පිහාටු….

වර්ණවත්...

වර්ණවත්…

ලෝකේ තියෙන සිනිඳුම, සැහැල්ලුම දෙය මොකද්ද කියලා ඇහුවොත් මං නම් කියන්නේ පිහාටු කියලා…! ඒ වගේම වර්ණවත්… පිහාටුවක් අතකින් අල්ලපු ඕනේ කෙනෙක් ඒක දන්නවා. ඉස්සර අපි පිහාටු එකතු කලා. සුදු පාට පිහාටු වලට කහ පාට, රෝස පාට කුකුළු සායම් දාලා පාට වෙනස් කරලා ලස්සන කරා. කොයි තරම් නම් ඒ සිනිඳු බව වින්දද…! ඒ දවස් වල අපිත් පිහාටු වගේ… හරි සැහැල්ලුයි.

කාට හරි මතකද පිහාටු අලවලා පොත් හැදුවා..? සුභපැතුම් පත්, ආරාධනා පත් වගේ කීයක් නම් හැදුවද පිහාටු වලින්. අර හමුදාවේ අයගේ කැප් වල තියෙන්නේ පිහාටු…! අන්න ඒවාට තමා මං වැඩියෙන්ම ආසා. ඒවා හරී දීප්තිමත්. ගෙදරදි පාට කරන ඒවා වගේ පාට අඩුවෙලා යන්නේ නෑ. හැමදාමත් එක වගේ දීප්තිමත්.

ඉතිං පිහාටු කියන්නේ මිනිස්සුන්ට ලස්සන දෙයක් විතරක් වුනාට, කුරුල්ලන්ට නම් අත්‍යවශ්‍ය දෙයක්. පිහාටු නැතුව ඉගිලෙන්න බෑ කුරුල්ලන්ට. පිහාටු කියන්නේ කුරුල්ලන්ට ඉගිලෙන්නම තියෙන දේකුත් නෙවෙයි. ඒ තමයි කුරුල්ලන්ගේ සමේ ආවරණය. ඒ විතරක් නෙවෙයි… වැස්සෙන්, සීතලෙන්, උණුසුමින්  ආරක්ෂ වෙන්න වගේම තමන්ගේ වර්ගයාට අනිත් අයගෙන් වෙන් කරලා අඳුන ගන්නත් උදවු වෙන්නේ මේ පිහාටුම තමා. පිහාටුවකට වතුර

ලස්සනම පිහාටුව...

ලස්සනම පිහාටුව…

බිංදුවක් වැටුනම ඒක පිහාටුවක රැඳෙනවා අඩුයි බොහෝ දුරට. ඒ එහෙම වෙලා තියෙන්නේ කුරුල්ලන්ව ජලයෙන් ආරක්ෂා කරන්න. තද අවුවකදී කුරුලු පිහාටු වලින් සැදි පියාපතකට පුළුවන් කුරුළු බිත්තර වලට ලැබෙන අධික උෂ්නත්වය මග හරින්න. හැම දේටම වැඩියෙන් වටින්නේ කෙරටීන් ප්‍රෝටීනය හා තවත් රසායනික කීපයක හයිඩ්‍රිජන් බන්ධන මගින් තැනුන පිහාටුව හොඳ හැටි සුලං වලට ඔරොත්තු දීමයි. ඒක තමා ප්‍රමුඛ කාර්යය. කවදාවත් අහලා තියෙනවද හුළඟට අහුවෙලා තටු කැඩිච්ච කුරුල්ලෙක් ගැන…! දැන් මේ සිනිඳු පිහාටු, සිනිදුවට පිහාටු වගේ තිබුනට කුරුල්ලන් පරිනාමය වෙන අවධියෙදි තිබිලා තියෙන්නේ සමින්ම හැදුන තුනී පටලයක් වගේ. ඒ දවස්වල නම් දැන් තරම් ලස්සන නැතුව ඇති…

පිහාටු වලින් කුරුල්ලන්ට වගේම අපිටත් යම් යම් අවශ්‍යතා පිරිමැහෙනවා. ආදී කාලීනව නම් පිහාටු යොදාගෙන තියෙනවා ආයුර්වේද වෙදකමේ එන තෙල් ආලේප කිරීම් වලට. පිහාටුවකින් තෙල් ගාලා තියෙන්නේ අතේ රස්නෙට තෙල් වල තියෙන ගුණ වෙනස් වෙයි කියලලු.

පිහාටු පවන් සලනය...

පිහාටු පවන් සලනය…

ඒ වගේම මෑත කාලීනව අපි නොහිතන දේවල් වලට පවා පිහාටු යොදාගෙන තියෙනවා. නිදියද්දි ඔළුව තියන කොට්ටයක ඇතුලත පුරවන්න පිහාටු යොදාගන්නවා කිව්වොත් මොකද හිතන්නේ..? ඇත්තටම සීතල රටවල කොට්ටවලට පිහාටු ඇතුලත් කරනවා. ඒ කොට්ට උණුසුම්ව තබන්න. ඊට පස්සේ සීත කබායන් වල මැද ලේයරයක් විදියට හා අකුලන මෙට්ට පිරවීමටත්. පිහාටුවල නැවෙන සුළු බව හා තාප පරිවාරකයක් ලෙසින් ක්‍රියාකරන ගතිය කුරුල්ලන්ට වඩා වැදගත් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට.

රතු ඉන්දියානුවන්ට වගේම තවත් ගෝත්‍රික කන්ඩායම් ගනනාවකට පිහාටු කියන්නේ වටිනා ආභරණයක්. ඒකෙන් ඔවුන්ගේ උස් පහත් බව, ආඩම්බරකම වගේම ශක්තිමත් භාවයත් පෙන්නුම් කරනවා. ඒ අතරත් විවිධ ජන කොට්ඨාස පිහාටු විවිධ දේ සඳහා යොදා ගන්නවා. එක් කොටසක් පිහාටු තමන්ගේ පළඳනාවක් ලෙස භාවිතා කරද්දි තවත් කොටසක් එම පිහාටු පූජනීයත්වයෙන් සලකලා යාග හෝම සඳහා යොදාගන්නවා. තවත් කොටසක් ඖෂධක් විදියට යොදාගන්නවා. ඒ වගේම හැම ජන කොට්ඨාසයකයම ගැහැණු අය තමන්ගේ කොන්ඩයට අලංකාරයක් එක් කරන පළඳනාවක් හැටියටත් භාවිතා කරනවා අතීතයේ පටන් අද දක්වාමත්. පිරිමි අය තමන්ගේ හිස් පළඳනා වගේම ලියන පෑන් සඳහාත් යොදාගන්නවා. ඉස්සර ඉඳන්ම පිහාටු ආශ්‍රිතව පැවත එන තවත් දෙයක් තමයි පිහාටු වල අඳින විවිධ චිත්‍ර. ඉස්සරම රජවරුන්ට පවන් ගහන්න අරගෙන තියෙන්නෙත් පිහාටු එකතු කරලා හදපු උපරකණයක්ලු. සෙමර සලනවා කියන්නේ ඒකට තමා.

ආභරණ ලෙස...

ආභරණ ලෙස…

ලෝකයේ පිහාටු අතරින් විවිධ ජන කොට්ඨාස තුල වැඩියෙන්ම ජනප්‍රිය පිහාටු දෙවර්ගය වෙන්නෙ රාජාලි පිහාටු හා මොනර පිහාටු..! අලංකාරත්වයෙන් වැඩි හා දුර්ලභ ගනයේ, ඒ කියන්නේ වඳවී ගෙන යන කුරල්ලන්ගේ පිහාටු වලට… පිහාටු එකතු කරන්නන් අතර තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒවට තියෙන්නෙත් අති විශාල වටිනාකමක්..!

ඒත් මේ හැම පිහාටුවම කුරුල්ලන්ගෙන් වැටෙන ඒවම නෙවෙයි. පිහාටු ගැනීමට ඇතිකරන හා අල්ලාගෙන පිහාටු ගලවන කුරුල්ලන්ගෙන් ලබාගන්නා ඒවා. ලංකාවේ නැති වුනත් වෙනත් රටවල දුර්ලභ පක්ෂීන් වඳවී යාමට මෙවන් මුදල් සඳහා පිහාටු ගැනීමට කුරුල්ලන් මැරීම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

ගඟට ඇසෙන්නට…

වංගු... බාධක...

වංගු… බාධක…

හ්ම්… ඉස්සර කව්රුහරි ගුරුවරයෙක් කියලා දුන්නා ගඟක් ලස්සන වෙන්නේ වංගු තියෙන කොට, ගල් පර්වත තියෙන කොට කියලා. අපිත් ඒ දවස් වල ඒ පඬි වාක්‍ය ඔළුව වනලා පිලිගත්තේ, කියපු දේ තේරුනා තියා… අඩුම ගානේ එතනින් එහාට “නෑ… ඒක එහෙම නෙමෙයි…“ කියලා කියන්න තරම්වත් දැනුමක් නැති නිසා වෙන්න ඇති. ඒත් ඒ කිව්වේ ඔහේ ගලාගෙනන යන ගඟක් ගැන නම් නෙවෙයි. ඉදිරියට ගලන ජීවිතය ගැන. මොන තරම් නොතේරුනත් ඒවා මතක හිටියා. ඒකයි දැනුත් මේ මතක් වෙන්නේ…!

ඇත්ත තමා, ගඟක් ලස්සන වෙන්නේ වංගු තියෙද්දි… ඒකාකාරීව එකම පැත්තකට ගලනවට වඩා ගඟ “දකින්නාට“ වඩා “බලන්නාට“ ගඟේ ලස්සන පේන්නේ ගඟක් වංගු සහිත වුනාම. දකින්නාට කොහොම දැක්කත් ඒක ගඟක්මයි. ගඟක්ම නොවුනත් වතුර පාරක්වත් වෙයි. ඒත් වතුරෙන් හැදුන ගඟ එහෙම වුනාට, බලාපොරොත්තු වලින් පිරුණු ජීවිත ගඟනම් වංගු සහිත වුනාම වෙලාවකට හරීරීරී කරදරයි… එක වංගුවකින් හැරිලා ඉස්සරහට යද්දී ඉදිරිය දෘෂ්ටියෙන් ඈතයි. එහෙමත් නැත්තං වංගුව ගන්න කොට අපි අන්ධ වෙලා. ඒත් නැත්තං ඊළඟට පාර කොහොමද කියන්න තේරෙන්නේ නෑ. කොටින්ම කියනවනම් ඉස්සරහ පැහැදිලි නෑ. එතකොට ගඟ ගලන එක කෙසේ වෙතත් අඳුරේ අත පත ගාන්න නම් වෙනවා.

කොහොම හරි පාර හොයාගෙන ඉස්සරහට යද්දී… ඔන්න තියෙනවා පුංචි කාලේ ඉගෙන ගත්තු ගල් පරුවත එහෙම. ඒවත් එසේ මෙසේ ඒවා නෙමේ… අවුරුදු ගනන් වැයවෙන වැඩ. එක බාධකයක් පහුකරන්න සමහරවිට ජිවිත කාලයෙන් භාගයක්ම ගත වෙනවා ඇති. ඒ අතරෙදි ගලන ගඟ දෙපැත්තෙන් වැටෙන කොල රොඩු, කුණු ගොඩවල් ඔක්කොමත් අරගෙන අපි පතන සැපත පිරි සාගරය දක්වා දිවයනවා. වැඩි දෙනෙක් උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් ඒ සාගරයට මුහු වෙන්න. ඒක තමා දියුණුව කියන්නේ. හැමෝම හදන්නේ විශේෂ වෙන්න. ඒ ඉක්මන් ගලායෑමෙදී බොහෝවිට ගලායෑම ගැන ඇරෙන්න වෙනත් දෙයක් ගැන හිතන්නේ නැති තරම්. කීයක් දේවල් මග ඇරෙනවා ඇතිද…?

අන්තිමේ එකතු වෙනවා සාගරයට. එතෙන තමා අවසාන නැවතුම් පොල. ඒත් ගිහිං බලපුවම ඇති විශේෂයක් නෑ. එතෙනත් ඉන්නේ ජීවත් වෙන්න යමක් කරන මිනිස්සු. සාගරයට ගිහිං නවතින්නෙත් නෑ… තවත් උත්සාහ කරනවා… හැමෝම හදන්නේ වාෂ්ප වෙලා හරි ඉහලට යන්න…!

ඔය හැමදේම අහගත්තු අපි, අන්තිමට මෙහෙමත් අහගත්තා.

නිසල සයුර ගැඹුරුයි…

ගඟක මුහුදක රැලි නොමැති තැනක් වේ නම් එතෙන ගැඹුරුයි. ඒ එතෙන අන්තැන් වලට වඩා වැඩි ජල කඳක් රඳවා ගත්තා වලක් තියෙන නිසා. ඒ වගේම තමා උඩ පනින දාහක් දෙනා අතර දෙපයින් සිටගෙන මිටියට ඉන්න අය අන් හැමටම වඩා හැම දේකින්ම සාරයි. දැන් තමා තේරෙන්නේ හැම අතින්ම ජීවිතය ගලන ගඟකට සමානයි…! අපිට ඕනෙ විදියට හැමතිස්සෙම හැරෙන්න බැරි වුනාට, බාධක මග හරින්න බැරි වුනාට… ගලාගෙන යන විදියට යන්න දුන්නම… ඒත් අත්‍යවශ්‍ය තැන් වලදී හැකි පමණ හරවා ගත්තම ගඟ ලස්සනයි… හැටි ගමන් ප්‍රපාත වලින් වැටෙද්දී දිය ඇලි හැදේවි ඇස්වලත්… ඒත් ගඟ ලස්සනයි…! at – ඇහුනද අනිත් ගංගා වලට….???

%d bloggers like this: