සතිදෙකෙන් අමතක වීම…

හ්ම්…. ටික කාලෙකට පසුව. අද නම් දෙන්න හදන්නේ ඇට්ටි හැලෙන්න. කාටද…? සිංහල අපිට. මොකටද…? වැරදි වටහා ගැනීමකට. අපිට වාසියක් කරගන්න තිබුන සිතුවිල්ලක් අපිට අවනම්බුවක් කරගත්ත එකට… සමහරවිට ඇට්ටි ටික මටම කැරකිලා ඒවිද දන්නෙත් නෑ. කමක් නෑ… සාමාන්‍යයෙන් වෙන දේනේ…!

සතිදෙකක්...

සතිදෙකක්…

මෙහෙමයි… දැන් ඔය මැරිච්චි ප්‍රභාකරන් ඉන්නවනේ… ඉතිං බුවා ඒ දවස් වල කොහෙහරි කරපු කතාවකදී කියලා තියෙනවා “සිංහල එවුන්ට දෙයක් මතක තියෙන්නේ සති දෙකයි” කියලා. අනිවාර්යෙන් පොර එහෙම කියලා තියෙන්නේ සිංහලයව මුදු මොලොක් මල් පිහාටුවක් වගේ බිමට පා කරලා දාලා නැතිබංගස්ථාන කරන්න හිතාගෙන. කනගාටුවෙන් වුනත් මාත් ඇතුළුව බොහෝ දෙනෙක්… බොහෝ දෙනෙක් කිව්වට සියළුම දෙනා වගේම, ඔය අලි ටෝක් එක මහ ඉහලින් පිළිඅරගෙන තිබුනා. දැනටත් තියෙනවා. ඒ වගේම මොකෙට්ට හරි බනින්න වේදිකාවකට නැග්ගත් ප්‍රභාකරන්ට ලකුණු වැටෙන නොවැටෙන ගානට ඔය වැකිය එහෙමම කියනව කතාව අහගෙන ඉන්න අයට.

ඉතිං අහගෙන ඉන්න අයත් ඕක පිළිඅරගෙන තමාගේ සිත් තුල තැම්පත් කරගන්නවා. කොහොම කොහොම හරි ඔය වගේ සිංහල අයට අපහාස වෙන විදියට ඔය කතාව ලංකාව තුල පැතිරුනේ අපේම සිංහල කතා කාරයෝ නිසා කිව්වොත්, කේන්ති ගියත්… කතාව ඇත්ත නේද කියලා හිතෙයි. මං හිතන්නේ වැඩිහරියක්ම දේශපාලකයෝ තමා ඔය කතාව රට පුරා මහ ලොකුවට කිය කිය මිනිස්සුන්ගේ හිත් වලට ඔය කතාව ඇතුල් කලේ.

කොහොම හරි අන්තිමේ සිද්ධ වුනේ ඇත්තටම අපේ මිනිස්සු ඔය කතාවට අනුව බලෙන්ම වගේ වැඩ කරන්න පෙළඹිච්ච එක. ඒ කියන්නේ යම් හොඳ හෝ නරක සිදුවීමක් මතකයේ තියානොගෙන බලෙන්ම වගේ අමතක කරලා වෙන අලුත් සිදුවීමක එල්ලිච්ච එක. දැන් කෝ අර පාට පාට වැහි වල අප්ඩේට්…? ඒවා ගැන කොරපු පරීක්ෂණ… ඒවා කාටවත් මතක නෑ… දැන් මතක අපි අවුරුදු දහඅටකට පස්සේ වර්ල්ඩ් කප් එකක් ඉස්සුවා කියන එක විතරයි. ඒකත් දැන් අමතක වෙලා යන ගානේ තියෙන්නේ… ඇයි ඉතිං අවුරුදු ගැන හිතන්න එපැයි.

මට කියන්න ඕනේ නැවතත් පාරක් “සිංහලයාගේ හැටි එහෙම තමයි” කියන එකමයි. ප්‍රභාකරන් කිව්ව කතාව හරි කියන එකමයි. ඒ වගේම ඒක අපි හිතන විදයට, අපේ ඔලු වලට කිඳා බස්සපු තරමට… ඒක කවදාවත් සිංහලයාගේ දුර්වලතාවයක් වුනේ නෑ කියන එකයි. අපි වැඩිහරියක් සිංහල බෞද්ධයෝ. අපි දන්නවා අටලෝ දහම කියල එකක් ගැන. නින්දා – ප්‍රශංසා, යස – අයස ගැන අපි අහලා තියෙනවා, විඳලා තියෙනවා. ඒත් ඒ කිසිම දෙයකින් නොසැලී, ඕනෙවට වැඩියෙන් ආඩම්බර නොවී, ඕනෙවට වැඩියෙන් දුක් නොවී… අපේ වැඩ අපිට කරගෙන යන්න පුළුවන් කියන්නේ උපේක්ෂාව කියන එකයි. හැම දෙයක්ම මැදහත් සිතින් ඉවසගෙන ඉන්නව කියන එකයි.

මං හිතන්නේ ඒකත් අපිට ආර්යන්ගෙන් ආපු පුරුද්දක් වෙන්න ඕනේ. හැබැයි දැන් නම් ඒකේ වැරැද්දක් පේන්නේ නෑ. ඉස්සර මාත් ලොකුවට ඔය වැකිය අල්ලගෙන් ලිව්වා. ආයේ ලියන්නේ නෑ. වෙච්චි දෙයක්, නැති වෙච්ච දෙයක් ගැන මාස ගනන් හිත හිත ලතවෙනවට වැඩිය ඒක සති දෙකෙන් බැරිනම් සතියෙන් හරි අමතක කරලා දාලා කරගෙන යන වැඩේම හරි, අළුත් වැඩකට හරි අතගහන එක වැරැද්දක්ද…? ලැබිච්ච දේකින් සතුටු වෙවී නිකං කාලෙ කනවට වඩා ඒක හැකි ඉක්මනින් අමතක කරලා දාලා තවත් දෙයක් ගැන හිතන එක වැරැද්දක්ද…? තව දුරටත් මට එහෙම හිතන්නේ නෑ. සමහරවිට ප්‍රභාකරන් කියන්නේ ඇත්තේ අපි ඔය දකින දේ නෙවේ වෙන්න ඇති. බුවා කියන්න ඇත්තේ මුංට කොච්චර අත්දැකීම් ලැබුනත් ඒ අත්දැකීම් ජීවිතයට ‍එකතු කර නොගෙන කලින් වෙච්චි වැරැද්දක්ම නැවත නැවතත් කරනවා කියන එක වෙන්න ඇති. එහෙම නැතුව අපේ පොරවල් කියන විදියට හැම දේම සති දෙකෙන් අමතක කරනවා කියලා ලේසි පහසුවට කියන එක නෙමෙයි වෙන්න ඇති. කොහෙද ඉතිං ඒක හරියට පැහැදිලි කරගන්න පොර ඉන්න එකක්යැ…!

අන්තිමේ මට හිතෙන්නේ ඒ කියමන සිංහල අපිට අවනම්බු වෙන්න හැදුවට, අපේ සිංහලයොත් ඒක අපිට අවනම්බු වෙන විදියටම පැතිරෙව්වට… ඒ කියමන සිංහල බෞද්ධයන්ගේ සැබෑ ලක්ෂණයක් ඉදිරිපත් කරනවා කියලයි. හැබැයි අර අත්දැකීම් එකතු කරගන්නේ නැතුව මග හලන එකටනම් මටත් ටිකක් මෙව්වා එකයි වගේ…!

%d bloggers like this: