කපුටාගේ වෙනස්වීම…

.

.

කතාව කියන්න කලින් කපුටා ගැන ටිකක් කියලා ඉන්නම්. කපුටා කියන්නේ බොහොම සුලභ පක්ෂියෙක්. ඒ වගේම කොයිතරම් කුණු කසල ශෝධකයෙක්ද කියනවනම්… කපුටා නැතිවුනොත් උගේ වැඩ කරන්න නගරසභාවට වෙනමම සේවකයන් පිරිසක් යොදවන්න වෙන තරමට සෑහෙන සේවයක් කරන සතෙක්. මං දන්න විදියට අන්න ඒ හේතුව නිසාම කපුටන්ව මැරීමත් තහනම්.

ඉතිං මේ කපුටා කියන සතා වෙලාවකට සාස්තර කාරයෙක්. තවත් වෙලාවකට නගරසභා සේවකයෙක්. හැබැයි ජනකතා අනුව නම් කපුටා අලි පන්ඩිතයෙක් වගේම ගොන් මීහරකෙක්. ඒක නිසා තමා අනිත් කුරුල්ලෝ සම්පූර්ණයෙන් ආවරණය වෙන කූඩුවක් හදද්දි කපුටා විතරක් භාගෙට කුඩුවක් හදන්නේ. ඒ ජනකතා අනුව මට මතක විදියට, කපුටා මුලින් කූඩු හදන්න දන්නේ නෑලු. ඉතිං කූඩු හදන්න දන්න වෙන කුරුල්ලෙක් ගාවට ගිහිං කපුටා අහගන්නවලු කූඩුව හදන හැටි. ඉතිං ඒ කූඩුව හදන්න හරියටම දන්න කුරුල්ලාව මට මතක නැති වුනත්, පාඩම කෙරීගෙන යන අතරේදි… ඒ කියන්නේ කූඩුවේ යට කොටස හදාලා ඉවර වේගෙන යද්දි කපුටා… “අයියෝ… ඕක නම් මාත් දන්නවනේ…” කියලා පාඩම භාගෙට අහගෙන පියාඹලා ගියාලු. ඉතිං එදා ඉඳං ඌ කූඩුව හදන්නේ ඌ ඒ දන්නවයි කියලා හිතන් ඉන්න ටිකෙන් තමා.

ඇත්තටම මේක ජොලි කතාවක්මත් නෙවෙයි. ඇසින් දැක්ක වෙනස්ම අළුත්ම දෙයක්. කපුටා සාමාන්‍යයෙන් කුඩූ හදන්න උපයෝගි කරගන්නේ පරඬැල්, ගස් වල අතු රිකිලි වගේ ශාකමය ද්‍රව්‍ය. කපුටා විතරක් නෙවෙයි අනිත් සෑම කුරුලලෙක්ම දන්න තරමින් එහෙමයි. පුංචි කාලේදී ස්කෝලේදී ඒකට හේතුව විදියට ඉගෙන ගත්තේ කූඩුව ඇතුලෙ සිසිල් කරන්න එහෙම කරනවා කියලයි. අතරින් පතර පලාස්ටික් පටි වලින්, නූල් කෑලි වලින් එහෙම හදපු කූඩුත් දැකලා තිබුනාට කම්බි කෑලි වලින්, ලෝහ යොදාගෙන හදන වඩාත් ශක්තිමත් කූඩුවක්…!

මේ ලඟකදී මං දැක්කා කපුටෙක් බයින්ඩින් කම්බි කෑල්ලක් එක්ක ඔට්ටු වෙනවා. ඌ ඒක ගෙනියන්නේ යකඩ වලට විකුණන්න වෙන්න බැරි නිසයි, මං අනුමාන කරේ ඒක ගෙනියන්නේ කූඩුවක් හදන්න විය යුතුයි කියලා. ඒ දැක්කේ කොල්ලුපිටියෙදී. ඊට සතිදෙකකට විතර පස්සේ නාරාහේන්පිටදිත් ඒ වගේම කපුටෙක් බකට් කම්බියක්, පාරේ තිබ්බ කුණු ගොඩකින් ඇදලා අරං පියාඹලා ගියා. ආයෙමත් මේ සතියේ සඳුදා නෙළුම්පොකුණ රඟහල හෝල්ට් එකේ බස් එක නැවැත්තුවම දැක්කා කලින් වගේම බයින්ඩින් කම්බි කෑල්ලක් උස්සන් යන ගමන් ගිමන් හරින්න වගේ පොඩ්ඩක් නැවතුන කපුටෙක්ව. වෙනස් ස්ථාන තුනක වෙනස් කපුටෝ තුන් දෙනෙක්. එකාම වෙන්න බැහැනේ.

මේක මට දැන් යම් තරමකට සාමාන්‍ය දෙයක් වුනාට, නොදැකපු කෙනෙක්ට අළුත් දෙයක්. මොකද මෙච්චර කල් කම්බි සිමෙන්ති යොදාගෙන වාසස්ථාන හැදුවේ මිනිස්සු විතරනේ. දැන් කපුටොත් කම්බි වලින් කූඩු හදන්න පටන් අරගෙන. හැබැයි තාම දැක්කේ නෑ කම්බි වලින් සම්පූර්ණ වුන කපුටු කූඩුවක් නම්. ඒකත් අනාගතයෙදී දකින්න ලැබෙයි කියලා හිතනවා. සමහරවිට ඒක මොකක් හරි පොයින්ට් එකක් වෙයි කපුටන්ගේ පරිනාමයේ..!!! උං දැනට කාක් කාක් ගාගෙන හිටියට සමහර වෙලාවට උනුත් කාර්මීකරණය පටන් අරගෙන ඇති… ඉස්සරහට උංටක් එක්ක කම්බි හදන්න වෙයිද දන්නේ නෑ මිනිස්සුන්ට. 😀

14 Responses to “කපුටාගේ වෙනස්වීම…”

  1. ගි.කු Says:

    .නෑ බන් කපුටෝ තුන් දෙනෙක් නෙවෙයි ඔය ඒක කපුුටෙක්. උෟ 3 phase කරන්ට් ඒක ගන්න හදන්නේ කූඩූවට.

  2. විචාරක Wicharaka Says:

    ලෝකයේ බොහොමයක් ප්‍රධාන නගරවල වෙසෙන පක්ෂීන්, තමන් ඉන්න පරිසරයට අනුවර්තනය වන ආකාරය සම්බන්ධ ලිපිවල, මෙවැනි තොරතුරු මා කියවා තිබෙනවා. ඇත්තටම පරිසරය සමග ගැටීමෙන්, සතුන්ගේ චර්යාවන් වෙනස්වන බවට මෙය හොඳම උදාහරණයක්.

    ලේක්හවුස් වටරවුමේ සිට ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටුවා ඇති, වීදි පහන් කණු මුදුන් වල, මේ ආකාරයේ පක්ෂි කූඩු දකින්නට පුළුවන්.

  3. රාජ් Says:

    කපුටන් කම්බි කූඩු හදන බව අැත්ත. මීට දශකයකට විතර කලින් ලංකාදීපෙද කොහෙද දාල තිබුන තනිකර කම්බි වලින් හදපු කපුටු කූඩුවක්.

  4. mppgunasinghe Says:

    දැන් ගම්මාන වල කපුටො නෑ. හේතුව මොකද්ද මන්දා. මා ඉන්න දහිවෙ කපුටෙක් දකින්න ලැබෙන්නකෙලාතුරකින්

  5. DDT Says:

    මාළුව හුඟ දවසකින් ….

    ඉස්සර තරම්ම දැන්නම් මේ පැත්තෙත් කපුටො නෑ තමයි. ඔය කපුටොන්ගෙ කූඩුවලද කොහෙද නේද කොහාත් බිත්තර දානවය කියන්නෙ. (ඒකෙ අනිත් පැත්තද මන්දා) පැටියා කාලෙදි සද්දෙ වෙනසයි පිහාටුවල වෙනසයි නිසා මහ කුරුල්ලා පැටියව කූඩුවෙන් එළියට දානවය කියන්නෙ.

    කොහොමටත් යකඩ කෑල්ලක්වත් බේරගන්න බැරි කොළඹ කාක්කොන්ගෙන් තමා බං.

  6. පොඩ්ඩි Says:

    දැන් මාලුවට තියෙන්නේ කපුටා පස්සෙන්, එයා යන දිහාවට ගිහින්, එයාගේ කූඩුව හොයලා ෆොටෝ අරගෙන බ්ලොග් පෝස්ට් එකක් දාන්ට… 😛

  7. Gossip Lanka Says:

    ඇත්තටම දැන් කපුටෝ දකින්න නැ. ඉස්සර අපි පොඩි කාලේ නම් කොහේ බැලුවත් කාක් කාක් කියනවා


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: