රස්සාවා (රස්සාවක් නැති කල)

මේක මම කලින් වැඩ කරපු ඔෆිස් එකක ඩ්‍රයිවර් මහතෙකුගේ කතාවක්. ඇත්තටම මේ කතාවම තමා ඒ මනුස්සයාට එතනින් ඉවත් වෙලා අපේ ආයතයට එන්න තරම් හිතට වද දීපු, අනූනමයෙන් ගුටි නොකා බේරුන හේතුව වුනෙත්.

ඔන්න ඉතින් මෙයා කලින් වැඩ කරලා තියෙන්නේ කොල්ලුපිටිය පැත්තේ තිබුන කොරියන් හෝ මාලදිවයින් කට්ටියක් පදිංචි වෙලා හිටිය ගෙදරක රියදුරු විදියට. ඒ ගෙදර වටේටම තාප්ප ගහලා කොටු වෙච්චි ජීවිතයක් ගතකරපු සෙට් එකක් තමයි ඉඳලා තියෙන්නේ. ඒත් තාප්පේ එක පැත්තකින් විතරක් අල්ලපු ගෙදරට යන්න පොඩි ගේට්ටු කෑල්ලක් දාලා තිබිලා තියෙනවා.

මේ ගෙදර ඉඳලා තියෙනවා තඩි බල්ලෙක්. බල්ලාගේ නමත් කොරියන් නමක්. ඒ ගෙදර හිටියයි කියපු අයගේ ජාතිය හරියට මතක නෑ මොකද්ද කියලා. අපි නිකමට හිතමුකෝ කොරියන් කට්ටියක් කියලා. කොහොමත් කොරියන් අය බල්ලන්ට පට්ට ආදරෙයිනේ. ටොමියා, බූලා, කලුවා අනං මනං නම් දැම්මට ඉතිං කොරියන් අයට තේරෙන්නේ නැති නිසා බල්ලට තිබිලා තියෙන්නේ පට්ට සුපිරි කොරියන් නමක්. ඒ නම තමා *රස්සාවා*.

ඒ හැඳින්වීම කියලා හිතාගන්නකෝ. මෙතනින් එහාට කතාව හරිහමන් විදියට තේරෙන්න නම් කොහොම කරත් දෙපාරක්වත් කියවන්න වෙන නිසා, ඊලඟ පාර කියවද්දී මේ ඡේදයේ ඉඳන් කියවන්න මතක තියාගන්න…!

ඔන්න දැන් අර කොරියන් ගෙදරට, ඒ ගෙදර අයගේ කොරියාව ඉන්න මිත්‍රයෝ, නෑදෑයෝ එහෙම ආවම බල්ලවත් හුරතල් කරනවලු. සිංහලෙන් බල්ලන්ව අතපත ගාද්දී ටොමී… කලූ කිය කිය අතගෑවට කොරියන් එකාව අතපත ගාන්නේ, ආනේ…. රස්සා… රස්සා…. සුදු රස්සා…. කිය කියලු. ඉතිං ගෙදර අයයි අලුතෙන් එන අයයි හැමෝම හෙන ආදරෙයිලු. රස්සාවාට කන්න බොන්න එහෙමත් ඇති පදං හම්බුවෙනවලු. රියදුරු මහත්තයා කියන විදියට ඒ රස්සාවාට හෙන පිංවන්ත බලු ආත්මයක්ලු හම්බුවෙලා තියෙන්නේ.

ගෙදර කට්ටිය රස්සාවාව දවසකට සැරයක් සුවඳ සබන් ගාලා නාවනවලු. ගෙදර ගෑණු කට්ටිය රස්සාවාව පිහිදන්න පොරේලු. රස්සාවාත් ඉතිං හෙන සැපට ඉන්න ගමන් වත්ත වටේ දුවනවලු, උඩ පනිනවලු, දඟලනවලු… ඌට ඉතිං ගංවල ඉන්න බල්ලන්ට වගේ දුවන්න ඇවිදින්න පාරවල් නැති නිසා කරන වැඩ සේරොම කරන්නේ අර කොටුකරලා තියෙන තාප්පෙ ඇතුලෙලු. දැන් ඔන්න ඔහොම දඟල දඟල හිටිය රස්සාවට බලුකෑල්ලක් හොයන්න එහෙමත් වැඩ කටයුතු සූදානම් කරලා එහෙමලු තිබුනේ. ඒත් ඉතිං ලෝකල් කෑල්ලක් හොයලා දීලා අහවල් කොරවනවට වැඩිය කට්ටිය කැමති ඉම්පෝර්ටඩ් බලු කෑල්ලක් හොයාලා දෙන්නලු. ඉතිං ඒ වැඩ ටිකත් දෙයියනේ කියලා කෙරීගෙන ගියාට රියදුරු මහත්තයා එන්න කිට්ටුවවත් හරි හමං මගුලක් සෙට්වෙලා නෑ. ඉතිං රියදුරු මහත්තයා නං කිව්වේ අනේ ඔය රස්සාවාට මොන මගුල්ද… ඌට තියෙන විසේට කෑල්ලක් ඉඳීද කියලා.

ඒ විදියට ඒ රස්සාවගේ කාලය ගෙවීගෙන යද්දි… මූ වත්තේ කොහෙහරි හිටියොත් රස්සාවා කියලා කතා කරොත් ඇරෙන්න මූ නෙමෙයිලු අහලකට එන්නේ. විසිල් ගැහුවට … විසිල් කරන විදියේ රිවස් එකට චූස් චූස් ගාලා කටින් සද්ද කරාට මේ රස්සාවා නෙමේලු පැත්තවත් බලන්නේ. ඉතිං ගෙදර හැමෝටම මුගේ නම කියලා කතා කරන්නම වුනාලු. නමත් කොරියන් සෙට් එකනම් හයියෙන්ම ඒ නම කියලා කතාකරනවලු. ඒක ඉතිං කොරියන් නමක්නේ. ඒත් සමහර වෙලාවට නම ටිකක්
අමුතු නිසා අර තාප්ප වලින් පිටත යන එන මිනිස්සු හිටං නැවතිලා කන්න වගේ බලනවලු.

ඔහොම යද්දී දවසක්දා… ඒ රස්සාවා, අර කලින් කිව්වේ පොඩි ගේට්ටුවක් ගැන ආන්න ඒ ගේට්ටුව මොකක් හරි එහෙකට ඇරිලා තිබුන වෙලාවක එහා වත්තට ගියාලු. ඒකත් අර රස්සාවාගේ නාන වෙලාවලු. ගෑණු ටික බලාගෙන ඉන්නවලු රස්සාවාව නාවන්න. ඒත් බල්ලා නෑලු. ඒ පාර ගෙදර හිටිය ටිකක් වැඩිහිටි කෙනෙක් කිව්වලු අපේ රියදුරු මහත්තයාට, රස්සාව කොහේද දන්නේ නෑ… ඌට කතා කරන්න කියලා.

දැන් ඉතිං රියදුරු මහත්තයාට වහ කන්න හිතිලලු තියෙන්නේ. ඒ පාර දැන් හොයනවලු මේ රස්සාවා කොයි ලෝකේ ගිහිංද දන්නේ නෑ කිය කිය. බලද්දි එහා වත්තේ ඉන්නවලු. දැන් ඉතිං රියදුරු මහත්තයා, බල්ලට විසිල් කරනවලු…. ෂූ….ෂූ… ගානවලු එක එක විකාර කරනවලු. ඒත් ඉතිං බල්ලා නෙමේලු හෙල්ලෙන්නේ. ඌ සංවේදී රස්සාවා කියන නමට විතරලු. ඒත් රියදුරු මහත්තයට හිත දෙන්නෙම නෑලූ රස්සාවෝ…. රස්සාවෝ…. කියලා කෑ ගහන්න. එහෙම වුනොත් නම ටිකක් අමුතු නිසා අල්ලපු ගෙදර එවුන්ගෙන් කෑමක් ෂුවර් නිසා, ඔන්න ඔහේ ඕනේ මගුලක් කියලා රියදුරු මහත්තයා රස්සාවාට ඉන්න තැනක ඉන්න දීලා, තමන්ගේ රස්සාවට ආයුබෝවන් කියලා තමා අපේ එකට ඇවිත් තියෙන්නේ…!

රස්සාවක් දාලා එන්න තරං මොකද්ද ඒ නමේ ඔච්චර අරුමය කියලා දැන් ඉතිං කට්ටිය හිතනවා ඇතිනේ. ඇත්තටම ඒක කටක් ඇරලා කියන්න පුලුවන් නමක් නෙමේ. මාත් ඔය සභ්‍යත්වය සෑහෙන්න දුරට ආරක්ෂා කරගන්න ඕනේ නිසා තමා රස්සාවා කියලා නමක් දැම්මේ. ඒක නිකං කොරියන් වගේ නේ ටිකක් ඒකයි.

නමේ ප්‍රෙහේලිකාව විසඳෙන්නේ මෙහෙමයි.
රස්සාවා කියන එක මුලින්ම රස්සාව කියලා හදා ගන්න ඕනේ. ඊට පස්සේ රස්සාව කියන එකට තියෙනවා ඉංග්‍රීසි වචනයක් career (කැරියර්) කියලා. ඉතිං අන්න ඒකෙන් අන්තිම *r* ආර් අකුර අයින් කරාම බල්ලගේ නම එනවා. හිහ්… හී…

දැන් ඉතිං හොඳ ළමයි වගේ…. අර ඡේදයක් මතක තියාගන්න කිව්වේ, අන්න එතෙන ඉඳන් ආයෙම කියවගෙන ආවනම් කතාවේ සැබෑ ස්වරූපය සහ අර රියදුරු මහත්තයාට රස්සාව දාලා එන්න තරම් අදහසක් පහලවුන වගේම, ගෙදර අය බල්ලව හොයද්දි පාරේ මිනිස්සු ඔරවගෙන යන්න තරම් ප්‍රශ්නයක් වුන ගැටලුව විසඳගත්තෑකි.

වීදුරු දොර ඩිස්ටි ඩිඩිං

ගයාන් කියන්නේ මේ ලඟදී මාත් එක්ක සෙට් වෙච්ච යාළුවෙක්. හැබැයි අපරාදේ පොර මට සෙට් වෙන්න තිබුනේ ටික කාලෙකට කලින්. මොකද ඔය ගයාන් කියන්නේ අපේ මලයාගේ සෙට් එකේ ඉන්න මටත් වැඩිය ඩිංගක් වැඩිමල්, දනට පිට ලැදි, ඉරිදට දහම් පාසලේ උගන්නන තමන්ගේ පාඩුවේ තමන්ගෙම රැකියාවක් කරගෙන ඉන්න පොරක්. මිනිහාට තේ අරහං… ඇල් වතුර එහෙමත් තව ටිකක් නිවලා බොන ජාතියේ.

පොරට තියෙනවා මාර ලව් ස්ටෝරියක්. ඒක ඉතිං මෙහෙම කියන්න බෑ, අවසර අරගෙන ලුණු ඇඹුල් දාලා රහ කරලා ලියන්න ඕනේ එකක්. කොටින්ම කියනවනම් කෙල්ල ආදරේ වැඩි කමට ගල්කිස්ස හෝටලේ ඇතුලෙදි දහසක් මිනිස්සු මැද කම්මුල් පාරකින් පුදන ලද එකක්.

හරි දැන් බලමුකෝ දොර කොහොමද ඩිස්ටි ඩිඩිං වුනේ කියලා.

දැනට මාසයකට දෙකකට විතර කලිං දවසක ප්ලෑන් කරලා තිබුන විදියටම මායි, මලයයි, ගයානුයි තවත් යාළුවෙකුයි පිටත් වුනේ සිරිපාදේ වඳින්න යන්න. ගෙවල් ගාව ස්ටේෂන් එකෙන් කොටුවට ගිහිං එතනින් තිබ්බ හැටන් විශේෂ දුම්රියේ තමා ගියේ. ඉතිං යන ගමනෙදි වෙච්ච දේවලුත් පස්සේ ලියාදානවා. කොහොම හරි අපි පාන්දර ජාමේ හැටන් වලට ගිහිං එතනින් නල්ලතන්නියට බස් එකේ ගිහිං කන්ද නැගීම ආරම්භ කරද්දි පාන්දර හතරාමාරට විතර ඇති. යන ගමන් ඡායාරූපකරන පාඨමාලාවකුත් හදාරගෙනම ගිය නිසා මලුවට යද්දි දවල් එකොලහට විතර ඇති. මං හිතන්නේ ඒක වාර්තාවක්. වැඩිම කාලයකින් හැටන් පැත්තෙන් සිරිපාදේ නැගීම ගැන.

ඉතිං ඔහොම ගිහිං වැඳලා ආපහු පහලට බැස්සේ හවස හයට විතර. ඒ බැහැලා බලද්දි හැටන් වලට යන්න බස් එකක් නෑ. ඒ පාර ඉතිං බස් එකක් එනකං ඉඳලා හැටන් ස්ටේෂන් එකට ගියා. එතෙනින් කෝච්චිය තියෙන්නේ එකොලහයි ගානකට.

එතකං ඉතිං බඩගින්නේ ඉන්න බෑනේ. ඒක නිසා මලයවයි, අනිත් යාළුවවයි ස්ටේෂන් එකේ අපේ බෑග් තියාගෙන ඉන්න කියලා මායි ගයානුයි පිටත් වුනා පාරේ තියෙන සුපිරි වෙළඳ සැලට. ඒ වෙලාවේ ලාවට මීදුම වගේ. ලඟ දේවල් පැහැදිලිව පෙනුනට දුර ඒවා නිකං සුදුපාර තිරයකින් වහලා වගේ. දැන් ඉතිං ඔන්න පාර පැන ගෙන අර වෙළඳ සැලට යද්දි ඇතුලේ සෙනග ඉන්නවා පේනවා. ඉතිං දැං දොරන් ඇතුලු වෙන්න එපැයි. ඒකෙ දොරවල් දෙක දෙපැත්තට අරින්න තියෙන්නේ. එක දොරක් උඩින් ලයිට් එකක් දාලා තියෙනවා. මට පේන්නේ ඒ දොර ඇරලා කියලා.

මෙතන තමා තැන

ඒ පාර ඉතිං මාත් ගිහිං ඇතුල් වෙන්න කියලා අඩිය තියලා මූන ඉස්සරහට දාපු ගමන් දාං… සද්දේ නිකං දෝංකාර දෙනවා වගේ. මූනයි කටයි – බොම්බයි මොටයි. ගයානුත් මගේ පිටිපස්සේ ඉඳන් මොකද මොකද කියලා පිටිපස්සට වැටෙන්න ගිය මාව අල්ල ගත්තා.  දාං ගාලා සද්දයක් ආවට එලියේ සිංදු දාලා තිබුන ස්වීප් කාරයාගේ සද්දෙට මං හිතුවේ ඒක කාටවත් ඇහෙන්න නැතුවව ඇති කියලා. ඇත්ත තමා කාටවත් ඇහිලා නෑ. නැත්තං මිනිස්සු බලනවනේ…

ඒත් අවාසානවට ඇතුලේ හිටිය සිකුරිටි මාමා සීන් එක දැකලා. ගයාන් මට බැන බැන,

කොහෙ යනවද මංදා මූ බීලද කොහෙද…. යකෝ මේ ඇරලා තියෙන්නේ දොරක් මිනිස්සුන්ට යන්න තමයි. උඹ මොකටද වහලා තියෙන එක අරින්න ගියේ…

කිය කිය… තව තව ආඩපාලි කිය කිය මාව මෙහා පැත්තේ දොරට ඇදලා ගත්තා. ඒ අස්සේ නහය දොරේ වැදිලා මට හචිං යනවා.

දැන් යන්න ඕනේ අර සිකුරිටි මාමාව පහුකරගෙන ඇතුලට. මටත් දැන් නෝනඩිය වගේ. ඌත් ඉන්නවා නිකං කවදාවත් එහෙව් ලැජ්ජාවක පත්වුනේ නැති එකෙක් ගානට, මට කිංඩියට හිනාවෙවී. මං ඉතිං කේන්තියටත් එක්ක රවාගෙන ගියා ඇතුලට. ඔන්න දැන් බීම වගයක් තෝරන ගමන්,

මේහ්… මං බලාගෙන උඹ මොකද අර අහිසංක සිකුරිටි පොරට රවාගෙන ආවේ. මොකද ඌද උඹට කිව්වේ ගිහිං දොරේ හැප්පියං කියලා…

නෑ බං ඌ නිකං කින්ඩියට හිනාවුනානේ…

හා… හරි හරි දැන් ඒක ඉවරයිනේ… කියලා ගයාන් වැඩේ ඉවර කලාට සික්කා වැඩේ ඉවර නෑ… මං බලාගෙන පොර රාක්ක අස්සෙන් මෑන්ස්ට මාව පේන කොට මෑන් හිනාවෙනවා. හිනා වෙනවා නෙමේ මං හිතන්නෙ හිනා යනවා. මොනවා කරන්නද ඉතිං මගේ වැරැද්දනේ කියලා දැක්කේ නෑ වගේ හිටියා.

දැන් බිල ගෙවලා ඔක්කොම කරලා එලියට යද්දි… ආයි ඉතිං සිකුරිටි මාමාව පහු කරගෙන එපැයි යන්න. ඒ පාර නං මං හිතාගත්තා මූ හිනාවුනොත් දෙනවා එකක් බීම බෝතලෙන්ම කියලා. ඒ සුභ මොහොත ආසන්න වී ගෙනම එද්දී… මිනිහා හිනා වුනේ නෑ… මහත්තයා අර එහා පැත්තේ දොර ඇරලා තියෙන්නේ… ඒකෙන් යන්න… කියලා කිව්වා.  ඒ පාර ගයාන් හඃ හඃ හිඃ හිඃ ගානවා…

මොකද තෝ හිනා වෙන්නේ…

නෑ… නෑ… මුකුත් නෑ… කිංඩියට… වරෙන් යන්න… දොරවල් කඩන් නැතුව. කියලා ඒකකරං ගියාට පන බයේ හිටියේ මූ ගිහිං අරුං දෙන්නට කිව්වොත් කියලා. මගේම සහෝදරයා අතිං නව නිංගිරාවට පත්වෙනවා කියන්නේ… ඊට වැඩිය හොඳයි ආපහු රත්නපුරෙන් නැගලා ලිහිනි හෙලෙන් පයිනවා. ඒත් වෙලාවට ගයාන් කිව්වේ නෑ. තාමත් කියලා නෑ මං හිතන්නේ. ඒක නිසා මංම කතාව ඇති සැටියෙන් පාපොච්චාරනය කරනවා කියලා තමා ලියලම තිබ්බේ.

%d bloggers like this: