මයිනා විනෝදේ…

කෝච්චියේ සෙනග අතරින් එක පාරට ඇහුන කුරුලු සද්දෙට මාත් ඔලුව එහාට මෙහාට කරලා බැලුවේ… කාගේ ෆෝන් එකද මෙච්චර හයියෙන් රිං වෙන්නේ කියලා. නෑ ඒක ෆෝන් එකක් නෙවෙයි. මනුස්සයෙක්. කුරුලු හඬක් එන විසිල් විකුණන මනුස්සයෙක්. මුලින් සද්දේ විතරයි… පස්සෙනෙ මාකටින් පාර දැම්මේ…

මයිනා විනෝදේ… මයිනා විනෝදේ….

චයිනා මයිනා… චයිනා මයිනා…

චංචුකු… චුංචුකු… කංකුං

මයිනා විනෝදේ…. මයිනා විනෝදේ….

මයිනා විනෝදේ

මයිනා විනෝදේ

ඔය ටික දෙපාරක් විතර කියලා ආයෙම අර කලින් විසිල් එකම වාදනය කලා. ඉතිං දෙවෙනි පාර මාකට් කරාම තමා එකක් විකුණුනේ. එකක් රුපියල් 20ද කොහෙද. මට ඉතිං වැඩක් තියෙනවැයි ඕවා. මං ගත්තේ නෑ. අනික සෙනග පිරිලා නිසා මනුස්සයාවවත්, කුරුලු නලාව වත් දැක්කේ නෑ. පොර මාකටින් පාර දාගෙන යද්දි “චංචුකු… චුංචුකු… කංකුං” කියන කොට ඔන්න කෝච්චියේ හිටපු කෙල්ලෝ ටික මයිනා ස්ටයිල් එකටම “හිචි හිචි” ගාන්න ගත්තා. ඊට පස්සේ මයිනා විසිල් විකුණන පොර ටිකක් මැදට ගිහිං සෙනග අස්සේ හිරවුනා. දැන් පොර විසිල් ටිකත් කැඩන්න බිඳෙන්න නොදී බේරගෙන ඉස්සරහට යන්න ට්‍රයි එක දෙන ගමන්…

නෝනා…

මයිනා හිරවුනා…

පොඩ්ඩක් ඉඩ….!

එතකොට මෙන්න අර කලිං හිනාවුන කෙල්ලෝ ටික අතින් කටවල් වහගෙන. ඒ වෙනුවට කසාද බැඳපු ගෑණූ ළමයි ටික කටෙන් පනින්න එන හිනාව හිරකරගන්න මාර ගේමක් දෙනවා මං දැක්කා. මං ඉතිං ඔව්වා බලන්න ගියේ නෑ. මං අහක බලාගත්තා… මොකටද නිකං අනුන්ගේ මයිනෝ… නෙහ්…! කොහොමහරි මයිනා රිංගලා, මයිනා විනෝදේ…. මයිනා විනෝදේ… කියාගෙන එහාට මෙහොට ඇඹරී ඇඹරී ඉස්සර හට ගියා… මං ඒකත් දැක්කේ නෑ වගේ හිටියා… ආයෙ නිකං මොකටද නෙහ්…!!!

 

ස්කෝලෙන් පැනිල්ල…

 n

🙂

ස්කෝලේ ගිය හැම පිරිමි ළමයෙක්ම වගේ ඒ අවුරුදු දහතුන ඇතුලත එක පාරක් හරි ස්කෝලෙන් පැනලා ඇති මං හිතන්නේ. එහෙම නැත්තං ඉතිං ඒ පැනිල්ලේ තියෙන ගතිය ගැන කිසිම හැඟීමක් ඇති වෙන එකක් නෑ.

ඇත්තටම ස්කෝලෙන් පනින්න අපිට ඒ දවස් වල ඕනෙ තරම් හේතු තිබුනා. ඒක තනිකරම විනය විරෝධි වැඩක් වුනාට පොඩි නරක වැඩක් ඉඳලා හිටලා කරද්දී හිතට අපුරු කික් එකක් තියෙනවා. ඒ වගේම ඒ දේවල් වයසට යනකොට කිය කිය හිනා වෙන්න පුළුවන් වෙන විදියට මතක පොතේ ඉබේම ලියවෙනවා. සමහර වෙලාවට ගුරුවරුන්ගේ බැනුම්, වේවැල් පාරවල් එක්කම ලියවෙන වෙලාවලුත් තියෙනවා.

ඉතිං මේ අළුත්ම විදිය ගැන කියන්න කලිං අපේ කෙරුවාවල් ටිකක් කියන්නම වෙනවා. නැත්තං ස්කෝලෙක තාප්පෙකින් හොරෙන් පැනලා නැති කෙනෙකුට ඒ ගැන අදහසක් නැතිවෙයි. අපි ස්කෝලෙ යද්දි වැඩි හරියක්ම හොරෙන් පැන්නේ මගේ පන්තියේ හිටිය අරුණ කියන යාළුවගේ ගේ එහා පැත්තෙන් ගලාගෙන යන බොල්ගොඩ ගඟේ නාන්න යන්න. ඇත්තටම තරමක් අවදානම් කටයුත්තක් වුනාට ඒ අවට හිටිය අරුණ අඳුනන මාළු බාන අය නිසා එපිට බයක් දැනුනේ නෑ. නාන ඇඳුමක් නැති නිසා උපන් ඇඳුමෙන්ම තමා වතුරට පනින්නේ. නාලා ඉවර වෙලා පිහිදගන්න විතරක්, අරුණගේ අම්ම වැලේ වනලා තියෙන තුවායක් හොරට උස්සං එනවා. ඒකෙන් පිහිදගෙන ආයෙම ඇඳුම් ඇඳගෙන ස්කෝලේ ඇරෙනකම්ම ස්කෝලේ ඉඳියා වගේ ගෙදර යනවා. එකම එක දවසක් නම් මට පොඩි කේස් එකක් වැටුනා. ඒ තමා අරුණගෙයි මගෙයි කලිසම් දෙක මාරු වීම. එදා මගේ ඇඳුම් හෝදද්දි කලිසම වෙන එකක් කියලා අම්මට මාට්ටු වෙලා මල මගුලක් වෙන්න ගිහිං, බොරු දාහක් විතර කියලා යාන්තං අම්මා ස්කෝලෙට එන එක නවත්තගෙන පහුවෙනිදම කලිසම මාරු කරගත්තා. අරුණට කිසිම අවුලක් නෑ. උගේ ඇඳුම් ඒ දවස්ල ඉඳන්ම ඌමනේ හෝදගත්තේ.

මෙහෙමත් පැන්නනේ..!

මෙහෙමත් පැන්නනේ..!

ඔය ගඟේ නාන්න ඇරෙන්න අපි ස්කෝලෙන් පනින්නේ වෙන යාළුවෙක්ගේ ගෙදරක යන්න. එහෙමත් නැත්තං කාන්තා පාසලක තියෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් බලන්න යන්න වගේ හෙන වැදගත් වැඩකට. එහෙමත් නැත්තං බිග් මැච් එකට හැට් කලෙක්ෂන් යන්න. ඒ ගමන තමා මරු. ලොරි භාගෙක පිටිපස්සේ ඉඳගෙන යුනිෆෝම් එකට උඩින් නයිටි ඇඳගෙන කාන්තා පාසල් ගාව සල්ලි එකතු කරනවා කියන්නේ… දැන් නම් මතක් වෙද්දිත් ලැජ්ජයි.

ඒ වගේම අපේ පාසල කිට්ටුවම වගේ තිබුන තව පාසලක්. පිරිමි එකයි ගැහැණු එකයි වෙන වෙනම තිබුනේ. දැන් නම් පිරිමි පාසල වෙන තැනකට ගෙනිහිල්ලා තියෙන්නේ. ඒ දවස් වල තිබුන පාසල දැන් ඉංජිනේරු බලකායේ කෑම්ප් එකක් විදියට පරිවර්තනය වෙලා. කොයිතරම් ස්කෝලේ නම් නොකියා බේරෙන්න හැදුවත් ඒක කරන්න බෑ. කතාවේ අන්තිමට නම කියනෙවා. ඒ කාලේ අපේ සමවයස් යාළුවෝ සෙට් එකක් ඔය පාසලේ තිබුන අඩි දහයක් විතර උස තාප්පෙ තිබුන හිලකින් එහා පැත්තට රිංගද්දි, වයිස් ප්‍රින්සිපල්ටද කොහෙද මාට්ටු. දහයක විතර සෙට් එකෙන් අන්තිම එකා දනගාගෙන රිංගද්දි, උගේ පපුව හරිය එලියට ගියාම තමා වයිස් ප්‍රින්සිපල් ඒ ලඟින් යන්න ඇවිත් තියෙන්නේ. මේ සීන් එක දැක්ක වයිස් ප්‍රින්සිපල් බාගෙට රිංගලා ඉන්න කොල්ලගෙන් ඇහුවලු “මොකද්ද මේ තොපි රිංගන ගුල” කියලා. අරුත් ඉන්නේ බාගෙට රිංගන ගමන්නේ. මොනා කිව්වත් ඉතිං මොකාද කියන්නේ කියලා පස්ස පැත්තෙන් අඳුන ගන්න බැරි නිසා අරූ හෙන හයියෙන් “මේක තමා සර්… සුමගුල” කියලා ඉතුරු ටිකත් අනිත් පැත්තට රිංගුවලු.

හරි දැන් කියන්නම් මාතෘකාවට අදාල කතාව. මේක මට අහන්න ලැබුනේ දවසක් පාන්දරක කෝච්චිය එනකං ස්ටේෂන් එකේ බංකුවේ ඉඳගෙන ඉද්දි. ඔන්න මට එහා පැත්තෙන් ඉන්නවා මැදි වයසේ පුද්ගලයෙක්. බුවා අපේ තාත්තගේ යාළුවෙක්. ඒත් මාව වැඩිය මතක නෑ. අනික කළුවරේ අඳුන ගන්න කොහොමත් බෑ. ඉතිං ඔහොම ඉද්දි ඒ අංකල්ගේ යාළුවෙකුත් එනවා ස්ටේෂන් එකට. ඒ දෙන්නා මං හිතන විදියට ගොඩ කාලෙකින් හම්බුවෙලා නෑ.

තාත්තගේ යාළුවා අහනවා අර අනිත් මනුස්සයාගෙන්, “කොහොමද මචං. උඹව දැක්ක කල්. දැන් මොකද කරන්නේ?” කියලා.

අනිත් කෙනත් ඉතිං උත්තර දුන්නා. ඊට පස්සේ ඉතිං අපේ කතාවට අදාල නැති බ්ලා… බ්ලා… බ්ලා… ටිකක් ගියා. අායෙම තාත්තගේ යාළුවා ඇහුවා “උඹ කෝච්චියේ නෙවෙයිනේ යන්නේ. අද මොකෝ මේ..?” කියලා.

ඊට පස්සේ අනිත් කෙනා කියනවා “නෑ බං මේ පුතාගේ ස්කෝලෙන් එන්න කියලා. ඒකට යනවා. පොඩි එකා වෑන් එකේ ගියා. මං මේ කෝච්චියේ යන්න කියලා” එහෙම කියලා.

පස්සේ අනිත් පැත්තෙන් අහනවා “ඇයි ගුරු දෙගුරු රැස්වීමක්ද..?” කියලා

“නෑ බං… අපේ එකා පෙරේදා ස්කෝලෙන් පැනලනේ…”

“අම්මට සිරි…”

n

පැනීමේ සතුට…

“ඔව් බං බලපන්කෝ… මුගේ වැඩ. මාත් වැඩිය ගහන්න කරන්න ගියේනෑ… පොඩ්ඩක් බයකරා විතරයි. දන්නවනේ ඒ දවස් වල අපි කරපු වැඩ. ඕවා ඉතිං කවදහරි මතක සටහන් විදියට ඉතුරු වෙනවනේ.”

“හෙහ්… ඒක නම් ඇත්ත. කොල්ලා දැන් කීයෙද?”

“තාම දෙක වසරේ බං”

“ඈහ්… මොකක්…? දෙක වසරේ… මං හිතුවේ ලොකු එකා ස්කෝලෙන් පැනලා කියලා. කොහොමද බං පැනලා තියෙන්නේ..?” දැන් අර අංකල් ෆුල් හොල්මන්. ඒ අංකල් විතරක් නෙමෙයි කතාව අහෙන් මෙහෙන් අහගෙන ඉන්න මාත් හොල්මන්…!

“උංගේ පංතිය ගාව තමා ගංඨාරේ හදලා තියෙන්නේ. මූ මිස් එලියට යනකං ඉඳලා පොත් බෑග් එකත් කරේ දාගෙන ගිහිං ලණුව ඇදලා ගේට්ටුව ගාවට දුවලා. මේ යකා බෑග් එකත් දාගෙන දුවනවා දැක්ක අනිත් ළමයිනුත් බෑග් අරගෙන එලියට දුවලා.”

“ඉතිං….”

“ඉතිං කියන්නේ බං. ස්කෝලෙන් මට කතා කරලා කිව්වා. ඒ මදිවට ස්කූල් වෑන් එක මුලින්ම ගන්නේ අපේ එකාව. ඌ ඩ්‍රැයිවර්ටත් කියලා අද ස්කෝලේ කලිං ඇරියා අංකල් ඉක්මනට යං අනිත් වෑන් ඇවිත් ට්‍රැෆික් වෙන්න කලිං කියලා.”

“මරු බඩුවක්නේ…”

“වැඩක් නෑ කියලා… ගෑණි මාව කන්න හදනවා, පොඩි එකාව හුරතල් කරනවා වැඩියි කියලා”

දැන් මට තනියම හිනා මේක අහගෙන ඉද්දි. ඒ අස්සේ කොහොමහරි කෝච්චිය ආවා. මම කෝච්චියට නැගලා කල්පනා කලේ… දැන් පොඩි එවුන් ඇඩ්වාන්ස් කියන කතාව ඇත්ත. අපි අටේ නවයෙදි කරපුවා දැන් එවුන් දෙකේ තුනේදිම කරනවනේ කියලා. ඒක ඉතිං ඒ හැටි දේකුත් නෙමෙයි, පොඩි එවුන්ගේ සිලබස් එක හිටං දැන් ඇඩ්වාන්ස්නේ…! කොහොමහරි ඔය පොඩි එකා විප්ලවවාදියෙක් වුනොත් නම් අනිත් අයගේ නිදහස ගැනත් හිතයි… පේනවනේ, හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ…!

සතිදෙකෙන් අමතක වීම…

හ්ම්…. ටික කාලෙකට පසුව. අද නම් දෙන්න හදන්නේ ඇට්ටි හැලෙන්න. කාටද…? සිංහල අපිට. මොකටද…? වැරදි වටහා ගැනීමකට. අපිට වාසියක් කරගන්න තිබුන සිතුවිල්ලක් අපිට අවනම්බුවක් කරගත්ත එකට… සමහරවිට ඇට්ටි ටික මටම කැරකිලා ඒවිද දන්නෙත් නෑ. කමක් නෑ… සාමාන්‍යයෙන් වෙන දේනේ…!

සතිදෙකක්...

සතිදෙකක්…

මෙහෙමයි… දැන් ඔය මැරිච්චි ප්‍රභාකරන් ඉන්නවනේ… ඉතිං බුවා ඒ දවස් වල කොහෙහරි කරපු කතාවකදී කියලා තියෙනවා “සිංහල එවුන්ට දෙයක් මතක තියෙන්නේ සති දෙකයි” කියලා. අනිවාර්යෙන් පොර එහෙම කියලා තියෙන්නේ සිංහලයව මුදු මොලොක් මල් පිහාටුවක් වගේ බිමට පා කරලා දාලා නැතිබංගස්ථාන කරන්න හිතාගෙන. කනගාටුවෙන් වුනත් මාත් ඇතුළුව බොහෝ දෙනෙක්… බොහෝ දෙනෙක් කිව්වට සියළුම දෙනා වගේම, ඔය අලි ටෝක් එක මහ ඉහලින් පිළිඅරගෙන තිබුනා. දැනටත් තියෙනවා. ඒ වගේම මොකෙට්ට හරි බනින්න වේදිකාවකට නැග්ගත් ප්‍රභාකරන්ට ලකුණු වැටෙන නොවැටෙන ගානට ඔය වැකිය එහෙමම කියනව කතාව අහගෙන ඉන්න අයට.

ඉතිං අහගෙන ඉන්න අයත් ඕක පිළිඅරගෙන තමාගේ සිත් තුල තැම්පත් කරගන්නවා. කොහොම කොහොම හරි ඔය වගේ සිංහල අයට අපහාස වෙන විදියට ඔය කතාව ලංකාව තුල පැතිරුනේ අපේම සිංහල කතා කාරයෝ නිසා කිව්වොත්, කේන්ති ගියත්… කතාව ඇත්ත නේද කියලා හිතෙයි. මං හිතන්නේ වැඩිහරියක්ම දේශපාලකයෝ තමා ඔය කතාව රට පුරා මහ ලොකුවට කිය කිය මිනිස්සුන්ගේ හිත් වලට ඔය කතාව ඇතුල් කලේ.

කොහොම හරි අන්තිමේ සිද්ධ වුනේ ඇත්තටම අපේ මිනිස්සු ඔය කතාවට අනුව බලෙන්ම වගේ වැඩ කරන්න පෙළඹිච්ච එක. ඒ කියන්නේ යම් හොඳ හෝ නරක සිදුවීමක් මතකයේ තියානොගෙන බලෙන්ම වගේ අමතක කරලා වෙන අලුත් සිදුවීමක එල්ලිච්ච එක. දැන් කෝ අර පාට පාට වැහි වල අප්ඩේට්…? ඒවා ගැන කොරපු පරීක්ෂණ… ඒවා කාටවත් මතක නෑ… දැන් මතක අපි අවුරුදු දහඅටකට පස්සේ වර්ල්ඩ් කප් එකක් ඉස්සුවා කියන එක විතරයි. ඒකත් දැන් අමතක වෙලා යන ගානේ තියෙන්නේ… ඇයි ඉතිං අවුරුදු ගැන හිතන්න එපැයි.

මට කියන්න ඕනේ නැවතත් පාරක් “සිංහලයාගේ හැටි එහෙම තමයි” කියන එකමයි. ප්‍රභාකරන් කිව්ව කතාව හරි කියන එකමයි. ඒ වගේම ඒක අපි හිතන විදයට, අපේ ඔලු වලට කිඳා බස්සපු තරමට… ඒක කවදාවත් සිංහලයාගේ දුර්වලතාවයක් වුනේ නෑ කියන එකයි. අපි වැඩිහරියක් සිංහල බෞද්ධයෝ. අපි දන්නවා අටලෝ දහම කියල එකක් ගැන. නින්දා – ප්‍රශංසා, යස – අයස ගැන අපි අහලා තියෙනවා, විඳලා තියෙනවා. ඒත් ඒ කිසිම දෙයකින් නොසැලී, ඕනෙවට වැඩියෙන් ආඩම්බර නොවී, ඕනෙවට වැඩියෙන් දුක් නොවී… අපේ වැඩ අපිට කරගෙන යන්න පුළුවන් කියන්නේ උපේක්ෂාව කියන එකයි. හැම දෙයක්ම මැදහත් සිතින් ඉවසගෙන ඉන්නව කියන එකයි.

මං හිතන්නේ ඒකත් අපිට ආර්යන්ගෙන් ආපු පුරුද්දක් වෙන්න ඕනේ. හැබැයි දැන් නම් ඒකේ වැරැද්දක් පේන්නේ නෑ. ඉස්සර මාත් ලොකුවට ඔය වැකිය අල්ලගෙන් ලිව්වා. ආයේ ලියන්නේ නෑ. වෙච්චි දෙයක්, නැති වෙච්ච දෙයක් ගැන මාස ගනන් හිත හිත ලතවෙනවට වැඩිය ඒක සති දෙකෙන් බැරිනම් සතියෙන් හරි අමතක කරලා දාලා කරගෙන යන වැඩේම හරි, අළුත් වැඩකට හරි අතගහන එක වැරැද්දක්ද…? ලැබිච්ච දේකින් සතුටු වෙවී නිකං කාලෙ කනවට වඩා ඒක හැකි ඉක්මනින් අමතක කරලා දාලා තවත් දෙයක් ගැන හිතන එක වැරැද්දක්ද…? තව දුරටත් මට එහෙම හිතන්නේ නෑ. සමහරවිට ප්‍රභාකරන් කියන්නේ ඇත්තේ අපි ඔය දකින දේ නෙවේ වෙන්න ඇති. බුවා කියන්න ඇත්තේ මුංට කොච්චර අත්දැකීම් ලැබුනත් ඒ අත්දැකීම් ජීවිතයට ‍එකතු කර නොගෙන කලින් වෙච්චි වැරැද්දක්ම නැවත නැවතත් කරනවා කියන එක වෙන්න ඇති. එහෙම නැතුව අපේ පොරවල් කියන විදියට හැම දේම සති දෙකෙන් අමතක කරනවා කියලා ලේසි පහසුවට කියන එක නෙමෙයි වෙන්න ඇති. කොහෙද ඉතිං ඒක හරියට පැහැදිලි කරගන්න පොර ඉන්න එකක්යැ…!

අන්තිමේ මට හිතෙන්නේ ඒ කියමන සිංහල අපිට අවනම්බු වෙන්න හැදුවට, අපේ සිංහලයොත් ඒක අපිට අවනම්බු වෙන විදියටම පැතිරෙව්වට… ඒ කියමන සිංහල බෞද්ධයන්ගේ සැබෑ ලක්ෂණයක් ඉදිරිපත් කරනවා කියලයි. හැබැයි අර අත්දැකීම් එකතු කරගන්නේ නැතුව මග හලන එකටනම් මටත් ටිකක් මෙව්වා එකයි වගේ…!

හිටි ගමන් රහත් වෙන, බුදු වෙන ඇත්තන්ට…

ටිකක් විතර යල් පැනපු, ඒත් ආයමත් කොයි මොහොතක හරි පත්තර වල හෙඩ් ලයින් පුරවන, සමාජ ජාල වල ෂෙයාර් වෙන සෑහෙන්න හිට් වෙන මාතෘකාවක්.

මේක මහ අමුතු රටක්. ඒ අමුතුකමත් සුද්දන්ගෙන් අපිට උරුම වුන දෙයක් කියලා අද වගේ නිදහස් දවසකත් බනීද දන්නේ නෑ. කොහොමහරි දැන් අවුරුදු කීපයකට කලින් ඉඳලා අපේ රටේ තැන් තැන් වලින් බුදුවරු, රහත් හිමි නමවල්, සෝවාන් වෙච්චි ගිහියෝ පහල වෙනවා. ඒකේ ආරම්භය කවදා කොහොම වුනාද කියලා හොයාගන්න බැරි වුනාට පත්තර වලින් දැකලා, ටීවී එකෙන් බලලා, එහෙම දෙයක් වුනා කියන එක මතකයි.

පුංචි කාලේ අපිට දහම් පාසලේ කියලා දුන්නේ සෝවාන් වෙන්න සෑහෙන කාලයක් පෙරම් දම් පුරන්න ඕනේ කියලායි. ඒ වගේම සෝවාන් වුනාට පස්සේ ආත්ම හතකට වැඩිය උපදින්නෙත් නෑ, ඒ ආත්ම හත ඇතුලත වෙන කිසිම ආගමක දරුවෙක් වෙලා උපදින්නෙත් නෑ කියලයි. ඒවායේ ඇත්ත නැත්ත අපි නොදන්නවා වුනාට ඒවා විශ්වාස කරනවා. ඒ වගේම එහෙම සෝවාන් වෙන්න නම් මනා හික්මීමක් ඇති කරගන්න ඕනෙලු. හවසට කන පැලෙන්න බීලා තව කාලකුත් බෝතලයක අරගෙන ගිහිං  නිදාගන්න මිහිහෙක්ට තව ආත්ම ගානක් යන කං යහපත් උපාසකයෙක්වත් වෙන්න බැරි බව පොඩි එකෙක් උනත් දන්නවා. එහෙම මිනිහෙක් කොහොමද එක පාරට සෝවාන් වෙන්නේ? එක විදියක් තියෙනවා…. ඊයේ රෑ බීපුවෑ ආනුභාවෙන් ඌට හොඳටම ඩෝප් උනොත් සෝවාන් නෙවෙයි බුදු වෙන්න උනත් පුළුවන්..!

ඒ වගේම තමා බුද්ධ භාවයත්. බුදු වෙනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයිලු. පන්සල් යන හැම පාරකම අපිට අහන්න ලැබෙන්නේ “සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා“ කියලා උනාට එහෙම සියළු දෙනාම නිදුක් වෙන්න නම් මේ ලෝකේ ඉන්න ජනගහනය වැඩි කරන්න ඕනේ කල්ප ලක්ෂ ගානකින්. ඒ ගාන හදලා ඉවර කරන්න බ්ලූ ජීන් එකටවත් බැරිවෙයි.

ඉතිං එහෙම සාමාන්‍ය දැනීමක් තියාගෙන ඉන්න අපි වගේ එවුන්ව කිසි දෙයක් නොදන්න ගොන්නු කියලා අන්දන්න හදන හොර උපාසකයෝ කීදෙනෙක් නම් ඉන්නවද…? කී දෙනෙක් නම් පහල වුනාද…? කී දෙනෙක් නම් අනාගතේ පහල වෙන්න ප්ලෑන් කරගෙන ඉන්නවද…? ඒ හැමෝටම අහුවෙන, කොටින්ම ඒ මිනිස්සුන්ගේ අනුශාසනා වලට – වචන පෙරළියට අහුවෙලා රැවටිලා තම තමන්ගේ හිත් බුද්ධ ගෞරවයෙන් පුරෝගෙන *ක දීගෙන යන මිනිස්සු කොයිතරම් ඉන්නවද…? ඒ අතර උගත් මහාචාර්යවරු, හාමුදුරුවරු වගේම තනිකරම බුද්ධ ශාසනේ ගැන ශ්‍රද්ධාව විතරක් තියෙන, ගාථාවක තේරුමක් නොදන්න, මල් සුවඳට, හඳුන්කූරු දුමට ආසා කරන, පැන් කලයක් අරගෙන අනිත් අය එක්ක පෝලිමේ ගිහිං බෝධිය නාවන අධි-ශ්‍රද්ධාසම්පන්න උපාසක උපාසිකාවොත් ඉන්නවා.

පිරිණිවන් පාලා ඇති දැන්...

පිරිණිවන් පාලා ඇති දැන්…

ගිහිගෙයි ඉඳගෙන කම්සැප විඳ විඳ ඉන්න එවුන් සෝවාන් වෙන්නේ, රහත් වෙන්නේ, බුදු වෙන්නේ අපේ සහ උංගේ යන දෙගොල්ලොගෙම පවට. අනික එහෙම සෝවාන් වෙන, රහත් වෙන, බුදු වෙන අපේ කාලයේ කිසිම එකෙකුට අපේ සැකය නැතිකරන්න කිසිම පෙළරහක් පාන්න බෑ. බුදුරජාණන් වහන්සේ නෑදෑයින්ගේ කුකුස නැති කරන්න යමා මහ පෙළහර පෑවා. යමාමහ පෙළහර කියන්නේ ශරීරයේ එක පැත්තකින් ගින්දරත් අනිත් පැත්තෙන් ජලයත් නිකුත් කරමින් කරන, බුදු කෙනෙකුට පමණක් කලහැකි පෙළහරක්. ඒත් ඒක කරන්න බැරිවුනා ගාල්ල පැත්තේ බුදු වෙච්ච, ගෑණිත් එක්ක පන්සල් යන බුදු හාමුදුරුවන්ට. ඌට අඩුම ගානේ එක ගිනීකූරකින් ඉටිපන්දම් දහයක් වත් පත්තු කරන්න පුළුවන්ද දන්නේ නෑ වටේ ඉන්න එවුන්ගේ සහයක් නැතුව. කොහොම හරි අන්තිමේ පොර දැන් පේන්න නැත්තේ කොහේ හරි ගහක් යට පිරිණිවන් පාලද දන්නේ නෑ…

ඔය ලබන හැම තත්වයක්ම, ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමී, අර්හත්, බුදුබව යන හැම එකකින්ම ලබන්නේ, වෙනස් වෙන්නේ, දියුණු වෙන්නේ හිත සහ හිතන විදිය විතරයි. එහෙම නැතුව සිවුරේ පාටවත්, භාවිත කරන නමවත්, ගමන් බිමන් යන මෝටර් රථයවත්, ආවාස ගෙයි බිමට අල්ලන ටයිල් එකවත් නෙවෙයි. ඒ වගේම ඒ ලබන හිතේ දියුණුවත් සමග විවිධ මානසික් හැකියාවන්, භෞතික වස්තූන් පාලනට කිරීමට හැකියාවන් ඇති වෙනවා. මේ ලඟකදී සෝවාන් වුන, රහත් වුන හැම කෙනෙක්ටම තිබුනේ ටීවී එකේ තමන්ගේ නම වෙනස් කරලා සිවුර වෙනස් කරලා මූන චුට්ටක් පෙන්නන කාලය වැඩි කිරීමේ හැකියාව පමණයි. නැත්තං වටේ ඉන්න ගෑණුන්ට කියලා කකුල් දෙක අල්ලලා වන්ද ගන්න හැකියාව විතරයි.

එකෙකුට පුළුවන් වුනාද එක තත්පරක් අහසට නැගලා, කියන්න “බලන්න උපාසික උපාසිකාවනි, ඔබලා මා ලැබූ තත්ත්වය ගැන සැකකරන්නේ ඔබලාගේ නොදැනුවත් කම නිසාමය“ කියලා. බැහැ උං ලබලා තියෙන්නේ රෑට බීලා එලිවෙන කොට තැපෑලේ එන බුද්ධත්වයක් හා රහත් භාවයක්. ඒක වැඩි කල් අල්ලලා හිටන්නේ නෑ, කවුරු හරි ගෑණියෙක් කකුල් දෙකේ හරි ඊට උඩින් හරි දෙහි ගෙඩියක් ඇතිල්ලුවම ඔය ගතිය ඇරිලා යයි අපේ හාමුදුරුවරුනේ, ගිහි බුදුනේ….! එතකන් ලැබෙන දෙයක් කාගෙන, තර්ක වලට නොයා, අපේ සැකයන් දුරු නොකර ඔහොමම සිටිනු මැනවි. නැතිනම් ඉතිරි අවුරුදු දෙදාස් ගානම තව අවුරුදු දහයක් විස්සක්  ඇතුලත අපේ ඇස් ඉදිරි පිටිම තොලොන්චි වී යනු ඇත.

-

ධ්‍යානයක් ලැබූ අයකුගේ භෞතික වශයෙන් වෙනස් වනවා නම් වෙනම් වන්නේ හැසීරීම් රටාව පමණි. එයද තව දුරටත් වෙනස් වන්නට දෙයක් නැත. ධ්‍යානය ලබන්නේ හැසිරීම් රටාවේ පවතින උසස් බව නිසාය. හිත යම් ඉහල අධ්‍යාත්මිකතාවයකට පැමිණීම ධ්‍යානයක් නම්, මුන් අපිට භෞතිකව පෙන්නන්න හදන රහත් බව, බුදු බව කුමක්ද…?

අහිංසක මිනිස්සු හැමදාම පන්සල් යන්නේ හිතේ දුක නිවාගන්න. ඔවුන් බලාපොරොත්තු වෙනවා හද පත්ලෙන්ම කවදාම හරි දවසක, ආත්ම කල්ප ගානකින් පස්සේ හරි බුදුකෙනෙකුන්ගෙන් බන පදයක් අහලා මේ විඳින දුකින් සදහටම අත් මිදෙන්න. ඒ මිනිස්සුන්ගේ ඒ හිතේ තියෙන ශ්‍රද්ධාව, ලස්සන වචන වලින් හොරකම් කරගෙන… බොරු මවාපෑම් කරලා, ශ්‍රද්ධාවට ලස්සනට විදින ගිහි-පැවිදි ඇත්තන්ට බුදුන්ගේම සරණයි. –at කේන්තියෙන්…

සති දෙකෙන් සති දෙකට…

ගෑණු ළමයින්ට අර අහවල් එක වෙන්නේ මාසෙකින්… නැත්තං ආසන්න වශයෙන් මාසෙකින්. අපි ඒක ගැන හරි සැලකිලිමත්. ගැහැණු ළමයෙක් නම් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ තමන්ගේ සුවපහසුව, සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා. පිරිමි ළමයි නම ඒ ගැන වැඩිපුර හිතන්නේ කෙල්ලෙක්ව චුට්ටක් කේන්ති ගස්සන්න පුළුවන් හොඳ කාලසීමාවක් වෙන නිසා. නමුත් බැඳපු අයට නම් අප්සට් කාලසීමාවක්. තමන් කරන්නේ මොනාද කියලවත් වැඩි සැලකිල්ලක් නැතුව තමන්ගේ අපහසුතාවය ගැන ගැනම හිත හිත ඉන්න නිසා ගොඩක් දේවල් මිස් වෙනවා.

අන්න ඒ වගේ තමා දැන් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන වටපිටාවත්. සති දෙකෙන් දෙකට, අපිට තියෙන ප්‍රශ්න, වෙන අසාධාරණ ඔක්කොම ටික අමතක වෙලා යන්න එක එක මැජික් පෙන්නනවා. අඩුම ගානේ පෙන්නන්න දෙයක් නැත්තං මොකක් හරි අහක යන දෙයක් හරි මවා පාලා පෙන්නනවා. එහෙම නැත්තං බොරුවට කාට හරි ගස්සනවා. නැත්තං කාව හරි දික්කසාද කරවලා ඒක පත්තරවල දාලා, ටී.වී එකේ කියෝලා සතියක් දෙකක් අදිනව. බලාගෙන යද්දි සමහර වෙලාවට අදාල උං දික්කසාද වෙලත් නෑ…!

මේ රටේ මිනිස්සුන්ට සති දෙකකින් වෙන දෙයක් අමතක වෙලා යන නිසා සමහරවිට වෙනම කමිටුවක් පත් කරලා ඇති සති දෙකින් දෙකට මොකක් හරි, මිනිස්සුන්ගේ හිත් වශීකෘත කරවන, ආශ්චර්මත්… ඉවෙන්ට් එකක් නිර්මාණය කරන්න. එහෙම කරාම මිනිස්සු පොර කන්නේ ඒ ආතල් එක ගන්න නිසා, මිනිස්සුන්ගේ පිටිපස්සෙන් සිද්ධ වෙන දේ ගැන හිතන්න මොහොතක්වත් නෑ. ඊට පස්සේ ඒ ෆන් එක ඉවර වේගෙන ගිහිං ආයෙම බඩුමිල, විදුලි බිල මතක් වෙද්දි ආයෙමත් මොකක් හරි පට්ට ඉවෙන්ට් එකක් දර්සනය කරනවා. එතකොට ඉහල යන මිල දර්ශකය පැත්තක දාලා කීය ගියත් කමක් නෑ  කියලා ආයෙමත් පොඩි එවුන්වත් උස්සගෙන දුවනවා ඒ දර්සනේ බලන්න.

ඒක අමතක වී ගෙන එද්දි පෙර පරිදිම මොකක් හරි මෙව්වා එකක් අටෝනවා මහජන ප්‍රදර්ශනේට. හ්ම්… ලංකාව තරම්, රටක මිනිස්සුන්ගේ චිත්ත ප්‍රීතිය ගැන හිතන වෙන කිසිම රටක් නැතුව ඇති මේ ලෝකේ. “සෙක්ස්” හොයලා පළවෙනියා වෙච්චි රටක්, මත්පැන් භාවිතය අතින් තුන් වෙනි තැනට ආපු රටක් කියන්නේ සෙල්ලම් දෙයක්ද…? ලෝක සිතියමේ චූටි ප්‍රමාණයක් ආවරණය කරන රටක් මෙච්චර දේවල් කරන්නේ කොහොමද…? ඒක තමා ආශ්චර්යය. මේ රටේ හැම මිනිහගෙන්ම සාර්ථක දායකත්වයක් ඒ අදාල ස්ථාන දිනාගන්න ලැබෙන්න ඇති. මතට තිත තියෙන්නේ කලින් වාර්තා නොවුන තරම් මත්පැන් ප්‍රමාණයක් විකිනෙද්දී, අර සේනා මේ සේනා පඳුරක් පඳුරක් ගානේ බිහිවෙද්දිත් හාමුදුරුවරු ගෑණු එක්ක හෙලුවෙන් සෙල්ලන් කරද්දි, එක පැත්තකින් මේ රටට පල්ලි එපා කියනවා. තව පැත්තකින් තවත් බාර් එපා කියනවා. හික්ස්… එහෙම කෑගහන මිනිස්සුන්ට බැහැ, තමන්ගේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරලා හොර වැඩ බේරුමක් කරගෙන සිල්වත් කරන්න…. නිතරම බාර් එකට දුවන තමන්ගේ පුතාට කනට දෙකක් ගහලා බීම නවත්ත ගන්න. ඔක්කොම සීන් එලි වුනාම එක්කෝ පන්සලේ හාමුදුරුවන්ව ගහලා පන්නයි… නැත්තං බාර් කාරයට අල්ලං ගහයි. වැරැද්ද සහ නිවැරදි කිරීමේ ක්‍රමත් තමන් ලඟ තියාගෙනම අනිත් එවුන්ට ඇඟිල්ල දික් කරන මේ ආශ්චර්යය… පොඩි කාලේ ඉගෙන ගත් පරිදි… අහා…ය.

අහා යනු පොෂ් බාසාවෙන් ඕහ් මයි ගෝඩ්ය.

දැන් වරාය පෙන්නාගෙන යයි…  ඊට පස්සේ පහලොස් වෙනිදා ඒක ඉවර වුනාම මයිකල් ජැක්සන්ගේ අයියගේ ආතල් එකය. ඔන්න ඔහොම ගිහිං ගිහිං තව ටික දවසකින් ෂුවර් ඇන්ඩ් ෂොට් කටුනායක – කොළඹ මාර්ගයේ අධිවේගයේ වටයක් යෑමට දෙනු නියතය. ඒකෙ නම් ඒ තරම් සිරා ෆන් එකක් එකක් නැති වෙන්න පුළුවන. ගාල්ල – කොළඹ එකේ හයිවේ එකේ කට්ටිය ආව ගිය නිසා මේ හයිවේ එකේ ෆ්‍රී ජර්නියට වැඩිය කව්රුත් සෙට් වෙන එකක් නැත. ඊටත් පස්සේ මොකද්ද තියෙන ඉවෙන්ට් එක…? මතක් වෙන්නේ නෑ. බය වෙන්න දෙයක් නෑ… ජාතික ආතල් සැපයීමේ කමිටුව ඒක දැනටමත් සංවිධානය කර ඇත. එක්කෝ ගුටි කෙලියක්, නැත්තං ආගමික ඉවෙන්ට් එකක්, නැත්තං රේප් සීන් එකක් හෝ අඩුම ගානේ පාතාල කේස් එකක් වත් වෙන්නට පුළුවන. නැත්තං ඉතිං කිසිදා නොඇසූ වීරු මෙව්වා එකක‍් වෙන්නටත් පුළුවන. හරියට නිකං ඌරු වරිගේ අහවල් ඈත්තන්ට අළුත්ම අළුත් වාහනයක් දෙනවා වගේ…! 😀 දඩයමේ යන්ට වෙන්න ඇති. කලින් ගෙන්නපු සිරා හමර් එකක් වගේ දුන්නොත් නම් මරුය. අම්මට උඩු කෝමද මුවාට කලින් ගිහිං මුවා එනකං ඉඳලා නලලටම ෂූට් කරනකොට.

ලෑස්තිද ඊලඟ මැජික් එකට...?

ලෑස්තිද ඊලඟ මැජික් එකට…?

ගැහැණු අයට අමාරු වෙන්නේ මාසයකට පාරක්ය. ඒත් ලාංකික ජනතාවටනම් සුමාන දෙකෙන් දෙකට එක එක අමාරු සෑදෙන්නේය. මමත් සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක් නිසා මමද එයට ගොදුරු වන්නෙමි.  ඒකත් හරි ෂෝක්ය…!

ෆන් එක ගත්ත ගමන් තමන්ගේ අවට වට පිටාව ගැනත් සැලකිලිමත් විය යුතුය. නැත්තං ලංකාවට තව තව තොප්පි වැටීමට හෙවත් තව තවත් කප් ලැබීමට ඇති ඉඩ කඩ බොහෝය. අපි මැජික් වලට හිනාවෙන විට සංවිධායකයන් අපිට හිනාවෙනවා ඇත… “ආං බලපන් උංගේ ෆන් එක… උංට එහෙම ඉන්න දීලා මේ වාහන ටික බෙදා ගමු / ඔය ෆන් එක ඉවර වෙද්දි ගාන පොඩ්ඩක් වැඩි කරමු… වැඩිය දැනෙන එකක් නැහැ / හිනාව අස්සෙම තව දෙතුන් දෙනෙක්ව ඉවර කරමු… ඒව ගැන හිතන්න වෙලාවක් උංට දැන් නැහැ…” කවුරු කොහොම කිව්වත් පොඩි දරුවන්ට අමතරව දේශපාලකයින්ද හදවතින්ම උනුන් සමග සිනාසේ. ඊට අමතරව මේවා බලාගෙන පිටරටවල්ද හදවතින්ම අපිට සිනාසේ…

පිටපත මගේය. සල්ලි වලට පිටපත් නොලියන නිසා අදහස්ද තනිකර මගේය. –at ජීවත් වෙන්න සිදු වෙච්ච රට ගැන පට්ට දුකින්.  (මේක හංගන්න ඕනේ… නැත්තං ඔයා හතර හිනා අස්සේ මටත් කෙලවයි)

මනුස්සයෙක්…!

.

.

බල්ලොයි මිනිස්සුයි ගත්තම අනාදිමත් කාලෙක ඉඳන් තිබුන යාළුකමේ ප්‍රතිපලයක් විදියටද කොහෙද මිනිස්සුන්ට බලු ගතිගුණත්, බල්ලන්ට මිනිස් ගතිගුණත් ටික ටික මුහු වෙලා. අන්තිමේ බල්ලා කවුද මනුස්සයා කවුද කියලා හොයාගන්න බැරි තරමට ගතිගුණ සමාන වෙලා.

කකුල් දෙකෙන් හිටගෙන ඇවිද්දට වෙලාවකට කකුල් හතරෙන් යන විදිය, තවකෙක්ගේ ඇඟට පැන පැන බුරා ගෙන බුරා ගෙන යෑම, එකෙක්ව තනි කරගෙන හතර පස් දෙනෙක් වට කරගෙන නෙලීම, හැම වෙලාවෙම අනුන් ගැන ඉව කර කර හිඳීම… වගේ ගතිගුණ කවදා කොහොම මනුස්ස ඇඟවල් වලට ආවද කියන්න දන්නේ නැති වුනාට ඒ ඔක්කොම බලු ලක්ෂණ. දැන් දැන් ඉස්මතු වීගෙන ගෙන එන අනිත් බලු ලක්ෂණය තමා, තමාගේ හැඟීම් නවත්ත ගන්න තරම් ශක්තියක් නැති වුනාම පාරේ හෝ, වෙනත් තැනක හෝ ගෑණියෙක්ව බලෙන් හරි  අල්ලගෙන අහවල් කාරිය කිරීමට පෙළඹීම. බල්ලන්ට නම් ඒක ඕනේ වෙන්නේ කාලෙකට වුනාට මිනිස්සුන්ට එහෙම නෙවෙයිනේ…!

හිතන්න මිනිහෙක්ව වාහනේකට හැප්පුනා. වැරැද්ද රියදුරාගේ වුනත්, වාහනේ හැප්පුන කෙනාගේ වුනත්… වාහනේ එලවගෙන යන රියදුරා වාහනේ නවත්තලා ඇවිත් අර හැප්පුන මනුස්සයා ගැන බලනවා හරි අඩුයි. වාහනේ එලවගෙන යන කෙනා බලන්නේ කාටවත් පේන්න කලින් කොහොම හරි මාරු වෙන්න. හැප්පිලා වැටිච්ච කෙනාව රෝහලකට ගෙනියන්න වෙන්නේ ලඟ පාත ඉන්න අයට. කවුරුත් ලඟපාතක හිටියේ නැත්තං හැප්පිලා වැටුන කෙනාම තනියම නැගිටලා රෝහල් ගත වෙන්න ඕනේ… එහෙම නැත්තං එතෙනම ස්වීප් එක සූරලා දිවියලෝකෙද අපායද කියලා තීරණය කරගෙන, වේදනාවල් ඉවසගෙන අවසන් චුති චිත්තය යහපත් කරගන්න ඕනේ. අනික කොහොමත් දැන් නම් කාව හරි අනතුරකට බඳුන් වුනාම ඒ මිනිහාව රෝහල්ගත කරන්න කලින් කරන්නේ ෆොටෝ ගන්න එක නැත්තං ෆෝන් එකෙන් ඒ මනුස්සයාගේ අවසන් හුස්ම ටික වීඩියෝ කරලා ටීවී චැනල් එකකට දෙන්න. එහෙමත් නැත්තං ෆේස් බුක් දාන්න. ඊට පස්සේ තමා රෝහල් ගත කිරීම ගැන හිතන්නේ. ඔය වගේ හෙන නහයෙන් කටෙන් ලේ පෙරාගෙන, අතක් පයක් වෙන් වෙලා ඉන්න… ඒත් පන තියෙන මනුස්සයෙක්ගේ ඉමේජ් එකක් ෂෙයාර් කරාම ලයික් වැටෙනවා හෝ ගාලා… කමෙන්ට් වැටෙනවා හෝ ගාලා. පන පිටින් ඉඳන් හුස්ම අදින ඉමේජ් වලට හැම වෙලේම ෆේස් බුක් එකේ අප්ඩේට්ස් බලාගෙන ඉන්න අයගේ ඩිමාන්ඩ් එක වැඩියි.  වටේ පිටේ උදව්වක් නොකර ෆොටෝ ගගහා බලාගෙන ඉන්න උං නොදන්නවා වුනාට උංගේ පව් අකවුන්ට් එකත්, ඒ අස්සේ  වැඩි වෙනවා හෝ ගාලා.

.

.

අන්න එහෙම හැපුන මනුස්සයාව දාලා පස්සවත් නොබලා යන මිනිසුන් අතර… අපේ ගෙවල් වලට චුට්ටක් එහාට වෙන්න බල්ලෙක්ව හැප්පුනා වාහනේක. ඒක සුලභ දෙයක්. ඒ අතුරු පාරෙන් දුවගෙන එන බල්ලා කෙලින්ම පනින්නේ පාරට. උං දන්නේ නෑනේ අතුරු පාරක ඉඳන් ප්‍රධාන පාරකට දාද්දි ටිකක් කල්පනාකාරී වෙලා ස්ලෝ කරලා වාහනේ දාන්න ඕනේ වග. උං එන වේගෙන්ම පනිනවා. ඉතිං මාසෙකට පාරක් විතර බල්ලෙක් කකුලක් කඩාගන්නවා, එහෙමත් නැත්තං එතෙනම මැරෙනවා. මේ තාක් කාලෙකට ඔය හැප්පිච්ච එක බල්ලෙක් ගැනවත් බලන්න එකම වාහනයක් වත් නවත්තලා නෑ. හැම එකාම කරේ අවාට වැඩිය වේගෙන් මාරුවෙලා ගිය එක. ඒත් ඊයේ බල්ලා කකුල කඩාගෙන ඤෑස් ඤෑස් ගාන කොට බල්ලව හැප්පුන වාහනේ බල්ල ඉන්න තැනට රිවස් කරා. ඒ වෙද්දි බල්ලා ඌ ආපු අතුරු පාරෙම ටිකක් දුරට කකුල් තුනෙන් ගිහිං. පස්සේ වාහනේ ආයෙම යන්න ආපු ගමන ගියා. ඒක මහ ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් ඒ වාහනේ මනුස්සයා කරපු දෙය ලොකු දෙයක්…!

මිනිහෙක්ව හැප්පුනාම දාල යන බල්ලෝ අතර බල්ලෙක් හැප්පුනාම බල්ලට මොකද වුනේ කියලා බලන්න උත්සාහ කරපු ඒ මනුස්සයා හොඳ මනුස්සයෙක් වෙන්න ඕනේ…! –at අනාරක්ෂිත බලු හරස් මගක කතාවක්.

රට වටේ යන වෙසක්…!

අනුරාධපුරේ අපි ඇවිද්ද තැන්...

අනුරාධපුරේ අපි ඇවිද්ද තැන්…

ඉස්සර වෙසක් එකට ගම වටේ ගියාට දැන් යන්නේ රට වටේ. අපි ලොකුයිනේ දැන්…! හතර පස් දෙනෙක් එකතු කරගෙන අනුරාධපුරේ යන්න ලෑස්ති වෙලා හිටියට අන්තිමට ඉතුරු දෙන්නයි. ම්… මං හිතන්නේ ඒ “හොඳම කණ්ඩායම“ වෙන්න ඇති. කවදාවත් කෝච්චියෙන් අනුරාධපුරේට ගිහිං නැති නිසා යන දවසට හරියටම සති දෙකකට කලින්ම දෙවෙනි පංතියේ ආසන වෙන් කරලා තමා වැඩේ පටන් ගත්තේ. වෙසක් දවසේ උදේ තියෙන කෝච්චියට සීට් බුක් කිරීම ඇරඹුන දවසෙම මම ගියේ දවල් දෙකට විතර. ඒ වෙනකොටත් ආසන හතලිහක් වෙන් වෙලා ඉවරයි. හිතාගන්න පුළුවන්නේ සෙනග කොච්චරක් ඉන්න ඇතිද කියලා.

ඇත්තටම අනුරාධපුරේ යන්න ඕනේ කියලා හිතුනේ පිං සිතුවිලි පහලා වෙලා නම් නෙමෙයි. වෙසක් එකේ බොරු කියන්න ඕනේ නෑනේ. ඇත්තටම ගියේ, පුංචි කාලේ ගියාට පස්සේ අවුරුදු ගානකින් නොගිය නිසා වගේම අනුරාධපුරේ දැක ගන්න ආසා හිතුන නිසා. සමහරවිට ඉතිං… එහෙම හිතෙන්න ඇත්තෙ පෙර පිනකට වෙන්න ඇති…! නැත්තං ඉතිං අනිත් වෙසක් දවස් වලට වගේ ගෙවල් පැත්තෙම කැරකි කැරකි ඉන්න තිබුනනේ.

ඉතිං ආසන වෙන් කරපු දා ඉඳන් ගමනට ඕනේ වෙයි කියලා හිතන දේවල් කීපයක් ලෑස්ති කරා. ගොඩක් දේවල් තිබුන නිසා කරදර වෙන්න වුනේ නෑ වැඩිය. ඒත් අනුරාධපුරේට පැලෙන්න වහිනවා කියලා රේන කෝට් එකක් ගෙනියපං කියපු එකාටනම් අහුවුනොත් දෙනවා දෙකක්. අනුරාධපුරේට පුංචි පොද වැස්සක් ඇරෙන්න සති ගානකින් වැහැලා නෑ. අළුතෙන්ම රේන් කෝට් එකක් ගන්න වුනා වැරදි ආරංචිය නිසා. ඒක කමක් නෑ. වෙන ගමනක් යද්දි පාවිච්චි කරන්න බැරියැ.

ගමන පිටත් වෙන දවසේ, අනුරාධපුරේට කොළඹින් කෝච්චිය පිටත් වෙන්නේ උදේ 6.50ට. ඒක නිසා පාන්දරම නැගිටලා ගාලු පාරට ඇවිල්ලා දුර බස් එකක නැග්ගා. දුර බස් කියන්නේ ලග ලඟ හෝල්ට් වල නවත්තන්නේ නැති එව්වා. කොහොමහරි කොළඹට එද්දි උදේ හයයි. විනාඩි පනහක් තියෙනවා කෑම කාලා ගමනට සූදානම් වෙන්න. පස්සේ ඉතිං ඔක්කොම කරගෙන කොටුවේ ස්ටේෂන් එකෙන් ඇතුල් වෙද්දි හයයි හතලිස් පහට විතර ඇති. සීට් නැතිවෙයි කියලා බය වෙන්න දේකුත් නෑනේ. ඒක නිසා ඉතිං හැමදේම ගානට වෙලාවට, හදිස්සියක් නැතුවම කෙරුනා. කෝච්චයට නැගලා අපිට වෙන් කරපු සීට් එක තිබුන තැන නම් මරු. හරියටම දොරක් ගාව ඉස්සරහා පොඩි මේසෙකුත් එක්කම. අපේ බෑග් කෑම බීම ඔක්කොම ඒක උඩ තියන්න පුළුවන්.

දෙවන සමාධි පිළිමය

දෙවන සමාධි පිළිමය. මේක බලන්න යන්න වෙන්නේ පොඩි කැලේ පාරකින්. අපි ලොකු වටයක් යන්න තිබුන පාරක් මග හැරලා කෑලෑවෙන් පැන ගෙන යද්දි තමා මේ පිළිමය දකින්න ලැබුනේ. වාහන වල එන අයටනම් ප්‍රශ්නයක් නෑ. පිළිමය කිට්ටුවටම අනිත් පැත්තෙන් එන්න පුළුවන්.

ඊට පස්සේ ඉතිං හුලං වැදි වැදි එක දිගට පැය හතරාමාරක් විතර ගියා. සමහර තැන් වල ටික ටික ප්‍රමාද වුන නිසා ඇරෙන්න පැය තුන් කාලට අනුරාධපුරේට යන්න තිබුනා. ඊට පස්සේ ඉතිං දුම්රිය පොලෙන් බැහැලා එතෙනම තිබුන සිසිල් බීම දන්සැලෙන් බීම එකකුත් බීලා ගමන පටන් ගත්තා. අනුරාධපුරේ ගැන ඉතිං විශේෂයෙන් කියන්න දෙයක් නෑනේ… ඒක නිසා තැන් තැන් වලදී ගත්ත පින්තූර ටිකක් බලන්නකෝ. වැඩේ කියන්නේ ගෙදර ඉඳන්ම ලෑස්ති කරගෙන ගූගල් මැප් එකේ තියෙන පාරම තමා අනුරාධපුරේ ගියාම, එහෙන් ගන්න තියෙන මැප් එකේ තියෙන්නෙත්. ඒක නිසා ගමන ගොඩක් ලේසි වුනා. ඔන්න තියෙනවා උඩින්ම ලොකුවට. ඒක උඩ ක්ලික් කරලා ලොකු කරලා බලන්න පුළුවන්. අන්තිමට කුට්ටම් පොකුණ බලලා එද්දි හෙම්බත් වෙලා හිටියේ පයින්ම ඇවිදලා. අපි මුළු ගමනම ගියේ පයින් නිසා ටිකක් මහන්සියි. ඒක නිසා ආපු බස් එකේ නැගලා අනුරාධපුර නගරයට ආවා. ඊට පස්සේ තමා මතක් වුනේ ජේතවනාරාමය බැලුවේ නෑ නේද කියලා. වගේම තවත් තැන් කීපයක් මග හැරුනා. ඒ ඔක්කොම ආයෙම දවසක ගිහිං බලනවා කියලා හිතාගෙන රෑ දහයට පිටත් වෙන බස් එකේ නැගලා ඇවිත් කොළඹින් බහිද්දි පාන්දර දෙකයි හතලිහයි. ඊට පස්සේ කතරගම බස් එකක නැගලා ගෙදර යද්දි පාන්දර හතරයි… ගේට්ටුව වහලා නිසා ගෙට ගියේ තාප්පෙන් පැනලා…!

කුට්ටම් පොකුණ

කුට්ටම් පොකුණ

මෙතෙන හරි අපූරු වෙළඳාමක් සිද්ධ වෙනවා. කුට්ටම් පොකුනේ ඉන්න මාළුන්ට මෙතෙනට එන අය කෑම දානවා. ඒක නිසාම කඩ කිහිපයක බෝඩ් ගහලා තියෙනවා “මාළුන්ට දාන්න පොරි“ කියලා. ඒ අය පොරි විකුණන්නේ මාළුන්ට කන්න දෙන්න….!

සමාධි පිළිමය

සමාධි පිළිමය

සමාධි පිළිමය ගාවට කිට්ටු වෙන්න ටිකක් අපහසුයි. ඒ තරමට එතෙන සෙනග පිරිලා. එන ගමන් සීයා කෙනෙක් කිව්වා සමාධි පිළිමට දැන් දුර්වර්ණ වෙලා කියලා. හේතුව වෙලා තියෙන්නේ හරිහැටි ඉර එලිය නොලැබීමලු. උඩින් තියෙන පියස්ස නිසා පිළිමය නෙලලා තියෙන ගලට වැටෙන ඉර එළිය සීමා වෙලා නිසා පිළිමය නාස්ති වේගෙන යනවලු. පොළොන්නරුවේ අවුකන පිළමයටත් වැඩි ආරක්ෂාවට පියස්සක් හදලා මේ හේතුව නිසා ඒ පියස්ස නැවත අයින් කලා කියලත් කිව්ව… එයාගේ තර්කය වෙන්නේ… “මේ ගල් වලට ඉර එළිය අවශ්‍යයි. පියස්සක් ඕනෙනම් මෙච්චර හරියක් කරපු එකේ පියස්සක් නොගහා ඉන්න බැරි කමක් නෑනේ“

නටඹුන්

නටඹුන්

නටඹුන් කියන්නේ අපේ පැරණි සශ්‍රීකත්වයේ ඉතුරු වෙච්ච කෑලි. ආක්‍රමන නිසා අනුරාධපුරය දාලා පැනලා දිව්වා මිසක් ඒ ගැන හොයා බලන්න පැරැන්නන්ට වෙලාවක් තියෙන්න නැතුව ඇති. දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේවා මතු කරගෙන ගොඩක් තැන් වල, මේ ස්ථාන වල නම් ගහපු පුංචි බෝඩ් එකක් තියලා තියෙනවා ගල් බැමි මත. කොහොම වුනත් මේ දේවල් වලට තාම පන තියෙනවා වගේ. අතරින් පතර ගල් බැමි මත අරක්කු බෝතල්, බිඳුන වීදුරු කටු තියෙන්නේ ඒකයි.

ආයෙම පාරක් යන්න අදහසක් තියෙනවා. දැන්මම නෙවෙයි. තව අවුරුද්දකින් දෙකකින් විතර. ඒ වෙද්දි සමහර විට තාම හදාගෙන යන අභයගිරිය හදලා ඉවර කරලා තියේවි. බලන්න බැරි වෙච්ච තැන් ටිකත් බලාගන්න පුළුවන් එතකොට. –at අපේ මිනිස්සු පාලු නිසංසල තැන් හොයන්නේ බොන්න විතරයි.

 

%d bloggers like this: