රජාගේ රඟහලේ හැමදාම අවුරුදු…

බස් වල යනකොට වයසක අය කියන කතා අහගෙන යනවා කියන්නේ මාර ජොලි වැඩක්. ඒගොල්ලෝ තමන් ඒ කාලේ අත්විඳපු දේවල් මේ කාලයත් එක්ක සසඳලා බලලා කියන්නේ හරි අපූරු දේවල්. සමහර දේවල් අපිට නිකමටවත් මීටර් වෙන්නේ නෑ…

මේං එක…

Nelum Pokuna (Lotus Pond) Mahinda Rajapaksa Theatre

Nelum Pokuna (Lotus Pond) Mahinda Rajapaksa Theatre

නෙළුම් පොකුණ රඟහල තියෙනවනේ. ඉතිං ලඟින් යන බස් එකක යන සීයා කෙනෙක් ඒක දිහා හොඳට බලාගෙන හිටියා. නෙළුම් මල් පිපිලා තියෙන පොකුණු දිහා. එතකොට වටේට තියෙන මල් ගස් දිහා එහෙම. ඔහොම ටිකක් වෙලා බලාගෙන ඉඳලා ලඟ ඉන්න මනුස්සයාට සීයා කියනවා…

හිහ්…. බලන්නකෝ පුතා රජාගේ රඟහලේ හැඩ. මම දැන් මාස කීපයක් මෙතනින් එහාට මෙහාට යනවා. ඒ හැමදාකම මේකේ තියෙන එරබදු ගස් වල මල් පිපිලා. අපේ ගමේ ගස් වල මල් පිපෙන්නේ අපිට අවුරුදු නම් විතරයි. බලාගෙන යද්දි පුතා, මහින්ද මහත්තයාගේ රඟහලත් හරියට එතුමලට වගේමනේ. හැමදාම අවුරුදුනේ…!

ඔය කතාව මට ඇහෙන කොට නෙළුම් පොකුණ පාස් කරලා බස් එක ගොඩක් දුර ගිහිං. ඉතිං එදාම ඕකේ ඇත්ත නැත්ත බලන්න බැරිවුනා. පහු වෙනිදා උදේ බස් එකේ යද්දි වැඩේ ඇත්ත. ගමේ ගොඩේ තියෙන එරබදු ගස් වල මල් පිපෙන්නේ අවුරුද්දට විතරයි. සමහරදාට ඒ ටිකත් නෑ. ඒකට මේං නෙළුම් පොකුණේ හැමදාම අවුරුදු…! සොරි වැරදුනා…. හැමදාම එරබදු…!

දෙක…

රාජගිරියේ ආයුර්වේදෙ තාප්පේ එක එක හොඳ වැකි ලියලා තියෙනවා. එක තැනක තියෙනවා… “මත්පැනින් තොර දරුවා රටට ආඩම්බරයකි“ කියලා හෝ ඒ අදහසම දෙන සමාන වාක්‍යයක්. ඔය වැකිය දිහා හොඳට බලාගෙන හිටිය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ලඟ හිටිය එකාට කියනවා. ඒ පාරනම් සීයාට අම්බානෙට මළ පැනලා…

මුන්ගේ බයිලා විතරයි පුතා. බලන්නකෝ අරුං ලියලා තියෙන ඒවා. බිව්වේ නැත්තං රටට ආඩම්බරයක්ලු. පුතා… ඉස්සර යෝධයෝ හැමදාම රා බිව්වා. උංට යෝධ ශක්තිය ලැබුනේ ඒවැයින්. අපිත් බිව්වා. තාමත් බොනවා. අපේ කාලේ උදේ හවස දෙකේම රා මැද්දා. අපි දෙවරුවටම බිව්වා. දැන් මට වයස අවුරුදු හැත්තෑ අටයි. තාම කටේ දත් තියෙනවා. යන්න හයිය තියෙනවා. දියවැඩියාව අරක මේක මුකුත් නෑ අපිට.

දැන් ඉන්න එවුන්ට බිව්වේ නැත්තං ගෑණියෙකුට අහවල් එක කරගන්න පන නෑ. එහෙව් එකේ මුං ලියන තව බිත්ති වල ලියනවා නොබොන එකා රටට ආඩම්බරයක් කියලා. පිස්සු යක්කු….

කියලා කතාව ඉවර වෙන කොටම අහල පහල හිටිය ගෑණූ පරාන ටික වාෂ්ප වෙලා ගියා. තව මොනවා අහගන්න වෙයිද දන්නේ නෑනේ. පිරිමි ටිකනම් හිනාවෙවී ගියා. –at සීයලා කියන ඒවා ඇත්තද කියලත් හිතෙනවා… 😉

පැනලා ගිය ලව් එක…

ඒකි හරි පන්ඩිතයි… මොකද මන්දා මං ගෑණු ළමයි ගැන චුච්ච චුච්ච දැනෙන්න ගත්ත දවසේ ඉඳන්, අලි ඔලුවෙන් ඉන්න… පඬි ටෝක් දෙන කෙල්ලොන්ව පේන්න බෑ. ඒ මදිවට අපි මනුස්ස කමට හිනා වුනාම පස්සයි කොන්ඩෙයි දෙකම ගසල දාලා අනිත් පැත්ත හැරෙනවා. හරියට නිකං සත්තු වත්තේ ඉන්නේ පැස්බරා වගේ…

මේ වගේ

මේ වගේ

මම ඒ ගෑණු ළමයව දකින්නෙ මාස හයකට සැරයක්. ඇත්තටම කොන්ඩෙයි, නෑ අනිත් එක ඕනේ නෑ…. ඉතිං ඒ එව්වා මෙව්ව ඇරෙන්න වෙන ඇති දෙයකුත් නෑ. තරමක් ලස්සනයි. සුදුයි. හුරුබුහුටියි… අතීතීතී පණ්ඩිතයි. ගෙවල් තියෙන්නේ අපේ ගමේ. ආච්චිලගේ ගෙවල් පිටිපස්සේ තිවුන මැටි ගහපු ගෙයක තමා ජීවත් වුනේ. මං ගමේ ගිය වෙලාවට ඉතිං කොයි වෙලෙත් කරන්නේ, බොරුවට කජු ගහ උඩට නැගගෙන ඒ ළමයා ගෙදරින් එළියට ඇවිත් එලියෙන් පුටුවක් තියාගෙන පොත් කියවන හැටි බලාගෙන ඉන්න එක. සමහර වෙලාවට ආච්චි කෑ ගහනවා…

බැහැපිය කොල්ලෝ ගහෙන්, ගහේ ඇති කජ්ජකුත් නෑ… මොනා කරනවද මන්දා ගහට වෙලා… කියලා. ආච්චිට නෙමේ අපේ අම්මලටවත් මාව පේන්නේ නෑ ගහට නැග්ගම ගහේ තියෙන කොල නිසා. මං කරන්නේ තරමක් පාත තිබ්බ අත්තකට වෙලා පොඩි ඇලට් එකක් දාගෙන ඉන්න එක. බිම බලන්නේ බහින්න හිතුනම විතරයි. නැත්තං ඉතිං බය හිතෙනවනේ. අන්න එහෙම හැංගිලා තමා මං පෙම් කෙරුවේ…! හුම්….!

කොහෙද ඉතිං මං ගහේ හිටියා කියලා ඒ ළමයා ගහ දිහා බලන එකක්යැ. ඒ ළමයා පොත කියෝනවා. අන්තිමේ ඉර බැහැගෙන යද්දි මදුරුවෝ එකා දෙන්නා අනින්න ගන්න කොට තමා මම බහින්නේ. ඒ වෙනකොට ගෙදර අයගේ උගුරු ලේ රහ වෙලා මට කෑගහලම. එහෙම බහින්න බහින්න කියලා කෑ ගහද්දී මොකක් හරි උත්තරයක් දුන්නොත් වැඩේ කපෝති. එතකොට දන්නවා මූව බස්සගන්න පුළුවන් කියලා. ඒක නිසා මං කරන්නේ බීරා වගේ කිසිදෙයක් නෑහෙන ගානට ඉන්නවා. පස්සේ රෑ වෙන්න කිට්ටු වෙද්දි බහිනවා. එතකොට මගේ කනෙන් අල්ලන්නවත් කට්ටියට පන නෑ…

ගෙදර අයගේ දැඩි විරුද්ධත්වය මත එහෙම තමා ඒක පාර්ශවික ලව් එක ගියේ. ඇත්තටම මට ඕනේ වුනේ නම අහගන්න විතරයි. ඊට පස්සේ ඉතිං වචනයක් දෙකක් කතා කරන්න තිබුනම මදෑ ඒ දවස් වල හැටියට. මටත් ඒ වෙද්දි අවුරුදු හතරක් පහක් විතර වෙන්න ඇති. ඒ දවස් වල නටපු නාඩගං මතක් වෙන්නේ දැන් තමා.

දැන් තියෙනවා මේ වගේ පහන් වැටක්

දැන් තියෙනවා මේ වගේ පහන් වැටක්

ඉතිං යන්තං ගුටි නොකා බේරිලා, බලෙන්ම ඇඟ හෝදවනවා ආච්චි. එහෙම ඇඟ හේදුවයි කියලා ගස් ගඳ යන්නේ නෑ. ඉතිං කරන්නේ පවුඩර් දානවා. ඒත් ඉතිං අත් හීරුන තුවාල, මදුරුවෝ කාපුවා එහෙම එහෙම්මයි. පස්සේ ඔන්න බලෙන්ම වගේ ඇදන් යනවා පන්සලට. ඒ දවස් වල පන්සලේ චෛත්‍යයක් තිබුනේ නෑ. තිබුනේ බන මඩුවයි, ආවස ගේයි, බෝ ගහයි, හැම පැත්තටම ලනු ඇදලා ඒවයේ කොඩි එල්ලපු උස උණ බම්බු කොඩි ගහකුයි විතරයි. පාන් පත්තු කරන්න හඳුන් කූරු ගහන්න එහෙම වැලි පුරවපු ලොකු වංගෙඩි වගේ ඒවා දෙකක් තිබුනා. කොඩි ගහ තාම තියෙනවා. දැන් එක යකඩ බම්බුවකින් හදලා තියෙන්නේ.

මාව පන්සල් ඇදන් යන මුල්ම දවස් දෙක තුනේ මං බෑම කිව්වා පන්සල් යන්න. කාගේ හරි අතක එල්ලිලා හොඳටම ඇඬුවා. පස්සේ ඔන්න කොහොම හරි එක දවසක් සෙට් වුනා මුළු පවුලම පන්සල් යන. එදානම් කියනවා මහ ලොකුවට, පුතා ඕනෙ නම් අද ඉන්න ගෙදර. අම්මලත් යනවනේ… ගෙදර කව්රුවත් ඇත්තෙත් නෑනේ… කියලා. හුහ්… මම නම් ඉඳියි. ලයිට් එකක් වත් නෑ… කට්ට කරුවලේ භූමිතෙල් කුප්පියේ එළියෙන් පැයක් හමාරක් ඉන්න…? අනේ බෑ… බෑ… මාත් එනවා කියලා එදා නම් වෙන කරන්න දෙයක් නැති කමට යන්න වුනා.

එදා තමයි දවස…! අර ළමයත් පන්සල් ඇවිත්. අම්මෝ හැඩ. සුදු පාට දිග සායකුයි, ලා කහ පාට ටී ෂර්ට් එකකුයි ඇඳගෙන. වෙලාවට අපේ ආච්චිගේ ෆිට් එකක්. අපේ ආච්චි මාවත් අතින් අල්ලගෙන ගියා ඒ ළමයි ගාවට.

කෝ දුවේ අම්මලා…?

අන්න අහේ පාන් පත්තු කරනවා. හරි මිහිරි කටහඬක් ඒක.

දූත් යමුද අපි එක්ක ඒ පැත්තට…? අපේ ආච්චි අහනවා. මොන මගුලක්ද මන්දා. ආච්චිට තිබුනේ අපේ පුතත් එක්ක ඒ පැත්තට යන්න මමත් එන්නම් කියන්නනේ… කොහෙද ඉතිං….

ඒ ඔක්කොමත් හරි මේකි නිකමට මාත් එක්ක හිනා වෙයං. මං ආච්චිගේ අතේ එල්ලිගෙන කොච්චර වෙලා බලාගෙන හිටියද… පන්ඩිතකම තියෙන. දෙන්න හිතයි හොම්බට හැටක්…!

ඇයි මොකෝ ඔරවන්නේ…?

ඈහ්… මට කේන්ති ගිහිං ඒ ළමයට නොදැනුවත්වම එරවිලා.

කව්ද ඔරවන්නේ… ඔයාගේ ඇස් පේන්නේ නැතුව ඇති.

හා… හා… කටවහගන්නවා. මේක පන්සල. ආච්චිත් එන්නේ මට බනින්න. මං අත ගසලා දාලා දිව්වා අම්මලා ගාවට.

ඔන්න ඊට පස්සේ එනවා නැලවී නැලවී සක බඹරේ. මං නෙමේ ගනන් ගත්තේ. අම්මේ අපි යමුකෝ නිදි මතයි. කියලා මං අම්මගේ ඇඟේ එල්ලුනා.

හ්ම්… ඉන්නකෝ මල් ටික පූජා කරලා එනකං. කියලා මාව පැත්තකට කරලා අම්මලා ගියා. මාත් ලඟ තිබුන පොඩි අත්තිවාරම් කෑල්ලක් උඩින් වාඩි වෙලා බලාගෙන ඉඳියා මොකද වෙන්නේ කියලා. අරකි ගිහිං අපේ අම්මා එක්ක තොඳොල් වෙනවා…. දෙන්න හිතයි මට…. බෑනේ ඉතිං මේක පන්සලනේ…

පස්සේ අපිත් එක්කම ඒ ළමයත් එයාගේ අම්මයි තාත්තයි එක්ක ගෙදර ආවා. වැඩිහිටියෝ ඉන්න තැන් වල සංවරව හැසිරෙන්න ඕනේ නිසා මං කට පියාගෙන නිකං හිටියා. නැත්තං මං කියනවා එයාට දෙකක්.

පස්සේ කොහොම හරි එක කාලයක් ඒ ළමයව දකින්න නැතුවම ගියා. අවුරුදු අටකට විතර පස්සේ දවසක් ඔන්න මට මූනටම හම්බු වෙනවා.

ආහ්… අයියේ… කවදද ආවේ…?

මාව නිකං කරකෝලා අතෑරියා වගේ. අවුරුදු අටකට කලිං ලව් එක කාටද මතක තියෙන්නේ…? ඊයේ රෑ ආවේ… අම්මලා එහෙම කොහොමද…? මං එයාගේ අම්මලාව පුංචි කාලේ දැක්කට ඒ වෙද්දි මූන වත් මතක නෑ.

හොඳින් ඉන්නවා… හෙට යනවද…?

මාස හයට වෙච්චි දේ...

මාස හයට වෙච්චි දේ…

ඔව් හෙට යන්න තමා ඉන්නේ… ඊළග පාර එන්නම්කෝ සතියක් විතර ඉඳලා යන්න. ඊළග වාරේ මං ගමේ ගත කරන දින ගාන මං එවෙලේම තීරණය කරා. ආයේ මොකටද පහු ගහන්නේ.

හ්ම්… හ්ම්…. ඒක හොඳයි… යන්නං අයියේ…. කියාගෙන කෙල්ල ඇවිදගෙන ගියා ගෙදරට. මං ඉතිං බලාගෙන උන්නා වෙන කරන්න දෙයක් නෑනේ…! ඒකෙත් අමුතු මෙව්වා එකක් තිබුනා.

ඔන්න ඉතිං ඒ වෙච්ච පොරොන්දුවට අනුව සතියක් ඉන්නවා කියලා අම්මලාව කැමති කරගෙන ඊළඟ පාර ගියා ගමේ. මගේ ගාව තිබුන හොඳම ඇඳුම් ටිකක් ගෙනිච්චා. ඒ දවස් වල තිබුන තත්ත්වයට මෙන්න මේ සිංදුව හරියටම ගැලපෙනවා….

අපරාදේ උස්සං ගිය බර බෑග් ටික…මොකක් වෙන්න ඇති කියලද හිතන්නේ…?

මෙච්චර වෙලා ලිව්ව කතාව…. ගමේ, කජු ගහේ කට්ට කාගෙන බලාගෙන ඉඳපු ආදර කතාව කටුගාලා මේකි කොල්ලෙක් එක්ක පැනලා ගිහිං….! –at මාස හයක් ඉන්න බැරුව ගියානේ…

 

%d bloggers like this: