සිරිපාලගේ පෙන් ඩ්‍රයිව් එක.

බොහෝ කලකින් අකුරක් දෙකක් හෝ කෙටීමට සිත්වීම නම් සිතට සුව දෙන කරුණකි. කියන්නට දේවල් නම් කොයිතරම්ද…? හැම එකක්ම නැතත් එක දෙකක් හෝ ලියා දැමීම වටින්නේ දැන් නොව, බ්ලොග් ලියන්නට වාරු නැතිවන අනාගතයටය. යම් දෙයක් බොහෝ කාලයක් හෝ ටික කාලයක් හෝ හිතේ තබාගෙන කාටහෝ නොකියා සිටීම තරමක් අසීරු වුවද අවුරුද්දක දෙකක් කාලයක් ඇතුලත එයම ප්‍රගුන කිරීම නිසා දැන් එම සාංකා ගතිය නැත. ඉස්සරනම්… හම්මද බොල බලන්න එපැයි, මේ බ්ලොග් එකේ නොලිව්වේ කුමක්දැයි සොයාගැනීමට පවා නොහැකි ලෙස හැම මනස්ගාතයම ලියා දමා අච්චාරු කර තිබුනි.

දැන්ද එලෙස අච්චාරු දැමීමට හැකියාව ඇතිමුත් කම්මැලි කමට පිං සිද්ධ වෙන්නට එලෙස වෙනවා අඩුය.

හරි එහෙනම් මෙන්න අද කතාව…. අද කතාව තමයි සිරිපාලගේ පෙන් ඩ්‍රයිව් එක. (ඒ හඳුන්වා දීම සැදැහැ සිතින් ඉස්සුවේ චූටි මල්ලි-පොඩි මල්ලි මෙව්වා එකකිනි.)

අපේ ඔෆිස් එකේ ඉන්නවා සිරිපාල කියලා බොහෝම පිටිසර මනුස්සයෙක්. මේ සිරිපාල කොයිතරම් පිටිසර වුනත් මිනිහා ගිය කැම්පස් එකේ පිහිටෙන් නාගරික ගති පැවැතුම් එහෙමත් අපූරුවට ජීවිතයට එකතු කරගෙන තියෙනවා. ඒ වගේම අලුත් තාක්ෂණය ගැනත් දන්නවා. වැඩි හරියක්ම දන්නේ අන්තර්ජාලයේ තියෙන ඕනෑම වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිය. එක ප්ලග්ඉන් එකකින් බැරිනම් වෙන එකකින්… ඒත් බැරිනම් වෙන ඕනෑම ක්‍රමයකින් වීඩියෝ ඩවුන් ලෝඩ් කරන ක්‍රම මෑන්ස් දන්නවා.

 ඉතිං දැන් මේ කියන සිරිපාල ගාව තියෙනවා පෙන් ඩ්‍රයිව් හයක්. කීයක්ද…? හයක්… ඔක්කොගෙම ඉඩ ප්‍රමාණය එකතු කරලා බැලුවොත් එහෙම දල වශයෙන් ගිගා බයිට් 50කට ආසන්න වගේ වෙනවා. ඉතිං පොර කරන්නේ හැම දවල් වරුවකම ඌටම වෙන් කරලා දීලා තියෙනවා කියල මෑන්ස් හිතන අන්තර්ජාල සම්බන්ධතාව යොදාගෙන තියෙන තරම් අධ්‍යාපනික, සඟරාමය, හාස්‍යමය හා  සංගීතමය වැඩසටහන් ඩවුන්ලෝඩ් කරන එක. මේ හැම දෙයක්ම ගමේ බිරිඳත් එක්ක ජීවත් වෙන පුතාට. අර අරවාත් තියෙනවා ඒවා නිතරම යාවත්කාලීන වෙනවැයි අනික එකම තියාගෙන බලද්දි කිසිම මෙව්වා එකක් නැහැයි කියලා ඒවා ඩවුන් ලෝඩ් කරන්නේ නෑ. හැබැයි ඒවා කියන්නේ ඇහුවොත් විතරයි. නැත්තං හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා පිටිං බලපු කෙනෙකුට හොයන්න බෑ. ඒ තරං නිවිච්ච මනුස්සයා.

ඉතිං දැන් ඔය ඩවුන් ලෝඩ් කරන සබ්බ සකලමනාවම……… කතාව එතනින් ජුන්ඩකට නවත්තන්න වෙනවා, මොකද මිනිහාගාව තියෙන අරුම පුදුම ඩිවයිස් ටික ගැන කිව්වේ නැත්තං හරි අසාධාරණයක් වෙනවා.

අංක එක – පොර ගාව තියෙනවා ඉස්මාට් ෆෝන් එකක්. ඒක ස්මාට් නෙවෙයි ඉස්මාට්. වර්ගේ කියනවානම් පරනම පරිඝණක වර්ගයක අලුත් නමකින් එන එකක්. ප්‍රිය රසික රසිකාවිය ඒ ෆෝන් එකේ එම්.පී 3 ෆෝමැට් එකේ ඕඩියෝ කිසිවක් වාදනය නොවේ.මොන මොන ප්ලේයර් දැම්මද එක එක වර්ගයේ කොඩැක් දැම්මද ඒ කිසිවකින් පලක් නොවුන තැන, මොනාකරන්න ඇත්ද…?

වෙන මොනාද ඉතිං ප්ලේ කරන්න පුළුවන් ෆෝමැට් එකට සිංදු ටික කන්වර්ට්  කරගෙන කට්ටකාගෙන අන්තිමේ සිංදු ටික අහනවා ඇරෙන්න.

අංක දෙක – සිරිපාල ගත්ත අළුත්ම අළුත් කිරිටොයියා ඩී.වී.ඩී ප්ලේයර් එකක්. අහෝ ඛේදයකි. මෙලොව අනෙකුත් ප්ලේයර් වල සාමාන්‍යයෙන් ප්ලේවෙන කිසිදු වීඩියෝ ෆෝමැට් එකක් එහිද ප්ලේ නොවේ. එම ඒලියන් ප්ලේයරය ගත් තැනින්ද කුමක් හෝ බින්නයක් දෙසා ඇති බැවින්, එහි පාඩුවද මෑන්ස්ටමය. දැන් කරන්නේ සිරිපාලට සුපුරුදු පරිදි….. අන්න දැන් පරන කතාව පටන් ගන්නවා.

සබ්බ සකලමනාවම, පොරකරන්නේ වීඩියෝ කන්වර්ටරයක් යොදාගෙන වෙන ෆෝමැට් එකකට කන්වර්ට් කරන එක. ඊට පස්සේ දුව ගෙන එනවා අයි.ටී එකට. පොලොසිවලට අනුව සිරිපාලගේ කොම්පූතරේට පෙන් ඩ්‍රයිව් වැඩ කරන්නේ නෑ. ඉතිං අර කිව්වා වගේ දූව ගෙන දූව ගෙන ඇවිත් මේ මට ෆ්‍රී වෙලාවක් කියපන්… මම එන්නං පෙන් ඩ්‍රයිව් ටිකත් අරං යනුවෙන් අයි.ටී එකේ ඒ වෙලාවේ වෙසෙන ඕනෑම ජීවියෙකුට පවසයි. දැන් සිරිපාලට ඕනේ අයි.ටී එකේ ෆ්‍රී වෙලාවක් වුනාට, උගේ එව්වා මෙව්වා රෙද්දවල් ටික පෙන් එකට දාලා දෙනකන්ම උගේ මේ මට ෆ්‍රී වෙලාවක් කියපන්… කියන එලාම් එක විනාඩි දහයෙන් දහයට ස්නූස් වෙන නිසා… අයි.ටී එකේ ජීවීන්ට සිරිපාලගේ පළමු පැමිණීමම ෆ්‍රී වෙලාවක් වෙනවා.

ඉතිං මං ඉන්න කොටත් එහෙම්ම තමා. මේ ලඟදී මට දුකේ බෑ දෙයියනේ ඒ පෙන් ඩ්‍රයිව් ටික තියාගෙන හිටිය විදියට. ලීටරේ අයිස්ක්‍රීම් කප් එකක දාලා එහෙට මෙහෙට හොල්ල තමා ඕක තියාගෙන හිටියේ. ඒ පාර මං හදලා දුන්නා අඩියට ස්පන්චි කෑල්ලක් දාලා රෙජිෆෝම් සෙපරේටර් ටිකක් දාලා අර අයිස්ක්‍රීම් පෙට්ටියම ටිකක් ප්‍රොෆෙසොනල් විදියට.

ඔන්න ඔහොම ඕක හදලා දුන්නට පස්සේ දවසක අයි.ටී එකේ ජීවීන් කීප දෙනෙක් ඉන්න දවසක සිරිපාල එනවා… එලාම් එක ගහගෙන. ඒ පාර වෙන ජීවියෙක් ඇහුවා ඈ…බං සිරිපාල අයියේ… ඔය පෙට්ටය නැති වුනොත් මොනා වෙයිද කියලා. මූ කියපි… හැම දේම අනිත්‍යයිනේ මල්ලී… මං අර කලින් කිව්වේ බුදුරැස් කතාවක්… ආන්න ඒක තමා මේ. ඊට පස්සේ ආයෙම අර ජීවියම අහපි, දැන් ඕක හම්බුනොත් ආයේ ලැබෙන්න සලස්වන්නේ කොහොමද…?

ආ… ආ… ඒකට උඹ කලබල වෙන්න ඕනේ නෑ. ඕක හම්බුන එකා කෙලින්ම කොම්බුව ටීවී එකට ගිහිං බාරදෙයි, මේං උඹලාගේ ලේටස්ට්ම ප්‍රෝග්‍රෑම් බැකප් තියාගෙන හිටය පෙන්ඩ්‍රයිව් සෙට් එක වැටිලා තිබිලා හම්බුනා. කියලා කවුදෝ කට කැඩිච්ච එකෙක් කිවුවලු.

ඒක ඇහුන සිරිපාල අයියගේ මූන හතරැස්ලු. මේ ජීවීන්ට බනින්නත් ඕනෙලු. ඒත් බෑලු… ඒ පාර… හරි උඹලා එහෙමනේ… කියලා පොර ගියා. ගියා කියන්නේ ගියාම නොවයි…. ඔය සිද්ධිය දවල් වුනානම් මෙන්න පොර ආයෙත් එනවා හවස එලාම් එක ගහගෙන…

අයි.ටී ජීවියෝ ටික ඇත්තටම කල්පනා කරේ, ඔය රෙස්ලින් වල වගේ අලුත්ම එපිසෝඩ් ටික මූ මෙහෙන් ඩවුන්ලෝඩ් කරගෙන ගිහිං අර දකුනේ වන්නියේ විකුනනවද දන්නේ නෑ කියාල…!

ඒ ගමන්ම බෝනස් කතාවකුත් කියනන්ම්කෝ….

මේ කතාව අර අරුම පුදුම ඉස්මාට් ෆෝන් එක ගැන. ඕං කලිං සිද්ධය වෙච්චිදාට පස්සෙන්දා උදේ කෑම කනකොට සිරිපාල අයියත් ආවා කෑම කන තැනට. මිනිහා සාමාන්‍යයෙන් කෑම කන ගමන් රසවින්දනය බෙදන්න හරි දක්ෂයා. ආපු ගමන් කරන්නේ ෆෝන් කටුව අරගෙන මොකක් හරි සිංදු සෙට් එකක් දාලා අපිට අහන්න දීලා තමා පාර අත් හෝදගන්න යන්නේ. ඒකේ කොයිතරම් අපහසුතා තිබුනත් චින්ති,කිලර් බී, ඉරාජ් ගේ ඉඳන් ක්ලැරන්ස්, රූකාන්ත, සෙන්ටිග්‍රේඩ්, බී පොසිටිව්, ඩැඩී, සුනිල් එදිරිසිංහ, ලතා, මාලනී, ප්‍රියා, අමරදේව ආදීන්ගේ සියළුම ආකාරයේ ගීත තැන්පතුවක්. පෝටබල් ගුවන් විදුලි සංස්ථාව වගේ. පොර අතහෝදාගෙන එහෙම හරි බරි ගැහිලා වාඩි වුනා පුටුවේ. දැන් කන්න ගන්න කොටම කලින්දා අයි.ටී එකේ අනවශ්‍ය ප්‍රශ්නයක් අහපු එකාම ආයෙමත් ඒ හා සමානම ප්‍රශ්නයක් ඇහුවා.

සිරිපාල අයියේ… මට මේ දැන් මතක් වුනේ… ඇත්තටම ඔය ෆෝන් එක නැතිවුනොත් කවුරුත් තියාගන්න එකක් නෑ නේද… ඕක හෙන කබලක්නේ…

අනේ… නිකං හිටපං. ඕක කෙලින්ම ගිහිං දෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේ පරන ගීත මැදිරියට. සත්තයි මං එච්චරයි කිව්වේ… මූ කෑම එකත් ඔතාගෙන ආපහු ගියා කියහංකෝ කෑම කාමරෙන් එලියට. සමහරවිට එතෙන හිටිය වලත්ත කොල්ලෝ කෙල්ලෝ රැලගේ හූව, විසිල් එක දිරවගන්න අමාරුවෙන්න ඇති.

එදා දවසනම් යන්තං එලාම් එකෙන් බේරිලා හිටියා. ඒත් සිරිපාල කෑවද කියලා බලන්න බැරිවුනා.

සිරිපාලගේ කතා රැසයි… ඒ වගේම රසයි…!

 

Advertisements

මයිනා විනෝදේ…

කෝච්චියේ සෙනග අතරින් එක පාරට ඇහුන කුරුලු සද්දෙට මාත් ඔලුව එහාට මෙහාට කරලා බැලුවේ… කාගේ ෆෝන් එකද මෙච්චර හයියෙන් රිං වෙන්නේ කියලා. නෑ ඒක ෆෝන් එකක් නෙවෙයි. මනුස්සයෙක්. කුරුලු හඬක් එන විසිල් විකුණන මනුස්සයෙක්. මුලින් සද්දේ විතරයි… පස්සෙනෙ මාකටින් පාර දැම්මේ…

මයිනා විනෝදේ… මයිනා විනෝදේ….

චයිනා මයිනා… චයිනා මයිනා…

චංචුකු… චුංචුකු… කංකුං

මයිනා විනෝදේ…. මයිනා විනෝදේ….

මයිනා විනෝදේ

මයිනා විනෝදේ

ඔය ටික දෙපාරක් විතර කියලා ආයෙම අර කලින් විසිල් එකම වාදනය කලා. ඉතිං දෙවෙනි පාර මාකට් කරාම තමා එකක් විකුණුනේ. එකක් රුපියල් 20ද කොහෙද. මට ඉතිං වැඩක් තියෙනවැයි ඕවා. මං ගත්තේ නෑ. අනික සෙනග පිරිලා නිසා මනුස්සයාවවත්, කුරුලු නලාව වත් දැක්කේ නෑ. පොර මාකටින් පාර දාගෙන යද්දි “චංචුකු… චුංචුකු… කංකුං” කියන කොට ඔන්න කෝච්චියේ හිටපු කෙල්ලෝ ටික මයිනා ස්ටයිල් එකටම “හිචි හිචි” ගාන්න ගත්තා. ඊට පස්සේ මයිනා විසිල් විකුණන පොර ටිකක් මැදට ගිහිං සෙනග අස්සේ හිරවුනා. දැන් පොර විසිල් ටිකත් කැඩන්න බිඳෙන්න නොදී බේරගෙන ඉස්සරහට යන්න ට්‍රයි එක දෙන ගමන්…

නෝනා…

මයිනා හිරවුනා…

පොඩ්ඩක් ඉඩ….!

එතකොට මෙන්න අර කලිං හිනාවුන කෙල්ලෝ ටික අතින් කටවල් වහගෙන. ඒ වෙනුවට කසාද බැඳපු ගෑණූ ළමයි ටික කටෙන් පනින්න එන හිනාව හිරකරගන්න මාර ගේමක් දෙනවා මං දැක්කා. මං ඉතිං ඔව්වා බලන්න ගියේ නෑ. මං අහක බලාගත්තා… මොකටද නිකං අනුන්ගේ මයිනෝ… නෙහ්…! කොහොමහරි මයිනා රිංගලා, මයිනා විනෝදේ…. මයිනා විනෝදේ… කියාගෙන එහාට මෙහොට ඇඹරී ඇඹරී ඉස්සර හට ගියා… මං ඒකත් දැක්කේ නෑ වගේ හිටියා… ආයෙ නිකං මොකටද නෙහ්…!!!

 

%d bloggers like this: