කජු ගහ…

හරියටම මේ වගේ...

හරියටම මේ වගේ…

කජු ගහක් කිව්වට ඒක පුංචියට හැදුන, අතු දෙක තුනක් බෙදිච්ච කජු ගහක් නෙවෙයි. හරියට නිකං මහ විසාලෙට අතු බෙදිච්ච රූස්ස නුග ගහක් වගේ ලොකු කජු ගහක්. ඒක තිබුනේ මගේ යාළුවෙක්ගේ ගෙදරට එහා පැත්තේ වත්තේ. ඉස්සර අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනාම, ඒ කිව්වේ… ඔය ගෙදරට කියාගන්න බැරි මිතුරන් අතරේ පමණයි දේවල් කතා කරන්න අපි සෙට් වුනේ ඔය කියන කජු ගහේ බිම ඉඳන් තියෙන දෙවෙනි දෙබලට.

තව චුට්ටක් කියන්න ඕනේ කජු ගහ ගැන. අපි කතා කරපු ප්‍රශ්න පස්සේ කියන්න බැරියෑ. ඔය කජු ගහේ කඳ ඒ දවස් වල අපි තුන්දෙනෙක් එකට අත්වැල් අල්ලගෙන වටකරන්න හැදුවත් කරන්න බෑ. ඒ තරම් හෙන සයිස් කඳක්. හැබැයි කඳ කොච්චර ලොකු වුනත් ඔය කජු ගහේ එක පුහුලමක්වත් හැදුනේ නෑ. ඒකනම් ඇයි කියන්න දන්නේ නෑ. කොහොමහරි ඉතිං ඔය කජු ගහට අපි නගින්නේ පහලට පාත් වෙච්චි අතුවල එල්ලිලා. මොකද ගහේ කඳ වටේට අත් වලින් බදලා ගහට නගින්න බෑ. ගහට නැග්ගට පස්සේ මුලින්ම කරන්නේ ඒ දවස්වල වට අඩි හතරක් පහක් විතර වෙන අත්ත දිගේ ගහේ පළවෙන දෙබලට යන එක. එතනින් පස්සේ දෙවෙනි දෙබලට.

අන්න එතෙන තමයි අපේ මරු සිරා පොට් එක. ඒ දෙබලේ තිබුනා පොඩි ඉඩක්. හරියට නිකං පොරෝ පාරක් ගහලා වගේ. 😉 එතෙන තමා අපේ සියළුම ලිපි ලේඛන හංගලා තිබුනේ. ඒ දවස් වල ඉතිං වැඩිපුර අතේ ගැවසෙන ලිපි ලේඛන මොනාද කියල කියන්න ඕනේ නෑනේ. කොටින්ම හුවමාරු මධ්‍යස්ථානය වුනේ එතෙන. හිටිගමන් කෙල්ලන්ට ලියුම් ලියන්න, කෙල්ලන්ගෙන් යාළුවෙන්න අහන්න ප්ලෑන් කරෙත් ඔය ගහ උඩම තමා.

ආහ්… ඔය දෙබලට උඩින් තියෙනවා තව පොඩි සයිස් දෙබලක්. ඒකේ එකපාරට ඉන්න පුළුවන් දෙන්නටයි. පහල එකේ පුළුවන් පස් දෙනෙකුට විතර එක එක ඉරියවු වලින් පහසුවෙන් ඉන්න. ඉතිං ඔය තුන්වෙනි දෙබල උපයෝගි කරගත්තේ කජු ගහ තිබුන වත්තට පිටිපස්සෙන් ටිකක් දුරින් තිබුන රේල් පාරේ කෝච්චි යනවා බලන්න. තුන් වෙනි දෙබලට නැග්ගේ නැත්තං කෝච්චි පේන්නේ නෑ. මොකද වටේටම එක එක ජාතිය උස ගස් වැවිලා තිබුනේ. ඒක නිසා තමා කජු ගහ ආරක්ෂිත ස්ථානයක් වුනේ. අනික අපි කොලුකමට කටු පඳුරු අස්සෙන් රිංගලා ඔය ගහට නැග්ගට වැඩිහිටියෙකුට නම් එන්න හිතෙන්නෙවත් නැති ගමනක්. යාළුවගේ ගෙදර ඉඳන් ඔය ගහ ගාවට එනවනම් මුලින්ම අඩි හතරක් විතර උස තාප්පෙන් පනින්න ඕනෙ. ඒකත් සෙල්ලං වැඩක් නෙවෙයි. යාළුවගේ වත්තේ ඉඳන් අඩි හතරක් උස වුනට තාප්පේ… කජු ගහ තියෙන වත්තේ ඉඳන් අඩි හයක් උසයි. මොකද ඒ වත්ත පාතයි. ඊට පස්සේ තාප්පෙන් පැනලා හරියටම මීටර් පනහක් විතර යන්න ඕනේ කැලේ මැද්දෙන්. කැලේ කියන්නේ ඒක නම් මහ එපා කරපු කැලයක්. ඉන්න තරමක් ඉන්නේ කටුස්සො. අන්න ඒ වගේ දුෂ්කරතා නිසා වැඩිය කවුරුවත් ඔය ගහ කිට්ටුවට එන්නේ නෑ.

ඉතිං ඔය ගහ උඩදී කරපු වැඩ… අම්මෝ ලියපු ලියුං ගොඩ. ඒ දවස් වල කවි ලියන්න නිසදැස් ලියන්න බෑනේ. ඒක නිසා කලේ කාගේ හරි සිංදුවක් කෑල්ලක් ලියුමේ පැත්තකින් ලිවුව එක තමා. ඔය ලියපු ලියුම් වලින් කීප දෙනෙක්ම ගොඩ ගියා. එක පාරම නෙමේ ඉතිං. ලියුම් දහයක් දොලහක් දුන්නට පස්සේ කෙල්ලට කොල්ලා ගැන දුක හිතිලා ඕං ඊළඟ දවසේ… හරි හරි මං කැමතියි…. කියලා කියනවා. ඊට පස්සෙන්දා ඉඳං ඌ එන්නේ නෑ කජු ගහට. ඌ කරන්නේ ගෙදරට වෙලා තනියම මනෝ ගහනවා. හැබැයි වැඩේ පොඩ්ඩක් හරි චකබ්ලාස් වේගෙන යද්දි ඕං එනවා ආපහු. අපි ඉතිං ඒත් ලියුමක් ලියලා දීලා වැඩේ ශේප් කරලා යවනවා.

ඒ දවස්වල අපි ස්කෝලේ ගියේ වෑන් එකේ. වෑන් එකේ සෙට් එකම තමා ඔය කජු ගහට සෙට් වෙන්නෙත්. ඉතිං එක දවසක්, අන්තිමට ළමයි ගන්න ස්කෝලෙන් ළමයි අරගෙන එනකොට ඒ ස්කෝලේ වයිස් ප්‍රින්සිපල් එනවා තැපැල් නයින්ටියක පුටු පුටු ගගා. හෙන පරන කබල් බයික් එකක්. පස්සේ ඕක දැකපු අදාල ස්කෝලේ සෙට් එක එක්ක වෑන් එකේ ඉඳන් වයිටෝ… වයිටෝ කියලා කෑගැහුවා. දැන් අනිත් ස්කෝල වල එවුනුත් බලනවා කාටද බොල මේ කෑගහන්නේ කියලා. අම්මටසිරි, මුං මේ කෑගහන්නේ උංගෙම ස්කෝලේ වයිටට. සොරි… වයිස් ප්‍රින්සිපල්ට.

කොහොමහරි අර කසි කබලේ පුටු පුටුව අස්සෙන් ඕක ඇහුනා කියන්නකෝ වයිස් ප්‍රින්සිපල්ට. අම්මටඋඩු මූ නයිට්‍රස් ගහලා වගේ කෙලගෙන ඇවිත් නැවැත්තුවේ නැතෑ වෑන් එක ඉස්සරහින් පාර හරස් කරලා. දැන් ඉතිං සෙට් එකම බය වෙලා. මාත්…. මාත් ඉතිං අනිත් එවුන්ට සහයෝගෙට අඩෝ වයිටා…. හරි මොකක් හරි කියලා කෑගැහුවා වගේ මතකයි. පස්සේ ඔන්න පොර එනවා සුදුම සුදු කිට් එක ඇඳගෙන වෑන් එක ගාවට ඇවිල්ලා නවත්තනවා ඔය එන්ජිම කියලා වෑන් එකේ අයියට සද්දයක් දැම්මා. ඌ අපිට වැඩිය බයයි. පස්සේ ඔන්න ඇවිත් දොර ඇරලා, මුලින්ම බැස්සවා සර්ගේ ස්කෝලෙ ළමයි ටික.

තමුසෙලා මෙහාට වෙනවා. කියලා උංව පැත්තකට කරලා… අනිත් ස්කෝල වල කොල්ලෝ ටික ඉන්නවනේ. ඒ කියන්නේ මමයි තව හතර දෙනෙකුයි විතර.

හ්ම් දෙනවා තමුසෙගේ පොතක්… කියලා අර ස්කෝලේ එකෙක්ගේ පොතක් ඉල්ලගෙන, දැන් ලියනවා තමුසෙලාගේ ස්කෝලෙයි, නමයි, පන්තියයි, පංති භාර ගුරුවරයාගේ නමයි…. කියලා මූ පොත දෙනවා අපි පස්දෙනාට.

අපි දැන් මූනට මූන බලාගෙන. ඇයි ඕයි බලාගෙන ඉන්නේ… ලියනවා ඕකේ.

ඒ වෙලාවේ ඉතිං බොරු නම් මතක් වෙන්නෙත් නෑ. ඉතිං ඇත්තම ලිව්වා. ඊට පස්සේ පොත දුන්නා වයිටට. පොර පොත අරගෙන… මම දන්නවා හොඳටම මගේ ස්කෝලේ ළමයි මට කවදාවත් ඔහොම කෑගහන්නේ නෑ කියලා. ඒක නිසා තමුසෙලා තමා මේක කරලා තියෙන්නේ. මං හෙටම තමුසෙලාගේ ස්කෝල වලට කතා කරලා දඬුවම් දෙන්න කියනවා.

දැන් කට්ටියගේ කටවල් ඇරිලා… ඇස් ලොකු වෙලා. අර වයිටගේ ස්කෝලෙ ගොබිලෝ ටික ඉන්නවා කිසිම දෙයක් වුනේ නැති ගානට. පස්සේ වයිස් ප්‍රින්සිපල් ගියා කොලේත් කඩාගෙන. අරුං ටික නැග්ග වෑන් එකට. එතනින් පස්සේ ඉතිං හිනාවෙවී අරුංට ගැහුවා ගැහිල්ලක්. අන්තිමේ නතර වුනේ කොලේ කඩපු පොත කීතු කරලා හුළඟේ පාකරලා.

පස්සේ කොහොමහරි කට්ටියම සෙට් වුනා හවස කජු ගහට, හෙට ගුටි කන්න වෙන සීන් එක ගැන කතාකරන්න.

ම්… මේ බං… ඔන්න ඔහේ ගුටි කෑවත් මොකද බං… මේං මේක බලලා හිටපන්. අද හම්බුනේ. හෙට ගෙනියන්න ඕනෙ. ඉරන්නේ පොඩිකරන්නේ නැතුව කියවලා දියන්…

කොහොම හරි කරුවල වැටෙනකං සමාජ අධ්‍යනය පත්තරක් කියෙව්වා මිසක් ගුටි කන සීන් එක අමතක වුනා. පස්සෙන්දා උදේ ආයෙ මතක් වුනා. එදා උදේම මට බඩේ අමාරුවක් හැදුනා. ඒක නිසා අම්මා කිව්වා ගෙදර ඉන්න කියලා. පස්සේ බලද්දි අනිත් උංටත් උන, වමනය, ඔක්කාරය වගේ ලෙඩ හැදිලා තිබුනා. කොහොමහරි දඩුවමක් ලැබුනේ නෑ. අඩුම තරමේ එකෙක්ගෙන්වත් අහලාවත් තිබුනේ නෑ…

දැන් තමා දුකම හරිය. එදා අච්චර කැලේ රිංගගෙන ඇඟපත තුවාල කරගෙන අපි නැග්ග කජු ගහ කපලා දාලා. ඉස්සර කෝච්චි බලන්න කජු ගහේ තුන්වෙනි කරුවට නගින්න ඕනේ වුනාට, දැන් කොච්චියේ යන ගමන් කජු ගහ තිබුන මුළු වත්තම පේන විදියට ගස් ඔක්කොම කපලා. පට්ට දුකයි සීන් එකට. සමහරවිට ගහ කපන කොට ගහේ බෙදල අස්සේ අපි ඒ දවස් වල තියලා තිබ්බ අධ්‍යාපනික කඩදාසි, රසාස්වාද, පෑන්, පැන්සල් එහෙමත් තියෙන්න ඇති. ඒත් දැන් ඉතිං මොනා කරන්නද… ගහත් නෑ… යාළුවොත් ටික ටික දුරස් වෙලා. 😦

 

%d bloggers like this: