සිරි පැරකුම්

ප්‍රදර්ශනය පටන් ගත්ත දාම චිත්‍රපටියක් බලන්න ගියානම් ඒ මේක. නෙට් එකෙයි පත්තර වලයි හැමතැනම දැකලා, ප්‍රමෝෂනල් වීඩියෝ දැකලා දැකලම ආසාවක් ඇතිවෙලා තිබුනේ සිරි පැරකුම් බලන්න. ඒත් මුලින් හිතන් හිටියේ පටන් අරගෙන ටික දවසක් ගිහිං උණුසුම පහවුනාම ගිහිං බලන්න උනත්… ඔෆිස් එක එහා පැත්තේ තියෙන ෆිල්ම් හෝල් එකට උදේ 10.30 දර්ශන වාරයට ඇවිත් හිටිය හා ඇවිත් හැරිලා ගිය සෙනග දැක්කම මේක අදම බලන්න ඕනේ කියලා හිතුනේ මොකක් හරි විශේෂත්වයක් ඇති කියලා හිතුන නිසා.

සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටියක් හෝල් එකට ගිහිං බලන්න මම පුද්ගලිකව ආසා නෑ. ඉංග්‍රිසි/හිංදි හා වෙනත් ෆිල්ම් බලලා බලලා ඒවයේ තියෙන රූප හා ශබ්ද තත්වයන්ට හුරු වෙලා නිසා සිංහල ෆිල්ම් වල තියෙන තාමත් නොදියුණු මට්ටමේ තත්වයන්ට වැඩි කැමැත්තක් නැති නිසයි ඒ. ඒත් මේ ලඟකදී… දශකයට විතර ආසන්න කාලයක් පුරාවට නිමැවුන සමහර සිංහල චිත්‍රපටි තුල, නිහඬ බවක් තිබුනත් එයත් යම් ආකාරයක විඳීමක් බවට පත් කරන්න පුළුවන් නිර්මාණකරුවන් පිරිසක් බිහිවෙලා තියෙන නිසාත්, ඔවුන් යම් තරමකට අළුත් තාක්ෂණය සමගින් ඉදිරියට යන්න උත්සාහ දරන නිසාත්, වඩාත් හොඳ හා ගුණැති තිර පිටපත් ලියැවීම නිසාත් ලංකාවේ සිනමා කර්මාන්තයේ යම් තරමක විඳින්න පුළුවන් ගුණාත්මක භාවයක් ඉස්මතු වෙලා තියෙනවා. විදෙස් රටවල තියෙන හැම තාක්ෂණයක්ම අපිට ලැබෙන්න සෑහෙන්න කලක් යාවි. ඒ වෙද්දි ඒ තාක්ෂණය පිට රටවලට යල්පැන ගිය තාක්ෂණයක් වේවි. කොහොම නමුත් ලංකාවේ ළමයින් වෙනුවෙන් නිර්මාපකයින් කීපදෙනෙක් ඉදිරිපත් කරන මෙවැනි චිත්‍රපට නම් වැඩිහිටි අයට පවා වඩාත් ගුණාත්මක බවකින් යුක්තව බලන්න පුළුවන් බව ඇස් දෙකෙන්ම දැක ගන්න පුළුවනි.

කලිකාල, සාහිත්‍ය, සංගීත, සර්වඥ දෙවන පරාක‍්‍රමබාහු රජතුමාගේ ළමාකාලයේ සිට රජකම දක්වා ගතවුන කාල පරිච්චේදය දැක්වෙන සිරි පැරකුම් තැනී ඇත්තේ පැරණි ජනකතා හා ස්වල්පයක් වූ ලිඛිත සාහිත්‍යයේ එන උපුටාගැනීම් වලින්, අතීතය මෙසේ වන්නට ඇතැයි සිතමින් නිමකරන ලද සොඳුරු සිත්තමක් ලෙසිනි.

කාලෙකට පස්සේ සිංහල චිත්‍රපටියක් ඇත්තටම විඳීම ගැන සොම්නසින් ලියුවෙමි…!

රට වටේ යන වෙසක්…!

අනුරාධපුරේ අපි ඇවිද්ද තැන්...

අනුරාධපුරේ අපි ඇවිද්ද තැන්…

ඉස්සර වෙසක් එකට ගම වටේ ගියාට දැන් යන්නේ රට වටේ. අපි ලොකුයිනේ දැන්…! හතර පස් දෙනෙක් එකතු කරගෙන අනුරාධපුරේ යන්න ලෑස්ති වෙලා හිටියට අන්තිමට ඉතුරු දෙන්නයි. ම්… මං හිතන්නේ ඒ “හොඳම කණ්ඩායම“ වෙන්න ඇති. කවදාවත් කෝච්චියෙන් අනුරාධපුරේට ගිහිං නැති නිසා යන දවසට හරියටම සති දෙකකට කලින්ම දෙවෙනි පංතියේ ආසන වෙන් කරලා තමා වැඩේ පටන් ගත්තේ. වෙසක් දවසේ උදේ තියෙන කෝච්චියට සීට් බුක් කිරීම ඇරඹුන දවසෙම මම ගියේ දවල් දෙකට විතර. ඒ වෙනකොටත් ආසන හතලිහක් වෙන් වෙලා ඉවරයි. හිතාගන්න පුළුවන්නේ සෙනග කොච්චරක් ඉන්න ඇතිද කියලා.

ඇත්තටම අනුරාධපුරේ යන්න ඕනේ කියලා හිතුනේ පිං සිතුවිලි පහලා වෙලා නම් නෙමෙයි. වෙසක් එකේ බොරු කියන්න ඕනේ නෑනේ. ඇත්තටම ගියේ, පුංචි කාලේ ගියාට පස්සේ අවුරුදු ගානකින් නොගිය නිසා වගේම අනුරාධපුරේ දැක ගන්න ආසා හිතුන නිසා. සමහරවිට ඉතිං… එහෙම හිතෙන්න ඇත්තෙ පෙර පිනකට වෙන්න ඇති…! නැත්තං ඉතිං අනිත් වෙසක් දවස් වලට වගේ ගෙවල් පැත්තෙම කැරකි කැරකි ඉන්න තිබුනනේ.

ඉතිං ආසන වෙන් කරපු දා ඉඳන් ගමනට ඕනේ වෙයි කියලා හිතන දේවල් කීපයක් ලෑස්ති කරා. ගොඩක් දේවල් තිබුන නිසා කරදර වෙන්න වුනේ නෑ වැඩිය. ඒත් අනුරාධපුරේට පැලෙන්න වහිනවා කියලා රේන කෝට් එකක් ගෙනියපං කියපු එකාටනම් අහුවුනොත් දෙනවා දෙකක්. අනුරාධපුරේට පුංචි පොද වැස්සක් ඇරෙන්න සති ගානකින් වැහැලා නෑ. අළුතෙන්ම රේන් කෝට් එකක් ගන්න වුනා වැරදි ආරංචිය නිසා. ඒක කමක් නෑ. වෙන ගමනක් යද්දි පාවිච්චි කරන්න බැරියැ.

ගමන පිටත් වෙන දවසේ, අනුරාධපුරේට කොළඹින් කෝච්චිය පිටත් වෙන්නේ උදේ 6.50ට. ඒක නිසා පාන්දරම නැගිටලා ගාලු පාරට ඇවිල්ලා දුර බස් එකක නැග්ගා. දුර බස් කියන්නේ ලග ලඟ හෝල්ට් වල නවත්තන්නේ නැති එව්වා. කොහොමහරි කොළඹට එද්දි උදේ හයයි. විනාඩි පනහක් තියෙනවා කෑම කාලා ගමනට සූදානම් වෙන්න. පස්සේ ඉතිං ඔක්කොම කරගෙන කොටුවේ ස්ටේෂන් එකෙන් ඇතුල් වෙද්දි හයයි හතලිස් පහට විතර ඇති. සීට් නැතිවෙයි කියලා බය වෙන්න දේකුත් නෑනේ. ඒක නිසා ඉතිං හැමදේම ගානට වෙලාවට, හදිස්සියක් නැතුවම කෙරුනා. කෝච්චයට නැගලා අපිට වෙන් කරපු සීට් එක තිබුන තැන නම් මරු. හරියටම දොරක් ගාව ඉස්සරහා පොඩි මේසෙකුත් එක්කම. අපේ බෑග් කෑම බීම ඔක්කොම ඒක උඩ තියන්න පුළුවන්.

දෙවන සමාධි පිළිමය

දෙවන සමාධි පිළිමය. මේක බලන්න යන්න වෙන්නේ පොඩි කැලේ පාරකින්. අපි ලොකු වටයක් යන්න තිබුන පාරක් මග හැරලා කෑලෑවෙන් පැන ගෙන යද්දි තමා මේ පිළිමය දකින්න ලැබුනේ. වාහන වල එන අයටනම් ප්‍රශ්නයක් නෑ. පිළිමය කිට්ටුවටම අනිත් පැත්තෙන් එන්න පුළුවන්.

ඊට පස්සේ ඉතිං හුලං වැදි වැදි එක දිගට පැය හතරාමාරක් විතර ගියා. සමහර තැන් වල ටික ටික ප්‍රමාද වුන නිසා ඇරෙන්න පැය තුන් කාලට අනුරාධපුරේට යන්න තිබුනා. ඊට පස්සේ ඉතිං දුම්රිය පොලෙන් බැහැලා එතෙනම තිබුන සිසිල් බීම දන්සැලෙන් බීම එකකුත් බීලා ගමන පටන් ගත්තා. අනුරාධපුරේ ගැන ඉතිං විශේෂයෙන් කියන්න දෙයක් නෑනේ… ඒක නිසා තැන් තැන් වලදී ගත්ත පින්තූර ටිකක් බලන්නකෝ. වැඩේ කියන්නේ ගෙදර ඉඳන්ම ලෑස්ති කරගෙන ගූගල් මැප් එකේ තියෙන පාරම තමා අනුරාධපුරේ ගියාම, එහෙන් ගන්න තියෙන මැප් එකේ තියෙන්නෙත්. ඒක නිසා ගමන ගොඩක් ලේසි වුනා. ඔන්න තියෙනවා උඩින්ම ලොකුවට. ඒක උඩ ක්ලික් කරලා ලොකු කරලා බලන්න පුළුවන්. අන්තිමට කුට්ටම් පොකුණ බලලා එද්දි හෙම්බත් වෙලා හිටියේ පයින්ම ඇවිදලා. අපි මුළු ගමනම ගියේ පයින් නිසා ටිකක් මහන්සියි. ඒක නිසා ආපු බස් එකේ නැගලා අනුරාධපුර නගරයට ආවා. ඊට පස්සේ තමා මතක් වුනේ ජේතවනාරාමය බැලුවේ නෑ නේද කියලා. වගේම තවත් තැන් කීපයක් මග හැරුනා. ඒ ඔක්කොම ආයෙම දවසක ගිහිං බලනවා කියලා හිතාගෙන රෑ දහයට පිටත් වෙන බස් එකේ නැගලා ඇවිත් කොළඹින් බහිද්දි පාන්දර දෙකයි හතලිහයි. ඊට පස්සේ කතරගම බස් එකක නැගලා ගෙදර යද්දි පාන්දර හතරයි… ගේට්ටුව වහලා නිසා ගෙට ගියේ තාප්පෙන් පැනලා…!

කුට්ටම් පොකුණ

කුට්ටම් පොකුණ

මෙතෙන හරි අපූරු වෙළඳාමක් සිද්ධ වෙනවා. කුට්ටම් පොකුනේ ඉන්න මාළුන්ට මෙතෙනට එන අය කෑම දානවා. ඒක නිසාම කඩ කිහිපයක බෝඩ් ගහලා තියෙනවා “මාළුන්ට දාන්න පොරි“ කියලා. ඒ අය පොරි විකුණන්නේ මාළුන්ට කන්න දෙන්න….!

සමාධි පිළිමය

සමාධි පිළිමය

සමාධි පිළිමය ගාවට කිට්ටු වෙන්න ටිකක් අපහසුයි. ඒ තරමට එතෙන සෙනග පිරිලා. එන ගමන් සීයා කෙනෙක් කිව්වා සමාධි පිළිමට දැන් දුර්වර්ණ වෙලා කියලා. හේතුව වෙලා තියෙන්නේ හරිහැටි ඉර එලිය නොලැබීමලු. උඩින් තියෙන පියස්ස නිසා පිළිමය නෙලලා තියෙන ගලට වැටෙන ඉර එළිය සීමා වෙලා නිසා පිළිමය නාස්ති වේගෙන යනවලු. පොළොන්නරුවේ අවුකන පිළමයටත් වැඩි ආරක්ෂාවට පියස්සක් හදලා මේ හේතුව නිසා ඒ පියස්ස නැවත අයින් කලා කියලත් කිව්ව… එයාගේ තර්කය වෙන්නේ… “මේ ගල් වලට ඉර එළිය අවශ්‍යයි. පියස්සක් ඕනෙනම් මෙච්චර හරියක් කරපු එකේ පියස්සක් නොගහා ඉන්න බැරි කමක් නෑනේ“

නටඹුන්

නටඹුන්

නටඹුන් කියන්නේ අපේ පැරණි සශ්‍රීකත්වයේ ඉතුරු වෙච්ච කෑලි. ආක්‍රමන නිසා අනුරාධපුරය දාලා පැනලා දිව්වා මිසක් ඒ ගැන හොයා බලන්න පැරැන්නන්ට වෙලාවක් තියෙන්න නැතුව ඇති. දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේවා මතු කරගෙන ගොඩක් තැන් වල, මේ ස්ථාන වල නම් ගහපු පුංචි බෝඩ් එකක් තියලා තියෙනවා ගල් බැමි මත. කොහොම වුනත් මේ දේවල් වලට තාම පන තියෙනවා වගේ. අතරින් පතර ගල් බැමි මත අරක්කු බෝතල්, බිඳුන වීදුරු කටු තියෙන්නේ ඒකයි.

ආයෙම පාරක් යන්න අදහසක් තියෙනවා. දැන්මම නෙවෙයි. තව අවුරුද්දකින් දෙකකින් විතර. ඒ වෙද්දි සමහර විට තාම හදාගෙන යන අභයගිරිය හදලා ඉවර කරලා තියේවි. බලන්න බැරි වෙච්ච තැන් ටිකත් බලාගන්න පුළුවන් එතකොට. –at අපේ මිනිස්සු පාලු නිසංසල තැන් හොයන්නේ බොන්න විතරයි.

 

සුභ වෙසඟක්…!

වෙසක් අතීතය…

hugs

යාළුකම්….

මේ වෙසක් කාලෙනේ… වෙසක් කාලෙ කියන්නේ පොඩි අයට සුන්දර කාලයක්. ඒක නිසා පුංචි කාලෙට ගිහිං ආවොත් හොඳයි කියලා හිතුනා. අපි දැන් දෙපයින් නැගී හිට ගෙන ඉන්නේ ඒ දවස් වල ලබපු, විඳපු අත්දැකීම් එක්ක. ශරීරයෙන්, වයසෙන් වයසට ගියාට හිත්වල තාමත් පොඩි එවුන්ගේ වගේ දාංගලේ, සුන්දර දඩබ්බර කම් තාමත් තියෙන්නේ පුංචි කාලෙදිම ඒවා අපේ ආත්මයට එකතු වෙච්චි නිසා. ඒ හැඟීම් හිත්වලින් අකාමකා දාලා අපි දැන් ලොකු මිනිස්සු කියලා හිතන්න බැරි තරමට අපි ඒ හැඟීම් වලට, සෙල්ලක්කාර කමට අපි තාමත් ආදරය කරනවා. ඕනෑම ලොකු ප්‍රශ්නයකට නිරවුල් සිතින් මුහුණ දෙන්න තරම්, වැටුන ඕනෙ වෙලාවක ලේ ටික පිහිද ගෙන නැගිටින්න තරම් අපි පුංචි කාලේ දඟ කරලා වැටිලා, තුවාල වෙලා නැගිටලා තියෙනවා. යාළුවෝ එක්ක ගහගෙන තියෙනවා. බිම වැටිලා ගුටි කාලත් තියෙනවා. ආයෙ තව ටිකකින් ගහමරාගත්ත අය එක්කම එයාලගේ ගෙවල් වලටම ගිහිං තේ බීලත් තියෙනවා. චූටි චූටි හොරකම් කරලත් තියෙනවා. ඒවා අහුවෙලා බැනුම් අහලත් තියෙනවා. බැනුම් නම් මොනාද තාත්තගේ සාක්කුවෙන් රුපියල් දහයක් අරගෙන ගිහිං සැරම සැර ලුණුමිරිස් එක්ක ආප්ප කනකොට… ඒ හැම දෙයක්ම මතක් වෙනකොට…. හ්ම්… ලොකු ටෝක් දෙනවා නෙවෙයි. අනේ මන්දා මං නම් තාමත් එහෙමයි…! අඟපතෙන් මේරුවට හිත ඇතුලෙන් පොඩි එවුන් වගෙයි. මං විතරක් නෙමෙයි මගෙ අනිත් යාළුවොත්…! අවුරුදු ගානකින් දැක්කම ඇස් දෙකෙන් කඳුළු පෙරීගෙන ගිහිං “මචං“ කියලා බදාගන්නේ හදවතින්ම එන යාළුකමට. උං නැතුව දැනෙන පාළුවට…

දැන් පොඩි අයට වගේ ඒ දවස් වල ෆෑන් එකක් පැත්තකින් තියාගෙන කොම්පියුටරේ ඉස්සරහින් තියාගෙන වයර්ලස් ලෝකයක කාමර වලට වෙලා ගේම් ගහන්න තරම් තාක්ෂණයක් තිබුනේ නැති වුනාට අද පය විසික් කරලා සෑහෙන්න නැටුවා. හවස් වෙද්දි අම්මලා අපිව ගෙට ගන්නේ, දවල් කාලේ නාලා ඉන්න දූවිලි ටික වතුරෙන් නාවලා හෝදලා ඉවරවෙලා. දැන් ළමයින්ට වගේ දූවිලි ටිකක් ගිය ගමන් මහන්සිය හැදුනේ නෑ අපි කාටවත්. කොහේ හරි ගහක තියෙන ගෙඩියක් හොරෙන් කඩාගෙන කෑවත්, දූවිලි පිටින් නොසෝදා කෑවත් අපි කාටවත් බඩේ අමාරුව හැදුනේ නෑ. ඒ පරිසරයට අපි පුරුදු වෙලා ඉඳියා. නිකමට දැන් දරුවෙක්ව බෝවිටියා දම් එහෙම පාර දෙපැත්තේ තියෙන මඩ, දූවිලි තියෙන පාරකට… එකම එක පැයකට අතෑරලා බලන්න. ෂුවර් කොල්ලා යන්නේ නෑ… බෑම කියයි. බලෙන් යැව්වත් ආපහු එන්නේ උනක් හරි අඩුම ගානේ හෙම්බිරිස්සාවක්වත් හදාගෙන.

.

.

කීදෙනෙක් වෙසක් කාලෙට අටපට්ටමක් බඳින්න දන්නවද…? දැන් ළමයි දන්නේ උණබට හොයාල, ඒවා ගානට කපලා, නූල් වලින් බැඳලා සව්කඩදාසි අලවලා ගහක අත්තක එල්ලලා ඉටිපන්දමක් පත්තු කරන්න නෙවෙයි. එයාලා දන්නේ ප්ලාස්ටික් අටපට්ටම සෙට් කරලා ලයිට් එකක් දාන්න විතරයි. නිර්මාණශීලිත්වය කියන එක මොට වෙලා ගිහිං. කර්මාන්තශාලා වල ඉන්න රොබෝලා වගේ. කෑලී ටික ලං කරලා දුන්නම ගානට සෙට් කරලා ඒකාකාරී අවුට් පුට් එකක් දෙනවා. ඇත්තටම කියන්න ගත්තේ ඉස්සර වෙසක් කිට්ටු වෙද්දි කෙලපු පිස්සු ගැන. ඒත් ලියාගෙන ආපු විදියට එකපාරට වෙනස් කරන්න හිතෙන්නේ නෑ. ඒ අතීතයට අපි තාමත් කැමති නිසා…!

අටපට්ටම්

අටපට්ටම්

ම්… දැන් කියන්නම්. වෙසක් කිට්ටු වෙනවා කියලා අපිට දැනෙන්නේ අප්‍රේල් වල අවුරුදු පහුවෙලා සතියක් දෙකක් විතර යද්දි හමන්න ගන්න අමුතු සිසිලක් තියෙන සුළං ධාරාවෙන්. දැන් ඒක හමන්නේ නෑ කියලා දැනෙනවා. ඒ වෙනුවට එන්නේ සැර රස්නයක් එකතුවෙච්ච හුලඟක්. ඉතිං ඒ විදියට පරිසරයේ ඇති වෙන වෙනස් කම් එක්ක පොඩි කාලෙදී අපි මුලින්ම කරන්නේ කහ බට හොයන්න යන එක. ගොඩක් වෙලාවට ගෙවල් වලින් අපිව යවන්න බයයි. අපි බට හොයන්න යන්නේ වෙල්වලට… නැත්තං ඇලවල් අයිනට. ඒක නිසා ඉතිං අම්මලා බයයි. ගොඩක් වෙලාවට වැඩිහිටි අයියා කෙනෙක් හරි, තාත්තා කෙනෙක් හරි එනවා අපි එක්ක. ඔහොම ගිහිං බට කපාගෙන ඇවිත් ටිකක් වේලෙන්න දාල දවස් දෙකක් විතර තියනවා. නැත්තං කූඩුව බැඳලා සව් කොල අලවලා ඉටිපන්දම පත්තු කරාම ඒකෙ රස්නෙට උණපටි නැවෙන්න බලනවා. නැත්තං නූල්බැමි බුරුල් වෙනවා උණපටි ඇඹරෙන හින්දා.

ඊට පස්සේ කූඩු බඳින ගමන් ගමේ කට්ටිය එකතු වෙලා පොඩියට දන්සැලකුත් දෙන්න කතාකරගන්නවා. ඒකනම් තාමත් වෙනවා. මේ පාරත් තියෙනවා…! දන්සැල් වලට සල්ලි එකතු කරන්න ගම වටේ එකත් ජොලි වැඩක්. හැමෝගෙම ගෙවල් වලට ගිහිං මොනා මොනාහරි ලියාගෙන එනවා. නැත්තං සල්ලි වලින් ආධාරයක් ලියාගෙන එනවා. ආධාර පත්‍රය සකස් කරන්නේ කවුරු හරි වැඩිහිටියෙක්. අපි මොනා ලියයිද කියන්න කවුද දන්නේ. ඉතිං ඔහොම ගිහිං ගිහිං වෙසක්දා වෙනකොට පන්සලත් සරසනවා. වෙසක් දවසේ උදේ ඉඳන්ම අනිත් පොය් වලට වැඩිය විශේෂ විදියට හැම දෙයක්ම පන්සලේ සිද්ධ වෙනවා. සිල් ගත්ත අය සිල් පවාරනය කරලා එන වෙලාවට තමා දන්සැල පටන් ගන්නේ. ලී කනු හිටවලා, තහඩු හරි පොල් අතු හරි දාලා පාර අයිනේ තාවකාලික මඩුවක් හදාගන්නවා. ඒකෙ ඇතුලේ මේසයක් තියලා තමා බීම තියන්නේ. ගොඩක් වෙලාවට අපි දුන්නේ බීම දන්සැල්, නැත්තං තේ හෝ කිරි කෝපි. අම්මලා ඇවිත් බීම හදලා ලොකු ජෝගු වලට දාලා දෙනවා. අපි තමා ඉතිං එව්වා ගෙනිහිං පාරේ අයිනේ නවත්තන වෑන් වල අයට අල්ලන්නේ. වෙසක් දවස කියලා ඉතිං අපේ දාංගලේ වෙනස් වෙන්නේ නෑ… වාහන වල කොයිතරම් වැඩිහිටියෝ හිටියත් මුල්ම බීම කෝප්පය බලෙන්ම දෙන්නේ ගෑණූ ළමයෙකුට. පවුනේ එයාලා… ඒකයි.

අඩුම ගානේ පහනක් වත්...

අඩුම ගානේ පහනක් වත්…

ඔහොම බීම දෙන අතරේ පොඩි පොඩි කඩදාසි කෑලි දෙන අයත් හිටියා. එහෙම දීලා ගොඩගිය අයත් හිටියා. මට නම් එව්ව කරන්න බෑ. ගේ තියෙන්නේ පාර අයිනේ නිසා අම්මා බලාගෙන ඉන්නේ ගේ ඉස්සරහට වෙලා මගේ කල්කිරියාව දිහා. අපරාදේ… ඒ වෙලාවටනම් හිතුනා අපේ ගේ පාරෙන් ටිකක් එහාට වෙන්න තිබ්බනම් කියලා. ඉතිං එහෙම බීමත් බෙදලා ඉවරවෙන කොට රෑ වෙනවා. ඊට පස්සේ ඉතිං නාලා  කරලා රෝද වලට ලයිට් හයිකරපු බයිසිකල් වල දන්සැල් වල නවත්ත නවත්ත කිලෝ මීටර් පනහක් වත් දුරට යනවා පාර දිගට තියෙන තොරන්, කූඩූ බලාගෙන. ගෙදර එන්නේ පහු වෙනිදට එලිවෙන්න. මගදී වැස්සකට එහෙම අහුවුනොත් ඉතිං ගමන ඉක්මනටම ඉවර වෙනවා. එක පාරක් එලිවෙනකං බස් හෝල්ට් එකක ඉඳියා යාළුවෝ දහයක් පහලොවක් එක්ක බයිසිකල් වටේට තියාගෙන අපි මැදට වෙලා… වැස්සක් පායනකං. ඊට පස්සේ ඉතිං ඊළඟ දවසේ දවල් දෙක විතර වෙනකං නිදි. ආයෙම නැගිටලා හවස් වෙන්න යනවා පන්සල්… එදාට තමා ගමේ තියෙන කූඩු එහෙම බලන්නේ.

අපේ වෙසක් දවස් දෙක ගෙවුනේ එහෙමයි. ඒත් දැන් ළමයින්ගේ වෙසක් දවස් දෙකත් ගෙවෙන්නේ ගේ ඇතුලේ. පන්සල් යන්න ඕනේ නෑ, කූඩු හදන්න ඕනෙත් නෑ… දන්සැලුත් එපා… පුළුවන් නම් එක පහනක් පත්තු කරන්න…. වෙසක් දවසට එළියට බැහැලා පොඩ්ඩක් ඇවිදලා බලන්න… ඒත් බැරිනම් අහසේ පායලා තියෙන රවුම් හඳ දිහා වත් බලන්න….!

මේ පාර වෙසක් එකට දන්සැල් වලට උදවු වෙන්න බැරිවෙනවා, අපි යාළුවොත් එක්ක අනුරාධපුරේ යනවා…!

ඕකිඩ් ඓශ්චර්යය…

අසිරිය

අසිරිය

සමහර දේවල් තියෙනවා ලංකාවට විතරක් සීමාවුන. එක අතකින් බලද්දි ඒ දේවල් ලංකාවට විතරක්ම වෙච්ච එක හොඳයි… නැත්තං අනිත් රටවලුත් අපේ රට වගේ, මහජනයාට හුඟාක්ම ප්‍රිය රටවල් වෙයි. දරුවෙකුට උපදින්න සුදුසුම රටක් කියලත් හංවඩු ගැහෙයි. ඒ හැමදෙයක්ම මිනිසුන් විසින් කරන ලද දේවල් වල ප්‍රතිපල. ඒත් මිනිසුන්ගේ මැදිහත් වීමකින් තොරව ඉබේම ඇති වෙච්චි දේවලුත් ලංකාවට තියෙනවා. ඒවා ලංකාවට ආවේණිකයි කියල තමා කියන්නේ. ඒ වගේම ලංකාවට ආවේණික නොවුනත් වෙනත් රටවලත් සුළු වශයෙන් හා ලංකාවේ වැඩි වශයෙන් තියෙන දේවලුත් තියෙනවා. සමහර වෙලාවට අපි වැඩිය සොයා නොබලන නිසා මෙන්ම, දැන ගන්න ලැබෙන අවස්ථාත් අඩුනිසා ඒ වගේ දේවල් මග හැරෙනවා.

මිනිසා විසින් කොයිතරම් දේවල් කෙරුවත් ඒ කිසිවකට සොබාදහම පරයා නැගී සිටින්න බැරි බව මගේ පෞද්ගලික මතයක්. අපි ආහාර ලබාගන්නේ, වතුර ලබාගන්නේ… හුස්ම ටික පවා තාමත් ලබා ගන්නේ ගස්වලින්. තාක්ෂණය යම් දිනයක දියුණු වෙලා හයිඩ්‍රිජන් අණු දෙකකට එක ඔක්සිජන් අණුවක් අමුණලා අවශ්‍ය කරන ලවන වර්ගත් එක්ක බීමට සුදුසු ජලය ලැබෙන්න පුළුවනි. ඒ වගේම කෑම වලින් ශරීරයට ලබාදෙන සියළු දේවල් එක එන්නතකින් ලබාදෙන කාලයකුත් ඒවි. මිනිසාට ජීවත් වෙන්න අවශ්‍ය කරන හැමදේම කෘතිමව නිපදවන්න හැකිවේවි. ඒත්… සොබාදහමෙන් ලබාදෙන දේවල් තරම් ඒ කිසිවක් ලාභ දායක නොවේවි…! සුන්දර නොවේවී…! චිත්තයක් කර ගහ ගත්තු භෞතික ශරීරවල පැවැත්මට පමණක් ඒ දේවල් සීමා වේවි.

ඒකට තව කාලයක් ගතවෙයි. එතකන් ඉතිං මේ මහ පොළවේ පය ගහලා නිකං ලැබෙන ඔක්සිජන් ටික පෙනහල්ලට දාගෙන ශරීරය පුරා දුවවලා කාබන්ඩයොක්සයිඩ් ටිකක් පිට කරන ගමන් මේ අසිරියත් දැකගන්න. සොබාදහමෙන් තිළිණ වුන ලෝකයේ විශාලම සපුෂ්ප ශාක කුලයට අයත් වන, මේ පෘථිවියේ පැරණිම මලක් වන ඕකිඩ්…! වර්ග 25,000 කට අධික සෑම රටකම පාහේ දකින්නට ඇති, සමහර රටවලට විශේෂිත වූ වර්ගත් ඇති මේ මල් වර්ගය ගැන ලෝකයට උනන්දුවක් ඇති වුයේ 19 ශතවර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් බ්‍රසීලයේ සිට, තමා එක් රැස් කර ගත් ඕකිඩ් මල් පිරවු බඳුනක් එංගලන්තයට ගෙන යාමත් සමගයි.

ඉගිල්ලෙන වෙර දරන තාරාවුන් වැනි

ඉගිල්ලෙන වෙර දරන තාරාවුන් වැනි

පුරාණ එංගලන්ත වාර්තාවල ඇති පරිදි ලෝකයේ අනුරාගීම මල ලෙස පිදුම් ලැබුවේත් මෙම ඕකිඩ් කියලා සඳහන් වුන තැන් කීපයක් තියෙනවා. ඒ වගේම නොමුහුන් ඕකිඩ් වර්ග 25,000කට අධික ප්‍රමාණයක් තියෙද්දි දෙමුහුන් ඕකිඩ් වර්ග 40,000කට අධික ප්‍රමාණයක් තියෙනවා. දැනට ලෝකයේ උත්සව අවස්ථාවන් සඳහා වැඩියෙන්ම භාවිත වන මලත් ඕකිඩ්. ඕකිඩ් මල් වල අනෙකුත් මල්වල නොමැති විශේෂයක් වන්නේ සමහර ඕකිඩ් විශේෂ වලින් දිස්වෙන විවිධාකාරයේ සතුන්ගේ හැඩතලයි. ලාංකික අපිට හොඳින්ම දැක පුරුදු “කැන්ඩියන් ඩාන්සර්“ නම් වූ කහ පැහැති උඩරට නැට්ටුවෙකුගේ හැඩය ගත් මලත් ඕකිඩ් විශේෂයක්. ලංකාවේදී ඕකිඩ් වලට උඩවැඩියා කියන නම් භාවිතා කරනවා වගේම වෙනත් රටවලත් ඔවුන්ටම ආවේණික නම් භාවිතා වෙනවා.ලංකාවේ පමණක් නෙවෙයි, වෙනත් රටවලත් විවිධ හැඩතල ඉස්මතුවෙන ඕකිඩ් විශේෂ තිබෙන බව ඔබ දන්නවාද…?

බලන්න මෙතෙක් නොදැක්කානම් ඒ සුන්දරත්වය. අතීතයේ මිනිසුන් විශ්වාස කරලා තියෙනවා මේ මල් වලට මෙවන් හැඩ ලැබෙන්නට හේතුවී ඇත්තේ එම විවිධ හැඩැති සතුන් ඕකිඩ් මල් මත මියයාම හෝ මියගිය ආත්ම ඕකිඩ් මල් මගින් නැතවත් පුනර්ජනනය වෙන නිසා බව. ඒ වගේම සමහර ඕකිඩ් සුවඳ ආග්‍රහනයෙන් දීර්ඝ ආයුෂ ලබාගන්නත් පුළුවන් බව ඔවුන් විශ්වාස කර තිබෙනවා. ඒ වගේම සමහර ඕකිඩ් මත වසන මීමැස්සන් ක්ෂනිකව මැරී වැටෙන තරම් විසකුරු බවත් ඔවුන් දැක ඇත. –at මිනිසුන් තරම් විසකුරු නැත.

තණකොල පෙත්තෙක්

තණකොල පෙත්තෙක්

කළු වවුලා නමින් හඳුන්වන ඕකිඩ්... මෙයම ක්ළු සමනලයා නමිනුත් හඳුන්වනවලු

කළු වවුලා නමින් හඳුන්වන ඕකිඩ්… මෙයම කළු සමනලයා නමිනුත් හඳුන්වනවලු

ශීත බබෙක් වැනි ඕකිඩ්

ශීත බබෙක් වැනි ඕකිඩ් (Oh kid 🙂 )

වඳුරු මුහුණක් පෙන්වන ඕකිඩ්

වඳුරු මුහුණක් පෙන්වන ඕකිඩ්

නිරුවත් සුරංගනාවන් සේ දිස්වෙන

නිරුවත් සුරංගනාවන් සේ දිස්වෙන

ඩ්‍රැකියුලා ඕකිඩ් නම් විශේෂය

ඩ්‍රැකියුලා ඕකිඩ් නම් විශේෂය

මහජන මිත්‍රශීලි…?

යම් දෙයක් ගැන විවේචනය කරන්න කලින් ඒ දේ විවේචනයෙන් ඇතිවෙන්න පුළුවන් පසු ප්‍රතිපල මොන වගේ වෙයිද කියලා මිනිස්සු හිතනවා. දෙපාරක් හිතනවා කියන්නේ ඒකට. සමහර වෙලාවට පසුකාලීනව ඇතිවන බරපතල ප්‍රශ්න නිසා අද කරන්න ඕනේ දේවල් නොකර ඉන්නවා. ඕනේ එකක්. කියන්න ඕනේ දේ කියන්න ඕනේ. ඇනෝනිමස් බ්ලොග් එකක ලියන්න තිබුනනම් යම් තරමකට හානිය අඩුවේවි… ඒත් අන්‍යයතාවයක් නැති ආත්‍රපෝඩා ගණයට වැටෙන්න කිසිම අදහසක් නැති නිසා මගේ බ්ලොග් එකේම මේක ලියනවා.

f*** cops

f*** cops

පටන් ගන්නේ මෙහෙම… “මහජන මිත්‍රශීලි, වෘත්තීමය, අභිමානවත් පොලිස් සේවයක් උදෙසා“ කියලා. කියන්න කනගාටුයි, මට පේන විදිවට නම් මහජන කෑල්ල මුදල් / බලතල කියලා වෙනස් වෙන්න ඕනේ වගෙයි. ඉස්සර නම් පොලිසිය කිව්වම සෑහෙන ගරුත්වයක් තිබුනා හිතේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනාම පොලිසියට දුවගෙන යන්න බයක් හිතුනේ නෑ. ඒත් දැන් නම් කාගෙන් හරි ගුටි කාලා පාරේ මැරුනත් පොලිසියට යන්න බයයි. මොකද එතනින් ලැබෙන සැලකිලි ගැන ඇහෙන කොට යම් කිසි විදියක නරකාදියක සේයාවක් තියෙනවද කියලත් හිතෙනවා. එතෙන ඉන්නේ අමුතුම මායාකාරී බලයක් තියෙන කට්ටියක්. නිවරදි කෙනෙක්ගේ පිටේ වැරැද්දක් පටවන්න ඔවුන්ට ඕනේ වෙන්නේ සල්ලි හෝ ලොක්කෙක්ගේ වචනය පමණයි. සෝ සිම්පල්…. අභිමානය යනු කුමක් දැයි මොවුන් දන්නේ නැති තරම්ය.

රත්වෙන්නේ හේතුවක් ඇතුව. පෝය දවසෙ කළුතර බෝධිය ගාව මල් විකුණපු කට්ටියක් අත්අඩංගුවට අරගෙන. මහජනයාට හිරිහැර වෙන පරිදි මල් විකිණුවා කියලා තමා චෝදනා කරලා තියෙන්නේ. මමත් කළුතර බෝධි ගිහිං තියෙනවා වගේම තාමත් යනවා. පෝය දවස් වලට. ඒත් කිසිම කෙනෙක් “මල් ටිකක් අරගෙන යන්න“ කියනවා මිසක් කවදාවත් මල් මිටක් බලෙන් ඇඟේ ගහලා නෑ සල්ලි අරගෙන නෑ… උදාහරණයක් වශයෙන් ගත්තොත්… මල්ලි අපි නඩු දාන්නද, නැත්තං පොඩ්ඩක් අපි ගැන බලනවද… කියලා වගේ අනවශ්‍ය බලපෑමක්වත් නෑ. ඒ මිනිස්සු එතෙන මල් විකුණන්නේ පෝය දවස කියන්නේ යම් කිසි මුදලක් වැඩිපුර හොයාගන්න පුළුවන් නිසා. ඒ මිනිස්සුන්ට සල්ලි නැතුව ඇති බෝධියට ටිකක් එහායින් තියෙන මල් විකුණන කඩයක් ගන්න. ඒක නිසා දරු පවුල රැක ගන්න එහෙම කරනවා ඇති. හුම්… මහජනතාවට හිරිහැර කරන්නේ කව්ද කියලා මහජනතාව දන්නවා…

මහජනතාවට හිරිහැර කරන අය

මහජනතාවට හිරිහැර කරන අය

ඔවුන් යම් තරමක සියුම් කරදරයක් බව ඇත්ත. ඒත් ඊට වැඩිය නරක දේවල් කොයිතරම් වෙනවද. විශේෂයෙන් පෝය දවසට. පෝය කියන්නේ නිවාඩු දවසක් නිසා පොලිසියේ ඇත්තොම කී දෙනෙක් හොරෙන් බොනවද, බඩු ගහනවද…? ගනිකා වෘත්තිය තාම ලංකාවේ නීතිගත කරලා නැහැනේ… නේද…? ඇයි ඒවට විරුද්ධව පොලිසියේ පොලු ඉස්සෙන්නේ නැත්තේ… ඇය තුවක්කු පත්තු වෙන්නේ නැත්තේ. ඒ තමා සල්ලි බලේ. සල්ලි වලට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙද්දි… පොලිසියේ අයව නම් සල්ලි වලින් බලු කරන විතරයි කරන්නේ. කොටින්ම ලොකු ලොක්කන්ගේ සල්ලි කාරයින්ට “අනේ සර්…“ කියලා දෙකට නැමිලා, පසු භාගය දන්දෙන පිටකොන්දක් නැති, තමන්ට කෙලින් තීරණයක් ගන්න බැරි, පරපෝශී චරිත ටිකක් බිහිවෙන එක කරන්නේ එහාට මෙහාට නිතීවිරෝධිව විසික්වෙන සල්ලි වලින්.

පෝය දවසේ පොඩි මිනිස්සුන්ගේ කසිප්පු අල්ලනවා, දැන් මල් විකුණන එකත් අල්ලනවා… ලොකු මිනිස්සුන්ගේ කුඩු විකුණන එක, බඩු විකුණන එක…? පෝය දවසට ඒවා කැපයි… මොකද අපරාධ කරන ගොඩ දෙනක් අවට පන්සල් වල ප්‍රධාන දායකයෝ. කළුතර මල් විකුණන අය අල්ලන් පුළුවන් නම් ඇයි, පූජනීය නගරය වෙන අනුරාධපුරේ බඩු විකුණන අල්ලන්න බැරි…? බයද තම තමන්ගේ ප්‍රතිපාදන අඩුවෙයි කියලා?

පොලිසිය ගැන මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ ගෞරවයක් නෙවෙයි. අද්භූත බයක්. තව අවුරුදු කීපයකින් පොලිස් කාරයෙක්ව තනියම අහුවුනොත් ගහලා ගහලා මරලා දාන තත්වයට මිනිසුන් පත්වේවි. නරක දාහක් මැද්දේ එක හොඳ කෙනෙක් ඉන්න පුළුවන්. ඒත් ඉස්මතුවෙද්දිම අනිත් දෙදාහක් අත්වලින් ඒ ඉස්මතු වීම නවතියි. අපිට පේන එකක් නැහැ ඒ හොඳ. ඇත්තෙන්ම මම වෛර කරනවා මහ ලොකු මහජන මිත්‍රශිලීන්ට… හේතුව, හැමෝටම එක වගේ නොසැලකීම.

දැන් මටත් චෝදනා එයි… ඔයත් පොලිසියේ වුනානම් ඔහොම නේද කියලා…? ඒ ගැන තව ටිකක් හිතන්න ඕනේ. ඒ වගේම දැනට ලාංකිකයෙක් වශයෙන් කරන්න පුළුවන් ආරක්ෂිතම හා ලාභදායකම රස්සාව පොලිස් වෘත්තිය. හිතාබලන්න… හදිසියේ හරි වැටෙන කරදරයකින් ගොඩයන්න වගේම කිසිම ප්‍රතිවාදියෙකුට බය නැතුව ජීවත් වෙන්න තියෙන අවස්ථාව මග හරිනවාද කියලා. අදම ටී.වී එකේ යන ඇඩ් එකක් බලලා පොලිසියට බැඳෙන්න. තමන්ගේ ආත්මය පාවාදෙන්න. සමහරවිට ප්‍රොමෝෂන් සඳහා ගෙදර ගෑණිව හෝ ගැහැණු ළමයින්ව වුවත් පාවාදීමට සිදුවිය හැක. ඒත් එයින් අසීමිත වාසනාවක් ඔබකරා එනු ඇත. අනාගතයට මූන දෙන්න ඉන්න දරුවන්ට පිට කොන්දක් නැති අලංකාර රූකඩ ඩැඩෙක් වීමටත් අවස්ථාව ඇත. ඒ වගේම අහිංසක මිනිස්සුන්ගේ ශාපයට ලක්වන වාසනාවන්තයෙක් වීමටද ඔබට හැකිය.

පොලිසියෙන් වෙන ආසාධාරණ කියන්න වෙන්නෙත් පොලිසියටමයි. වෙන වෙන තැන්වලට කිව්වයි කියලා වැඩකුත් නැති එකේ… කට බිම උලාගෙන පාඩුව විඳගන්න වෙන රටක ජීවත් වෙන එක දැන් ඇතිවෙලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට කිසිම හිතවත්කමක් නැති, සාමාන්‍ය ජනතාවට නිතරම බියෙන් ඉන්න වෙන රටක තව දුරටත් ඉන්නවනම්… එක්කෝ ඒ බිය දුරුවෙන්න ඕනේ. නැත්තං බිය නැති පලාතකට යන්න ඕනේ… හරිහමං නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැති රටක ජීවත් වෙනවා කියන්නේ දැන දැනම තමන්ගේ වටිනා ජීවිතය අනතුරේ දාගැනීමක්… තීරණය ගන්න කාලය හරියාගෙන එන්නේ.

මේකට කමෙන්ට් නැත්තටම නැත්වෙන්න පුළුවන්… ඒ ඔබ දෙපාරක් හිතන නිසා… (ඇනෝ කමෙන්ට් එපා) ඒත් හුඟ දෙනෙක් කියවාවි… ඒක සතුටක්. මට කරන්න පුළුවන් මෙච්චරයි. ඒත් මීට වැඩිය, නපුංසක හැත්තට දැනෙන්න දෙයක් කරන්න අවස්ථාවක් ලැබුනොත් නොකර ඉන්නෙත් නෑ. බලන්න ලංකාදීප ලිපිය හා කමෙන්ට්… –at මටනම් එකෙක් වත් විශ්වාස නෑ.

අපරාධකරුවන්ටත් වඩා පොලිසියෙන් ප්‍රවේසම් වන්න….!


තවත් කියවිය යුතු පෝස්ට් එකක්…

“බිසී”

මහන්සියි

මහන්සියි

වෙලාවකට හිසරදයක් වෙන…

වෙලාවකට බඩේ අමාරුවක් වෙන…

පිපාසයට වතුර ටිකක් බොන්න නැති…

බඩගින්නට කන්න වෙලාවක් නැති…

නිදහසේ හුස්ම ටිකක් ගන්න නැති…

ඇහිපිල්ලමක් ගහන්න නැති…

මහා හිරිකිත “බිසි” සමගින් හෙම්බත්ව…

ලැබුන සුළු විවේකයත් මෙලෙස “බිසි” වුන හැටි…!

හම්මෝ…. මහන්සියි… මහන්සියි… මහන්සියි…

%d bloggers like this: