තරේ ගැන ආයෙම ඇහුවොත් කියලා.

ඊට මාසයකට විතර පස්සේ මූ ආයෙ එනවා…

ටීච ප්‍රශ්නයක් දුන්නා අයියේ… උත්තරේ දන්නේ නෑනේ… කියාගෙන මූන එල්ලගෙන…

ආහ් කියපං බලන්න…

“සුදු පාට දෙයක්… ඒවා ගොඩක් එකතු වෙලා එකතු වෙලා කළුපාට වෙනව“…

මාව නිකං කරකෝල අතෑරියා වගේ… ටිකක් කල්පනා කරද්දි ඔළුවට එන්නේ කුනුහබ්බ… ඒ උත්තර නම් කීයටවත් වෙන්න බෑනේ… ඒක නිසා ඌටම හොයාගනින් කියලා මං ප්‍රශ්නේ ඌටම දුන්නා… “පස්සේ බලමු… අද වැඩ ගොඩක් තියෙනවා බං“ කියලා.

පස්සේ උත්තරේ පොර මට කිව්වා… දැන් ඉතිං ඇම්ඩාගේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවනම් කියන්න බලන්න… ඒ ගමන් අර මෙමරි කාඩ් එකේ ප්‍රශ්නෙත් ටිකක් හිතන්න. –at මට දැන් ඒක ආයෙ මතක් වෙලා නිකං පිස්සු වගේ වෙලා තියෙන්නේ ඔලුව…!

අලෙවි ප්‍රවර්ධක දමනය…

අලෙවි ප්‍රවර්ධක කියන්නේ මොකක් හරි භාන්ඩයක් අලෙවි වෙනවට වැඩියෙන් අලෙවි කරන්න මහන්සි වෙන කෙනාට. ටයි එකක් දාගෙන බඩු ටික අතින් කටින් එල්ලගෙන ගෙවල් ගානෙ යන අලෙවි ප්‍රවර්ධක වරුන්ව ඔයාල දැකලා ඇතිනේ. ගොඩ වෙලාවට අලෙවි ප්‍රවර්ධක ලෙස වැඩ භාරගන්නේ උසස් පෙල එහෙම ලියලා ඉවර වෙච්චි අය. ප්‍රතිපල එනකං ගෙදර ඉන්න කාලයක් තියෙනවනේ. අන්න ඒ කාලේ තමා මේ වගේ රස්සාවක් කරන්න තෝරගන්නේ.

ඉතිං මේ අලෙවි ප්‍රවර්ධක වරුන්ට ලේසියට කියන්න් ප්‍රමෝෂන් බෝයි හරි ප්‍රමෝෂන් ලේඩි කියලා හරි. වෙලාවකට මේ අය ගැන දුකක් ඇති වුනාට වැඩි හරියක්ම අති වෙන්නේ මළ උපරිම අනුකම්පාවක්. ආයේ ආවොත් කනට ගහන්න හිතෙන ආදරයක්..!

Sales rep

Sales rep

දැනට මාස කීපයකයට කලින් අපේ ඔෆිස් එකට හැම සතියෙම එනවා පොරක් සැටලයිට් ටීවී රිසිවර් වගයක් විකුණන්න. බුවා ඇවිත් පැය භාගයක් විතර අයි.ටී එකේ කා එක්ක හරි අළුත් පැකේජ් ගැන කතා කරන්න ඉල්ලනවා. මිනිහට එයා සේවය කරන ආයතනයෙන් දෙනවා ටාගට් එකක්. දවසකට මෙච්චරක් විකුණන්න ඕනේ කියලා. ඉතිං පොර බලන්නේ කොහොමහරි එකක් ඇඟේ ගහලා යන්න. ඒ වගේම කම්පැනි කීපයක්ම කවර් කරන්නත්. ඒත් කම්පැනියට ආපු මිනිහෙක්ව බැනලා එලෝගන්න බැරි නිසා කවාදාවත් “පල යන්න“ කියලා නම් කියන්නේ නෑ. ඒක නිසාම අපි මේ සතියේ පැකේජ් එකක් ගත්තේ නැත්තං ඊළඟ සතියෙත් එනවා. ඒ සතියේ ගත්තේ නැත්තං ඊට පස්සේ සතියේ එනවා. ඔහොම එක දිගට මාස හතරක් මූ ආවා. ඒ එක සතියකවත් අපි එකම රිසිවරයක්වත් ගත්තේ නෑ. ගත්තේ නැත්තේ ලොකු කමකට නෙමේ අවශ්‍යතාවයක් නැති නිසා.

ඉතිං දැන් මේ මනුස්සයාගේ සතිපතා ඒම ඇනයක් වෙන තරමටම දරුණු වුනා. මිනිහා ඇවිත් පැය භාගයක් ගන්නවා කියන්නේ අපිට ගෙදර යන්න තියෙන වෙලාව පැය භාගයක් පහු වෙන එක. ඒක නිසාම මූට ආයේ කම්පැනිය අහලකින්වත් යන්න හිතෙන්නේ නැති වෙන්න වැඩක් කරන්න ඕනේ කියලා හිතාගෙන ගැහුවා ප්ලෑනක්.

ඔන්න අදාල සතියෙත් පොර ආවා. අයි.ටී අය කලින්ම අනිත් අයටත් දැනුම් දීලා තිබුනේ මෙහෙම පොරක් එනවා,  හැමෝම එයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා එහෙම. ඔන්න දැන් පොර ආවා උදේ නමයට විතර. අපිත් ලෑස්ති වෙලා හිටියේ අපේ දවසක් පාඩු කරගෙන හරි මේ යකා ආයේ නොඑන තැනට වැඩේ සෙට් කරන්න ඕනේ කියලා.

පස්සේ මුලින්ම මම ගියා. ඉතිං වෙනදා වගේම තමා මට දෙනවා ලිස්ට් එකක් ඒ සතියේ තියෙන විශේෂ දීමනා ගැන. මට වැඩක් තියෙනවැයි ඔව්වා. ඒක නිසා මම කතා කලා පෝස්ටල් එකේ අයිය කෙනෙක්ට. ඔන්න බුවා ආවා… ඇවිල්ලා අමුත්තන්ට තියෙන සැටියේ පැත්තකින් වාඩි වෙලා ප්‍ර මෝෂන් බෝයි එක්ක කතාව. එතෙන්ට පැය භාගයක් ගියා. ඊට පස්සේ තිබුනා මැනේජ්මන්ට් ට්‍රේනින් එකක පොඩි පැය තුනක විතර ලෙක්චර් එකක්. පස්සේ කොහොමහරි බොස්ලටත් සීන් එක කියලා, හැම සතියෙම එන ලඟම යාළුවවත් අවසර අරගෙන එක්කං ගිහිං වාඩ් කෙරෙව්වා බෝර්ඩ් රූම් එකේ ඉස්සරහින්ම. හික්ස්… දැන් ඉතිං පොරට චූ බර හැදුනත් නැගිටලා යන්න බෑ පැය තුන ඉවර වෙනකං. ඒ මදිවට මූට එදා දවසේ කවර් කරන්න තියෙන කම්පැන වලට යන්නත් නෑ. කරන්න දෙයක් නෑ. අපිට සලකන විදියට තමා අපිත් සලකන්නේ. මාස හතරක්, හැම සතියෙම පැය භාගේ ගානේ බැලුවොත්… හරියටම පැය අටක් ඌව අපේ ඔෆිස් එකේ රඳවගෙන පොරගේ වැඩ පාඩු කරන්න ඕනේ…!

පස්සේ ඔන්න ට්‍රේනින් එක ඉවර වුනාම මූ එනවා මාර හදිස්සියෙන් වගේ එලියට යන්න. ඒ එන කොටම තව  කට්ටියක් සෙට් කරා පැකේජ් ගැන අහන්න. ගෑණු ළමයිම පස්දෙනෙක්. දන්නවනේ ඉතිං ගෑණු ළමයි පස් දෙනෙක් බඩු ගන්න ගියාම තියෙන සැප. පස් දෙනාටම එකපාර උත්තර දෙන්න ඕනේ… හැම දෙයක්ම විස්තර කරන්න ඕනේ… හැම පැකේජ් එකක්ම අනිත්වා එක්ක සසඳන්න ඕනේ… වැඩ කීයක්ද… කොහොමහරි එතෙන පැය දෙකයි… පොරට දවල්ට කන්නවත් විවේකයක් නෑ…!

අපෙන් නැති වුන පැය අටට තව පැය දෙකක් අඩුයි. කමක් නෑ බුවා කාලත් නෑනේ කියලා හිඟ පැය දෙක කපා හැරලා යන්න දුන්නා. පවු… පොර ගියා නෙමේ දිවුවා…!

ඊට පස්සේ සතියෙත් ඉතිං මං බලන් හිටියා පුරුද්දට වගේ බුවා එයි කියලා… ම්හු…. දැන් බුවාව අන්තිමට දැකලා මේ යන්නේ තුන්වෙනි මාසේ මැද හරිය…! මං හිතන්නේ පොරට අපේ කම්පැනියට වඩා හොඳ කම්පැනියක් හම්බුවෙන්න ඇති ඒකයි…! – at පස්සේ හිතුනා ට්‍රේනින් එකට නොදා තව ගෑණු ළමයි පස් දෙනෙක් සෙට් කලානම් පැය අටම කවර් කරගන්න තිබුනා කියලා. දහයකට එකපාර උත්තර දෙන්න වෙනවා කියන්නේ….!!!

මොනව ප්‍රවර්ධනය කරත් මිනිස්සුන්ට අවශ්‍යතාවයක් නැත්තං ඒවා බලෙන් ඇඟේ ගහන්න හොද නෑ… ඒ වගේම එක පාරක් දෙපාරක් එපා කිව්වම ඒක තේරුම් අරගන්න ඕන “මුංට මේක ඇත්තටම එපා තමා“ කියලා හා මගේ කාලය නිකං වැයවෙනවා කියලා…

තව පොරක් එනවා යූ.පී.එස් විකුණන්න… ඌ ගැනත් හිතලා බලන්න ඕනේ…!

 

 

%d bloggers like this: