අවුරුදු ගමන, ගමට…

අවුරුදු කීපයකට පසුව මම අද ආයෙත් මං පුංචි කාලේ වගේම දැනුත් වඩාත් ලගින්නට ආසාම කරන ගම් පොජ්ජට මංගෙච්චුවෙමි. කලින් ලිපි කීපයකම කිව්වාක් මෙන් දැන් ප්‍රදේශය හෙනට වෙනස් වී ඇත. මා කුඩා කල මගේ කර මත ඉංදා ගෙන කජු ගස් වල කජ්ජක රස බැලු පොඩිවුන් දැන් මහඑවුන්ය. ගස්වල කජු නැතත් උංගේ කජ්ජ නම් බිමට බර වීගෙන සෙයක් බැලු බැල්මටම දුර තියාම පෙනේ. පාසල් නිවාඩු කාලය නිසාම හැම එකාම පාහේ උංගේ කොන්ඩ වලට අමුතු අමුතු මැජික් කට් ගසා ඇත. කොළඹදීවත් නොදුටු අමුතුම ආකරයේ කට් මුංගේ ඔලුවල ඇත. ඒවා උංට ගැලපෙනවාද නැද්ද කියා සිතන්නේ නැත. එකෙක් කරොත් තව එකෙක් කරයි. විලාසිතාවකට නොව කරන්නන් වාලේ කිරීමකි.

ඒ කොල්ලන්ගේ හැටිය. කෙල්ලෝ ගැනනම් කිසිම අප්ඩේට් එකක් නැත. ඒ දවස් වල මගේ පුංචි සමයේ ඉරෝමි නම් ඒක පාර්ශවීය පෙමක මා පැටලී වුන් අන්දම අද දින මා හට මතක් වුයේ, පුංචිලාගේ ගෙදරට පිටුපසින් තවමත් ඉරෝමිලාගේ දරමඩුව පෙනෙන බැවිනි. නම විතරක් මතකය. කෙල්ලගේ මූන වත් මතක නැත. මේ වගේ අවුරුදු නිවාඩුවකට මං ගමේ එන විට, ඊට කලින් නිවාඩුවකට ආ විට මා හට මුකුලු පපා සිටි ඇය මොකෙක්දෝ හෝහපුටුවෙක් සමග පැන ගොස්ය. ඒ ගමේ කෙල්ලන්ගේ හැටියයි මා සිතා සිටියද, අම්මට හුඩු වූයේ නගරේ කෙල්ලන් ඊට නොදෙවෙනි බැවිනි. කෙසේ හෝ දැන් ඇය මගේ වයසේම වගේ බබෙක්ව හුරතල් කර කර කොහේ හෝ ඇත.

ගෙදරින් පාන්දර හතරාමාරට පැමිනෙන අම්මාටත්, තාත්තාටත්, මල්ලිටත් මටත් වෙනදා නම් දවල් දොලහ වෙන විටද ගම් පියසට ඒගත නොහැකිය. වෙනදාට අපි ජයන්ති හෝටලයෙන් කන්නේ දවල් කෑම වේලය. ඒත් අද අපි උදෑසන ආහාර වේල බුක්ති වින්දෙමු. ඒ ආශ්චර්යයේ ආනුභාවයෙනි. පාරවල් වෙනස් වී ඇත. දෙපස සුදු ඉරිද මැද පේමන්ට් එකේ අලංකාර මලින් පිරි මල් ගස්ද ඇත. වෙනදා තරම් වාහන තද බදයක්ද නොවුන හෙයින් මට හිතුනේ මගේ ගමේ වුන් දැන් දුප්පත් වෙලාවත්ද කියලායි. නැත… පාරවල් පලල් වී කාර් පාර්ක් තැනී ඇත. දැන් මහ මග දෙපස වාහන නවත්තන්නේ නැත. නවතන්නට නියමිත තැන් තිබේ. ඒ අනුව බලද්දි නම් ගිය පාරේ ඡන්දෙදි මම වැරදි තීරණයක් ගෙන ඇති බවක් සිතේ. කමක් නෑ… ගියදේ ගියාවේ… අහුවුනේ මං… රැවටුනේ මං… උඹලටනම් මොකද ඉතිං…

ඊට පසු අපගේ පරන පෞරාණික අළුත තනපු නිවසට සේන්දු වූයේ නෑදෑ අයියා කෙනෙක්ගේ ත්‍රී වීල් රථයෙනි. දුර තියාම පෙනුන ආකාරයටම වත්ත වල් වැදී ඇත. කලින් වත්තට එන්ටරන්ස් තිබූ තැන මහා දැවැන්ත රුක් රාජයෙකි. වැසි හතර පහකට පසුව මිනිසුන් පය නොතබන බිමක් වේ නම් එහි තඩි ගස් බිහිවීම අපේ ගමේ සාමාන්‍ය දෙයකි. ඒ මදිවට ගෙදරට යන්න තියෙන ඉතුරු මීටර් දහය කටු පඳුරුය. යකෝව්… මේ පොළොව… අපිටම කෙලින හැටි. කරන්නට දෙයක් නැත, කටු ඇනගෙනම ගෙට ගොස් ඉබි යතුරු ඇර මුලින්ම කලේ උදැල්ල ගෙන වත්තට ඒමට පාරක් කැපීමය. උදලු පාර හත අටක් වදින විට පඳුරු දෙක තුනක් ගැලවුනද මගේ හඳුන්පොත ගල් මෝල්ක් මෙනි… හෝ…ස් හෝ…ස් ගායි. ඒ අවුරුදු ගානක සිට ඒ.සී කාමරවල සැප පුටුවල ගත කරන කොන්ක්‍රිට් සූ ලයිෆ් ජීවිතයට පිං සිදු වෙන්නය.

රෑට කොටයිද දන්නෙත් නෑ…

පාර කැපීම තාත්තට පවරා මගේ යැයි ඒ දවස් වලම වෙන් කරගත් කාමරයට එබුනෙමි. එහි තවත් මගුලකි. මදුරු දැල එල්ලන කම්බියේ හොට මෙව්වා වෙච්චි කුරුල්ලෙක් කූඩුවක් තනා ඇත. දැන් ඉතිං මට ඌව පන්නන්නටද බැරිය, මට පැන්නෙන්නටද බැරිය. මෙහෙ ඉන්නා දවස් දෙක තුන දැන් ඉතිං මූ සමග එක ගෙයි කන්නට මං තීරණය කොලෙමි. ඌ පවු බව පෙනේ. මාස ගානකින් මිනිස් පුළුටක් නොදුටු කුරුල්ලා එහි කූඩුවක් සෑදීම සැබැවින්ම ආරක්ෂිතය. හැබැයි දැන් මම අනාරක්ෂිතය. ඌ උඩ එල්ලී සිටී. ඌට නයින්, පොළඟුන්ගෙන් අන්තරාවක් නැත. ඒත් ඌව සොයා එන එවුන්ගෙන් මට අපලය. මම බිම් මට්ටමෙන් සිටින නිසා කුරුල්ලාව සොයා එන වුන්ට බෝනස් මස් ගාතයක් ලැබේ. හරි වරෙල්ලකෝ… දෙන්නං තොපිට මේ අවුරුදු කාලේ… තෙල් බේරෙන කැවුම් ගෙඩිය වාගේ වෙන්ට.

කෙසේ හෝ ගෙමිදුල ඉදිරිපිට මහා කැලෑවකි. ඒ දවස් වල ඉන්දවූ, අපි වසන තාක් හරියකට කොල පැහැ නොවූ යෙලෝ ෆාම් ගස් තුනක් විසාලෙට කෑලෑවට සෑදී තිබේ. ඊට මත්තෙන් ඉබේ පැලවූ පෙතං ගහක් සුදු පෙතං මල් පුරෝගෙන හිනාවෙයි. ඊටත් එපිටින් ආච්චිලාගේ මැටි ගේ තියෙන දවස් වල මට ඒ ගේ අඳුනා ගැනීමට මෙන් පාර අයිනේ වවා තිබූ රුකඅත්තන ගහක්ද සරුවට හැදී ඇත.

ප්‍රේමනීය රුක්අත්තන...

ප්‍රේමනීය රුක්අත්තන…

ඒ ගහටනම් මං බොක්කෙන්ම ප්‍රේම කරමි. එතරම් ශාන්ත කහපාටක් ඇපල් මොනිටරයකින්වත් මම දැක නැත.

කියන්නට බැරිවිය… මගේ කාමරයට දෑකැත්තෙක් හෝ කෑදැත්තෙක් අයිතිවාසිකම් කියනවා වගේම අපේ වත්තට වල් හා පවුලක් අයිතිවාසිකම් කියයි. උං සිටින්නේ මගේ කාමරයට ඉදිරියෙන් තියෙන ගොහොල්ලේ බැවින් මම එය සුද්ධ නොකරන්න තීරනය කර ඇත. තව වත්තේ අයිනේ පොල් කොටයක් තුල තලගොයෙක්ද වසයි. ඌට බයේ සැඟවුනු පොළොං පැට්ටෙක් අපේ මල්ලිට කුස්සියේ සිට අසුවී ඌව බාගෙට මරා මෙගා බෝතලයකට දැමුවෙමි. ඉතිරි පන ටික එහිදී හෙලනු ඇත. තවත් නම නොදත් ශාක විශේෂ හා සත්ත්ව විශේෂ කීපයක් වත්ත වටේ රවුමක් යද්දී සොයාගතිමි. උං ගැනනම් මගේ ඒ හැටි පැහැදීමක් නැත. රෑට වැස්සොත් ගෝනුස්සන්ද, දිවිමකුළුවන්ද එලිබහිනු ඇත. දැන්නම් මට හිතෙන්නේම කුඩා කල මා කියවූ බෝට්ටු ගෙදර ළමයි වගේ… මාත් දැන් කැලෑ ගෙදරක සිටින බවකි. ඒ හෙට දිනයේදී තාත්තා විසින් වත්තෙන් භාගයක් සුද්ධ කරනකං පමණි.

මේ ආකාරයෙන් ගෙවෙන අවුරුදු දවස් කීපය ආතල් කර ගැනීම වස් හැන්දෑ ජාමයේ ටවුමේ පොල වටේ රවුමක් යාමට ආසාවෙන් හිටියද මවුතුමෝ බකට් එකක් හෙලා එය නැවැත්වීය. මෙදා පාර අයි.ටී.එන් අවුරුදු අසිරිය අපේ ගමේ වන බැවින්… අවුරුදු උත්සවයට මමද යන්නට සිතාගෙන සිටිමි. තවත් බ්ලොග් සහෝදරයින් කීපදෙනෙක් මගේ ගම් පියසේ වෙසෙන බැවින් උංට කෝල් එකක් දෙනවාද නැද්ද යන්න තවමත් තීරණයක් නැත. තීර්ථ යාත්‍රිකායාව නම් මෙදා පොටේ තනියම අල්ලා ගැනීමට බැරි බැවින් ඌට කරදර නොකරමි.

අවුරුදු උත්සවේ බලන්න යන්න එකෙක් ඇත්තේම නැතිවුනොත්… මල්ලි කැටුව යමි. එය සැක සහිතය. ඕකා කුකුලාය. මෙහෙන් කෑල්ලක් සෙට් වුනොත් ඌ අනිවා ඩෙෆා මෙහේ නවතීද කියන්නට බැරිය. අයියාගේම මල්ලි කියා ඒ දවස් වල එක එකා කීවට… දැන් නම් කියන්නට වෙන්නේ මල්ලිගේම අයියා කියාය. ඒ තරමට ඌ එක්ස්ප්‍රස්ය.

හරි අවුරුදු වැනිල්ල අවසානයට කල හරිය. ලැපේ බැටරි බොඳව යමින් ඇත. කෝ මේ ඩැඩා…? වයරින් එකට මීයන් වගකිව යුතු බැවින් ටෙම්පරි වයරින් එකක් දාගත යුතුව ඇත. නැත්තං අර හොට ඇද වෙච්ච මයිනත් එක්ක මට කළුවරේ තමා එක ගෙයි කන්න වෙන්නේ… ඌ දැනටම නිදිය. මං ඉන්නවාද කියාවත් ගානක් නැත. ඌට ෆන් දසුනක් මෙවෙන තැනක උගේ කූඩුව තනාගන්නට මගේ කාමරය උදවු වී ඇත. ඌ ආතල් එකේ කූඩුවෙන් එලියට හොට දමා ගෙන ඈතින්… පොල් ගස් වලට, උසට හැදුන කජුගස් වලට මුවා වෙවී ඉර බැහැගෙන යන හැටී බලාගෙන ඉඳී. මම පෙරේතයා වගේ මෙතන මේක කොටමි. මමද යමි… ඌ සමග ඒ අසිරිමත් වැහිබර ඉර බැසීම නරඹමි… මගේ ජනේලයට එහායින් බැස යන ඉර වෙන කොහේට හෝ දැන් පායනවා ඇත. උන්ට සුභ උදෑසනක් පතමින් මමද ඉර සමග නිදාගන්නට යමි.

කෙසේ හෝ මේ පාර මං අවුරුදු අරගෙන අපේ ගමට ආවෙමි. අවුරුදු අරගෙන ගමට එන්නේ කව්ද කියලා දන්නවනේ ඉතිං… නෙහ්…

එහෙම නම් ලබන්නා වූ අළුත් අවුරුද්ද මේක කියවපු නොකියවපු හැම දෙනාටම වගේම ගමේ යන්න බැරි වුන, දාහතර වෙනිදටත් වැඩට යන්න වෙන සියළු දෙනාටමත් සුභ සිංහල හිංදු අළුත් අවුරුද්දක් වේවා…!

කහපාට නිවාසය

හැමෝම කියන විදියට පරන දේවල් ඇදලා එලියට දාන්න මේක නම් කාලය, ආයේ මං විතරක් මොකට කටපියාගෙන අත්දෙක බැඳගෙන ඉන්නද…

වෙලාවකට නම් හිතෙනවා මේවා අමතකවෙලා යන තරමටම හොඳා කියලා. ඒත් අමතක වීගෙන යනකොට හිතෙනවා ලියලා තිබ්බනම් හොඳා කියලා. ඔය කොච්චර මොනවා හිතුනත් කම්මැලිකම මැද්දට හරස් වුනාම හැම දෙයක්ම ඉවරයි. ඒක නිසා පරන බ්ලොග් අලුත් කරමු කියලා හම්බුන මෝටිවේෂන් එකට පිං සිද්ධවෙන්න කියලා පරන අමතක වේගෙන යන කතා කීපයක් ලියලා දාන්න ඕන කියලා හිතුනා. සමහර එව්වා සංසන්දනාත්මක වෙයි, තවත් සමහර ඒවා තනිකරම මඩ ගොහොරු වෙයි. ඒ මොනවා වුනත් ඒ හැමදෙයක්ම අතීතයේ එක්තරා කාලයකට අයත්වුන, නැවත සිදුවේයැයි බලාපොරොත්තු නොවියහැකි අපූරූ දේවල්ම වෙයි.

ඉතිං පළමු‍වෙන්ම අපි හැමෝම ආසා කරන පාසල් කාලයට යනවා මම. ඇත්තටම ඒ දවස් තමා ජීවිත වල ගෙවුන සුන්දරම දවස් ටික. ඒකෙනුත් වාර්ෂික ක්‍රීඩා උත්සව සමය කියන්නේ හෙන ජොලි කාලසීමාවක්. වයස් භේදයකින් තොරව එක වසරේ ඉඳන් දහතුන වසර වෙනකංම කෙල්ලෝ කොල්ලෝ ඔක්කොමලා පස්වනක් ප්‍රීතියෙන් පසුවන කාලයක්.

ඒ දවස් වල මම අපේ නිවාසයේ ක්‍රීඩා උපනායක. දැන් මීටර් දෙසීයක්  දුවගන්න බැරිවුනාට… හිතන්න එපා ඒ දවස් වලත් එහෙම්මයි කියලා. ඒ දවස් වල අපි හොඳ ස්පෝට්මීට් කොල්ලෝ. ඉතිං දැන් ඔය ක්‍රීඩා උපනායක පට්ටමෙන් මට වඩා වැඩ ගත්තේ මගේම අවංක එඩිතර යාළුවෝ. ඒ ගැන අපි කතා නොකර ඉන්න තරමට හොඳයි. ඉඳලා ඉඳලා ලියන එකේ මොකටද නිකං එක එකාට බනින්නේ නෙහ්.

හරි… ඔය දවස් වලට ඇත්තටම මොකක් හරි පට්ටමක් හම්බුවෙනවා කියන්නේ ඇත්තටම ලොකු වගකීම් ගොඩක් ඔලුව උඩ පැටවෙනවා කියන එක. ක්‍රීඩා නායක උපනායක උනත් නිවාසයේ අනෙකුත් වගකීම් වලින් මිදෙන්න බැහැ. ඇත්තටම ඒ දවස් වල ක්‍රීඩා ගැනට වැඩිය හිතන්නේ උත්සවේ දවසට අපේ නිවාසය හදන හැටි ගැන. වැඩි හරියක්ම රැස්වීම් කැඳෙව්වෙත් ඒ ගැන කතා කරන්නම තමා. ඇත්තටම ඒක හරිම සාමූහික දෙයක්. ඒ කොයිතරම්ද කියලා ඉස්සරහට තේරෙයි. අපේ නිවාසයේ පාට කහ පාට. නම “තිස්ස” නිවාසය.

ඒ දවස් වල හිටිය හොඳම… ඒ කියන්නේ බො‍හොම හොඳම ළමයි හිටියේ අපේ නිවාසයේ. ඒක නම් කොහොම වුනාද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ස්කෝලෙට ඇතුලත් වෙන කොටනම් අර තෝරාගත්ත එවුන් වගේ වෙච්චි අපිව හරියටම හතරෙන් බෙදුනාම එකක් ඉතිරිවෙන ඇතුලත් වීමේ අංකයක් ලැබෙන විදියට ඇතුලත් වෙලා තියෙනවා.

ඒක නිසා ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නිවාසය ඇතුලේ තියෙන තත්ත්වය. කොහොමහරි හැමදෙනාම එකතු වෙලා සෑහෙන ජයග්‍රහන සංඛ්‍යාවක් ලබාගන්න එක නම් අනිවායාර්ය දෙයක්.  ඒත් අපේ එවුන්ගේ තිබුන දාංගලේ නිසාම අපේ පැත්තට තිබුන ලකුනු කැපුන අවස්ථාත් තිබුනා.

ඒ දවස් වලට අර කලින් කිව්වත් වගේ අපිට තියෙන ලොකුම මෙව්වා එක තමයි උත්සවේ දවසට අනිත් නිවාස වලට වැඩිය ගතියට අපේ නිවාසය හදන එක. ඒකට හැමෝම වගේ භාවිතා කලේ ස්වභාවික දේවල්. හේතුව තමා වියදමකින් තොරව අඩුම කුඩුම සොයා ගැනීමට තියෙන හැකියාව සහ එහෙම අඩුමකුඩුම සෙවීමේ මෙහෙයුමේ තියෙන ෆන් එක.

ඒ අඩුමකුඩුම සෙවිල්ල ගැන කියන්න තමා මෙච්චර වෙලා දැඟලුවේ. හැබැයි අපි කෙල්ලොන්වනම් හලලා තමා මේ වැඩේ කරේ. එයාතට තිබුනේ කොඩි හදන්න, එක එක බෝඩ් ලියන්න වගේ ඒවා. ඉතිං මෙහෙමයි ඒ කතාව… අපේ පාසල තියෙන්නේ නාගරික පරිසරයක වුනත් පාසල අවට තියෙන පාරවල් වලින් ගියාම ලේසියෙන්ම අපූරු ගැමි කුඹුරු වලින් වටවුන තැන් වගේම ගඟක් එහෙමත් තියෙන පෙදෙසකට ඉතා ඉක්මනින් ලං කරන්න පුළුවන්. ඉතිං ඒ වගේ පාරිසරික අලංකාරය තියෙද්දි අපි මොකටද ඉටිරෙදි එල්ලගෙන නිවාස හදන්නේ. එහෙම හිතන අපි කරන්නේ ක්‍රීඩා තරඟ අවසන් දිනේට දවස් දෙකතුනක ඉඳන් අර කිව්ව  ලෝ  කොස්ට් අඩුමකුඩුම හොයන එකතමා.

මුලින්ම අපි කරන්නේ ලෑයිස්තුවක් හදාගන්න එක. ඊට පස්සේ තමා රෑට රෑට අහල පහල ගෙවල් වලට තාප්ප  වලින්  පැනීමේ මෙහෙයුම පටන් ගන්නේ. ඇත්තටම ඒක හොරකමක් වුනාට පාසල වෙනුවෙන් කරන, අපේ නිවාසය වෙනුවෙන් කරන ලොකු කැපකිරීමක් කියලා හිතාගෙන තමයි සැම එකවගේ සෑහෙන අවධානමක් අරගෙන තාප්ප උඩින් පැන පැන කකුල්  හූරගෙන තුවාල කරගෙන එහෙ අවශ්‍ය දේවල් එකතු කරගන්නේ.

පිදුරු එකතු කරන ගමන් මේ වගේ දේවල් නම් අනන්තයි…

කලින් ගිහින් ඒ කියන්නේ එලිය තියෙන වෙලාවට ගිහින් අදාල දේවල් තියෙන තැන් ගැන අපිව දැනුවත් කරන්න වෙනමම සෙට් එකක් හිටියා. රෑට අපි ක්‍රියාත්මක වෙන්නේ දවල් වරුවේදි අපට ලැබෙන ස්ථාන ගැන පිහිටීම අනුව. වැඩිපුරම අපි වද වුනේ දිගල එල්ලා හැලෙන මල් වර්ග ගැන. ඔය මල් දවල්ට පිපිලා තියෙන නිසා හොයාගන්න ලේසි වුනාට රෑට හොයන්න හෙන ගේමක් දෙන්න ඕනේ. ඇයි ඉතිං මල් ඔක්කොම පරවෙලානේ. ගහ මොකද්ද මල මොකද්ද කියලා හොයාගන්න බැරි නිසාම ගොඩක් වෙලාවට කරන්නේ ගහ පිටින්ම ගලොගෙන එන එක. ඒක ලේසි වැඩක් කියලා හිතන්න එපා. තුන් හතර දෙනෙක් එක්ක වත්තට තාප්පෙන් පැනලා සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න ගහ පිටින්ම කපලා තාප්පේ අනිත් පැත්තේ ඉන්න එවුන්ට තාප්පේ උඩින් පාස් කරනව කියන්නේ… ඒකත් මහ රෑ එකට දෙකට විතර.

ඊට පස්සේ කරන්නේ යෙලෝ ෆාම් ගස් වලින් අතු කපන එක. එක්නම් ඉතිං සිම්පල්. හැබැයි හිටපු ගමන් බල්ලෝ එලෝගෙන එද්දි නම් කැපිටල් වෙන වෙලාවලුත් තිබ්බා. එහෙම වෙලාවට නම් ඉතිං කරේ තියෙන ඒවා බිම දාලා හරි බල්ලගෙන් බේරෙන්න දුවන එක තමා කරන්නේ. වෙලාවට කවදාවත් බල්ලෙක්ට අපිව කන්න ලැබුනේ නෑ. ඒ ගෙවල් වල බල්ලෝ හෙන බුද්ධිමත්. මුලින්ම සද්දේ ආවම බුරන්නේ නෑ. ෂේප් එකේ සද්දේ එන පැත්තට පොඩි ගෙරවිලි සද්දයක් කර කර එනවා. එහෙම ලඟටම ඇවිත් තමා බුරන්නේ. හැබැයි හැම පාරකම කව්රු හරි එකෙක්ට ඔය ගෙරවිලි සද්දේ එහෙන නිසා බල්ලා එන්න කලින් අපි අඩුම ගානේ තාප්පේ උඩටවත් නැගලා. ආයේ ඉතිං ඒ ගේ දිහා බලන්නේ නෑ. වෙන ගෙදරකට යනවා. අම්මපා ඒ බල්ලෝ හෙන පොෂ් එවුන්. දුර ඉඳන් බුරාගෙන එන්නේ නෑනේ… දැන් නම් හිතෙනවා අපි ඒ දවස් වල හෙන හොරු වගේ නේද කියලත්…

රෑට ඔය වගේ දේවල් කරද්දි දවල්ට කරන්නේ වෙල් වලින් පිදුරු උස්සන එක. ඒවා නම් ඉතිං උස්සන්න දෙයක් නෑ. කවුරුත් බනින්නේ නෑ අරගෙන ගියාට. ඒ පිදුරු ගෙනියන්නේ ගොඩක් වෙලාවට වහලෙට දාන්නේ. වෙලාවට පිදුරු කහපාටට හුරු පාටක් වුනේ. කිසිම වෙනසකින් තොරව කෙලින්ම වහලට දාන්න පුළුවන්. අන්න ඒ වාසිය අපිට තිබුනා. තව විජය නිවාසයේ පාට කොල පාට නිසා උංටත් ඒ චෑන්ස් එකම තිබුනා. දන්න දා ඉඳන් උං දැම්මේ අමු පොල් අතු වියලා.

ඊට අමතරව බට ගස් එහෙම ගේනවා නිවාසයේ සැකිල්ල හදන්න. ඒවනම් හොරකන් කරන්නේ නෑ. මොකද හොරකන් කරලා ගේන්න බෑනේ. ඒක නිසා.

සැරසුවට පස්සේ…

ඔය අඩුම කුඩුම එකතු කරගත්තට පස්සේ දවල් වරුවක් අල්ලලා වැඩේ පටන් ගන්නවා. නිවාසය භාර ගුරුවරු දෙන සැලැස්මට අනුව මුලින්ම සැකිල්ල හදලා ඊට පස්සේ එවේලෙට හොයාගන්න මොනාවෑයින් හරි වහලේ දැල් දැල් වගේ වෙන්න හදලා පිදුරු දානවා. හවස් වෙද්දි ඒක අපි හදපු නිවාසය ඇතුලෙම මොනාහරි කාලා නිදාගන්නවා. ඇතුලේ විස්සකට විතර ඉන්න පුළුවන් වෙන්න තමා හැමපාරම හදන්නේ. ඊට පස්සේ එලි වෙන්නේ ස්පෝට් මීට් දාට. ඉතිං උදේම ගෙවල් වලට ගිහිං තව පාට ඇඳුමකුත් දාගෙන ආයේ එනවා. ඒ ඇවිදින් තමා දවස් දෙක තුනකට කලින් කඩා ගෙන ඇවිත් වතුර බේසම් වල බස්සපු මල් ජාති ටික අරගෙන නිවාසයේ එළියෙයි ඇතුලතයි එල්ලන්නේ. ඒකෙන් තමා තියෙන පාලු මූසල ගතිය යවන්නේ. මල් එල්ලලා ඉවර වෙද්දි නිවාසය හරියට නිකං සුරංගනා නිවසක් වගෙයි.

ඔන්න ඔහොම හදන අපේ නිවාසයේ උඩින් කහ පාට කොඩියක් ගහනවා ස්පෝට් මීට් පටන් ගන්න කලින්. ඊට පස්සේ ඉතිං … දැනෙන සනීපේ… එක දිගට දවස් තුනක් හෝ හතරක් ඔය වැඩේටම විතරක් මහන්සි වෙනවා. අන්තිම දවසේ හවස් වරුවේ තමා නිදහසක් ලැබෙන්නේ. අන්තිමට ක්‍රීඩා උත්සවය දාට හැමෝම පොරේ නිවාසේ ඇතුලට රිංගන්න. ඒ තරමට ඒක හිතට අල්ලලා යනවා. ඒත් ඒක අපි වෙන්කරේ නිවාසයේ ගුරු දෙගුරුන් වෙනුවෙන්. ළමයි හැමෝම නිවාසය පිටිපස්සේ තියෙන ගස් හෙවන් වල හරි කුඩ ඉහලගෙන හරි තමා හිටියේ. ඒ අතර වගකීම් දරපු අපි හැමදාමත් වගේ අවුවේ… ඒත් එදා දුකක් ඇතිවුනෙත් නෑ ඒ ගැන. අදත් නෑ.

ඇත්තටම අපි ඒකෙන් ගොඩක් දේවල ඉගෙන ගත්තා. එක සැලසුමකට අනුව කට්ටියක් වැඩ කිරීම මූලිකයි. ඊට පස්සේ අදහස් බෙදා ගැනීම. වඩා හොඳ අදහසට ඉඩදීම. ඒකට තව දේවල් එකතු කිරීම වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැබැයි ඔය හැමදෙක්ම කලේ පොඩි පොඩි හොරකම් කරලා වුනාට අපි එකෙක් වත් හොරු වුනෙත් නෑ, නිකරුනේ හොරකම් කලෙත් නෑ. හැම දේකින්ම වුනේ අපි වැඩි වැඩියෙන් නිර්මාණශීලි වුන එක තමා. ඒ ගැන නම් චූටි මෙව්වා එකක් තියෙනවා.

ඒ වගේම අපේ ගෙවුන අතීතය එක්ක දැන් සසෑඳීමක් කලොත් නම්, බොහොම දුක හිතෙන කාලයක් කියලා කියන්න පුළුවන්. දැන් නිවාසය හදන්නේ නෑ. කුලියට ගන්නවා. මළ ගෙවල් වල ගහන ටෙන්ට් එකක් ගෙන්නලා වටේට කහපාට ඉටිරෙදි ඔතලා උඩින් කහපාට කොඩියක් ගහනවා. ඒක ඇතුලේ දෙසීයකට තුන්සීයකට ඉන්න පුළුවන්… අපේ කාලේ වගේ විස්සකට තිහකට නෙමේ දෙසීයකට තුන්සීයකට. ඒ තමයි දැන් ඉන්න එවුන්ගේ නිර්මානාත්මක කුසලතාවය…!

 

 

 

%d bloggers like this: