කහ මල් වැල

නොනවතින මිනිස්-පරිසර තරඟයේ ප්‍රතිපලයක් විදියට මහ කැලෑ වල, රූස්ස ගස් වල එති එතී පොළොවේ සිට අහස සිඹින්නට වෙර දැරූ ඒ අලංකාර සපුෂ්ප ශාකය අන්තිමට නැවතුනේ මිනිස් ඇසුරේ මල් පෝච්චියක හෝ වැට ඉන්නකට හේත්තු වෙච්චි මල් පැලයක් විදියට. කොහෙන් කවදා රැගෙන ආවාදැයි නිච්චිතව කිව නොහැකි මුත්, උද්භිද විද්‍යාව හදාරන්නෙකුගෙන් අසා දැනගත් පරිදි කවුරුන් හෝ ස්වභව සෞන්දර්යට අධික ලෙස ලොබ බැඳගත්තෙකු විසින් වනයේ සිට මනුෂ්‍ය වාසයට ගෙනෙවිත් මහ කලක්ද ගතවී නැත. ඒත් ඉතාමත් සීමිත කාලයකදී ගෙවල් දොරවල, වැට අයින් වල තම කහ පැහැති ලාලිත්‍ය පතුරුවන්නට හැකි වූ මෙම මලට මමද පෙම් බඳින්නට විය. දුටු දුටු හැම කාලයකම මල් වැල කොල පාටින් හිස් නොවී තැන තැන පිපුන කහ පැහැති මල් වටා නටන මී මැස්සසන්ට, නමක් නොදන්නා හොට මඳක් වක්වූ කුරුල්ලන්ට බැඳුන හිතේ පැවති ලෝභකම අන්තිමේ නතර වුයේ එවන් මල් වැලකින් මල් අත්තක් අයිතිකරුගේ අවසරයෙන්ම මා සතු කරගත් පසුය.

ගෙනා දින සිට පැල වේදෝයි නොවේදෝයි සිතමින් කුඩා ඉටි බෑගයක ඉන්දවූ එය පවුලේ සියලු දෙනාගෙන්ම ආදර සත්කාර මැද ඉතාමත් සෙමෙන් නොනැසී පවතින්නට වූවත් ගස වැඩීමේ පෙරනිමිත්තක් නම් නොවීය. කෙසේ හෝ අන්තිමේ ඉතාමත් කුඩා අංකුරයකින් ලදැල්ලක්ව හටගත් වැඩීම තවමත් අවසන් වී නොමැත. පෙරදී අනුන්ගේ වැටවලදී දැකගත් කුරුලු – මීමැසි නැටුම් මේ වන විට මාගේ දෑස් මානයේද සිදුවන බැවින් ඒ චමත්කාරය කෙසේ නම් අමතක කරන්නද…

 උදේ හයහමාර පමන වන විට පැමිණෙන කුඩා කුරුල්ලන් රෑනක් පැනි උරන්නට පටන් ගනිද්දිම ඊටත් එහායින් මී මැස්සන් දෙන්නෙක් තුන්දෙනෙක් කැරකෙන්නේ කුරුල්ලන්ගේ පැනි බීම නවතා ගිය හැටියේම මේ මල් සිප ගන්නටය. මෙතුවක් කාලයකට විවිධ වර්ගයේ මල් වර්ග අප නිවසේ හා අවට වතු වල කොතෙක් පිපුනද එකදු මී මැස්සෙකු හෝ දකින්නට හැකි වේ නම් ඒ ඉතාමත් – ඉතාමත් අහම්බෙනි. මී මැස්සන් වඳවී ගියා සේ හිතිය හැකි තරමටම දුර්ලභ වූ ඔවුන් මෙම කහ පැහැති කෝමලියගේ කිසියම් ආකර්ශනයකින් වශීවී නැවතත් කරලියට පැමිණ රඟ දක්වමින් තිබෙන්නේ ස්වභව ධර්මයේ තවත් එක් නැටුමක් පමණි.

පාන්දර පහමාර, පහයි හතලිස්පහ වන විට පිපෙන කහ කුසුමෙන් කිසිදු මෘදු සුවඳක් මිනිසස් නාසයට දැනෙන්න නොනැගුනත් මනු සතා හැරෙන්නට අනෙකුත් සතුන්ට දැනෙන්න සුළඟ සමගින් එක්ව හමා යනවා ඇත. එබෙවින් කුඩා කුරුල්ලෝද මී මැස්සෝද මෙහි තැවරෙන්නට එනවා ඇත. දුටු පරිදි කුඩා කුරුල්ලන්ට මෙහි තිබෙන පැනි හෝ රේනු හෝ මොනයනම්ම දෙයක් ගත හැක්කේ තරමක් දුරකට පමණි. මල තුල තිබෙන සියළුම සම්පත් තමන් සතු කරගැනීමට කුරුල්ලන්ට නොහැකී වී ඇත්තේ ඔවුන්ගේ ශරීර ප්‍රමාණ මල තුලට යෑමට තරම් කුඩා නොවන නිසාය. එනිසාම අහිංසක මී මැස්සන්ටද උංගේ කොටහ ඉතුරුවේ. මී මැස්සන්ද මෙහි ප්‍රතිලාභ ලබාගන්න එක් කොටසක් පමණක් විය හැක. මෙහි සෑදෙන ආහාර මී මැස්සන්ගෙන් පසුව කූඹින්ට අයිති වේ. එයනම් හැම විටම නොව ඉඳහිට පමණකි.

කහ පැහැති කුඩා ලවුඩ් ස්පීකරයක් බඳු මෙම මල් කැකුල හඳුන්වන නමක් තවමත් නොදන්නේ මුත් අලංකාරය මෙතැකියි කීමට නොහැකි වූවත් බොහෝ අය මෙය නිවෙස් වල අංලකාරය පිනිස වවන බැවින් කිසිවෙකුටත් මෙය අභිරහසක් විය නොහැක. වසර පුරාම මල් හැදෙන බැවිනුත් වැල් ආකාරයෙන් ඉතාමත් සරුවට වැඩෙන බැවිනුත් මල් පොහොර, අර පොහොර – මේ පොහොර ආදිය නොමැතිව සාමාන්‍ය සරු පොළොවක සරුවට වැඩෙන බැවිනුත් අලංකාරයද නිමක් නැත. දුටු පරිදි වඩාත්ම ව්‍යාප්ත වී ඇත්තේ නාගරිකව කුඩා ඉඩ කඩක් තුල පැතීරී යාමෙනි. සිමෙන්ති බැමි වලින් වෑහෙන කර්කශ උෂ්ණයට එරෙහිව කොල පැහැති පත්‍ර හා කහ පැහැති මල් වලින් ඇතිවෙන සිසිලස අගේ කරන්නන් විසින් ඉතාමත් සාරවත්ව වවන ලද මේ ශාකය සැබැවින්ම සිත නිවාලයි.

 

 

%d bloggers like this: