ලොකු මාමා නම් වු ඔහු…

ඔහු ඇත්තටම ලොකුය. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වැඩියෙන් දේහධාරීය. ඔහු විඳි දුක් කන්දරාව මා අම්මාගෙන් අසා ඇති බැවින්, ඒ අතින්ද ඔහු ලොකුය. එමෙන්ම අම්මාගේ පවුලේ සහෝදර සහෝදරියන් අතරින්ද ඔහු ලොකුය. ඒ වගේම සැර පරුෂ කමින්ද මගේ වයසේ සිටි අවධියේ ඔහුට ඉදිරියෙන් කිසිවෙක් ගමේ සිට නැත. ඔහු චන්ඩියෙකු නොව වරදේදි වහා කිපෙන අයෙකි. අම්මා කියන්නේ මා තුල පවත්නේද ඒ ජානමය ගතිය බවය. ඒ ලොකුකමම මගේ හිත තුලද ඔහු ලොක්කෙක් කර ඇත.

මට මතක අයුරින්, අම්මා කියා ඇති අයුරින් ඔහු අම්මාගේ පියානන් අකාලයේ මිය ගිය දින සිට පවුලේ සාමාජිකයින් පස්දෙනා ගැන පියෙකු මෙන් වෙහෙස වී සොයාබැලූ බවද අනන්ත අප්‍රමාණ දුක් කම්කටොලු විඳ දරාගෙන මුළු පවුලම යහපත් තලයකට ගෙන යෑමට කටයුතු කල බවය. ඉගෙනීමට සමතෙකු වූ ඔහු ඉගෙනීම අවසානයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බැඳී ඇත්තේ යම් වැදගත් නිලයක සහකාර ලෙසය. දැන් එය මට මතක නැත. අම්මාගෙන් ඇසීමටද නොහැක. එයට යම් මිත්‍යා හේතුවක් ඇත.

මට අවුරුදු පහලොවක් පමන වන තෙක් ඔහු ගැන කිසිදු මතකයක් නැත. ඔහු මහ ගෙදරින් පිට පොළොන්නරුවේද මා මහ ගෙදරින් පිට කළුතරද විසීම නිසා ඔහු පිළබඳ අවුරුදු පහලොවකට දාසයකට එපිට කිසිදු මතකයක් මට නැත. නමුත් අපේ නව නිවස මහ ගෙවල් අවට සාදන කාලයේ සිට මට මතකයේ තැම්පත්ව ඇති කිසිදු සේයාවක් මට අමතක නැත. ඒ අවධියේ පටන් මගේ පවුලේ වීරයා ඔහුය. අප මහ ගෙදර සිට නව නිවසට යාමට කිලෝමීටර් එකාමාරක් පමන දුරක් සෘජුකෝණාස්‍රාකාර ගමන් පථයක ගමන් කල යුතුය. එනම් මහ ගෙදර සිට එක එල්ලේ උතුරට ඉරක් ඇඳිවිට මීටර් එකසිය පනහක් දුරින් නව නිවස ඇත. නමුත් ඒ අතර මැද ඇත වතුපිටි නිසා යාමට ඒමට නොහැකිය. මෙවන් අවස්ථාවල ඔහුගේ පරන දැන ඇඳුනුම් කම් මතින් එම වතුපිටි මැදින් පාරක් තනාගන්නේ ඔහුටත් නොදැනිමය. නමින් විමල් නම් වූ තලෙලු දේහධාරියා දුටුවිට ගම්මුන්ගේ මුවින් පිටවන වදන් කාලයක් යන තුරු සිත රජ කරනු ඇත. “විමල් මහත්තයා මොකෝ වටෙන් යන්නේ… අර තියෙන්නේ කඩුල්ල. ඒක මහත්තයටයි නංගිලටයි ඕනේ වෙලාවක ඇරලා. එතනින් යන්න…” ඒ බයට නොව සෑහෙන ප්‍රමාණයක ගෞරවයකිනි.

කිසිවෙක් එසේ පැවසූ විට ලොකු මාමා සමග සිටින මගේ දෙස මහත් වූ දයාවෙන් බලා ඔලුව අතගාන්නේ ඔහුගෙන් පසු ඒ ගෞරවය මටත් ලැබෙන ලෙස ඉඟිකරමින් කියා සිතුනු වාර අනන්තය. අම්මාගේ පවුලේ සාමාජිකයින් අතරින් ඔහු ඔහුගේ පුතුන් දෙදෙනාට හැරෙන්නට වඩාත් සමීප මටය. මට වඩා වැඩිමල් එවුන් හිටියද යම් කිසි විශේෂ දාරක ප්‍රේමයක් මා කෙරේ තිවුන බව මට මතකය.

ඒ වෙසක් මාසයකි. වරක් ඔහු මාව මහ ගෙදර ගොස් සිටින දිනයක මැදිරිගිරි එක්කගෙන ගියේය. ඒ ගමනට පැය තුන හතරක් ගත වූ බව මතකය. ඒ දිනවල මට වයස දහඅටක් දහනවයක් පමන ඇත. මා කොම්පියුටර් වැඩ කරන බව දන්නා ඔහු, ඔහුටද පරිගණයක් මිලදී ගත්තේය. ඒ අවධියේ මා ආධුනිකයෙකු වුවත් ඔහු විශ්වාස කලේ, ඔහුට ගුරු හරුකම් දීමට තරම් මා හපනෙක් බවය. ඔහුගේ ගෙවල් පොලොන්නරුවේ වුවද ඔහු රාජකාරි වැඩ සඳහා නැවතී සිටියේ මැදිරිගිරියේය. එදා මැදිරිගිරි ගියේ, මින්නේරියෙන් බැස ඔහුට යාමට විශේෂ අවසරයක් ඇති කැලෑ පාරකිනි. මෝටර් බයිසිකලේ ගිය ඒ ගමන මට කිසිදා අමතක නොවේ. ගමන පටන් ගැනීමට ප්‍රථමයෙන් මට දුන් එකම උපදෙස වූයේ… “අලි දැක්කෝත් මට පෙන්නන්න එපා. පුතා බලාගෙන යන්න කියාය.” අදටත් එහි තේරුමක් දන්නේ නැත. දැන් ඔහුගෙන් අසන්නටත් බැරිය. එමෙන්ම අලි බෙටි හැරෙන්නට දුටු අලියෙකුද නැත. දුටු එකම දෙයනම් වියලි සුළඟින් අනූන කැලයත්, සයිලන්සරයට උනුවී ගිය මගේ සපත්තු අඩියත්ය.

මැදිරිගිරිය වටදාගෙය

මැදිරිගිරිය වටදාගෙය

එදා හවස්ජාමය ඔහු සමග ගතකරන අතර ඔහුගේ ලොකු පුතා ගෙන්වා ඔහු සමග මා වටදාගෙය නැරඹීමට පිටත් කර හැරියේය. එහි සිට මුරකරුවන් අප දෙදෙනා දෙස රවා බැලුවේ, “අහවල් මහත්තයාගේ මෝටර්බයිසිකලය හොරකන් කලාවත්ද …?” කියමින්ය. පසුව විස්තරය කියූ පසු කොහේදෝ හිඳි මග පෙන්වන්නෙකු ගෙන්වා අප දෙදෙනා අතට තම්බා ලුණු පොවන ලද බඩඉරිඟු කරල් දෙකක්ද දුන්නේ ලොකු මාමාට ඇති ගරු සරුව පෙන්වමිනි.

ඉන්පසු මට ඔහු හොඳින් සිටින විට යන්නට ලැබුනේ නැත. හමුවූයේ මහ ගෙදර ගිය විටෙක පමණි. ඒ එන ගමන්ද ඔහු විසින් වෙරිටාස් සේවයෙන් ගෙන්නා ගන්න ලද සඟරා කීපයක්, වාරි ඇල මාර්ග සම්බන්ධ රූප සටහන් ඇඳි ඉංග්‍රීසි පොත් කීපයක් හා තවත් පරිගණක පොත් රැසක් මා අතට පත් කලේය. දැන් භාවිතා කරන සමහර ඉලෙක්ට්‍රොනික උපාංග වල මුල් අවධි ඒ සඟරාවලින් දුටු මම යම් තරමකට වික්ෂිප්ත විය. ඒ හැම අවස්ථාවකම මැදට පැන ඔහු විසින් සියලු ගැටලු වලට පිළිතුරු සැපයුවද මට ඒ දිනවල තේරුනේ ඉන් අඩක් හෝ ඊටත් අඩු ප්‍රමාණයක් පමණි.

කෙසේ හෝ කාලයක් යන විට ඔහු සමග බැඳීම තදවිය. ගෙදර දුරකථනයට නිතර දෙවේලේ කතා කරන ඔහු පරිගණකය පිළිබඳ යම් ප්‍රශ්න අසයි. මා පුළුවන් හැටියට උත්තර දෙයි. දවසක්… ලොකු මාමාගේ නැන්දා අම්මාට කතා කොට කියා ඇත්තේ ලොකු මාමාට හදිසි අනතුරක් වී ඇති බවය. පසුදාම අම්මා හා මල්ලී පේරාදෙණිය රෝහලට ගියේ හැප්පුන හැප්පිල්ලට බෙහෙත් කිරිමට සමත් දොස්තර මහත්මයෙක් හෝ අවශ්‍ය පහසුකම් පොලොන්නරුව අවට රෝහල් වල නැති බව පවසා ඔහුගේ නිලරථයෙන්ම ඔහුව පේරාදෙණිය රෝහලට ගෙනවිත් තිබූ නිසාය.

පසුව ඔහුව මහනුවරට මාරුවිය. ඒ සමයේ නම් අතිරේක පන්ති පවා පසෙක දමා මා අම්මා සමග මහනුවර රෝහලට ගියෙමි. ඔහුගේ කකුලක් කැඩී ඇත. ඔලුවටද යම් හානායක් වූ මුත් පසුව ඒ තුවාල සනීප විය. කටට නම් කිසිම ප්‍රශ්නයක් නැත. මා ගිය ගමන් ප්‍රශ්න අසාගෙන අසාගෙන යයි. පැයකට ආසන්න කාලයක් අප සමග කතා කරන ඔහු තවත් සතියක් හෝ දෙකක් යන තුරු කතාවට කිසිවෙක් නැතිව ඇඳ උඩ ලැග්ගේය. නැන්දා ආවද අළුත් දේ ගැන නැන්දා දන්නේ නැත. එබැවින් සියළු අප්ඩේට් මා විසින් ලබාදිය යුතුය. මතක හැටියට අවුරුද්දකට ආසන්න කාලයක් මහනුවර රෝහලේ ගිමන් නිවූ ඔහු, කකුලේ තුවාලය සනීප බව පවසමන් බලෙන්ම ටිකට් කපාගෙන නිවසට ගියේය. එතැන් පටන් ඔහුගේ වීර ක්‍රියා සෙමෙන් අඩුවිය.

කාලයකට පෙර ඔහු කෙරූ කියූ සියල්ල අමතකව ඇත. විදුලියෙන් ක්‍රියාක්මක වන විශේෂිත මෙට්ටයක් මත හාන්සි වී නැන්දාගේ නොමද රැකවරණය මැද ඔහු කල් ගෙවයි. එය ඇත්තටම හිතට නිවනකි. ඔහුගේ පුතුන් දෙදෙනා විදේශ රටක සේවය කර නිවසේ ආදායම සරි කරයි. මමද හිටිගමන් එහි ගොස් පැමිණේ. ඒ යෑමත් නැවත නිවසට ඒමත් යනු වචනයෙන් විස්තර කල නොහැකි අන්තයන් දෙකකි. යන්නේ ඔහුව දැකීමට, ඔහු සමග පෙර මෙන් දොඩමලු වීමට වුවද… එසේ නොකරන තැන හැඬුම් ආවද ඒ සියල්ල දරාගෙන ඔහු දෙස බලාසිටිමි. මහනුවර රෝහලේදීද ඒ තත්වයම එන විට මා ටික වේලාවකට එලියට ගොස් නැවත පැමිණියෙමි.

ඔහු විසින් මා හට සහ තාත්තා සමග පැවසූ යම් යම් නොපිලිගත හැකි අද්භූත දේ ගැන කතා කීපයක් ඇත, ඒවා පසුවට ලියමි. ඔහු අප සමග බොරු නොකියන බැවින් ඒ කතා නිකං බොරු යැයි කියා අතහැර දැමීමට මට මෙන්ම තාත්තාටද නොහැකිය. එවන් එක් කතාවක් නිසා අම්මා ඔහුට කතා කිරීමද අඩුකර මටද තහංචි දැමීය. ඔහුට අප කියන දේ ඇසේ… නමුත් පිලිතුරු දෙන්නේ නැද්දාය. නැද්දාට යම් තරමකට ඔහුගේ වෙනස් අංගචලන භාෂාව හුරුය. එනිසා අප අතර සංනිවේදනයේ ගැටලු තරමක් අඩුවී ඇත.

අම්මාගේ පියා නැතිවූ දා සිට ඇයව මෙන්ම අනිත් දරු දෙදෙනාවත් ආච්චිවත් රැකගත් ඒ උත්තමයාට වචනයකින් හෝ අඩුවක් කිරීම යම් තරමකට හිත පාරවන බැවින්, හිටිගමන් ඇවිලෙන ගිනි නිමෙන්නේ ලොකු මාමාගේ මෙන්ම නොසැලකිල්ලට හා අසාධාරණයට කිපෙන මගේ හිත හිවී ගිය පසුව…!

ඉදින් මේ සියල්ලේ ලියවුනේ… පොසොන් දිනය යනු ඒ තේජවන්තයාගේ අවාසනාවන්ත දිනය වූ බැවිනි. එමෙන්ම කැලැන්ඩර් දිනයද දවසක් එහාට මෙහාට වුවද ආසන්න වශයෙන් සමාන බැවිනි. සිදුවූ දෙයනම්… පොසොන් සමයේ පොළොන්නරුවට ගලන අධික ජන ගඟ කෙරේ යොමුවෙන පහසුකම් නිරීක්ෂන චාරිකාවක, මෝටර් සයිකලයෙන් යමන් ගමන් සිටිද්දි… දන්සැලක බෞද්ධ කොඩියක් ඔසවා ගත් තරුණයෙකු පාරේ අනිත් පැත්තට පනින විටම ඔහුව බේරීමට සිතා එක්වරම බයසිකලට දකුණට කපා ඇත. පාරේ දෙපස හා වාහන වල අයකරන දේ ගැන විමසිලිමත්ව ඉතාමත් හිමින් යමින් සිටි ඔහු ඉදිරියේ බෞද්ධ කොඩිය දිගහැරී පාර වැසි ගොස් ඉදිරියෙන් අධිවේගයෙන් පැමිණි බසයේ ගැටී යම් දුරක් ඇදී යාමෙන් ඔහුට එම පොසොන් උත්සවය රුදුරු විය. එතැනින් පසු ඔහු සදහටම යහන් ගත විය. තාමත් හුස්ම ගන්නා ඒ ලොකු මිනිහා දැන් වැහැරී ගොස් ඇත. හරිහැටි මතකයක්ද නැත. නමුත් තවමත්… සදහටමත්… ඔහු මගේ වීරයෙකි. එනමුත් විඳින දුක දැක දීර්ඝායුෂ පැතීමට හිත මැලි වේ. ඒ හිතේ කොනක නලියන කඳුල ගැන දැන් යම් අවබෝධයක් ඇති නිසා මිස ආදරක් නැති නිසා නොව. යම් විදියකින් ඔහු සුව වේනම් එය අපි හැමටම නිරාමිස සතුටකි…!

Advertisements

13 Responses to “ලොකු මාමා නම් වු ඔහු…”

  1. නුවර කුමාරි Says:

    හ්ම්ම්…. ඔය වගේ කතාවක් මටත් ලියන්න තියෙනවා. ලියාගන්න බැහැ. මේක කියෝලා පපුව රිදෙනකොට

    • Gold fish Says:

      ලියලා දාන්න. එතකොට පපුව රිදෙන එක හරියයි

  2. himasha Says:

    ඔහොම තමයි රන් මාලුවො, මාමලා කොහොමත් ලොකුයි… හැබැයි අපිට නම ලොකු මාමා කියන්නෙ නිකන්ම පාවෙන චරිතයක්, ඒ උනාට අනිත් මාමල තුන් දෙනා ගැන තියෙන්නෙ පුඩුමාකාර මතකයන්… අම්මා නැත්නම් ඉතින් මාමලා තමයි හිතට කිට්ටු. මාමට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    • Gold fish Says:

      එයා සනීප වෙයි කියලා හිතන්න අමාරුයි

  3. විචාරක Wicharaka Says:

    මෝඩයකුගේ අමන ක්‍රියාවකින් මිනිස් ජීවිතයක් අඳුරුවූ හැටි. එක කියමනක් තියනවා අම්මා මැරුණම මාමාගේ ඇඟිල්ලට කිරි උනනවා කියලා. ඒ කියන්නේ අම්මාගේ සහෝදරයෝ ඇත්තටම තම සහෝදරියගේ දරුවන්ට ආදරෙයි කියන එකයි. මේ වගේ මාමා කෙනෙකුගේ අගය කියා නිම කරන්නට බැහැ.

  4. arunishapiro Says:

    මේක කියවද්දී සුපර් මෑන් curse එක මතක් වුනා. ඒකත් එක්ක ගැලපිල්ලක් නැහැ ඒත්.

    • Gold fish Says:

      නෑ නෑ ගැලපිල්ලක් තියෙනවා. සමහර දවස් වල හවස් වෙලාවට එයා සුපර් මෑන් කියලා හිතාගෙන වැඩ කරන වෙලාවලුත් තියෙනවා. වැඩිහරියක්ම කට්ටිය සෙට් වුනාම.

  5. Sachith Says:

    මචං මම ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තට ආවෙ…කාලයක් එන්න බැරි උනා… :(.. මොකද දැං යශොධරා ගැන ලියන්නෙ නැත්තෙ…? ඉස්සර මම ෆට්ට් ආසාවෙන් අනිවා ඒක කියවනවා…මොකද උනෙ…?

  6. niluka Says:

    harima sanweediee wuna.jeewithe nawathuna tika welawakata

  7. Dumidu Gamage Says:

    බලාගෙන යනකොට අපි හැමෝගෙම ලොකු මාමලා ලොකුම ලොකුයි ….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: