හිතක් පොඩිකාලේ…

ඒක වෙනස් හැන්දෑවක්. දෙපෙත්තේ ගස් වැවුන පාර දිගේ පරන උස පහන් කණු වල ලයිට් පත්තු වෙවී තිබුනට, හරියකට ඉර එලිය තුරන් වෙලා නොතිබුන අළුපාට හවසක්. ගලින් බැඳි ගෙවල් වල උස දුම්බට වලින් රාත්‍රී කෑම වේලේ දුම් රොටු අහසට නගින, ගෙවල් ඇතුලේ කහ පාටට එළි දැල්වෙන වෙලාවක්. තැඹිලි පාටට ඉරත් හැංගිගෙන යන වෙලාවක්.

...

සමහර විට ඒ වසන්තයේ හැන්දෑවක් වෙන්න පුළුවන්. ශීත කාලයනම් කොහෙත්ම වෙන්න බෑ. ඒ වෙද්දිත්, මැද තණකොල ඉතුරු වෙලා… දෙපැත්ත වැලි මතුවෙච්චි පාරේ ඉඳන් හා පැටවු කැලයට දිව්වේ ඒක නිසා වෙන්න ඕනේ. ශීත කාලය වුනානම් සත්තු කොහේ හරි ගහක මුලක් අස්සකට වෙලා හරි එහෙම්මත් නැත්තං ගස් බෙනයක හරි පොලොවේ හාරගත්තු ගුහාවක හරි කම්මැලිකමට ලගිනවා මිසක් එළියට එන්නේ නෑ. අනික පාර දෙපැත්තේ බිම් මට්ටමේ තියෙන, ලස්සනට වවපු මල් ගස් වල මල් පිපෙන්නේ නෑනේ ශීත කාලයට. දැන් ඒ මල් පරවීගෙන වෙලාව. තව පැයකින්, පැය භාගෙකින්… කියන්න බෑ තව විනාඩියකින් හෝ තව මොහොතකින් ඒ මල්… ගස එක්ක තිබුන සම්බන්ධතාව අතෑරලා බිමට වැටෙයි. තවත් සමහරක් මල් පිපෙන්න පටන් ගන්නෙත් දැනුයි. ඒවා පිපිලා ඉවර වෙද්දි රෑ හත අටවත් වෙයි.

හරියට සුවඳ අඳුන ගන්න බැරි මල් සුවඳවල් දෙක තුනක් නාස් පුඩු තුලින් සුවඳ ග්‍රන්ථි වලට කිතිකැව්වට තාම එකක්වත් හරියකට පිපිලා නෑ. ගස් දිගේ උඩට ඇදීගෙන ගිහිං තියෙන වැල් වල තියෙන තද කොල පැහැය නිසා ඇරෙන්න අවට මෙච්චර අඳුරු වෙන්නත් බෑ කොහොමත්. තාම ඉර අහසේ තියෙනවනේ. ම්… ගස් උඩින් පේන්නේ කොහේදෝ මන්දා තියෙන කුඹුරු වල බැහැලා පනුවෝ අල්ලන් කාලා, දැන් ආයෙමත් ගස් උඩ තියෙන කුඩු කරා ඇදෙන සුදු පාට කොක්කු ඉංග්‍රීසි වී හැඩේට අහසේ පියාඹාගෙන යන ලස්සන. කොක්කු රෑන් තුනක් හෝ හතරක්, ගස් වලට උඩින් පේන අහස් පාර, ගමන්ගේ නිශ්චිත පාරක් කරගෙන තියෙනවා.

ඒත් ඔය ඔක්කොම වෙනස් උනත් එක හිතක් තාමත් වෙනස් වෙලා නෑ. මල් පිපුනත්, පරවුනත්… කුරුල්ලෝ ගියත් නැතත්… ඉර බැස්සත් නැතත් එක හිතක් තාම එහෙම්මයි. දුර බැහැර වැඩට ගිය මිනිස්සු සතියකට හරියන්න බඩු අරගෙන ගෙදර එන්නේ මේ වෙලාවට. හැමෝම අද රෑ වෙනවා. ඒත් රෑ… රෑ වෙන්න පරක්කු කරන්නේ නෑ. පාරේ දිගට කහපාට ලයිට් පත්තු වුනාට, ඒ ලයිට් හැම එකක්ම තියෙන්නේ මිනිස්සුන්ගේ මූනු වලට වැඩිය උඩින් නිසා ලයිට් කනු ගාවට මනුස්සයා එනකොට ඔලුවේ හෙවනැල්ල මූනට වැටිලා මූන අඳුරු වෙලා යනවා. එතකොට කොහොමද ඒ තාත්තද නැද්ද කියලා හරියටම හොයාගන්නේ…?

අම්මලනම් දන්නවා, තාත්ත එනකොට එන විදියෙන් කියන්න, ඒ එන්නේ හරියටම තාත්තමයි කියලා. ඒ වුනාට පොඩි එවුන් දන්නවැයි ඔව්වා. පොඩි අය බලාගෙන ඉන්නේ දුරතියාම තාත්තගේ වගේ සේයාවක් දැක්කම මීටර් පනහක් විතර වැලි පාරේ ඉස්සරහට දුවගෙන ගිහිං වම් අතේ එල්ලෙන පලතුරු මල්ල ගන්න. ඉතිං අර වෙනස් නොවිච්ච හිතත් ඒ වගේ තමා. ඒ හිත නම් කැමති දකුණු අතින් උස්සන් එන බඩු මල්ලෙ පැත්තතින් අල්ලගෙන ඉතුරු ටික දුර තාත්ත එක්ක බඩු මල්ල ගෙදරට ගේන්න. ඉතිං කවුරු හරි කෙනෙක් බඩු මල්ලක් අතින් උස්සගෙන අනිත් අතින් පොඩි පලතුරු මල්ලකුත් උස්සගෙන එනකොට ඉතිං එක හිතට දැනුනෙම, හිත කිව්වෙම ඒ එන්නේ තාත්තමයි කියලා. අම්මනම් කිව්වා… “ළමයෝ ඒ තාත්තා නෙවේ… තාත්ත නෙවේ… මගට දුවන්න එපා…” කියලා… කොහෙද ඒවා අහ අහ ඉන්න වෙලාවක්…! ඒ ටික කියද්දි පුංචි හිත කකුල් දෙකෙන් ගොඩක් දුර දුවලා. අඩුම ගානේ මීටර් තිහක් වත්…!

එතකොට ටිකක් ලංවෙද්දි තමා පේන්නේ ඒ එන්නේ වෙන මනුස්සයෙක්, අපේ තාත්තා නෙවේ කියලා. මිනිස්සුන්ට වැඩිය උඩින් තියෙන ලයිට් කණු නිසා එක පුංචි හිතක් කීපාරක් නම් ඔහොම මීටර් තිහේ දුරවල් දුවලා ආයේ හැරිලා එන්න ඇද්ද…! –at කටක් ඇරලා එකපාරට කියන්න පුළුවනිද, “මම ඉස්සර තාත්තා එනවා කියලා රැවටිලා මගට දිව්වා“ කියලා….?

 

 

%d bloggers like this: