රට වටේ යන වෙසක්…!

අනුරාධපුරේ අපි ඇවිද්ද තැන්...

අනුරාධපුරේ අපි ඇවිද්ද තැන්…

ඉස්සර වෙසක් එකට ගම වටේ ගියාට දැන් යන්නේ රට වටේ. අපි ලොකුයිනේ දැන්…! හතර පස් දෙනෙක් එකතු කරගෙන අනුරාධපුරේ යන්න ලෑස්ති වෙලා හිටියට අන්තිමට ඉතුරු දෙන්නයි. ම්… මං හිතන්නේ ඒ “හොඳම කණ්ඩායම“ වෙන්න ඇති. කවදාවත් කෝච්චියෙන් අනුරාධපුරේට ගිහිං නැති නිසා යන දවසට හරියටම සති දෙකකට කලින්ම දෙවෙනි පංතියේ ආසන වෙන් කරලා තමා වැඩේ පටන් ගත්තේ. වෙසක් දවසේ උදේ තියෙන කෝච්චියට සීට් බුක් කිරීම ඇරඹුන දවසෙම මම ගියේ දවල් දෙකට විතර. ඒ වෙනකොටත් ආසන හතලිහක් වෙන් වෙලා ඉවරයි. හිතාගන්න පුළුවන්නේ සෙනග කොච්චරක් ඉන්න ඇතිද කියලා.

ඇත්තටම අනුරාධපුරේ යන්න ඕනේ කියලා හිතුනේ පිං සිතුවිලි පහලා වෙලා නම් නෙමෙයි. වෙසක් එකේ බොරු කියන්න ඕනේ නෑනේ. ඇත්තටම ගියේ, පුංචි කාලේ ගියාට පස්සේ අවුරුදු ගානකින් නොගිය නිසා වගේම අනුරාධපුරේ දැක ගන්න ආසා හිතුන නිසා. සමහරවිට ඉතිං… එහෙම හිතෙන්න ඇත්තෙ පෙර පිනකට වෙන්න ඇති…! නැත්තං ඉතිං අනිත් වෙසක් දවස් වලට වගේ ගෙවල් පැත්තෙම කැරකි කැරකි ඉන්න තිබුනනේ.

ඉතිං ආසන වෙන් කරපු දා ඉඳන් ගමනට ඕනේ වෙයි කියලා හිතන දේවල් කීපයක් ලෑස්ති කරා. ගොඩක් දේවල් තිබුන නිසා කරදර වෙන්න වුනේ නෑ වැඩිය. ඒත් අනුරාධපුරේට පැලෙන්න වහිනවා කියලා රේන කෝට් එකක් ගෙනියපං කියපු එකාටනම් අහුවුනොත් දෙනවා දෙකක්. අනුරාධපුරේට පුංචි පොද වැස්සක් ඇරෙන්න සති ගානකින් වැහැලා නෑ. අළුතෙන්ම රේන් කෝට් එකක් ගන්න වුනා වැරදි ආරංචිය නිසා. ඒක කමක් නෑ. වෙන ගමනක් යද්දි පාවිච්චි කරන්න බැරියැ.

ගමන පිටත් වෙන දවසේ, අනුරාධපුරේට කොළඹින් කෝච්චිය පිටත් වෙන්නේ උදේ 6.50ට. ඒක නිසා පාන්දරම නැගිටලා ගාලු පාරට ඇවිල්ලා දුර බස් එකක නැග්ගා. දුර බස් කියන්නේ ලග ලඟ හෝල්ට් වල නවත්තන්නේ නැති එව්වා. කොහොමහරි කොළඹට එද්දි උදේ හයයි. විනාඩි පනහක් තියෙනවා කෑම කාලා ගමනට සූදානම් වෙන්න. පස්සේ ඉතිං ඔක්කොම කරගෙන කොටුවේ ස්ටේෂන් එකෙන් ඇතුල් වෙද්දි හයයි හතලිස් පහට විතර ඇති. සීට් නැතිවෙයි කියලා බය වෙන්න දේකුත් නෑනේ. ඒක නිසා ඉතිං හැමදේම ගානට වෙලාවට, හදිස්සියක් නැතුවම කෙරුනා. කෝච්චයට නැගලා අපිට වෙන් කරපු සීට් එක තිබුන තැන නම් මරු. හරියටම දොරක් ගාව ඉස්සරහා පොඩි මේසෙකුත් එක්කම. අපේ බෑග් කෑම බීම ඔක්කොම ඒක උඩ තියන්න පුළුවන්.

දෙවන සමාධි පිළිමය

දෙවන සමාධි පිළිමය. මේක බලන්න යන්න වෙන්නේ පොඩි කැලේ පාරකින්. අපි ලොකු වටයක් යන්න තිබුන පාරක් මග හැරලා කෑලෑවෙන් පැන ගෙන යද්දි තමා මේ පිළිමය දකින්න ලැබුනේ. වාහන වල එන අයටනම් ප්‍රශ්නයක් නෑ. පිළිමය කිට්ටුවටම අනිත් පැත්තෙන් එන්න පුළුවන්.

ඊට පස්සේ ඉතිං හුලං වැදි වැදි එක දිගට පැය හතරාමාරක් විතර ගියා. සමහර තැන් වල ටික ටික ප්‍රමාද වුන නිසා ඇරෙන්න පැය තුන් කාලට අනුරාධපුරේට යන්න තිබුනා. ඊට පස්සේ ඉතිං දුම්රිය පොලෙන් බැහැලා එතෙනම තිබුන සිසිල් බීම දන්සැලෙන් බීම එකකුත් බීලා ගමන පටන් ගත්තා. අනුරාධපුරේ ගැන ඉතිං විශේෂයෙන් කියන්න දෙයක් නෑනේ… ඒක නිසා තැන් තැන් වලදී ගත්ත පින්තූර ටිකක් බලන්නකෝ. වැඩේ කියන්නේ ගෙදර ඉඳන්ම ලෑස්ති කරගෙන ගූගල් මැප් එකේ තියෙන පාරම තමා අනුරාධපුරේ ගියාම, එහෙන් ගන්න තියෙන මැප් එකේ තියෙන්නෙත්. ඒක නිසා ගමන ගොඩක් ලේසි වුනා. ඔන්න තියෙනවා උඩින්ම ලොකුවට. ඒක උඩ ක්ලික් කරලා ලොකු කරලා බලන්න පුළුවන්. අන්තිමට කුට්ටම් පොකුණ බලලා එද්දි හෙම්බත් වෙලා හිටියේ පයින්ම ඇවිදලා. අපි මුළු ගමනම ගියේ පයින් නිසා ටිකක් මහන්සියි. ඒක නිසා ආපු බස් එකේ නැගලා අනුරාධපුර නගරයට ආවා. ඊට පස්සේ තමා මතක් වුනේ ජේතවනාරාමය බැලුවේ නෑ නේද කියලා. වගේම තවත් තැන් කීපයක් මග හැරුනා. ඒ ඔක්කොම ආයෙම දවසක ගිහිං බලනවා කියලා හිතාගෙන රෑ දහයට පිටත් වෙන බස් එකේ නැගලා ඇවිත් කොළඹින් බහිද්දි පාන්දර දෙකයි හතලිහයි. ඊට පස්සේ කතරගම බස් එකක නැගලා ගෙදර යද්දි පාන්දර හතරයි… ගේට්ටුව වහලා නිසා ගෙට ගියේ තාප්පෙන් පැනලා…!

කුට්ටම් පොකුණ

කුට්ටම් පොකුණ

මෙතෙන හරි අපූරු වෙළඳාමක් සිද්ධ වෙනවා. කුට්ටම් පොකුනේ ඉන්න මාළුන්ට මෙතෙනට එන අය කෑම දානවා. ඒක නිසාම කඩ කිහිපයක බෝඩ් ගහලා තියෙනවා “මාළුන්ට දාන්න පොරි“ කියලා. ඒ අය පොරි විකුණන්නේ මාළුන්ට කන්න දෙන්න….!

සමාධි පිළිමය

සමාධි පිළිමය

සමාධි පිළිමය ගාවට කිට්ටු වෙන්න ටිකක් අපහසුයි. ඒ තරමට එතෙන සෙනග පිරිලා. එන ගමන් සීයා කෙනෙක් කිව්වා සමාධි පිළිමට දැන් දුර්වර්ණ වෙලා කියලා. හේතුව වෙලා තියෙන්නේ හරිහැටි ඉර එලිය නොලැබීමලු. උඩින් තියෙන පියස්ස නිසා පිළිමය නෙලලා තියෙන ගලට වැටෙන ඉර එළිය සීමා වෙලා නිසා පිළිමය නාස්ති වේගෙන යනවලු. පොළොන්නරුවේ අවුකන පිළමයටත් වැඩි ආරක්ෂාවට පියස්සක් හදලා මේ හේතුව නිසා ඒ පියස්ස නැවත අයින් කලා කියලත් කිව්ව… එයාගේ තර්කය වෙන්නේ… “මේ ගල් වලට ඉර එළිය අවශ්‍යයි. පියස්සක් ඕනෙනම් මෙච්චර හරියක් කරපු එකේ පියස්සක් නොගහා ඉන්න බැරි කමක් නෑනේ“

නටඹුන්

නටඹුන්

නටඹුන් කියන්නේ අපේ පැරණි සශ්‍රීකත්වයේ ඉතුරු වෙච්ච කෑලි. ආක්‍රමන නිසා අනුරාධපුරය දාලා පැනලා දිව්වා මිසක් ඒ ගැන හොයා බලන්න පැරැන්නන්ට වෙලාවක් තියෙන්න නැතුව ඇති. දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේවා මතු කරගෙන ගොඩක් තැන් වල, මේ ස්ථාන වල නම් ගහපු පුංචි බෝඩ් එකක් තියලා තියෙනවා ගල් බැමි මත. කොහොම වුනත් මේ දේවල් වලට තාම පන තියෙනවා වගේ. අතරින් පතර ගල් බැමි මත අරක්කු බෝතල්, බිඳුන වීදුරු කටු තියෙන්නේ ඒකයි.

ආයෙම පාරක් යන්න අදහසක් තියෙනවා. දැන්මම නෙවෙයි. තව අවුරුද්දකින් දෙකකින් විතර. ඒ වෙද්දි සමහර විට තාම හදාගෙන යන අභයගිරිය හදලා ඉවර කරලා තියේවි. බලන්න බැරි වෙච්ච තැන් ටිකත් බලාගන්න පුළුවන් එතකොට. –at අපේ මිනිස්සු පාලු නිසංසල තැන් හොයන්නේ බොන්න විතරයි.

 

%d bloggers like this: