ලංකාවේ කොපි කාරයෝ…

අපි ඉන්නේ ලංකාවෙනේ. අක්ශාංෂ දේශාංෂ වලින් බැලුවොත් 7.5653° N, 80.4303° E විදියට. ලංකාව කියන්නෙත් ඈත අතීතයක් තියෙන රටක්. බොහොම ප්‍රෞඩ ජාතියක් කියනවනේ අපි… දැන් එක එකාට දෙකට නැමී ගෙන හිටියට. ඉතිං අපේ රටට ඉස්සර ඉඳන්ම එක එක විදියෙන් කීර්තිය ලැබුනා. දැන් ඒකෙ අනිත් පැත්ත උනත් මේ කතාවට විතරක්වත් අපි හිතමු අපකීර්තිමත් නෙමෙයි… අපි කීර්තිමත් කියලා. ලෝකෙ මුලින්ම ගුවනින් යන වාහනේ හැදුවෙත් අපිලු. ඒක නම් වෙන්න පුළුවන්, දැනුත් නොනැසී පවතින දරුණු ගණයේ  පිස්සන්ට නැවත සිහිය දීම වගේ බලගතු මන්තර එක්ක බලද්දි….!

submarine

submarine

හ්ම් ඉතිං මේකයි කතාව… පොඩ්ඩක් ජොලි… පොඩ්ඩක් අප්සට් කතාවක්. සබ්මැරීන් ගැන කතාවක්. සබ්මැරීන් කිව්වේ මැද්දට චීසුයි, තක්කාලියි දාපු සබ්මැරීන් එක එහෙම නෙවෙයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ අයට තියෙනවනේ එක එක විශේෂ පාඨමාලා. අන්න එයින් එකක් ගැන මං දැනගත්තු දෙයක් මේක. මේකෙ නම “සබ්මැරීන් නාශක යුධ උපක්‍රම“ සිංහලෙන් කියන්නේ Anti-submarine warfare කියලා. වැඩි විස්තර මෙයාගන් අහගන්න පුළුවන් වෙයි. සබ්මැරීන් නාශක යුධ උපක්‍රම ලංකාවේ නාවික හමුදාවෙන් දැනගන හිටියට තාමත් ලංකාව සතුව එකම සබ්මැරීන් එකක්වත් නෑ. ඒ දවස් වල එකම එකක් හදන්න අරගෙන තියෙනවා. ඒකත් 3%ක් වැඩ ඉවර වේගෙන එද්දී  ලංකා ආණ්ඩුවෙන් ඒ වැඩ පිළිවෙල කඩාකප්පල් කරලා දැම්මා… ඒ තමා ප්‍රභාකරන්ගේ සබ්මැරීන් එක. ඕං දැන් තියෙනවා මහජන ප්‍රදර්ශනේට. අපරාදේ ඌට වැඩ ඉවර කරන්න දෙන්න තිබුනේ. වටේ තීන්ත ටික ගාන්න ඉතුරු වුනාම ඕක අල්ල ගත්තනම් මදෑ. එහෙනම් අපිටත් තියෙනවා අද සබ්මැරීන් එකක්…!

සබ්මැරීන් එක කියන්නේ යම් පිරිසක් වතුර යටින් ගෙනියන වාහනයක් කොටින්ම කිව්වොත්. ඊට අමතරව ඔත්තු බැලීම, ගොඩබිම තියෙන ඉලක්ක වලට දිය යට ඉඳන් පහරදීම, දිය යට සටන් වගේ දේවලුත් කරනවාලු. ඉතිං මේ සබ්මැරීන් නාශක යුධ උපක්‍රම කියන්නේ අන්න එහෙම දිය යටින් ඇවිදින් කරන පහරදීම් හා ගුවනේ සිට හෝ ගොඩබිම සිට හෝ කරන සතුරු පහරදීම් වලක්වා ගන්නා හා බේරෙන ක්‍රම ගැන ඉගැන්වෙන පාඨාමාලාවක්. හැබැයි ඉතිං ඔක්කොම තියරි විතරයි. ප්‍රැක්ටිකල් කරන්න තියා ඇතුලට බැහැලා මොනවගේද කියලා බලන්නවත් ලංකාවට සබ්මැරීන් එකක් නෑ.

එහෙම ඇතුලට බැහැලා ගැඹුරින් ඉගෙන ගන්න ඕනේ නම් විදේශ රටකට යන්න වෙනවාලු. ඉතිං එහෙම වැඩිදුර ඉගෙන ගන්න යවන්නේ ඉන්දියාවට. ඉන්දියාවට එක එක රටවලින් විශාල පිරිසක් එනවලු මේ පාඨාමාලාව හැදෑරීමට. ඒ හැම කෙනෙකුටම සබ්මැරීන් ඇතුලට බැහැලා අධ්‍යයන කිරීම් කටයුතු කරන්න පුළුවන්ලු. හැබැයි ලංකාවේ අයට සබ්මැරීන් එකට යන්න තියා අල්ලන්නවත් දෙන්නේ නෑලු. ඒ දවස් වල ඉඳන්ම තියෙන තරහක් වගේ පෙනුනට, තියෙන්නේ වෙන දෙයක්. එක අතකින් අපි ආඩම්බර වෙන්න ඕනේ… අනිත් පැත්තෙන් අපි කනගාටු වෙන්න ඕනේ.

dora

dora

ඉන්දියාවෙ සබ්මැරීන් වලට අපේ අයට යන්න නොදෙනවා කියන්නේ “ලංකාවේ අයට යමක් දැක්කත් ඇති… උං ඒක ඊළඟ දවස  වෙද්දි හදන්න පටන් අරං තියේවි“ කියලා මතයක් තියෙන නිසාලු. ඇත්තටම ලංකාවේ ශිෂ්‍යයන්ට සබ්මැරීන් එක පෙන්නන්නේ දුර තියලලු. ඉන්දියාව බයයි අපි කොපි කරයි කියලා. හිංදි ෆිල්ම් වලට සිංහල ෆිල්ම් ගහපු අපිට, හිංදි සිංදු වලට සිංහල පද වැල් ලියපු අපිට ඕවා කජ්ජක්ද කියලා හිතනවා ඇති. ඒ අතින් ලංකාවේ දක්ෂයින් ගැන තියෙන ආකල්පය ගැන ආඩම්බර වුනාට… ඒ කිසි දේකට, තමන්ගේ හැකියාවෙන් නැගීසිටින්න දඟලන මිනිස්සුන්ට අත නොදෙන එක ගැන නම් තියෙන්නේ බලවත් කනගාටුවක්. ඒ කියන්නේ ලංකාවේ කොපි කාරයින්ට හෝ කොපි කරලා වැඩ පෙන්නන්න හෝ ඉඩක් නෑ. මං පෞද්ගලිකව නම් හිතන්නේ යම් දෙයක් මුලින්ම නිශ්පාදනය කරනවට වැඩිය අමාරුයි කොපි කරලා ඒක ආයෙම ඒ විදියට හදන එක. ඒකෙ වෙනස් වෙන්න ඕනේ තැන් වෙනස් කරලා දියුණු කරලා ගන්නවා කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ. එහෙම බැරි වුනාම තමා චූටි කාලේ පන්තියේ නායකයා ලිව්ව රචනාවේ තිබුන නායකයගේ නමම My name is Saman කියලා හැම කෙනාගෙම රචනා වල තියෙන්නේ. ඇත්තටම අපේ ඉංජිනේරුවන්ට සබ්මැරීන් එකක් හදන්න බැරි නැතුව ඇති. පහසුකම් සපයන්නේ නැතුව ඇති. යාන්තං නාවික හමුදාව භාවිතා කරන අධිවේ​ගී යුධ යාත්‍රා විශේෂයක් වන ඩෝරා යාත්‍රානම් ලංකාවේ නාවික හමුදාවෙන්ම හදනවලු අවුරුදු ගානක ඉඳන්. එච්චර දෙයක් කරන එකේ…. තව ටිකක් ඉස්සරහට ගියාම මක්ක වෙනවද…? බොරුවට එක එක වැඩකට නැති මගුල් වලට සල්ලි වැය නොකර ඒ වගේ දෙයකට මුදල් වැය  කරානම් මොනා වෙනවද…?

ප්‍රභාකරන් බයෙන් බයෙන් 3%ක් ඉවර කරානම් බයක් නැතුව එකක් හදාගන්න බැරිකමක් තියෙයිද…? අපි කොපි කරයි කියලා අනිත් රටවල් බය වෙනවා. ඒ කියන්නේ අපිටක් උංට ටිකක් රිද්දන්න පුළුවන් කියන එක… අඩුම ගානේ බය කරන්නවත් පුළුවන් කියන එක… එහෙව් එකේ අපේ වැඩකාරයින්ව උස්සලා තියන්නේ නැතුව තාමත් පිට රටවලින් එනකම්ම බලාගෙන ඉන්න හැටි.

පද්මෙගේ ඉතුරු සල්ලි…

පද්මේ කියන්නේ ඔෆිස් එකේ පියන් කෙනෙක්. ඒක නෙවෙයි. දැන් මම ඔෆිස් එකේ හැම එකාටම මඩ ගහනවා. හොඳ වෙලාවට මං හිතාගෙන ඉන්න විදියටනම් එක්කෙනෙක් වත් බ්ලොග් බලන්නේ නෑ. හැබැයි බලපු දාට…??? එහෙමත් නැත්තං වැඩ කරන අයගේ ළමයෙක් හරි ඉන්ටනෙට් එකේ, තාත්තගේ නමට සමාන නමක් දැකලා තාත්තා මෙහෙම දෙයක් කරාද කියලා ගෙදර ගිහිං ඇහුවොතිං හරි..???

මෙන්න මේ වගෙයි

මෙන්න මේ වගෙයි

අනිත් මනුස්සයෝ වගේම තමා මේ මනුස්සයත් හරි හොඳයි. ආයේ අපි කෙනෙකුට නරකයි කියලා පටන් ගත්තේ කවදද… කතාව ලියද්දි චරිතෙ අජපල් කරලා ලියනවා මිසක්. මෑන් තමා අපේ ලඟ වැඩ වලට වගේම දුර වැඩවලටත් යවන්න ඉන්න පළපුරුද්ද අතින් දෙවෙනියට ඉන්න කෙනා. වයස ඇති අවුරුදු 40ක් 45ක් විතර. මූන දැක්කගමන් ඕනෙ කෙනෙක්ට මතක් වෙන්නේ කෝකියෙක්ව හෝ වයසක නාවික නිලධාරියෙක්ව. ඒ පද්මෙගේ උඩු රැවුල නිසා. ඇත්තටම පද්මේ හොඳ දත් දොස්තර කෙනෙක්… ගලෝනවා දත් දෙනෝදාහක් බලාගෙන ඉන්දැද්දි. මෙයාට වැඩක් බාරදුන්නම වෙලාව ගැන කොහෙත්ම සැලකිල්ලක් දක්වන්නේ නෑ. වෙන අළුත් පියන් කෙනෙකුට පැයක් යන වැඩේට මෙයාට ගතවෙනවා පැය තුනක් විතර. ඒක තමා පළපුරුද්ද කියන්නේ… ඔය දැන් අළුතෙන් ඇවිල්ලා ඉන්න අයත් තව ටිකක් කල් යද්දි පළපුරුද්ද එක්ක ඒ තත්වෙට පත්වෙනවා. හැබැයි කලින් ගෙදර යන්න ඕනේ දාට නම් දුන්න වැඩ ටික ඔක්කොම කරා හෝ නැතුවා මෑන් ඉන්නවා 4.30 වෙද්දි ඔෆිස් එකේ.

ඒක සාමාන්‍යයෙන් පියන්ලා හැමෝටම පොදු ධර්මතාවයක් කියමුකෝ. ඒ වගේම හැම කෙනාටම විශේෂිත ලක්ෂනත් තියෙනවනේ. පද්මෙගේ විශේෂ ලක්ෂනය තමා රොබින් හුඩ් න්‍යාය. ඒ අළුත් න්‍යායක්. හැබැයි ඉතිං පද්මෙ රොබින් හුඩ් න්‍යායට වැඩ කලාට ඌට ඇරෙන්න ඊට පහල පියන්ලා කිසි කෙනෙකුට වැඩක් නෑ.

දැන් බොස්ලා එහෙම දවල්ට කෑම ගෙදරින් නොගෙනාපු දාට පද්මෙට තමා සල්ලි දෙන්නේ හොඳ තැනකින් කෑම එකක් ගේන්න කියලා. ඉතිං දොලහට ඕනේ කෑම එක ගේන්නේ බුවා පිටත් වෙන්නේ එකොලහට. නැත්තං ඊටත් කලින්. ඔෆිස් එක අවට ඕනේ තරම් ඉස්තරම් හෝටල් හෝ කෑම කඩ තියෙනවා. ඒවයින් එකකට ගිහිං කෑම එකක් ගන්න උපරිම විනාඩි දහයක් යයි. ඒත් ඉතිං අර පළපුරුද්ද එක්ක ඒ වෙලාව මදි වගේ ඇති. ඒක නිසා තමා කෑම එක අරගෙන සිගරට් එකක් බීලා… කයියකුත් දාගෙන ඉඳලා පද්මේ එන්නේ.

ඒ ඇවිල්ලා බොස්ට ඉතුරු සල්ලි දෙන්න ගියාම තමා පද්මෙගේ හොඳම හරිය එලියට එන්නේ.

හිතාගන්න පුළුවන්නේ ඇක්ෂන් එක

හිතාගන්න පුළුවන්නේ ඇක්ෂන් එක

ආ… මෙන්න සර් කෑම එක. කියලා කෑම එක දීලා, ඉතුරු සල්ලි දෙන්නේ අඩියක් දෙකක් විතර පිටිපස්සට ඇවිත්. එතකොට බොස් පුටුවෙන් ඉස්සිලා ටිකක් ඉස්සරහට බරවෙලා සල්ලි ගන්න අතදික්කරද්දි පද්මෙගේ  සල්ලි අල්ලන් ඉන්න අත ටිකක් පස්සට එනවා. ආයෙම බොස් පුටුවෙන් වාඩි වුනාම පද්මේ සල්ලි තියෙන අත බොස්ට ලංකරනවා… එතකොට ආයෙමත් බොස් පුටුවෙන් ටිකක් ඉස්සෙන කොට පද්මේ අත පස්සට අදිනවා.  ඒ කියන්නේ බොස්ට සල්ලි ගන්න බැරි තරම් දුරකට පද්මෙගේ අත පස්සට එනවා. ඔහොම දෙතුන් පාරක් වුනාම, දොරගාව තමන්ගෙන් අත්සන් ගන්න ඉන්න මිනිස්සුන්ව දකින බොස්ලා…

හා.. හා… ඕක තමුසේ තියාගෙන අර මිනිස්සුන්ට එන්න කියනවා… කියලා පද්මෙව පිටත් කරලා දානවා.

පියන් ලොක්කා කියන්නේ පද්මේ පඩියට වැඩිය ගානක් ඒ වැඩෙන් හොයනවා කියලා. කොච්චර වුනත් ඉතුරු වෙන රුපියල් සීයකට එකසිය විස්සකට පද්මෙගේ පස්සෙන් පන්නන්න ලැජ්ජයිනේ බොස්ලට. ඒක නිසා ඉතිං පද්මෙට සරුයි. මිනිහා ඒක කරන්නේ බොස්ලට විතරයි. ඒ කියන්නේ සල්ලි තියෙන අයට විතරයි. ඒකයි පියන්ලා හැමෝම පද්මෙට රොබින් හුඩ් කියන්නේ. අනිත් සාමාන්‍ය අයට පද්මෙගෙන් හිරිහැරයක් නෑ වගේම… ඌ අපිට කෑම ගේන්නෙත් නෑ.

පද්මේ කෑම එකක් ගෙනත් දෙනවද…?

අනේ මහත්තයා මං දැන් ස්ටෝස් යන්න හදන්නේ… පද්මේ යන මගුලක ගිහිං එන වෙලාව දන්න නිසා ආයේ කෙනෙක් බලකරලා කියන්නේ නෑ කෑම එකක් ගේන්න කියලා. එහෙම වුනොත් කෑම එක ලැබෙන්නේ තුනාමාරට, හතරට වෙන්න පුළුවන්… පද්මෙ කලින් ගෙදර යන දවසක් නෙමේ නම් දවල්ට ගේන්න කියපු කෑම එක ඊලඟ දවසේ උදේ එනකොට මේසේ උඩ තියෙන්නත් පුළුවන්..! –at පළපුරුද්ද තමා ඉතිං හැමදේකටම…

තවත් “ඇයක්…”…

ඇය අපූරුයි… වෙලාවකට හරි හැඟුම් බරයි. වෙලාවකට … හ්ම්… හරි වෙනස්. අනේ මන්දා මට කවදාවත් තේරුම් ගන්න බැරි වෙයි. කොයිතරම් උත්සාහ කලාද…! තනියම හිතලා බැලුවා, යාළුවෝ එක්ක කතා කරන ගමන් හිතලා බැලුවා. බොන ගමන් ට්‍රයි හිතුවා… එකක්වත් හරියන්නේ නැති පාර බලෙන්ම වගේ ඒකිගේ අස්සටම ගිහිං වෙරි වෙන ගමන් හිතුවා. නෑ… කිසිම ප්‍රගතියක් නෑ…

තව තවත් නොතේරුනා මිසක්ක, ඇබිංදක්වත් තේරුම් ගන්න මට බැරිවුනා. වෙලාවකට හරි හොඳයි. මට පාඩුවේ ඉන්න දීලා නිහඬව ඉන්නවා. හිමීට ඇවිත් ඇතිල්ලිලා පැත්තකට වෙනවා. තව වෙලාවකට මහ සැරයි. කටේ සද්දේ…! හුහ්… මං කවුරු කියලා හිතං ඉන්නවද දන්නේ නෑ. කොයි තරම් සැර වුනත් කිරිපාටට පොඩි එකෙක් වගේ හිනා වෙන කොටනම් අම්බෝ… ආදරේ හිතෙනවා ගොඩාක්…! ඒත් ඉතිං එහෙමයි කියලා බදාගන්නේ කොහොමද…? අලියෙක් වගේ මහතයි නොවැ. අලියෙක් වගේ නෙවේ…. ඊටත් වැඩිය. ඔන්න ලෝකෙම අත උඩ තියාගෙන ඉන්න ඇට්ලස් යෝදයාවත් වුනානම් මට බදාගන්න තිබුනා. ඒ වුනාට ඉතිං ලඟට ගිහිං ඉඹින්නනම් බැරි කමක් නෑ… ඒත් ඉතිං තොලට දැනෙන ලුණු රස තමා කේස් එක. මට බදාගන්න බැරි වුනාට මාවනම් ලස්සනට බදාගන්න පුළුවන්. මං දන්නවනේ ඒක. මං නම් ආසම මඳ වැස්සක් තියෙද්දි තෙමි තෙමි තුරුළු වෙන්න. හීතලට මරු ඒ අමුතු උණුසුම.

ඒ ගතිගුන වලට මං හෙන ආසයි. තනිකර පිස්සු කෙලින්නේ. හරියට මං වගේම තමා. එක මොහොතෙන් වෙනස් වෙන්නේ. වෙලාවකට තරහා වෙලා වගේ නිහඬයි… ඒත් තරහ නෑ. මං ටිකක් ලඟට යනකොට ඇය මගේ ලඟ. මං තරහා වෙලා පැත්තකට ගියත්, ආයෙ ආපු දාට ඒ හිතේ කිසිම නෝක්කාඩුවක් නෑ. වෙනද වගේමයි… උණුසුම් පිලිගැනීම. ආයෙ හිටි ගමන් මගේ අතේ වැරැද්දක් නැතත් යකෙක් වගේ ඇඟට කඩාගෙන පනින හැටි…! ඒ වෙලාවටනම් දෙන්න හිතයි දෙකක්..!

වෙලාවකට ඒ ගතේ රත්තරං පාටට මාත් නිකං හොල්මං වෙලා යනවා. රත්තරං පාටට උඩින් සුදු පාට තුනී සලුවක් එලුවම කොහොමද කියලා හිතන්නලාකෝ. ම්… මැක්ස්…! ඇති ඇති ‍ඇය කව්ද නොකියා මගුල් කියෙවුවා. මෙච්චර දේවල් කියලත් ඇය කවුද කි‍ව්වේ නැත්තං මේක ලියපු එකේ වැඩකු ඇතෑ. ම්… කාගේත් දැන ගැනීම පිනිස… ඒ දවස් වල ඉඳන්ම මගේ ලඟින් හිටිය, දුකට සැපට හැම එකටම එකට හිටිය… ගොඩක් දේවල් කියලා දුන්න, තේරුම් ගන්න උදවුකල… තනිවෙන්න ඉඩ දුන්න, තනිකම නැතිකල… අදටත් හැමදාටමත් මාත් එකක්ම ඉන්නවායැයි මට විශ්වාස කල හැකි එකම… ගෙවල් වලින්වත් නොදන්න ක්‍රෂ් එක…

මුහුද...

ඇය…


මුහුද…!

 

හැඟීම් පෙන්වන, කතා නොකරන – ඩැන්බෝ.

පාවෙන ඩැන්බෝ

පාවෙන ඩැන්බෝ

බලන්න මේ කාඩ්බෝඩ් චරිතය අපි කී දෙනෙක්ගේ ඩෙස්ක්ටොප් හැඩ කරනවා ඇතිද කියලා. මිනිස් හැඟීමක් මුහුනෙන් නොපෙනෙන මිනිසුන් ගොඩක් මැද්දෙ, මේ කාඩ් බෝඩ් චරිතය  2007 අවුරුද්දේ  ජපන් ජාතික කියෝහිකෝ අසූමාගේ යොට්සුබා කියන කාටුන් කතාමාලාවෙන් තමා ලෝකයට අඩිය තියන්නේ.

2006 අප්‍රේල් මස යොට්සුබා කතා මාලාවේ 28 වෙනි පරිච්ඡේදයෙන් උප්පත්තිය ලබන මේ කාඩ් බෝඩ් චරිතය දැන් ලෝක ප්‍රසිද්ධයි. යොට්සුබා කතා මාලාවේ ප්‍රධාන චරිතය වන යොට්සුබා කොයිවයි විසින් ඇගේ හොඳම යෙහෙලිය වන මියුරා හයසාකාව ඇත්ත රොබෝ කෙනෙක් වගේ ඇඳුමකින් හැඩ කරනවා, විද්‍යාත්මක ව්‍යාපෘතියක් වෙනුවෙන්. යොට්සුබා, ඇගේ මිතුරියගෙන් එම ඇඳුමට නමක් විමසු විට තමයි, “ඩැන්බෝ“ නම ලැබෙන්නේ. සැබෙවින්ම ඩැන්බෝ යනු, බෑන්-බෝඩ් නම් කාඩ්බෝඩ් විශේෂයක් කියලා තමා අන්තර්ජාලයේ තියෙන්නේ.

365 Days of Danboard

365 Days of Danboard

පසුව 2007 දෙසැම්බර් මාසයේදී ජපන් සෙල්ලම් බඩු නිෂ්පාදයෙක් විසින් ඩැන්බෝ රොබෝ මෙන් සෙල්ලම් බඩු අන්තර්ජාලය හරහා විකීණීමට පටන් ගන්නවා. 2007 හා 2012 කාලය අතරතුරදී විවිධ හැඩ වලින් යුත් ඩැන්බෝ කාඩ්බෝඩ් චරිත රාශියක් එලිදකිනවා. ඒ වගේම 2009දී ඡායාරූප ශිල්පිණියක් වන ඒරියල් නේඩ්ල් ඇගේ ෆ්ලිකර් ඇල්බමයට එකතු කරනවා ඩැන්බෝ චරිත එදිනෙදා ජීවන තත්වයට අනුකූල වන පරිදි. අවසානයේ 2011 අවසන් භාගයේදී අලංකාර පොතක් ලෝකයට එකතු වෙනවා 365 Days of Danboard ලෙස.

දැන් ජපනුන් අතර පමණක් නොවෙයි, අන්තර්ජාලයේ වෝල් පේපර්ස් සොයන්නන් අතර ජනප්‍රිය චරිතයක් තමා මේ ඩැන්බෝ කියන්නේ. සමහර විට නොදැනුවත්වම වුනත් ඩැන්බෝ චරිතය ඔබගේ වෝල් පේපර් එකතුවෙත් තියෙනව ඇති. වචනයෙන් විස්තර කරන්න බැරි තරම් හැසිරීම් රටා විශාල ප්‍රමාණයක් මේ කාඩ් බෝඩ් කැබැල්ලකින් මැවෙන අපූරුව දැක ගන්න ඩැන්බෝ ගැන සොයා බලන්න…!

ඩැන්බෝ එකතුවක්… වෙනත් එකතුවක්… ගූගල් ඉමේජස් මගින් සෙවීමක් කරනු ලැබුවහොත් ඕනෙ තරම් හොයාගන්න පුළුවන්.
 

කඩදාසි ඔරුව…

මං ආසා කරන  සෙවනැල්ල.

සෙවනැල්ල.

එදත් අද වගේම අවුරුද්දට පස්සේ දවසකට හෝ දෙකකට පස්සේ දවසක්. ම්… හොඳටම වැස්ස. අහසේ තැනින් තැන සුදු පාට පැච් තිබුනට වැඩි පුරම තියෙන්නේ අළු පාටයි, කළු පාටයි. වැස්ස විතරක් නෙමේ චූටි කොල්ලෙකුට සැරටම බඩේ අමාරුවකුත් හැදුන දවසක්. මං වැස්සේ බෙහෙත් ගේන්න යන්න බෑ කියද්දි බලෙන්ම වගේ තමා අරගෙන ගිහිං තියෙන්නේ.  වැඩි හරියක්ම හේතු වුනේ අවුරුදු දවස් ටිකේ කාපු තෙල් අධික කෑම කියලා තමයි දොස්තර අංකල් කියලා තිබුනේ.

චූටි ළමයින්ට බඩේ අමාරුව හැදුනම බත් කවන්න හරි අමාරුයිනේ. ඉතිං අපේ තාත්තටත් ඒ ප්‍රශ්නෙම ඇති වෙලා. ඒ පාර ඉතිං එක එක බොරු කිය කිය බත් කවන්න හදනවලු. හවසට රැල්ල පාගන්න බීච් එකක් යන්නං, අවුරුදු උත්සවයක් තියෙනවා ඒක බලන්න එක්කං යන්නං… කිය කිය කොහොමහරි බත් කවන්මලු ට්‍රයි එක. අනේ ඇත්තට මොන පොඩි එකාටද තේරෙන්නේ නැත්තේ මේ මහ වැස්සේ බීච් යන්න බැරි බව, අවුරුදු උත්සව තියන්න බැරි බව… ඕනෙම නම් ලිස්සන ගහ විතරක් තියයි. ඒක ඉතිං කොහොමත් ලිස්සන එකනේ.

පස්සේ ඉතිං චූටි කොල්ලා කරලා තියෙන්නේ වහලෙන් වැටිලා ගලාගෙන යන වතුර දිහා නිසොල්මනේ පුටුවක් තියාගෙන බලාගෙන ඉඳිය එකලු. අම්මටසිරි මෙන්න එක පාරටම වතුර දිගේ පොඩි පොඩි බෝට්ටු හතරක් පහක් යනවලු එක එක පාට කොල වලින් හදපු. ඊට ටිකක් එහායින් මට පේනවා කළු අඳුරු සෙවනැල්ලක් වතුර පාරට එබීගෙන මොකද්ද මන්දා අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. අපේ ඩැඩා කට්ටයා… පොඩි කොල්ලා බෝට්ටු වලට ආසා බව දන්න නිසා බෝට්ටු ටිකක් හදලා වතුර දිගේ යවනවලු… ඒකත් මොකටද… හ්ම්… මට බත් කවන්න. පස්සේ ඉතිං දුක හිතිලද, පෙරේත කමටද මන්දා… මොනාද තාත්තේ තියෙන්නේ…?

පුතාට තියෙනවා… මෑ ඇට තෙල් දාලයි, බතුයි.

ඇහ්.. මෑ ඇට තියෙනවද….?

ම්… ඒකනේ ඉස්සෙල්ලත් කිව්වේ කමු කියලා.

කඩදාසි ඔරු...

කඩදාසි බෝට්ටු…

හ්ම්…. කොහොමහරි කොල්ලව බඩේ අමාරුවෙන්, විජලනයෙන් ගොඩගන්න ඕනේ නිසා, උගේ ආසාම කෑම හදලා. තාත්තා බත් කවන ගමන් පාවෙලා ගිහිං නොපෙනි යන්න යන බෝට්ටු ටික උස්සං ඇවිත් මං අනිත් කෙලවරෙන් තියනවා. ඊට  පස්සේ දුවගෙන ඇවිත් තාත්තා ගාවින් වාඩිවෙලා බත් කවාගන්නවා. බෝට්ටු ටික වතුර පාර දිගේ ගල් මුල් වල හැපී හැපී, මග නැවතී නැවතී අපි බත් කන හරියට එද්දි තාත්තා මට බත් කටවල් තුනක් විතර ගිල්ලවලා ඉවරයි. අන්තිමේ කඩදාසි බෝට්ටු ටික වතුරටම පෙඟෙද්දි මං බත් ඔක්කොම කාලා ඉවරයි..!

ම්… අදත් එදා වගේම වහිනවා. දැන් වතුර ගලාගෙන යන්නේ පීල්ල දිගේ. පීල්ලෙන් ගිහිං කෙලින්ම කානුවට. ඒක නිසා බෝට්ටු යවන්න බෑ. අනික බෝට්ටු යවන්න මට බඩේඅමාරුවකුත් නෑනේ. ඒත් ඩැඩා අසනීපෙන්. උන හැදිලා. දොස්තර අංකල් එන්නේ හවසටනේ. එතකං ඉන්න වෙනවා. තාත්තා එදා නම් මට මෑ ඇට එකක් බත් කැව්වා. මාත් බෑ බෑ කියලා හරි කෑවා. අදත් ගෙදර මෑ කරල් තෙල් දාලා. ඒත් මට පුළුවන්ද එදා තාත්තා මට කැව්වා වාගේ බෝට්ටු පෙන්න පෙන්න බත් කවන්න. මට බැරි නම් නෑ… ඒත් මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියා බත් කන්න බෑම කියනවනේ. එයාට ඕනේ සීනි නැති කහට එකයි, ක්‍රීම් කැකරුයිලු. කටතිත්ත නිසා වෙන්න ඇති. ඒත් ඉතිං තියෙන දඩබ්බර කමනේ…. ක්‍රීම් කැකර් කන්න පුළුවන් එකේ බත් ඩිංගක් කෑවම මක් වෙනවද…? පුංචි කාලේ අපි වගේ දැන් අපේ තාත්තලත්…!

එදා මං වැස්සේ යන්න බෑ කිව්වා තව ටිකක් හවස් වෙද්දි තාත්තත් කියයි. ම්… ඒවා බලාගමුකෝ හවසට. එදා මාව බලෙන් අරං ගිහිං බෙහෙත් අරං දීලා සනීප කෙරෙව්වානම් මං අද තාත්තව එකක්ං ගිහිං බෙහෙත් අරං දෙනවා. නැත්තං බෑනේ… නැත්තං තාත්තා හිතයි මං තාත්තා කියන දේ  අහලා බලාගෙන ඉන්නවා කියලා තාමත්…! –at එයාලා අපි වෙනුවෙන් ගොඩක් දේවල් කලා. දැන් අපි එයලා වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. ඒක තමා අළුත් අවුරුද්දේ එකම ප්‍රාර්ථනාව.

සුභ අළුත් අවුරුද්දක්….!

මනෝගේ චාරිකාව…

මනෝ කියන්නේ අ‍පේ ඔෆිස් එකේ ඉන්න ඩ්‍රයිවර් කෙනෙක්. මනුස්සයා හැම තිස්සෙම ජොලියෙන් ඉන්න, අනිත් එවුන්ව අවුස්සන්න එක එක ඒවා කියන පොරක්. මෑන් දෙමළ. මේ ටිකේ බුවා කියන්නේ… “ප්‍රභාකරන් අවුරුදු 30ක් ඇද්දා යුද්දේ… ඔන්න බලපං තව මාසෙකින් නැගිටින අපේ එවුන් මාස තුනෙන් දෙනවා ලංකාවට” කියලා. ඕක අහන සිංහල එවුන්ට ඉතිං කියන්න දෙයක් නෑනේ මල පනින හැටි ගැන.

මොනා වුනත් මිනිහා කොටි හිතවාදියෙක් නම් නෙවෙයි. මොනා කිය කිය සිංහල අපිව ඇවිස්සුවත් දෙමළුන්ගෙන් සැරටම බකට් එක කාපු පවුලක එක පුතෙක්. ඒක නිසා මනෝ සිරියස් කතාවකදී නම් කොටින්ට බනිනවා ඇඩෙන්නම. කොටින්ම මූ අපිත් එක්ක සිංහලෙන් බැන බැන ඉන්න ගමන් උපරිමේට මල පැන්නම දෙමළෙන් බනින්නේ… අපිට ඒවා තේරෙන්නේ නෑනේ. එතකොට අපි අහනවා… මොකද්ද මනෝ ඒ කිව්වේ… කියලා. බුවාගේ කේන්ති වැඩි කමට ඒකට උත්තර දෙන්නෙත් දෙමලෙන්. ඒ වෙලාවට මිනිහාට මතක නෑ අපිට දෙමළ බෑ කියලා.

ඉතිං සිංහල අපිට වගේම තමා. මනෝ දෙමළ වුනා කියලා ගෙදර කාන්තා අදිපත්‍යයෙන් නම් මනෝට බේරෙන්න හම්බුවෙන්නේ නෑලු. වයිෆ් කියන විදියට ඉඳියේ නැත්තං රෑට කන්න වෙන්නේ කඩෙන්ලු. අපි එක එක ජාතීන්ට විරුද්ධව නැගීසිටියට, ගහමරා ගත්තට මනෝ නම් කියන්නේ අපි මුලින්ම ගෙවල් වල ගෑණුන්ට විරුද්ධව එකතු වෙලා සටන් කරන්න ඕනේ කියලා. මං දන්නවා… බැඳපු අයියලත් එක පයින් සපෝට් එක දෙනවා කියලා  ඒ යෝජනාවට . 😉

දවසක්දා මනෝගේ වයිෆ් මනෝට කියනවලු…

trip

trip

මනෝනෝනෝ…. අපි ට්‍රිප් එකක් ගියෙත් නෑනේ කාලෙකින්. අපි කොහෙහරි යමුද… කියලා? මනෝගේ වයිෆ් “කාලෙකින්” කියලා කියන්නේ මනෝ කියන විදියටනම් සති දෙකකට වරක් එන කාලයක්..

දැන් ඉතිං මනෝත් දන්නවනේ සීන් එක. බෑ කිව්වොත් එහෙම කෑම නෑ… එක්කෝ බුදියන්න වෙන්නේ පිලේ. ඉතිං බුවාත් හොඳට කල්පනා කරලා බලලා කිවුවලු…

හ්ම්… එහෙනම් ලබන සෙනසුරාදා යමුකෝ නුවරඑළි කියලා.

වයිෆ්ට හරි සන්තෝසයිලු. ඇයි ඉතිං නුවරඑළි ගිහිං හීතලේ එව්වා මෙව්වා කරන්න පුළුවන්නේ. ඒත් දැන් අර රේස් මූවි එකේ වගේ තමා, වයිෆ් හිතාගෙන ඉන්නේ වයිෆ් තමා රේස් එක කන්ට්‍රෝල් කරන්නේ කියලා. ඒත් අපේ මනෝ… බුවා තමා බුවා.

මූ ගානට සෙනසුරාදම වැඩේට සෙට් කරගෙන තියෙන්නේ, එදාටම ලොක්කෝ තුන් දෙනෙකුත් එක්ක නුවරඑළියේ ෆීල්ඩ් ට්‍රිප් එකක් යන්න තිබිලා තියෙන නිසා.

ඉතිං සිකුරාදා හවස තුනට විතර, හෙට ෆීල්ඩ් ට්‍රිප් එක යන්න ඉන්න බොස් කෙනෙක් ගාවට ගිහිං කියනවලු, “සර් පොඩි හදිස්සියක් වෙලා සර්, මට හෙට එන්න වෙන්නේ නෑ සර්.” කියලා. ඉතිං බොසුත් ඇහුවලු ඇයි මනෝ මොකද්ද ප්‍රශ්නේ කියලා. බුවාත් කියනවලු… “සර් ලඟම නෑදෑයෙක් අන්ත්‍රා වෙලා සර්… මඩකලපුවේ සර්…. අද රෑම  පිටත් වෙන්න ඉන්නේ සර්.” කියලා. ඉතිං බොස්ටත් දුක හිතිලා… හරි ‍මනෝ… ඔයා යන්න අපි වෙන කෙනෙක්ව සෙට් කරගන්නම්… ආ… මේකත් තියාගන්න මග වියදමට එහෙම ඕනේ වෙයිනේ… කියලා රුපියල් පන්දාහකුත් දුන්නලු.

දැන් ඉතිං මනෝ ආවලු සිකුරාදා කලින්ම ගෙදර ඇවිල්ලා, ඔ‍ෆිස් එකට කියපු බොරුවත් කියලා එහෙම ඔන්න වයිෆ්ට ඇඳුම් එහෙම ලෑස්ති කරන්න කියලා බුවාත් ඇඳුම් එහෙම ලෑස්ති කරගෙන ඊලඟ දවසේ පාන්දරම මනෝගේ පොඩි කාර් එකෙන්ම නුවරඑළි යන්න පිටත් වුනාලු. දැන් උදේ කෑම කන්න ලෑස්ති කරගෙන තියෙන්නේ මනෝලා ඔෆිස් එකෙන් නුවරඑළි ගියාම ආප්ප, ලැවරිය වගේ ගමේ කෑම කන පොඩි කඩයකලු.

මොකද…. ‍මනෝ දන්නවා, අර ඔෆිස් එකේ බොස්ලා තුන් දෙනාත් සාමාන්‍යයෙන් ඒ වෙලාවට එතෙන්ට එනවා කියලා. දැන් මොකක් වෙයිද…? ඒක තමයි ත්‍රාසජනකම කොටස.

?

?

ඔන්න ඉතිං දැන් මනෝ කපල් එක කෑම කද්දී මනෝගේ ප්ලෑන් එකේ හැටියටම බොස්ලා තුන්දෙනා වාහනේ නවත්තලා එනවලු කෑම කන්න. ආපු ගමන් මනෝව දැක්කා බොස්ලා හොල්මන් වෙලාලු. මඩකලපුවේ මළගෙයක් කියපු මිනිහා මෙන්න වයිෆ් එක්ක නුවරඑළියේ ඇවිත්…! පස්සේ ඉතිං දැන් මනෝ බලන් ඉන්නේ බෝස්ලා තුන්දෙනා මනෝ ගාවට ඇවිත් බනියි කියලලු. ඒත් ඉතිං බොස්ලා වෙන තැනකින් වාඩි වුනාලු. පස්සේ මනෝත් වයිෆ්ව එකක්න ගියාලු ලඟට. නැත්තං ඉතිං හොඳ නෑනේ.

ඒ ගියාමත් මනෝ දැන් මනෝ බලන් ඉන්නවලු බොරු කියලා නිවාඩු ගත්තට බොස්ලා බනියි කියලා. ම්හු…. බනින පාටක් නෑලු. පස්සේ මනෝ, එයාගේ වයිෆ්ව අඳුන්නලා දුන්නලු. “ස… සර්… ම්… ම්.. මේහ් මගේ වයිෆ්” කියලා ටිකක් බයාදු ගතියෙන්. බොස්ලත්… හරි හරි මනෝ… පරිස්සමින් ගමන යන්නකෝ… බිල ගෙව්වද…? කියලා එහෙම අහලා බිලත් ගෙවලා දැම්මලු.

දැන් මූට හෙන අප්සට්ලු. මොකද මූ ප්ලෑන් කරං ඉඳලා තියෙන්නේ වයිෆ් ඉස්සරහ බොස් බැන්නම, වයිෆ් ආයේ බොස්ලට බොරු කියලා, අහේ මෙහේ යන්න කතාකරන එකක් නැති වෙයි කියලලු.  එත් ප්ලෑන් එක අසාර්ථකයිලු. දැන් ඉතිං බුවා නුවරඑළියේ කාර් එකේ යන ගමන් මුගේ ප්ලෑන් බී ක්‍රියාත්මක කරන්න හදද්දිම… වයිෆ්… කියනවලු…

“මේහ්… මට නම් ඇල්ලුවේ නෑ බොස් ඒ කරපු දේ. බොරු කියලා ආවා කියලා දැන දැනත් ඔයාට වචනයක්වත් නොකියා, අපේ බිලත් ගෙවපු එක. සඳුදට ඔයාට අස්වෙන්න කියයිද දන්නේ නෑ‍ නේද…” කියලා.

“හුම්… ඒක තමා මාත් හිතුවේ… බලන්නකෝ ඔයා කරන වැඩනේ. දැන් ඉතිං රස්සාව නැති වුනොත් වහකන්න තමා වෙන්නේ.” කියලා මනෝත් දෙනවලු ලස්සනට. මොකද බුවාට හෙන හැපිලු මිනිහා ක්‍රියාත්මක කරන්න හිටිය ප්ලෑන් බී බුවාට කලින් වයිෆ්ම ක්‍රියාත්මක කිරීම ගැන. 😀

“හරි… හරි… එහෙනම් ඉතිං මීට පස්සේ දිග නිවාඩුවක් ලැබුනම විතරක් කොහෙහරි යමුකෝ…” කියලා වයිෆ් කියද්දි මනෝට තවත් හැපිලු. කොහොම හරි ප්ලෑන් එක වැඩ කරානේ කියලා. දැන් ඉතිං සල්ලිත් ඉතුරුයි, බොරු කියන්න ඕනෙත් නෑනේ කියලා. ඒත් පොඩි කේස් එකක්ලු… මනෝට පොඩ්ඩක් අප්සට්ලු බොස්ලා බැන්නේ නැති එක ගැන. ඇත්තටම සඳුදට මිනිහාව අස්කරයිද දන්නේ නෑනේ.

පස්සේ ඔන්න සඳුද ඔ‍ෆිස් ගිහිං මනෝ ගියාලු සිකුරාදා නිවාඩුව අනුමත කරලා, සෙනසුරාදා මනෝගේ  බිල ගෙවපු බොස්ව බැහැදකින්න.

ආහ්… එන්න මනෝ… එන්න… කොහොමද මළගෙදර වැඩ ටික කෙරුනද…? රුපියල් පන්දාහ ඇතිවුනාද…?

අනේ… සර්… සොරි සර්…

හරි හරි… ගනන් ගන්න එපා පුතා… අපි තුන්දෙනාත් එදා ෆීල්ඩ් ට්‍රිප් එක ගියේ වයිෆ්ලට නුවරඑළියේ මළගෙයක් කියලා.  –at බලාගෙන යද්දි හැම බොස් කෙනෙක්ගෙම ගෙදර බොස් වයිෆ්නේ…

%d bloggers like this: