රත්තරං වල බලේ…

නිමක් නැති ​තේරිල්ල

නිමක් නැති ​තේරිල්ල

මේ ටිකේ රත්තරං වල මිල බැහැගෙන බැහැගෙන යනවනේ… මිල අඩුවුනාම ගොඩ දෙනෙක් රත්තරං අරගෙන තියාගන්නවා, මිල වැඩිවුනාම විකුණන‍්න හරි උකස් කරන්න හරි කියලා හිතාගෙන. රත්තරං වලට වැඩියෙන්ම ආසා කරනවා කියන්නේ මකරු. ඒ වගේම හොඳ විදුලි සන්නායකයක්. බොහොම මෘදු ලෝහයක්.  ඔය රත්තරං වල ගාන අඩු වුවත් නැතත් ගෑණු ළමයින්ටත්, මකරුන්ට වගේ රත්තරං හොඳටම වටිනවා. සමහරවිට තමන් සන්තක වටිනාම දේවලටත් වැඩියෙන්… ගෑණු ළමයින්ට රත්තරං වලට තියෙන්නේ නොසංසි‍ඳෙන ආශාවක්… ඒකෙන් පිරිමි පක්ෂයට හැම වෙලේම නැතත් හිටපු ගමන් හරි ලොකු ලොකු වාසි වෙනවා. අන්න ඒ වගේ කතාවක් තමා මේ… ගෑණූ ළමයින්ගේ හා මකරුන්ගේ කටවල් වල හැසිරීම සමාන බව ඇත්ත. නමුත් මං මේ කතාවෙන් ගෑණු ළමයින්ව මකරුන්ට සමාන කරන්න කිසිම විදියකින් උත්සාහයක් දරන්නේ නෑ.

ඔන්න එකමත් එක රටක බොහොම හොඳ ප්‍රේමවන්තයෙක් වගේ රඟපාපු කොල්ලෙක්ව කෙල්ලට මාට්ටු වුනාලු වෙන කෙල්ලෙක් එක්ක ඉද්දි. හ්ම්… කමක් නෑ පළවෙනි අවස්ථාවනේ කියලා කෙල්ල ඒක අමතක කරාලු. අම්මට සිරි මෙන්න ඒ සීන් එකේ රස්නේ මැකී ගෙන යද්දිම ආයෙම මූව මාට්ටුලු වෙන කෙල්ලෙක් එක්ක ඉද්දි…! දැන් ඉතිං කෙල්ලට මේක නවත්තලා දාන්න හිතිලා, කොල්ලාගෙන් ගේම ඉල්ලනවලු.

ඇයි ඔයාට මං ඉද්දි ඔයා වෙන කෙල්ලෝ එක්ක ඉන්නෙ?

මම එහෙම ඉන්නේ ඔයාව රැජිනක් කරන්නනේ…

ඔයා වෙන එවුන් එක්ක ඉද්දං මං කොහොමද රැජිනක් වෙන්නේ… මං ඔයාට රැවටුනා…

Queen

Queen

පිස්සුද ළමයෝ… මං වෙන එවුන් එක්ක හිටියට ඔයත් එක්කනේ වැඩි හරියක් ඉන්නේ.. නේද..?

වැඩි හරියක් හිටියට ඔයා වෙන එවුන් එක්කත් ඉන්නවනේ.

ඔව් ඉතිං ඉන්නව තමා. එහෙම නැතුව බෑනේ රජෙක් වුනාම…

රජෙක්…? කවුද… ඔයා..?

ඔව්… මං අන්තඃපුරයක් තියාගෙන රජෙක් වුනාමනේ ඔයාව මට අග රැජින කරගන්න පුළුවන්… ඊ… මෙයාට ඒකවත් තේරෙ‍න්නේ නෑනේ… ඔයා ආසා නැද්ද මං රජෙක් වගේ ඉන්නවට…? එතකොට මට පුළුවන්නේ ඔයාව රත්තරං වලින් නාවලා, ලස්සනන මැණික් ගලක් අල්ලපු ඔටුන්නක් පළන්දලා හැඩ බල බල ඉන්න… කියන්න ඔයා ආසා නැද්ද එහෙම සුර සැප විඳගෙන ඉන්න රැජිනක් වෙන්න…?

දැන් ඔන්න වෙන්ඩ රැජින සෑහෙන හිතනවලු තමාට මේ ඇදෙන්න යන ස්වීප් එක ගැන. එහෙම හිතන අතරේ තමන්ව රැජිනක් කරන්න හදන කුමාරයාට තව තවත් ඒ වැඩ පිළිවෙලට උදවු වෙන්න ඕනේ කියලා හිතාගෙන…

ම්… ඔව්… නේද… මේඃ ඒක නෙමේ… මගේ යාළුවෙකුත් ඇහුවා ඔයා ගැන. ඔයා ඕනෙනම් එයා එක්කත් යාළු වෙන්න. ඇත්තටම මං දන්නේ නෑනේ රජෙකුගේ අන්තඃපුරේට බිසෝවරු කීයක් ඕනෙද කියලා? තව මදිනම් මට කියන්න මගේ යාළුවෝ ඉන්නව තාම කොල්ලෝ නැතුව…!

ඔයා එයාලටත් රත්තරං මාල, මුදු පළඳවනවද..?

පිස්සුද… ඒ දේවල් හිමි වෙන්නේ අග රැජිනට විතරයිනේ. අනිත් අය පරිවාර අයනේ. එයාලට එහෙම ලොකු සම්පත් ලැබෙන්නේ නෑ….! මට පේන්නේ ඔය දැන් කැමතියි වගේ රැජිනක් වෙන්න…?

ම්…. මං කැමතියි මගේ කුමාරයා ඉක්මනට රජ වෙනවා දකින්න…! එතකොට මමනේ අග බිසව…! –at රත්තරං එල්ලුවට කෙල්ලෝ රාජ කුමාරියෝ වෙන්නේ නැති බව ගෑණු ළමයි දන්නේ නෑනේ…

 

සහෝදරයින් මළතැන්න

ඔන්න එක ළමයෙක් සිරීපාදේ ගිහිං ආවලු, අම්මලා තාත්තලා එක්ක පුංචි දවස් වල. බුවා පයින් ගියාට වැඩිය ගියේ එක එක්කෙනාගේ කරපිටින්. මෑන් ඒ දවස් වල පුංචියිනේ. පුංචියි කියන්නේ ඉක්කෝලේ හතර වසරේ විතර වුනාට ඇඟෙන් පුංචියි. ඉතිං කකුල් දෙක රිදෙයි කියලා හිතලා හැමෝම මූව වඩාගෙන යනවලු. ඒ දවස් වල එච්චර සෙනගක් නැති වුනත් කිලෝ මීටර් දහයක් විතර කඳු නැගගෙන යනකොට කට්ටියටම හොඳටම හති.

දැන් ඔය සිරීපාදේ යද්දි, මගදී හමුවෙනවනේ එක එක ප්‍රබන්ධ එක්ක සම්බන්ධකම් තියෙන අමුතු නම් තියෙන තැන්. ලිහිණි අක්කා පොඩි පහලට පැනලා දිවි නසාගත්ත තැන “ලිහිණි හෙල“ , එතකොට ඊට එහායින් තියෙන ගජමන් නෝන හදවපු “නෝනගේ අම්බලම“…   ධර්මරාජ ගල, හැරමිටි ආධාරයෙන් ඉහළට නගින්න පහසු “හැරමිටි පාන“, ආඬි මනුස්සයෙක් මැරිච්චි තැනිතලා පෙදෙස “ආඬියා මළ තැන්න“, ඇහැළ කණුව වගේ ස්ථාන. ඉතිං මූත් එක එක්කෙනාගේ පිටේ යන ගමන් හිතට ගත්තලු “මාත් ගෙදර ගිහිං අපේ ගෙදර අමරණීය ස්ථාන සිහිවෙන්න මේ වගේ නම් දානවා“ කියලා.

.

.

පස්සේ ඔන්න සිරීපාදේ කරුණා කරලා ඉවරවෙලා කට්ටිය ගෙදර ගිහිං දවසක් දෙකක් කකුල් තව තව ඉන්න අතරේ මූ කාමරේට වැදී ගෙන පොතක් පෙරළගෙන ගෙයි ප්ලෑන් එකක් අඳිනවලු රූලක් තිය තිය. ඒ දවස්වල හතර වසරේ එකෙකුට මොන එහෙකටද ප්ලෑන්…? පස්සේ මුගේ අම්මා ඇහැව්වලු මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. කියන්න බෑනේ මූ හතර වසරේ වුනාට සිරීපාදේ ගිහිං ඇවිත් මොලේ පෙඟිලා මොන මගුලක් කරන්න හදවනද කියලා…

අම්මා ඉන්නකෝ… මං  නිකං ඇන්දේ… කියාලා මූ කොහොම හරි ශේප් වුනාලු. ඒත් ඌට ඒක ඇඳගන්න සෑහෙන කාලයක් ගත වෙච්චි නිසා දාන්න හිටිය නම් එහෙම අමතක වුනාලු. කොහොම හරි දහය වසරෙදි දවසක් පොත් අස්කරද්දි ආයෙම මූට හම්බුවෙනවා සූටි කාලේ ඇඳපු ප්ලෑන් එක. ඒ වගේම කරන්න හිටිය වැඩෙත් මතක් වෙනව. ආයේ ඉතිං දැන් පහු බහින්නේ මොකටද කියලා මෙන්න පොර පටන් ගන්නවා ගෙයි තියෙන අති විශේෂ ස්ථාන වලට නම් දාන්න.

කුස්සියේ තියෙන වැඩකට නැති, ගැරඬි ඇදෙන සිදුර – ගැරඬි ගුල

තාත්තා ඒ දවස් වල තඩි පත්තෑයෙක් ඉඳලා, ඌව සෙත්තපෝච්චි කරපු ගල් පොත්ත – පත්තෑ ගල

නැටි දෙකේ හූනා ඉන්න බිත්තියෙ හිල – දෙනැටි හූන් ලෙන

ඔහොම නම් කර ගෙන කර ගෙන ගිහිං අන්තිමේ ඇඳ පුටු  වලට පවා විශේෂිත නම් දානවලු. දැන් බුවාගේ සිතියම බැලු බැල්මට පුරාණ නගරයක සැඟවිච්ච සිතියමක් වගේලු. අන්තිමේ ස්ථාන කීපයක් ගැන ගැටලු සහගත තැන් මතු වුනාලු.

අනාගත නිම්නය

අනාගත නිම්නය

බුවාගේ ප්‍රියතම ස්ථානය වන ඇඳට, පජාත නමක් දාන්න බෑනේ. වෙන තරමක් මෙව්වා එතෙන වෙනවා තමයි… ඒත් ඉතිං වාසය කරන ඇඳනේ… ඉතිං බුවා හිතලා හිතලා… හොඳට හිතලා දැම්මලු නමක්… “අනාගත නිම්නය“ කියලා බුවාගේ ඇඳට. 😉

පස්සේ ඔන්න අම්මාලගේ ඇඳට නමක් දාන්න ඕනේලු. ඒක නම් ඉතිං අප්සට් වුනාට කමක් නෑනේ කියලා හිතලා.. ඒකට දැම්මලු නම “සහෝදරයින් මළතැන්න“ කියලා. 😀

අන්තිමට බුවාගේ අක්කගේ මුලු කාමරේටම නම දැම්මලු “අකුණු ගැටෙන තැන“ කියලා. -at හරියටම හරියන නම් ටික…

නොනැසෙන සරල බව…

සරලත්වය ගැන කතාකරනවා කියන්නේ ආපසු අතීතයට යෑමක්වත්, එහෙමත් නැත්තං දියුණු වෙන ලෝකේ අතෑරලා අයෙම වල් වැදීමට තැත් කිරීමක් වත් නෙවෙයි. සරල බව ගැන අපිට හැම පැත්තකින්ම හිතන්න පුළුවන් වුනත් ඒ සෑම සිතුවිල්ලකම අන්තිම ලක්ෂය වෙන්නේ සොබාදහම. අපිට තියෙන හැම අවශ්‍යතාවයක්ම සපුරන්න පුළුවන් අවසාන, සරලම ස්ථානය වෙන්නේ සොබාදහම. ඒක නිසාම සරල බව සොබාදහමත් එක්කම ඇදී යනවා….! ඒක නිසාම ඒ සරල බව නිරෝගී ඇඟකට දැනෙනවා වැඩියි.

තාක්ෂණයේ ආරම්භය

තාක්ෂණයේ ආරම්භය

කෙනෙක් සරල බව විඳින්න කැමතියි කියලා ටික දවසකට කැලෑකට යනවා කිව්වම උජාරුකාර මිනිස්සු හිතන්නේ, ඌ පිස්සෙක් කියලා. කෙනෙක්ට ඒක පිස්සුවක් වෙන්න පුළුවන් වුනත්, තවත් කෙනෙක්ට ඒ හැඟීම් සියුම් සතුටක එක පුංචි කෑල්ලක් විතරයි. ජීවිතේට නැතිවම බැරි විදුලිය, විදුලි ආලෝකය වෙනුවට දුම් ගහන පහනක්, පන්දමක්… ගිනි ගොඩක් ලඟ මොහොතකට හරි ඉන්න හිතනවා කියන්නේ, අපිට පරිණාමය දුන්න ආදි මිනිසුන් වින්ද දේ ගැන දැනගන්න හදනවා වගේ දෙයක්. රයිස් කුකර් එකේ විනාඩි දහයෙන් බත් උයාගෙන පිඟන් වලට බෙදාගන කන අපි කැලේකට ගිහිං වල් අලයක් පුච්ච ගෙන කාලා මොහොතක් හරි ඉන්න හිතනවා කියන්නේ අපිත් වැද්දෝ වෙනවා කියන එකම නෙමෙයි. ඒක හරියට අපිට ටිකෙන් ටික දියුණු වෙන්න, තමන්ගේ කුතුහලය, කම්මැලිකම වගේ හැම දේකින්ම ඉදිරි පරම්පරාවන්ට අළුත් තාක්ෂණයක් දුන්න අතීත කැලෑ වාසීන්ට කරන උපහාරයක් වගේ.

මිනිසුන් අද ඉන්න තත්වයට පත්වෙලා තියෙන්නේ කවදා හරි දවසක මිනිසුන් ගින්දර, රෝදය, ආයුධ වගේ දේවල් සොයා ගත්තා නිසා හෝ ඒ දේවල් වලින් අපේ වැඩ පහසු කරගන්න පුළුවන් කියලා ඒවා සාමාන්‍ය ජීවිතයට එකතු කර ගත්තු නිසා. ඒ දේවල් සොයාගැනීම හෝ නිපදවීමක් ගැන සීතීම කෙසේ වෙතත් ඒ දේවල් සොබාදහමේ යෙදෙන අයුරු අධ්‍යයනයෙන්ම තමන්ගේ එදිනෙදා ජීවිතයට එක්කර ගත්තා යැයි සීතීම නම් සාර්ථක අනුමානයක් වෙනුඇති.

අතීත දේවල් වලින් පිටිපස්සේ තිබුන ජීවිත කොහොම ගත වෙන්න ඇත්ද කියලා හොයන මිනිස්සු කොට්ඨාසයක්, ලෝකේ තියෙන පුරාණ ජනාවාස යැයි සිතිය හැකි තැන් මීටර් සිය ගනන් යටට හාරගෙන හොයන්නේ ඒ ඔවුන්ට පිස්සු නිසා නෙවෙයි. ඉස්සර ජීවිත කොහොම වෙන්න ඇතිද කියලා දැනගන්න තියෙන කැමැත්තට. අතීත සරල බව විඳීන්න, ඉගෙන ගන්න කැමැත්තට… කවදාවත් ඔවුන් ඒ අතීතයට නොගියත් දහසකුත් දේ ඔවුන් ඒ තුලින් ඉගෙන ගන්නවා හැම මොහොතකම. අපිට දැන් ලැබිලා තියෙන තාක්ෂණයේ ආරම්භය කොහේද කියලා පියවරෙන් පියවර පොළොව හාරගෙන යන ඔවුන්ටත් අන්තිමේ හමු වෙන්නේ සොබාදහමේ තියෙන අපූරු සරල බවම විය හැක.

"රෝදය" ට ලැබුනු පළමු ආදර්ශනය

“රෝදය” ට ලැබුනු පළමු ආදර්ශනය

ලංකාවේ සරල බවක් ගැන කියනවනම්… ඒ ගැන දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය අතීතය ගැන ලියවෙච්ච පොත්. එහි ඇති දේ කතුවරුන්ගේ හැකියාව මත උද්දීපයන වූවක්ද එසේත් නැත්තං සත්‍ය වශයෙන්ම සමාජයේ තිබුන තත්වයද යන්න තේරුම් ගැනීමට අපහසු වුනත් දැන් තියෙන අවිවේකී ගතියක් නොමැති බව විතරක් හොඳින්ම පෙන්නුම් කෙරෙනවා. සංකීර්ණ අවශයතා නොමැති නිසා ඔවුන් ගත කලේ යම් තරමකින් කලබලකාරීත්වයෙන් තොර එහෙත් ක්‍රියාශිලී ජීවිතයක් විය හැක. දැන් පවතින ඩිජිටල් දත්ත මතම පදනම් වූ අති සංකීර්ණ සමාජයක මෙවන් සරල බවක් ගැන කතා කරන්නන් පිස්සන් යැයි සිතීම ඒක අතකට සාධාරණය. එක අතකට පමණක් දිවිය හැකි මාර්ගයක, තරඟයට දුවන හරක් රැලක, හරකෙක් මග නැවතී තමන් පසුකර ආ මග දෙසත්, ඊට එපිටින් වූ පිදුරු ගොඩ දෙසත් බලා සිටීම… එවන් පිස්සෙකුට සමාන කල හැක.

ඉදිරියේ බිහිවන හා දැනට බිහිවූ සෑම සංකීර්ණ දෙයක්ම අනිත්‍ය වුවද එම සංකීර්ණත්වයේ ආරම්භක සරල අවස්ථාව කිසිම විටෙක අනිත්‍ය නොවනු ඇත. සංකීර්ණ සෑම දෙයක්ම ඉතාමත් කල්පැවැත්මෙන් අඩු වුවද, විනාශ කල හැකි වුවද… නැවතත් පුංචිම සරල ස්ථානයෙන්ම එම සංකීර්ණත්වය කෙමෙන් වැඩී වර්ධනය වනුඇත. එනම් සියළුම සංකීර්ණ දේවල උප්පත්තිය එකම සරල ස්ථානයකින් ආරම්භ වනු ඇත.

අතීතයේ සිට මේ වන තෙක්ම නොදියුණු ජය කොට්ඨාස නොනැසී පැවත එන්නේද යම් අවශ්‍ය අවස්ථාවක නැවත ආරම්භයක් දීමටම විය හැක…!

නැෂනල් ජියෝග්‍රැෆි හා තවත් සඟරා කීපයක් සමග මගේ අදහස්…!

තිලක්ගේ තොරණ…

තිලක් කියන්නේ අපේ ඔෆිස් එකේ ටෙක්නීෂියන්. වැඩ මකබාස්ගේ වගේ වුනාට මිනිහා තමා ඉලෙක්ට්‍රික් බාස්. එක පාරක් කැමරාවක් ඔලුවෙන් අතට මිනිස්සුන්ව පේන විදියට සෙට් කලෙත් පොරම තමා.

planning

planning

ඉතිං, තිලක්ගේ තියෙනවා පොඩි පොඩි සයිඩ් බිස්නස්, අපේ ඔෆිස් එකේ වැඩ වලට අමතරව. එයින් වැඩි දෙනෙක් දන්න එක තමා ගෙවල් වයරින් කිරිල්ල. දන්න තරමින් තාම නම් ගෙයක් වැරදියට වයරින් කරලා කෑමක් සෙට් කරගෙන නෑ. ඒත් ඉතිං කතාවට කියන්නේ තිලක් මොන ලයිට් එකක් දැම්මත් ඒක ටියුබ් ලයිට් එකක් කියලා. ස්විච් එක දැම්මම ලයිට් එක ටිකක් වෙලා ගැහිලා තමා පූර්ණ එලියෙන් පත්තු වෙන්නෙ. හේතුවක් කියන්න තිලක්වත් දන්නෙ නෑ. අනිත් දේ තමා මිනිහා පැය බාගේ වැඩේට වුනත් දවස් දෙකක් විතර ප්ලෑන් කරන එක. ක්ෂණික විසඳුම් නෑ. හදිසියේ හරි වයර් ෂෝට් එකක් වුනොත් මේන් බ්‍රේකර් එකෙන් ඕෆ් කරනවා මුළු ඔෆිස් එකේ කරන්ට් එක. ඊට පස්සේ ඉතිං අළුත් වැඩියාවට කලින් පැය පහක් හයක් කල්පනා කරනවා. ඕන්න ඊට පස්සේ ගෙදර යන්න කිට්ටු වෙලා තමා අළුත් වැඩියාව කරන්නේ.

පහුගිය පොසොන් පෝයට තිලක් ඉල්ලුම් කලා ලොකු නිවාඩුවක්. දවස් හතරක. පෝය දවස් සහ සෙනසුරාදා, ඉරිදා දවස් අතෑරලා දවස් හතරක් කියන්නේ, කසාද බැඳලා හනිමුන් යන්න වගේ ඉල්ලන නිවාඩුවක්. තිලක් බැඳපු මනුස්සයා නිසා ඉතිං බොස්ට පුදුමයිලු ඇයි මේ යකා මෙච්චර දිග නිවාඩුවක් ඉල්ලන්නේ කියලා. පස්සේ නිවාඩුව අනුමත කරන්න කලින් තිලක්ගෙන් මේ ගැන අහලා.

සර්… මේ පොසොන් එකට අපි අනුරාධාපුරේ යනවා. ඒකයි සර්… කියලා තිලක් කියලා.

ලොක්කත්… හ්ම්… හ්ම්… කියලා නිවාඩුව දීලා.

පස්සේ ඔන්න සති අන්ත නිවාඩුව ඉවරවෙලා එහෙම ලොක්කා තිලක්ව හොයනවා, මිනිහා අනුරාධපුරේ ගියා කියලා අමතක වෙලා.

ප්‍රදීප් කියන්නේ අපේ ලියුම් කියුම් භාරව ඉන්න කෙනා. ප්‍රදීප් ගෙන් ලොක්කා අහනවලු.

ප්‍රදීප්, කෝ අයිසේ මේ තිලක්…?

ඇයි සර්… තිලක් අනුරාධපුරේ ගියානේ තොරණක් ගහන්න.

ඈහ්… මිනිහා එහෙත් දැන් තොරන් ගහනවද…?

ඇයි සර්…?

නෑ අයිසේ මේ බලනවා… මේ ඔෆිස් එකෙත් මිනිහා දාපු ලයිට් කීයක් නම් නිවී නිවී පත්තු වෙනවද කියලා…! –at අපිට නම් හැමදාම තොරන් තියෙනවා තිලක් නිසා…

මනුස්සයෙක්…!

.

.

බල්ලොයි මිනිස්සුයි ගත්තම අනාදිමත් කාලෙක ඉඳන් තිබුන යාළුකමේ ප්‍රතිපලයක් විදියටද කොහෙද මිනිස්සුන්ට බලු ගතිගුණත්, බල්ලන්ට මිනිස් ගතිගුණත් ටික ටික මුහු වෙලා. අන්තිමේ බල්ලා කවුද මනුස්සයා කවුද කියලා හොයාගන්න බැරි තරමට ගතිගුණ සමාන වෙලා.

කකුල් දෙකෙන් හිටගෙන ඇවිද්දට වෙලාවකට කකුල් හතරෙන් යන විදිය, තවකෙක්ගේ ඇඟට පැන පැන බුරා ගෙන බුරා ගෙන යෑම, එකෙක්ව තනි කරගෙන හතර පස් දෙනෙක් වට කරගෙන නෙලීම, හැම වෙලාවෙම අනුන් ගැන ඉව කර කර හිඳීම… වගේ ගතිගුණ කවදා කොහොම මනුස්ස ඇඟවල් වලට ආවද කියන්න දන්නේ නැති වුනාට ඒ ඔක්කොම බලු ලක්ෂණ. දැන් දැන් ඉස්මතු වීගෙන ගෙන එන අනිත් බලු ලක්ෂණය තමා, තමාගේ හැඟීම් නවත්ත ගන්න තරම් ශක්තියක් නැති වුනාම පාරේ හෝ, වෙනත් තැනක හෝ ගෑණියෙක්ව බලෙන් හරි  අල්ලගෙන අහවල් කාරිය කිරීමට පෙළඹීම. බල්ලන්ට නම් ඒක ඕනේ වෙන්නේ කාලෙකට වුනාට මිනිස්සුන්ට එහෙම නෙවෙයිනේ…!

හිතන්න මිනිහෙක්ව වාහනේකට හැප්පුනා. වැරැද්ද රියදුරාගේ වුනත්, වාහනේ හැප්පුන කෙනාගේ වුනත්… වාහනේ එලවගෙන යන රියදුරා වාහනේ නවත්තලා ඇවිත් අර හැප්පුන මනුස්සයා ගැන බලනවා හරි අඩුයි. වාහනේ එලවගෙන යන කෙනා බලන්නේ කාටවත් පේන්න කලින් කොහොම හරි මාරු වෙන්න. හැප්පිලා වැටිච්ච කෙනාව රෝහලකට ගෙනියන්න වෙන්නේ ලඟ පාත ඉන්න අයට. කවුරුත් ලඟපාතක හිටියේ නැත්තං හැප්පිලා වැටුන කෙනාම තනියම නැගිටලා රෝහල් ගත වෙන්න ඕනේ… එහෙම නැත්තං එතෙනම ස්වීප් එක සූරලා දිවියලෝකෙද අපායද කියලා තීරණය කරගෙන, වේදනාවල් ඉවසගෙන අවසන් චුති චිත්තය යහපත් කරගන්න ඕනේ. අනික කොහොමත් දැන් නම් කාව හරි අනතුරකට බඳුන් වුනාම ඒ මිනිහාව රෝහල්ගත කරන්න කලින් කරන්නේ ෆොටෝ ගන්න එක නැත්තං ෆෝන් එකෙන් ඒ මනුස්සයාගේ අවසන් හුස්ම ටික වීඩියෝ කරලා ටීවී චැනල් එකකට දෙන්න. එහෙමත් නැත්තං ෆේස් බුක් දාන්න. ඊට පස්සේ තමා රෝහල් ගත කිරීම ගැන හිතන්නේ. ඔය වගේ හෙන නහයෙන් කටෙන් ලේ පෙරාගෙන, අතක් පයක් වෙන් වෙලා ඉන්න… ඒත් පන තියෙන මනුස්සයෙක්ගේ ඉමේජ් එකක් ෂෙයාර් කරාම ලයික් වැටෙනවා හෝ ගාලා… කමෙන්ට් වැටෙනවා හෝ ගාලා. පන පිටින් ඉඳන් හුස්ම අදින ඉමේජ් වලට හැම වෙලේම ෆේස් බුක් එකේ අප්ඩේට්ස් බලාගෙන ඉන්න අයගේ ඩිමාන්ඩ් එක වැඩියි.  වටේ පිටේ උදව්වක් නොකර ෆොටෝ ගගහා බලාගෙන ඉන්න උං නොදන්නවා වුනාට උංගේ පව් අකවුන්ට් එකත්, ඒ අස්සේ  වැඩි වෙනවා හෝ ගාලා.

.

.

අන්න එහෙම හැපුන මනුස්සයාව දාලා පස්සවත් නොබලා යන මිනිසුන් අතර… අපේ ගෙවල් වලට චුට්ටක් එහාට වෙන්න බල්ලෙක්ව හැප්පුනා වාහනේක. ඒක සුලභ දෙයක්. ඒ අතුරු පාරෙන් දුවගෙන එන බල්ලා කෙලින්ම පනින්නේ පාරට. උං දන්නේ නෑනේ අතුරු පාරක ඉඳන් ප්‍රධාන පාරකට දාද්දි ටිකක් කල්පනාකාරී වෙලා ස්ලෝ කරලා වාහනේ දාන්න ඕනේ වග. උං එන වේගෙන්ම පනිනවා. ඉතිං මාසෙකට පාරක් විතර බල්ලෙක් කකුලක් කඩාගන්නවා, එහෙමත් නැත්තං එතෙනම මැරෙනවා. මේ තාක් කාලෙකට ඔය හැප්පිච්ච එක බල්ලෙක් ගැනවත් බලන්න එකම වාහනයක් වත් නවත්තලා නෑ. හැම එකාම කරේ අවාට වැඩිය වේගෙන් මාරුවෙලා ගිය එක. ඒත් ඊයේ බල්ලා කකුල කඩාගෙන ඤෑස් ඤෑස් ගාන කොට බල්ලව හැප්පුන වාහනේ බල්ල ඉන්න තැනට රිවස් කරා. ඒ වෙද්දි බල්ලා ඌ ආපු අතුරු පාරෙම ටිකක් දුරට කකුල් තුනෙන් ගිහිං. පස්සේ වාහනේ ආයෙම යන්න ආපු ගමන ගියා. ඒක මහ ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් ඒ වාහනේ මනුස්සයා කරපු දෙය ලොකු දෙයක්…!

මිනිහෙක්ව හැප්පුනාම දාල යන බල්ලෝ අතර බල්ලෙක් හැප්පුනාම බල්ලට මොකද වුනේ කියලා බලන්න උත්සාහ කරපු ඒ මනුස්සයා හොඳ මනුස්සයෙක් වෙන්න ඕනේ…! –at අනාරක්ෂිත බලු හරස් මගක කතාවක්.

%d bloggers like this: