රස්සාවා (රස්සාවක් නැති කල)

මේක මම කලින් වැඩ කරපු ඔෆිස් එකක ඩ්‍රයිවර් මහතෙකුගේ කතාවක්. ඇත්තටම මේ කතාවම තමා ඒ මනුස්සයාට එතනින් ඉවත් වෙලා අපේ ආයතයට එන්න තරම් හිතට වද දීපු, අනූනමයෙන් ගුටි නොකා බේරුන හේතුව වුනෙත්.

ඔන්න ඉතින් මෙයා කලින් වැඩ කරලා තියෙන්නේ කොල්ලුපිටිය පැත්තේ තිබුන කොරියන් හෝ මාලදිවයින් කට්ටියක් පදිංචි වෙලා හිටිය ගෙදරක රියදුරු විදියට. ඒ ගෙදර වටේටම තාප්ප ගහලා කොටු වෙච්චි ජීවිතයක් ගතකරපු සෙට් එකක් තමයි ඉඳලා තියෙන්නේ. ඒත් තාප්පේ එක පැත්තකින් විතරක් අල්ලපු ගෙදරට යන්න පොඩි ගේට්ටු කෑල්ලක් දාලා තිබිලා තියෙනවා.

මේ ගෙදර ඉඳලා තියෙනවා තඩි බල්ලෙක්. බල්ලාගේ නමත් කොරියන් නමක්. ඒ ගෙදර හිටියයි කියපු අයගේ ජාතිය හරියට මතක නෑ මොකද්ද කියලා. අපි නිකමට හිතමුකෝ කොරියන් කට්ටියක් කියලා. කොහොමත් කොරියන් අය බල්ලන්ට පට්ට ආදරෙයිනේ. ටොමියා, බූලා, කලුවා අනං මනං නම් දැම්මට ඉතිං කොරියන් අයට තේරෙන්නේ නැති නිසා බල්ලට තිබිලා තියෙන්නේ පට්ට සුපිරි කොරියන් නමක්. ඒ නම තමා *රස්සාවා*.

ඒ හැඳින්වීම කියලා හිතාගන්නකෝ. මෙතනින් එහාට කතාව හරිහමන් විදියට තේරෙන්න නම් කොහොම කරත් දෙපාරක්වත් කියවන්න වෙන නිසා, ඊලඟ පාර කියවද්දී මේ ඡේදයේ ඉඳන් කියවන්න මතක තියාගන්න…!

ඔන්න දැන් අර කොරියන් ගෙදරට, ඒ ගෙදර අයගේ කොරියාව ඉන්න මිත්‍රයෝ, නෑදෑයෝ එහෙම ආවම බල්ලවත් හුරතල් කරනවලු. සිංහලෙන් බල්ලන්ව අතපත ගාද්දී ටොමී… කලූ කිය කිය අතගෑවට කොරියන් එකාව අතපත ගාන්නේ, ආනේ…. රස්සා… රස්සා…. සුදු රස්සා…. කිය කියලු. ඉතිං ගෙදර අයයි අලුතෙන් එන අයයි හැමෝම හෙන ආදරෙයිලු. රස්සාවාට කන්න බොන්න එහෙමත් ඇති පදං හම්බුවෙනවලු. රියදුරු මහත්තයා කියන විදියට ඒ රස්සාවාට හෙන පිංවන්ත බලු ආත්මයක්ලු හම්බුවෙලා තියෙන්නේ.

ගෙදර කට්ටිය රස්සාවාව දවසකට සැරයක් සුවඳ සබන් ගාලා නාවනවලු. ගෙදර ගෑණු කට්ටිය රස්සාවාව පිහිදන්න පොරේලු. රස්සාවාත් ඉතිං හෙන සැපට ඉන්න ගමන් වත්ත වටේ දුවනවලු, උඩ පනිනවලු, දඟලනවලු… ඌට ඉතිං ගංවල ඉන්න බල්ලන්ට වගේ දුවන්න ඇවිදින්න පාරවල් නැති නිසා කරන වැඩ සේරොම කරන්නේ අර කොටුකරලා තියෙන තාප්පෙ ඇතුලෙලු. දැන් ඔන්න ඔහොම දඟල දඟල හිටිය රස්සාවට බලුකෑල්ලක් හොයන්න එහෙමත් වැඩ කටයුතු සූදානම් කරලා එහෙමලු තිබුනේ. ඒත් ඉතිං ලෝකල් කෑල්ලක් හොයලා දීලා අහවල් කොරවනවට වැඩිය කට්ටිය කැමති ඉම්පෝර්ටඩ් බලු කෑල්ලක් හොයාලා දෙන්නලු. ඉතිං ඒ වැඩ ටිකත් දෙයියනේ කියලා කෙරීගෙන ගියාට රියදුරු මහත්තයා එන්න කිට්ටුවවත් හරි හමං මගුලක් සෙට්වෙලා නෑ. ඉතිං රියදුරු මහත්තයා නං කිව්වේ අනේ ඔය රස්සාවාට මොන මගුල්ද… ඌට තියෙන විසේට කෑල්ලක් ඉඳීද කියලා.

ඒ විදියට ඒ රස්සාවගේ කාලය ගෙවීගෙන යද්දි… මූ වත්තේ කොහෙහරි හිටියොත් රස්සාවා කියලා කතා කරොත් ඇරෙන්න මූ නෙමෙයිලු අහලකට එන්නේ. විසිල් ගැහුවට … විසිල් කරන විදියේ රිවස් එකට චූස් චූස් ගාලා කටින් සද්ද කරාට මේ රස්සාවා නෙමේලු පැත්තවත් බලන්නේ. ඉතිං ගෙදර හැමෝටම මුගේ නම කියලා කතා කරන්නම වුනාලු. නමත් කොරියන් සෙට් එකනම් හයියෙන්ම ඒ නම කියලා කතාකරනවලු. ඒක ඉතිං කොරියන් නමක්නේ. ඒත් සමහර වෙලාවට නම ටිකක්
අමුතු නිසා අර තාප්ප වලින් පිටත යන එන මිනිස්සු හිටං නැවතිලා කන්න වගේ බලනවලු.

ඔහොම යද්දී දවසක්දා… ඒ රස්සාවා, අර කලින් කිව්වේ පොඩි ගේට්ටුවක් ගැන ආන්න ඒ ගේට්ටුව මොකක් හරි එහෙකට ඇරිලා තිබුන වෙලාවක එහා වත්තට ගියාලු. ඒකත් අර රස්සාවාගේ නාන වෙලාවලු. ගෑණු ටික බලාගෙන ඉන්නවලු රස්සාවාව නාවන්න. ඒත් බල්ලා නෑලු. ඒ පාර ගෙදර හිටිය ටිකක් වැඩිහිටි කෙනෙක් කිව්වලු අපේ රියදුරු මහත්තයාට, රස්සාව කොහේද දන්නේ නෑ… ඌට කතා කරන්න කියලා.

දැන් ඉතිං රියදුරු මහත්තයාට වහ කන්න හිතිලලු තියෙන්නේ. ඒ පාර දැන් හොයනවලු මේ රස්සාවා කොයි ලෝකේ ගිහිංද දන්නේ නෑ කිය කිය. බලද්දි එහා වත්තේ ඉන්නවලු. දැන් ඉතිං රියදුරු මහත්තයා, බල්ලට විසිල් කරනවලු…. ෂූ….ෂූ… ගානවලු එක එක විකාර කරනවලු. ඒත් ඉතිං බල්ලා නෙමේලු හෙල්ලෙන්නේ. ඌ සංවේදී රස්සාවා කියන නමට විතරලු. ඒත් රියදුරු මහත්තයට හිත දෙන්නෙම නෑලූ රස්සාවෝ…. රස්සාවෝ…. කියලා කෑ ගහන්න. එහෙම වුනොත් නම ටිකක් අමුතු නිසා අල්ලපු ගෙදර එවුන්ගෙන් කෑමක් ෂුවර් නිසා, ඔන්න ඔහේ ඕනේ මගුලක් කියලා රියදුරු මහත්තයා රස්සාවාට ඉන්න තැනක ඉන්න දීලා, තමන්ගේ රස්සාවට ආයුබෝවන් කියලා තමා අපේ එකට ඇවිත් තියෙන්නේ…!

රස්සාවක් දාලා එන්න තරං මොකද්ද ඒ නමේ ඔච්චර අරුමය කියලා දැන් ඉතිං කට්ටිය හිතනවා ඇතිනේ. ඇත්තටම ඒක කටක් ඇරලා කියන්න පුලුවන් නමක් නෙමේ. මාත් ඔය සභ්‍යත්වය සෑහෙන්න දුරට ආරක්ෂා කරගන්න ඕනේ නිසා තමා රස්සාවා කියලා නමක් දැම්මේ. ඒක නිකං කොරියන් වගේ නේ ටිකක් ඒකයි.

නමේ ප්‍රෙහේලිකාව විසඳෙන්නේ මෙහෙමයි.
රස්සාවා කියන එක මුලින්ම රස්සාව කියලා හදා ගන්න ඕනේ. ඊට පස්සේ රස්සාව කියන එකට තියෙනවා ඉංග්‍රීසි වචනයක් career (කැරියර්) කියලා. ඉතිං අන්න ඒකෙන් අන්තිම *r* ආර් අකුර අයින් කරාම බල්ලගේ නම එනවා. හිහ්… හී…

දැන් ඉතිං හොඳ ළමයි වගේ…. අර ඡේදයක් මතක තියාගන්න කිව්වේ, අන්න එතෙන ඉඳන් ආයෙම කියවගෙන ආවනම් කතාවේ සැබෑ ස්වරූපය සහ අර රියදුරු මහත්තයාට රස්සාව දාලා එන්න තරම් අදහසක් පහලවුන වගේම, ගෙදර අය බල්ලව හොයද්දි පාරේ මිනිස්සු ඔරවගෙන යන්න තරම් ප්‍රශ්නයක් වුන ගැටලුව විසඳගත්තෑකි.

%d bloggers like this: