උන – සිලි සිලිය

green bamboo plantඅපි…. ඒ කියන්නෙ කීපදෙනෙක් විතරක් යන්න පුරුදු වෙලා හිටිය ලස්සන තැනක් ගැන මට හොඳටෝම මතකයි. ගොඩ දවසට හවස හතර හතරාමාර වෙද්දී එතෙන්ට එන්න කියලා නීතියක් නැති වුනත්, සීතලට ගලන වතුර පාරෙ කකුල් දෙක දාගෙන කකුල් වටේ කැරකි කැරකි යන මාලු දිහා බලාගෙන මොනා හරි දෙයක් කියවනවා කියන්නේ… ඒක හද පත්ලෙන්ම කියවෙනවා කියන එකයි. එක අපි හැම දෙනාටම පොදුවුනා. ගෙවල් වල ප්‍රශ්න, ස්කෝලේ ප්‍රශ්න, කෙල්ලෝ ප්‍රශ්න අරක මේක හැම එකම අපි අතර බෙදා ගන්න ඉඩ තිබුන එතෙනට නමක් තිබුනේ නෑ. අපි කිව්වේ “යමං ඇලපාර අයිනට” කියලා.

හරියටම හඬ මේ වගේ කියලා කියන්න බැරි විවිධත්වයක් එක්ක නිරතුරුවම ගලාගෙන ගිය ඇල පාර අපිට සුන්දර අපේම තැනක් වුනේ, මං එක පාරක් ගිහිං එතෙන්ට උඩහ තිබුන කැලෙන් කොටයක් පෙරලගෙන ඇවිත් දාපු දා ඉඳන්. ඒ කපලා දාලා තිබුන කොටේට පයින් පාරක් ගැහුවේ තිබුන දාංගලේට ඇලපාරට වැටෙන්න කියලා හිතාගෙන මිසක් ඇති වැඩකට නෙමෙයි. ඒත් කොටේ ඇලට නොවැටී ඇල අයිනෙම තිබුන උන පඳුරට හේත්තු වෙලා නැවතුනේ “පිස්සු කෙලින්නේ නැතුව, වැඩක් ඇත්තෙම නැත්තං මේං මෙතෙන්ට වෙලා වාඩිවෙලා, ඇලට කකුල් දෙක දාගෙන පොඩ්ඩක් කූල් වෙයන් මිනිහෝ” කියන්න වගේ. මං එදා ඒ ඇරයුම පිලිගත්තා. ඒකෙන් මට හොඳක් මිසක් නරකක් වුනේ නෑ. මට විතරක් නෙමේ මගේ යාළුවන්ටත් හොඳක් මිසක් නරකක් වුනේම නෑ.

ඇත්තටම වැඩක් නැතිව කම්මැලි වුනාම ලඟ ලඟ තිබුන යාළුවන්ගේ ගෙවල් ඉස්සරහට ගිහිං “උදාර යමාං…” කියලා කෑගහපු ගමං “හා ටිකාක් හිටපාං… මං කනෝ…” කියලා ගේ ඇතුලෙන් සද්දේ එන්නේ ඌත් මාත් එක්ක යන්න එන වග ස්ථිර කරන්නයි. උදාරලාගේ අම්මා මිදුලට ඇවිත් “පුතා දන්නවනේ අපේ එකාගේ කෑම… එන්න ගෙට මං බත් බෙදන්නම් පුතාටත්” කියලා ගේ ඇතුලට යනවා. “මට බත් එපා නැන්දේ… මේ කාපු ගමං ආවේ” කියලා කියන කොටම උදාර එනවා “හා යමං” කියාගෙන. ඒක එක උදහරණයක් විතරයි යාළුවන්ව එකතු කරගැනීම ගැන. අනිත් තැන් වලදිත් ඔහොමම තමා. එහෙම නැත්තං “උඹලා පලයං මං තව ටිකකින් එන්නං” කියනවා. එහෙම කිව්වනම් අනිවාර්යෙන් ඌ එනවා. පොලු තියන්නේ නෑ. මොකද හිතේ තියෙන හැම දෙයක්ම කටෙන් වචන කරලා අතෑරලා දාන්න පුළුවන් එකම තැන ඇලපාර නිසා.

ඒ වගේම හැමදාමත් අපි කතා තැන ඇලපාරේ සද්දේ එකක්ම අපිට ඇසුන දැනුන අනෙක් හඬ මගේ කොටේ නවත්තලා අපිට කතා කරන්න තැනක් හදලා දුන්න උන පඳුර. ඒ වටේටම උන පඳුරු තිබුනත් මේක තරමක් විසාලෙට හැදුන කොලයි කහයි දෙකම මිශ්‍ර වෙච්චි උන පඳුරක්. කාට හරි එකෙකුට මොකක් හරි මගුලට අඬන්න ඕනේ වුනානම් උන ගහක් බදාගෙන අඬනන්නයි, මොකක් හරි කතාවකට බඩ කොරවෙනකංම හිනාවෙලා අන්තිමේ හිට ගෙන ඉන්න අමාරු වුනාම පොඩ්ඩක් පිට දීලා ඇලවෙන්නයි හැම එකටම එපා නොකිය සහයෝගය දුන්න උන පඳුර කොච්චර හුළඟට පැද්දී පැද්දී සිලි සිලි ගෑවත් කවමදාකවත් ඒ සිලි සිලිය අපේ කතාවලට බාධාවක් වුනේ නෑ.

හැම වෙලේම අපේ ඇඟට වේලුන උන කොල වලින් දමා ගහන කොට කවදාවත් අපිට කේන්ති ගියෙත් නෑ. ඇත්තටම මොකක් හරි සීන් එකකට කවුරු හරි කේන්තියෙන් ආවත් උන පඳුර ඒ කේන්තිය උගෙන් උදුර ගන්නවා විනාඩි ගානක් ඇතුලත. ඒ නිංස්කලංක බව අස්සේ ඉඳගෙන හිත ඇතුලෙන් කේන්තියෙන් පිච්චෙන්න දෙන්නේ නෑ එක මොහොතක්වත්. හැම වෙලාවෙම දෙපා සිසිල් කරගෙන ගලන වතුර පාරත් එක්ක එකතු වෙලා ගින්දර නිවනවා. ඇලපාර ලඟ උන පඳුර යට කෙල්ලෝ ප්‍රශ්නම කීයක් විසඳෙන්න ඇත්ද…? අපේ සෙට් එකේ හිටිය හත් අට දෙනාගෙන් හතර දෙනෙක්ම ඔය වගේ චීත්ත ප්‍රශ්න වලට අනිත් අයගෙන් උදවු ඉල්ලුවේ උන පඳුර යටදී. ප්‍රශ්නයක් උන ගමන් හැම එකාම බලන් ඉන්න ඇලපාර අයිනට දුවන්න. අනිවාර්යෙන් ප්‍රශ්න වලට උත්තර කෙසේ වෙතත් හිත හරි හැදෙනවා. සතියකට වතාවක් දෙවතාවක් ඇලපාර ගාවට යන එක නිකංම පුරුද්දක් වුනාට නියමිත දවසක් නෑ. අර කලින් කිව්වා වගේ කවුරු හරි එකෙක් ඇවිත් නම කියලා කෑගහලා “යමාං…” කිව්ව ගමන් තමයි රැස්වීම පටන් ගන්නේ. කාට හරි අසනීපනම් හෝ කොහෙ හරි ගමනක් ගිහිං නම් ඇරෙන්න උන පඳුර යටට යන ගමන මග අරින්නේ නෑ කවුරුවත්ම.

අපි ලොකු වෙලා දුර බැහරට වෙන් වෙලා යනකං වගේම ඉඳලා ඉඳලා දින ගැනලා නිවාඩුවකට අපිට පොඩ්ඩක් ස්ටෙලා වෙන්නත් ඒ උනපඳුරම ලඟක් වෙනකම්ම හෙවන දුන්නා. ඒ හැම දවසකම ඉස්සර තිබුන දඟකාර සිලි සිලියවත්, තාලයක් හොයාගන්න බැරි ඇලපාරේ සද්දෙවත් වෙනස් වුනේ නෑ. ඒ වගේම මාස ගනන් හිතේ තද කරන් ඉඳිය ඒවා එලියට ඇදලා ගන්න හැකියවත් ඒ තැනින් තුරන් වෙලා තිබුනේ නෑ. ඒ තරමට හිතින් විතරක් නෙවෙයි බොක්කෙන්ම ආදරය කරපු තැන දැන් අපිට අයිති නෑ.

දැන් ඒක කාටවත් අයිති නෑ. මගේ අතින් පෙරලුන කොටේ සමහර විට ඇල පාරටම වැටිලා ගහගෙන යන්න ඇති. නැත්තං කොහේට හරි විසික් කරන්න ඇති. දැන් එතෙන ඇලපාරකුත් නෑ… තියෙන්නේ ටිකක් විසාල වතුර හිඳුන කොන්ක්‍රිට් වලින් බැමි බැඳපු ඇලක්. ඉවුරු දෙපැත්තෙන් හාරලා ලොකු කරපු කෘත්‍රිම ඇලේ දැන් මාලු පැටවු නෑ. තියෙන්නේ හැම තැනින්ම ගලාගෙන ඇවිත් කංකුං ගස්වල බැඳුන වතුර උඩ පාවෙන දේදුන පාට ගහන තෙල් තට්ටුවක් විතරයි. උන පඳුරත් ඇලේ ඉවුරු ලොකු කරද්දී කපලා දාලා. දැන් සිලි සිලියක් නෑ… අන්තිමටම ඉතුරු වෙලා තියෙන්නේ අගින්ම කපලා දාපු උන පඳුරු කෑලි ටිකක් විතරයි. ඒ වගේම එතෙනට එකතු වෙන්න කොල්ලොත් නෑ. උං හැමෝම කාමර අස්සේ බිත්ති වලට කොටුවෙලා ගේම් ගහනවා, චැට් කරනවා, එහෙමත් නැත්තං නිදි. උං උන්ගේ ප්‍රශ්න කාට කියනවා ඇත්ද…? උත්තර කොහෙන් හොයනවා ඇතිද…? වර්චුවල් යාළුවෝ ගොඩක් මැද සිමෙන්ති කාමරයකට වෙලා මොනාවනං කරන්නද…?

උංට අපිට තිබුන පින නෑ. අපිට සංවර්ධනය නොතිබුනාට බොක්කෙන්ම ඉන්න යාළුවෝ ටිකක් හිටියා. හවසට සෙට් වෙන්න අපේම තැනක් තිබුනා. හැමදේම කතා කරන්න, හිනාවෙන්න තැනක් තිබුනා. දැං එවුං කාමරේට වැදිලා මොනිටරේ දිහා බලාගෙන බකමුනෝ වගේ තනියම හිනාවෙනවා ඇති. උංට උන පඳුර කැපුවත්, ඇලපාර හිඳුනත් වගේ වගක් නෑ. උංට ප්‍රශ්න තියෙන්නේ කරන්ට් එක නැතිවුනාමයි ඉන්ටර්නෙට් ස්ලෝ වුනාමයි විතරයි.

ඒත් අපිට තාමත් උන පඳුරේ සිලි සිලිය, ඇල පාරේ සින්දුව නැතුව පාළුයි.

ගොඩ කාලෙකින්, 2015 ප්‍රථම ලිපිය විදියටයි මේ…

%d bloggers like this: