මනුස්සයෙක්…!

.

.

බල්ලොයි මිනිස්සුයි ගත්තම අනාදිමත් කාලෙක ඉඳන් තිබුන යාළුකමේ ප්‍රතිපලයක් විදියටද කොහෙද මිනිස්සුන්ට බලු ගතිගුණත්, බල්ලන්ට මිනිස් ගතිගුණත් ටික ටික මුහු වෙලා. අන්තිමේ බල්ලා කවුද මනුස්සයා කවුද කියලා හොයාගන්න බැරි තරමට ගතිගුණ සමාන වෙලා.

කකුල් දෙකෙන් හිටගෙන ඇවිද්දට වෙලාවකට කකුල් හතරෙන් යන විදිය, තවකෙක්ගේ ඇඟට පැන පැන බුරා ගෙන බුරා ගෙන යෑම, එකෙක්ව තනි කරගෙන හතර පස් දෙනෙක් වට කරගෙන නෙලීම, හැම වෙලාවෙම අනුන් ගැන ඉව කර කර හිඳීම… වගේ ගතිගුණ කවදා කොහොම මනුස්ස ඇඟවල් වලට ආවද කියන්න දන්නේ නැති වුනාට ඒ ඔක්කොම බලු ලක්ෂණ. දැන් දැන් ඉස්මතු වීගෙන ගෙන එන අනිත් බලු ලක්ෂණය තමා, තමාගේ හැඟීම් නවත්ත ගන්න තරම් ශක්තියක් නැති වුනාම පාරේ හෝ, වෙනත් තැනක හෝ ගෑණියෙක්ව බලෙන් හරි  අල්ලගෙන අහවල් කාරිය කිරීමට පෙළඹීම. බල්ලන්ට නම් ඒක ඕනේ වෙන්නේ කාලෙකට වුනාට මිනිස්සුන්ට එහෙම නෙවෙයිනේ…!

හිතන්න මිනිහෙක්ව වාහනේකට හැප්පුනා. වැරැද්ද රියදුරාගේ වුනත්, වාහනේ හැප්පුන කෙනාගේ වුනත්… වාහනේ එලවගෙන යන රියදුරා වාහනේ නවත්තලා ඇවිත් අර හැප්පුන මනුස්සයා ගැන බලනවා හරි අඩුයි. වාහනේ එලවගෙන යන කෙනා බලන්නේ කාටවත් පේන්න කලින් කොහොම හරි මාරු වෙන්න. හැප්පිලා වැටිච්ච කෙනාව රෝහලකට ගෙනියන්න වෙන්නේ ලඟ පාත ඉන්න අයට. කවුරුත් ලඟපාතක හිටියේ නැත්තං හැප්පිලා වැටුන කෙනාම තනියම නැගිටලා රෝහල් ගත වෙන්න ඕනේ… එහෙම නැත්තං එතෙනම ස්වීප් එක සූරලා දිවියලෝකෙද අපායද කියලා තීරණය කරගෙන, වේදනාවල් ඉවසගෙන අවසන් චුති චිත්තය යහපත් කරගන්න ඕනේ. අනික කොහොමත් දැන් නම් කාව හරි අනතුරකට බඳුන් වුනාම ඒ මිනිහාව රෝහල්ගත කරන්න කලින් කරන්නේ ෆොටෝ ගන්න එක නැත්තං ෆෝන් එකෙන් ඒ මනුස්සයාගේ අවසන් හුස්ම ටික වීඩියෝ කරලා ටීවී චැනල් එකකට දෙන්න. එහෙමත් නැත්තං ෆේස් බුක් දාන්න. ඊට පස්සේ තමා රෝහල් ගත කිරීම ගැන හිතන්නේ. ඔය වගේ හෙන නහයෙන් කටෙන් ලේ පෙරාගෙන, අතක් පයක් වෙන් වෙලා ඉන්න… ඒත් පන තියෙන මනුස්සයෙක්ගේ ඉමේජ් එකක් ෂෙයාර් කරාම ලයික් වැටෙනවා හෝ ගාලා… කමෙන්ට් වැටෙනවා හෝ ගාලා. පන පිටින් ඉඳන් හුස්ම අදින ඉමේජ් වලට හැම වෙලේම ෆේස් බුක් එකේ අප්ඩේට්ස් බලාගෙන ඉන්න අයගේ ඩිමාන්ඩ් එක වැඩියි.  වටේ පිටේ උදව්වක් නොකර ෆොටෝ ගගහා බලාගෙන ඉන්න උං නොදන්නවා වුනාට උංගේ පව් අකවුන්ට් එකත්, ඒ අස්සේ  වැඩි වෙනවා හෝ ගාලා.

.

.

අන්න එහෙම හැපුන මනුස්සයාව දාලා පස්සවත් නොබලා යන මිනිසුන් අතර… අපේ ගෙවල් වලට චුට්ටක් එහාට වෙන්න බල්ලෙක්ව හැප්පුනා වාහනේක. ඒක සුලභ දෙයක්. ඒ අතුරු පාරෙන් දුවගෙන එන බල්ලා කෙලින්ම පනින්නේ පාරට. උං දන්නේ නෑනේ අතුරු පාරක ඉඳන් ප්‍රධාන පාරකට දාද්දි ටිකක් කල්පනාකාරී වෙලා ස්ලෝ කරලා වාහනේ දාන්න ඕනේ වග. උං එන වේගෙන්ම පනිනවා. ඉතිං මාසෙකට පාරක් විතර බල්ලෙක් කකුලක් කඩාගන්නවා, එහෙමත් නැත්තං එතෙනම මැරෙනවා. මේ තාක් කාලෙකට ඔය හැප්පිච්ච එක බල්ලෙක් ගැනවත් බලන්න එකම වාහනයක් වත් නවත්තලා නෑ. හැම එකාම කරේ අවාට වැඩිය වේගෙන් මාරුවෙලා ගිය එක. ඒත් ඊයේ බල්ලා කකුල කඩාගෙන ඤෑස් ඤෑස් ගාන කොට බල්ලව හැප්පුන වාහනේ බල්ල ඉන්න තැනට රිවස් කරා. ඒ වෙද්දි බල්ලා ඌ ආපු අතුරු පාරෙම ටිකක් දුරට කකුල් තුනෙන් ගිහිං. පස්සේ වාහනේ ආයෙම යන්න ආපු ගමන ගියා. ඒක මහ ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් ඒ වාහනේ මනුස්සයා කරපු දෙය ලොකු දෙයක්…!

මිනිහෙක්ව හැප්පුනාම දාල යන බල්ලෝ අතර බල්ලෙක් හැප්පුනාම බල්ලට මොකද වුනේ කියලා බලන්න උත්සාහ කරපු ඒ මනුස්සයා හොඳ මනුස්සයෙක් වෙන්න ඕනේ…! –at අනාරක්ෂිත බලු හරස් මගක කතාවක්.

Advertisements

10 Responses to “මනුස්සයෙක්…!”

  1. arunishapiro Says:

    බල්ලන්ට සෙනෙහස දක්වන අය අතරත් පිළිගන්නෙ නැති, අනික් බොහෝ තැන් වල දී වගේ ම දොම්නසට හේතුවන, වැදගත් කාරණයක් තියෙනවා. ඒක තමයි පුද්ගල දේපල අයිතිය වැදගත් ඇයි කියලා දන්නෙ නැති එක. බල්ලා යනු පුරාතනයේ දී වගේ කිසිවෙකුටත් අයිතියක් නැතිව ජීවත්වෙන්න හැකි සතෙක් නොවේ. අද සුරතල් සුනඛයාට දියුණු වෛද්‍ය දැනුමෙන් යහපත් සොඛ්‍යයෙන් දීර්ඝ කාලීන සතුටු ජීවිත ගත කරන්න පුළුවන්. ඒත් නන්නත්තාරේ යන බල්ලන්ට ඉඩදීම අනුකම්පාව යැයි වරදවා වටහා ගත් මිනිස්සු අසරණ බල්ලාව මැක්කො කන හැටි දකින්නෙ නැහැ, හදවත නවතින්නෙ පනුවෝ නිසා බව දකින්නෙ නැහැ, පැටව් ගහන්නෙ තෝරා ගැනීමක් නොවන නිසා බව දන්නෙ නැහැ.

  2. සමනළී Says:

    එහෙමවත් බලපු එක ලොකු දෙයක් තමයි….

  3. DDT Says:

    මිනිස්සු යාන්ත්‍රික වෙලා බං. මිනිස්සුන්ගෙ මිනිස් හැඟීම් එන්න එන්නම අඩුවෙනවා. අනාගතේදි අමුතුවෙන් රොබෝල හදන්න ඕන වෙනකක් නෑ, මිනිස්සුම ඒ තත්ත්වෙටත් පත්වේවි.

    මේවට හුඟක් හේතු තියෙනව වෙන්න ඕන බං. බල්ලෙක් බළලෙක් මැරුණත් වට වෙල දුක් උනු මිනිස්සු හිටපු රටක් මේක. ඒත් හන්දිගානෙ මිනිස්සු මරල දාපු යුගයක්, බෝම්බවලින් එකතැන 50-60 ක් 100-200 ක් මැරුණු යුගයක්, හැමදාම මේ පැත්තෙ මෙච්චර මැරිල අරහෙ අච්චර මැරිලා ගනන් බලපු යුගයක් අපි පහුකරා. දැන් අතුරුදන්වීම් නාදුනන මළසිරුරු අතන මෙතන. මරණය සුලභ වෙලා. තව අනතුරක් උනාම වාහනයක් නැවැත්තුවොත් වටේ පිටේ ඉන්න මිනිස්සු එකතුවෙල වාහනේ ඩ්‍රයිවර්ව නොමර මරණවා, වාහනේ ගිනි තියනව. අනේමන්ද …. ‘බල්ලො මරල හරි සල්ලි‘ ආදර්ශ පාඨය වෙච්ච සමාජයක මේව ගැන කතාකරන එකේ තේරුමක් තියෙනවද කියලවත් මට තේරෙන්නෙ නැහැ බං.

  4. henryblogwalker Says:

    ඒක සරළ හේතුවක්. ඔහොම වෙන්නේ අපේ සමාජයේ තියෙන හොඳකම නිසා. තමන් හප්පපු මිනිහෙක් තියා, පාරෙ වැටිලා ඉන්න මනුස්සයෙක්ට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න නවත්තන එකාටත් වෙන්නේ මැරුම් කන්න.

    • Gold fish Says:

      ඔව් මුහුද කිට්ටුව පාරවල් වලදී වාහනයක් හුලං බැස්සත් ඩ්‍රැයිවර් වාහනේ තියලා මාරු වෙනවලු.

  5. X-porter Says:

    අවුරුදු තිහක් යුධ මානසිකත්වයෙන් හිටපු අපිට බල්ලොමොක්කුද ගෝල් පිසෝ…. අපි මිනී දාස් ගනං දැක්කෙ… එහේ නහුතෙට මැරෙනකොට මෙහේ හුරේ දැම්මෙ… මේහේ නහුතෙට මැරෙනකොට එහේ හුරේ දැම්මෙ…. මිනී මරන්න පිරිත් නූල් බෝධිපූජා සෙත් ශාන්ති කොලේ…… ඒ මිනී නැතුව අපි කොච්චර සාංකාවෙන්ද ඉන්නෙ.. අපේ මාද්දිය ඒකනෙ අපේ සාංකාව නැතිකරන්න පිස්සු බල්ලො වගේ මිනී හොය හොය පෙන්නන්නෙ…. එහෙවු එකේ බල්ලොත් මොක්කුද බං….
    අරුනිශපිරො කිවුව වගේ දඩාවතේ යන බල්ලොනං විශාල ප්‍රශ්නයක්. දඩාවතේ යන බල්ලොන්ට කන්න ටිකක් විසි කරල පවූ කියන එක අනුකම්පාව නෙමෙයි සෝබනේ. එච්චර අනුකම්පාවක් තියෙනවනං කරන්න ඕනෙ උන්ව ගෙදර අරං ගිහිං බෙහෙත් විදල නාවල කරල තියාගන්න එක….මගේ නං අදහස දඩාවතේ යන බල්ලො නැතිකරලම දාන්න ඕනේ…. (පොඩි කාලෙ ඉඳලම මගේ හොඳම මිත්‍රය මම පන වගේ ආදරේ කරන මගෙ බල්ල)

    • Gold fish Says:

      බල්ලන්ව හුරතල් කරලා ගෙවල් වලට ගෙන්න ගන්න උං තමා ඒවට වගකියන්න ඕනේ. පොඩි පැටියා කාලේ හුරතලේට කෑම දෙනවා. අන්තිමේ ලොකු වෙනකොට එකෙක්වත් නෑ හොයන්න බලන්න.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: