ගඟට ඇසෙන්නට…

වංගු... බාධක...

වංගු… බාධක…

හ්ම්… ඉස්සර කව්රුහරි ගුරුවරයෙක් කියලා දුන්නා ගඟක් ලස්සන වෙන්නේ වංගු තියෙන කොට, ගල් පර්වත තියෙන කොට කියලා. අපිත් ඒ දවස් වල ඒ පඬි වාක්‍ය ඔළුව වනලා පිලිගත්තේ, කියපු දේ තේරුනා තියා… අඩුම ගානේ එතනින් එහාට “නෑ… ඒක එහෙම නෙමෙයි…“ කියලා කියන්න තරම්වත් දැනුමක් නැති නිසා වෙන්න ඇති. ඒත් ඒ කිව්වේ ඔහේ ගලාගෙනන යන ගඟක් ගැන නම් නෙවෙයි. ඉදිරියට ගලන ජීවිතය ගැන. මොන තරම් නොතේරුනත් ඒවා මතක හිටියා. ඒකයි දැනුත් මේ මතක් වෙන්නේ…!

ඇත්ත තමා, ගඟක් ලස්සන වෙන්නේ වංගු තියෙද්දි… ඒකාකාරීව එකම පැත්තකට ගලනවට වඩා ගඟ “දකින්නාට“ වඩා “බලන්නාට“ ගඟේ ලස්සන පේන්නේ ගඟක් වංගු සහිත වුනාම. දකින්නාට කොහොම දැක්කත් ඒක ගඟක්මයි. ගඟක්ම නොවුනත් වතුර පාරක්වත් වෙයි. ඒත් වතුරෙන් හැදුන ගඟ එහෙම වුනාට, බලාපොරොත්තු වලින් පිරුණු ජීවිත ගඟනම් වංගු සහිත වුනාම වෙලාවකට හරීරීරී කරදරයි… එක වංගුවකින් හැරිලා ඉස්සරහට යද්දී ඉදිරිය දෘෂ්ටියෙන් ඈතයි. එහෙමත් නැත්තං වංගුව ගන්න කොට අපි අන්ධ වෙලා. ඒත් නැත්තං ඊළඟට පාර කොහොමද කියන්න තේරෙන්නේ නෑ. කොටින්ම කියනවනම් ඉස්සරහ පැහැදිලි නෑ. එතකොට ගඟ ගලන එක කෙසේ වෙතත් අඳුරේ අත පත ගාන්න නම් වෙනවා.

කොහොම හරි පාර හොයාගෙන ඉස්සරහට යද්දී… ඔන්න තියෙනවා පුංචි කාලේ ඉගෙන ගත්තු ගල් පරුවත එහෙම. ඒවත් එසේ මෙසේ ඒවා නෙමේ… අවුරුදු ගනන් වැයවෙන වැඩ. එක බාධකයක් පහුකරන්න සමහරවිට ජිවිත කාලයෙන් භාගයක්ම ගත වෙනවා ඇති. ඒ අතරෙදි ගලන ගඟ දෙපැත්තෙන් වැටෙන කොල රොඩු, කුණු ගොඩවල් ඔක්කොමත් අරගෙන අපි පතන සැපත පිරි සාගරය දක්වා දිවයනවා. වැඩි දෙනෙක් උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් ඒ සාගරයට මුහු වෙන්න. ඒක තමා දියුණුව කියන්නේ. හැමෝම හදන්නේ විශේෂ වෙන්න. ඒ ඉක්මන් ගලායෑමෙදී බොහෝවිට ගලායෑම ගැන ඇරෙන්න වෙනත් දෙයක් ගැන හිතන්නේ නැති තරම්. කීයක් දේවල් මග ඇරෙනවා ඇතිද…?

අන්තිමේ එකතු වෙනවා සාගරයට. එතෙන තමා අවසාන නැවතුම් පොල. ඒත් ගිහිං බලපුවම ඇති විශේෂයක් නෑ. එතෙනත් ඉන්නේ ජීවත් වෙන්න යමක් කරන මිනිස්සු. සාගරයට ගිහිං නවතින්නෙත් නෑ… තවත් උත්සාහ කරනවා… හැමෝම හදන්නේ වාෂ්ප වෙලා හරි ඉහලට යන්න…!

ඔය හැමදේම අහගත්තු අපි, අන්තිමට මෙහෙමත් අහගත්තා.

නිසල සයුර ගැඹුරුයි…

ගඟක මුහුදක රැලි නොමැති තැනක් වේ නම් එතෙන ගැඹුරුයි. ඒ එතෙන අන්තැන් වලට වඩා වැඩි ජල කඳක් රඳවා ගත්තා වලක් තියෙන නිසා. ඒ වගේම තමා උඩ පනින දාහක් දෙනා අතර දෙපයින් සිටගෙන මිටියට ඉන්න අය අන් හැමටම වඩා හැම දේකින්ම සාරයි. දැන් තමා තේරෙන්නේ හැම අතින්ම ජීවිතය ගලන ගඟකට සමානයි…! අපිට ඕනෙ විදියට හැමතිස්සෙම හැරෙන්න බැරි වුනාට, බාධක මග හරින්න බැරි වුනාට… ගලාගෙන යන විදියට යන්න දුන්නම… ඒත් අත්‍යවශ්‍ය තැන් වලදී හැකි පමණ හරවා ගත්තම ගඟ ලස්සනයි… හැටි ගමන් ප්‍රපාත වලින් වැටෙද්දී දිය ඇලි හැදේවි ඇස්වලත්… ඒත් ගඟ ලස්සනයි…! at – ඇහුනද අනිත් ගංගා වලට….???

%d bloggers like this: