වෙසක් අතීතය…

hugs

යාළුකම්….

මේ වෙසක් කාලෙනේ… වෙසක් කාලෙ කියන්නේ පොඩි අයට සුන්දර කාලයක්. ඒක නිසා පුංචි කාලෙට ගිහිං ආවොත් හොඳයි කියලා හිතුනා. අපි දැන් දෙපයින් නැගී හිට ගෙන ඉන්නේ ඒ දවස් වල ලබපු, විඳපු අත්දැකීම් එක්ක. ශරීරයෙන්, වයසෙන් වයසට ගියාට හිත්වල තාමත් පොඩි එවුන්ගේ වගේ දාංගලේ, සුන්දර දඩබ්බර කම් තාමත් තියෙන්නේ පුංචි කාලෙදිම ඒවා අපේ ආත්මයට එකතු වෙච්චි නිසා. ඒ හැඟීම් හිත්වලින් අකාමකා දාලා අපි දැන් ලොකු මිනිස්සු කියලා හිතන්න බැරි තරමට අපි ඒ හැඟීම් වලට, සෙල්ලක්කාර කමට අපි තාමත් ආදරය කරනවා. ඕනෑම ලොකු ප්‍රශ්නයකට නිරවුල් සිතින් මුහුණ දෙන්න තරම්, වැටුන ඕනෙ වෙලාවක ලේ ටික පිහිද ගෙන නැගිටින්න තරම් අපි පුංචි කාලේ දඟ කරලා වැටිලා, තුවාල වෙලා නැගිටලා තියෙනවා. යාළුවෝ එක්ක ගහගෙන තියෙනවා. බිම වැටිලා ගුටි කාලත් තියෙනවා. ආයෙ තව ටිකකින් ගහමරාගත්ත අය එක්කම එයාලගේ ගෙවල් වලටම ගිහිං තේ බීලත් තියෙනවා. චූටි චූටි හොරකම් කරලත් තියෙනවා. ඒවා අහුවෙලා බැනුම් අහලත් තියෙනවා. බැනුම් නම් මොනාද තාත්තගේ සාක්කුවෙන් රුපියල් දහයක් අරගෙන ගිහිං සැරම සැර ලුණුමිරිස් එක්ක ආප්ප කනකොට… ඒ හැම දෙයක්ම මතක් වෙනකොට…. හ්ම්… ලොකු ටෝක් දෙනවා නෙවෙයි. අනේ මන්දා මං නම් තාමත් එහෙමයි…! අඟපතෙන් මේරුවට හිත ඇතුලෙන් පොඩි එවුන් වගෙයි. මං විතරක් නෙමෙයි මගෙ අනිත් යාළුවොත්…! අවුරුදු ගානකින් දැක්කම ඇස් දෙකෙන් කඳුළු පෙරීගෙන ගිහිං “මචං“ කියලා බදාගන්නේ හදවතින්ම එන යාළුකමට. උං නැතුව දැනෙන පාළුවට…

දැන් පොඩි අයට වගේ ඒ දවස් වල ෆෑන් එකක් පැත්තකින් තියාගෙන කොම්පියුටරේ ඉස්සරහින් තියාගෙන වයර්ලස් ලෝකයක කාමර වලට වෙලා ගේම් ගහන්න තරම් තාක්ෂණයක් තිබුනේ නැති වුනාට අද පය විසික් කරලා සෑහෙන්න නැටුවා. හවස් වෙද්දි අම්මලා අපිව ගෙට ගන්නේ, දවල් කාලේ නාලා ඉන්න දූවිලි ටික වතුරෙන් නාවලා හෝදලා ඉවරවෙලා. දැන් ළමයින්ට වගේ දූවිලි ටිකක් ගිය ගමන් මහන්සිය හැදුනේ නෑ අපි කාටවත්. කොහේ හරි ගහක තියෙන ගෙඩියක් හොරෙන් කඩාගෙන කෑවත්, දූවිලි පිටින් නොසෝදා කෑවත් අපි කාටවත් බඩේ අමාරුව හැදුනේ නෑ. ඒ පරිසරයට අපි පුරුදු වෙලා ඉඳියා. නිකමට දැන් දරුවෙක්ව බෝවිටියා දම් එහෙම පාර දෙපැත්තේ තියෙන මඩ, දූවිලි තියෙන පාරකට… එකම එක පැයකට අතෑරලා බලන්න. ෂුවර් කොල්ලා යන්නේ නෑ… බෑම කියයි. බලෙන් යැව්වත් ආපහු එන්නේ උනක් හරි අඩුම ගානේ හෙම්බිරිස්සාවක්වත් හදාගෙන.

.

.

කීදෙනෙක් වෙසක් කාලෙට අටපට්ටමක් බඳින්න දන්නවද…? දැන් ළමයි දන්නේ උණබට හොයාල, ඒවා ගානට කපලා, නූල් වලින් බැඳලා සව්කඩදාසි අලවලා ගහක අත්තක එල්ලලා ඉටිපන්දමක් පත්තු කරන්න නෙවෙයි. එයාලා දන්නේ ප්ලාස්ටික් අටපට්ටම සෙට් කරලා ලයිට් එකක් දාන්න විතරයි. නිර්මාණශීලිත්වය කියන එක මොට වෙලා ගිහිං. කර්මාන්තශාලා වල ඉන්න රොබෝලා වගේ. කෑලී ටික ලං කරලා දුන්නම ගානට සෙට් කරලා ඒකාකාරී අවුට් පුට් එකක් දෙනවා. ඇත්තටම කියන්න ගත්තේ ඉස්සර වෙසක් කිට්ටු වෙද්දි කෙලපු පිස්සු ගැන. ඒත් ලියාගෙන ආපු විදියට එකපාරට වෙනස් කරන්න හිතෙන්නේ නෑ. ඒ අතීතයට අපි තාමත් කැමති නිසා…!

අටපට්ටම්

අටපට්ටම්

ම්… දැන් කියන්නම්. වෙසක් කිට්ටු වෙනවා කියලා අපිට දැනෙන්නේ අප්‍රේල් වල අවුරුදු පහුවෙලා සතියක් දෙකක් විතර යද්දි හමන්න ගන්න අමුතු සිසිලක් තියෙන සුළං ධාරාවෙන්. දැන් ඒක හමන්නේ නෑ කියලා දැනෙනවා. ඒ වෙනුවට එන්නේ සැර රස්නයක් එකතුවෙච්ච හුලඟක්. ඉතිං ඒ විදියට පරිසරයේ ඇති වෙන වෙනස් කම් එක්ක පොඩි කාලෙදී අපි මුලින්ම කරන්නේ කහ බට හොයන්න යන එක. ගොඩක් වෙලාවට ගෙවල් වලින් අපිව යවන්න බයයි. අපි බට හොයන්න යන්නේ වෙල්වලට… නැත්තං ඇලවල් අයිනට. ඒක නිසා ඉතිං අම්මලා බයයි. ගොඩක් වෙලාවට වැඩිහිටි අයියා කෙනෙක් හරි, තාත්තා කෙනෙක් හරි එනවා අපි එක්ක. ඔහොම ගිහිං බට කපාගෙන ඇවිත් ටිකක් වේලෙන්න දාල දවස් දෙකක් විතර තියනවා. නැත්තං කූඩුව බැඳලා සව් කොල අලවලා ඉටිපන්දම පත්තු කරාම ඒකෙ රස්නෙට උණපටි නැවෙන්න බලනවා. නැත්තං නූල්බැමි බුරුල් වෙනවා උණපටි ඇඹරෙන හින්දා.

ඊට පස්සේ කූඩු බඳින ගමන් ගමේ කට්ටිය එකතු වෙලා පොඩියට දන්සැලකුත් දෙන්න කතාකරගන්නවා. ඒකනම් තාමත් වෙනවා. මේ පාරත් තියෙනවා…! දන්සැල් වලට සල්ලි එකතු කරන්න ගම වටේ එකත් ජොලි වැඩක්. හැමෝගෙම ගෙවල් වලට ගිහිං මොනා මොනාහරි ලියාගෙන එනවා. නැත්තං සල්ලි වලින් ආධාරයක් ලියාගෙන එනවා. ආධාර පත්‍රය සකස් කරන්නේ කවුරු හරි වැඩිහිටියෙක්. අපි මොනා ලියයිද කියන්න කවුද දන්නේ. ඉතිං ඔහොම ගිහිං ගිහිං වෙසක්දා වෙනකොට පන්සලත් සරසනවා. වෙසක් දවසේ උදේ ඉඳන්ම අනිත් පොය් වලට වැඩිය විශේෂ විදියට හැම දෙයක්ම පන්සලේ සිද්ධ වෙනවා. සිල් ගත්ත අය සිල් පවාරනය කරලා එන වෙලාවට තමා දන්සැල පටන් ගන්නේ. ලී කනු හිටවලා, තහඩු හරි පොල් අතු හරි දාලා පාර අයිනේ තාවකාලික මඩුවක් හදාගන්නවා. ඒකෙ ඇතුලේ මේසයක් තියලා තමා බීම තියන්නේ. ගොඩක් වෙලාවට අපි දුන්නේ බීම දන්සැල්, නැත්තං තේ හෝ කිරි කෝපි. අම්මලා ඇවිත් බීම හදලා ලොකු ජෝගු වලට දාලා දෙනවා. අපි තමා ඉතිං එව්වා ගෙනිහිං පාරේ අයිනේ නවත්තන වෑන් වල අයට අල්ලන්නේ. වෙසක් දවස කියලා ඉතිං අපේ දාංගලේ වෙනස් වෙන්නේ නෑ… වාහන වල කොයිතරම් වැඩිහිටියෝ හිටියත් මුල්ම බීම කෝප්පය බලෙන්ම දෙන්නේ ගෑණූ ළමයෙකුට. පවුනේ එයාලා… ඒකයි.

අඩුම ගානේ පහනක් වත්...

අඩුම ගානේ පහනක් වත්…

ඔහොම බීම දෙන අතරේ පොඩි පොඩි කඩදාසි කෑලි දෙන අයත් හිටියා. එහෙම දීලා ගොඩගිය අයත් හිටියා. මට නම් එව්ව කරන්න බෑ. ගේ තියෙන්නේ පාර අයිනේ නිසා අම්මා බලාගෙන ඉන්නේ ගේ ඉස්සරහට වෙලා මගේ කල්කිරියාව දිහා. අපරාදේ… ඒ වෙලාවටනම් හිතුනා අපේ ගේ පාරෙන් ටිකක් එහාට වෙන්න තිබ්බනම් කියලා. ඉතිං එහෙම බීමත් බෙදලා ඉවරවෙන කොට රෑ වෙනවා. ඊට පස්සේ ඉතිං නාලා  කරලා රෝද වලට ලයිට් හයිකරපු බයිසිකල් වල දන්සැල් වල නවත්ත නවත්ත කිලෝ මීටර් පනහක් වත් දුරට යනවා පාර දිගට තියෙන තොරන්, කූඩූ බලාගෙන. ගෙදර එන්නේ පහු වෙනිදට එලිවෙන්න. මගදී වැස්සකට එහෙම අහුවුනොත් ඉතිං ගමන ඉක්මනටම ඉවර වෙනවා. එක පාරක් එලිවෙනකං බස් හෝල්ට් එකක ඉඳියා යාළුවෝ දහයක් පහලොවක් එක්ක බයිසිකල් වටේට තියාගෙන අපි මැදට වෙලා… වැස්සක් පායනකං. ඊට පස්සේ ඉතිං ඊළඟ දවසේ දවල් දෙක විතර වෙනකං නිදි. ආයෙම නැගිටලා හවස් වෙන්න යනවා පන්සල්… එදාට තමා ගමේ තියෙන කූඩු එහෙම බලන්නේ.

අපේ වෙසක් දවස් දෙක ගෙවුනේ එහෙමයි. ඒත් දැන් ළමයින්ගේ වෙසක් දවස් දෙකත් ගෙවෙන්නේ ගේ ඇතුලේ. පන්සල් යන්න ඕනේ නෑ, කූඩු හදන්න ඕනෙත් නෑ… දන්සැලුත් එපා… පුළුවන් නම් එක පහනක් පත්තු කරන්න…. වෙසක් දවසට එළියට බැහැලා පොඩ්ඩක් ඇවිදලා බලන්න… ඒත් බැරිනම් අහසේ පායලා තියෙන රවුම් හඳ දිහා වත් බලන්න….!

මේ පාර වෙසක් එකට දන්සැල් වලට උදවු වෙන්න බැරිවෙනවා, අපි යාළුවොත් එක්ක අනුරාධපුරේ යනවා…!

%d bloggers like this: