පියාඹන්නට….

.

.

පුංචි කුමාරි දැන් ඇති නේද, නිදාගෙන හිටියා…? එන්න අපි පියාඹමු, මුළු අහස පුරාම… මට පුළුවන්  වේවි, මං තනියම ගිහිං දැක බලාගත්ත ලස්සනම ලස්සනම තැන් ඔය දඟකරන ඇස්වලට පෙන්නන්න. හැම දෙයක්ම ආයෙමත් දකින්න… මං තවත් ආසා වේවි…. “අර මොකද්ද….?“ , “ඇයි ඒක එතෙන තියෙන්නෙ…? “ වගේ කිසිම තේරුමක් නැති, මට උත්තරත් නැති ප්‍රශ්න වලට උත්තර හද හද කියන්න.

ඔන්න දැන්ම නැගිටින්න ඕනේ… නැත්තං සමන්පිච්ච සුවඳ මග ඇරේවි. ඒ විතරක් නෙවෙයි… උදේම පිටත් උනොත් මට පුළුවන් වේවි, ගිනි අව්ව පැතිරෙන්න කලින්, හිරු රැස් කඩා පනින්න කලින් පිබිදෙන මානෙල් මලක් ඔය දෑතේ රඳවන්න… තව ගොඩක් දුර ඇවිදින්න පුළුවන් වේවි රෝස පාට උණුසුම් අතේ එල්ලිලා… සීතල සුළං හමන මීදුම පිරුණ කන්දක් පාමුලට වෙලා දවල් වරුව ගෙවන්න පුළුවන් වේවි… ඔන්න දැන්මම කිව්වා… දුවන්නේ එහෙම නෑ හා පැටවු, සමනල්ලු පස්සේ.. ලඟට වෙලා හිටියොත්, පුංචි හිත ආසම රතු පාට ස්ට්‍රෝබෙරි ගොඩක් හොයාගෙන එන්න පුළුවන් වේවි මට…!!! අපෝ ඒවා කන හැටි නම් ලියන්න බෑ… පෙරේති… මූන ඇඹුල් කරගෙන… කට රතුපාට කරගෙන…

.

.

වෙරල දිගේ දුවන්න අතින් ඇදගෙන… පිටි පස්ස හැරිලා බලද්දි අපේ අඩිපාරවල් තියේවි… දුඹුරු පාට වැල්ලේ ටික දුරක්, ටිකක් ගැඹුරට. ටික වෙලාවකින් මැකිලා යාවි. ඒත් අපිට පුළුවන් වේවි තවත් අඩි තිය තිය ඉස්සරහටම යන්න. සුමුදු රළ පෙන ඒවි අපේ දෙපතුල් ගාවටම, කිරි පාට පිඩු දරාගෙන. මම, ඔය කකුල් දෙක තෙමෙන්න නොදී ඔසවා ගන්නවා දෑතටම නුඹව…!!! සිඹින්න දෙන්නේ නෑ මම කිරි සයුරට සුමුදු යටි පතුල… විඳින්න දෙන්න නෑ මම රෝස දෙපතුලේ උණුසුම සොඳුරු සයුරට. ඒවා මගේමයි…! හිනා වෙන්නේ එහෙම නෑ හයියෙන්.. හොඳද…

ඈත අකාසේ ලා දම් පාටින්, තැඹිලි පාටින් ඉර බැහැගෙන යද්දී… කහ පාට හෙන්දිරික්කා මල්, සුදුයි තැඹිලියි මුහුවුන සේපාලිකා මල් පිපෙද්දි ආයෙම ගෙදර එන්න පුළුවන් වේවි. එන ගමන් පුංචි මල් වැලක් අමුනලා මට පුළුවන් වේවි රත්තරං පාට බෙල්ලේ ගෙලලන්න. ඉන්නවකෝ… මං තවත් ආත්මාර්තකාමී වෙනවා ඔය ආදරය ලඟ…!!! දෙන්නේ නෑ කාටවත් ඔය හිතට ලං වෙන්න…! at –  සහෝදරියකට / දුවකට / බිරිඳකට (අළුත බැඳපු)….. ආදී වශයෙන් තමන් කැමති චරිතයකට…

%d bloggers like this: