දුම්රිය වේදිකාව…

දුම්රිය වේදිකාව...

දුම්රිය වේදිකාව…

දුම්රිය වේදිකාව කියන්නේ කෝච්චියට නගින්න එන මිනිස්සුන්ට රැඳිලා ඉන්න තියෙන තාවකාලික රැඳුම් ස්ථානය. කෝච්චිය ඇවිත් නැවැත්තුවම ඒ වේදිකාව දිගේ දුවගෙන ගිහිං තමා තමන් යන්න කැමති පෙට්ටියට නගින්න ඕනේ… ඒක එහෙම වුනාට දුම්රිය වේදිකාවක් කරගත්ත මිනිස්සු කොයිතරම් නම් ඉන්නවද, ඒ දුවගෙන ගිහිං කෝච්චියට ගොඩවෙන මිනිස්සු අතරේ…?

අතක් පයක් කැඩිලා ආබාධිත වෙච්ච මිනිස්සු, ඇස් පේන්නේ නැති වුනත් පෙට්ටියකින් පෙට්ටියකට මාරු වෙලා කෝච්චි ඇතුලේ තියෙන සීට් වල, කණු වල නොහැප්පී ගිහිං සල්ලි ඉල්ලගන්න තරමට විතරක් ඇස් පේන අය… ඒ අයට දුම්රිය කියන්නේ එයාලගේ දුක හෝ අනිත් අයගේ දුක හෝ කෝච්චියේ යන එන අයට කියලා එයාලගේ ජීවිතය ජීවත් කරවගන්න වේදිකාව. ඒක ඇත්තටම රස්සාවක්…! මාසෙට පඩියක් ලැබෙන නෙමේ, දවසට පඩියක් ලැබෙනත් නෙමේ… දුම්රියේ එකපාරක් එහාට මෙහාට ගියාම හොඳ පඩියක් ලැබෙන රස්සාවක්.

තව ඉන්නවා කට්ටියක්… එයාලා අරං එන්නේ පොඩි ළමයින්ට කියවන්න හොඳ අධ්‍යාපනික පොත්. ඒවා ගෙනැල්ලා පොඩි විස්තරයක් කරනවා මෙහෙම… මේක දැන් අහලා අහලාම කටපාඩම්…!

“බලන්න නෝනා මේ පොත…. මේකෙ තියෙනවා පරිගනකයක් හසුරුවන හැටි මුල ඉඳන්ම. ළමයින්ව ක්ලාස් යවන්න ඕනේ නෑ. ගෙදර ඉඳන් කියලා දෙන්න පුළුවන්. දැන් බලන්න… කොම්පියුටර් පන්තියකට මාස හයේ කෝස් එකකට ගාන කීයද… රුපියල් අටදාහක් කියමු. එතකොට බලන්න උගන්නන පැය ගාන. සතියට එක දවසයි… පැය දෙකයි… ඒ කියන්නේ මාසෙට පැය අටයි. මාස හයට පැය හතලිස් අටයි. ඉතිං නෝනා මේ පොත වෙන්නේ රුපියල් පනහයි… මේ පැය හතලිස් අටකින් ඉවර වෙන්නේ නෑනේ… මුළු ජීවිත කාලෙම තියාගන්න පුළුවන්. එතකොට ලාභය කීයද හිතලා බලන්න…“

අන්තිම ට්‍රික් එක වැඩ කරනවා නියමෙට. ඒ සමීකරණෙට ගහන්න වෙන සමීකරණ එකක් වත් නෑ.  පොඩි දරුවෝ ඉන්න ගෑණු කට්ටියගෙන් කීපදෙනෙක් හරි රුපියල් හත්දාස් නවසිය පහනක් ඉතුරු කර ගන්නවා හැම උදේකම…!

ම්… උදේට නැති වුනත් ගොඩක් වෙලාවට හවසට කෝච්චියට නගින්නේ වඩේ වෙළෙන්දෝ. උම්ලකඩ වඩේ කියලා තමා විකුණන්නේ. ඒත් කවදාවත් උම්බලකට රහක්වත් දැනිලා නෑ. මහ ලොකු ආයාසයකින් තොරව, හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට වඩේ කවන්න පුළුවන් කියලා දන්න නිසාම වඩේ වෙළෙන්දෝ වේදිකා ගත වෙන්නේ බොහෝ දුරට හවසට විතරයි. ඒ අතරෙම ඉන්නවා වතුර බෝතල් වෙළෙන්දෝ… සූකිරි, කඩල, රටකජු වෙළෙන්දෝ එහෙමත් තමන්ගේ ජවනිකාව කරලා ආයෙම යනවා.

.

.

ඔය අතරේ ඉන්නවා විශේෂ අයත්. වංචාවක් නෑ, බොරුවක් නැත්තෙම නෑ… ඒත් අවංකයි වගේ.  මේ ලඟදී තමා දැක්කේ. කෝච්චියට නගින්නේ කොහෙන්ද බහින්නේ කොහෙන්ද කියන්න මම දන්නේ නෑ. ඒත් ස්ටේෂන් එකක් ඇර එකකදී බැහැලා වෙන පෙට්ටියකට මාරු වෙනවා. ඒ මනුස්සයා අතේ තියෙන්නේ යමහා කී බෝඩ් එකයි, වාඩිවෙන්න ගෙනියන පෝටබල් ආසනයයි විතරයි.

ඒ මනුස්සයාගේ වදන් වලින්ම කියනවනම්….

“මහත්තයා මේක මගේ වෘත්තිය. ඒකට මං බොරු කරන්නේ නෑ. මං මේ වාදනය කරන්නේ මේ දැන් කී බෝඩ් එකෙන් එන සද්ද. මේවා ප්‍රෝග්‍රෑම් කරලා නෑ. ඕනෙ කෙනෙකුට චෙක් කරලා බලන්න පුළුවන්“

කතාවේ ඇත්ත නැත්ත දන්නේ නෑ. ඒත් මිනිහා දුක කියන්නේ නෑ. බොරු සමීකරණ නෑ… කියන්නේ සිංදු විතරයි. ඒක ඒ මනුස්සයා තමන්ගේ ජීවිතේ රැකගන්න වෘත්තිය කරගෙන. කෝච්චිය වේදිකාව කරගෙන. කාගෙවත් බලපෑමක් නැතුව. දේශපාලඥයෝ පස්සෙ නොගිහින්… පන්දම් අල්ලන්නේ නැතුවම. අනිත් විරිදු කාරයෝ, බයිලා කාරයෝ හැමෝටම වැඩිය වෙනස්.

ඔය වගේ තව එක එක චරිත ඉන්නවා ඕනේ තරම්. හැම කෙනෙක්ම එකිනෙකාට වෙනස්. එක වේදිකාවක් මත සෑහෙන විවිධත්වයක්…! – at  ඒ වගේම අවුරුදු හතලිස් පහක් විතර වෙන ගැහැණු පිරිමි සුළු පිරිසකට කෝච්චිය වෙනම වේදිකාවක්…!

30 Responses to “දුම්රිය වේදිකාව…”

  1. Miyuru Says:

    අද මාළුවා අපි අතරම ජීවත් වන මනුස්සයො ගැන අමුතුම කෝණයකින් බලලා… ඇත්ත තමයි… මේ හැමෝම දුම්රිය වේදිකාවෙ විතරක් නෙවෙයි ජීවිතය කියන වේදිකාවෙත් විවිධ චරිත රඟන නළුවො…

    ඔහොම එක එක දේවල් විකුනන්න එන අයගෙ වරුණාව මට නම් අහන් ඉන්න පුළුවන් වෙන්නෙ වෙහෙසක් නැති වෙලාවක විතරයි… මහන්සි වෙලාවට නම් ඒක එකම කංකරච්චලයක්… තරහත් යනව… පව්… ඒත් ඕනම වෙලාවක සින්දු නම් අහන් ඉන්න පුළුවන්…

  2. Praසන්ன Says:

    ‘පොඩි දරුවෝ ඉන්න ගෑණු කට්ටියගෙන් කීපදෙනෙක් හරි රුපියල් හත්දාස් නවසිය පහනක් ඉතුරු කර ගන්නවා හැම උදේකම…! ‘ නියම කතාව.
    බස්වල වෙළඳාං කරන්න දෙන්නෙ නැත්තං බස් දුවන්න දෙන්නෑ කියල අද කට්ටියක් කියල තිබුනෙ.

  3. මාඩා Says:

    ඔය කියන්නේ මචං කොරළවැල්ල හරියෙන් නගින මෑන් ගැන නේද, ආසනේ කියන්නේ බැටරි එකයි බෆල් එකයි සෙට් කරපු එකක්… මාත් තැන් දෙක තුනකදිම මිනිහා දැක්කා…

    උඹ කියන්නේ මෙයා ගැන වෙන්න ඕනේ…
    http://ra-ahasa.blogspot.com/2010/04/super-star.html

  4. රූ Says:

    වංචා හොර බොරු නොකර ජීවිතේ ගැටගහගන්න ගොඩ දෙනෙක් උත්සාහ කරන එන අගය කරන්න ඕන..

    පලි: චිත්තරේ කාගේද?

  5. Dilan Thivanka Says:

    මන් තාම කෝච්චියේ ගිහිල්ල නැතෝ ^_^

  6. henryblogwalker Says:

    කතාවේ හැඳින්වීම තමයි නියම. වේදිකාව ගැන.

  7. DDT Says:

    දුම්රිය තුළ හිඟා කෑම, වෙළඳම් කිරීම මම හිතන්නෙ නීතියෙන් තහනම්. ඒත් ඉතිං ඒකෙත් දෙපැත්තක් තියෙනව. අර පේමන්ට් වෙළෙන්දොයි පාරිභෝගිකයොයි අතර තියෙන අන්‍යෝන්‍ය සහසම්බන්ධය වගේ.
    අර විදියට පොඩි පොත් විකුණන එවුන්ගෙන් සමහර වෙලාවට ලාභයක් නැත්තෙත් නෑ. දවසක් මම මාතර එද්දි කොළඹ මාතර බස් එකකට නැග්ග මනුස්සයෙක් මොන්ටිසෝරි ළමයින්ට පාට කරන්න, කඩ ඉරි උඩ ලියන්න, කතාපොත් වගේ එක එක වැඩ තියන පොඩි පොත් 7 ක් රුපියල් සීයකට අරන් ආවා. ආර්ට් පේපර් එකේ 4 කලර් පිටකවර ඇතුල සුදු කඩදාසියේ ඩුප්ලෝ ප්‍රින්ටින්. උන් මහපරිමාණෙන් කරන නිසා ලාභ මිසක් අපිට ෆොටෝ කොපි කරලවත් ඒ ගානට ගන්න බෑ. මමත් අපේ නංගිගෙ දූට ගත්ත, බස් එකේ හිටපු හුඟක් අය ගත්තා. එහෙම දෙයක් නම් දෙපැත්තටම ලාභයි වගේ. ඒ වුනත් සමහර වංචනිකයො නිසා මිනිස්සු හැමෝම දිහා බලන්නෙ සැකෙන්. කොහොම හරි ඉතිං හැමෝම ජීවත් වෙන්න එපෑයැ.

  8. මාතලන් Says:

    හිඟකනවට වඩා ඒකනම් අවුලක් නෑ.. ස්වයං රැකියාවක් නේ…. මම කැමතිම. අර කැමතිනම් විතරක් ගන්න කියන කෑල්ලට…

  9. මධුරංග Says:

    දවසකට කෝච්චියේ කී දෙනෙක් නම් එනවද

    කඩු ගිලින මිනිස්සු
    කකුල් දෙනෙක් ගල් උස්සන මිනිස්සු
    එතනින් ගියහම සිංදු කියන මිනිස්සු.

    මොනාහරි කරලා ජීවිතේ ගැට ගහගන්න මිනිස්සු නෙව.

  10. සිතුවම් Says:

    අනේ මන්දා බන්.හැමෝටම ඕනි ජීවත්වෙන්න.ඒත් බස් වල කෝච්චි වල වෙළදාම් කරන එකට මමනම් පෞද්ගලිකව විරුද්දයි.

  11. මඩිස්සලේ නිශාන් Says:

    කෝච්චියේ නිදහසේ යන්න නැහැ වෙළෙන්දෝ හින්දා.

  12. praveena Says:

    හරියට අපේ ජීවිතේ කෝච්චියක යන ගමනක් වගේලු. ඉතින් වේදිකාව, අපි ඒ ගමනට ලෑස්ති වෙන සූදානම්පොල වෙන්ට ඇති කියලා මට හිතෙන්නේ.

    මෙයත් දැන් දාර්ශනික වෙලා. හොඳ පෝස්ටුවක් මාලුවෝ…. 😀


මඩිස්සලේ නිශාන් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: