එල්ලෙන ගස්…

Air plant

Air plant

ඔබ කැමතිද වතුරවත් නොදා, පෝරවත් නොදා පොඩ්ඩක්වත් ඒ ගැන හොයන්නේ බලන්නේ වත් නැතුව තමන්ගේ පාඩුවේ හැදෙන ශාකයක හැඩ බලන්න…?

පිරිමි ළමයි අකමැති වෙයි. ඒක ස්වභාවය. අපි ඉතිං කැමති විවිධාකාර වෙනත් හැඩ බලන්නනේ. ඒත් ඒ අතරෙත් ඉන්නවා අහෙන් මෙහෙන් ගහක හැඩ බලන්න කැමති අය. ගැහැණු අයත් වැඩි දෙනෙක් කැමති වුනාට ඔය මල් හැදිල්ලට, ගස් වැවිල්ලට එහෙම… ගහක් කොලක් පේන්න බැරි ගෑණු පරාණත් ඉන්නවා. ඒක නං ඉතිං ස්වභාවය නෙවෙයි අවාසනාව…!

අපි හිතං හිටියට හැම ගහක්ම හැදෙන්න පෝර අපේ අත්වලින් දාන්න ඕනේ කියලා, එහෙමම නෑ.

නිවාස අලංකරණය

නිවාස අලංකරණය

ලංකාවේ පොළොවේ නම් විසික් කරන දඬු කෑල්ලක් වුනත් පොඩි වැස්සක් වැටුනම මුල් ඇදලා පැල වෙනවා. වෙනත් රටවල් වල වතුර ලීටර් දහස් ගනන් දැම්මත් එහෙම පැලයක් සාර්ථකව වවාගන්න බැරි අවස්ථාත් තියෙනවා. ඉතිං… පුංචි පැලයක් ටික ටික ලොකු වෙද්දි ඒක දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් කියන්නේ, සමහරුන්ට පිස්සු ඩයල් එකක් වෙන්න පුළුවන්. ඒත් මම නම් හිතන්නේ එතෙන තියෙන්නේ අනිත් අයට විඳින්න බැරි, නොතේරෙන සතුටක්. ඒක හරියට තමන්ගේ පොඩ් බබෙක් ලොකු වෙනවා වගේ දෙයක් වෙන්න ඇති.

ඒ වගේ පිරිමි චරිත කීපයක් මට මුන ගැහිලා තියෙනවා. එක්කෙනෙක් බොන්සායි පැල හදන කෙනෙක්. ඒ මනුස්සයා ගොඩක් කැප වෙනවා එයා ගාව තියෙන පැල රැකබලා ගන්න. ඒවා ඇත්තටම පැල නෙමේ අවුරුදු විසි, තිස් ගනන් පරණ ගස්…! තව කෙනෙක්, එයා ඉන්නේ නුවරඑළිය කිට්ටුව. රැකියාවෙන් පරිගණක ඉංජිනේරුවෙක් වුනත් විනෝදාංශය මල් වැවීම. මාර හැඟීමක් එන්නේ ඒ වත්තට ගියාම. ඒ හැම මලක් ගැනම ඉඩ තියෙන හැම වෙලාවකම හොයා බලනවා වගේම පැලයක අළුතෙන් දල්ලක් ආවත් එයාට වෙනස තේරෙන තරමටම මල් ගස් එක්ක බැඳිලා ඉන්නේ.

දැන් ඉතිං අහෙන් මෙහෙන් කියාගෙන ආවේ මෙන්න මේ කතාව කියන්න. අහලා තියෙනවද “එයාර් ප්ලාන්ට්“  කියලා ගස් වර්ගයක් ගැන. අහල නැතත් දැකලවත් ඇති අඩුම ගානේ. එයාර් ප්ලාන්ට් වැවෙන්නේ එක්කෝ ගසක, එහෙමත් නැත්තං වතුර ඇබින්දක්වත් නොරඳන ගලක. එහෙමත් නැත්තං නිදහසේ තියෙන විදුලි කම්බියක වෙන්නත් පුළුවන්. පස් ගෑවෙන තැනක හැරෙන්න වෙනත් ඕනෑම වාතාශ්‍රය තියෙන තැනක තම වර්ගයා ජනිත කරන්න පුළුවන්. අනිත් හැම ශාකයකටම පොළොවේ පස් වල තියෙන ඛනිජ ලවණ අවශ්‍ය වුනත් එයාර් ප්ලාන්ට් වලට පොළොවේ පස් කියන්නේ විෂක්. පස් වල ගෑවුනොත් හෝ, පස් වල ඇති ඛනිජ ලවන ගස විසින් උරා ගත්තොත් එයාර් ප්ලාන්ට් එක මියයනවා. එයාර් ප්ලාන්ට් විශේෂ මහ ගොඩක් තියෙනවා. ඒ හැම එකකම නැති වුනත් සමහර ඒවගේ මුල් තියෙනවා. ඒ මුල් තියෙන්නේ පැලය ආධාරකයට තදින් බදාගෙන සිටින්න විතරයි. ඒ මුල් වලින් වතුර ලබාගන්නෙවත්, පොහොර ලබාගන්නෙවත් නැහැ. තරමක් ඝන ශාක පත්‍රයෙන් තමයි වායු ගෝලයේ එහේ මෙහේ පාවී යන ජලවාෂ්ප, පෝර ලබාගන්නේ.

සාමාන්‍යයෙන් බෝවීම සිදුවෙන්නේ බීජ මගින් හෝ අළුතෙන් ඇතිවන අංකුර මගින්. එමෙන්ම එයාර් ප්ලාන්ට් වර්ග බොහොමයක්ම උෂ්නත්වය ගැන තකන්නේ නෑ. අධික ශීත, සෘන උෂ්නත්ව පරාසයන් වලදී පවා එයාර් ප්ලාන්ට් එකකට නොනැසී සිටිය හැකියි. ඒ වගේම කාන්තාර වල ඇති අධික උෂ්නත්ව වලදී කිසිම හානියකින් තොරව තම වර්ගයා බෝ කර ගැනීමට පුළුවන්.

මං මුලින්ම දැක්කේ, සහ අඳුන ගත්තේ ගියපාර ශ්‍රී පාදය වඳින්න ගිය වෙලාවේ. ඒ යන අතර මග පාරේ තියෙන ලයිට් කණුවල ලා කොල පාටට, අලංකාර විදියට වැවිලා පහතට එල්ලෙමෙන් තියෙන වැල් මොනාද කියලා හොයද්දි තමා දැනගත්තේ මේ එයාර් ප්ලාන්ට් ගැන. දැන් නම් මගේ ගාව එදා දැක්ක වර්ගයට වඩා ලස්සන පැල දෙකක් තියෙනවා. හෙව්වට හම්බුනේ නැති පාර වෝටර්ස් එජ් එකේ තියෙන මල් ප්‍රදර්ශන වලින් දෙවතාවකට ගෙනාපු පැල දෙකක් මටත් නොදැනිම ඔහේ වර්ධනය වෙමින් තියෙනවා. වෙලාවක් තිබුනොත් ගිහිං බලනවා අළුතෙන් පැල ඇවිල්ලද කියලා… එච්චරයි. වතුර දාන්න මහන්සි වෙන්න ඕනේ නෑ… පොහොර දාන්න මහන්සි වෙන්න ඕනේ නෑ… ටිකක් ඉර එලිය වැටෙන හුළඟක් හමන තැනක තියන්න විතරයි තියෙන්නේ…!

පේනවනේ... එයාර් ප්ලාන්ට් එක... ;)

පේනවනේ… එයාර් ප්ලාන්ට් එක… 😉

නිකං විහිළුවට වගේ නෙට් හොයා බලද්දි තමා දැක්කේ වැඩිය හැඟීමක් නැතුව තිබුන නිසා උස්සන් ආවට, අපේ රටේ නැතත් පිටරට වල මනාමලියන්ගේ මල් වැඩ වලටත් ගන්න පැලෑටියක් බව. වැඩි හරියක්ම නිවාස අලංකරණයට තමාලු යොදාගන්නේ. ඇයි ඉතිං වැඩිය හොයන්න බලන්න ඕනේ නෑනේ… කම්මැලිකටම වතුර නොදැම්මත් ගහට ඕනේ විදියට ගහ වැවෙනවා. ඒ වගේම වගා බඳුන් ගැනත් වද වෙන්න දෙයක් නෑ. මේසයක් උඩ නිකං දාලා තිබුනත් වැවෙනවා. නැත්තං කම්බි කෑල්ලකින් හෝ නූල් කෑල්ලකින් බිත්තියක එල්ලන්න පුළුවන්.

ලෝකෙට දිනපතා එකතු වෙන කාබන්ඩයොක්සයිඩ් ටිකක් ඔක්සිජන් වලට හරවලා, අතැඹුලක ප්‍රමාණයෙන් වත් වායු ගෝලය සත්ත්ව ජීවිත වලට සුදුසු කරන්න දායක වෙන්න ඕනේ කියලා හිතෙනවා නම්… එයාර් ප්ලාන්ට් හොඳම විසඳුමක්..! ගෙනැල්ලා එල්ලන්න විතරයි තියෙන්නේ. අළුතෙන් පැල හදාගෙන තමන්ගේ වැඩ ටික කරගෙන ඔහේ වැවෙයි සෑහෙන කාලයක්…!

මිලදී ගැනීමට අවශ්‍යනම් බත්තරමුල්ලේ වෝර්ටස් එජ් එකේ තියෙන මල් පැල ප්‍රදර්ශන වල තියෙනවා. එයාර් ප්ලාන්ට් ලවණ රහිත වැලි මත හෝ දිරා ගිය ගස් අවශේෂ මත වවන්න පුළුවන් කියලා පැල විකුණන කෙනෙක්ගෙන්ම දැනගත්තා.

 

18 Responses to “එල්ලෙන ගස්…”

  1. deeps Says:

    අලුත් දෙයක්. අදයි දැනගත්තේ මෙහෙම පැළෑටි වර්ගත් තියනවා කියලා

  2. ජීවිතය සුන්දරයි... Says:

    අපි ඊයෙ තිබුන එක බලන්න ගියා…. ඒකෙ ඕක් තිබුන… මම දැක්ක පට්ට ලස්සනයි…. ගණන් එහෙම වැඩියි…..

  3. henryblogwalker Says:

    මම හිතන්නේ මම ඕවා දැක්කා හග්ගල ගාර්ඩන්ස් එකේ ග්ලාස් හවුස් එකේ. මට එහෙම මතකයක් තියෙනවා. ෂුවර් නෑ.

  4. DDT Says:

    හ්ම්…. උඹ කලිනුත් මෙහෙම එකක් ලිව්වනේ. එකේ නම් සීන් එක පොඩ්ඩක් වෙනස්. ඒත් මම කැමති ඒකට. පාට පාට බෝල ටික කොහොම අමතක කරන්නද. ඔය නිකන්ම එල්ලිල තියෙනව වගෙද ඒකෙ ලස්සන.

    https://prasanna86k.wordpress.com/2012/06/08/%E0%B6%B4%E0%B7%83%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD/

  5. පොඩ්ඩි Says:

    අපරාදේ මේක කලින් දැක්කේ නෑනේ… 🙂

  6. දුකා Says:

    අඩේ දැක්කාම ආසා හිතුනා . .වියලි කාලගුනේට ඕකේ නම් අබුඩාබි වලට හරියටම මැච් වෙනවා. ලබන සැරේ නිවාඩු ගිහින් එද්දි අරන් එන්න ට්‍රයි එකක් දෙනන් ඕන ..

  7. vpokura Says:

    අපේ ගම්පලාතෙත් ඔහොමපැලෑටියක් තියෙනව…ගල් උඩ ගස් උඩ..හැදෙන්නෙ..ඒකට කියන නම නම් දන්නෙ නෑ..අලංකාරයක් නම් නෑ..කිසිමවිදියකින් මරන්න බෑ..පිච්චුවත් ඉතිරි උන කෑල්ලකින් ආයිත් පැලවෙනව. සමහර නගර බද ගෙවල් වල එල්ලගෙන ඉන්නව දැකල තියෙනව..! ඔය පෑලෑටියට වඩා වෙනස්

  8. Dilan Thivanka Says:

    පට්ට ඇ.ස්වබාවික සුන්දරත්වය තමය් හොදම කලාව


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: