කොල්ලෝ දෙන්නෙක්ගේ එකම ලව් එක…

love letter

love letter

මේ සීන් එක වුනේ අපි උසස් පෙළට ක්ලාස් යන දවස් වල. ඔය දවස් වලම තමා මගේ 320 gsm පෙම් හසුන අම්මට මාට්ටු වුනෙත්. අපිත් එක්ක එකට ඉඳිය යාළුවෙක්ගේ හිත ගියා අළුත්ගම පැත්තේ ගෑණූ ළමයෙකුට. එයාව අපි දකින්නේ ක්ලාස් එකේ ඉන්න පැය දෙකේ තුනේදි විතරයි. කෙල්ල ලස්සනයි, සුදුයි, සෝස පාටයි.  මූ ඒ පැය දෙක තුන එනකං හැම  සතියෙම ඇඟිලි ගැන ගැන තමා බලාගෙන ඉන්නේ. ස්කෝලෙදි, මග තොටේදි හැම තැනකම බුවාගේ මාතෘකාවත් ඒ ගෑණු ළමයා…!

දැන් ඉතිං ගෑණූ ළමයාගේ විස්තර හොයන්න එපැයි. ඒක නිසා කොහොම හරි අළුත්ගම පැත්තේ යාළුවෝ ටිකකුත් සෙට් කර ගත්තා. දැන් ඉතිං විස්තර අහගෙන යනකොට අපේ වයසෙම ආර්ට් කරන කොල්ලෙකුත් මේ ගෑණූ ළමයට පැනිය දානවලු. ඒත් කවුද කියන්න දන්නේ නෑ කවුරුත්. මොකද කෙල්ලව අපිට දකින්න පුළුවන් වෙන්නෙත් ක්ලාස් එක ඇතුලෙදි විතරයි. ක්ලාස් එක පටන් ගන්න කලින් එයාගේ ඩැඩා ඇවිත් වාහනෙන් බස්සලා යනව. ක්ලාස් ඉවර වුන ගමන් ආයේ ඇවිත් එක්ක ගෙන යනවා.

ඒ අතරවාරෙදි කිසිම අවස්ථාවක් නෑ කෙල්ලත් එක්ක කතා කරන්න. ඒත් කොහොම හරි එකෙක් පොටත් පාදගෙන. ලොකුම ගැටළුව කොල්ල කවුද කියලා නොදන්න එක. මොකද අළුත්ගම කියද්දි ඒ දවස් වල අපේ වයසෙම චන්ඩින්ගේ පාරාදීසයක්. වලියක් දාගත්තොත් ඇට කුඩු වෙන්න කන්න බලාගෙන තමා ඒ. ඉතිං දැන් බයත් එක්ක.

අපිට උඩ තට්ටුවේ ෆිසික්ස් ක්ලාස් තියෙද්දි ආර්ට් අයට ලොජික් ක්ලාස් එක තිබුනේ පහල තට්ටුවේ. අන්න ඒ ලොජික් ක්ලාස් එකටත් කොල්ලා එනව කියලා ආරංචිය ආවා. ඒ පාර ඉතිං අපි ඒ කොල්ලව හොයන්න පස්ස ගැහුවට ලව් එකෙන් අන්ධ වෙලා ඉන්න මෑන්ට ගුටි කන්න වෙනවද මැරුම් කන්න වෙනවද කියලා වගේ වගක් නෑ. ඒ දවස් වල මිනිහා හෙන ගටෙන් හිටියේ. ඉතිං ඔහොම ඉන්න ගමන් බුවාම තනියම විස්තර හොයන්න ගත්තා අර කොල්ලගේ. මිනිහාගේ මොන්ටිසෝරි කාලේ ඉඳන්ම එකට දන්න කියන ඕලෙවල් වෙනකම්ම එක ස්කෝලෙට ගිය හෙන හොඳ යාළුවෙක් මූට සෙට් වුනා ලොජික් ක්ලාස් එකෙන්. බුවා අමිල. දැන් ඉතිං වැඩේ ලේසියිනේ. මොකද අමිලත් අළුත්ගම. ඉතිං අපේ පොර එක පාරටම කතාව කියන්නේ නැතුව නිකං ශේප් එකේ කතා කරා දවස් දෙකක් විතර. පස්සේ ඔන්න කාරනාව කියලා තිබුනා.

හැබැයි ඉතිං කෙල්ලගේ විස්තර කියලා තියෙන්නේ හැඩ රුවෙන්. නමක් දන්නේ නෑනේ. ඒක නිසා. පස්සේ අමිල කියලා තිබුනා හරි මචං මං හොයලා කියන්නම් බං කියලා. කොහොමහරි අමිල ඇවිත් දුන්නා නිවුස් එක එහෙම කෙල්ලෙක් ගැන හරියටම හොයාගන්න බෑ බං. එක වගේ කීදෙනෙක් ඉන්නවද බං කියලා. ඒත් එක්කම අමිල අපේ එකාට දීලා තිබුනා මරු අයිඩියා එකක්. අමිල කරන්නේ ආර්ට්නේ… ඌ හොඳට කවි ලියන්න පුළුවන්. ඉතිං අමිල කිව්වලු මං උඹට සිරා කවි සෙට් එකක් ලියලා දෙන්නම්. උඹ ඒක උඹේ අත්අකුරෙන්ම ලියලා වැඩ කිඩ දාලා ලියුමක් වගේ සෙට් කරලා ඔය ට්‍රයි කරන කෙල්ලට දීලා බලපං කියලා. මොකද උගේ කවි වලින් ගොඩ ගියා පවුල් දෙක තුනක්ම ඒ වෙනකොටත් ක්ලාස් එකේ ඉඳියා. ඉතිං මේ සෙත් කවිය වරදින්න විදියක් නෑනේ කියලා අපේ පොරත් කැමති වුනා.

ඔන්න දැන් ඊළඟ සතියේ අමිල ගෙනත් දුන්නා  කවි පේලිය. දැන් අපේ එකා අපිටත් නොපෙන්නා ඒක පොත අස්සේ දාගෙන ගිහිං ඊළග සතියෙදි අරගෙන එනවා එක එක වැඩකෑලි දාලා. වේලපු රෝස මලක් අලෝලා. සෙන්ට් එකකුත් ගහලා. අලවලා තියෙන්නේ රෝස මලක්, සෙන්ට් එක ගහලා තියෙන්නේ මානෙල් මල් සුවඳ එකක්. 😀 කොහොමහරි ඔන්න දැන් අපි තමා ලියුම කෙල්ලට යවන්න ඕනේ. ඒක නිසා දැන් අපිටත් ලියුම පෙන්නුවා.

♥

අම්බෝ ඒක තියෙන දේවල්. ලෝකේ තියෙන ඔක්කොම සංකේත ඒ ලියුමේ. ලියුම ලියලා තියෙන්නේ දෙකට නවපු කොලයක. එක පැත්තක තමා වේලපු රෝස මල අලෝලා තිබුනේ. අනෙක් පිටේ කවිපෙල වටේට මල් වැල්. ඒ අස්සේ කුරුළු පිහාටු. ලියුමේ මුලටම මූ රෙජිස්ටර්ඩ් මාක් එක ® දාලා ලියුමේ හෙඩිම දාලා. ආයෙ ඒ හෙඩිම වෙන ලියුමක තිබ්බොත් ඌට පුළුවන් නඩු දාන්න. 😛 මැද්දෙන් කවි පෙල. ආයෙම අන්තිමට කොපි රයිට් මාක් එක © දාලා මුගේ නම ලියලා. එක විකාරයයි. ඒ අස්සේ හිනාවෙන මූනු, පැත්තට ඇල වෙච්ච හදවත්, චූටි චූටි මල් එහෙමත් දාලා. ඒක පෙම් හසුනක් නෙවෙයි. පෙම් සන්දේශයක්…! මානෙල් සුවඳත් එනවනේ ලියුම ඇරපු ගමන්. ඇත්තටම ලස්සනයි ඒක.

පස්සේ ඉතිං අපිත් වැඩේ භාර ගත්තා. මිනිහා ඒකට මහන්සි වෙලා තියෙන හැටියට ඒ ලියුම නොදී ඉන්න බැහැ කොහොමත්. ලියුම ගන්න කෙල්ලත් අකමැති වෙන්න කාරනේකුත් නෑ වෙන කොල්ලෙක් ඉන්නව නම් ඇරෙන්න. ඒ පාර ක්ලාස් පටන් ගන්න කලින්ම කෙල්ල ඉන්න තැනට දුවලා ගිහිං…

 “මේ… මේ… අපි ගැන වැරදියට හිතන්න එපා… අපේ යාළුවෙකුට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ වෙලා තියෙනවා. ඒත් එයා බයයි ඔයා එක පාරට සැර කරලා එයාගේ හිතේ ඔයා ගැන තියෙන පැහැදීම නැතිවෙයි කියලා. මේ…. ඒකයි අපි දෙන්න ආවේ මේක දෙන්න. ප්ලීස්… මේක බලලා එයාට උත්තරයක් දෙන්න. එයා ගොඩක් මහන්සි වුනා මේ හදන්න. අර ඉන්නේ අර අතන ඔයා දිහා බලාගෙන රතු ඉරි ටී ෂර්ට් එකක් ඇඳගෙන අන්න එයා.“ කියලා ආයෙම ඩෙස් පුටු උඩින් පැනගෙන හිටිය තැනට ආවා.

ගත්තද මචං ඒක…? බුවා බොහොම දුක් ස්වරයෙන්…

ඒක නොගන්න කෙල්ල අවාසනාවන්තයි මචං. ඒකි හිනාවේගෙන ගත්තා ඒක. බය නැතුව හිටපං. වැඩේ හරියයි. අන්තිමට ඌව සනසන්නත් වුනා.

ඔන්න ඉතිං ඊළඟ සතිය උදාවුනා. ඒ තමා භයංකාරම සතිය. අළුත්ගම සෙට් එකකින් ගුටි කන්න වෙයිද..? කෙල්ලගේ තාත්තා ඇවිත් කනට දෙකක් ගහයිද….? නැත්තං ක්ලාස් එකේ සර්ට කියයිද…? කෙල්ල අඬගහලා බැන ගෙන බැන ගෙන යයිද…? හැමෝටම හෙන බයයි ඉතිං. අපි ගිහිං ක්ලාස් එකේ වෙනද වාඩි වෙන තැනම වාඩි වෙලා ඉන්න කොට කෙල්ලයි යාළුවෙකුයි ඇවිත් පොත් ටික තියලා අපි දිහා බැළුවා… ටික වෙලාවක් බලලා ලියුම දීපු දෙන්නව ඇඟිල්ලෙන් පෙන්නලා එන්න කිව්වා ක්ලාස් එකේ පිටිපස්සට… අරූවත් පෙන්නුවා. දැන් ඉතිං අනුන්ට සෙත් සාන්ති කරන්න ගිහිං බැනුම් අහගන්න යන ගමනනේ මේ… කියලා අරූට බැන බැන නැගිට්ටා.

හ්ම්… යමං තෝ ඉස්සර වෙයන්… අහගන්නනේ යන්නේ දැන්.

ඉතිං බං උඹලා කිව්වේ අවුලක් වෙන එකක් නෑ කියලා.

දැන් කෙල්ලෝ කැමති නෑ බං ඔය මල් වේලලා, පිහාටු අලවලා දෙන ලියුම් වලට. ඒව හෙන බොළඳ වැඩ…

එහෙනම් උඹලා ගිහිං දුන්නේ…

හරි හරි යමන්කෝ…. හැබැයි ඒකි අපිට බැන්නොත් උං දෙන්නවම අල්ලලා විසික් කරනවා නිවර්තන වැසි වනාන්තරේකට හරිද…

අනේ බං…

අනේ බං කියන්නේ…? දැන් අපිට යක්ෂවේස වෙලා ඉන්නේ… බැනුම් අහන්න වෙනවනේ. නැත්තං ඉතිං කෙල්ලෙක් ඔහොම ඇඟිල්ලෙන් පෙන්නලා එන්න කියන්නේ නෑනේ.

හ්ම් ඉස්සර වෙයන් ඉතිං…

ඔන්න දැන් කොල්ලෝ තුන් දෙනයි කෙල්ලෝ දෙන්නයි මීට් වුනා.

කෙල්ල – කව්ද ඒ කාඩ් එක හැදුවේ? කෙල්ල හිනාවෙවී…

යාළුවා – මම … මම… අපිව පැත්තකට තල්ලු කරලා දාලා ඌ පැන්න ඉස්සරහට. කෙල්ල හිනාවේගෙන එනකොට ඌ හිතුවා වැඩේ හරි තමා කියලා.

කෙල්ල – ම්… කාඩ් එක හරි ලස්සනයි. මම ඒක තියාගන්නද?

යාළුවා – තියාගන්න තමා දුන්නේ.

කෙල්ල – ඒත් ඔයා කොපි රයිට් කියලා නම ලියලා දුන්නට ඒ කවි ඔයාගේ නෙවෙයිනේ…

යාළුවා –………………………….. අපි දිහා බලමින්.

කෙල්ල – ඒ කවි පන්තියම මට අපේ ගෙවල් ලඟ අමිල කියලා ළමයෙකුත් දුන්නානේ. ඔයාට කලින්… දැන් පහල ක්ලාස් එකේ ඇති…

අපි – ඈහ්… අමිලයා… ආර්ට් කරන ලොජික් ක්ලාස් එකේ අමිලයා….?

යාළුවා – ඔව් එයාගෙන් තමා මම ඔයා ගැන හොයන්න හැදුවේ… මම දන්නේ නෑ ඔයා එයාට කැමතියි කියලා. සොරි… මූ උඩ දාගෙන ආවට දැන් පරාජය පිළිඅරගෙන.

කෙල්ල – කවුද දැන් කිවුවේ මං අමිලට කැමතියි කියලා.

යාළුවා එක පාරට ගැස්සුනා. ඊට පස්සේ මූ කෙල්ල දිහා බලාගෙන ඉන්නවා….

කෙල්ල – ම්… හැමදාම මේ වගේ කාඩ් හදලා දෙනවද මට?

යාළුවා – හ්ම්…. හරියට උත්තරයක් නෑ… ඩිසිෂන් පෙන්ඩින්ග් නේ තාම.

කෙල්ල – හ්ම්… කියන්නේ… මට කැමති නෑ වගේ….?

දැන් අපිව ඩිම් වෙලා. මෙතෙන හරියට නාට්‍යයක් වගේ. මුං දෙන්න ප්‍රධාන චරිත රඟපානවා. අපි බලන් ඉන්නවා.

යාළුවා – හිහී…. නෙදකින් විතරක් හිනාව. කට කනේ උගේ… අපි උන්නද මලාද මතක නෑ…

කෙල්ල – මං කැමතියි… කවුරුත් මීට කලින් මං වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා නෑ…. තෑන්ක්ස්…

loving couple

loving couple

දැන් අපිට ඇත්තටම ඇඩෙනවා. මූට කෙල්ල කැමති කිව්ව එකට වගේම ඇත්තටම උගේ මහන්සියේ තරම අගය කරපු එකට. ඒ අස්සේ මුගේ ඇස්වලත් කඳුළු. සතුටට… කෙල්ලගේ මූන රෝස පාට වෙලා… ඇස් යට ඉදිමිලා…

යාළුවා – ම්… තෑන්ක්ස්…

කෙල්ල – යන්න දැන් ඉන්න තැනට. යන්න කලින් මං පහල ඉන්නම්….

ඒක මාර ලවු එකක්. කිව්වත් වගේ ඒ ගෑණු ළමයා හැමදාමත් පන්ති ඇරුනම පහලට වෙලා ඉඳියා අපේ යාළුවා එක්ක වචන දෙක තුනක් හරි කතා කරන්න. අපිත් ඉතිං උං දෙන්නගේ පෙම් කෙලිය ඉවර වෙනකං ඉඳියා දත්මිටි කකා. පස්සේ දෙන්නම ජොබ් කරන්න අරගෙන, කසාද බැඳලා දෙන්න එක පිටරටක සුවසේ ජීවත් වෙනවා…!

කොහොම හරි අමිලට අමිලගේ කවියක් නිසාම කෙලවුනා අන්තිමේ…! –at සෙත් කවි වස් කවි වෙන හැටි

ඇත්ත තිස්සගේ බොරු මුවා…

මුවා සොයමින්

මුවා සොයමින්

තිස්සගෙයි මුවාගෙයි කතා අහලා ඇතිනේ ඕනේ තරම්. ඉතිං ඒ අනුව යමින් ඔය කතාව ඇති වෙච්චි දවස් වලම අපි කට්ටියකුත් රඟපෑවා ඔය නාට්ටිය. ඒ දවස් වල අපි ස්කොලේ ගිහිං ඉවර වෙලා ටිකක් කල් ගිහිං, කීප දෙනෙකුට ජොබ් එහෙම ලැබිලා.  ඉතිං ඔය ඉස් ඉස්සෙල්ලම ජොබ් වලට ගිය අය ඒ වෙන කොටත් නෝ ජොබ් පදනමේ හා වැඩිදුර අධ්‍යාපනය ලබන අයට දුන්නා පොඩි පාටියක්.

කොල්ලෝ විතරයි පාටියට ගෙන්නුවේ. කෙල්ලෝ ගෙන්නුවොත් ඒක පාටියක් කෙසේ වෙතත් මළ ගෙයක් නම් වෙනවාමයි කියලා දන්න නිසා ගෑණූ ළමයි කාටවත් ආරාධනා කරේ නෑ. ඒ වෙද්දි මාත් වැඩිදුර අධ්‍යාපනේ නිසා මාවත් සෙට් වුනේ ආරාධිත පාර්ශවේට. යාළුවෝ ගොඩ දෙනෙක් ඒ වෙනකොටත් බොන්න පුරුදු වෙලා ඉවරයි.

ඔන්න පාටිය පටන් ගත්තා. හවස හතරට විතර සිරා වෙල් යායක් ගාව තියෙන රෙස්ටෝරන්ට් එකක් තමා සෙට් වුනේ. ඉතිං හවස හය විතර වේගෙන එද්දි, වෙලේ ඉඳන් එන හුළඟයි, ඇල්කොහොලුයි එකතු වුනාම හැමෝටම වගේ ෆුල් ෆන්. වෙනදට කටක් ඇරලා වචනයක් කතා කරන්න බය වුන් එදා කෙල්ලෝ ගැන කතා කරනවා. තරමක් කතා කරන වුන් එක එක කතා කියනවා. ඔහොම කතා කියාගෙන යද්දි, කවුරු හරි තිස්සගෙයි මුවාගෙයි කතාවත් ඇදලා ගත්තා.

ඔන්න දැන් පාටියේ උච්චතම හරිය.

එකෙක් – මචං අපි කෝල් එකක් දීලා බයිට් එකක් දෙමුද කාටහරි?

තව එකෙක් – මේ කාටවත් මොකටද බං අපේ තාත්තටම කතා කරපංකෝ…. අපේ තාත්තා තිස්සනේ.

කලින් එකා – එහෙනම් ඉතිං උඹම කතා කරපං… බීලා නිසා වොයිස් එක අඳුන ගන්න එකක් නෑ.

ඔන්න වෙන කෙනෙක්ගේ ෆෝන් එකකින් පුතා ගන්නවා තාත්තට කෝල් එකක්… ස්පීකර් දාලා කට්ටියටම ඇහෙන්න එහෙම.

පුතා – හෙලෝ…. මේ තිස්සද…?

තාත්තා – ඔව්… තිස්ස තමා කවුද කතා කරන්නේ..?

පුතා – ආහ්… මම මේ මිහිඳු… අනේ මචං තිස්ස… පොඩ්ඩක් බලපංකෝ මුවා ආවද කියලා…

තාත්තා – මොන මුවාද…?

පුතා – ඇයි මචං… මුවා… මුවා…

දැන් අපිට හිනා මූ තාත්තට මචං කියන කොට. කොහොම හරි යාළුවගේ තාත්තටත් කටහඬ මීටර් නෑ.

තාත්තා – මොනා මුවාද අයිසේ…? තේරෙන්න කියනවා හරියට.

පුතා – මචං…. හෙන ගාම්භීර ස්වරයෙන්… මචං… මම මිහිඳු…. දැන් ඔයා තමයි තිස්ස…. හරිද…. එතකොට කෝ දැන් අපේ මුවා…?

තාත්තා – #&%^# පුතෝ… තොට මං දැන් කිව්වා නේද මෙහෙ ඇති මුවෙක් නෑ කියලා. ඈ….?

පුතා – අම්මට හුඩු යකෝ… තාත්තා කොහොමද මට එහෙම කියන්නේ?

 තාත්තා – ඈ… තාත්තා? ඈ යකෝ… තෝ අනුරුද්ධද?

පුතා – ඔව් තාත්තේ…

තාත්තා – එහෙනම් දැන් තෝ කලින් කිව්වේ තෝ මිහිඳු කියලා…?

පුතා -……………..

තාත්තා – උඹ බිව්වද…?

පුතා – ඔව් තාත්තේ…

තාත්තා – හරි පුතේ උඹ වරෙන්කෝ අද ගෙදර… උඹ මිහිඳුනේ… මං උඹේ තාත්තා චන්ඩාශෝක…. වර තෝ අද ගෙදර, හම ගහනවා තෝව.

නාට්ටිය ඉවර වුනේ ප්‍රේක්ෂකයින් කුතුහලයේ ගිල්වමින්, අඳුරු භයංකාරයේ නාවමින්…! – at රිදෙන්න ටොක්කක් ඇරෙන්න වෙන මුකුත් හිතුව තරම් භයානක සීන් තිබුනේ අවසානයේ….!

ඉස්සර කරපු විහිළුවක් පමණි. අපහාස කිරීම් නැත.

 

 

ගේ මැද ළිඳ…

ගේ මැද ළිඳ

ගේ මැද ළිඳ

ඔන්න එකමත් එක රටක ගෑණු ළමයෙක්, පිරිමි ළමයෙක්ගේ ගේ බලන්න ගිහිං තනියම. එක එක රටවල හැදෙන ගෑණු ළමයි එහෙම තමා. කිසි බයක් නෑ. අම්මප මොකෙක් හරි එකෙක් උස්සං ගියානම් එහෙම….! කොල්ලගේ අවාසනාවට එහෙම වෙල නෑ. 😀

පස්සේ ඔන්න පිරිමි ළමයව මුන ගැහුන වෙලාවක ගෑණු ළමයා, පිරිමි ළමයගේ ගෙදර විස්තර එහෙම කියලා… අන්තිමට බටර් සූට්ටක් එක්ක ලුනු කලවම් කරලා… පුංචි ගේ පොඩ්ඩ හරි ලස්සනයි…! කිව්වලු. ගෑණු ළමයි හිතාගෙන ඉන්නේ ඉතිං පිරිමි ළමයි එයාලගේ බටර් ගැන දන්නේ නෑ කියලනේ. ඒ අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතුව පිරිමි ළමයා….

හ්ම්… වැඩක් නෑ බබා. ගේ පිටත තියෙන ලස්සන ඇතුලේ නෑ…. කිව්වලු.

ඇයි… ඇයි… ඇයි…. එහෙම කියන්නේ…?

අපේ ගේ මැද අඩි තිහ හතලිහක් ලොකු ලිඳක් තියෙනවා. ඒක උඩ ලෑලි දාලා තමා අපේ කාමරේ හදාගෙන තියෙන්නේ.

ඈහ්… අම්මෝ… බය නැද්ද ඉතිං…?

බයයි තමා මොනා කරන්නද? ගිය සතියේ අපේ පූසගේ කකුල ලෑල්ලක් අස්සෙන් ගිහිං නූලෙන් බේරුනේ.

හ්ම්…. ඉතිං ළිඳ වහන්නේ නැද්ද?

ඒක ලේසියෙන් වහන්න බෑ බබා. පස් ට්‍රැක්ටර් සීයක් විතර දාන්න වෙයි. දැන් පස් ට්‍රැක්ටරයක් රුපියල් නෙමේ…අදාල රටේ සල්ලි වලින්  තුන්දාහක් විතර වෙනවනේ…! පස් අදින මිනිස්සුන්ටත් සල්ලි දෙන්න එපැයි.

හ්ම්… ඉන්නකෝ මාත් ඩිග්රි එක අරගෙන ජොබ් එකකට යනකං. මමත් කීයක් හරි දෙන්නම් ළිඳ වහන්න.

කෙල්ල ෆුල් සීරියස්ලු. සල්ලි දෙන්න පොරොන්දුත් වෙනවලු. මල මගුලයිලු. තව විස්තරත් අහනවලු. ඔය ඔක්කොටම හිනා නොවී උත්තර දෙන්න බැරි වෙච්චි කොල්ලට “හික්ස්“ හඬින් හිනා ගියාලු. කෙල්ලට තමන් ඇන්ද ඇඳිල්ල ඉක්මන් වැඩි බව තේරෙද්දි කොල්ලා උගේ යාළුවටත් කෝල් කරලා සතුට බෙදාගෙන ඉවරලු…!

තෝ මාව රැවැට්ටුවා නේද ළිඳක් ගැන බොරු කියලා…? යන ලෙස කෙල්ල තම පරාජය බාරගන්න වෙලාවට අර එකෝමත් එක රටේ කොල්ලට හරි සන්තෝසයිලු. ඒක නිසාම හිනාත් යනවලු. ඒත්… අනිච්චේ දුක්ඛේ…. හිනාව මොහොතකින් නැති වෙනවලු….

“ළිං වැහුවට ළිඳ හාරන්න දෙන්නේ නෑ බොරු කිව්වොත් එහෙම…“ කියනකොට…

මේ කතාව සම්පූර්ණයෙන්ම “ඒවං මේ සුතං“ වර්ගයේ එකක් පමණි. –at කෙල්ලොත් එක්ක විහිළු පරිස්සමින්…!

ආලෝකයේ සිත්තම්කරු.

වර්ණවලට කල හැකි දේ

වර්ණවලට කල හැකි දේ

ඔහු… ඇමරිකන් ජාතිකයෙක්. සත්‍යරූපී, ගැමි පරිසර රටාවන් හා ගැමි සංස්කෘතිය තම වර්ණයන් මිශ්‍රණයෙන් චිත්‍රනය කල අපූරු ශිල්පියෙක්. මම ඔහුව අඳුන ගත්තේ අරුණි අක්කා හරහා. එයා ඇමරිකාවේ හින්දා නෙමෙයි. මගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක් නිසා.

එදා මට ඕනේ තරම් වෙලා තිබුනා, ඒ ශිල්පියා කව්ද කියලා හොයන්න. ඉතිං මං හෙව්වා. මං නොදැනුවත්වම මගේ ගාව තියෙන ඉමේජස් අස්සේ ඔහු අතින් ඇඳුන චිත්‍ර ගණනාවක් තිබුනා. ඒවගේ අයිතිකාරයා කවුද කියලවත්, චිත්‍රය ගැන කිසිම විස්තරයක් වත් මං දැනන් හිටියේ නෑ. ඒ ඉමේජස් යම් දවසක මට ඕනෙ වෙයි කියලා හිතුනා ඒක නිසා කොපි කරගත්තා මිසක්. ඒත් අර කමෙන්ට් එක නිසා, ඒ ශිල්පියා ගැන ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා. ඊටත් වැඩිය එයාගේ ඔන් ලයින් චිත්‍ර පොතක්ම පිටුවෙන් පිටුව පෙරලලා, පුංචි විස්තරයකුත් එක්ක කියවන්න ලැබුනා. ඒක හරිම විනෝදයි.

ඔහු නමින් තෝමස් කින්කේඩ්. ඇමරිකාවේ, කැලිෆෝනියාවල 1958 උපත ලද ඔහු අවුරුදු 54ක් වෙලා  2012 මියයන විට සෑම ඇමරිකානුවන් 20 දෙනෙකුගෙන් එක් අය‍කුගේ නිවසකම බිත්ති ඔහු අතින් නිමැවුන අලංකාර සිතුවමකින් සැරසී තිබුනා. ඔහු ඔහුව හඳුන්වා දුන්නේ “අලෝකයේ සිත්තම්කරු” – “Painter of Light” කියායි. එම හඳුන්වාදීමෙහි අතිශෝක්තියක් දැකිය නොහැකි තරමට ඔහුගේ නිර්මාණ අලංකාරයි.

එක මවුස් ක්ලික් එකකින් ඒ සුන්දරත්වය විඳින්න කැමති නම්…!

මම පෝස්ට් එකට දාලා තිබුන ඉමේජ් එකට, කින්කේඩ් කියලා තියෙන්නේ මෙහෙම…

a26ca643bba5aea0eef6612292347dca “In Moonlight Cottage, I celebrate the enchanting moment when the moon begins to appear above a sheltered cottage set within a forest. Beholding this scene as the sounds of the forest envelope you and the moist fragrance of evening fills your lungs would be a transcendent moment. I cannot imagine a more peaceful experience.”

ස්තූතියි, අපූරු පුද්ගලයෙක්ව හඳුන්වා දුන් අරුණි අක්කට.

සිතියම් හොයන අළුත් විනෝදාංශය

විනෝදාශයක් කියන්නේ කෙනෙක්ට විවේක වෙලාවකට හෝ ඉඩ ලැබෙන වෙලාවකට අකමැත්තකින් තොරව කරන්න පුළුවන් කියලා තමන් විසින්ම තීරණය කරගන්න දෙයක්. සමහර වෙලාවට ඒක අනිත් අයට හිරිහැරකාරී වෙන්න පුළුවන්, සමහර වෙලාවට එහෙම නොවෙන්න පුළුවන්.

තව සූම් කල හැකි

තව සූම් කල හැක

ඉතිං මේ කියන්නේ කාටවත් හිරිහැරයක් නැති ලැබෙන පොඩි විවේකයකින් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් විනෝදාංශයක්. සිංහලෙන් කියන්නේ සිතියම් පිරික්සීම කියලා. ඇත්තටම අපිට (මට) විනෝදාංශයක් වුනාට මෙම සිතියම් පිරික්සීම රස්සාවක් හැටියට කරන අයත් ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒ අය හොයන්නේ ලේසියෙන් ලඟාවෙන්න පුළුවන් හිස් ඉඩම් එහෙමත් නැතිනම් අතහැරදාපු කර්මාන්තශාලා භුමි වගේ ආර්ථික වැදගත් කමක් තියෙන ස්ථාන වෙන්න පුළුළුන් එහෙමම්ත් නැතනම් හොරවැඩකට සුදුස් ස්ථානයක් වෙන්නත් පුළුවන්. ඒ අතර ආරක්ෂාව සඳහා මෙම සිතියම් දෙස ඇස ගසාගෙන ඉන්න අයත් ඉන්නවා. ගූගල් මැප්, බීන්ග් මැප් හා යාහූ මැප් ආශ්‍රිතව කෙරෙන මෙම පිරික්සීම් වලින් සාමාන්‍ය ජනාතාවට වැඩිය වැදගත් තොරතුරු ලබාගන්නේ ඒ ඒ රටවල ආරක්ෂක සේවා සපයන්නන් විසිනුයි.

හ්ම්… මම නම් බලන්නේ ගූගල් මැප් විතරයි. අනිත් ඒවා ටිකක් විතර ස්ලෝ නිසා වගේම භුමිය මත ඇති දේවල් ලං කර දැකගැනීමට ඇති නොහැකියාව නිසාත් අනිත් මැප් සේවාවන් වලට පෞද්ගලිකව අකමැතියි. ලංකාවේ බොහෝ ස්ථාන යම් තරමකට උඩින් එබී බලන්න පුළුවන් වුනත්, ඔබ මේ වන තෙක් ඇමරිකාව ආශ්‍රිත රටවලට උඩින් එබෙන්න උත්සාහ කර නැත්තං අදම එය කර බලන්න. ඇමරිකාව ආශ්‍රිත රටවල භූමියට ලංවීමේ හැකියාව වඩාත් වැඩි බව දැකගන්න පුළුවන් වෙයි. ඒ වගේම වඩාත් ලංවන විට එය ත්‍රිමාන ආකාරයට දිස්වෙන හැටිත් බලන්න.

මගේ විනෝදාංශය වෙන්නේ අපිට ලං වෙන්න වත් නොලැබෙන ස්ථාන වලට උඩින් හෝ එබී බලන එකයි. මිනිසෙකුට කුතුහලය කියන දෙය උපතින්ම එන්නේ, මිනිසා තුල ඇති දැනුම වර්ධනය කිරීමේ ක්‍රමෝපායක් විදියට. කුතුහලය නිසා යම් යම් දේ සොයන්න පෙළඹෙන එක 8,9,10 වසර වලදී වැරදි විදියට දැක්කට දැන් කුතුහලයට ඉඩ දෙන්න පුළුවන්. තවත් දේ සොයන්න පුළුවන්. එහෙම සොයන්න අවශ්‍ය වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක් හා පරිගණකයක් කිව්වොත් මම වැරදි නැතිවේවි. ප්‍රායෝගිකව ලබාගන්න දැනුමට අමතරව පොත පත කියවන්න හා දැනුම ලබාගන්න තියෙන හොඳම ක්‍රමය එයයි. ඒත් එකක්ම එක දෙයක් දිගේ දිගටම සොයාගෙන යන්න තරම් නිරෝගි මනසකුත් අවශ්‍ය වේවි.

...

ෆ්‍රී වෙලාවක් ලැබුනොත් මම දැන් ගූගල් මැප් එකේ. කවදාවත් නොදකින්න ලැබෙන දේවල් මහා ගොඩක් ඇස් ඉදිරිපිටම දැක ගන්න පුළුවන් වේවි. ඒ වගේම ලංකාවේ ඔබ දන්න අනෙක් අය‍ නොදන්න හා සලකුණු නොකල ස්ථාන වේ නම් ගූගල් සිතියමේ එම ස්ථානවල නිවැරදි දත්තයන් සමග සටහනක් තැබීම අනාගතයේ අපි කාටත් වැදගත් වේවි. එහෙම ගූගල් සිතියමේ තමන් දන්න තැනක් සටහන් කරන්නට නම් මේ ලින්ක් එක හරහා තමන්ගේ ගූගල් ගිණුමට ලොග්වීම පමණක් ප්‍රමාණවත්. පසුව අවශ්‍ය පරිදි තොරතුරු ඇතුලත් කර තමන් දන්න තැන අනිත් අයටත් දන්වන්න පුළුවන්.

පුළුවන් තරම් ඇමරිකාවම බලන්නලා, විදුලි බලාගාර, ගුවන් තොටුපලවල්, වරායවල් ඔක්කොම හොඳ පැහැදිලිවට බලාගන්න පුළුවන් වෙයි. ත්‍රස්තවාදී වැඩ වලට නෙමෙයි දැනුම ලබා ගැනීමට වගේම නොදැක්ක දේ දැක ගැනීමටත් හොඳම මාර්ගයක් වෙයි. ඒ අතරෙදි නම් නොකරන ලද ස්ථාන වල විවිධ අමුතු දේවල් දැක ගන්නත් පුළුවන් වේවි. ගූගල් මැප්හි සෙවීම් කවුලුවේ මෙය සොයා බලන්න… 37.647403,-115.823364 සුප්‍රසිද්ධ 51 කලාපයට (Area 51) ඉහලින් දකින්නට ලැබේවි.

අළුත් විනෝදාංශයට මම ටිකක් විතර වැඩිපුර කැමතියි අනෙක් ඒවාට වැඩිය. හිතෙන හිතෙන දේ හොයා ගෙන බලන්න පුළුවන් කියන්නේ කොයිතරම් දෙයක්ද…! –at වැඩ වෙලාවට කන පැලෙන්න වැඩ තියෙන, නැති වෙලාවට වැඩක් ඇත්තේම නැති අපි වගේ කම්මැලියන්ට විශේෂයි.

හිතක් පොඩිකාලේ…

ඒක වෙනස් හැන්දෑවක්. දෙපෙත්තේ ගස් වැවුන පාර දිගේ පරන උස පහන් කණු වල ලයිට් පත්තු වෙවී තිබුනට, හරියකට ඉර එලිය තුරන් වෙලා නොතිබුන අළුපාට හවසක්. ගලින් බැඳි ගෙවල් වල උස දුම්බට වලින් රාත්‍රී කෑම වේලේ දුම් රොටු අහසට නගින, ගෙවල් ඇතුලේ කහ පාටට එළි දැල්වෙන වෙලාවක්. තැඹිලි පාටට ඉරත් හැංගිගෙන යන වෙලාවක්.

...

සමහර විට ඒ වසන්තයේ හැන්දෑවක් වෙන්න පුළුවන්. ශීත කාලයනම් කොහෙත්ම වෙන්න බෑ. ඒ වෙද්දිත්, මැද තණකොල ඉතුරු වෙලා… දෙපැත්ත වැලි මතුවෙච්චි පාරේ ඉඳන් හා පැටවු කැලයට දිව්වේ ඒක නිසා වෙන්න ඕනේ. ශීත කාලය වුනානම් සත්තු කොහේ හරි ගහක මුලක් අස්සකට වෙලා හරි එහෙම්මත් නැත්තං ගස් බෙනයක හරි පොලොවේ හාරගත්තු ගුහාවක හරි කම්මැලිකමට ලගිනවා මිසක් එළියට එන්නේ නෑ. අනික පාර දෙපැත්තේ බිම් මට්ටමේ තියෙන, ලස්සනට වවපු මල් ගස් වල මල් පිපෙන්නේ නෑනේ ශීත කාලයට. දැන් ඒ මල් පරවීගෙන වෙලාව. තව පැයකින්, පැය භාගෙකින්… කියන්න බෑ තව විනාඩියකින් හෝ තව මොහොතකින් ඒ මල්… ගස එක්ක තිබුන සම්බන්ධතාව අතෑරලා බිමට වැටෙයි. තවත් සමහරක් මල් පිපෙන්න පටන් ගන්නෙත් දැනුයි. ඒවා පිපිලා ඉවර වෙද්දි රෑ හත අටවත් වෙයි.

හරියට සුවඳ අඳුන ගන්න බැරි මල් සුවඳවල් දෙක තුනක් නාස් පුඩු තුලින් සුවඳ ග්‍රන්ථි වලට කිතිකැව්වට තාම එකක්වත් හරියකට පිපිලා නෑ. ගස් දිගේ උඩට ඇදීගෙන ගිහිං තියෙන වැල් වල තියෙන තද කොල පැහැය නිසා ඇරෙන්න අවට මෙච්චර අඳුරු වෙන්නත් බෑ කොහොමත්. තාම ඉර අහසේ තියෙනවනේ. ම්… ගස් උඩින් පේන්නේ කොහේදෝ මන්දා තියෙන කුඹුරු වල බැහැලා පනුවෝ අල්ලන් කාලා, දැන් ආයෙමත් ගස් උඩ තියෙන කුඩු කරා ඇදෙන සුදු පාට කොක්කු ඉංග්‍රීසි වී හැඩේට අහසේ පියාඹාගෙන යන ලස්සන. කොක්කු රෑන් තුනක් හෝ හතරක්, ගස් වලට උඩින් පේන අහස් පාර, ගමන්ගේ නිශ්චිත පාරක් කරගෙන තියෙනවා.

ඒත් ඔය ඔක්කොම වෙනස් උනත් එක හිතක් තාමත් වෙනස් වෙලා නෑ. මල් පිපුනත්, පරවුනත්… කුරුල්ලෝ ගියත් නැතත්… ඉර බැස්සත් නැතත් එක හිතක් තාම එහෙම්මයි. දුර බැහැර වැඩට ගිය මිනිස්සු සතියකට හරියන්න බඩු අරගෙන ගෙදර එන්නේ මේ වෙලාවට. හැමෝම අද රෑ වෙනවා. ඒත් රෑ… රෑ වෙන්න පරක්කු කරන්නේ නෑ. පාරේ දිගට කහපාට ලයිට් පත්තු වුනාට, ඒ ලයිට් හැම එකක්ම තියෙන්නේ මිනිස්සුන්ගේ මූනු වලට වැඩිය උඩින් නිසා ලයිට් කනු ගාවට මනුස්සයා එනකොට ඔලුවේ හෙවනැල්ල මූනට වැටිලා මූන අඳුරු වෙලා යනවා. එතකොට කොහොමද ඒ තාත්තද නැද්ද කියලා හරියටම හොයාගන්නේ…?

අම්මලනම් දන්නවා, තාත්ත එනකොට එන විදියෙන් කියන්න, ඒ එන්නේ හරියටම තාත්තමයි කියලා. ඒ වුනාට පොඩි එවුන් දන්නවැයි ඔව්වා. පොඩි අය බලාගෙන ඉන්නේ දුරතියාම තාත්තගේ වගේ සේයාවක් දැක්කම මීටර් පනහක් විතර වැලි පාරේ ඉස්සරහට දුවගෙන ගිහිං වම් අතේ එල්ලෙන පලතුරු මල්ල ගන්න. ඉතිං අර වෙනස් නොවිච්ච හිතත් ඒ වගේ තමා. ඒ හිත නම් කැමති දකුණු අතින් උස්සන් එන බඩු මල්ලෙ පැත්තතින් අල්ලගෙන ඉතුරු ටික දුර තාත්ත එක්ක බඩු මල්ල ගෙදරට ගේන්න. ඉතිං කවුරු හරි කෙනෙක් බඩු මල්ලක් අතින් උස්සගෙන අනිත් අතින් පොඩි පලතුරු මල්ලකුත් උස්සගෙන එනකොට ඉතිං එක හිතට දැනුනෙම, හිත කිව්වෙම ඒ එන්නේ තාත්තමයි කියලා. අම්මනම් කිව්වා… “ළමයෝ ඒ තාත්තා නෙවේ… තාත්ත නෙවේ… මගට දුවන්න එපා…” කියලා… කොහෙද ඒවා අහ අහ ඉන්න වෙලාවක්…! ඒ ටික කියද්දි පුංචි හිත කකුල් දෙකෙන් ගොඩක් දුර දුවලා. අඩුම ගානේ මීටර් තිහක් වත්…!

එතකොට ටිකක් ලංවෙද්දි තමා පේන්නේ ඒ එන්නේ වෙන මනුස්සයෙක්, අපේ තාත්තා නෙවේ කියලා. මිනිස්සුන්ට වැඩිය උඩින් තියෙන ලයිට් කණු නිසා එක පුංචි හිතක් කීපාරක් නම් ඔහොම මීටර් තිහේ දුරවල් දුවලා ආයේ හැරිලා එන්න ඇද්ද…! –at කටක් ඇරලා එකපාරට කියන්න පුළුවනිද, “මම ඉස්සර තාත්තා එනවා කියලා රැවටිලා මගට දිව්වා“ කියලා….?

 

 

%d bloggers like this: