කොල්ලෝ දෙන්නෙක්ගේ එකම ලව් එක…

love letter

love letter

මේ සීන් එක වුනේ අපි උසස් පෙළට ක්ලාස් යන දවස් වල. ඔය දවස් වලම තමා මගේ 320 gsm පෙම් හසුන අම්මට මාට්ටු වුනෙත්. අපිත් එක්ක එකට ඉඳිය යාළුවෙක්ගේ හිත ගියා අළුත්ගම පැත්තේ ගෑණූ ළමයෙකුට. එයාව අපි දකින්නේ ක්ලාස් එකේ ඉන්න පැය දෙකේ තුනේදි විතරයි. කෙල්ල ලස්සනයි, සුදුයි, සෝස පාටයි.  මූ ඒ පැය දෙක තුන එනකං හැම  සතියෙම ඇඟිලි ගැන ගැන තමා බලාගෙන ඉන්නේ. ස්කෝලෙදි, මග තොටේදි හැම තැනකම බුවාගේ මාතෘකාවත් ඒ ගෑණු ළමයා…!

දැන් ඉතිං ගෑණූ ළමයාගේ විස්තර හොයන්න එපැයි. ඒක නිසා කොහොම හරි අළුත්ගම පැත්තේ යාළුවෝ ටිකකුත් සෙට් කර ගත්තා. දැන් ඉතිං විස්තර අහගෙන යනකොට අපේ වයසෙම ආර්ට් කරන කොල්ලෙකුත් මේ ගෑණූ ළමයට පැනිය දානවලු. ඒත් කවුද කියන්න දන්නේ නෑ කවුරුත්. මොකද කෙල්ලව අපිට දකින්න පුළුවන් වෙන්නෙත් ක්ලාස් එක ඇතුලෙදි විතරයි. ක්ලාස් එක පටන් ගන්න කලින් එයාගේ ඩැඩා ඇවිත් වාහනෙන් බස්සලා යනව. ක්ලාස් ඉවර වුන ගමන් ආයේ ඇවිත් එක්ක ගෙන යනවා.

ඒ අතරවාරෙදි කිසිම අවස්ථාවක් නෑ කෙල්ලත් එක්ක කතා කරන්න. ඒත් කොහොම හරි එකෙක් පොටත් පාදගෙන. ලොකුම ගැටළුව කොල්ල කවුද කියලා නොදන්න එක. මොකද අළුත්ගම කියද්දි ඒ දවස් වල අපේ වයසෙම චන්ඩින්ගේ පාරාදීසයක්. වලියක් දාගත්තොත් ඇට කුඩු වෙන්න කන්න බලාගෙන තමා ඒ. ඉතිං දැන් බයත් එක්ක.

අපිට උඩ තට්ටුවේ ෆිසික්ස් ක්ලාස් තියෙද්දි ආර්ට් අයට ලොජික් ක්ලාස් එක තිබුනේ පහල තට්ටුවේ. අන්න ඒ ලොජික් ක්ලාස් එකටත් කොල්ලා එනව කියලා ආරංචිය ආවා. ඒ පාර ඉතිං අපි ඒ කොල්ලව හොයන්න පස්ස ගැහුවට ලව් එකෙන් අන්ධ වෙලා ඉන්න මෑන්ට ගුටි කන්න වෙනවද මැරුම් කන්න වෙනවද කියලා වගේ වගක් නෑ. ඒ දවස් වල මිනිහා හෙන ගටෙන් හිටියේ. ඉතිං ඔහොම ඉන්න ගමන් බුවාම තනියම විස්තර හොයන්න ගත්තා අර කොල්ලගේ. මිනිහාගේ මොන්ටිසෝරි කාලේ ඉඳන්ම එකට දන්න කියන ඕලෙවල් වෙනකම්ම එක ස්කෝලෙට ගිය හෙන හොඳ යාළුවෙක් මූට සෙට් වුනා ලොජික් ක්ලාස් එකෙන්. බුවා අමිල. දැන් ඉතිං වැඩේ ලේසියිනේ. මොකද අමිලත් අළුත්ගම. ඉතිං අපේ පොර එක පාරටම කතාව කියන්නේ නැතුව නිකං ශේප් එකේ කතා කරා දවස් දෙකක් විතර. පස්සේ ඔන්න කාරනාව කියලා තිබුනා.

හැබැයි ඉතිං කෙල්ලගේ විස්තර කියලා තියෙන්නේ හැඩ රුවෙන්. නමක් දන්නේ නෑනේ. ඒක නිසා. පස්සේ අමිල කියලා තිබුනා හරි මචං මං හොයලා කියන්නම් බං කියලා. කොහොමහරි අමිල ඇවිත් දුන්නා නිවුස් එක එහෙම කෙල්ලෙක් ගැන හරියටම හොයාගන්න බෑ බං. එක වගේ කීදෙනෙක් ඉන්නවද බං කියලා. ඒත් එක්කම අමිල අපේ එකාට දීලා තිබුනා මරු අයිඩියා එකක්. අමිල කරන්නේ ආර්ට්නේ… ඌ හොඳට කවි ලියන්න පුළුවන්. ඉතිං අමිල කිව්වලු මං උඹට සිරා කවි සෙට් එකක් ලියලා දෙන්නම්. උඹ ඒක උඹේ අත්අකුරෙන්ම ලියලා වැඩ කිඩ දාලා ලියුමක් වගේ සෙට් කරලා ඔය ට්‍රයි කරන කෙල්ලට දීලා බලපං කියලා. මොකද උගේ කවි වලින් ගොඩ ගියා පවුල් දෙක තුනක්ම ඒ වෙනකොටත් ක්ලාස් එකේ ඉඳියා. ඉතිං මේ සෙත් කවිය වරදින්න විදියක් නෑනේ කියලා අපේ පොරත් කැමති වුනා.

ඔන්න දැන් ඊළඟ සතියේ අමිල ගෙනත් දුන්නා  කවි පේලිය. දැන් අපේ එකා අපිටත් නොපෙන්නා ඒක පොත අස්සේ දාගෙන ගිහිං ඊළග සතියෙදි අරගෙන එනවා එක එක වැඩකෑලි දාලා. වේලපු රෝස මලක් අලෝලා. සෙන්ට් එකකුත් ගහලා. අලවලා තියෙන්නේ රෝස මලක්, සෙන්ට් එක ගහලා තියෙන්නේ මානෙල් මල් සුවඳ එකක්. 😀 කොහොමහරි ඔන්න දැන් අපි තමා ලියුම කෙල්ලට යවන්න ඕනේ. ඒක නිසා දැන් අපිටත් ලියුම පෙන්නුවා.

♥

අම්බෝ ඒක තියෙන දේවල්. ලෝකේ තියෙන ඔක්කොම සංකේත ඒ ලියුමේ. ලියුම ලියලා තියෙන්නේ දෙකට නවපු කොලයක. එක පැත්තක තමා වේලපු රෝස මල අලෝලා තිබුනේ. අනෙක් පිටේ කවිපෙල වටේට මල් වැල්. ඒ අස්සේ කුරුළු පිහාටු. ලියුමේ මුලටම මූ රෙජිස්ටර්ඩ් මාක් එක ® දාලා ලියුමේ හෙඩිම දාලා. ආයෙ ඒ හෙඩිම වෙන ලියුමක තිබ්බොත් ඌට පුළුවන් නඩු දාන්න. 😛 මැද්දෙන් කවි පෙල. ආයෙම අන්තිමට කොපි රයිට් මාක් එක © දාලා මුගේ නම ලියලා. එක විකාරයයි. ඒ අස්සේ හිනාවෙන මූනු, පැත්තට ඇල වෙච්ච හදවත්, චූටි චූටි මල් එහෙමත් දාලා. ඒක පෙම් හසුනක් නෙවෙයි. පෙම් සන්දේශයක්…! මානෙල් සුවඳත් එනවනේ ලියුම ඇරපු ගමන්. ඇත්තටම ලස්සනයි ඒක.

පස්සේ ඉතිං අපිත් වැඩේ භාර ගත්තා. මිනිහා ඒකට මහන්සි වෙලා තියෙන හැටියට ඒ ලියුම නොදී ඉන්න බැහැ කොහොමත්. ලියුම ගන්න කෙල්ලත් අකමැති වෙන්න කාරනේකුත් නෑ වෙන කොල්ලෙක් ඉන්නව නම් ඇරෙන්න. ඒ පාර ක්ලාස් පටන් ගන්න කලින්ම කෙල්ල ඉන්න තැනට දුවලා ගිහිං…

 “මේ… මේ… අපි ගැන වැරදියට හිතන්න එපා… අපේ යාළුවෙකුට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ වෙලා තියෙනවා. ඒත් එයා බයයි ඔයා එක පාරට සැර කරලා එයාගේ හිතේ ඔයා ගැන තියෙන පැහැදීම නැතිවෙයි කියලා. මේ…. ඒකයි අපි දෙන්න ආවේ මේක දෙන්න. ප්ලීස්… මේක බලලා එයාට උත්තරයක් දෙන්න. එයා ගොඩක් මහන්සි වුනා මේ හදන්න. අර ඉන්නේ අර අතන ඔයා දිහා බලාගෙන රතු ඉරි ටී ෂර්ට් එකක් ඇඳගෙන අන්න එයා.“ කියලා ආයෙම ඩෙස් පුටු උඩින් පැනගෙන හිටිය තැනට ආවා.

ගත්තද මචං ඒක…? බුවා බොහොම දුක් ස්වරයෙන්…

ඒක නොගන්න කෙල්ල අවාසනාවන්තයි මචං. ඒකි හිනාවේගෙන ගත්තා ඒක. බය නැතුව හිටපං. වැඩේ හරියයි. අන්තිමට ඌව සනසන්නත් වුනා.

ඔන්න ඉතිං ඊළඟ සතිය උදාවුනා. ඒ තමා භයංකාරම සතිය. අළුත්ගම සෙට් එකකින් ගුටි කන්න වෙයිද..? කෙල්ලගේ තාත්තා ඇවිත් කනට දෙකක් ගහයිද….? නැත්තං ක්ලාස් එකේ සර්ට කියයිද…? කෙල්ල අඬගහලා බැන ගෙන බැන ගෙන යයිද…? හැමෝටම හෙන බයයි ඉතිං. අපි ගිහිං ක්ලාස් එකේ වෙනද වාඩි වෙන තැනම වාඩි වෙලා ඉන්න කොට කෙල්ලයි යාළුවෙකුයි ඇවිත් පොත් ටික තියලා අපි දිහා බැළුවා… ටික වෙලාවක් බලලා ලියුම දීපු දෙන්නව ඇඟිල්ලෙන් පෙන්නලා එන්න කිව්වා ක්ලාස් එකේ පිටිපස්සට… අරූවත් පෙන්නුවා. දැන් ඉතිං අනුන්ට සෙත් සාන්ති කරන්න ගිහිං බැනුම් අහගන්න යන ගමනනේ මේ… කියලා අරූට බැන බැන නැගිට්ටා.

හ්ම්… යමං තෝ ඉස්සර වෙයන්… අහගන්නනේ යන්නේ දැන්.

ඉතිං බං උඹලා කිව්වේ අවුලක් වෙන එකක් නෑ කියලා.

දැන් කෙල්ලෝ කැමති නෑ බං ඔය මල් වේලලා, පිහාටු අලවලා දෙන ලියුම් වලට. ඒව හෙන බොළඳ වැඩ…

එහෙනම් උඹලා ගිහිං දුන්නේ…

හරි හරි යමන්කෝ…. හැබැයි ඒකි අපිට බැන්නොත් උං දෙන්නවම අල්ලලා විසික් කරනවා නිවර්තන වැසි වනාන්තරේකට හරිද…

අනේ බං…

අනේ බං කියන්නේ…? දැන් අපිට යක්ෂවේස වෙලා ඉන්නේ… බැනුම් අහන්න වෙනවනේ. නැත්තං ඉතිං කෙල්ලෙක් ඔහොම ඇඟිල්ලෙන් පෙන්නලා එන්න කියන්නේ නෑනේ.

හ්ම් ඉස්සර වෙයන් ඉතිං…

ඔන්න දැන් කොල්ලෝ තුන් දෙනයි කෙල්ලෝ දෙන්නයි මීට් වුනා.

කෙල්ල – කව්ද ඒ කාඩ් එක හැදුවේ? කෙල්ල හිනාවෙවී…

යාළුවා – මම … මම… අපිව පැත්තකට තල්ලු කරලා දාලා ඌ පැන්න ඉස්සරහට. කෙල්ල හිනාවේගෙන එනකොට ඌ හිතුවා වැඩේ හරි තමා කියලා.

කෙල්ල – ම්… කාඩ් එක හරි ලස්සනයි. මම ඒක තියාගන්නද?

යාළුවා – තියාගන්න තමා දුන්නේ.

කෙල්ල – ඒත් ඔයා කොපි රයිට් කියලා නම ලියලා දුන්නට ඒ කවි ඔයාගේ නෙවෙයිනේ…

යාළුවා –………………………….. අපි දිහා බලමින්.

කෙල්ල – ඒ කවි පන්තියම මට අපේ ගෙවල් ලඟ අමිල කියලා ළමයෙකුත් දුන්නානේ. ඔයාට කලින්… දැන් පහල ක්ලාස් එකේ ඇති…

අපි – ඈහ්… අමිලයා… ආර්ට් කරන ලොජික් ක්ලාස් එකේ අමිලයා….?

යාළුවා – ඔව් එයාගෙන් තමා මම ඔයා ගැන හොයන්න හැදුවේ… මම දන්නේ නෑ ඔයා එයාට කැමතියි කියලා. සොරි… මූ උඩ දාගෙන ආවට දැන් පරාජය පිළිඅරගෙන.

කෙල්ල – කවුද දැන් කිවුවේ මං අමිලට කැමතියි කියලා.

යාළුවා එක පාරට ගැස්සුනා. ඊට පස්සේ මූ කෙල්ල දිහා බලාගෙන ඉන්නවා….

කෙල්ල – ම්… හැමදාම මේ වගේ කාඩ් හදලා දෙනවද මට?

යාළුවා – හ්ම්…. හරියට උත්තරයක් නෑ… ඩිසිෂන් පෙන්ඩින්ග් නේ තාම.

කෙල්ල – හ්ම්… කියන්නේ… මට කැමති නෑ වගේ….?

දැන් අපිව ඩිම් වෙලා. මෙතෙන හරියට නාට්‍යයක් වගේ. මුං දෙන්න ප්‍රධාන චරිත රඟපානවා. අපි බලන් ඉන්නවා.

යාළුවා – හිහී…. නෙදකින් විතරක් හිනාව. කට කනේ උගේ… අපි උන්නද මලාද මතක නෑ…

කෙල්ල – මං කැමතියි… කවුරුත් මීට කලින් මං වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා නෑ…. තෑන්ක්ස්…

loving couple

loving couple

දැන් අපිට ඇත්තටම ඇඩෙනවා. මූට කෙල්ල කැමති කිව්ව එකට වගේම ඇත්තටම උගේ මහන්සියේ තරම අගය කරපු එකට. ඒ අස්සේ මුගේ ඇස්වලත් කඳුළු. සතුටට… කෙල්ලගේ මූන රෝස පාට වෙලා… ඇස් යට ඉදිමිලා…

යාළුවා – ම්… තෑන්ක්ස්…

කෙල්ල – යන්න දැන් ඉන්න තැනට. යන්න කලින් මං පහල ඉන්නම්….

ඒක මාර ලවු එකක්. කිව්වත් වගේ ඒ ගෑණු ළමයා හැමදාමත් පන්ති ඇරුනම පහලට වෙලා ඉඳියා අපේ යාළුවා එක්ක වචන දෙක තුනක් හරි කතා කරන්න. අපිත් ඉතිං උං දෙන්නගේ පෙම් කෙලිය ඉවර වෙනකං ඉඳියා දත්මිටි කකා. පස්සේ දෙන්නම ජොබ් කරන්න අරගෙන, කසාද බැඳලා දෙන්න එක පිටරටක සුවසේ ජීවත් වෙනවා…!

කොහොම හරි අමිලට අමිලගේ කවියක් නිසාම කෙලවුනා අන්තිමේ…! –at සෙත් කවි වස් කවි වෙන හැටි

%d bloggers like this: