දවසක් ඔෆිස් ගිහිං ගෙදර යද්දි… රෑ හතට විතර… මම ඇවිදගෙන යද්දි මට ඇහෙනවා ට්‍රයිෂෝ එකක් මගේ පිටිපස්සෙන් ලා වට වගේ පුටු පුටු ගගා හිමීට එනවා. පස්ස හැරිලා බලන්නත් බයයි. අර හොල්මන් දිහා බලනවා වගේ අත උස්සලා අත යටින් බලන්න කියලයැ වාහනයක් දිහා. දැන් ඉතිං පපුව ඩිග් ඩිග් ගගා මාත් ටිකක් ඉක්මනට ඇවිදගෙන යනවා. පාරේ අනිත් පැත්තට පනින්නත් බෑ අනිත් පැත්තෙන් වාහන යනවා ලඟ ලඟම.
ඔය යන අතරේ හිතෙනවා… මං කාටවත් කරදරයක් කලෙත් නෑ ලඟකදී. වලියක් සෙට් වුනෙත් නෑ. අහක යන කෙල්ලෙක් දිහා බලලා කෑමක් සෙට් කරගත්තෙත් නෑ… එහෙව් එකේ කව්ද මට ගේම දෙන්න වගේ පස්සෙන් එන්නේ කියලා. කියන්න බෑනේ වෙන එකෙක් කියලා මට රැවටිලා එලෝගෙන එනවද දන්නෙත් නෑනේ…! චන්ඩිකම් කියෙව්වට පන බයයි ඉතිං.
කමක් නෑ වෙඩි තියනවනම් තියපුදෙන්… ඒත් පිහි පාරක් ඇන්නොත් තමා කේස් එක. විඳවලා එපැයි මැරෙන්න. වෙඩි පාරක් කෑවා වගේ ආතල් එකේ මැරෙන්න බෑනේ. ඕනේ දෙයක් වෙද්දෙන් කියලා බැලුවා පිටිපස්සේ. හරියටම කෙලින් ට්‍රයිෂෝ එකේ වීදුරුව මැද්දෙන් මගේ පස්සෙන් එන අද්භූත ඩ්‍රැයිවර් දිහා.
මම පස්ස බලනවා දැකපු බුවා මට අතින් කියනවා, ඇඟිලි පහම විදිහවලා අල්ල පෙන්නලා… පොඩ්ඩක් ඉන්නලු. අර “ස්ටොප්“ සයින් එකේ විදියට. මට බැහැලා ඇවිල්ලා නෙලයිද දන්නෙත් නෑ කියලා බයෙන් පාරේ අයිනට වෙලා මම නැවතුනා. මෙන්න බුවා ට්‍රයිෂෝ එක අයිනට කරලා නැවැත්තුවා. ඔලුවේ තිබ්බ කැප් එකත් ගලෝලා සීට් එක උඩින් තියලා පොර එනවා මගේ ගාවට. ඒ අතරෙදි මං බැලුවා තව කව්ද පිටිපස්සේ සීට් එකේ ඉන්නේ කියලා. හ්ම්… පොඩි එවුන් දෙන්නෙකුයි ගැහැණු කෙනෙකුයි… පොර දැන් මගේ ඉස්සරහා… කවදාවත් දැකලා තිබුන කෙනෙක් නෙමේ… මම, ඇයි මගේ පස්සෙන් එන්නේ කියලා අහන්න හදද්දිම…
අනේ මාතියා… කියන්ඩ පින්… පින්වන්ත පොලිසිය කොහෙද කියලා…
මොකක් පින්වන්ත පොලිසිය… පොලිසිය කරොත් කරන්නේ පින්වන්ත වැඩක් වුනාට එහෙම නමක් තියෙන පොලිසියක් මේ ලංකාවේ තියෙනවද මන්දා…. අනික බුවා දෙමළ වෙන්න ඕනේ. මුස්ලිම් වුනානම් ඇතුලේ ඉන්න ගෑණු කෙනා ඔලුව වහගෙන ඉන්න එපැයි. එයා නිකං සිංහල කෙනෙක් වගේ හිටියේ.
පින්වන්ත පොලිසිය කියලා එකක් නෑනේ මේ ලඟ පාත…
අනේ නෑ මාතියා… මේ… මේ… දඩ කොලයක් දුන්නා… ලයිසන් එක පින්වන්ත පොලිසියේ… ඒක ගන්ට ඕනේ අප්පා ඒකයි හොයන්නේ… කියලා මොකද්ද මන්ද කොලයක් මට දික් කලා. ඒ රෑ ලයිට් එලියක්වත් නැතුව ඒක පේනවැයි මට. මූ එන්නේ නම් හොඳකට වෙන්න බෑ. දෙමළ මනුස්සයෝ ගැන තාම ඉතිං සූටි මෙව්වා එකක් හිත් වල තියෙනවනේ…
කොහෙදිද දඩ කොලේ දුන්නේ…?
වාත්තුවට කලින් හරියෙදි….
කොහෙද…?
වාද්තුව… වාද්තුව…. දැන් පවු වුනා අපි එද්දි.
ආහ්… වාද්දුව…..
අම්මට සිරි බුවා මේ කියන පින්වන්ත පොලිසිය තියෙන්නේ වාද්දුවයි පානදුරයි අතර. පින්වන්ත නෙමේ පින්වත්ත.
ඉතිං ඇයි මේ අතුරු පාරක යන්නේ.
නෑ… මාතියා අර මාත්තයෙක්ගෙන් ඇහුවම තමා කිව්වේ මේ පාර තව ටිකක් ගිහිං කාගෙන් හරි ආන්න කියලා.
කව්රු හරි එකෙක් බුවාට ලනුවක් දීලා. රෑ වෙලත් එක්ක. පවු වැඩේ.
ඔයා ආපු පාරෙම හැරිලා ආපස්සට යන්න. ගිහිං වාද්දුව පහුකරලා කිලෝමීටර් දෙකක් විතර ගිහිං කාගෙන් හරි අහන්න. පාර දිගට පොලිසියේ අය ඉන්නවනේ… එයාලාගෙන් අහන්න. එයාලා කියයි… කියලා අර මනුස්සයාව යැව්වා.
මොකා වුනත් කරලා තියෙන්නේ කැත වැඩේ…! හැබැයි පොරත් කරේ කැත වැඩේ. හුම්… පොලිසියකට නිකමටවත් පින්වන්ත කියනවද මං අහන්නේ…! 😉
*පොඩි කතාව *
ඔන්න එකමත් එක ගෙදරක හිටියලු අක්කයි මල්ලියි. දෙන්නම පොඩියි. ඒ ගොල්ලන්ගේ ඩැඩාට තිබුනා පොත් කඩයක්. ඉතිං පොත් කඩේ වැඩ කරන්න කියලා පොඩි කොල්ලෙක්ව ගෙනාවලු. නම සිරිපාල හරි මොකක් හරි කියමුකෝ…
ඔන්න ඉතිං කොලුවා පොත් කඩේ වැඩ කරද්දි අර අක්කයි මල්ලියි මූට නමක් දැම්මා, “පොඩී“ කියලා… දැන් අර ළමයට අක්කයි මල්ලියි කතාකරන්නේ පොඩී කියලා. පොඩී කෑවද..? පොඩී ගෙදර යනවද? අරකයි මේකයි හැම එකම ඉස්සරහට “පොඩී“ කියන නම දැම්මා. ඉතිං ඔහොම යද්දි මොකක් හරි හේතුවක් නිසා පොඩීට ගමේ යන්න වුනා. ඒ කියන්නේ පොත් කඩෙන් අයින් වෙලාම යන්න වුනා.
ඔන්න ඒ පාර අර අක්කගෙයි මල්ලිගෙයි ඩැඩා ගෙනාවා පොඩීට වැඩිය තව ටිකක් පුංචි ළමයෙක්ව. දැන් තමා ප්‍රශ්නේ…. ඒ ළමයට අර අක්කයි මල්ලියි දාපු නම මොකක්ද…? 😀 😀
* තුන කතාව*
හෙට ටිකක් විශේෂ දවසක්… හෙට තමයි මේ මෙව්වා එකට අවුරුදු තුනක් වෙන්නේ. දැන් තියෙනවා පෝසට් පන්සිය විසිනමයක්…! ඒවෑයින් කීයක් වැදගත්ද නැද්ද කියන්න දන්නේ නෑ… එක එක්කෙනාට එක එක විදියයිනේ. ඒක නිසා ඔක්කොම හැම කෙනාටම වැදගත් වෙන්නේ නෑ අනිවාර්යෙන්. ඒ වගේම කමෙන්ට් ගැන නම් ඉතිං වද වෙන්නේ නෑ. ඒක නිසා ගනන් ඕනෙත් නෑ…! මොනවා වුනත් කමෙන්ට් කරන කියවන හැම කෙනෙකුටම ස්තූතියි. හිතට එන සිතුවිලි ගොඩක් එලියට දාන්න මේ බ්ලොග් එක උදව් වුනා සෑහෙන්න. ඉස්සරහටත් ඒක එහෙම්ම වේවි කියලා මං හිතනවා…!