නැතිවුන ෆයිල් එක…

රෝස පාට ෆයිල් එක ;)

රෝස පාට ෆයිල් එක 😉

ෆයිල් කිවුවම තේරුම් ගොඩක් තියෙනවනේ. සාමාන්‍යයෙන් ෆයිල් එකක් කියන්නේ, ලිපි ලේඛන එක්රැස් කරන ගොනුවක්. ඒත් සහෝදර සහෝදරියෝ කීපදෙනෙක් ඉන්න පවුලක නම් ෆයිල් එක කියන්නේ වෙන දෙයක්. අවුරුදු 16, 17 වෙනකොට හැම කෙනාම දඟලන්නේ තමන්ගේ ෆයිල් එක උඩට දාගන්න. ඒ මොන ෆයිල් එකද කියලා දන්න අය දන්නවා. එහෙම දඟලද්දි ඉතිං අම්මල තාත්තලගේ ඇඳුනුම් කම් මත අහක යන ෆයිලුත් ඔලුව උඩ වැටෙනවා. ඒ මදිවට “ඉන්” පැත්තේ ෆයිල් පිරිලා. සමහර ඒවා දැක්කම “අවුට්” කරන්න ලෝභ හිතුනත් ඉතිං, ඒ දවස්වල ඉඳන් මේන්ටේන් කරගෙන ආපු ෆයිල් තියෙන නිසා අකමැත්තෙන් උනත් ඉවත් කරන්න වෙනවා. 😦

ඉතිං දැන් මාතෘකාවේ හැටියට නම් මට වෙන්න ඕනේ මොකක්ද..? මගේ ෆයිල් එක නැතිවුන එකනේ. ඒ කියන්නේ මං මේන්ටේන් කරගෙන ආපු වටිනා කියන ෆයිල් එක(ක්) මිසින් වෙච්චි එක. හ්ම්…. මොනා කරන්නද ඉතිං සංසාරේ ඔහොම තමයි…! මටත් කොච්චර ෆයිල් තිබුනත් මේ ෆයිල් එක තමා වැඩියෙන්ම වටින්නේ. දන්න දවසේ ඉඳන් කියපු කරපු හැම දේම රඳවලා තිබුනේ ඒ ෆයිල් එකේ. ඒ ෆයිල් එක ලා රෝස පාටයි. හ්ම්…!!! අපරාදේ… කොහේ වහං වුනාද මන්දා… හැමෝම කිව්වා ඔය ෆයිල් එක නැති කරගත්තොත් ඔක්කොම ඉවරයි. උඹට හැම දේම නැතිවෙයි කියලා. කෝ මං කනකට ගත්තද… දැන් ඉතිං මොනා කරන්නද… හිත හදාගෙන අළුත් ෆයිල් එකක් අරිනවා මිසක්…!

අපරාදේ කියන්න බෑ මං  විශේෂ බැකප් එකක් දාන හැම දවසකම පොඩි ලෙටර් හෙඩ් එකක ලියුමක් ගහලා ඩිරෙක්ටර් කෙනෙක්ට කියලා සයින් කරවගෙන තියාගෙන හිටියේ ඒ ෆයිල් එකේ. අයි.ටී එකේ ඕනේ කෙනෙක් ඒ ෆයිල් එකට දෙයියන්ට වගේ සලකනවා. සිස්ටම්වල මොකක් හරි මොඩිෆිකේෂන් එකක් කරන්න කලින් ඒ බැකප් ෆයිල් එක අධ්‍යනය කරලා තමා වැඩේ පටන් ගන්නේ. ඊටත් අවුරුද් ගානක කරපු මොඩිෆිකේෂන් ගැන තියෙන එකම ලිපිගොනුව ඒක. මට විතරක් නෙමේ මුළු ආයතනයටම තිබුන ලොකුම වස්තුවක් ඒක.

කවුද දෙයියනේ ඒක උස්සපු මුගටියා…?

කාටද ඒකෙන් වැඩක් තියෙන්නේ. ඒකෙ තියෙන්නේ කොලකෑලි ගොඩක් විතරයි. ඒත් ඒ කොල කෑලි වල තියෙන අකුරු වලයි වටිනාකම තියෙන්නේ. ඒක දැන දැන මොන එකාද ඒක හොරකම් කරේ. මං සතියකට පාරක් බැකප් දාලා පොඩි නෝට් එකකුත් එක්ක ඒක දාන්නේ යකඩ අල්මාරියේ පළවෙනි ලාච්චුවේ. මට ලාවට වගේ මතකයි කවුරු හරි ඒ ලාච්චුව ඇද්දා. ඒත් කවුරු කියලා කියන්නද…? කාට කියලා ඇඟිල්ල දික් කරන්නද…? මගේම නොසැලකිල්ලනේ.

අන්තිමේ කරන්නම දෙයක් නැති තැන ඇරියා අළුත් ෆයිල් එකක්. ඒක හොට් රෝස පාට නෙමේ. කූල් නිල් පාට. ඒත් ඉතිං අර තරම් සැලකිල්ලක් නෑ. අඩුම ගානේ තියෙන්න නියමිත තැනක් වත් නෑ. ඔහේ එහෙට මෙහෙට විසික් වෙවී තිබුනේ. බැකප් ලෙටර් එකත් නිකංම නිකං කොලේක ප්‍රින්‍ට් කරලා අර මොකද්ද එක ඇදලා කොලේ හිල් විදලා ආයේ ඇද්ද එක වහලා ක්ලිප් කරලා දානවා. නිල් වුනාට මෙලෝ රහක් නෑ.

ඔන්න ඔහොම මාස දෙක තුනක බැකප් ලෙටර් ගොඩ ගැහෙද්දි මට සිද්ධවුනා යකඩ අල්මාරියේ දෙවෙනි ලාච්චුව එලියට ගන්න. දෙවෙනි ලාච්චුවේ තිබුන මොනාද දන්නවද?  ෆෝන්…!  කැපිටල් “ප”යන්න… හරිද… පරන මොබයිල් ෆෝන් වගේකුයි, ෆෝන් එකට එන වගකීමේ සහතිකයි තමා දෙවෙනි එකෙ පුරවලා තිබ්බේ. ඉතිං කාලෙකින් දෙවෙනි ලාච්චුව අරිද්දි, ඊට උඩින් තියෙන පළවෙනි ලාච්චුව ගැනයි ඒකේ ඇතුලේ තිබ්බ රෝස පාට ෆයිල් එකයි මතක් වෙද්දි ඇ‍ඩෙන්න ඔන්න මෙන්න. හ්ම්… කමක් නෑ… ගිය දේ ගියාවේ කියලා දෙවෙනි ලාච්චුව ඇරියා. ම්හු… මගේ දුකටද මන්දා දෙවෙනි ලාච්චුවත් හරිවෙලා. රෝස පාට ෆයිල් එක තරම් වටින දෙයක් නැති කොට මොන ෆෝන්ද කියලා ඇද්දා දෙවෙනි ලාච්චුව එලියට. ම්… එක වගකීමේ සහතිකයක් ලාච්චුවේ යකඩ ‍ෆ්‍රේම් එකේ හරිවෙලා. හරි මැද්දෙන් ඉරිලා ගිහිං. දැන් ඉතිං මේකට කවුද වගකියන්නේ…

මෙච්චර කැත නෑ ම​ගේ ලාච්චුව

මෙච්චර කැත නෑ ම​ගේ ලාච්චුව

ඊට පස්සේ දඟලලා දඟලලා කොහොම හරි ලාච්චුව ගත්තා එලියට. ඔන්න එතකොට පේනවා අල්මාරිය ඇතුලේ තියෙනවා රෝස පාට මොකද්ද එකක්…! ආනේ… මගේ රෝස පාට ෆයිල් එකනේ ඒ… ඇදලා ගත්තා එලියට. උඩදාලා ඉඹින්න හිතුනට, හිතෙන හිතෙන දේ කරන්න බෑනේ… ඔෆිස් එකනේ. හ්ම්… දූවිලි ටික පිහිදාලා… ඒක තිබ්බා මගේ නැතිවුන ෆයිල් එක කියන මතක සටහනත් එක්කම රෙකෝඩ් රූම් එකේ රාක්කෙක. දැන් ඉතිං කවදහරි ඕනේ වුන ගමන් දුවගෙන ගිහිං බලන්න බැරියෑ… එදා ෆයිල් ටික අවුස්සපු කෙනා රෝස පාට ෆයිල් එක ලාච්චුවේ කෙලවරට තල්ලු කරන්න ඇති. ඒක ඊට පස්සේ පළවෙනි ලාච්චුව අස්සෙන් පහලට වැටෙන්න ඇති. අන්තිමේ ඒක තමා නිගමනය…

දැන් මේ කතාවේ මොකක් හරි ආදර්ශයක් තියෙනවාද…? තියෙනව නේන්නම්… තමන්ගේ නැතිවුන ෆයිල් තමා ලඟම නොපෙනෙන්නට සැඟවී ඇත. විමසිලිමත්ව බැලුවොත් හොයාගන්නට හැක. ටිකක් කල් යන්නට පුළුවන. ඒත් කවදා හරි ලැබෙනු ඇත….!  -at ඒ වෙද්දි අලුත් ෆයිල් එකක් ඇරලා තිබ්බොත් පරන එක තිබුන විදියටම නොපෙනෙන්න තියන එක තමා වඩාත් හොඳ.

උපදින්නට පෙර…

New born

New born

දරුවෙක් කියන්නේ අම්ම කෙනෙකුට සම්පතක්. ගැහැණියකගේ ලොකුම බලාපොරොත්තුවත් දරුවෙක් ලැබීම. ඇය ඒ සඳහා දරුවෙකු කුසතුල පිළිසිඳ ගත් දිනයේ පටන් දරුවා මේ ලෝකෙට එනකං පුදුම කැප කිරීමක් කරනවා. ආහාර පාන වලින්, ආරක්ෂා වෙනවා. තමන් කැමති කැමති දේ කනවට බොනවට වැඩිය දරුවට පෝෂණය ලැබෙන දේම කන්න උත්සාහ කරනවා. දරුවා ඉපදුන පසුව සුවසේ හිඳින්න පුළුවන් වෙන්න ඇඳුම් පැලඳුම් ලෑස්ති කරනවා. තවත් බොහෝ දේ…!

මිනිස් දරුවෙක්ව ලෝකෙට බිහිවෙන්න නම්, මව්කුස තුල සාමාන්‍යයෙන් මාස නවයක් ඉන්න ඕනේ. ඊට කලිනුත් උපදිනවා. ඒ කාලය තුල තමා මිනිස් අම්මෙකුගේ උපරිම කැපවීමක් බලාගන්න පුළුවන් වෙන්නෙ. ඊට පස්සේ මිනිස් තාත්තෙකුගේ උපරිම ආරක්ෂාවක් බලාගන්න පුළුවන් වෙන්නෙත්. (අවාසනාවට යම් යම් හේතු මත ඒ කාරනා දෙක වෙනස් වෙන්න ඉඩ තියෙනවා)

මිනිස් දරුවෙකුට මාස නවයක් වුනාට, අනිත් සතුන්ගේ මවුකුස රැඳීමේ කාලය එකිනෙකාට වෙනස් වෙනවා. දැන් කියන්නම් ඒ ගැන ටිකක්…!

සත්ත්වයින්ගේ ප්‍රමාණය, හදවත් ගැස්මේ ප්‍රමාණය හා ජීවත් වන කාලය අනුව කොටස් හතරකට කඩලා තමා සරාංශගත කරලා තියෙන්නේ.

ඒ අනුව ප්‍රමාණයෙන් කුඩා, හදවත් ගැස්ම අධික, ජීවත් වන කාලය අඩු සතුන් පළවෙනි කොටසට ඇතුලත් වෙනවා. ඉතිං ඒ සාරාංශ ගත කිරීමට අනුව පැසිපොව්වා කියලා සිංහලෙන් හඳුන්වන කැන්ගරු කුලයට අයිති සත්වයාගේ මව්කුස රැඳී සිටීමේ කාලය දින දහයත් – දින දාහතරත් අතර වෙනවා.  මීයාට දින 21 බැගිනුත් වෙනවා. මේ කාලය තුල මේ සතුන් තමන්ගේ වාසස්ථාන වලින් පිටතට යන්නත් අදිමදි කරනවලු. බඩේ ඉන්න පැටියට අනතුරක් වෙයි කියලා.

ඊට පස්සේ අවුරුදු ගනනක් ජීවත් සතුන්. අවුරුදු දෙක තුනේ සිට අවුරුදු දහය පහලොව දක්වා සතුනුත් මීට ඇතුලත්. ලේනා – දින 44ක්, බල්ලා දින 61ක්, පූසා දින 63ක්, ගෝනුස්සන් වර්ගය අනුව දින 90 සිට දින 540 දක්වාත් සිංහයා – දින 108ත් 120ත් අතර , ඌරා – දින 114ක් වශයෙන් හා එළුවා, බැටළුවා දින 150ක් පමණ වෙනවා. මේ කාලය ඇතුලතදී තම වර්ගයා අතර ඇතිවන සටන් වලින් හා අනෙකුත් පහර දීම් වලදී පෙරලා පහර දීම වෙනුවට සැඟවී සිටින්න උත්සාහ කරනවලු. ඒ හැම දෙයක්ම කුසතුල වැඩෙන පැටියාව රැක ගන්න…!

ඉන්පසුව අවුරුදු දහයට වැඩියෙන් ජිවත් වෙන සතුන්. හද ගැස්ම මධ්‍යම ප්‍රමාණයක. වලසා දින 220ක්, මනුෂ්‍ය ගැහැනිය දින 266ක්, එළදෙනුන් දින 284ක්, අශ්වයා දින 336ක් හා මුහුදු සිංහයා, තල්මසා දින 360 බැගින්ද වෙනවා. මේ කාලය තුල, තුන්වන කොටසේ  මවුවරුන් වැඩි හරියක්ම කරන්නේ පැටවාට අවශ්‍ය කරන සොඛ්‍ය සම්පන්න ආහාර නිතර ලබා දෙන එකලු….!

 National Geographic ඇසුරෙන්...

National Geographic ඇසුරෙන්…

හතරවෙනි කොටස. දීර්ෂ ආයු කාලයක් ඇති හදවත් ගැස්ම අඩු…! ඔටුවා – දින 400ක්, ජිරාෆ්  – දින  425ත් 450ත් අතර, අළු රයිනෝ – දින 480ක්, කළු රයිනෝ දින 540ක්, ආසියානු අලියා – දින 610ක්, අප්‍රිකානු අලියා – දින 630ත් 660ත් අතර. මොවුන් ගර්භනී කාලය තුල වැඩි වහයෙන් වෙහෙසෙන්නෙ බිම වැටීම් වලින් බේරෙන්නලු. ගමන්ගේ ඇඟවල් වල බරින් කුසතුල සිටින පැටවාට හානියක් වෙයි කියලයි ඒ.

බලාගන යද්දි හැම අම්ම කෙනෙක්ම තමන්ගේ දරුවන් මේ ලෝකෙට උපදින තෙක්, ඔවුන්ව කුසතුල තියාගෙන පෝෂනය කරන්න, ආරක්ෂා කරන්න විශාල කැප කිරීමක් කරනවා….!

ඒත් සමහර මනුෂ්‍ය අම්මලා විතරක් යම් ප්‍රශ්න මත දරුවා එන්න කලින්ම හරවලා යවනවා. ඒක අනිත් මිනිස්සුන් දකින්නේ වැරදියට වුනාට, දරුවෙක් බිහිකරලා ඒ දරුවව හරිහැටි ජීවත් කරවන්න බැරි වෙනවට වැඩිය ඒක හොඳයි කියලයි එයාලට හිතෙනවා ඇති. නැත්තං වෙන්නේ ඉපදුනාට පස්සේ කුණුගොඩකට විසික් කරන්න. නැත්තං දරුවවත් තුරුළු කරං මූදේ පනින්න. –at ඒක සංකීර්ණයි.

පුංචි රචනාව…

මේක පුංචි කාලේ ලියපු පුංචි රචනාවක එක්ටෙන්ඩඩ් වර්ශන් එකක්. එදා ලිව්ව රචනාවේ මාතෘකාව “හිමිදිරිය“. ලකුණු ලැබිලා තිබුනේ දහයෙන් හතයි… ඒ දවස්වල කොහොමත්  ලිව්වේ කම්මැලි කමට, පේලි ගාන ගනං කර කර. එදා අනිවාර්යෙන් ව්‍යාකරන ගැන වෙහෙසෙන්න වුනා. අක්ෂර වින්‍යාසය ගැන දෙතුන් පාරක් හිතන්න වුනා. දැන් එහෙම නෑ… ඔක්කොම කලවම් කරලා ලියන්න පුළුවන්. කාගෙන් තහනමක්ද…? කවුරු ලකුණු දෙන්නද…? 🙂 ඒ දවස්වල ගුරුවරුන්ට ඕනෙවට රචනා ලිව්වට දැන්නම් ලියන්නේ ස්වකැමැත්තෙන්, අපේ වුවමනාවට…! ඒක හින්දා බලපෑම්වලින් තොර නිදහසේ ගලාගෙන යන මතකයන් ගොඩක් අපිට ඕනේ ඕනේ විදියට ලියලා තියන්න පුළුවන්. අපිට මෙහෙම අතීතයක් තිබුනයි කියලා… අමතක වේගෙන යන කාලෙක ආයෙම කියවන්න.

දේ පාන්දරම එලියට බහිද්දි ඇස් දෙකට පේන්නේ දිලිසෙන්න ඔන්න මෙන්න තියෙන තද නිල් ආකාසේ පසුබිම් කරගත් වත්ත වටේටම තියෙන ලොකු ගස් වල අඳුරු හෙවනැලි. එක පැත්තකින් පේන්නේ දිරාගිය මිනිස්සු අහසට අත්දික්කරගෙන මොනාදෝ ඉල්ලලා හඬා වැටෙනවා වගේ. තවත් පැත්තකින් බිමට පාත් වෙලා ඒ දෙසටම නැමිලා ගිය අතු. කඩා වැටෙන්න ලඟයි වගේ පෙනුනත් ඒක බොරුවක්…! එහෙම පේන්නේ අන්ධකාරෙට විතරයි. යාන්තං එලිය වැටීගෙන එනකොට ඒවත්, බොහොම තේජාන්විත ගස් වල තම වගකීම් ඉටු කරලා පහතට නැවිච්චි අතු.  ඒ වෙලාවට කලින් දා රෑ පරිසරයේ තිබුන අධික රස්නය නැතිවෙලා ගිහිං. පොලොවේ තිබුන උණුසුම පහවෙලා ගිහිං. හුලඟත් එක්ක එකතු වෙලා වැහිමන්දාරමක් දුර ආකසේ පේන්න නොතිබුනත් අවට පරිසරය ගොඩක් වෙලාවට සුළු මීදුමකින් වහලා දානවා. එහෙම දවසට අහසට අත්දික්කරන් ඉන්න ගස්වල  භයානක ගතිය තවත් වැඩියි. පුරුදු නැති කෙනෙකුට එකපාරටම හිතට බයක් ඉපැද්දුවට.. පුරුදු වෙද්දි ඒ දසුන නොදැක ඉන්න බැරි තරම් ආසා හිතෙනවා. ගස් වල කොල මත සිනිඳු පිනි පටලයක් තියන්නේ අන්න ඒ වෙලාවට. බිම තණකොල පඳුරු වල තියෙන මකුළු දැල් වල වතුර බිංදු එල්ලන්නෙත් ඒ වෙලාවට. කොහොම වෙනවද, කවුරු කරනවද කියන්න දන්නේ නැති වුනාට ඒ වෙලාවට තමා අළුත් දවසට සිසිලස එකතු වෙන්නේ.

නිල් අඳුර...

නිල් අඳුර…

අහස තද නිල් පාටින් හැඩ වේගෙන එනකොට අපිට කලින් නැගිටින්නේ කුරුල්ලෝ. ඉර උදාවෙන වෙලාව වෙනස් එක අනුව කුරුල්ලන්ගේ කිචි බිචිය පටන් ගන්න වෙලාවත් වෙනස් වෙනවා. මීදුම දාට කොහොමත් ඉර එලිය වැටෙන්න යන්තං ප්‍රමාද වෙන නිසා කුරුල්ලෝ නැගිටින්නෙත් ටිකක් පරක්කු වෙලා. ඒ අඳුරේ කෑගහන කුරුල්ලා මොකාද කියලා අඳුන ගන්න පුළුවන් වෙන්නේ උගේ සද්දේ අහලා විතරයි. යන්තමින් සේයාවක්වත් පෙන්න ඉගිලෙන්නේ නෑ. අත්තටු ගහන සද්දයක්වත් නෑ. ඒ සද්දෙයී හීතලයි එක්ක ඕන තරම වෙලා වකුටු වෙලා නිදා ගන්න පුළුවන්…! ඒක හරියට නිදාගන්නම කියන සිංදුවක් වගේ වෙනවා කම්මැලිදාට.

ඔහොම යන්තමින් අඳුර අඩුවීගෙන යද්දි ඊලඟ තූර්ය වාදනය පටන් ගන්නවා. ඒ කුකුල්ලු… පාන්දර ගෙවිලා ගිහිං එලිය වැටිලා, කුකුලු කූඩු අරිනකං සද්දෙ… මොනාට එච්චර හයියෙන් කෑ ගහනවද මන්දා… වෙලාවකට මලවදේ… කම්මැලි කමට නිදා ගන්නවත් නෑ… උංග් සද්දෙට ඇහැරෙනවා. ඒත් එක්කම එළදෙනුන්ගෙන් කිරි බොන්න ඕනේ වෙලා වහු පැටවු පටන් ගන්නවා උම්බෑ කියන්න…! ඒ සද්ද ඔක්කොම අහගෙන තමා උදේට ගස් වල එක එක පාටින් මල් පිපෙන්නෙත්…!

ඔහොම ටික ටික එලිවුනාම තමා ඉතිං පුංචි ළමයි නැගිටින්නේ…! හැම උදේකම දැන් ට්‍රීං ට්‍රීං ගෑවම හෝ කන ලඟම සද්දේ වෙන ෆෝන් එකේ සද්දෙට ඇහැරුනාට  ඒ දවස්වල ඇහැරෙන්නේ කුකුල්ලුන්ගේ සද්දෙට. එහෙමත් නැත්තං එළදෙනුන්ගෙන් කිරි බොන්න දඟලන වහු පැටවුන්ගේ උම්බෑ සද්දෙට. අපි කොච්චර නවීකරණය වුනත් හිතට කාවැදිච්ච යම් යම් දේවල් හිත් වලින් ඉවත් කරන්න ගොඩක් අමාරුයි. ඒවා හැමදාටම මතක තියෙන මතකයන්ම පමණක් වෙනවා…! –at අමතක කරන්න බැරි නිසා….!

වැරදි සීයක්… එක හොඳක්….

සමහර වෙලාවට ඇත්ත වෙන්න ඇති. ඒත් වැඩි හරියක්ම බොරු වෙන්නත් ඇති. මටනම් ඇත්ත කියලා හිතෙනවා වගේම බොරු කියලත් හිතෙනවා.

“තමන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක්, ඇතහැර යාමට තරම් තමන් තුල වැරදි සීයක් තිබුනත්… අතහැර නොයෑමට එක හොඳක් හොයාගෙන සදහටම තමා ලඟ ඉඳිනු ඇත.“

♥

ආදර්ශ පාඨයක්ද, නිකම්ම නිකම් කියමනක්ද එහෙමත් නැත්තං ආදරය අහිමි වුනු අයගේ හිත සනසන්නට හදපු පට්ටපල් බොරු බොරුවක්ද මන්දා…! කාට හිතුනද… කවුරු ලිව්වද කියන්න දන්නෙත් නෑ. මං දැක්කේ ස්ක්‍රීන් සේවර් එකකට දාලා තිබුන ස්ලයිඩ් ෂෝ එකකින්. කොහොම හරි අද සමාජයටනම් ගැලපෙන හැඩයි… ඒ කවුරු හරි දාලා ගියාම හිත හදාගන්නයි… තියෙන මෙව්වා එක රැක ගන්නයි…!

ඒත්… මේ කියමනටත් විවිධ අර්ථ දෙන්න පුළුවන්. ඒක කියවන්නා හා වැඩි දුර සිතන්නා යන අය කියවන හා සිතන ආකාරය මත වෙනස් වේවි. සරලම තේරුම නම් ඇත්ත ආදරය කිසිදිනෙක වෙනස් නොවෙන බවයි. ඒකත් අර මෝටර් රථ වල සම්මත තත්ත්වය යටතේ ධාවනයේදී කියනව වගේ දෙයක් වෙන්න ඕනේ. ට්‍රැක් එක අවුල් වුනොත් ඕනේ දෙයක් වෙනස් වෙනවා. නැද්ද හා….? –at සැඟවුන සීන් නෑ… නිකං දැම්මේ…

කපුටන් සහ කොකුන්…

දෙන්නම...

දෙන්නම…

දෙවර්ගයම කුරුල්ලන් වෙති. එහෙත් පාට දෙකකි. කොකා පිරිසිදු බවක් අඟවන අතර කපුටා අපිරිසිදු බව පෙන්වයි.

හ්ම්… පුංචි කාලේ කපුටා ගැන ඉගෙන ගත්තේ බොහොම ලාමක විදියට. පාටින් කළුපාට… නාදය “කාක් කාක්“ ගාන… සමූහිකව ආහාරයක් භුක්ති විඳින්න දන්නෙක් ලෙස වගේම කපුටා කියන්නේ අප විසින් ඉවත් දමන කුණු රොඩු, මැරුණ කුණු ආදිය ආහාරයට ගෙන තමන්ගේ ජීවිතය පවත්වා ගන්නා ගමන්ම පරිසරය පිරිසිදු කරන්නෙක් ලෙස. පරිසරයේ සමබරතාවය රැක ගන්න උදවු වෙන්නෙක් ලෙස. කොටින්ම ස්වේව්ඡාවෙන් වැඩ කරන නගර සභා සේවකයෙක් විදියට. අන්න ඒක නිසාම කපුටන් කොච්චර කරදරයක් වුනත් මරන්න තහනම්…!

ඇත්තටම කපුටන් මහඟු මෙහෙවරක් කරන්නේ වාහන වලට අහුවෙලා මිය යන ගෙම්බන්, තල ගොයින්, ඌරු මීයන් වගේම ඊට වඩා ලොකු සත්ත්ව සිරුරුත්, එම ගන්ධය වහනය වෙන්න පටන් අරං විනාඩි කීපයක් ඇතුලත තියෙන තැන වලින් ඉවත් කර දමන නිසා. ඒ වගේම එකතු වෙන වෙනත් කැලි කසලත් තමන්ගේ බඩට දාගෙන අනිත් අයට යහපතක් කරන නිසා. හැබැයි ඉතිං හරි හමං වහලක් නැති පිලිම උඩ පහරන එක නම් කැත වැඩක්..! කපුටන්ට ඒ වගේ පිළිම පේනවා ඇත්තේ උන්ට හරිගස්සපු කක්කුස්සි වගේ වෙන්න ඇති. නෑ ඒක එහෙම වෙන්නත් බෑනේ. ඕනේ තැනක මල පහ කරනවනේ කපුටා. බලාගෙන යද්දි මනුෂ්‍ය ලෝකෙම කපුටට වැසිකිලියක්ද දන්නේ නෑ…

වෙලක....

වෙලක….

ඉතිං කපුටා වැඩි පුරම ගැවසෙන්නේ කුණු වැඩියෙන් එකතු වෙන තැන්වල. ඉස්සරනම් කළු පාටින් දිලිසෙන පිහාටු තියෙන කපුටෝ හිටියට දැන් නම් පාට අවපැහැ වෙලා. ගොඩක් වුන් අළුපාටයි. දිලිසෙන ගතියක් නම් නෑ. හ්ම්… මේ කියන්නේ නාගරිකව… ගම්බද කපුටෝ තාම හැඩ ඇති. ඒ වගේම දැන් කපුටා වුනත් කෑමක් දැක්කම අනිත් උන්ව රැස්කරගෙන බෙදාගෙන කනවා වෙනුවට වැඩි කැමැත්තක් දක්වන්නේ ඒ කෑම වේල කොහෙට හරි ගෙනිහිං, තව කාක්කෙකුට නොපෙනෙන්න, ඉව නොදැනෙන්න… හොරෙන් – තනියම කන්න. කපුටොත් ආත්මාර්ථකාමී වෙලා. බොරුනම් පොඩි වෙලාවක් අරං විමසිල්ලෙන් බලා හිටියොත් ඇත්ත නැත්ත දැන ගන්න පුළුවන්.

මුහුදු වෙරල කියන්නේ, ගංගා දිගේ ගලාගෙන එන කුණු රොඩු එකතු වෙන තැනක්. මැරුණ මාළු එහෙමත් ඉන්නවා. ඉතිං ඒ වගේ තැන්වල කපුටො රංචු වශයෙන් ගැවසෙනවා ඕන තරම් දැක ගන්න පුළුවන්. මුහුදු වෙරලේ තියෙන පිළී ගඳට කපුටෝ වැඩි හරියක් එකතු වෙනවා ඇති.

කපුටාව පොඩ්ඩක් පැත්තකින් තියලා කොකා ගැන බලමු.

කොකා කියන්නේ උගේ පාට නිසාම සුපිරිසිදු තත්ත්වට පත්වෙච්චි කුරුල්ලෙක්. හොඳ සුදු පාට ෂර්ට් එකක් ඇඳන් ඉස්සර ස්කෝලේ ගියාම කියන්නේ කිරි කොකා වාගේ කියලා. කොකා ඉන්නේ වෙල් ආශ්‍රිතව. වෙල් වල ඉන්න පනුවන් හා අනෙකුත් කුඩා කෘමීන් තමා කොකාගේ ප්‍රධාන ආහාරය. කපුටා මුළු මිනිස් සංහතියෙම මිතුරෙක් වගේම… කොකාත් ගොවියාගේ මිතුරෙක්. වගාවට අහිතකර සතුන් ගිල දමන බැවින් තමා ඒ. ඒ වගේම කපුටටා වඩා ඇහැට ප්‍රිය සතෙක්. කපුටාව කවුරුත් මැරුවේ නැති වුනාට ඈත පලාත්වල කොකාව මරනවා. ඒ කොක් මස් සඳහා.

මුහුදු වෙරළක...

මුහුදු වෙරළක…

ඉතිං… ඒ හැම දෙයක්ම අතීතයට අයිති දේවල්. දැන් තත්ත්වය ටිකක් වෙනස්. දැන් කපුටන් මුහුදු වෙරල හා අනෙකුත් කුණු ගොඩවල් අතහැර උදෙන්ම එන්නේ පාර අයිනේ තියෙන වෙලට. මොකද වෙල තමා කුණු එකතු වෙන තැන වෙලා තියෙන්නේ. මේක බොරුවක් නෙමෙයි අත්දැකින සත්‍යයක්.

එතකොට කොක්කු…?

උං උදෙන්ම එන්නේ මුහුදු වෙරලට…!!! කන්න දේවල් තියෙනවද කියන්න නම් දන්නේ නෑ… ඒත් හැම උදේකම කොක්කු රංචු මුහුදු වෙරලේ මොනාදෝ හොයනවා දකිනවා. සමහර විට දිගු හොටේ කකුලු ගුල් වලට දාලා කකුලුවෝ අල්ලගෙන කනවා ඇති. කොක්කුන්ට දැන් වෙල් වල කන්න තියෙන්නේ කෘමි නාශක රැඳුන හා ඒවා විෂ වෙලා මැරුණ සතුන්. කොක්කු අකමැති ඇති කාක්කෝ වගේ මැරුණු සත්තුන්ව කන්න. උන්ට ඕනේ ඇත්තේ ප්‍රෙෂ් පිට දඟලන පණුවන්ව…! ඒ වගේම කොක්කුන්ගේ කිරි සුදු පාට යන්තමින් අඩුවෙලා… කොහොම හරි දැන් කපුටෝ වෙල් වලටත් කොක්කු මුහුදු වෙරලටත්  ආදී වශයෙන් තම ස්ථාන මාරු කරගෙන. දන්න තරමින් කරදිය මිරිදිය කියලා වෙනසක් නෑ කපුටන්ට. ඒත් මතක ඇති කාලෙක ඉඳන් කොක්කු හිටියේ වෙල් වල විතරයි…

ඒ මදිවට කොක්කු දැන් මහපාර මැද්දේ තියෙන පේමන්ට් වල තණකොල තීරුවෙත් පුංචි සත්තුන්ව හොයනවා…! ලොකු වෙනසක් වෙලා වගෙයි…!

ගම්බදට වෙන්න තාමත් කොක්කු උංට අයිති වෙලට වෙලා ඉන්න ගමන් කාක්කෝ පරන පුරුදු තැන් වලට ගැවසෙනවා. ඒත් කොළඹ අවට අනිත් හැමදේම වගේ මුං දෙගොල්ලත් වයර් මාරු කරගෙන කටයුතු කරනවා දකින්න පුළුවන්…!

 

 

අධිෂ්ඨානය, ඊර්ෂ්‍යාවේම පුරුකක් වූ කල…

ඊර්ෂ්‍යාව...

ඊර්ෂ්‍යාව…

ඊර්ෂ්‍යාව… සාමාජයීය වශයෙන් සමාජයම පිළිකුල් කරන, එහෙත් පෞද්ගලිකවම සැම දෙනාටම එකසේ බෙදා හරින මානව සිතුවිලි වලින් පිරුණ ගතිගුනය. කතාවට කියන්නේ රුසියාටවට වැඩිය ලොකුයි කියාල. ඒත් ඒ කියන අයගෙන් භාගයක්වත් රුසියාවේ සයිස් එක දන්නේ නෑ.

අනුන්ට ඇති, තමන්ට නැති… එසේම ලබාගැනීමට අපහසු දෙයක් වෙනුවෙන් මිනිස් සිතේ විතරක් නෙවෙයි සෑම සත්ත්ව සිතකම ඇතිවන පීඩාකාරී සිතුවිල්ල. විටෙක යහපත් වූ ප්‍රාර්ථනාවක් ලෙසද තවත් විටෙක අනුන් සතු දෙය නසන චන්ඩ සිතුවිල්ලක් විවිධාකාරයෙන් අන් අය ඉදිරියේ දිස්වෙන මෙම ඊර්ෂ්‍යාව තරම් මිනිසෙකුව තනන්නට හෝ නසන්නට හැකි වෙනත් සිතුවිල්ලක් ගැන සිතන්නටවත් නොහැකි තරම්.

අසල්වැසියෙකුට යම් වටිනා දෙයක් හෝ නොවටිනා වුව තමන් සතුනැති දෙයක් ඇත්නම්, “ඒ වගේ එකක් කොහොම හරි ගන්න ඕනේ“ යන්න අහිංසක සුභවාදී උත්සාහවන්ත අධීෂ්ඨානයක් වන්නා සේම… “මට නැති ඒ දෙය ඌට තියෙන්න ඕනෙත් නෑ“ යනුවෙන් සිතෙන විට එතරම් තවත් පවුකාර සිතුවිල්ලක්…! අනුන්ට වැඩියෙන් තමාට යමක් සපයා ගැනීමට උත්සාහ කරන විට කතා හදන ලෝකයක, මහ ලොකුවට ධනාත්මක චින්තනය ලෙස වෙනත් ආකාරයකින් මිනිස් මනසට ඔබ්බවන්නේ එම අධිෂ්ඨානයම නොවේද..? අන්අය දෙස බලා තමන් ඉහල යෑම ගැන හිතන මිනිසුන් අතර කිසියම් මට්ටමකට තරඟයක් ඇති කලේ මේ ඊර්ෂ්‍යාව, අධිෂ්ඨානයම නොවේද…?

අධිෂ්ඨානය...

අධිෂ්ඨානය…

අධිෂ්ඨානය, ඊර්ෂ්‍යාවෙන් පසු ඇතිවන උත්සාහවන්ත සිතුවිල්ලක් වන විට, ඊර්ෂ්‍යාවන්ත නොවී උත්සාහවන්ත වෙන්න යනුවෙන් කීමෙහි තේරුමක් තිබේවිද..? යමක් දැකීමෙන් පසු, එය අන්සතු නම්, තමාත් ඒ හා සමාන දෙයක් හෝ ඊට වඩා වැඩි දෙයක් ලබා ගැනීමට උත්සාහවන්ත වීමේ, අධිෂ්ඨානශිලී වීමේ යම් වැරැද්දක් පවතීද…? යම් කෙනෙකුට හැකිනම් තමාගේ හිතට එකඟව උත්සාහවන්තව තිබෙනවාට වඩා වැඩි දෙයක් ලබා ගැනීමට එය අන්අය කෙරෙහි ඊර්ෂ්‍යා‍වෙන් කරන දෙයක්ද…? ප්‍රශ්න ගොන්නකි. සමාජමය මත අතර මට අත නොදැමිය හැකි තරම්, තේරැම් ගත නොහැකි  මතිමතාන්තර රැසකි.

ඊර්ෂ්‍යාව වුව හරි අතකට හරවා ගත් විට තමාටම අත්වන වාසි රැසකි. එය අනුන් නසන්නට යොදාගත හොත් බහුතරයකට අලාභානි ගෙනදෙන උවදුරකි. එමෙන්ම ඊර්ෂ්‍යාව ඇති නොවෙන තැනක ඉදිරියට යාමක් ගැන සිතිය නොහැක. ඊර්ෂ්‍යාව නම් මට දැනෙන පරිදි, අධිෂ්ඨානයේ හා උත්සාහවන්තභාවයේ ආරම්භයයි. එය ක්‍රෝධය, වෛරයටත් උප්පතිය දෙන බැවින් තෝරා ගැනීම සිතුවිල්ල ජනිත වෙන ජීවියා සතුය. ඊර්ෂ්‍යාව ශුන්‍ය වූ විට අප හැමටම “ලද දෙයින් සතුටු විය හැක“… එතෙක් ලද දෙයින් සතුටු වීමෙන් ලබන දියුණුවක් නැති විය හැක. එසේ වුවහොත් සතුටුවන අප දෙස බලා තවත් උත්සාවන්තව වැඩි යමක් සොයාගෙන යන්නන් අපට හිනාවෙනු නිසැකය…! ලද දෙයින් සතුටු වීමද ඊර්ෂ්‍යාව නැති කිරීමකි. එවිට අධිෂ්ඨානය මෙන්ම උත්සාහවන්ත භාවයද අඩුවී යනු ඇත.

යම් අයෙකුට තියෙන දෙයක් දෙස බලා හීල්ලීමටත්, එය විනාශ කර දැමීමටත් වඩා තමාත් එවන් දෙයක් හෝ ඊටත් වඩා වටින දෙයක් වෙනුවෙන් මහන්සි වීමෙන් තමා තරඟයකට අවතීර්ණ වුවද එය යහපත්ය. ඊර්ෂ්‍යාව යහපත්ය අනුන්ගේ සැපතට හිරිහැර නොකර තමාත් එවන් සැපතක් අත්පත් කරගැනීමට හිතට ගන්නේ නම්…

 

 

රට ගිහිං ආපු ටොෆිය…

...

රට ගිය ආපු ගෑණු ළමයෙකුට එහෙම නමේ ටොෆිය කිව්වේ…! එක යාළුවෙක් පහුගිය නත්තල සමරන්න උත්කර්ෂවත්ව සමරන්න කියලා, ලංකාවේ නොයිඳ ගියා ඉතාලියට. ඒ ගියේ ඒ ගොල්ලන්ගේ මාම කෙනෙක් ගාවට. ලංකාවේ තියෙනවට වැඩිය සුභ නත්තලක් කොහොමත් ඒ රට වල තියෙනවා ඇති. නත්තල් ගස්ද… අඩු නැතුව දවස පුරාම වැටෙන හිමද… ශීත කාලය නිසා නිවාඩු දීලා පාසල් වහල තියෙන නිසා නත්තලට ලෑස්ති වෙන පොඩි එවුන්ද…. නත්තලට සතුටු වෙන්න තියෙන හැම දෙයක්ම ඉතිං ඒ වගේ රට වල තියෙනවනේ. ලංකාවේ පොඩි එවුන්ට මොන නත්තල්ද අළුත් වාරෙට ස්කෝලෙ යන්න ලෑස්ති වෙන්නයි විභාග වලට පාඩම් කරන්නයි පන්ති යන්නයි තියෙනවනේ… ඉතිං කොහොම හරි ඉතාලි ගිය යාළුවා නම් නත්තල් සතියම නිවාඩු දාලා ඉතාලි ගියා.

ඔන්න ඊට පස්සේ ඉතිං නත්තල අර්ථවත්ව ගතකරලා එහෙම බුවා ආවා ලංකාවට. එනකොට ඉතිං නිකංම එන්න බෑනේ. අනිත් යාළුවන්ටත් මොනා හරි ගේන්න එපැයි. ඒක සම්ප්‍රදායනේ. නැත්තං ඉතිං රට ගිහිං විනෝද වුන එකෙනුත් තේරුමක් නැතුව යනවා අහගන්න වෙන කතාවලට. කොහොමහරි ඉතිං ලොකු ලොකු දේවල් ගොඩක් ගේන්න බැරි නිසා පොර ගෙනාවා පොල් කෑලි මැද්දට දාලා චොකලට් වලින් ආවරනය කරපු රස ටොෆි වර්ගයක්.

කටේ තියන්න බෑ කටේ ඇලෙනවා. ඒත් මාස් වගේ නම් නෙමෙයි. ඊට වැඩිය රසයි. ඉතිං කට්ටියම ටොෆි කන ගමන් ටොෆියේ වගතුගත් හොයන්න යනවනේ… ඇයි ඉතිං ඉතාලියෙන් ගෙනාපු ටොෆිනේ. ඔන්න ඉතිං ටොඨිය වටේ කරකව කරකව කොලේ ලෙහා ගෙන බලනවා මොනාද අන්තර්ගතය… හලාල්ද නැද්ද… අරකයි මේකයි හැම එකම.

ඔය ටොෆිය හොඳට චෙක් කරපු කට්ටිය ගිහිං යාළුවගෙන් අහනවලු…

මචං උඹ සිරාවටම ඉතාලි ගියාද බං…?

උඹ බොරු නේද කිව්වේ… ඉතාලි ගියේ නෑ නේද…?

උඹ මඩු පල්ලි නේද ගියේ…? වගේ… පොර ඉතාලි ගියෙ නැතිබව ඇඟවෙන ප්‍රශ්න. දැන් බුවාට මේක හරි ප්‍රශ්නයක් වුනාලු. ඒ පාර මෑන් ගෙදර ගිහිං ටොෆි පැකට් එකෙන් ටොෆියක් අරං බලද්දි චූටි අකුරෙන් දන්න කියන භාෂාවකින් ගහලා තියෙනවලු…

උපරිම සිල්ලර මිල රු. 18.00 යි.කියලා…!

මං හිතන්නේ බුවා ආයේ නත්තල සමරන්න ඉතාලි යන එකක් නෑ. ඌ නම් කියන්නේ… මුන්ට ගෙනත් දුන්නත් බේරෙන්න බෑ… ගෙනත් නුදුන්නත් බේරෙන්න බෑ කියලා. 😀

%d bloggers like this: