හීන අතරින්…

හීන නම්, මනුෂ්‍ය ආරකට ජීවත් වෙන හැමදෙනාටම පොදු දෙයක් බව පෞද්ගලිකව විශ්වාස කරමි. සතුන්ටද හීන පෙනෙන බව අසා ඇත. එසේම 2006 වසරේදී තිරගත වුන  i Robot හි සනී නම් රොබෝටද හීන පෙනුනා වගේ යන්තමින් මතකය. හීන දකින්නට නිදාගන්නම ඕනෑ යැයි නොසිතමි. ඇස් ඇරගෙන හෝ පියාගෙන නමුත් නොනිදා දකින හීනද ඇත. සම්මත වාග් කෝෂයේ මනෝ පාරක් ගහනවා යනු එයයි. ඔය සියල්ලක්ම අස්සේ හීන නොදකින මිනිසුන්ද හිඳිනා බවද දැක ඇත්තෙමි. එනමුත් උනුන්ටද හීනයක් නැතිව ජීවත් වීමේ හීනයක් තිබෙන බව නොදන්නවා සේ ඉඳින්නේයැයි සිතේ. අනාගත සැලසුමක් නැති, එන එන විදියට ගහ උලුඅස්සා ටයිප් යනු හීනයක් කිසි දිනෙක නොදැක්ක එවුන්දෝයි පොඩි අවිශ්වාසයක් ඇත.

කෙසේ නමුදු මේ හදිසියේ හීන ගැන ලියාගෙන යන්න හිතුනේ, හිත තුල පැලපදියම්ව තිබුන, එනමුත් හරියාකාරවම මේ යැයි කිව නොහැකි වූ එක්තරා දල හීනයකට ලඟින් යන හා යම් ආකාරයකට සමාන කමක්ද සැඟව පවතින්නා වූ අපූර්ව සේයාරුවක් දැක සතුටු වූ සිතුවිල්ලක් නිසාවෙනි.

මිනිසුන්ගේ හීන විවිධාකාරය. මිනිසුන් වන තරමටම හීනද විවිධාකාරවේ. එනමුත් කෙනෙකු දකින හීනයේ වටිනාකම වෙන කෙනෙකුට නම් නැතැයි සිතමි. එය තමන්ටම අයිති, අතිශය පෞද්ගලික, කොන්දේසි සහිත, කල්ඉකුත්වීමේ දිනද සහිත සරල හෝ සංකීර්ණ යම් සිතුවිල්ලකටත් වඩා එහා ගිය ක්‍රියාදාම රැසක් පිරි මනාව සංවිධානය කරන ලද චිත්‍රපටයක් මෙන් ගලායන කතාවක් ඇති අනිවාර්යෙන් ප්‍රීතිමත් අවසානයක් සහිත වැඩසටහනක් හීනයක් යැයි සිතේ.

නයනසේන වන්නිනායක හිතන විදියට කසුන් කල්හාර කියන ආකාරයට හැබෑ නොවෙනා හීන හරි මිහිරි වීම සිදුවන්නේ හරියටම හීනයක් හිතේ තියාගෙන ඉන්න පුද්ගලයාගේ වාසනාව අවසානව මත හෝ කැපවීම මතයැයි විටෙක නොව කිහිප විටෙකම සිතේ. චිත්‍රපටිවල පමණක් යම් දෙයක් වෙන්නට කලින් මායා බලයකින් මෙන් චරිත වලට අදාල සිද්ධිය පෙනුනාට සැබෑ ලෝකයෙ නම් එහෙව් සිදුවීම් ඉතාමත් අල්පය.

එලෙසම කලින් කී පරිදි හීන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. සමහරුන්ට ලෙඩක් දුකක් හැදුන විට එදා රෑටම ගොක් අතු, සුදු කොඩි පෙනේ. නමුත් පහුවෙනිදාට සියළු රෝග දුරලා ඔවුන් නැගිටී. ඒ ආකාරයෙන් හිතේ පවතින යම් යම් සංකූලතාවයන් මතද පෙනෙන හීන වෙනස් වේ. එලෙසම ඕනෑ කමින් දකින හීනද වෙනස්. ඒ ඒ හීන ඒ ඒ මනෝ භාවයන් වල ප්‍රතිපල විය හැක.

හරිය දැන් බයිලා ඇතිය. මේං මගේ මහ ලොකු හීනය. අම්මපා මේක ගෙදරින් දැනගතහොත් විසුමක් නැතිය. පියානන් පැමිණ, පුතා අපි බෙහෙත් ටිකක් ගන්න යමුද… මවුතොමෝ, කොත්තමල්ලි ටිකක් තම්බලා දෙන්නද ළමයෝ, දැන් මේ දවස් වල බෝවෙන උණකුත් තියවනේ… ඔය උණ විකාරෙට වෙන්න ඇති. වෙන්ඩ භාර්යාව දැන ගතහොත්… මේ ඔයාට පිස්සු හැදීගෙන එනවද අනේ… ඉන්න ඉන්න මං මෙන්ටල් ඩොක්ට කෙනෙක් චැනල් කරන්න.

ආන්න ඒකයි කලිං කිව්වේ කෙනෙක්ගේ මසුරන් වටින හීනයක් තවත් කෙනෙකුට නොවටිනා පිස්සු අදහසක් වෙන්න පුළුවන් බව. හැබැයි හිටි ගමන් වාසනාවට එක හීනය දකින හෝ දකින හීනයට සපෝට් එකට යාළුවෙක් හෝ හිටියොත් වැඩේ තවත් මරුය.

දැනට මීටර් වෙන්නේ එකෙක් පමණකි. මගේ හීනය ඌ දැන ගත්තොත්… උගේම වචන වලින්… ඒ එලනේ… අපි යමුකෝ බං නිවාඩුවකටවත්… කියයි. ඒකත් ලොකු හයියකි.

හීනය නම්… මේං මේ වගේ තනකොල වහලට දාපු, කොල පාටින් හැම තැනම පිරිලා ඉතිරිලා තියෙන, වාහන දුමින්, කන් කැඩෙන නලා සද්ද වලින්, වාහන සද්ද වලින් තොර ඉසවුවක, ඉර එලියත් – අඳුරු අළුපාටත් අතරමැද මූසල ගතියත් එක්ක විදුලිය නැති තරමටම හොඳ, පහන් එළියෙන් ආලෝකය දෙන නිස්කලංක ආනගතයක හිමිකරුවෙක් වීමයි. ජීවිතයේ ඉතිරි කාලය ආතතියකින් තොරව ලෙඩ රෝග වලින් තොරව ගෙවා දැමීමයි. ඔව්වා ඉතිං හීනම තමයි. කසුන් කල්හාර හරි… සැබෑ නොවෙනා හීන හරි මිහිරියි. (සිංදුවේ මුල් පේලිය විතරයි… ඉතුරු ටික වෙන මොකද්ද සීන් එකක්). 😉

Overlook of Saksun village’s traditional grass roofs.

 

 

Advertisements
%d bloggers like this: