කඩදාසි ඔරුව…

මං ආසා කරන  සෙවනැල්ල.

සෙවනැල්ල.

එදත් අද වගේම අවුරුද්දට පස්සේ දවසකට හෝ දෙකකට පස්සේ දවසක්. ම්… හොඳටම වැස්ස. අහසේ තැනින් තැන සුදු පාට පැච් තිබුනට වැඩි පුරම තියෙන්නේ අළු පාටයි, කළු පාටයි. වැස්ස විතරක් නෙමේ චූටි කොල්ලෙකුට සැරටම බඩේ අමාරුවකුත් හැදුන දවසක්. මං වැස්සේ බෙහෙත් ගේන්න යන්න බෑ කියද්දි බලෙන්ම වගේ තමා අරගෙන ගිහිං තියෙන්නේ.  වැඩි හරියක්ම හේතු වුනේ අවුරුදු දවස් ටිකේ කාපු තෙල් අධික කෑම කියලා තමයි දොස්තර අංකල් කියලා තිබුනේ.

චූටි ළමයින්ට බඩේ අමාරුව හැදුනම බත් කවන්න හරි අමාරුයිනේ. ඉතිං අපේ තාත්තටත් ඒ ප්‍රශ්නෙම ඇති වෙලා. ඒ පාර ඉතිං එක එක බොරු කිය කිය බත් කවන්න හදනවලු. හවසට රැල්ල පාගන්න බීච් එකක් යන්නං, අවුරුදු උත්සවයක් තියෙනවා ඒක බලන්න එක්කං යන්නං… කිය කිය කොහොමහරි බත් කවන්මලු ට්‍රයි එක. අනේ ඇත්තට මොන පොඩි එකාටද තේරෙන්නේ නැත්තේ මේ මහ වැස්සේ බීච් යන්න බැරි බව, අවුරුදු උත්සව තියන්න බැරි බව… ඕනෙම නම් ලිස්සන ගහ විතරක් තියයි. ඒක ඉතිං කොහොමත් ලිස්සන එකනේ.

පස්සේ ඉතිං චූටි කොල්ලා කරලා තියෙන්නේ වහලෙන් වැටිලා ගලාගෙන යන වතුර දිහා නිසොල්මනේ පුටුවක් තියාගෙන බලාගෙන ඉඳිය එකලු. අම්මටසිරි මෙන්න එක පාරටම වතුර දිගේ පොඩි පොඩි බෝට්ටු හතරක් පහක් යනවලු එක එක පාට කොල වලින් හදපු. ඊට ටිකක් එහායින් මට පේනවා කළු අඳුරු සෙවනැල්ලක් වතුර පාරට එබීගෙන මොකද්ද මන්දා අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. අපේ ඩැඩා කට්ටයා… පොඩි කොල්ලා බෝට්ටු වලට ආසා බව දන්න නිසා බෝට්ටු ටිකක් හදලා වතුර දිගේ යවනවලු… ඒකත් මොකටද… හ්ම්… මට බත් කවන්න. පස්සේ ඉතිං දුක හිතිලද, පෙරේත කමටද මන්දා… මොනාද තාත්තේ තියෙන්නේ…?

පුතාට තියෙනවා… මෑ ඇට තෙල් දාලයි, බතුයි.

ඇහ්.. මෑ ඇට තියෙනවද….?

ම්… ඒකනේ ඉස්සෙල්ලත් කිව්වේ කමු කියලා.

කඩදාසි ඔරු...

කඩදාසි බෝට්ටු…

හ්ම්…. කොහොමහරි කොල්ලව බඩේ අමාරුවෙන්, විජලනයෙන් ගොඩගන්න ඕනේ නිසා, උගේ ආසාම කෑම හදලා. තාත්තා බත් කවන ගමන් පාවෙලා ගිහිං නොපෙනි යන්න යන බෝට්ටු ටික උස්සං ඇවිත් මං අනිත් කෙලවරෙන් තියනවා. ඊට  පස්සේ දුවගෙන ඇවිත් තාත්තා ගාවින් වාඩිවෙලා බත් කවාගන්නවා. බෝට්ටු ටික වතුර පාර දිගේ ගල් මුල් වල හැපී හැපී, මග නැවතී නැවතී අපි බත් කන හරියට එද්දි තාත්තා මට බත් කටවල් තුනක් විතර ගිල්ලවලා ඉවරයි. අන්තිමේ කඩදාසි බෝට්ටු ටික වතුරටම පෙඟෙද්දි මං බත් ඔක්කොම කාලා ඉවරයි..!

ම්… අදත් එදා වගේම වහිනවා. දැන් වතුර ගලාගෙන යන්නේ පීල්ල දිගේ. පීල්ලෙන් ගිහිං කෙලින්ම කානුවට. ඒක නිසා බෝට්ටු යවන්න බෑ. අනික බෝට්ටු යවන්න මට බඩේඅමාරුවකුත් නෑනේ. ඒත් ඩැඩා අසනීපෙන්. උන හැදිලා. දොස්තර අංකල් එන්නේ හවසටනේ. එතකං ඉන්න වෙනවා. තාත්තා එදා නම් මට මෑ ඇට එකක් බත් කැව්වා. මාත් බෑ බෑ කියලා හරි කෑවා. අදත් ගෙදර මෑ කරල් තෙල් දාලා. ඒත් මට පුළුවන්ද එදා තාත්තා මට කැව්වා වාගේ බෝට්ටු පෙන්න පෙන්න බත් කවන්න. මට බැරි නම් නෑ… ඒත් මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියා බත් කන්න බෑම කියනවනේ. එයාට ඕනේ සීනි නැති කහට එකයි, ක්‍රීම් කැකරුයිලු. කටතිත්ත නිසා වෙන්න ඇති. ඒත් ඉතිං තියෙන දඩබ්බර කමනේ…. ක්‍රීම් කැකර් කන්න පුළුවන් එකේ බත් ඩිංගක් කෑවම මක් වෙනවද…? පුංචි කාලේ අපි වගේ දැන් අපේ තාත්තලත්…!

එදා මං වැස්සේ යන්න බෑ කිව්වා තව ටිකක් හවස් වෙද්දි තාත්තත් කියයි. ම්… ඒවා බලාගමුකෝ හවසට. එදා මාව බලෙන් අරං ගිහිං බෙහෙත් අරං දීලා සනීප කෙරෙව්වානම් මං අද තාත්තව එකක්ං ගිහිං බෙහෙත් අරං දෙනවා. නැත්තං බෑනේ… නැත්තං තාත්තා හිතයි මං තාත්තා කියන දේ  අහලා බලාගෙන ඉන්නවා කියලා තාමත්…! –at එයාලා අපි වෙනුවෙන් ගොඩක් දේවල් කලා. දැන් අපි එයලා වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. ඒක තමා අළුත් අවුරුද්දේ එකම ප්‍රාර්ථනාව.

Advertisements

20 Responses to “කඩදාසි ඔරුව…”

  1. මඩිස්සලේ නිශාන් Says:

    ඊරිශියාකාර සිතුවිල්ලක් ඇති කරා නේද?

  2. wicharaka විචාරක Says:

    ලිපිය කියෙව්ව ගමන් මට මතක්වුනේ එක ළමා ගීයක්.

    දනගාද්දී ඇවිදින්නට මට අත දුන්න
    ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
    මහළුව බැරිවුණාම ඔබ හට ඇවිදින්න
    අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න.

    අවුරුද්දේ අපි කලයුතු වැදගත්ම කාර්යයක් තමයි දෙමවුපියන්ට වැඩිහිටියන්ට විශේෂයෙන් සොයාබලා සැලකීම.

  3. kkrox Says:

    සුපිරි මචන් ජය වේවා

  4. praveena Says:

    අපේ චරිත වෙනස් වෙන හැටි දැක්කාම මට නම හරිම දුකක් දැනුනා. මම තාම කැමති අම්මයි, අප්පච්චියි බත් පිඟානක් අරගෙන මගේ පස්සේ දුවගෙන එනවානම්. හිතට හරියට වැදුනා මාලුවෝ.

  5. henryblogwalker Says:

    හොඳම ප්‍රාර්ථනාවක් ඒක. 🙂

  6. Praසන්ன Says:

    වැදගත් ප්‍රාර්ථනාවක්.

  7. රූ Says:

    අම්මලා තාත්තලාට අපේ උදව් ඕන නෑ කියලා දැනුනම දුක හිතෙනවා නේද මාළුවෝ?
    ඒත් කාලයක් ගියාට පස්සෙ මට දැනුනෙ අපි එයාලා ගාව ඉන්න එක තරම් සතුටක් එයාලට තවත් නැහැ කියලා..

    • Gold fish Says:

      ඒක ඇත්ත… අපි එයාලා ගැන හොයලා බලනකොට ලෙඩ ඔක්කොම හොඳ වෙනවා වගේ.

  8. DDT Says:

    එකාතකට අපි වැඩිහිටියො වෙනකොට අපේ වැඩිහිටියො වයසට ගිහින්, එයාලත් හරියට පොඩි ළමයි වගේ. පොඩි කාලෙ අපි අම්ම තාත්ත එනකන් බලන් හිටිය වගේ එයාල අපි එනකන් බලන් ඉන්නව, අපිත් එක්ක ඉන්න ආසකරනව, පොඩි කාලෙ අපි ලෙඩ උනාම එයාල හිතකරදර කරගන්නව, දැන් එයාල අසනීප උනාම අපි හිත කරදර කරගන්නව. ජීවිතය චක්‍රාකාරයි. මේ වගේ එකක් කියෙව්වම හිත අමුතුම දුකකින් පිරෙනව බං, අපේ අම්මල තාත්තල සවිශක්තිය ඇතුව හිටපු අපි කිසිම බරක්-පතලක් නැතුව කෙළිසෙල්ලම් කරමින් දෙමව්පියන්ගෙ රැකවරණයෙන් ගතකරපු ඒ අතීතයට ආයිත් යන්න පුළුවන් නම්…..

    • MUHUDU Says:

      සීයට දෙසීයක් එකඟයි! //අපේ අම්මල තාත්තල සවිශක්තිය ඇතුව හිටපු අපි කිසිම බරක්-පතලක් නැතුව කෙළිසෙල්ලම් කරමින් දෙමව්පියන්ගෙ රැකවරණයෙන් ගතකරපු ඒ අතීතයට ආයිත් යන්න පුළුවන් නම්….// මට කවද හරි අර සුරංගනා කතා වල වගේ ඕන දෙයක් ඉල්ලන්න වරයක් ලැබුනොත් මම ඉල්ලන්නෙ සල්ලි දේපල නෙවේ, ආයෙමත් පොඩි කාලෙට යන්න. ඒ කාලෙ කොච්චර සැහැල්ලුද, සුන්දරද? 😦

      • Gold fish Says:

        හ්ම්…

    • Gold fish Says:

      හ්ම්… මාත් කැමතියි. යන්න විදියක් සෙට් වුනොත් කියන්න. 🙂

  9. රාජ් Says:

    එදා මට බත් කැවූ තාත්තයි අද මම බත්කවන පුතයි දෙන්නම මතක් උනා. තාත්තට නීරෝගී සුවය පතනව.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: