පාරාදීසයේ ඉතුරු ටික…

new

පරිසරයට ආදරේ කරන මිනිස්සු දෙන්නෙක් පාරාදීසයක් හොයාගත්ත කතාව කලින් ලිපියෙන් කිව්වනේ. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් නැෂනල් ජියෝග්‍රැෆි 2012 දෙසැම්බර් කලාපයෙන් ලෝකයට කියලා තියෙනවා. ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියාව ආශ්‍රිත ප්‍රදේශවලින් තමා මේ පාරාදීසය හොයගෙන තියෙන්නෙ. කියවන්න කැමති කෙනෙක්ට මේ ලින්ක් එකෙන් නැෂනල් ජියෝග්‍රැෆි සඟරාවේ අදාල පිටුටික විතරක් ඩවුන් කරගන්න පුළුවන්. මං සිංහලට හරවලා ඇත්ත විස්තරේ කනවට වැඩිය හොඳයිනේ තියෙන විදියටම බැළුවනම්…!

පාරාදීසය සොයාගෙන ඇත…

19 වන සියවසේ ඇල්ෆ්‍රඩ් රසල් විසින් ගවේෂණය කරන ලද පක්ෂියෙක්

19 වන සියවසේ ඇල්ෆ්‍රඩ් රසල් විසින් ගවේෂණය කරන ලද පක්ෂියෙක්. අළුතින් සොයාගත් පරාදීසයේ ඌ තාමත් ජීවත් වෙනවා.

පාරාදීසය කිව්වම අපිට හිතට නැගෙන්නේ උස ගස් කොලන් වලින් පිරිච්ච, දිය ඇලි ගංගා හැම තැනම ගලාගෙන යන ලස්සන කුරුල්ලෝ එහෙ මෙහෙ පියාඹන අමුතුම ආකාරයක ජෛවීය කලාපයක්. මිනිසුන් විසින් පරිසරයට හානි කරන්න කලින් සමහරවිට එහෙම ලස්සන තැන් තියෙන්න ඇති මේ මහ පොළොව මතම. ඒත් දැන් නම් තියෙනවද කියන්න අමාරුයි.

ඉතිං අන්න ඒ නැති වෙලා ගිය පාරාදීසයක හෝඩුවාවක්වත් හොයන්න හිතාගෙන හරියටම මීට අවුරුදු 9කට කලින් උද්යෝගීමත් පරිසරයට ආදරය කරන මිනිසුන් දෙදෙනෙක්, තරමක් වෙනස් විදියේ ගවේෂණයක් පටන් ගත්තා.

ටිම් ලාමන් හා එඩ්වින් ස්කෝල්ස්  නම් එම පිරිසර වේදීන් දෙදෙනා විසින් පටන් ගත් ඒ ගවේෂණය වූනේ පුරාවෘත්ත හා සඹැඳි පාරදීසයන්හි වෙසෙතැයි සැලකුනු පක්ෂීන්ගේ ඇත්ත නැත්ත සෙවීමයි. ඉස්සර ලියවුන පොත් වල අඩංගු පක්ෂීන් එකෙක් හෝ ජීවත් වෙතැයි කියන විශ්වාසයෙන් පටන් ගත්ත මේ ගවේෂණය යම් කෙනෙකුට විකාරයක් ලෙස පෙනුනත් පරිසරය ගැන හිතන අයට නම් සුභ ආරංචියක් සමගින් ගවේෂණය සාර්ථකව අවසන් වෙන්නේ ගවේෂණ වාර 18කදී 39,000 කට අධික ඡායාරූප ප්‍රමාණයක් එකතු කරගනිමින්. සියළුම විස්තර නැෂනල් ජියෝග්‍රැෆි වෙතින්.

පැතලි බඳුනේ කුරුගස් කලාව…

අහලා ඇතිනේ බොන්සායි කියලා කලාවක් ගැන. කිසිම ගැටළුවක් නෑ…. ඒක සුපිරිම කලාවක්. බොන්සායි කලාවේ ආරම්භය අපි දන්න විදියට ජපානය වුනත්, ඇත්තටම පටන් ගැන්ම සනිටුහන් වෙලා තියෙන්නේ චීනයේ. ඒක වැඩි දියුණු වෙලා ලෝකෙට පැතිරිලා තියෙන්නේ ජපානෙන්.

බොන්සායි කියන එකේ තේරුම වෙන්නේ පැතලි බඳුනක හිටවූ කුරු ගස යන්නයි. ලංකාවට බොන්සායි කලාව හඳුන්වා දීලා තවම අවුරුදු 30ක් විතර වුනාට ජපානේ හා චීනයේ මේ කලාව පැවත එන්නේ අවුරුදු දහස් ගානකට කලින් ඉඳලලු. ඒ වගේම පරම්පරා ගානක ඉඳන් රැකබලාගෙන එන ශාක තියෙනවලු ජපානයේ හා චීනයේ.

ලංකාවේ ගසක්…

ඉතිං පහුගිය සෙනසුරාදා, ලංකාවේ ඉන්න බොන්සායි ලෝලීන්ගේ බොන්සායි පැල ප්‍රදර්ශනයක් පැවැත් වුනා කලාභවනෙදි. මාත් ගියා බලන්න. ඇත්තටම අමුතු අත්දැකීමක්. ලොකුවට ලවුඩ් ස්පීකර්ස් බැඳගෙන කනක් ඇහෙන්නෙ නැතිවෙන්න තියෙන මල් ප්‍රදර්ශන වලට වඩා අළුත් අත්දැකීමක් ඒක. කිසිම සද්දයක් බද්දයක් නෑ තමන්ගේ පාඩුවේ පැල එකින් එක බලමින් ලොකු වින්දනයක් ලබන්න පුළුවන් වුනා. අපි දකින මහ ලොකු ගස් පුංචි කරලා ඒවාටම ආවේනික බඳුන් වල හිටවලා තියෙන්නේ හරියට මැජික් එකකින් කුඩා කරලා වගේ.

නිකං හිතන්න බෝ ගහක කොලයක් කොයි තරම්ද..! මං දැක්ක බොන්සායි කරපු බෝ පැලේ ලොකුම කොලේ ඇති රුපියල් දෙකේ කාසියක් තරම් විතර. ඊට පස්සේ අඩි හතලිහක් පහනක් විතර උසට හැදෙන දිවුල් ගහක් පරිමානයෙන් කුඩා කරලා තියෙනවා අඩියක් විතර උසට. ඒක හරි අපූරු කලාවක්…! මං ගොඩක් විස්තර ලියන්නේ නෑ… මෙන්න ශ්‍රී ලංකා බොන්සායි සංගමයේ වෙබ් ලින්ක් එක. එතනින් හැම දෙයක්ම දැන ගන්න පුළුවන්. ඒ වගේම එතෙන්ට යන්න කම්මැලි නම් මෙන්න ඒ වෙබ් අඩවියෙන් දෙන සිංහල භාෂාවෙන් සැකසුන බොන්සායි ක්‍රමය පටන් ගැනීමේ සිට අළුතෙන් පැලයක් සිටවා සාත්තු කර සාර්ථක පැලයක් තනා ගැනීම දක්වාම සරලව ලියැවී ඇති ලිපියේ pdf ෆයිල් එක. ඩවුන් කරගෙන හිමීට කියවන්න…!

මේ ප්‍රදර්ශනය ගැන මං දැනගත්තේ අරුණි අක්කා මගේ කලින් ලිපියකට (පස් නැතුව මල් වැවිල්ල) දාපු කමෙන්ට් එකකින්. එදා ඉඳන් බලාගෙන ඉඳලා, ඉඳලා ගිය සෙනසුරාදා තමා පළවෙනි වතාවට සජීවී බොන්සායි පැල දැකගන්න ලැබුනේ. ඉතිං… ලංකාවේ බොන්සායි සංගමය ගැන දැනුම් දුන්නට අරුණි අක්කට ගොඩක් ස්තූතියි. ඒ වගේම මේ ප්‍රදර්ශනය ගැන කලින් නොකිව්වේ, මේක කොහොම එකක් වෙයිද කියලා දන්නේ නැති නිසයි. එක පාරක් වත් දැකලා නැති දෙයක් ගැන මට බොරුවට වර්ණනා කරලා කියන්න බැහැනේ. දැන් ඉතිං දන්න නිසා බය නෑ… ඒ ප්‍රදර්ශනේ ඇත්තටම මරු..! ආයෙම ප්‍රදර්ශනයක් තියෙන්නේ ලබන අවුරුද්දේ. එතකන් ඉතිං ඉවසගෙන ඉන්න වෙයි කුරුගස් කලාවට කැමති අයට….!!!

පස් නැතුව මල් වැවිල්ල…

මල් වැවිල්ල ගැන වැඩිපුරම දන්නේ ගෑණු ළමයි. ඒ පස් නාගෙන, මඩ ගාගෙන, බිම කොටාගෙන මල් වවන හැටි. මේ කියන්නේ අතේ පස් අංශුවක් වත් ගාගන්නේ නැතුව මල් වවන විදියක් ගැන. මට මේක මුලින්ම සෙට් වුනේ ගිය නොවැම්බර් වල තිබුන කලවම් ප්‍රදර්ශනේකින්.

ගෑණු ළමයිනම් දන්නවාත් ඇති මේ ක්‍රමය. ඒත් නොදන්න අයත් ඇතිනේ.

මේ ක්‍රමය ගොඩක් වෙලාවට යොදාගන්නේ ගෘහ අලංකරණ සඳහා තමයි. ඒ වගේම කාර්යයාල වල ඇතුලත අලංකාරය පිණිස තියන ශාක වලට පස් වලින් තොර පස් වලින් කෙරෙන කාර්යයට සමාන කාර්යයක් කරමින් විසිතුරුව තියාගන්න.

පස් වලින් ගොඩක්ම කෙරෙන්නේ ගසකට අවශ්‍ය ඛනිජ ලවන වගේම ජලයත් ගසට ලබාදෙන එක. අර මතක නැද්ද ඉස්සර කුකුලු සායම් වලට කූඩළු පැල දාලා මුල් දිගේ ජලය පත්‍ර කරා යන හැටි ඉගෙන ගත්තා…! අන්න ඒ වගේම තමා මේකත්. මේ ජලය හා පස් වෙනුවට යොදා ගන්න ද්‍රව්‍යයට කියන්නේ “ක්‍රිස්ටල් සොයිල්“ කියලා. සිංහලෙන් කිව්වොත් විනිවිද පෙනෙන පස්…! අර ජෙලි තියෙන්නේ අන්න ඒ වගේ.

මේක කඩෙන් ගන්න කොට තියෙන්නේ පුංචි බෝල විදියට හෝ වෙනත් විවිධ හැඩති කැබලි විදියට. ඊට පස්සේ මේවා අරගෙන පැය 5ක් 6ක් විතර වතුරේ තියන්න ඕනේ. වතුර අනුපාතය විදියට තිවුනේ එකට අට… පත අට එකට හින්ඳනවා වගේ වැඩක්. අනේ මන්දා මම නම් ඔය අනුපාත බල බල හිටියේ නෑ, පැකට් එක කැඩුවා දැම්මා පොඩි වීදුරු භාජනේකට. ඊට පස්සේ පැය දෙක තුනක් යද්දී අර පුංචි වීදුරු බෝල වගේ එව්වා වතුර උරාගෙන  පිම්බිලා… පැය හයක් යද්දී තිබුනා වගේ දහ ගුණයකට වැඩිය ලොකුයි.

ඒ ටික එහෙම පිම්බෙද්දී, මොකක් හරි ලස්සන පැලයක් හොයාගෙන ඒකේ මුල් තියන්න ඕනේ පැය විසිහතරක් හෝ ඊට වැඩි කාලයක් වතුර භාජනයකට දාලා. එහෙම කරන්නේ පැලය ජලීය පරිසරයකට හුරු කරන්නලු. ඉතිං මුලින්ම පැලය හොයාගෙන ඒක වතුරට දාලා පැය දහයක් පහලොවක් ගියාම තමා ක්‍රිස්ටල් සොයිල් ටික වතුරට දාන්න ඕනේ…! ඊට පස්සේ පැලයයි, ක්‍රිස්ටල් සොයිල් ටිකයි සුදානම් වුනාම, ලස්සන වීදුරු භාජනයක් අරගෙන ඒකේ පතුලට එක එක පාටවලින් ක්‍රිස්ටල් සොයිල් දාලා ඊට පස්සේ පැලයත් දාලා, පැලය වටේටත් ක්‍රිස්ටල් සොයිල් දානවා. මම නම් කරේ එහෙම. නෙට් එකේ හොයද්දි නම් එක එක රටා වලට ක්‍රිස්ටල් සොයිල් දාලා පට්ට ලස්සනට සරසපු පැලත් තිබුනා.

මට මේක ගත්ත තැනින් හම්බුන විස්තර පත්‍රිකාවනම් මේ වෙද්දි හොයාගන්න නෑ. ඒත් ඔය මල් පැල ප්‍රදර්ශන තියෙන තැන වල බඩු ඇති ඕනේ තරම්. ලොකු ගානක් වෙන්නෙත් නෑ. ගොඩක්ම පාවිච්චි කරන්නේ නිවාස අභ්‍යන්තර සැරසුම් වලට තමා. ලොකුම​ දේ තමා සෑහෙන කාලයක් යනකං පැලයට වතුර දාන්න ඕනේ නැති වීම. වතුර ටික පැලයෙන් උරාගෙන හා වාෂ්ප වෙලා යද්දි ක්‍රිස්ටල් සොයිල් ටික ආයෙමත් පුංචි වෙනවා. එතකොට ආයෙමත් වතුර ටිකක් දැම්මම හරි. එහෙම ඕනේ වෙන්නෙත් මාස ගානකට සැරයක් විතරයි.

මගේ මල් පැලෙත් මේ වෙද්දි නියමෙට තියෙනවා. හැබැයි එක පොටෝ එකක්වත් දාන්නේ නෑ… ඇස් වහ කටවහ වැදුනොත් හෙම…!!!

මල් වැවිල්ලට ගෑණු ළමයි කප් ගහලා හිටියට මේක හරියට කරගත්තොත් ඒ කප් කැලේ. මොකද මල් හා අනෙකුත් ශාක විශේෂ වැවීම ගැන හොඳටම උනන්දු වෙන්නේ පිරිමි අය කියලා ලොකු ලොක්කෝ හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ගෑණු ළමයි 100ක් විතර මල් වවද්දි 20 විතර සිරාවටම ඒ වැඩේ කරනවා නම්, පිරිමි 5 දෙනෙක් අතරේදි පිරිමි 4 දෙනෙක් සිරාවටම මල් වැවිල්ල කරනවලු. අයිස් ගහන්නේ එකයිලු. ගෑණු ළමයින්ගෙන් සීයට අසූවක්ම අයිස් පාරලු.

ඇත්තටම ගෙයක් ඇතුලේ වගේම ඔෆිස් එකක වුනත් කිසි බයක් නැතුව, වැටිලා බිඳුනත් වැඩි අවුලක් නැතුව ලස්සන මල් පැලයක් තියාගන්න හොඳම ක්‍රමයක් මේක…!

සෙනසුරාදට නිවාඩුද…? උඳුපියලිය කුමාරි….

ඔය ගෑණු ළමයි ඉන්නවනේ… එයාලා ඉතිං සතියේ දවස් පහේම එක්කෝ ස්කෝලෙ යනවා, එහෙමත් නැත්තං රැකියාවට, එහෙම්මත් නැත්තං ක්ලාස් යනවා… හිටි ගමන් එක් කෙනෙක් දෙන්නෙක් රෝන්දේ යනවා. රෝන්දේ තියෙන්නේ කොහෙද කියලනම් මං දන්නේ නෑ…!

ඉතිං සෙනසුරාදා, ඉරිදා තමා ගෙදර ඉන්නේ. එදාට කරන්නේ පස්ස පැත්තට ඉර වැටෙනකං දොයියනවා. ඒකට අපි… අනිත් දවස් පහටම කලින් අපි සෙනසුරාදට නැගිටිනවා. අපි මෙච්චර කල් දැනන් හිටියේ ගෑණු ළමයි මල් වගේ කියලනේ. ඒක ඇත්ත තමා ඉතිං. සෝස පාට තොල් පෙතියි, කහ පාට කන් පෙතියි… තව තව එව්වා මෙව්වා ගොඩකුයි…! අපි හිතන් හිටියට කෙල්ලෝ හරි ලස්සනයි කියලා, බලාගෙන ගියාම කෙල්ලන්ගේ ඇති ලස්සනක් නෑ… තනිකරම මල් වල කලර් ෆොටෝ කොපියක් ගහලා වගේ… බලන්න ලස්සනයි…!!!

හැබැයි ගෑණු ළමයි හිතක් පපුවක් නැතුව හැසිරෙන විදිය කොපි කරලා, දැන් දැන් ගස් වල හැදෙන මලුත් එහෙම්ම හැසිරෙනවා. අයින්න ඕනෙ ටොක්කක්…! පහුගිය සති කීපයේම මේ චූටි මලක් නිසා මං පට්ට කට්ටක් කෑවා. අම්මපා… අර යෝදි ක්ලාස් ගිහිං අම්මා එක්ක නැලවි නැලවි එනකං වත් මං එච්චර වෙලා කට්ටක් කාලා නැතුව ඇති.

ඔෆිස් එකේ මිදුල පුරාම උඳුපියලිය තියෙනවා. සාමාන්‍යයෙන් අපි දකින උඳුපියලිය මල් දම් පාට වුනාට. මේවා ආනයනය කරපු උඳුපියලිය විශේෂයක්… උදේ පාන්දරට චූටි කහ පාට මල් හැදිලා මාර ලස්සනයි. අපිට ඉතිං ඔය සමහර මැඩම්ලට වගේ රෝස මල් වතු නෑනේ.(මේක පෙන්නේ යාළුවෝ කීප දෙනෙකුට විතරයි. අසරණ මං මොනා කරන්නද ඒ මැඩම් ප්‍රයිවසි හදලා තියෙන හැටිනේ) තියෙන එකම එක තමා මේ උඳුපියලිය මල් වත්ත. ඉතිං හැමදාම, ඒ කියන්නේ සතියේ දවස් පහේම මේ මගුල දැකලා දැකලා, එකෝමත් එක දවසක් දා හිතක් පහල වුනා චූටි පො‍ටෝ කෑල්ලක් ගන්න. ඉතිං පොටෝ ගහන මෙව්වා එක ඔ‍ෆිස් ගෙනියන්නේ සෙනසුරාදා විතරක් නිසා, මං හිතන් හිටියේ ලඟම එන සෙනසුරාදට, කහපාට මල් කුමාරිව මගේ වෝල් පේපර් එකට දාගන්න පුළවන් වෙයි කියලා.

ඉතිං ඊළඟ සෙනසුරාදා වැ‍ඩේට ලෑස්ති වෙලා ගියාට, එකම මලක් වත් නෑ… ‍ඔක්කොමලා නිදි. මං ඉතිං පැයක් බැළුවා… දැන් නැගිටියි… දැන් නැගිටියි කියලා… මොන… කම්මැලි කෙල්ලෝ වගේම තමා. ඉර එලිය වැටිලත් සෙනසුරාදා නිසාද කොහෙද ඇහැක් ඇරලා බලන්නේ නෑ…!

ඔය අස්සේ ඩැඩීලගේ මේ සින්දුවත් මතක් වුනා…
http://www.maduragee.com/storage/mp3/daddy_mage_massina.mp3%20
ඊට පස්සේ… හ්ම් කමක් නෑ… උඳුපියලිය කුමාරිල ඊයේ පාටියකට ගිහිං මහන්සි හින්දා නිදිද දන්නෙත් නෑනේ… අනික මේ ලැබුවේ මේ මහා බද්‍ර කල්පයේ අන්තිම සෙනසුරාදාත් නෙවෙයිනේ… තව සෙනසුරාදාවල් එනවනේ කියලා හිතාගෙන ඊළඟ සෙනසුරාදා වෙනකං වැඩේ කල් දැම්මා. පවුනේ…

ඉතිං ඒ සතියෙ දවස් පහත්, මල් දිහා බල බල හූල්ල හූල්ල හිටියා. හ්ම්… ඕං ආවා සෙනසුරාදා… උඳුපියලියගේ *!(^^!<%$ !*^?$(* *&!_*!^* …. එදත් මුං ටික දොයි…! අනේ මන්දා අපේ කවුරු හරි එකෙක් කියලා යනවද මන්දා සිකුරාදා හවසට “හෙට සෙනසුරාදනේ… ඒක නිසා ඇතිවෙන්න නිදා ගන්න” කියලා. අපේ පුතාලව විශ්වාස කරන්න බෑ… උං දෙකක් නවා ගත්තම ගස් වලටත් ලව් ටෝක් දාන පොරවල්නේ… නැත්තං කොහොමද මේ මල් ටික සෙනසුරාදට විතරක් නොපිපෙන්නේ…

ඇත්තටම සෙනසුරාදට නිවාඩුද… උඳුපියලිය කුමාරි..?

කරපිංචා කොලයක් මතක කර දුන් කතාවක්…

මේ කතාව මතක් වුනේ ඊයේ දවාලේ ඔෆිස් එකේ කැන්ටිමෙන් ගත්ත කෑම එකේ තිබ්බ කරපිංච කොලේ දැක්කම. මුළු බත් එකටම තිබුනේ එකම එක කරපිංචා කොලයයි…! අජිනොමොටෝ සහ නොයෙකුත් විදියේ රස කාරක දාලා සුවඳ විහිදෙන්න කෑම හැදුවට කරංපිචා කොල එක්ක රම්පේ කෑල්ලක් හොද්දේ ඉදිලා එන සුවඳ නම් කවදාවත් දැනෙන්නේ නෑ.

ඉතිං අර මට හම්බුවෙච්ච එකම එක කරපිංචා කොලේ ති‍යෙනවනේ… ඒකත් හරි ලස්සන එකක්. කොලේ මැද තද කොල පාටයි… වටේටම දුඹුරු පාටයි. හරියට නිකං ක්ෂුද්‍ර බතික් කලාවෙන් හැඩ කරලා වගේ. දැන් අහන්න එපා ක්ෂුද්‍ර බතික් කලාව කරන්නේ කොහෙද කියලා…. දැන ගන්න ඕනේම නම් ලඟම තියෙන ගහක කොලේක හැඩ වැඩ දාන පනුවෙක්ගෙන් අහන්න…! ඌට කතාකරගන්න ඇහැක් වුනොත් කියලා දෙයි නියමෙටම.

දැන් ඉතිං කතාව මෙහෙමයි. දැනට අවුරුදු කීපයකට කලින්… අපේ අම්මගේ යාලුවෝ කට්ටියක් එක්ක එයාලගේ පවුලේ සාමාජිකයොයි අපේ පවුලේ හතර දෙනයි ගියා ට්‍රිප් එකක්. ඔක්කොමලා ඉන්න ඇති පහලොවක් දාසයක් විතර. ගියේ හරියටම කොහෙද කියන්නනම් මතකයක් නෑ… ඒත් කරපිංචා සීන් එකට අදාල ගමන ගැන නම් මතකයි. අපි ඔය කොහෙන් හරි දවල්ට කාලා, වයඹ  පලාතේ (මට ෂුවර් නෑ උතුරු මැදද කියලත්) තියෙන හස්ති කුච්චි විහාරය බලන්න යමින් ගමන් තමා හිටියේ.

ඉතිං ඔය අපේ වෑන් එලෝගෙන ගිය ඩ්‍රයිවර් මහතා ටිකක් විතර බේබද්දා. මූ දවල්ට කාලා පොඩි ෂොට් එකක් දාගෙන හිටියේ. මගක් දුරට ගිහින් ඉස්සරහ සීට් එකේ හිටිය අංකල් කෙනෙකුට පොර කියනවා,

මහත්තයා… හස්ති කු…කු….කු….කුච්චි යන්න ෂෝ… ෂෝ….ට් කට් එකක්..ක්…ක් මං දන්නවා….. කියලා. ආයේ ඉතිං අපේ අයත් ෂෝට් කට් , නොමිලේ කියන වචන දේවත්වයෙන්නේ සලකන්නේ. ඉතිං කට්ටියම හා හා… එහෙනම් ෂෝට් කට් එකෙන් යමුයි කිව්වා. පස්සේ ඉතිං අපි කවුරුවත් නොදන්න බොරළු පාරකට, අපේ ඩ්‍රැයිවර් මහත්තයා වෑන් එක හැරෙව්වා. අප්පේ ඒ පාර මතක් වෙද්දී නම් වෙලාවකට බයත් හිතෙනවා. තනිකරම දුඹුරු පාටයි. පාර විතරක් නෙමේ දෙපැත්තේ තියෙන ගස් වැල් හිටන්ම. ඈත්තටම ඒක පටු පාරකුත් නෙමේ, දැන් තියෙන සමහර මහා මාර්ග වගේ වාහන දෙකක් යාන්තමින් මාරුවෙන්න පුළුවන් තරමේ පාරක්. අපිට කලින් ආපු ගියපු වාහන වල ටයර් කට්ට රටා ටිකත් අර දූඹුරුම දුඹුරු පාට පාරේ දූවිලි වල සටහන් වෙලා තිවුනා. ඔහොම යනවා යනවා ඉවරයක් නෑ. ඊටත් පාර දෙපැත්තම තනිකර කැලයක්. මුළු පාරම මහ දාවලේ උනත් තරමක් අඳුරු ගතියක් තමා තිබුනේ.

මතක විදියට අපි විනාඩි දහයක් විතර තනි කෙලින් පාර දිගේ දූවිලි කාගෙන යන්න ඇති. පස්සේ ටිකකින් ඩෝප් ඩ්‍රයිවර් නැවැත්තුවා වාහනේ. ආයෙ ඉතිං අයිනකට කරන්න කියලා දේකුත් නෑ. ඒ පාර මෑන්ස් පිටි පස්ස හැරිලා කියනවා….

මහත්තයා පාර වැරදිලා වගේ…. අපි තව ටිකක් ඉස්සරහට ගිහිං බලමුද, නැත්තං හරෝගෙන පුරුදු පාරෙන්ම යමුද…? කියලා….

වෙලාවට පොර ඇරෙන්න අපේ වෙන කිසිම කෙනෙක් බීලා හිටියේ නෑ. නැත්තං ඩ්‍රයිවර්ට තාම ගහනවා අර මහ කැලේ මැද්දේ පෙරලගෙන. පස්සේ ඉතිං අපේ ලොකු කට්ටිය කිව්ව තව ටිකක් දුර ගිහිං බලමු කියලා. ඊට පස්සේ ඔන්න ආයෙම යනවා. ටික දුරක් යද්දී… ආයෙම ඩ්‍රයිවර් කියනවා…,

ආ… පාර හරි වගේ මහත්තයා අර වාහන වගයක් තියෙන්නේ නවත්තලා… කියලා.

ඊට පස්සේ ඉතිං ඒ හරියට කිට්ටු කරලා බලද්දී තිවුනේ හෙන තඩි කැන්ටර් පහ හයක්. පස්සේ අපේ තාත්තලා ගිහිං එකේ අයගෙන විස්තර ඇහුවා පාර ගැන. ඒ ටික වෙලාවෙදී තමා මම හොඳම සීන් එක දැක්කේ….!

අර විසාල කැලෑ මැද්දේ ඉඳන් ගෑණුයි පිරිමියි කට්ටියක් එනවා මොනාදෝ මන්දා ගස් වගයක් රෝල් වෙන්න ඔතලා ඔලුව උඩ තියාගෙන. ඒවා සෑහෙන බර පාටයි. මං මුලින්ම හිතුවේ හොරෙන් රොකට් අදිනවා වෙන්න ඇති කියලා. පස්සේ බැලින්නම් ඒ කරපිංචා. මිනිහෙක් තියා කපුටෙක්වත් නැහැයි කියලා හිතන්න පුළුවන් කැලෑවේ ඉඳගෙන මිනිස්සු හත් අට දෙනෙක් කරපිංචා මිටි ගෙනාවා හිටිය මිනිස්සු ගානටම. ගෙනාපු ගමන් සස්….. ගාලා වාහන යන පාරේ තියෙන දූවිලි ගොඩට අතෑරියා. හරියට ලොකු ගලක් වතුරට වැටුනම වතුර දෙපැත්තට විසි වෙනවා වගේ, ඊටත් වඩා නියමෙට කරපිංචා මිටි වටේට ටිකක් ඝනට මීටර් තුන හතරක් විතර ලොකු දූවිලි වලාවකින් වැහැලා ගියා. ඊට පස්සේ ආයෙම අර සෙට් එක කැලෑට රිංගුවා.

පස්සේ ඉතිං ඔය ටික වෙද්දී අපේ තාත්තලා පාර ගැන දැන කියාගෙන ඉවරයි… කොහොමහරි ඩෝප් ඩ්‍රැයිවර්ට පින් සිද්ධ වෙන්න අපිට ආයෙ හ‍රෝගෙන යන්න වුනා උගේ පුරුදු පාර හොයාගෙන…

ඒ යන ගමන් අපේ අම්මගේ යාළුවෙක් කියනවා මට ඇහුනා…,

අපි කනවා ඇත්තෙත් ඔය ජරාවනේ… නේද රේණු…? කියලා.

පස්සේ අපේ තාත්තා තමා කිව්වේ ඒ ඔරිමජිනල්, ව්‍යාංජන වලට දාන කරපිංචා නෙවෙයි වල් කරපිංචා කියලා. එව්වා පොඩියට මිටි බැඳලා අහල පහල හො දුර බැහැර හෝ පොලවල් වලට යවනවා ඇති කිව්වා. මට ඉතිං ඒක එච්චර ගානක් වුනේ නෑ… අපේ ගෙදර ඒ වෙනකොට කොහොමත් කරපිංචා ගහක් තිබ්බ නිසා ඒකෙන් තමා අම්ම කරපිංචා ඕනේ උනාම කඩා ගත්තේ…

ඊට පස්සේ එදාට පස්සේ ඊයේ තමා කරපිංචා ගැන මට මතක් වුනේ. ඇත්තටම අපි නොදන්නව වුනාට කරපිංචා විතරක් නෙමේ අනිත් එලෝලුත් මෙහෙම වෙන්න බැරිද කියලා මට හිතෙනවා. ඒත් ඉතිං එහෙමයි කියලා නොකා ඉන්නත් බැහැ, අපේ වතු වල එලෝලු වගා කරන්න ඉඩත් නෑ. ඒක නිසා ඉතිං වෙන විකල්පෙකුත් නෑ වගේ… ඌරන්ට මොන සෞඛ්‍යයද කියලා අහුවෙන දෙයක් පුළුවන් තරමින් පිරිසිදු කරලා කන එක තමා කරන්න වෙන්නේ. ඇයි දෙයියනේ කංකුං…. කංකුං හැදෙන්නම කුණු කාණු වලනේ… තෙලෙන් බැදලා ගත්තම ඔය තියෙන්නේ යසට….

තවත් දෙයක්… නුවර එළිය පැත්තේ ජීවත් වෙන අය නම් මට හිතෙන්නේ ඒ අතින් වාසනාවන්තයි. මොකද තමන්ගෙම වත්තේ නැතත් අහල පහල වත්තකින් හරි පිරිසිදු එලෝලු ටිකක් ගන්න හැකියාව ඒ අයට තියෙනවා…!

දැන් ඉතිං කරපිංචා කතාව ඉවරයි…. මේ වෙනින් එකක්…

ඉතිං අන්තිමටම නුවර එළියකුත් මේකට එල්ලුවේ, මං හෙට ඉඳන් දවස් දෙකක් විතර ඉන්නේ නුවර එළිය ආශ්‍රිතව. ඒ අපේ ඔෆිස් එකේ වාර්ෂික විනෝද චාරිකාවට පිං සිද්ධ වෙන්න. ඉතිං ඒ යන පාරෙදි පේන එලෝලු ගොවිපලවල් දැක්කම ගිය පාර වගේ මේ පාරත් කටට කෙල ටිකක් උනන එක නම් නවත්තගන්න බැරිවෙයි. ඇත්තමයි වටේට වැටවල් නැත්තං කැරට් පාත්තියකට බැහැලා කැරට් අලයක් කන එක කනවා මේ පාරනම්….! හොරෙන්, අමුවෙන්, නැවුම්ව කන දේ කොහොමත් රසයිනේ….(අත්දැකීම් ඇත්තෝ දන්නවා ඒ බව…)

කෙලී දැන් ටිකක් ලොකුයිනේ…. අපේ අම්මලාත් කැමති වෙයි….!

නිවාඩු දවසට මට තියෙන එකම රාජකාරිය තමයි මගේ බයිසිකලේ කරගෙන ගම වටේ ඇවිදින එක. ගම වටේ කිව්වට ඉතිං ගම මැද්දෙන් පාරවල් දෙක තුනකින් දාගෙන යන්නේ මගේ යාළුවෙක්ගේ ගෙදරකට. එහෙ ගිහිං ඌත් එක්ක කයියක් දාගෙන ඉන්න ගමන් තමා මට මේ කෙල්ලව බලන්න යන්න හිතුනේ…. මං මුලින්ම යද්දී නම් කෙල්ල හෙන පුංචියි. ඒ දවස් වල ලඟට ගිහිං ෆොටෝ එකක් එහෙම ගහගෙන ආවට, එතනින් එහාට දෙයක් කරන්න ගියේ නෑ… අඩුම ගානේ කොන්ඩෙන් අදින්නවත් ගියේ නෑ… කියන්න බැහැනේ කවුරු හරි බලං ඉඳලා බාල අපචාරයක් කරයි කිව්වොත් එහෙම කෙලීගේ දෙමව්පියෝ එයි මාව කන්න… කෙල්ලෙකුට ටිකක් ලොකු වෙලා පාට වැටිලා හැඩවෙන කං ඉන්නේ නෑ… එනව මෙතෙන මගුල් නටන්න කියලා….ඒක නිසා ඉතිං එදා මං ඉවසලා හිටියා.

ඒත් ඒ කාලෙදීම ඒකිගේ අනාගතේ ගැන දැනගත්ත දෙමව්පියෝ කෙල්ලට ආරක්ෂකයෙක් දීලා තිබුනේ. මොකද අම්මලා තාත්තලාට තේරුනා කෙල්ල ලස්සනට රත්තරං පාටට පාට වැටිලා, කොන්ඩෙත් දිගට වැවිලා ලස්සන වෙලා… දෙමාපියන්ගේ මුළු අනාගතේම සාරවත් කරනවා කියලා. ඒ වගේම ඉතිං අනිත් අම්මලා තාත්තලාගේ වගේම ඒ දෙමහල්ලන්ගෙත් බලාපොරොත්තුව වුනේ කෙල්ලව හොඳට ආරක්ෂා කරාගන හොඳට කන්න බොන්න දීලා ආදරෙන් බලාගන්න එක තමා. ඒ නිසාම තමා ඔය නහර කාර එක එක අවිච්චියෝ , පොල්කිච්චෝ වගේ කුරුල්ලන්ගෙන් කෙල්ලව බේරගන්න කියලා ආරක්ෂකයෙක්ව දැම්මේ. උගේ වැඩේ කෙල්ල දිහා බලන් එකමයි. ආසාවට එක ඇහිපිල්ලමක් ගහන්නේ නෑ… වැස්සට තෙමුනත් අව්වට වේලුනත් ඒ ගොන් අලියා ඔහේ හිටගෙන කෙලීව මුරු කරනවා. කෙල්ල පුංචි කාලේත් මේ ආරක්ෂකයා කෙල්ල ගාවම හිටියට ඌටත් මොකද්දෝ අමුතු ලස්සනක් එකතු වෙලා මේ කෙලී දැන් ලොකු වෙලා පාට වැටිලා නිසා.

ඔය කොච්චර මුර කාවල් තිවුනත් ඉතිං කෙල්ලව බලන්න නං කාටවත් තහනමක් නෑ…

ඒත් ඉතිං ඔය එක එක නාටක රූකඩ බලන අපේ කොල්ලෝ මේ වගේ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ… ඒ වුනාට ඉතිං මං නම් එක හිතින් කැමතියි මේ කෙල්ලට. ලස්සන රත්තරං පාටට දිලිසෙන අපූරු කෙලි පොඩ්ඩ. බොරු කියන්නේ මොකටද කෙල්ලගේ ලඟින් යද්දී දැනෙන සුවඳට මාව මත්වෙලා වගේ යනවා. මේ ඊයේ පෙරේදා තිවුන ඉරිදා නිවාඩුවටත් ගිහිං මං කෙල්ලව බැළුවා. අම්මෝ… සතියෙන් සතිය පාට වැටෙනවා… ආසාවේ ‍බෑ… ඒකි ගාවට ගිහිං ඉන්න කොට දැනන සුවඳ නහය කඩාගෙන යද්දී මටම හිතෙනවා මං මේ ස්වයං වින්දනයක් ලබනවා නේද දෙයියනේ කියලා මේ කෙලී දිහා බලාගෙන කියලා.

ඔහොම ටික වෙලාවක් ඉද්දී හිත කියන්නෙම.. යන්න ගිහිං කෙලිගේ කොන්ඩෙන් පොඩ්ඩක් ඇදලා බලන්න කියලා. රත්තරං පාටට බිමට නෙමිලා තියෙන ලස්සන දැක්කම මගේ විතරක් නෙමේ, මේ ‍කෙල්ලගේ දෙමව්පියන්ගේ උනත් හිත ටිකක් ගැස්සලා නොගියනං තමා පුදුම.

මං කොන්ඩෙත් අතගාලා එහෙම යන්න ලෑස්ති වෙද්දිම, හිත කියනව ආයෙමත් හැරිලා ගිහිං කෙල්ලගේ සලකුනක් අරගෙන ගිහිං අම්මට පෙන්නන්න කියලා. අපේ අම්මනම් මේකිට අකමැති වෙන්නේ නෑ කියලා මං කොහොමත් දන්නවා…. මෙච්චර ලස්සන කෙල්ලෙකු‍ට අකමැති වෙන්නෙ මොකටද… ඒ පාර ඉතිං ඔක්කොම වැඩ පැත්තක තියලා ආයෙම ගියා කෙලී ගාවට. යද්දීම එනව පුංචි සුළං රැල්ලක්…ආව්…. පැද්දෙන ලස්සන. මේකි මට ගෙදර යන්න නොදී මාව වශී කරලා තියාගන්න හදනවද කොහෙද… එක එක නැටුම් පෙන්නලා…

එක පාරකට එක පැත්තකට යනවා, ඊළඟ සුළං රැල්ලට ආයෙමත් අනිත් පැත්තට යනවා. අනේ මන්දා මට නං දුකත් එකක් කොන්ඩ කෑල්ලක් කඩාගෙන ගෙනියන්න. ඒත් ඉතිං කෙල්ලව අම්මට පෙන්නනත් ඕනේ නිසා පුංචි කොන්ඩ කරලක් කඩා ගත්තා. අර අරක්ෂකයත් දන්නවා වගේ මං ‍මේකිට ආදරේ බව… ඒක නිසාම ඉතිං හිටිය තැනටම වෙලා බලාගෙන හිටියා. අනිත් එක ඔය ආරක්ෂකයට ඔතනින් හෙල්ලන්න බැහැනේ…

පස්සේ ඉතිං කඩා ගත්ත කොන්ඩ කෑල්ල පරිස්සමට උඩ සාක්කුවේ දාගෙන ගිහිං අම්මට පෙන්නුවම මේං තාත්තත් එනවා කෙලීව බලන්න. මං හිතන් හිටියේ තාත්තට පස්සේ කියනවා කියලා… ඒත් ඉතිං කොහෙද… තාත්ත ඉස්සර වුනානේ… කොන්ඩ කෑල්ල ගත්ත ගමන් ඇහුවේ… ඒ ළමයාගේ අම්මලා දන්නවද මේ කොන්ඩ කෑල්ලක් ගෙනපු එක කියලා. මාත් ඉති ගත් කටටම… නෑ… එයාලා පේන්න හිටියෙ නෑ… අර මහ ලොකු පඹයා විතරයි හිටියේ කිව්වා… පස්සේ ඉතිං කොහොම හරි දෙන්නම කෙල්ලට එක පයින් කැමතයි.

ඔක්කොමත් හරි අපේ අම්ම අන්තිමේ ගම කෑවා. මාව දාලා පිච්චිලා යන කතාවක් කිව්වා කෙල්ලගේ පින්තූර බල බල ඉඳලා…

බලන මාසේ දිහාවේ ගොයම් කපයි… දැං ඉතිං හොඳට පැහිලනේ…

ඒ කියන්නේ කෙල්ල තව සති දෙක තුනකින් ලොකු ළමයෙක් වෙලා, ඊට පස්සේ කවුරු හරි නගරේ ඉන්න මනමාලයෙක් ඇවිත් කැනදන් යනවයි කියලනේ. 😦 එවෙලේ ඉඳන් හිත නිකං කුනාටුවකට අහුවෙලා වගේ. අපේ ගමේදී නම් අපේ ගෙදර අයටත් ආරාධනා හම්බවෙනවා කෙල්ලව නාවලා ගෙට ගන්න දාට. එදාට නම් ඉතිං මල් හතයි.

රෑ වෙනකම්ම කමතට වෙලා ඉඳලා පහුවදා එලිවෙන්න කිට්ටුව තමා අපේ ගෙදර යන්නේ… ඒත් ඉතිං මේ කෙල්ලගේ මගුලට අපිට යන්න වෙන්නේ නෑ. අනික මේකි පිටගං යනකං අපි දන්නෙත් නෑ…. කමක් නෑ…. ඊට පස්සේ මාස දෙක තුනකින් තව කෙලි පැටික්කියක් එයිනේ…. එතකොටත් අර පඹ ආරක්ෂකයම ඉඳියි මයේ හිතේ ඒ කෙලීගේ ආරක්ෂාවට…!

%d bloggers like this: