තවත් “ඇයක්…”…

ඇය අපූරුයි… වෙලාවකට හරි හැඟුම් බරයි. වෙලාවකට … හ්ම්… හරි වෙනස්. අනේ මන්දා මට කවදාවත් තේරුම් ගන්න බැරි වෙයි. කොයිතරම් උත්සාහ කලාද…! තනියම හිතලා බැලුවා, යාළුවෝ එක්ක කතා කරන ගමන් හිතලා බැලුවා. බොන ගමන් ට්‍රයි හිතුවා… එකක්වත් හරියන්නේ නැති පාර බලෙන්ම වගේ ඒකිගේ අස්සටම ගිහිං වෙරි වෙන ගමන් හිතුවා. නෑ… කිසිම ප්‍රගතියක් නෑ…

තව තවත් නොතේරුනා මිසක්ක, ඇබිංදක්වත් තේරුම් ගන්න මට බැරිවුනා. වෙලාවකට හරි හොඳයි. මට පාඩුවේ ඉන්න දීලා නිහඬව ඉන්නවා. හිමීට ඇවිත් ඇතිල්ලිලා පැත්තකට වෙනවා. තව වෙලාවකට මහ සැරයි. කටේ සද්දේ…! හුහ්… මං කවුරු කියලා හිතං ඉන්නවද දන්නේ නෑ. කොයි තරම් සැර වුනත් කිරිපාටට පොඩි එකෙක් වගේ හිනා වෙන කොටනම් අම්බෝ… ආදරේ හිතෙනවා ගොඩාක්…! ඒත් ඉතිං එහෙමයි කියලා බදාගන්නේ කොහොමද…? අලියෙක් වගේ මහතයි නොවැ. අලියෙක් වගේ නෙවේ…. ඊටත් වැඩිය. ඔන්න ලෝකෙම අත උඩ තියාගෙන ඉන්න ඇට්ලස් යෝදයාවත් වුනානම් මට බදාගන්න තිබුනා. ඒ වුනාට ඉතිං ලඟට ගිහිං ඉඹින්නනම් බැරි කමක් නෑ… ඒත් ඉතිං තොලට දැනෙන ලුණු රස තමා කේස් එක. මට බදාගන්න බැරි වුනාට මාවනම් ලස්සනට බදාගන්න පුළුවන්. මං දන්නවනේ ඒක. මං නම් ආසම මඳ වැස්සක් තියෙද්දි තෙමි තෙමි තුරුළු වෙන්න. හීතලට මරු ඒ අමුතු උණුසුම.

ඒ ගතිගුන වලට මං හෙන ආසයි. තනිකර පිස්සු කෙලින්නේ. හරියට මං වගේම තමා. එක මොහොතෙන් වෙනස් වෙන්නේ. වෙලාවකට තරහා වෙලා වගේ නිහඬයි… ඒත් තරහ නෑ. මං ටිකක් ලඟට යනකොට ඇය මගේ ලඟ. මං තරහා වෙලා පැත්තකට ගියත්, ආයෙ ආපු දාට ඒ හිතේ කිසිම නෝක්කාඩුවක් නෑ. වෙනද වගේමයි… උණුසුම් පිලිගැනීම. ආයෙ හිටි ගමන් මගේ අතේ වැරැද්දක් නැතත් යකෙක් වගේ ඇඟට කඩාගෙන පනින හැටි…! ඒ වෙලාවටනම් දෙන්න හිතයි දෙකක්..!

වෙලාවකට ඒ ගතේ රත්තරං පාටට මාත් නිකං හොල්මං වෙලා යනවා. රත්තරං පාටට උඩින් සුදු පාට තුනී සලුවක් එලුවම කොහොමද කියලා හිතන්නලාකෝ. ම්… මැක්ස්…! ඇති ඇති ‍ඇය කව්ද නොකියා මගුල් කියෙවුවා. මෙච්චර දේවල් කියලත් ඇය කවුද කි‍ව්වේ නැත්තං මේක ලියපු එකේ වැඩකු ඇතෑ. ම්… කාගේත් දැන ගැනීම පිනිස… ඒ දවස් වල ඉඳන්ම මගේ ලඟින් හිටිය, දුකට සැපට හැම එකටම එකට හිටිය… ගොඩක් දේවල් කියලා දුන්න, තේරුම් ගන්න උදවුකල… තනිවෙන්න ඉඩ දුන්න, තනිකම නැතිකල… අදටත් හැමදාටමත් මාත් එකක්ම ඉන්නවායැයි මට විශ්වාස කල හැකි එකම… ගෙවල් වලින්වත් නොදන්න ක්‍රෂ් එක…

මුහුද...

ඇය…


මුහුද…!

 

%d bloggers like this: