ඇඟිල්ලෙන් ඇඳිල්ල…

කැමතිම එකක්...

කැමතිම එකක්…

ඒ දවස්වල කාලයක් තිවුනා හැම වෙලාවෙම මොකක් හරි දෙයක් අඳින්න දඟලන. අඳින්න කියන්නේ ඇඳුමක් නෙමෙයි… මොකක් හරි චිත්‍රයක් වගේ මෙව්වා එකක්. මොකද, ඒ එහෙම කියලා ඇඳිච්ච එකකටවත් හරිහමන් චිත්‍රයක් කියන්න බෑ… ඒකයි චිත්‍රයක් වගේ එකක් කියන්නේ.

ඉතිං ඔය හැමදේම කලේ ඔෆිස් එකේ වැඩ කරන අස්සේ, ඉඩ තියෙන වෙලාවට. ගොඩක්ම ඒකාකාරීව වැඩ කරලා නිදිමත හැදී ගෙන එන වෙලාවට. එතකොට ඉතිං හැම වෙලාවෙම ෆොටෝ ෂොප්. ඉතිං එහෙම ඉන්ටනෙට් එක නැතිවෙලා තවත් පොඩි එක්ස්ට්‍රා නිදහසක් ලැබුන වෙලාවක ඇන්ද එකක්… ඇන්ද එකක් කිව්වට හදපු එකක්… කලින් වතාවක පොස්ට් එකක් විදියට දැම්මා. පස්සේ ඒ එහෙම හරි නිදහසක් තිබුන ඔෆිස් එකෙන් අයින් වෙලා වෙන තැනකට ගියාට පස්සේ නිදහස කියන එක නැතුවම ගියා. ඇත්තටම ඉතිං ඔෆිස් යන්නේ නිදහසේ ඉන්න නෙමෙයිනේ. පස්සේ ඔය වගේ අඳිල්ලකට ඉඩක් නැත්තටම නැතුව ගියා.

කොහොම හරි ටික කාලකට කලින් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ගත්තට පස්සේ ඔය චිත්‍ර ඇඳිල්ල ටිකක් එක්ස්ප්‍රස් වුනා. කලින් මවුස් එකෙන් ලොකු ස්ක්‍රීන් එකක කරපු වැඩ ඇඟිල්ලෙන් පුංචි ස්ක්‍රීන් එකක කරනවා කියන්නේ නැවුම් අත්දැකීමක්. ඉතිං ඉඩ තියෙන හැම වෙලාවකම මොකක් හරි එකක් කුරුටු ගාන්න පුළුවන් වුනේ ඊට පස්සේ. ඒ හැම එකක්ම අවසන් වුනේ හෝ බාගෙට ඉවර කරලා දැම්මේ අන්න එහෙම හම්බුන පුංචි පුංචි විරාම ගණනාවක එකතුවකින් පස්සේ.

ඉතිං මං ඒ චිත්‍ර වගේ ඒවා බුකියේ දාන කොට කීපදෙනෙක් අගය කලා. ඒ වගේම කීප දෙනෙක් ඒ සඳහා යොදාගත්ත සොෆ්ට්වෙයා එක ගැනත් ඇහුවා. මාත් පුළුවන් විදියට උදවු කලා. සමහර අයට ඒ සොෆ්ට්වෙයා එකේ ෆ්‍රී කොපියක් හොයාගන්න බැරිවුනා. මටත් ඒක ගත්ත තැනක් හොයාගන්න බැරිවුනා. කොහොමහරි මං ඒ පාවිච්චි කරන ටූල් එක ඩවුන් ලෝඩ් කරගන්න පහලින් ලින්ක් එකක් දාලා ඇති. එතනින් ගන්න. අප්ඩේට් එකක් හරි දෙකක් හරි රිලිස් වුනාට මං අප්ඩේට් කරේ නම් නෑ. මොකද වින්ඩෝස් හොර කොපි අප්ඩේට් කලාම වෙන සෙතේම මේකට වුනොත් ඉඳලා වැඩක් නෑ… ඒකයි.

ඒකේ නම Autodesk SketchBook. නිර්මාණාත්මක හිතන අයට සහ හිතෙන අයට ගොඩක් ලස්සනට යමක් කරන්න පුළුවන් ටූල් එකක්. ලොකු ලොකු ඔප්ෂන්ස් නැති වුනාට සරලව ගොඩක් දේවල් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක්. මේකේ අළුත් වර්ෂන් වල ෆ්‍රී apk ඇති. මම ඒ ගැන නම් සොයා බැලුවේ නෑ. මොකද මට කරන්න ඕනේ දේවල් මේකෙන් කරගන්න පුළුවන් නිසා.

මෙන්න ඩවුන් ලෝඩ් ලින්ක් එක.

මේ තියෙන්නේ මං යන එන ගමන් ඇන්ද ඒවායින් කීපයක්. ඇත්තටම සරලයි. යන එන ගමන් හරි විවේක වෙලාවකට හරි ට්‍රයි කරලා බලන්න….!

මුහුදු රැල්ලක් වගේ එකක්

මුහුදු රැල්ලක් වගේ එකක්

ෆ්‍රී ඩ්‍රෝවින් වගේ එකක්

ෆ්‍රී ඩ්‍රෝවින් වගේ එකක්

ඇබ්ස්ට්‍රෑක්ට් වගේ එකක්

ඇබ්ස්ට්‍රෑක්ට් වගේ එකක්

මොකද්දෝ එකක් වගේ එකක්

මොකද්දෝ එකක් වගේ එකක්

ඔන්චිලි පදිනව වගේ එකක්

ඔන්චිලි පදිනව වගේ එකක්

ඩේටින් එකක් වගේ එකක්

ඩේටින් එකක් වගේ එකක්

 

චිත්‍රයක් වගේ එකක්

චිත්‍රයක් වගේ එකක්

කපුටාගේ වෙනස්වීම…

.

.

කතාව කියන්න කලින් කපුටා ගැන ටිකක් කියලා ඉන්නම්. කපුටා කියන්නේ බොහොම සුලභ පක්ෂියෙක්. ඒ වගේම කොයිතරම් කුණු කසල ශෝධකයෙක්ද කියනවනම්… කපුටා නැතිවුනොත් උගේ වැඩ කරන්න නගරසභාවට වෙනමම සේවකයන් පිරිසක් යොදවන්න වෙන තරමට සෑහෙන සේවයක් කරන සතෙක්. මං දන්න විදියට අන්න ඒ හේතුව නිසාම කපුටන්ව මැරීමත් තහනම්.

ඉතිං මේ කපුටා කියන සතා වෙලාවකට සාස්තර කාරයෙක්. තවත් වෙලාවකට නගරසභා සේවකයෙක්. හැබැයි ජනකතා අනුව නම් කපුටා අලි පන්ඩිතයෙක් වගේම ගොන් මීහරකෙක්. ඒක නිසා තමා අනිත් කුරුල්ලෝ සම්පූර්ණයෙන් ආවරණය වෙන කූඩුවක් හදද්දි කපුටා විතරක් භාගෙට කුඩුවක් හදන්නේ. ඒ ජනකතා අනුව මට මතක විදියට, කපුටා මුලින් කූඩු හදන්න දන්නේ නෑලු. ඉතිං කූඩු හදන්න දන්න වෙන කුරුල්ලෙක් ගාවට ගිහිං කපුටා අහගන්නවලු කූඩුව හදන හැටි. ඉතිං ඒ කූඩුව හදන්න හරියටම දන්න කුරුල්ලාව මට මතක නැති වුනත්, පාඩම කෙරීගෙන යන අතරේදි… ඒ කියන්නේ කූඩුවේ යට කොටස හදාලා ඉවර වේගෙන යද්දි කපුටා… “අයියෝ… ඕක නම් මාත් දන්නවනේ…” කියලා පාඩම භාගෙට අහගෙන පියාඹලා ගියාලු. ඉතිං එදා ඉඳං ඌ කූඩුව හදන්නේ ඌ ඒ දන්නවයි කියලා හිතන් ඉන්න ටිකෙන් තමා.

ඇත්තටම මේක ජොලි කතාවක්මත් නෙවෙයි. ඇසින් දැක්ක වෙනස්ම අළුත්ම දෙයක්. කපුටා සාමාන්‍යයෙන් කුඩූ හදන්න උපයෝගි කරගන්නේ පරඬැල්, ගස් වල අතු රිකිලි වගේ ශාකමය ද්‍රව්‍ය. කපුටා විතරක් නෙවෙයි අනිත් සෑම කුරුලලෙක්ම දන්න තරමින් එහෙමයි. පුංචි කාලේදී ස්කෝලේදී ඒකට හේතුව විදියට ඉගෙන ගත්තේ කූඩුව ඇතුලෙ සිසිල් කරන්න එහෙම කරනවා කියලයි. අතරින් පතර පලාස්ටික් පටි වලින්, නූල් කෑලි වලින් එහෙම හදපු කූඩුත් දැකලා තිබුනාට කම්බි කෑලි වලින්, ලෝහ යොදාගෙන හදන වඩාත් ශක්තිමත් කූඩුවක්…!

මේ ලඟකදී මං දැක්කා කපුටෙක් බයින්ඩින් කම්බි කෑල්ලක් එක්ක ඔට්ටු වෙනවා. ඌ ඒක ගෙනියන්නේ යකඩ වලට විකුණන්න වෙන්න බැරි නිසයි, මං අනුමාන කරේ ඒක ගෙනියන්නේ කූඩුවක් හදන්න විය යුතුයි කියලා. ඒ දැක්කේ කොල්ලුපිටියෙදී. ඊට සතිදෙකකට විතර පස්සේ නාරාහේන්පිටදිත් ඒ වගේම කපුටෙක් බකට් කම්බියක්, පාරේ තිබ්බ කුණු ගොඩකින් ඇදලා අරං පියාඹලා ගියා. ආයෙමත් මේ සතියේ සඳුදා නෙළුම්පොකුණ රඟහල හෝල්ට් එකේ බස් එක නැවැත්තුවම දැක්කා කලින් වගේම බයින්ඩින් කම්බි කෑල්ලක් උස්සන් යන ගමන් ගිමන් හරින්න වගේ පොඩ්ඩක් නැවතුන කපුටෙක්ව. වෙනස් ස්ථාන තුනක වෙනස් කපුටෝ තුන් දෙනෙක්. එකාම වෙන්න බැහැනේ.

මේක මට දැන් යම් තරමකට සාමාන්‍ය දෙයක් වුනාට, නොදැකපු කෙනෙක්ට අළුත් දෙයක්. මොකද මෙච්චර කල් කම්බි සිමෙන්ති යොදාගෙන වාසස්ථාන හැදුවේ මිනිස්සු විතරනේ. දැන් කපුටොත් කම්බි වලින් කූඩු හදන්න පටන් අරගෙන. හැබැයි තාම දැක්කේ නෑ කම්බි වලින් සම්පූර්ණ වුන කපුටු කූඩුවක් නම්. ඒකත් අනාගතයෙදී දකින්න ලැබෙයි කියලා හිතනවා. සමහරවිට ඒක මොකක් හරි පොයින්ට් එකක් වෙයි කපුටන්ගේ පරිනාමයේ..!!! උං දැනට කාක් කාක් ගාගෙන හිටියට සමහර වෙලාවට උනුත් කාර්මීකරණය පටන් අරගෙන ඇති… ඉස්සරහට උංටක් එක්ක කම්බි හදන්න වෙයිද දන්නේ නෑ මිනිස්සුන්ට. 😀

මයිනා විනෝදේ…

කෝච්චියේ සෙනග අතරින් එක පාරට ඇහුන කුරුලු සද්දෙට මාත් ඔලුව එහාට මෙහාට කරලා බැලුවේ… කාගේ ෆෝන් එකද මෙච්චර හයියෙන් රිං වෙන්නේ කියලා. නෑ ඒක ෆෝන් එකක් නෙවෙයි. මනුස්සයෙක්. කුරුලු හඬක් එන විසිල් විකුණන මනුස්සයෙක්. මුලින් සද්දේ විතරයි… පස්සෙනෙ මාකටින් පාර දැම්මේ…

මයිනා විනෝදේ… මයිනා විනෝදේ….

චයිනා මයිනා… චයිනා මයිනා…

චංචුකු… චුංචුකු… කංකුං

මයිනා විනෝදේ…. මයිනා විනෝදේ….

මයිනා විනෝදේ

මයිනා විනෝදේ

ඔය ටික දෙපාරක් විතර කියලා ආයෙම අර කලින් විසිල් එකම වාදනය කලා. ඉතිං දෙවෙනි පාර මාකට් කරාම තමා එකක් විකුණුනේ. එකක් රුපියල් 20ද කොහෙද. මට ඉතිං වැඩක් තියෙනවැයි ඕවා. මං ගත්තේ නෑ. අනික සෙනග පිරිලා නිසා මනුස්සයාවවත්, කුරුලු නලාව වත් දැක්කේ නෑ. පොර මාකටින් පාර දාගෙන යද්දි “චංචුකු… චුංචුකු… කංකුං” කියන කොට ඔන්න කෝච්චියේ හිටපු කෙල්ලෝ ටික මයිනා ස්ටයිල් එකටම “හිචි හිචි” ගාන්න ගත්තා. ඊට පස්සේ මයිනා විසිල් විකුණන පොර ටිකක් මැදට ගිහිං සෙනග අස්සේ හිරවුනා. දැන් පොර විසිල් ටිකත් කැඩන්න බිඳෙන්න නොදී බේරගෙන ඉස්සරහට යන්න ට්‍රයි එක දෙන ගමන්…

නෝනා…

මයිනා හිරවුනා…

පොඩ්ඩක් ඉඩ….!

එතකොට මෙන්න අර කලිං හිනාවුන කෙල්ලෝ ටික අතින් කටවල් වහගෙන. ඒ වෙනුවට කසාද බැඳපු ගෑණූ ළමයි ටික කටෙන් පනින්න එන හිනාව හිරකරගන්න මාර ගේමක් දෙනවා මං දැක්කා. මං ඉතිං ඔව්වා බලන්න ගියේ නෑ. මං අහක බලාගත්තා… මොකටද නිකං අනුන්ගේ මයිනෝ… නෙහ්…! කොහොමහරි මයිනා රිංගලා, මයිනා විනෝදේ…. මයිනා විනෝදේ… කියාගෙන එහාට මෙහොට ඇඹරී ඇඹරී ඉස්සර හට ගියා… මං ඒකත් දැක්කේ නෑ වගේ හිටියා… ආයෙ නිකං මොකටද නෙහ්…!!!

 

ස්කෝලෙන් පැනිල්ල…

 n

🙂

ස්කෝලේ ගිය හැම පිරිමි ළමයෙක්ම වගේ ඒ අවුරුදු දහතුන ඇතුලත එක පාරක් හරි ස්කෝලෙන් පැනලා ඇති මං හිතන්නේ. එහෙම නැත්තං ඉතිං ඒ පැනිල්ලේ තියෙන ගතිය ගැන කිසිම හැඟීමක් ඇති වෙන එකක් නෑ.

ඇත්තටම ස්කෝලෙන් පනින්න අපිට ඒ දවස් වල ඕනෙ තරම් හේතු තිබුනා. ඒක තනිකරම විනය විරෝධි වැඩක් වුනාට පොඩි නරක වැඩක් ඉඳලා හිටලා කරද්දී හිතට අපුරු කික් එකක් තියෙනවා. ඒ වගේම ඒ දේවල් වයසට යනකොට කිය කිය හිනා වෙන්න පුළුවන් වෙන විදියට මතක පොතේ ඉබේම ලියවෙනවා. සමහර වෙලාවට ගුරුවරුන්ගේ බැනුම්, වේවැල් පාරවල් එක්කම ලියවෙන වෙලාවලුත් තියෙනවා.

ඉතිං මේ අළුත්ම විදිය ගැන කියන්න කලිං අපේ කෙරුවාවල් ටිකක් කියන්නම වෙනවා. නැත්තං ස්කෝලෙක තාප්පෙකින් හොරෙන් පැනලා නැති කෙනෙකුට ඒ ගැන අදහසක් නැතිවෙයි. අපි ස්කෝලෙ යද්දි වැඩි හරියක්ම හොරෙන් පැන්නේ මගේ පන්තියේ හිටිය අරුණ කියන යාළුවගේ ගේ එහා පැත්තෙන් ගලාගෙන යන බොල්ගොඩ ගඟේ නාන්න යන්න. ඇත්තටම තරමක් අවදානම් කටයුත්තක් වුනාට ඒ අවට හිටිය අරුණ අඳුනන මාළු බාන අය නිසා එපිට බයක් දැනුනේ නෑ. නාන ඇඳුමක් නැති නිසා උපන් ඇඳුමෙන්ම තමා වතුරට පනින්නේ. නාලා ඉවර වෙලා පිහිදගන්න විතරක්, අරුණගේ අම්ම වැලේ වනලා තියෙන තුවායක් හොරට උස්සං එනවා. ඒකෙන් පිහිදගෙන ආයෙම ඇඳුම් ඇඳගෙන ස්කෝලේ ඇරෙනකම්ම ස්කෝලේ ඉඳියා වගේ ගෙදර යනවා. එකම එක දවසක් නම් මට පොඩි කේස් එකක් වැටුනා. ඒ තමා අරුණගෙයි මගෙයි කලිසම් දෙක මාරු වීම. එදා මගේ ඇඳුම් හෝදද්දි කලිසම වෙන එකක් කියලා අම්මට මාට්ටු වෙලා මල මගුලක් වෙන්න ගිහිං, බොරු දාහක් විතර කියලා යාන්තං අම්මා ස්කෝලෙට එන එක නවත්තගෙන පහුවෙනිදම කලිසම මාරු කරගත්තා. අරුණට කිසිම අවුලක් නෑ. උගේ ඇඳුම් ඒ දවස්ල ඉඳන්ම ඌමනේ හෝදගත්තේ.

මෙහෙමත් පැන්නනේ..!

මෙහෙමත් පැන්නනේ..!

ඔය ගඟේ නාන්න ඇරෙන්න අපි ස්කෝලෙන් පනින්නේ වෙන යාළුවෙක්ගේ ගෙදරක යන්න. එහෙමත් නැත්තං කාන්තා පාසලක තියෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් බලන්න යන්න වගේ හෙන වැදගත් වැඩකට. එහෙමත් නැත්තං බිග් මැච් එකට හැට් කලෙක්ෂන් යන්න. ඒ ගමන තමා මරු. ලොරි භාගෙක පිටිපස්සේ ඉඳගෙන යුනිෆෝම් එකට උඩින් නයිටි ඇඳගෙන කාන්තා පාසල් ගාව සල්ලි එකතු කරනවා කියන්නේ… දැන් නම් මතක් වෙද්දිත් ලැජ්ජයි.

ඒ වගේම අපේ පාසල කිට්ටුවම වගේ තිබුන තව පාසලක්. පිරිමි එකයි ගැහැණු එකයි වෙන වෙනම තිබුනේ. දැන් නම් පිරිමි පාසල වෙන තැනකට ගෙනිහිල්ලා තියෙන්නේ. ඒ දවස් වල තිබුන පාසල දැන් ඉංජිනේරු බලකායේ කෑම්ප් එකක් විදියට පරිවර්තනය වෙලා. කොයිතරම් ස්කෝලේ නම් නොකියා බේරෙන්න හැදුවත් ඒක කරන්න බෑ. කතාවේ අන්තිමට නම කියනෙවා. ඒ කාලේ අපේ සමවයස් යාළුවෝ සෙට් එකක් ඔය පාසලේ තිබුන අඩි දහයක් විතර උස තාප්පෙ තිබුන හිලකින් එහා පැත්තට රිංගද්දි, වයිස් ප්‍රින්සිපල්ටද කොහෙද මාට්ටු. දහයක විතර සෙට් එකෙන් අන්තිම එකා දනගාගෙන රිංගද්දි, උගේ පපුව හරිය එලියට ගියාම තමා වයිස් ප්‍රින්සිපල් ඒ ලඟින් යන්න ඇවිත් තියෙන්නේ. මේ සීන් එක දැක්ක වයිස් ප්‍රින්සිපල් බාගෙට රිංගලා ඉන්න කොල්ලගෙන් ඇහුවලු “මොකද්ද මේ තොපි රිංගන ගුල” කියලා. අරුත් ඉන්නේ බාගෙට රිංගන ගමන්නේ. මොනා කිව්වත් ඉතිං මොකාද කියන්නේ කියලා පස්ස පැත්තෙන් අඳුන ගන්න බැරි නිසා අරූ හෙන හයියෙන් “මේක තමා සර්… සුමගුල” කියලා ඉතුරු ටිකත් අනිත් පැත්තට රිංගුවලු.

හරි දැන් කියන්නම් මාතෘකාවට අදාල කතාව. මේක මට අහන්න ලැබුනේ දවසක් පාන්දරක කෝච්චිය එනකං ස්ටේෂන් එකේ බංකුවේ ඉඳගෙන ඉද්දි. ඔන්න මට එහා පැත්තෙන් ඉන්නවා මැදි වයසේ පුද්ගලයෙක්. බුවා අපේ තාත්තගේ යාළුවෙක්. ඒත් මාව වැඩිය මතක නෑ. අනික කළුවරේ අඳුන ගන්න කොහොමත් බෑ. ඉතිං ඔහොම ඉද්දි ඒ අංකල්ගේ යාළුවෙකුත් එනවා ස්ටේෂන් එකට. ඒ දෙන්නා මං හිතන විදියට ගොඩ කාලෙකින් හම්බුවෙලා නෑ.

තාත්තගේ යාළුවා අහනවා අර අනිත් මනුස්සයාගෙන්, “කොහොමද මචං. උඹව දැක්ක කල්. දැන් මොකද කරන්නේ?” කියලා.

අනිත් කෙනත් ඉතිං උත්තර දුන්නා. ඊට පස්සේ ඉතිං අපේ කතාවට අදාල නැති බ්ලා… බ්ලා… බ්ලා… ටිකක් ගියා. අායෙම තාත්තගේ යාළුවා ඇහුවා “උඹ කෝච්චියේ නෙවෙයිනේ යන්නේ. අද මොකෝ මේ..?” කියලා.

ඊට පස්සේ අනිත් කෙනා කියනවා “නෑ බං මේ පුතාගේ ස්කෝලෙන් එන්න කියලා. ඒකට යනවා. පොඩි එකා වෑන් එකේ ගියා. මං මේ කෝච්චියේ යන්න කියලා” එහෙම කියලා.

පස්සේ අනිත් පැත්තෙන් අහනවා “ඇයි ගුරු දෙගුරු රැස්වීමක්ද..?” කියලා

“නෑ බං… අපේ එකා පෙරේදා ස්කෝලෙන් පැනලනේ…”

“අම්මට සිරි…”

n

පැනීමේ සතුට…

“ඔව් බං බලපන්කෝ… මුගේ වැඩ. මාත් වැඩිය ගහන්න කරන්න ගියේනෑ… පොඩ්ඩක් බයකරා විතරයි. දන්නවනේ ඒ දවස් වල අපි කරපු වැඩ. ඕවා ඉතිං කවදහරි මතක සටහන් විදියට ඉතුරු වෙනවනේ.”

“හෙහ්… ඒක නම් ඇත්ත. කොල්ලා දැන් කීයෙද?”

“තාම දෙක වසරේ බං”

“ඈහ්… මොකක්…? දෙක වසරේ… මං හිතුවේ ලොකු එකා ස්කෝලෙන් පැනලා කියලා. කොහොමද බං පැනලා තියෙන්නේ..?” දැන් අර අංකල් ෆුල් හොල්මන්. ඒ අංකල් විතරක් නෙමෙයි කතාව අහෙන් මෙහෙන් අහගෙන ඉන්න මාත් හොල්මන්…!

“උංගේ පංතිය ගාව තමා ගංඨාරේ හදලා තියෙන්නේ. මූ මිස් එලියට යනකං ඉඳලා පොත් බෑග් එකත් කරේ දාගෙන ගිහිං ලණුව ඇදලා ගේට්ටුව ගාවට දුවලා. මේ යකා බෑග් එකත් දාගෙන දුවනවා දැක්ක අනිත් ළමයිනුත් බෑග් අරගෙන එලියට දුවලා.”

“ඉතිං….”

“ඉතිං කියන්නේ බං. ස්කෝලෙන් මට කතා කරලා කිව්වා. ඒ මදිවට ස්කූල් වෑන් එක මුලින්ම ගන්නේ අපේ එකාව. ඌ ඩ්‍රැයිවර්ටත් කියලා අද ස්කෝලේ කලිං ඇරියා අංකල් ඉක්මනට යං අනිත් වෑන් ඇවිත් ට්‍රැෆික් වෙන්න කලිං කියලා.”

“මරු බඩුවක්නේ…”

“වැඩක් නෑ කියලා… ගෑණි මාව කන්න හදනවා, පොඩි එකාව හුරතල් කරනවා වැඩියි කියලා”

දැන් මට තනියම හිනා මේක අහගෙන ඉද්දි. ඒ අස්සේ කොහොමහරි කෝච්චිය ආවා. මම කෝච්චියට නැගලා කල්පනා කලේ… දැන් පොඩි එවුන් ඇඩ්වාන්ස් කියන කතාව ඇත්ත. අපි අටේ නවයෙදි කරපුවා දැන් එවුන් දෙකේ තුනේදිම කරනවනේ කියලා. ඒක ඉතිං ඒ හැටි දේකුත් නෙමෙයි, පොඩි එවුන්ගේ සිලබස් එක හිටං දැන් ඇඩ්වාන්ස්නේ…! කොහොමහරි ඔය පොඩි එකා විප්ලවවාදියෙක් වුනොත් නම් අනිත් අයගේ නිදහස ගැනත් හිතයි… පේනවනේ, හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ…!

%d bloggers like this: