අපි කැමතිම ගීතය…

මේ හදිස්සියේ මේ කතාව ලියන්න හිතුනේ, කතාවට අදාල සිංදුව ලඟදී ඇහුන නිසා. නැත්තං මේ කතාව කවදාවත් නොලියැවී යන්නත් තිබුනා. මේක අපි කැමතිම ගීතය කිව්වට අපේ ඩැඩා තමා වැඩියෙන්ම කැමති. ඊට පස්සේ මායි මල්ලියි…. අම්මත් ඉතිං කැමති ඇති සමහරවිට…

දැන් මෙහෙමයි සීන් එක. ඉස්සර අපේ තාත්තා නිවාඩු දවසට ගෙදර ඉඳන් සිංදු අහනවා. ඒ කියන්නේ රේඩියෝ එකේ. දැන් අහන්නේ අපේ මල්ලි. ඌත් දැන් තාත්තෙක් කියලා තමා පොර හිතං ඉන්නේ. අහන තරමක් අහන්නේ අපේ තාත්තා ඒ දවස් වල අහුවා වගේ තේරුම් තියෙන අළුත් සිංදු. අනේ මන්දා ඉතිං මල්ලිත් දැම්මම…. හ්ම් කොහොම හරි අපේ තාත්තා ඔය අහන සිංදු අතරෙ එක සිංදුවක් තියෙනවා අපේ අම්මව කුලප්පු කරවන සුළු. සමහර වෙලාවට අපි දෙන්නවත් ලඟට කරගෙන අඬන්න තරම් අප්සට් යනවා. අපිත් ඉතිං ඒ දවස් වල “අනේ අම්මේ අඬන්න එපා“ කිය කිය බොරුවට හූල්ලනවා.

ඒකට අපේ තාත්තා, මේ සිංදුව යනකොට… තියෙන හිනාව. තාත්තා දන්නවා අම්මට කේන්ති යනවා කියලා ඔය සිංදුව යනකොට. ඉතිං ඩැඩා කරන්නේ තව ටිකක් සද්දේ වැඩි කරලා අම්මව බොරුවට අවුස්සනවා. සිංදුව විනාඩි තුනනම් අම්ම ඔය විනාඩි තුනට වචන තුන්සීයක් විතර කියලා තාත්තට බනිනවා ඇති. හිතෙන්… නැත්තං අපිට අහෙනවනේ… එතකොට චූටි අපි නරක් වෙනවනේ…! ඒ වගේම ඔය විනාඩි තුනට අපේ තාත්තත් තුන්සිය සැරයක් විතර අම්මා දිහා බලලා, හොටු පෙර පෙර අඬන්න හදන අම්මගේ සුදු මූන දිහා බලලා හිනාවෙනවා ඇති. එයත් එහෙම කරන්නේ අපිට හොරෙන්. නැත්තං ඉතිං අපිත් ගෑණුළමයින්ට හිනා වෙන්න පුරුදුවෙයි කියලා වෙන්න ඇති. හික්ස්… එව්වා ජාන වලින් එන ඒවනේ ඩැඩෝ. එව්වා කොහොම නවත්තන්නද….!

ඩැඩාගේ ෂේප්මන්ට් එක

ඩැඩාගේ ෂේප්මන්ට් එක

ඉතිං ඔය සිංදුව යන අතරෙදි, අපේ අම්මගේ නිහඬ බැනීමේ ඉවසීම පැන්න ගමන්… “එහෙනම් මොන මගුලටද මගේ පස්සේ ආවේ“ කියන කොට තාත්තගේ කට වැහෙනවා. සිංදුවේ සද්දේ නිකංම වගේ අඩුවෙනවා. ඒක තමයි ජොලිම මොහොත. ඔන්න දැන් දෙන්නගේ මූඩ් වෙනස් වෙනවා. ඩැඩා හැඟීම් බර වෙනවා. “පුතේ ඔන්න ඕක වහල දාන්න“ කියලා අම්මට දිනුම දීලා තමා ගේම අතාරින්නේ. ඊට පස්සේ ඉතිං ලඟට ගිහිල්ලා ඔලුව අතගාලා… බලන්න ඕනේ කෝලම් ටික… අම්මත් නිකං ඉන්නේ නෑ… කොහොමත් පොඩි වලි බර ගතියක් තියෙන නිසා, කලින්ම වෙන සිංදුවක් දැම්මනම් හරිනේ… කියලා එයාගෙත් හිතේ අමනාපයක් නැති බව පෙන්නනවා. ඒ දවස් වල අපි හිතුවේ එහෙම. දැන් තමා තේරෙන්නේ, අම්මා කරලා තියෙන්නේ තාත්තට නක්කලේ දැමීමක්… නිකං හරියට… “මොනා කිව්වත් මං නැතුව ඉන්න බෑ වගේ නේද…?“ කියලා අහනවා වගේ.

දෙන්නම ඒ දවස් වල අපිට නොතේරෙන්න මාර රොමෑන්ටික් නාට්ටියක් තමා රඟපාල තියෙන්නේ. අපි ඉතිං බබාලනේ. වෙලාවට අපිට හැම දේම මතක තිබුනේ. නැත්තං තාමත් අපි ඔය සිංදුව යද්දි උඩ බිම බලන තත්තවෙකට පත් වෙන්න තිබුනා. කොහොම හරි ඔය සිංදුව අපේ ප්‍රියතම ගීතය වෙන්න තවත් හේතුවක් බලපෑවා. ඒ තමා සිංදුව නිසා තරහා වුන අම්මව යාළු කරගන්න තාත්තා ස්පෙෂල් මොනාහරි එදා හවසට ගෙනත් දෙන එක. ඒකේ අනිසි ප්‍රතිලාභ ඉතිං අපිටත් හිමිවෙනවනේ කොහොම වුනත්. එහෙම නැත්තං හවසට ඩේ අවුට් පාරක් ‍සෙට් වෙනවා. ඒක නිසා ඉතිං අපි දෙන්නටත් ඒ සිංදුවට අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නෑ. මං හිතන්නේ අම්මත් බොරුවටද කොහෙද මූන දෙක කරගෙන හිටියේ. ඔය ඉන්නේ දැන් යස අපූරුවට සිංදුව යද්දි. හිහ් දෙන්නම හිතං ඉන්නේ අපිට කිසිදෙයක් මතක නෑ කියලා.

සිංදුව තමා මිල්ටන් මල්ලවාරච්චිගේ, තනිවී සිටින්නයි මා අදහස් කලේ…. සිංදුව. ඒ දවස් වල අපි දහඅතේ කල්පනා කරා මේ දෙන්නට රංඩු වෙන්න තරම් මේකේ තියෙන තේරුම මොකද්ද කියලා.

[audio ammp3.com/sinhala_mp3/Milton_Mallawarachchi_Thaniwee_Sitinnai.mp3 ]

දැන්නේ තේරෙන්නේ…. මාත් ෂේප් එකේ වෙලාවක කියලා බලන්න ඕනේ… මේක තමා මගේ ආසම සිංදුව කියලා. අපේ අම්මවගේ මූන බෙරි කරගත්තොත් මං දිනුම්, එහෙම නැතුව “ආහ් එහෙමද… එහෙනං ඉතිං එහෙම්ම ඉන්නව“ කියලා ගියොත්…? හ්ම්… එතකොට කියනවා, “මං නිකංනේ සුදූ කිව්වේ… ඇයි ඔයා සීරියස් ගන්නේ“ කියලා. මොකක් හරි පැනි වදනක් දාපු ගමන් වලි ෂේප්…! මං දන්නවනේ ඒක…!

%d bloggers like this: