කහ මල් වැල

නොනවතින මිනිස්-පරිසර තරඟයේ ප්‍රතිපලයක් විදියට මහ කැලෑ වල, රූස්ස ගස් වල එති එතී පොළොවේ සිට අහස සිඹින්නට වෙර දැරූ ඒ අලංකාර සපුෂ්ප ශාකය අන්තිමට නැවතුනේ මිනිස් ඇසුරේ මල් පෝච්චියක හෝ වැට ඉන්නකට හේත්තු වෙච්චි මල් පැලයක් විදියට. කොහෙන් කවදා රැගෙන ආවාදැයි නිච්චිතව කිව නොහැකි මුත්, උද්භිද විද්‍යාව හදාරන්නෙකුගෙන් අසා දැනගත් පරිදි කවුරුන් හෝ ස්වභව සෞන්දර්යට අධික ලෙස ලොබ බැඳගත්තෙකු විසින් වනයේ සිට මනුෂ්‍ය වාසයට ගෙනෙවිත් මහ කලක්ද ගතවී නැත. ඒත් ඉතාමත් සීමිත කාලයකදී ගෙවල් දොරවල, වැට අයින් වල තම කහ පැහැති ලාලිත්‍ය පතුරුවන්නට හැකි වූ මෙම මලට මමද පෙම් බඳින්නට විය. දුටු දුටු හැම කාලයකම මල් වැල කොල පාටින් හිස් නොවී තැන තැන පිපුන කහ පැහැති මල් වටා නටන මී මැස්සසන්ට, නමක් නොදන්නා හොට මඳක් වක්වූ කුරුල්ලන්ට බැඳුන හිතේ පැවති ලෝභකම අන්තිමේ නතර වුයේ එවන් මල් වැලකින් මල් අත්තක් අයිතිකරුගේ අවසරයෙන්ම මා සතු කරගත් පසුය.

ගෙනා දින සිට පැල වේදෝයි නොවේදෝයි සිතමින් කුඩා ඉටි බෑගයක ඉන්දවූ එය පවුලේ සියලු දෙනාගෙන්ම ආදර සත්කාර මැද ඉතාමත් සෙමෙන් නොනැසී පවතින්නට වූවත් ගස වැඩීමේ පෙරනිමිත්තක් නම් නොවීය. කෙසේ හෝ අන්තිමේ ඉතාමත් කුඩා අංකුරයකින් ලදැල්ලක්ව හටගත් වැඩීම තවමත් අවසන් වී නොමැත. පෙරදී අනුන්ගේ වැටවලදී දැකගත් කුරුලු – මීමැසි නැටුම් මේ වන විට මාගේ දෑස් මානයේද සිදුවන බැවින් ඒ චමත්කාරය කෙසේ නම් අමතක කරන්නද…

 උදේ හයහමාර පමන වන විට පැමිණෙන කුඩා කුරුල්ලන් රෑනක් පැනි උරන්නට පටන් ගනිද්දිම ඊටත් එහායින් මී මැස්සන් දෙන්නෙක් තුන්දෙනෙක් කැරකෙන්නේ කුරුල්ලන්ගේ පැනි බීම නවතා ගිය හැටියේම මේ මල් සිප ගන්නටය. මෙතුවක් කාලයකට විවිධ වර්ගයේ මල් වර්ග අප නිවසේ හා අවට වතු වල කොතෙක් පිපුනද එකදු මී මැස්සෙකු හෝ දකින්නට හැකි වේ නම් ඒ ඉතාමත් – ඉතාමත් අහම්බෙනි. මී මැස්සන් වඳවී ගියා සේ හිතිය හැකි තරමටම දුර්ලභ වූ ඔවුන් මෙම කහ පැහැති කෝමලියගේ කිසියම් ආකර්ශනයකින් වශීවී නැවතත් කරලියට පැමිණ රඟ දක්වමින් තිබෙන්නේ ස්වභව ධර්මයේ තවත් එක් නැටුමක් පමණි.

පාන්දර පහමාර, පහයි හතලිස්පහ වන විට පිපෙන කහ කුසුමෙන් කිසිදු මෘදු සුවඳක් මිනිසස් නාසයට දැනෙන්න නොනැගුනත් මනු සතා හැරෙන්නට අනෙකුත් සතුන්ට දැනෙන්න සුළඟ සමගින් එක්ව හමා යනවා ඇත. එබෙවින් කුඩා කුරුල්ලෝද මී මැස්සෝද මෙහි තැවරෙන්නට එනවා ඇත. දුටු පරිදි කුඩා කුරුල්ලන්ට මෙහි තිබෙන පැනි හෝ රේනු හෝ මොනයනම්ම දෙයක් ගත හැක්කේ තරමක් දුරකට පමණි. මල තුල තිබෙන සියළුම සම්පත් තමන් සතු කරගැනීමට කුරුල්ලන්ට නොහැකී වී ඇත්තේ ඔවුන්ගේ ශරීර ප්‍රමාණ මල තුලට යෑමට තරම් කුඩා නොවන නිසාය. එනිසාම අහිංසක මී මැස්සන්ටද උංගේ කොටහ ඉතුරුවේ. මී මැස්සන්ද මෙහි ප්‍රතිලාභ ලබාගන්න එක් කොටසක් පමණක් විය හැක. මෙහි සෑදෙන ආහාර මී මැස්සන්ගෙන් පසුව කූඹින්ට අයිති වේ. එයනම් හැම විටම නොව ඉඳහිට පමණකි.

කහ පැහැති කුඩා ලවුඩ් ස්පීකරයක් බඳු මෙම මල් කැකුල හඳුන්වන නමක් තවමත් නොදන්නේ මුත් අලංකාරය මෙතැකියි කීමට නොහැකි වූවත් බොහෝ අය මෙය නිවෙස් වල අංලකාරය පිනිස වවන බැවින් කිසිවෙකුටත් මෙය අභිරහසක් විය නොහැක. වසර පුරාම මල් හැදෙන බැවිනුත් වැල් ආකාරයෙන් ඉතාමත් සරුවට වැඩෙන බැවිනුත් මල් පොහොර, අර පොහොර – මේ පොහොර ආදිය නොමැතිව සාමාන්‍ය සරු පොළොවක සරුවට වැඩෙන බැවිනුත් අලංකාරයද නිමක් නැත. දුටු පරිදි වඩාත්ම ව්‍යාප්ත වී ඇත්තේ නාගරිකව කුඩා ඉඩ කඩක් තුල පැතීරී යාමෙනි. සිමෙන්ති බැමි වලින් වෑහෙන කර්කශ උෂ්ණයට එරෙහිව කොල පැහැති පත්‍ර හා කහ පැහැති මල් වලින් ඇතිවෙන සිසිලස අගේ කරන්නන් විසින් ඉතාමත් සාරවත්ව වවන ලද මේ ශාකය සැබැවින්ම සිත නිවාලයි.

 

 

කපුටාගේ වෙනස්වීම…

.

.

කතාව කියන්න කලින් කපුටා ගැන ටිකක් කියලා ඉන්නම්. කපුටා කියන්නේ බොහොම සුලභ පක්ෂියෙක්. ඒ වගේම කොයිතරම් කුණු කසල ශෝධකයෙක්ද කියනවනම්… කපුටා නැතිවුනොත් උගේ වැඩ කරන්න නගරසභාවට වෙනමම සේවකයන් පිරිසක් යොදවන්න වෙන තරමට සෑහෙන සේවයක් කරන සතෙක්. මං දන්න විදියට අන්න ඒ හේතුව නිසාම කපුටන්ව මැරීමත් තහනම්.

ඉතිං මේ කපුටා කියන සතා වෙලාවකට සාස්තර කාරයෙක්. තවත් වෙලාවකට නගරසභා සේවකයෙක්. හැබැයි ජනකතා අනුව නම් කපුටා අලි පන්ඩිතයෙක් වගේම ගොන් මීහරකෙක්. ඒක නිසා තමා අනිත් කුරුල්ලෝ සම්පූර්ණයෙන් ආවරණය වෙන කූඩුවක් හදද්දි කපුටා විතරක් භාගෙට කුඩුවක් හදන්නේ. ඒ ජනකතා අනුව මට මතක විදියට, කපුටා මුලින් කූඩු හදන්න දන්නේ නෑලු. ඉතිං කූඩු හදන්න දන්න වෙන කුරුල්ලෙක් ගාවට ගිහිං කපුටා අහගන්නවලු කූඩුව හදන හැටි. ඉතිං ඒ කූඩුව හදන්න හරියටම දන්න කුරුල්ලාව මට මතක නැති වුනත්, පාඩම කෙරීගෙන යන අතරේදි… ඒ කියන්නේ කූඩුවේ යට කොටස හදාලා ඉවර වේගෙන යද්දි කපුටා… “අයියෝ… ඕක නම් මාත් දන්නවනේ…” කියලා පාඩම භාගෙට අහගෙන පියාඹලා ගියාලු. ඉතිං එදා ඉඳං ඌ කූඩුව හදන්නේ ඌ ඒ දන්නවයි කියලා හිතන් ඉන්න ටිකෙන් තමා.

ඇත්තටම මේක ජොලි කතාවක්මත් නෙවෙයි. ඇසින් දැක්ක වෙනස්ම අළුත්ම දෙයක්. කපුටා සාමාන්‍යයෙන් කුඩූ හදන්න උපයෝගි කරගන්නේ පරඬැල්, ගස් වල අතු රිකිලි වගේ ශාකමය ද්‍රව්‍ය. කපුටා විතරක් නෙවෙයි අනිත් සෑම කුරුලලෙක්ම දන්න තරමින් එහෙමයි. පුංචි කාලේදී ස්කෝලේදී ඒකට හේතුව විදියට ඉගෙන ගත්තේ කූඩුව ඇතුලෙ සිසිල් කරන්න එහෙම කරනවා කියලයි. අතරින් පතර පලාස්ටික් පටි වලින්, නූල් කෑලි වලින් එහෙම හදපු කූඩුත් දැකලා තිබුනාට කම්බි කෑලි වලින්, ලෝහ යොදාගෙන හදන වඩාත් ශක්තිමත් කූඩුවක්…!

මේ ලඟකදී මං දැක්කා කපුටෙක් බයින්ඩින් කම්බි කෑල්ලක් එක්ක ඔට්ටු වෙනවා. ඌ ඒක ගෙනියන්නේ යකඩ වලට විකුණන්න වෙන්න බැරි නිසයි, මං අනුමාන කරේ ඒක ගෙනියන්නේ කූඩුවක් හදන්න විය යුතුයි කියලා. ඒ දැක්කේ කොල්ලුපිටියෙදී. ඊට සතිදෙකකට විතර පස්සේ නාරාහේන්පිටදිත් ඒ වගේම කපුටෙක් බකට් කම්බියක්, පාරේ තිබ්බ කුණු ගොඩකින් ඇදලා අරං පියාඹලා ගියා. ආයෙමත් මේ සතියේ සඳුදා නෙළුම්පොකුණ රඟහල හෝල්ට් එකේ බස් එක නැවැත්තුවම දැක්කා කලින් වගේම බයින්ඩින් කම්බි කෑල්ලක් උස්සන් යන ගමන් ගිමන් හරින්න වගේ පොඩ්ඩක් නැවතුන කපුටෙක්ව. වෙනස් ස්ථාන තුනක වෙනස් කපුටෝ තුන් දෙනෙක්. එකාම වෙන්න බැහැනේ.

මේක මට දැන් යම් තරමකට සාමාන්‍ය දෙයක් වුනාට, නොදැකපු කෙනෙක්ට අළුත් දෙයක්. මොකද මෙච්චර කල් කම්බි සිමෙන්ති යොදාගෙන වාසස්ථාන හැදුවේ මිනිස්සු විතරනේ. දැන් කපුටොත් කම්බි වලින් කූඩු හදන්න පටන් අරගෙන. හැබැයි තාම දැක්කේ නෑ කම්බි වලින් සම්පූර්ණ වුන කපුටු කූඩුවක් නම්. ඒකත් අනාගතයෙදී දකින්න ලැබෙයි කියලා හිතනවා. සමහරවිට ඒක මොකක් හරි පොයින්ට් එකක් වෙයි කපුටන්ගේ පරිනාමයේ..!!! උං දැනට කාක් කාක් ගාගෙන හිටියට සමහර වෙලාවට උනුත් කාර්මීකරණය පටන් අරගෙන ඇති… ඉස්සරහට උංටක් එක්ක කම්බි හදන්න වෙයිද දන්නේ නෑ මිනිස්සුන්ට. 😀

උන – සිලි සිලිය

green bamboo plantඅපි…. ඒ කියන්නෙ කීපදෙනෙක් විතරක් යන්න පුරුදු වෙලා හිටිය ලස්සන තැනක් ගැන මට හොඳටෝම මතකයි. ගොඩ දවසට හවස හතර හතරාමාර වෙද්දී එතෙන්ට එන්න කියලා නීතියක් නැති වුනත්, සීතලට ගලන වතුර පාරෙ කකුල් දෙක දාගෙන කකුල් වටේ කැරකි කැරකි යන මාලු දිහා බලාගෙන මොනා හරි දෙයක් කියවනවා කියන්නේ… ඒක හද පත්ලෙන්ම කියවෙනවා කියන එකයි. එක අපි හැම දෙනාටම පොදුවුනා. ගෙවල් වල ප්‍රශ්න, ස්කෝලේ ප්‍රශ්න, කෙල්ලෝ ප්‍රශ්න අරක මේක හැම එකම අපි අතර බෙදා ගන්න ඉඩ තිබුන එතෙනට නමක් තිබුනේ නෑ. අපි කිව්වේ “යමං ඇලපාර අයිනට” කියලා.

හරියටම හඬ මේ වගේ කියලා කියන්න බැරි විවිධත්වයක් එක්ක නිරතුරුවම ගලාගෙන ගිය ඇල පාර අපිට සුන්දර අපේම තැනක් වුනේ, මං එක පාරක් ගිහිං එතෙන්ට උඩහ තිබුන කැලෙන් කොටයක් පෙරලගෙන ඇවිත් දාපු දා ඉඳන්. ඒ කපලා දාලා තිබුන කොටේට පයින් පාරක් ගැහුවේ තිබුන දාංගලේට ඇලපාරට වැටෙන්න කියලා හිතාගෙන මිසක් ඇති වැඩකට නෙමෙයි. ඒත් කොටේ ඇලට නොවැටී ඇල අයිනෙම තිබුන උන පඳුරට හේත්තු වෙලා නැවතුනේ “පිස්සු කෙලින්නේ නැතුව, වැඩක් ඇත්තෙම නැත්තං මේං මෙතෙන්ට වෙලා වාඩිවෙලා, ඇලට කකුල් දෙක දාගෙන පොඩ්ඩක් කූල් වෙයන් මිනිහෝ” කියන්න වගේ. මං එදා ඒ ඇරයුම පිලිගත්තා. ඒකෙන් මට හොඳක් මිසක් නරකක් වුනේ නෑ. මට විතරක් නෙමේ මගේ යාළුවන්ටත් හොඳක් මිසක් නරකක් වුනේම නෑ.

ඇත්තටම වැඩක් නැතිව කම්මැලි වුනාම ලඟ ලඟ තිබුන යාළුවන්ගේ ගෙවල් ඉස්සරහට ගිහිං “උදාර යමාං…” කියලා කෑගහපු ගමං “හා ටිකාක් හිටපාං… මං කනෝ…” කියලා ගේ ඇතුලෙන් සද්දේ එන්නේ ඌත් මාත් එක්ක යන්න එන වග ස්ථිර කරන්නයි. උදාරලාගේ අම්මා මිදුලට ඇවිත් “පුතා දන්නවනේ අපේ එකාගේ කෑම… එන්න ගෙට මං බත් බෙදන්නම් පුතාටත්” කියලා ගේ ඇතුලට යනවා. “මට බත් එපා නැන්දේ… මේ කාපු ගමං ආවේ” කියලා කියන කොටම උදාර එනවා “හා යමං” කියාගෙන. ඒක එක උදහරණයක් විතරයි යාළුවන්ව එකතු කරගැනීම ගැන. අනිත් තැන් වලදිත් ඔහොමම තමා. එහෙම නැත්තං “උඹලා පලයං මං තව ටිකකින් එන්නං” කියනවා. එහෙම කිව්වනම් අනිවාර්යෙන් ඌ එනවා. පොලු තියන්නේ නෑ. මොකද හිතේ තියෙන හැම දෙයක්ම කටෙන් වචන කරලා අතෑරලා දාන්න පුළුවන් එකම තැන ඇලපාර නිසා.

ඒ වගේම හැමදාමත් අපි කතා තැන ඇලපාරේ සද්දේ එකක්ම අපිට ඇසුන දැනුන අනෙක් හඬ මගේ කොටේ නවත්තලා අපිට කතා කරන්න තැනක් හදලා දුන්න උන පඳුර. ඒ වටේටම උන පඳුරු තිබුනත් මේක තරමක් විසාලෙට හැදුන කොලයි කහයි දෙකම මිශ්‍ර වෙච්චි උන පඳුරක්. කාට හරි එකෙකුට මොකක් හරි මගුලට අඬන්න ඕනේ වුනානම් උන ගහක් බදාගෙන අඬනන්නයි, මොකක් හරි කතාවකට බඩ කොරවෙනකංම හිනාවෙලා අන්තිමේ හිට ගෙන ඉන්න අමාරු වුනාම පොඩ්ඩක් පිට දීලා ඇලවෙන්නයි හැම එකටම එපා නොකිය සහයෝගය දුන්න උන පඳුර කොච්චර හුළඟට පැද්දී පැද්දී සිලි සිලි ගෑවත් කවමදාකවත් ඒ සිලි සිලිය අපේ කතාවලට බාධාවක් වුනේ නෑ.

හැම වෙලේම අපේ ඇඟට වේලුන උන කොල වලින් දමා ගහන කොට කවදාවත් අපිට කේන්ති ගියෙත් නෑ. ඇත්තටම මොකක් හරි සීන් එකකට කවුරු හරි කේන්තියෙන් ආවත් උන පඳුර ඒ කේන්තිය උගෙන් උදුර ගන්නවා විනාඩි ගානක් ඇතුලත. ඒ නිංස්කලංක බව අස්සේ ඉඳගෙන හිත ඇතුලෙන් කේන්තියෙන් පිච්චෙන්න දෙන්නේ නෑ එක මොහොතක්වත්. හැම වෙලාවෙම දෙපා සිසිල් කරගෙන ගලන වතුර පාරත් එක්ක එකතු වෙලා ගින්දර නිවනවා. ඇලපාර ලඟ උන පඳුර යට කෙල්ලෝ ප්‍රශ්නම කීයක් විසඳෙන්න ඇත්ද…? අපේ සෙට් එකේ හිටිය හත් අට දෙනාගෙන් හතර දෙනෙක්ම ඔය වගේ චීත්ත ප්‍රශ්න වලට අනිත් අයගෙන් උදවු ඉල්ලුවේ උන පඳුර යටදී. ප්‍රශ්නයක් උන ගමන් හැම එකාම බලන් ඉන්න ඇලපාර අයිනට දුවන්න. අනිවාර්යෙන් ප්‍රශ්න වලට උත්තර කෙසේ වෙතත් හිත හරි හැදෙනවා. සතියකට වතාවක් දෙවතාවක් ඇලපාර ගාවට යන එක නිකංම පුරුද්දක් වුනාට නියමිත දවසක් නෑ. අර කලින් කිව්වා වගේ කවුරු හරි එකෙක් ඇවිත් නම කියලා කෑගහලා “යමාං…” කිව්ව ගමන් තමයි රැස්වීම පටන් ගන්නේ. කාට හරි අසනීපනම් හෝ කොහෙ හරි ගමනක් ගිහිං නම් ඇරෙන්න උන පඳුර යටට යන ගමන මග අරින්නේ නෑ කවුරුවත්ම.

අපි ලොකු වෙලා දුර බැහරට වෙන් වෙලා යනකං වගේම ඉඳලා ඉඳලා දින ගැනලා නිවාඩුවකට අපිට පොඩ්ඩක් ස්ටෙලා වෙන්නත් ඒ උනපඳුරම ලඟක් වෙනකම්ම හෙවන දුන්නා. ඒ හැම දවසකම ඉස්සර තිබුන දඟකාර සිලි සිලියවත්, තාලයක් හොයාගන්න බැරි ඇලපාරේ සද්දෙවත් වෙනස් වුනේ නෑ. ඒ වගේම මාස ගනන් හිතේ තද කරන් ඉඳිය ඒවා එලියට ඇදලා ගන්න හැකියවත් ඒ තැනින් තුරන් වෙලා තිබුනේ නෑ. ඒ තරමට හිතින් විතරක් නෙවෙයි බොක්කෙන්ම ආදරය කරපු තැන දැන් අපිට අයිති නෑ.

දැන් ඒක කාටවත් අයිති නෑ. මගේ අතින් පෙරලුන කොටේ සමහර විට ඇල පාරටම වැටිලා ගහගෙන යන්න ඇති. නැත්තං කොහේට හරි විසික් කරන්න ඇති. දැන් එතෙන ඇලපාරකුත් නෑ… තියෙන්නේ ටිකක් විසාල වතුර හිඳුන කොන්ක්‍රිට් වලින් බැමි බැඳපු ඇලක්. ඉවුරු දෙපැත්තෙන් හාරලා ලොකු කරපු කෘත්‍රිම ඇලේ දැන් මාලු පැටවු නෑ. තියෙන්නේ හැම තැනින්ම ගලාගෙන ඇවිත් කංකුං ගස්වල බැඳුන වතුර උඩ පාවෙන දේදුන පාට ගහන තෙල් තට්ටුවක් විතරයි. උන පඳුරත් ඇලේ ඉවුරු ලොකු කරද්දී කපලා දාලා. දැන් සිලි සිලියක් නෑ… අන්තිමටම ඉතුරු වෙලා තියෙන්නේ අගින්ම කපලා දාපු උන පඳුරු කෑලි ටිකක් විතරයි. ඒ වගේම එතෙනට එකතු වෙන්න කොල්ලොත් නෑ. උං හැමෝම කාමර අස්සේ බිත්ති වලට කොටුවෙලා ගේම් ගහනවා, චැට් කරනවා, එහෙමත් නැත්තං නිදි. උං උන්ගේ ප්‍රශ්න කාට කියනවා ඇත්ද…? උත්තර කොහෙන් හොයනවා ඇතිද…? වර්චුවල් යාළුවෝ ගොඩක් මැද සිමෙන්ති කාමරයකට වෙලා මොනාවනං කරන්නද…?

උංට අපිට තිබුන පින නෑ. අපිට සංවර්ධනය නොතිබුනාට බොක්කෙන්ම ඉන්න යාළුවෝ ටිකක් හිටියා. හවසට සෙට් වෙන්න අපේම තැනක් තිබුනා. හැමදේම කතා කරන්න, හිනාවෙන්න තැනක් තිබුනා. දැං එවුං කාමරේට වැදිලා මොනිටරේ දිහා බලාගෙන බකමුනෝ වගේ තනියම හිනාවෙනවා ඇති. උංට උන පඳුර කැපුවත්, ඇලපාර හිඳුනත් වගේ වගක් නෑ. උංට ප්‍රශ්න තියෙන්නේ කරන්ට් එක නැතිවුනාමයි ඉන්ටර්නෙට් ස්ලෝ වුනාමයි විතරයි.

ඒත් අපිට තාමත් උන පඳුරේ සිලි සිලිය, ඇල පාරේ සින්දුව නැතුව පාළුයි.

ගොඩ කාලෙකින්, 2015 ප්‍රථම ලිපිය විදියටයි මේ…

තේරුම් ඇති මල්…

Camellia

Camellia

පොත් වලට නම් දාද්දි නම් දාන්නේ ටපලලානේ. අන්න ඒ වගේ තමා මේ ටයිටල් එකත්. මේ දවස් වල තියෙන නිදිමත ගතිය යන්න කියලා හිතාගෙන තමා මේ මෙව්වා එක ලියන්නේ. අනේ මන්දා… පිරිමි ළමයින්ටනම් ඉතිං කියෙවුවා කියලා වැඩක් වෙයිද කියලා… කමක් නෑ ඔන්න ඔහේ කම්මැලි නොවී කියවන්නලා. කොයි වෙලේක හරි වැදගත් වෙයිනේ. අඩුම ගානේ පොර ටෝක් එකක් දෙන්නවත් මේ දේවල් ඕනේ වේවි…!

පොඩි කාලේ ඉඳන් අපි දකින්න ආසා දේවල් වලින් එකක්නේ මල් කියන්නේ. ඉතිං ඔය මල් වර්ග වලින් විවිධ දේවල් නිරූපනය වෙනවලු. මාත් දන්නේ මේ ලඟදී. හැම මලකින්ම නෙමේ… වැඩිපුරම එක එක සැරසිලි සඳහා යොදා ගන්න මල් වලින්. මොකද ඒ ඒ අවස්ථාවට උචිත විදියට යොදාගන්න මල් වෙනස් වෙන නිසා. ලංකාවේ නම් එහෙම කරනවද නැද්ද කියන්න මං දන්නේ නෑ, ඒත් අනිත් රටවල් වල නම් සැරටම ඒ මල් වලින් හැඟවෙන දේ අදාල ස්ථානයට ගැලපෙනවද නැද්ද කියන එක හොයාබලනවලු.

මලක් තියෙනවා කැමිලියා කියලා…

ඒ මලේ සුදු පාට වර්ගයෙන් පූජනීය බව පෙන්නුම් කරනවා. රෝස පාට වර්ගයෙන් ආශාව පෙන්නුම් කරනවා. ආශාව කියන්නේ මල යොදාගන්න අවස්ථාව අනුව වෙනස් වෙන ආශාවක්. රතු පාට වර්ගයෙන් ලෙංගතු කම කියන එක ප්‍රකාශ වෙනවලු.

කානේෂන්…

Carnation

Carnation


කානේෂන් මලේ විවිධ වර්ග රැසක් තියෙනවා. ලංකාවේ නම් හැම ප්‍රදේශයකම බහුලයි. ඒ වගේම ඒ හැම එකකින්ම විවිධ තේරුම් දෙනවා වුනත් දෙමුහුන් වර්ග වලින් නම් මොන මොන තේරුම් දෙනවද කියන්න දන්නේ නෑ. රෝස පැහැති කානේෂන් වලින් සදා මතකයේ රැ‍‍ඳෙන බව වගේම, දම්පාටින් ඉක්මනින් අමතක කරලීමට සුදානම් බවත් හැ‍ඟවෙනවලු. ඔය දෙකම මික්ස් වෙලා හැදුන දම්-රෝස වර්ගයෙන් මොනා කියෙවෙනවද දන්නේ නෑ… ඊට පස්සේ සුදු පාටින්… අහිංසක බව, පිරිසිදු ආදරය වගේම… කහපාටින් ඇරයුමක් ප්‍රතික්ෂේප කිරීමත් හැඟවෙනවලු. ඉරි ඉරි තියෙන වර්ග තියෙනවනේ… ඒවායින් කියවෙන්නේ “මට තෝත් එක්ක තවත් ඉන්න බෑ යකෝ” වගේ දරුණු පාඨයක්ලු. මොනා වුනන් ඉතිං ඒවායින් නියම ප්‍රයෝජනේ ගන්න පුළුවන් වෙන්නේ දෙපාර්ශවයම ඒ ගැන දැනුවත් නම් විතරයි…! 😉

Lily

Lily

ලිලී…

ලිලී මල් නම් ගොඩ දෙනක් දැකලා ඇති. ලංකාවේ වුනත් සීතල පරිසර වල හැදෙනවා. ලිලී මල් වල සුදු පාටින් පෙන්නුම් කරන්නේ පිරිසිදු බවලු. එතකොට කහපාටින් සැහැල්ලු බව. හරියට නිකං මල් පෙත්තක් වගේ කියන එක. තව තව වර්ණ රැසකට විවිධ වූ තේරුම් තියෙනවා. නමුත් බහුලතාවය අනුව ගත්තම කහ පාට හා සුදු තමයි වැඩියෙන්ම භාවිතා වෙන්නේ.

Poppy

Poppy

පොපි…

පොපි මල් ගොඩක්ම තියෙන්නේ තද රතු පාටින්. ඒ වර්ණයෙන් තේරුම් ගන්වන්නේ සදාකාලික නින්ද, අභාවය,  මතක් කිරීම වගේ වෙන්ව ගිය යම් මතකයක් වෙනුවෙන් හිතේ ඇතිවන හැඟීම්. ඒ වගේම සාමාන්‍ය රතු පාටින් ස්තූතිය… උපහාරය වගේ වෙනත් කෙනෙකුට සැලකිල්ලක් දැක්වීමක් හැඟවෙනවා. කහ පාටන්… යහපත් සෞඛ්‍ය තත්වය හා දියුණුව වගේ දේවල්. බැරිවෙලා හරි ලෙඩ ඇ‍‍ඳේ ඉන්න කෙනෙකුට තද රතු පාට පොපි මල් මිටක් ගිහිං දෙනවා නම් ඒ කියන්නේ “ඉක්මනට චුත වෙයන්” වගේ දෙයක්.

ඊට පස්සේ ටියුලිප්…

Tulip

Tulip

ටියුලිප් මල් නම් මං දැනට ලංකාවේ දැකලා නැහැ. සමහරවිට හැංගිලා තියෙනවද දන්නේ නෑ… ඉතිං ටියුලිප් මල් වල රතු පාටින් කියන්නේ විශ්වාසය උපරිමයි කියලා. කහ පාටින් කියන්නේ “විශ්වාස කල නොහැකි ආදරයක්” කියන එකලු. අනේ මන්දා ඒවානම්. වෙලාවට ලංකාවේ කහ ටියුලිප් නොතිබුනේ…! දම් පාටන් “ලස්සන ඇස්” යන්න කියවෙනවලු…

මේක තමා වැදගත්ම මල…. රෝස…

Roses

Roses

රෝස වල නම් පාට‍ මහ ගොඩක් තියෙනවා වගේම ඒ හැම එකකින්ම ප්‍රේමය ගැන විතරයි කියවෙන්නේ. රෝස වලට ආලය ඇරෙන්න වෙන ලෝකයක් නෑ… තියෙන්නෙත් මහ කුණුහරුප පාටවල්… පොඩි ‍එවුන් මේක බලන නිසා මටත් කියෝගන්න පුළුවන් පාට ටිකට විතරක් විස්තර කියන්නම්. රතු – ආදරය, ගෞරවය. සුදු පාට – අවිහිංසක බව… කහ පාටින් – ආරක්ෂාව, රැකගැනීම. රෝස පාටින් – එකමුතු කම… ඒ කියන්නේ පවුලේ සමගිය වගේ එව්වා…!

හැම මලම ලංකාවේ නැති වුනාට තේරුම් දැන ගන්න එක කෝකටත් හොඳයි. සමහර විට මම දන්න තේරුම් වලට වැඩිය තේරුම් ඇති. වෙනස් තේරුමුත් ඇති. මොනා වුනත් කමක් නෑ… මල් කිනිත්තක් කෙනෙකුට දෙන්න කලින් ඒකෙන් අදහස් වෙන්නේ අහවල් දෙයක්ද කියලා දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි… – at හරි දැන් කියමු බලන්න මම කම්මැලිද..?

එල්ලෙන ගස්…

Air plant

Air plant

ඔබ කැමතිද වතුරවත් නොදා, පෝරවත් නොදා පොඩ්ඩක්වත් ඒ ගැන හොයන්නේ බලන්නේ වත් නැතුව තමන්ගේ පාඩුවේ හැදෙන ශාකයක හැඩ බලන්න…?

පිරිමි ළමයි අකමැති වෙයි. ඒක ස්වභාවය. අපි ඉතිං කැමති විවිධාකාර වෙනත් හැඩ බලන්නනේ. ඒත් ඒ අතරෙත් ඉන්නවා අහෙන් මෙහෙන් ගහක හැඩ බලන්න කැමති අය. ගැහැණු අයත් වැඩි දෙනෙක් කැමති වුනාට ඔය මල් හැදිල්ලට, ගස් වැවිල්ලට එහෙම… ගහක් කොලක් පේන්න බැරි ගෑණු පරාණත් ඉන්නවා. ඒක නං ඉතිං ස්වභාවය නෙවෙයි අවාසනාව…!

අපි හිතං හිටියට හැම ගහක්ම හැදෙන්න පෝර අපේ අත්වලින් දාන්න ඕනේ කියලා, එහෙමම නෑ.

නිවාස අලංකරණය

නිවාස අලංකරණය

ලංකාවේ පොළොවේ නම් විසික් කරන දඬු කෑල්ලක් වුනත් පොඩි වැස්සක් වැටුනම මුල් ඇදලා පැල වෙනවා. වෙනත් රටවල් වල වතුර ලීටර් දහස් ගනන් දැම්මත් එහෙම පැලයක් සාර්ථකව වවාගන්න බැරි අවස්ථාත් තියෙනවා. ඉතිං… පුංචි පැලයක් ටික ටික ලොකු වෙද්දි ඒක දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් කියන්නේ, සමහරුන්ට පිස්සු ඩයල් එකක් වෙන්න පුළුවන්. ඒත් මම නම් හිතන්නේ එතෙන තියෙන්නේ අනිත් අයට විඳින්න බැරි, නොතේරෙන සතුටක්. ඒක හරියට තමන්ගේ පොඩ් බබෙක් ලොකු වෙනවා වගේ දෙයක් වෙන්න ඇති.

ඒ වගේ පිරිමි චරිත කීපයක් මට මුන ගැහිලා තියෙනවා. එක්කෙනෙක් බොන්සායි පැල හදන කෙනෙක්. ඒ මනුස්සයා ගොඩක් කැප වෙනවා එයා ගාව තියෙන පැල රැකබලා ගන්න. ඒවා ඇත්තටම පැල නෙමේ අවුරුදු විසි, තිස් ගනන් පරණ ගස්…! තව කෙනෙක්, එයා ඉන්නේ නුවරඑළිය කිට්ටුව. රැකියාවෙන් පරිගණක ඉංජිනේරුවෙක් වුනත් විනෝදාංශය මල් වැවීම. මාර හැඟීමක් එන්නේ ඒ වත්තට ගියාම. ඒ හැම මලක් ගැනම ඉඩ තියෙන හැම වෙලාවකම හොයා බලනවා වගේම පැලයක අළුතෙන් දල්ලක් ආවත් එයාට වෙනස තේරෙන තරමටම මල් ගස් එක්ක බැඳිලා ඉන්නේ.

දැන් ඉතිං අහෙන් මෙහෙන් කියාගෙන ආවේ මෙන්න මේ කතාව කියන්න. අහලා තියෙනවද “එයාර් ප්ලාන්ට්“  කියලා ගස් වර්ගයක් ගැන. අහල නැතත් දැකලවත් ඇති අඩුම ගානේ. එයාර් ප්ලාන්ට් වැවෙන්නේ එක්කෝ ගසක, එහෙමත් නැත්තං වතුර ඇබින්දක්වත් නොරඳන ගලක. එහෙමත් නැත්තං නිදහසේ තියෙන විදුලි කම්බියක වෙන්නත් පුළුවන්. පස් ගෑවෙන තැනක හැරෙන්න වෙනත් ඕනෑම වාතාශ්‍රය තියෙන තැනක තම වර්ගයා ජනිත කරන්න පුළුවන්. අනිත් හැම ශාකයකටම පොළොවේ පස් වල තියෙන ඛනිජ ලවණ අවශ්‍ය වුනත් එයාර් ප්ලාන්ට් වලට පොළොවේ පස් කියන්නේ විෂක්. පස් වල ගෑවුනොත් හෝ, පස් වල ඇති ඛනිජ ලවන ගස විසින් උරා ගත්තොත් එයාර් ප්ලාන්ට් එක මියයනවා. එයාර් ප්ලාන්ට් විශේෂ මහ ගොඩක් තියෙනවා. ඒ හැම එකකම නැති වුනත් සමහර ඒවගේ මුල් තියෙනවා. ඒ මුල් තියෙන්නේ පැලය ආධාරකයට තදින් බදාගෙන සිටින්න විතරයි. ඒ මුල් වලින් වතුර ලබාගන්නෙවත්, පොහොර ලබාගන්නෙවත් නැහැ. තරමක් ඝන ශාක පත්‍රයෙන් තමයි වායු ගෝලයේ එහේ මෙහේ පාවී යන ජලවාෂ්ප, පෝර ලබාගන්නේ.

සාමාන්‍යයෙන් බෝවීම සිදුවෙන්නේ බීජ මගින් හෝ අළුතෙන් ඇතිවන අංකුර මගින්. එමෙන්ම එයාර් ප්ලාන්ට් වර්ග බොහොමයක්ම උෂ්නත්වය ගැන තකන්නේ නෑ. අධික ශීත, සෘන උෂ්නත්ව පරාසයන් වලදී පවා එයාර් ප්ලාන්ට් එකකට නොනැසී සිටිය හැකියි. ඒ වගේම කාන්තාර වල ඇති අධික උෂ්නත්ව වලදී කිසිම හානියකින් තොරව තම වර්ගයා බෝ කර ගැනීමට පුළුවන්.

මං මුලින්ම දැක්කේ, සහ අඳුන ගත්තේ ගියපාර ශ්‍රී පාදය වඳින්න ගිය වෙලාවේ. ඒ යන අතර මග පාරේ තියෙන ලයිට් කණුවල ලා කොල පාටට, අලංකාර විදියට වැවිලා පහතට එල්ලෙමෙන් තියෙන වැල් මොනාද කියලා හොයද්දි තමා දැනගත්තේ මේ එයාර් ප්ලාන්ට් ගැන. දැන් නම් මගේ ගාව එදා දැක්ක වර්ගයට වඩා ලස්සන පැල දෙකක් තියෙනවා. හෙව්වට හම්බුනේ නැති පාර වෝටර්ස් එජ් එකේ තියෙන මල් ප්‍රදර්ශන වලින් දෙවතාවකට ගෙනාපු පැල දෙකක් මටත් නොදැනිම ඔහේ වර්ධනය වෙමින් තියෙනවා. වෙලාවක් තිබුනොත් ගිහිං බලනවා අළුතෙන් පැල ඇවිල්ලද කියලා… එච්චරයි. වතුර දාන්න මහන්සි වෙන්න ඕනේ නෑ… පොහොර දාන්න මහන්සි වෙන්න ඕනේ නෑ… ටිකක් ඉර එලිය වැටෙන හුළඟක් හමන තැනක තියන්න විතරයි තියෙන්නේ…!

පේනවනේ... එයාර් ප්ලාන්ට් එක... ;)

පේනවනේ… එයාර් ප්ලාන්ට් එක… 😉

නිකං විහිළුවට වගේ නෙට් හොයා බලද්දි තමා දැක්කේ වැඩිය හැඟීමක් නැතුව තිබුන නිසා උස්සන් ආවට, අපේ රටේ නැතත් පිටරට වල මනාමලියන්ගේ මල් වැඩ වලටත් ගන්න පැලෑටියක් බව. වැඩි හරියක්ම නිවාස අලංකරණයට තමාලු යොදාගන්නේ. ඇයි ඉතිං වැඩිය හොයන්න බලන්න ඕනේ නෑනේ… කම්මැලිකටම වතුර නොදැම්මත් ගහට ඕනේ විදියට ගහ වැවෙනවා. ඒ වගේම වගා බඳුන් ගැනත් වද වෙන්න දෙයක් නෑ. මේසයක් උඩ නිකං දාලා තිබුනත් වැවෙනවා. නැත්තං කම්බි කෑල්ලකින් හෝ නූල් කෑල්ලකින් බිත්තියක එල්ලන්න පුළුවන්.

ලෝකෙට දිනපතා එකතු වෙන කාබන්ඩයොක්සයිඩ් ටිකක් ඔක්සිජන් වලට හරවලා, අතැඹුලක ප්‍රමාණයෙන් වත් වායු ගෝලය සත්ත්ව ජීවිත වලට සුදුසු කරන්න දායක වෙන්න ඕනේ කියලා හිතෙනවා නම්… එයාර් ප්ලාන්ට් හොඳම විසඳුමක්..! ගෙනැල්ලා එල්ලන්න විතරයි තියෙන්නේ. අළුතෙන් පැල හදාගෙන තමන්ගේ වැඩ ටික කරගෙන ඔහේ වැවෙයි සෑහෙන කාලයක්…!

මිලදී ගැනීමට අවශ්‍යනම් බත්තරමුල්ලේ වෝර්ටස් එජ් එකේ තියෙන මල් පැල ප්‍රදර්ශන වල තියෙනවා. එයාර් ප්ලාන්ට් ලවණ රහිත වැලි මත හෝ දිරා ගිය ගස් අවශේෂ මත වවන්න පුළුවන් කියලා පැල විකුණන කෙනෙක්ගෙන්ම දැනගත්තා.

 

ඕකිඩ් ඓශ්චර්යය…

අසිරිය

අසිරිය

සමහර දේවල් තියෙනවා ලංකාවට විතරක් සීමාවුන. එක අතකින් බලද්දි ඒ දේවල් ලංකාවට විතරක්ම වෙච්ච එක හොඳයි… නැත්තං අනිත් රටවලුත් අපේ රට වගේ, මහජනයාට හුඟාක්ම ප්‍රිය රටවල් වෙයි. දරුවෙකුට උපදින්න සුදුසුම රටක් කියලත් හංවඩු ගැහෙයි. ඒ හැමදෙයක්ම මිනිසුන් විසින් කරන ලද දේවල් වල ප්‍රතිපල. ඒත් මිනිසුන්ගේ මැදිහත් වීමකින් තොරව ඉබේම ඇති වෙච්චි දේවලුත් ලංකාවට තියෙනවා. ඒවා ලංකාවට ආවේණිකයි කියල තමා කියන්නේ. ඒ වගේම ලංකාවට ආවේණික නොවුනත් වෙනත් රටවලත් සුළු වශයෙන් හා ලංකාවේ වැඩි වශයෙන් තියෙන දේවලුත් තියෙනවා. සමහර වෙලාවට අපි වැඩිය සොයා නොබලන නිසා මෙන්ම, දැන ගන්න ලැබෙන අවස්ථාත් අඩුනිසා ඒ වගේ දේවල් මග හැරෙනවා.

මිනිසා විසින් කොයිතරම් දේවල් කෙරුවත් ඒ කිසිවකට සොබාදහම පරයා නැගී සිටින්න බැරි බව මගේ පෞද්ගලික මතයක්. අපි ආහාර ලබාගන්නේ, වතුර ලබාගන්නේ… හුස්ම ටික පවා තාමත් ලබා ගන්නේ ගස්වලින්. තාක්ෂණය යම් දිනයක දියුණු වෙලා හයිඩ්‍රිජන් අණු දෙකකට එක ඔක්සිජන් අණුවක් අමුණලා අවශ්‍ය කරන ලවන වර්ගත් එක්ක බීමට සුදුසු ජලය ලැබෙන්න පුළුවනි. ඒ වගේම කෑම වලින් ශරීරයට ලබාදෙන සියළු දේවල් එක එන්නතකින් ලබාදෙන කාලයකුත් ඒවි. මිනිසාට ජීවත් වෙන්න අවශ්‍ය කරන හැමදේම කෘතිමව නිපදවන්න හැකිවේවි. ඒත්… සොබාදහමෙන් ලබාදෙන දේවල් තරම් ඒ කිසිවක් ලාභ දායක නොවේවි…! සුන්දර නොවේවී…! චිත්තයක් කර ගහ ගත්තු භෞතික ශරීරවල පැවැත්මට පමණක් ඒ දේවල් සීමා වේවි.

ඒකට තව කාලයක් ගතවෙයි. එතකන් ඉතිං මේ මහ පොළවේ පය ගහලා නිකං ලැබෙන ඔක්සිජන් ටික පෙනහල්ලට දාගෙන ශරීරය පුරා දුවවලා කාබන්ඩයොක්සයිඩ් ටිකක් පිට කරන ගමන් මේ අසිරියත් දැකගන්න. සොබාදහමෙන් තිළිණ වුන ලෝකයේ විශාලම සපුෂ්ප ශාක කුලයට අයත් වන, මේ පෘථිවියේ පැරණිම මලක් වන ඕකිඩ්…! වර්ග 25,000 කට අධික සෑම රටකම පාහේ දකින්නට ඇති, සමහර රටවලට විශේෂිත වූ වර්ගත් ඇති මේ මල් වර්ගය ගැන ලෝකයට උනන්දුවක් ඇති වුයේ 19 ශතවර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් බ්‍රසීලයේ සිට, තමා එක් රැස් කර ගත් ඕකිඩ් මල් පිරවු බඳුනක් එංගලන්තයට ගෙන යාමත් සමගයි.

ඉගිල්ලෙන වෙර දරන තාරාවුන් වැනි

ඉගිල්ලෙන වෙර දරන තාරාවුන් වැනි

පුරාණ එංගලන්ත වාර්තාවල ඇති පරිදි ලෝකයේ අනුරාගීම මල ලෙස පිදුම් ලැබුවේත් මෙම ඕකිඩ් කියලා සඳහන් වුන තැන් කීපයක් තියෙනවා. ඒ වගේම නොමුහුන් ඕකිඩ් වර්ග 25,000කට අධික ප්‍රමාණයක් තියෙද්දි දෙමුහුන් ඕකිඩ් වර්ග 40,000කට අධික ප්‍රමාණයක් තියෙනවා. දැනට ලෝකයේ උත්සව අවස්ථාවන් සඳහා වැඩියෙන්ම භාවිත වන මලත් ඕකිඩ්. ඕකිඩ් මල් වල අනෙකුත් මල්වල නොමැති විශේෂයක් වන්නේ සමහර ඕකිඩ් විශේෂ වලින් දිස්වෙන විවිධාකාරයේ සතුන්ගේ හැඩතලයි. ලාංකික අපිට හොඳින්ම දැක පුරුදු “කැන්ඩියන් ඩාන්සර්“ නම් වූ කහ පැහැති උඩරට නැට්ටුවෙකුගේ හැඩය ගත් මලත් ඕකිඩ් විශේෂයක්. ලංකාවේදී ඕකිඩ් වලට උඩවැඩියා කියන නම් භාවිතා කරනවා වගේම වෙනත් රටවලත් ඔවුන්ටම ආවේණික නම් භාවිතා වෙනවා.ලංකාවේ පමණක් නෙවෙයි, වෙනත් රටවලත් විවිධ හැඩතල ඉස්මතුවෙන ඕකිඩ් විශේෂ තිබෙන බව ඔබ දන්නවාද…?

බලන්න මෙතෙක් නොදැක්කානම් ඒ සුන්දරත්වය. අතීතයේ මිනිසුන් විශ්වාස කරලා තියෙනවා මේ මල් වලට මෙවන් හැඩ ලැබෙන්නට හේතුවී ඇත්තේ එම විවිධ හැඩැති සතුන් ඕකිඩ් මල් මත මියයාම හෝ මියගිය ආත්ම ඕකිඩ් මල් මගින් නැතවත් පුනර්ජනනය වෙන නිසා බව. ඒ වගේම සමහර ඕකිඩ් සුවඳ ආග්‍රහනයෙන් දීර්ඝ ආයුෂ ලබාගන්නත් පුළුවන් බව ඔවුන් විශ්වාස කර තිබෙනවා. ඒ වගේම සමහර ඕකිඩ් මත වසන මීමැස්සන් ක්ෂනිකව මැරී වැටෙන තරම් විසකුරු බවත් ඔවුන් දැක ඇත. –at මිනිසුන් තරම් විසකුරු නැත.

තණකොල පෙත්තෙක්

තණකොල පෙත්තෙක්

කළු වවුලා නමින් හඳුන්වන ඕකිඩ්... මෙයම ක්ළු සමනලයා නමිනුත් හඳුන්වනවලු

කළු වවුලා නමින් හඳුන්වන ඕකිඩ්… මෙයම කළු සමනලයා නමිනුත් හඳුන්වනවලු

ශීත බබෙක් වැනි ඕකිඩ්

ශීත බබෙක් වැනි ඕකිඩ් (Oh kid 🙂 )

වඳුරු මුහුණක් පෙන්වන ඕකිඩ්

වඳුරු මුහුණක් පෙන්වන ඕකිඩ්

නිරුවත් සුරංගනාවන් සේ දිස්වෙන

නිරුවත් සුරංගනාවන් සේ දිස්වෙන

ඩ්‍රැකියුලා ඕකිඩ් නම් විශේෂය

ඩ්‍රැකියුලා ඕකිඩ් නම් විශේෂය

පාරාදීසයේ ඉතුරු ටික…

new

පරිසරයට ආදරේ කරන මිනිස්සු දෙන්නෙක් පාරාදීසයක් හොයාගත්ත කතාව කලින් ලිපියෙන් කිව්වනේ. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් නැෂනල් ජියෝග්‍රැෆි 2012 දෙසැම්බර් කලාපයෙන් ලෝකයට කියලා තියෙනවා. ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියාව ආශ්‍රිත ප්‍රදේශවලින් තමා මේ පාරාදීසය හොයගෙන තියෙන්නෙ. කියවන්න කැමති කෙනෙක්ට මේ ලින්ක් එකෙන් නැෂනල් ජියෝග්‍රැෆි සඟරාවේ අදාල පිටුටික විතරක් ඩවුන් කරගන්න පුළුවන්. මං සිංහලට හරවලා ඇත්ත විස්තරේ කනවට වැඩිය හොඳයිනේ තියෙන විදියටම බැළුවනම්…!

%d bloggers like this: