අමතක වෙන්න කලියෙන්…

පුංචිම කාලේ  “අ“ යන්නෙ ඉඳන් තාමත් ඉගෙන ගන්නව වුනාට සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න ගත්තට පස්සනේ යුනිකෝඩ් ඉගෙන ගත්තේ. ඉතිං දැන් වැඩිය නොලිය වෙන නිසාම මට පොඩි බයක් තිබුනා අකුරු ටික අමතක වෙලාවත් යාවිදෝ කියලා. ඉතිං මේ කොටා ගෙන කොටා ගෙන යන්නේ යුනිකෝඩ් මතකයේ ප්‍රගති සමාලෝචනයකට.

හ්ම්… නරකම නෑ පළවෙනි ඡේදෙ ලියලා ඉවර කරාම නම් අකුරු පැටලිලි, අකුරු අමතක වීම් මුකුත් නෑ. ඒ කියන්නේ ප්‍රගතිය කෙසේ වෙතත් සමාලෝචනේනම් මරු ! දැන් ඉතිං අලුත් අවුරුද්දක්නේ. ඒක නිසා ඉතිං මේ අවුරුද්දෙත් බ්ලොග් එකේ මොනා හරි ලිවුවා කියන්නවත් මොනා හරි ලියලා යන්න ඕනේ. ඇත්තටම කාටවත් සුභ පතන්නවත් බැරි වුනා මේ පාර. හරි හමං හේතුවක් නම් නෑ නිදහසට කරුණු විදියට…

එහෙමනම් මේ අවුරුද්දේ පළවෙනි ලිපිය මං කැමතිම පුංචි කාලේ ගැන. තාමත් නිදහස් වෙලාවට හිතින් දුවන, මනෝ ගහන මං කැමති අතීතය ගැන. ඇත්තටම අනිත් අයට වගේ මට ගමේ ඉන්න ලොකූ කාලයක් තිබුනේ නෑ. මුළු අවුරුද්දටම මං ගමේ ඉන්න ඇත්තේ දවස් 30කටත් අඩුවෙන්. ඒකත් සැරින් සැරේට. සමහරවිට ඒ හින්දම වෙන්න ඇති තාමත් මට අගේ දැනෙන්නේ ඒ දවස් ගැන. අනිත් මිනිස්සු ගමේ ඉඳන් නගරෙට එන්න හදද්දි, කවදාවත් නොයනව වුනත් හැම වෙලේම හිතින් හරි යන්න ට්‍රයි කරන්නේ ඒ නිසා වෙන්න ඇති.

මං මගේ සීයලා දෙන්නගෙන් එක්කෙනෙක්ව විතරයි දැකලා තියෙන්නේ. අම්මගේ තාත්තා මං උපදින්න කලින් නැතිවෙලා. ඒක නිසා ගමේ ඉන්න තිබුන සීයාව මම දැකලා නෑ. ඒත් ආච්චිව නම් මතකයි. ඒ එයාගේ තිබුන ආදරය සහ තවත් එක එක ගතිගුන නිසා. ආච්චි ඉඳිය මැටි ගහලා පොල් අතු හෙවිල්ලපු ගේත් එක්ක ආච්චිගේ මතකය තාම තියෙනවා. ඒ ගමේ හැම කෙනෙක්ම අම්මගේ අම්මට හෝ තාත්තගේ අම්මට කියන්නේ කිරිඅම්මා කියලා. මං ඉතිං ඔව්ව දන්නවැයි මං හැම දාමත් කිව්වේ ආච්චි කියලා. සමහර වෙලාවට මං එහෙම කියද්ද අවට ගෙවල් වලින් ආපු පොඩි එවුන් කට ඇරන් බලන් ඉන්නවා මොකද්ද ඒ මං කිව්වේ කියලා.

ඇති… ඇති… මේං කතාව. ඒ පැත්ත අර්ධ ශුෂ්ක පළාතක්. හැබැයි දවල්ට විතරයි. සමහර විට ඒක වෙන්න ඇති අර්ධ ශුෂ්ක කියන්නේ. 😉 රෑට නම් රෙදි දෙක තුනක් පොරව ගෙනවත් හීතලෙන් බේරෙන්න බෑ. ඒකත් මාර කාලගුණයක්. ඉතිං හැම දාමත් රෑ වේගෙන එද්දි දවල්ට නොතිබුන කැලෑ ගස් වල ගඳත් එක්ක හීතල හුළං එන්න ගන්නවා. ඒක අනිවාර්ය දෙයක්. සමහර වෙලාවට ඒ ගස් වල ගඳ අස්සේ ඇත්තෝර, කජු ගස් වලින් එන සුවඳ වගේ අතලොස්සක් විතරක් වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙනවා. ඉතිං මං කරන්නේ ගෙදර අගුපිලට වෙලා පොඩි වේවැල් පුටුවේ වාඩි වෙලා, කකුල් දෙකත් උඩට අරගෙන හමන හුළඟට ඉව අල්ල අල්ල ඉන්න එක තමා. ඒකත් මාර ජොලි වැඩේ. හයාමාර විතර වෙද්දි ඔය වැඩේ පටන් ගද්දිම එහායින් තියෙන කුස්සියෙන් එනවා ආච්චියි, අම්මයි, මම්මයි කෑම උයන සුවඳ. මොනවා ඉව්වත් මාර සුවඳයි… රසයි…

හත, හතයි කාල වගේ වෙද්දි මදුරු සේනාව එනවා. උංගෙන් බේරෙන්න ආච්චි මට ගෙනත් දෙනවා පොඩි තුවායක්. “කකුල් දෙක වහගනින් කොල්ලෝ“ කියලා. මට සරං අඳින්න දන්නේ නෑනේ. ඒක නිසා කොට කලිසම ඇන්දම දනිස්සෙන් පහල එලියේ. ඒ ටික වහගන්න තමා තුවාය දෙන්නේ. ඒ වුනාට මං කරන්නේ බෙල්ල වටේ වටයක් දාලා මුළු ඇඟම වහගන්න එක. එතකොට ඉතිං මදුරුවෝ ඉඳියා කියලා දැනෙන්නෙවත් නෑ.

ජනේලෙන් පිටත

ජනේලෙන් පිටත

පස්සේ රෑට කාලා එක එක කතා අහලා එහෙම නිදාගන්න යන වෙලාව තමා දවසක් අවසානයේ ගෙවෙන හොඳම මොහොත. මං හැමදාමත් නිදා ගන්නේ ජනෙල් පියන් නැති ලී කූරූ හතරක් විතරක් තියෙන ජනේලේ අයිනට වෙන්න. වෙනදට නම් ආච්චිලා ජනේලෙට රෙද්දක් දානවලු. හැබැයි මං යන දාට ඒවා බෑ. ජනේලේ අයිනේ මම, ඊගාවට තාත්ත, එහාපැත්තෙන් අම්මා. එහෙමයි පිළිවෙල. ආච්චි ෆුල් ට්‍රයි එක දෙනවා ඔය පිළිවෙන වෙනස් කරන්න. ජනේලෙන් මට පිනිබානවා කියලා. එක දවසක් පිනි බෑවට මොකෝ කියලා මාත් අරින්නේ නෑ… දෙතුන් පාරක් “අනේ අනේ“ කියලා බැගෑපත් වෙනවා… ඒත් හරියන්නේ නැත්තං මූන බෙරි කරගන්නවා. එහෙමත් බැයිනම් හයියෙන් අඬනවා…! අන්න එතකොට ආච්චියි, අම්මයි, තාත්තයි, මම්මයි තුන් දෙනාම සටන අතෑරලා මට දිනුම දීලා මාව දානවා ජනේලේ අයිනට. එතකොට ඇඬිල්ල ඉවරයි. ආච්චි දෙන රෙද්ද තාත්තා මගේ ඔළුවේ ඉඳන් පොරවලා මූන විතරක් ඇරලා තියෙනවා මට ජනේලෙන් අහස පේන්න.

ඒක හරියට කවුරු හරි ඇන්ද චිත්‍රයක් වගේ. අහසේ තරු තියෙනවා. ඊට පහලින් එක එක ගස්වල කලු අඳුරු හෙවනැලි තියෙනවා. ඊටත් පහලින් කනාමැදිරි පියාඹනවා. හරියට නිකං ඇනිමේටඩ් මූවි එකක් වගේ. ඔය ඔක්කොමට මෙහායින් පොල් අතු වහලෙන් බේරෙන පොල් කොල ටික පේනවා උඩින් පේන ප්‍රමාණය අවහිර කරපු සීමාවක් වගේ. ඇඳ ගාවින්ම තියෙන්නේ ජනේලේ. ඒක තමා ඈතින් පේන සජීවී චිත්‍රයේ පින්තූර රාමුව.

පිනි වැටුන මකුළු දැල්

පිනි වැටුන මකුළු දැල්

කොහොම හරි ඔහොම පැය භාගයක් විතර යද්දී නින්ද යනවා. ඊට පස්සේ පාන්දරට ඇහැරෙන්නේ එහා වත්තේ මී දෙන්නු ටික උම්බෑ එලාම් එක ගහන්න ගත්තම. ඉතිං ඇහැරිලා බලද්දි මට දකින්නේ රෑ තිබුන තරු පිරුන අහස වෙනුවට ලා වට නිල් පාටක් ගෑවුන වෙන චිත්‍රයක්. ඒකත් ලස්සනයි… ඒක දිහා බලාගෙන ඉද්දි තව ටිකකින් ආයෙ පටන් ගන්නවා කුකුල් එලාම් එක. ඒක නවතින්නේ උදේ හත අට වෙලා “ස්නූස්“ වෙවී දිගටම වදිනවා ඒක. අන්තිමේ මං නැගිටිනේ ආච්චි ගේන එළකිරි එකේ සුවඳට. දැන් මං බොන නෙස්ප්‍රේ වගේ නෙමේ… සුවඳයි… රසයි… ආච්චි ඉඟුරුත් දාන නිසා තවත් සුවඳයි. ඒක බිව්වම මාර ෆිට් ඇඟට. පුංචි වහු පැටව් වගේ තමා ඒක බිව්ව වෙලේ ඉඳන් එහාටයි මෙහාටයි දුවනවා….! ඊට පස්සේ පින්නෙන් තෙත් වෙච්ච පොලොවේ ඇවිදිනවා… මකුලු දැල් වලට වැටුන පිනි දිහා බලාගෙන ඉන්නවා. ඊට කලින් දවසේ මකුලු දැලක් තිබුනයි කියලා හිතෙනන්නෙවත් නැති තැන්වල පිනි වැටිලා මකුලු දැල් වල රැඳිලා. මුළු වත්ත පුරාම ඒ වගේ සුදු පාට බිම පිපිච්චි පිනි මල් සියගානක් තියෙනවා. අට නවය වෙද්දි නැති වෙලා යනවා.

ඒත් මතකය ඉතුරු වෙනවා…!

26 Responses to “අමතක වෙන්න කලියෙන්…”

  1. පොඩ්ඩි Says:

    මට හිතුණා අර රෑ ජනේලයෙන් දකින චිත්‍රය ඇතුලට ගිහින් බලන්ට. හරිම ලස්සණ මතක ගොඩක් මාලුවෝ…ඔයා ඒවා මතකයේ තියාගෙන ඉන්න හැටි හරිම අපූරුයි.

    හැමදාමත් ඔය වගේ ලස්සන මතකයන් ඉතිරි කරන සුබ අලුත් අවුරුද්දක් මාලුවට!! සහ මාලු රැජිනට !!! 😀

  2. රාජ් Says:

    ජනේලයෙන් එහාපැත්ත සෑහෙන්න සීතලපාටයි.

  3. mppgunasinghe Says:

    සිතිවිලි වගේම ප්‍රකාශනය වටිනවා! ප්‍රකාශනය වගේම සිතිවිලි වටිනවා.!! වඩා වටින්නේ සිතිවිලි ද ප්‍රකාශනය කළ විදිහද කියල තෝරගන්න බෑ.!!! ඔබේ ලිපිය දැක්කම ඇතිවුන අදහසක් !!!! ඔබට සුබ අලුත් අවුරුද්දකට නැවතත් ආසිරි වේවා!!!!!

  4. kathandarakaraya Says:

    මාත් පොඩි කාලේ බෙඩ් ෂීට් එකක් පොරෝගෙනයි නිදාගත්තේ.

    දැන් නං ඔය පැත්තේ රෑට ෆෑන් දාන්නේ නැතුව නිදාගන්න බැරුව ඇති නේද?

  5. මධුරංග Says:

    ශා මරු.. මම නම් ජනේලේ ගාව ඉන්නේ නෑ පිනි බෑවහම පහුවදාට කිවිසුම් ඇර ඇර ඉන්ඩ එපැයි !
    සෑහෙන කාලෙකින් දැක්කේ..
    මේ අවුරුද්දේ සිරිපාදේ එහෙම යන්ඩ අදහසක් නැද්දෝ ???

  6. Wicharaka Asami Dakimi Soyami Says:

    මම පුංචිකාලේ නිදාගත්තේ ඉස්තෝප්පුවේ බූරු ඇඳේ. රෑට මුළු පරිසරයම පේනවා. ලයිට් නැහැ. ගෙවල් තියෙන්නේ ඈතින්. මේ ලිපිය කියවද්දී ඒ අතීතයට ගියා. ලස්සන මතකයක් සහිත ලිපියක්.

  7. henryblogwalker Says:

    උඹ නියමෙට පණ පිහි‍ටුවලා තියෙනවා ඒ මතකයන්ට.

    මේ ඉබ්බාගමුව, ගොක‍රැල්ල, මැල්සිරිපුර වගේ ගමක්ද?

  8. Dinesh Umagiliya Says:

    පිණි වැටුන මකුළු දැල් වලට මම වැඩියෙන් කැමති.. මතකයන් මගෙත් ආයෙම අළුත් වුනා..

  9. aruge adaviya Says:

    බොහෝම ලස්සනට ලියලා තියෙනවා. අපිට ඉස්සර බෙඩ්ශීට් තිබුනේ නැහැ. අම්මාගේ සාරි පෙරෝගෙන බිම පැදුරේ තමයි නිදාගත්තේ. හරිම සුන්දර මතකයන්.

    • Gold fish Says:

      පැදුරේ නිදාගන්න පිං කරලා තියෙන්න ඕනේ. පන් ගස් වල එන අමුතු සුවඳත් එක්ක නිදාගන්නවා කියන්නේ මාර අත්දැකීමක්. දැන් ඉන්න අයට තියෙන්නේ ට්‍රිපල් ලේයර් ​මෙට්ට වල නිදාගන්න මානසිකත්වයක් වුනාට පන් පැදුරු වල එක දවසක් හරි නිදියලා තියෙන කෙනෙක් ඒ නින්දෙයි ට්‍රිපල් ලේයර් නින්දෙයි වෙනස හොඳට දන්නවා.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: