ස්කෝලෙන් පැනිල්ල…

 n

🙂

ස්කෝලේ ගිය හැම පිරිමි ළමයෙක්ම වගේ ඒ අවුරුදු දහතුන ඇතුලත එක පාරක් හරි ස්කෝලෙන් පැනලා ඇති මං හිතන්නේ. එහෙම නැත්තං ඉතිං ඒ පැනිල්ලේ තියෙන ගතිය ගැන කිසිම හැඟීමක් ඇති වෙන එකක් නෑ.

ඇත්තටම ස්කෝලෙන් පනින්න අපිට ඒ දවස් වල ඕනෙ තරම් හේතු තිබුනා. ඒක තනිකරම විනය විරෝධි වැඩක් වුනාට පොඩි නරක වැඩක් ඉඳලා හිටලා කරද්දී හිතට අපුරු කික් එකක් තියෙනවා. ඒ වගේම ඒ දේවල් වයසට යනකොට කිය කිය හිනා වෙන්න පුළුවන් වෙන විදියට මතක පොතේ ඉබේම ලියවෙනවා. සමහර වෙලාවට ගුරුවරුන්ගේ බැනුම්, වේවැල් පාරවල් එක්කම ලියවෙන වෙලාවලුත් තියෙනවා.

ඉතිං මේ අළුත්ම විදිය ගැන කියන්න කලිං අපේ කෙරුවාවල් ටිකක් කියන්නම වෙනවා. නැත්තං ස්කෝලෙක තාප්පෙකින් හොරෙන් පැනලා නැති කෙනෙකුට ඒ ගැන අදහසක් නැතිවෙයි. අපි ස්කෝලෙ යද්දි වැඩි හරියක්ම හොරෙන් පැන්නේ මගේ පන්තියේ හිටිය අරුණ කියන යාළුවගේ ගේ එහා පැත්තෙන් ගලාගෙන යන බොල්ගොඩ ගඟේ නාන්න යන්න. ඇත්තටම තරමක් අවදානම් කටයුත්තක් වුනාට ඒ අවට හිටිය අරුණ අඳුනන මාළු බාන අය නිසා එපිට බයක් දැනුනේ නෑ. නාන ඇඳුමක් නැති නිසා උපන් ඇඳුමෙන්ම තමා වතුරට පනින්නේ. නාලා ඉවර වෙලා පිහිදගන්න විතරක්, අරුණගේ අම්ම වැලේ වනලා තියෙන තුවායක් හොරට උස්සං එනවා. ඒකෙන් පිහිදගෙන ආයෙම ඇඳුම් ඇඳගෙන ස්කෝලේ ඇරෙනකම්ම ස්කෝලේ ඉඳියා වගේ ගෙදර යනවා. එකම එක දවසක් නම් මට පොඩි කේස් එකක් වැටුනා. ඒ තමා අරුණගෙයි මගෙයි කලිසම් දෙක මාරු වීම. එදා මගේ ඇඳුම් හෝදද්දි කලිසම වෙන එකක් කියලා අම්මට මාට්ටු වෙලා මල මගුලක් වෙන්න ගිහිං, බොරු දාහක් විතර කියලා යාන්තං අම්මා ස්කෝලෙට එන එක නවත්තගෙන පහුවෙනිදම කලිසම මාරු කරගත්තා. අරුණට කිසිම අවුලක් නෑ. උගේ ඇඳුම් ඒ දවස්ල ඉඳන්ම ඌමනේ හෝදගත්තේ.

මෙහෙමත් පැන්නනේ..!

මෙහෙමත් පැන්නනේ..!

ඔය ගඟේ නාන්න ඇරෙන්න අපි ස්කෝලෙන් පනින්නේ වෙන යාළුවෙක්ගේ ගෙදරක යන්න. එහෙමත් නැත්තං කාන්තා පාසලක තියෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් බලන්න යන්න වගේ හෙන වැදගත් වැඩකට. එහෙමත් නැත්තං බිග් මැච් එකට හැට් කලෙක්ෂන් යන්න. ඒ ගමන තමා මරු. ලොරි භාගෙක පිටිපස්සේ ඉඳගෙන යුනිෆෝම් එකට උඩින් නයිටි ඇඳගෙන කාන්තා පාසල් ගාව සල්ලි එකතු කරනවා කියන්නේ… දැන් නම් මතක් වෙද්දිත් ලැජ්ජයි.

ඒ වගේම අපේ පාසල කිට්ටුවම වගේ තිබුන තව පාසලක්. පිරිමි එකයි ගැහැණු එකයි වෙන වෙනම තිබුනේ. දැන් නම් පිරිමි පාසල වෙන තැනකට ගෙනිහිල්ලා තියෙන්නේ. ඒ දවස් වල තිබුන පාසල දැන් ඉංජිනේරු බලකායේ කෑම්ප් එකක් විදියට පරිවර්තනය වෙලා. කොයිතරම් ස්කෝලේ නම් නොකියා බේරෙන්න හැදුවත් ඒක කරන්න බෑ. කතාවේ අන්තිමට නම කියනෙවා. ඒ කාලේ අපේ සමවයස් යාළුවෝ සෙට් එකක් ඔය පාසලේ තිබුන අඩි දහයක් විතර උස තාප්පෙ තිබුන හිලකින් එහා පැත්තට රිංගද්දි, වයිස් ප්‍රින්සිපල්ටද කොහෙද මාට්ටු. දහයක විතර සෙට් එකෙන් අන්තිම එකා දනගාගෙන රිංගද්දි, උගේ පපුව හරිය එලියට ගියාම තමා වයිස් ප්‍රින්සිපල් ඒ ලඟින් යන්න ඇවිත් තියෙන්නේ. මේ සීන් එක දැක්ක වයිස් ප්‍රින්සිපල් බාගෙට රිංගලා ඉන්න කොල්ලගෙන් ඇහුවලු “මොකද්ද මේ තොපි රිංගන ගුල” කියලා. අරුත් ඉන්නේ බාගෙට රිංගන ගමන්නේ. මොනා කිව්වත් ඉතිං මොකාද කියන්නේ කියලා පස්ස පැත්තෙන් අඳුන ගන්න බැරි නිසා අරූ හෙන හයියෙන් “මේක තමා සර්… සුමගුල” කියලා ඉතුරු ටිකත් අනිත් පැත්තට රිංගුවලු.

හරි දැන් කියන්නම් මාතෘකාවට අදාල කතාව. මේක මට අහන්න ලැබුනේ දවසක් පාන්දරක කෝච්චිය එනකං ස්ටේෂන් එකේ බංකුවේ ඉඳගෙන ඉද්දි. ඔන්න මට එහා පැත්තෙන් ඉන්නවා මැදි වයසේ පුද්ගලයෙක්. බුවා අපේ තාත්තගේ යාළුවෙක්. ඒත් මාව වැඩිය මතක නෑ. අනික කළුවරේ අඳුන ගන්න කොහොමත් බෑ. ඉතිං ඔහොම ඉද්දි ඒ අංකල්ගේ යාළුවෙකුත් එනවා ස්ටේෂන් එකට. ඒ දෙන්නා මං හිතන විදියට ගොඩ කාලෙකින් හම්බුවෙලා නෑ.

තාත්තගේ යාළුවා අහනවා අර අනිත් මනුස්සයාගෙන්, “කොහොමද මචං. උඹව දැක්ක කල්. දැන් මොකද කරන්නේ?” කියලා.

අනිත් කෙනත් ඉතිං උත්තර දුන්නා. ඊට පස්සේ ඉතිං අපේ කතාවට අදාල නැති බ්ලා… බ්ලා… බ්ලා… ටිකක් ගියා. අායෙම තාත්තගේ යාළුවා ඇහුවා “උඹ කෝච්චියේ නෙවෙයිනේ යන්නේ. අද මොකෝ මේ..?” කියලා.

ඊට පස්සේ අනිත් කෙනා කියනවා “නෑ බං මේ පුතාගේ ස්කෝලෙන් එන්න කියලා. ඒකට යනවා. පොඩි එකා වෑන් එකේ ගියා. මං මේ කෝච්චියේ යන්න කියලා” එහෙම කියලා.

පස්සේ අනිත් පැත්තෙන් අහනවා “ඇයි ගුරු දෙගුරු රැස්වීමක්ද..?” කියලා

“නෑ බං… අපේ එකා පෙරේදා ස්කෝලෙන් පැනලනේ…”

“අම්මට සිරි…”

n

පැනීමේ සතුට…

“ඔව් බං බලපන්කෝ… මුගේ වැඩ. මාත් වැඩිය ගහන්න කරන්න ගියේනෑ… පොඩ්ඩක් බයකරා විතරයි. දන්නවනේ ඒ දවස් වල අපි කරපු වැඩ. ඕවා ඉතිං කවදහරි මතක සටහන් විදියට ඉතුරු වෙනවනේ.”

“හෙහ්… ඒක නම් ඇත්ත. කොල්ලා දැන් කීයෙද?”

“තාම දෙක වසරේ බං”

“ඈහ්… මොකක්…? දෙක වසරේ… මං හිතුවේ ලොකු එකා ස්කෝලෙන් පැනලා කියලා. කොහොමද බං පැනලා තියෙන්නේ..?” දැන් අර අංකල් ෆුල් හොල්මන්. ඒ අංකල් විතරක් නෙමෙයි කතාව අහෙන් මෙහෙන් අහගෙන ඉන්න මාත් හොල්මන්…!

“උංගේ පංතිය ගාව තමා ගංඨාරේ හදලා තියෙන්නේ. මූ මිස් එලියට යනකං ඉඳලා පොත් බෑග් එකත් කරේ දාගෙන ගිහිං ලණුව ඇදලා ගේට්ටුව ගාවට දුවලා. මේ යකා බෑග් එකත් දාගෙන දුවනවා දැක්ක අනිත් ළමයිනුත් බෑග් අරගෙන එලියට දුවලා.”

“ඉතිං….”

“ඉතිං කියන්නේ බං. ස්කෝලෙන් මට කතා කරලා කිව්වා. ඒ මදිවට ස්කූල් වෑන් එක මුලින්ම ගන්නේ අපේ එකාව. ඌ ඩ්‍රැයිවර්ටත් කියලා අද ස්කෝලේ කලිං ඇරියා අංකල් ඉක්මනට යං අනිත් වෑන් ඇවිත් ට්‍රැෆික් වෙන්න කලිං කියලා.”

“මරු බඩුවක්නේ…”

“වැඩක් නෑ කියලා… ගෑණි මාව කන්න හදනවා, පොඩි එකාව හුරතල් කරනවා වැඩියි කියලා”

දැන් මට තනියම හිනා මේක අහගෙන ඉද්දි. ඒ අස්සේ කොහොමහරි කෝච්චිය ආවා. මම කෝච්චියට නැගලා කල්පනා කලේ… දැන් පොඩි එවුන් ඇඩ්වාන්ස් කියන කතාව ඇත්ත. අපි අටේ නවයෙදි කරපුවා දැන් එවුන් දෙකේ තුනේදිම කරනවනේ කියලා. ඒක ඉතිං ඒ හැටි දේකුත් නෙමෙයි, පොඩි එවුන්ගේ සිලබස් එක හිටං දැන් ඇඩ්වාන්ස්නේ…! කොහොමහරි ඔය පොඩි එකා විප්ලවවාදියෙක් වුනොත් නම් අනිත් අයගේ නිදහස ගැනත් හිතයි… පේනවනේ, හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ…!

13 Responses to “ස්කෝලෙන් පැනිල්ල…”

  1. wicharaka Says:

    බලනකොට මාළුවත් ලෝක ඇම්ඩන් කෙනෙක් නේද?

    මේ ලිපිය කියවද්දී අර දකුණු පළාතේ භාෂාවේ සමහර වචන යොදා තිබීමත් මගේ සිත් ගත්තා. ‘ස්කොලේ’ කියන ඒක අපි ලියන්නේ ඉස්කෝලේ කියලා. ‘ඉඳියා’ කියන ඒක අපි ලියන්නේ හිටියා කියලා. තාප්පයේ ‘ගුලකින්’ රිංගීම අපි ලියන්නේ තාප්පයේ හිලකින් රිගුවා කියලා.

    මාළුවා දන්නවනේ හමුදාවේ නිළධාරීන්ගේ නිළ ලාංඡන පළඳින්නේ උරහිසේ කියලා. ඒවා සවිකරන්න නිළ ඇඳුමේ උරහිස් පටියේ කුඩා හිල් විදින්න ඕනේ. මගේ යාලුවෙක් හිටියා මාතර පැත්තේ. එයා කියන්නේ ගුල් විදිනවා කියලා. අපි ඒ කාලේ එයාට විහිලු කරනවා ගුල් හෑරුවට කමක් නෑ රිංගන්න එපා කියලා.

    හමුදාවේ සුප්‍රසිද්ධ විහිලු කතාවක් තියනවා ඔය දකුණු පළාත් භාෂාවෙන් ලියපු ලියුමක්. හමුදාවේ වැඩකරන පෙම්වතාට, පෙම්වතිය ලියුමක් එවනවා, ඔහුගේ නංගී වැඩිවිය පැමිණුන බවත්, ඊට ටික දිනකට පසුව ඇය තරුණයකු සමග ලිංගිකව හැසිරීම ගැනත්. මෙතන නම් ලියන්න බෑ මාළුවෝ ඒක.

  2. mppgunasinghe Says:

    ගොඩක් දවසකින් රත්තරන් මාළුවා ඇවිත්. අපවත් පාසලස් සමයට ගෙන ගියා

  3. රාජ් Says:

    එල එල. අර කොල්ල නං ගල් ආඳෙක්. අපි ඉස්කෝලෙන් පැන්න විදිය ගැනත් ලියන්න ඕන.
    (මොකෝ උඹ වැඩිය පේන්න නැත්තෙ, බැන්දද?)

  4. Praසන්னP Says:

    අපේ ඉස්කෝලෙන්නං කෙලින්ම පාරට තමයි පනින්න තියෙන්නෙ. ඒ ලෙවල් වල අන්තිම කාලෙදිනං කොහොමත් ඉස්කෝල වෙලාවෙන් බාගයක් වගේ තමයි ඉස්කෝලෙ හිටියෙ. ටීචර්ලත් දැනුවත්ව තමයි පනින එක සිද්ද වෙන්නෙ.
    ඔය වගේ කලින් බෙල් ගහන වැ‍ඩේ අපි කළේ දහම් පාසලේදි තමයි.

  5. Sindu Seneviratne (සිඳු) Says:

    මාර කොල්ලෙක්නෙ. කවද හරි දියුණු වෙන ලක්ෂණ පෙන්නනවා

  6. විභීෂණ II Says:

    හොල්මන්ද සර් පොල්කොළ කිව්වලු. දෙකේ පන්තියේ ඇඹිටිල්ලෙක් ඔය වගේ ගේමක් දුන්න කියද්දී ඉතින් මට හීනෙන් වගේ පේනවා ඌ අනාගතේ ඉන්න තැන…

  7. Tharinda Aththanayaka Says:

    පට්ට චරිතයක්නෙ ඕඉ……………….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: