පද්මෙගේ ඉතුරු සල්ලි…

පද්මේ කියන්නේ ඔෆිස් එකේ පියන් කෙනෙක්. ඒක නෙවෙයි. දැන් මම ඔෆිස් එකේ හැම එකාටම මඩ ගහනවා. හොඳ වෙලාවට මං හිතාගෙන ඉන්න විදියටනම් එක්කෙනෙක් වත් බ්ලොග් බලන්නේ නෑ. හැබැයි බලපු දාට…??? එහෙමත් නැත්තං වැඩ කරන අයගේ ළමයෙක් හරි ඉන්ටනෙට් එකේ, තාත්තගේ නමට සමාන නමක් දැකලා තාත්තා මෙහෙම දෙයක් කරාද කියලා ගෙදර ගිහිං ඇහුවොතිං හරි..???

මෙන්න මේ වගෙයි

මෙන්න මේ වගෙයි

අනිත් මනුස්සයෝ වගේම තමා මේ මනුස්සයත් හරි හොඳයි. ආයේ අපි කෙනෙකුට නරකයි කියලා පටන් ගත්තේ කවදද… කතාව ලියද්දි චරිතෙ අජපල් කරලා ලියනවා මිසක්. මෑන් තමා අපේ ලඟ වැඩ වලට වගේම දුර වැඩවලටත් යවන්න ඉන්න පළපුරුද්ද අතින් දෙවෙනියට ඉන්න කෙනා. වයස ඇති අවුරුදු 40ක් 45ක් විතර. මූන දැක්කගමන් ඕනෙ කෙනෙක්ට මතක් වෙන්නේ කෝකියෙක්ව හෝ වයසක නාවික නිලධාරියෙක්ව. ඒ පද්මෙගේ උඩු රැවුල නිසා. ඇත්තටම පද්මේ හොඳ දත් දොස්තර කෙනෙක්… ගලෝනවා දත් දෙනෝදාහක් බලාගෙන ඉන්දැද්දි. මෙයාට වැඩක් බාරදුන්නම වෙලාව ගැන කොහෙත්ම සැලකිල්ලක් දක්වන්නේ නෑ. වෙන අළුත් පියන් කෙනෙකුට පැයක් යන වැඩේට මෙයාට ගතවෙනවා පැය තුනක් විතර. ඒක තමා පළපුරුද්ද කියන්නේ… ඔය දැන් අළුතෙන් ඇවිල්ලා ඉන්න අයත් තව ටිකක් කල් යද්දි පළපුරුද්ද එක්ක ඒ තත්වෙට පත්වෙනවා. හැබැයි කලින් ගෙදර යන්න ඕනේ දාට නම් දුන්න වැඩ ටික ඔක්කොම කරා හෝ නැතුවා මෑන් ඉන්නවා 4.30 වෙද්දි ඔෆිස් එකේ.

ඒක සාමාන්‍යයෙන් පියන්ලා හැමෝටම පොදු ධර්මතාවයක් කියමුකෝ. ඒ වගේම හැම කෙනාටම විශේෂිත ලක්ෂනත් තියෙනවනේ. පද්මෙගේ විශේෂ ලක්ෂනය තමා රොබින් හුඩ් න්‍යාය. ඒ අළුත් න්‍යායක්. හැබැයි ඉතිං පද්මෙ රොබින් හුඩ් න්‍යායට වැඩ කලාට ඌට ඇරෙන්න ඊට පහල පියන්ලා කිසි කෙනෙකුට වැඩක් නෑ.

දැන් බොස්ලා එහෙම දවල්ට කෑම ගෙදරින් නොගෙනාපු දාට පද්මෙට තමා සල්ලි දෙන්නේ හොඳ තැනකින් කෑම එකක් ගේන්න කියලා. ඉතිං දොලහට ඕනේ කෑම එක ගේන්නේ බුවා පිටත් වෙන්නේ එකොලහට. නැත්තං ඊටත් කලින්. ඔෆිස් එක අවට ඕනේ තරම් ඉස්තරම් හෝටල් හෝ කෑම කඩ තියෙනවා. ඒවයින් එකකට ගිහිං කෑම එකක් ගන්න උපරිම විනාඩි දහයක් යයි. ඒත් ඉතිං අර පළපුරුද්ද එක්ක ඒ වෙලාව මදි වගේ ඇති. ඒක නිසා තමා කෑම එක අරගෙන සිගරට් එකක් බීලා… කයියකුත් දාගෙන ඉඳලා පද්මේ එන්නේ.

ඒ ඇවිල්ලා බොස්ට ඉතුරු සල්ලි දෙන්න ගියාම තමා පද්මෙගේ හොඳම හරිය එලියට එන්නේ.

හිතාගන්න පුළුවන්නේ ඇක්ෂන් එක

හිතාගන්න පුළුවන්නේ ඇක්ෂන් එක

ආ… මෙන්න සර් කෑම එක. කියලා කෑම එක දීලා, ඉතුරු සල්ලි දෙන්නේ අඩියක් දෙකක් විතර පිටිපස්සට ඇවිත්. එතකොට බොස් පුටුවෙන් ඉස්සිලා ටිකක් ඉස්සරහට බරවෙලා සල්ලි ගන්න අතදික්කරද්දි පද්මෙගේ  සල්ලි අල්ලන් ඉන්න අත ටිකක් පස්සට එනවා. ආයෙම බොස් පුටුවෙන් වාඩි වුනාම පද්මේ සල්ලි තියෙන අත බොස්ට ලංකරනවා… එතකොට ආයෙමත් බොස් පුටුවෙන් ටිකක් ඉස්සෙන කොට පද්මේ අත පස්සට අදිනවා.  ඒ කියන්නේ බොස්ට සල්ලි ගන්න බැරි තරම් දුරකට පද්මෙගේ අත පස්සට එනවා. ඔහොම දෙතුන් පාරක් වුනාම, දොරගාව තමන්ගෙන් අත්සන් ගන්න ඉන්න මිනිස්සුන්ව දකින බොස්ලා…

හා.. හා… ඕක තමුසේ තියාගෙන අර මිනිස්සුන්ට එන්න කියනවා… කියලා පද්මෙව පිටත් කරලා දානවා.

පියන් ලොක්කා කියන්නේ පද්මේ පඩියට වැඩිය ගානක් ඒ වැඩෙන් හොයනවා කියලා. කොච්චර වුනත් ඉතුරු වෙන රුපියල් සීයකට එකසිය විස්සකට පද්මෙගේ පස්සෙන් පන්නන්න ලැජ්ජයිනේ බොස්ලට. ඒක නිසා ඉතිං පද්මෙට සරුයි. මිනිහා ඒක කරන්නේ බොස්ලට විතරයි. ඒ කියන්නේ සල්ලි තියෙන අයට විතරයි. ඒකයි පියන්ලා හැමෝම පද්මෙට රොබින් හුඩ් කියන්නේ. අනිත් සාමාන්‍ය අයට පද්මෙගෙන් හිරිහැරයක් නෑ වගේම… ඌ අපිට කෑම ගේන්නෙත් නෑ.

පද්මේ කෑම එකක් ගෙනත් දෙනවද…?

අනේ මහත්තයා මං දැන් ස්ටෝස් යන්න හදන්නේ… පද්මේ යන මගුලක ගිහිං එන වෙලාව දන්න නිසා ආයේ කෙනෙක් බලකරලා කියන්නේ නෑ කෑම එකක් ගේන්න කියලා. එහෙම වුනොත් කෑම එක ලැබෙන්නේ තුනාමාරට, හතරට වෙන්න පුළුවන්… පද්මෙ කලින් ගෙදර යන දවසක් නෙමේ නම් දවල්ට ගේන්න කියපු කෑම එක ඊලඟ දවසේ උදේ එනකොට මේසේ උඩ තියෙන්නත් පුළුවන්..! –at පළපුරුද්ද තමා ඉතිං හැමදේකටම…

%d bloggers like this: