දුම්රිය වේදිකාව…

දුම්රිය වේදිකාව...

දුම්රිය වේදිකාව…

දුම්රිය වේදිකාව කියන්නේ කෝච්චියට නගින්න එන මිනිස්සුන්ට රැඳිලා ඉන්න තියෙන තාවකාලික රැඳුම් ස්ථානය. කෝච්චිය ඇවිත් නැවැත්තුවම ඒ වේදිකාව දිගේ දුවගෙන ගිහිං තමා තමන් යන්න කැමති පෙට්ටියට නගින්න ඕනේ… ඒක එහෙම වුනාට දුම්රිය වේදිකාවක් කරගත්ත මිනිස්සු කොයිතරම් නම් ඉන්නවද, ඒ දුවගෙන ගිහිං කෝච්චියට ගොඩවෙන මිනිස්සු අතරේ…?

අතක් පයක් කැඩිලා ආබාධිත වෙච්ච මිනිස්සු, ඇස් පේන්නේ නැති වුනත් පෙට්ටියකින් පෙට්ටියකට මාරු වෙලා කෝච්චි ඇතුලේ තියෙන සීට් වල, කණු වල නොහැප්පී ගිහිං සල්ලි ඉල්ලගන්න තරමට විතරක් ඇස් පේන අය… ඒ අයට දුම්රිය කියන්නේ එයාලගේ දුක හෝ අනිත් අයගේ දුක හෝ කෝච්චියේ යන එන අයට කියලා එයාලගේ ජීවිතය ජීවත් කරවගන්න වේදිකාව. ඒක ඇත්තටම රස්සාවක්…! මාසෙට පඩියක් ලැබෙන නෙමේ, දවසට පඩියක් ලැබෙනත් නෙමේ… දුම්රියේ එකපාරක් එහාට මෙහාට ගියාම හොඳ පඩියක් ලැබෙන රස්සාවක්.

තව ඉන්නවා කට්ටියක්… එයාලා අරං එන්නේ පොඩි ළමයින්ට කියවන්න හොඳ අධ්‍යාපනික පොත්. ඒවා ගෙනැල්ලා පොඩි විස්තරයක් කරනවා මෙහෙම… මේක දැන් අහලා අහලාම කටපාඩම්…!

“බලන්න නෝනා මේ පොත…. මේකෙ තියෙනවා පරිගනකයක් හසුරුවන හැටි මුල ඉඳන්ම. ළමයින්ව ක්ලාස් යවන්න ඕනේ නෑ. ගෙදර ඉඳන් කියලා දෙන්න පුළුවන්. දැන් බලන්න… කොම්පියුටර් පන්තියකට මාස හයේ කෝස් එකකට ගාන කීයද… රුපියල් අටදාහක් කියමු. එතකොට බලන්න උගන්නන පැය ගාන. සතියට එක දවසයි… පැය දෙකයි… ඒ කියන්නේ මාසෙට පැය අටයි. මාස හයට පැය හතලිස් අටයි. ඉතිං නෝනා මේ පොත වෙන්නේ රුපියල් පනහයි… මේ පැය හතලිස් අටකින් ඉවර වෙන්නේ නෑනේ… මුළු ජීවිත කාලෙම තියාගන්න පුළුවන්. එතකොට ලාභය කීයද හිතලා බලන්න…“

අන්තිම ට්‍රික් එක වැඩ කරනවා නියමෙට. ඒ සමීකරණෙට ගහන්න වෙන සමීකරණ එකක් වත් නෑ.  පොඩි දරුවෝ ඉන්න ගෑණු කට්ටියගෙන් කීපදෙනෙක් හරි රුපියල් හත්දාස් නවසිය පහනක් ඉතුරු කර ගන්නවා හැම උදේකම…!

ම්… උදේට නැති වුනත් ගොඩක් වෙලාවට හවසට කෝච්චියට නගින්නේ වඩේ වෙළෙන්දෝ. උම්ලකඩ වඩේ කියලා තමා විකුණන්නේ. ඒත් කවදාවත් උම්බලකට රහක්වත් දැනිලා නෑ. මහ ලොකු ආයාසයකින් තොරව, හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට වඩේ කවන්න පුළුවන් කියලා දන්න නිසාම වඩේ වෙළෙන්දෝ වේදිකා ගත වෙන්නේ බොහෝ දුරට හවසට විතරයි. ඒ අතරෙම ඉන්නවා වතුර බෝතල් වෙළෙන්දෝ… සූකිරි, කඩල, රටකජු වෙළෙන්දෝ එහෙමත් තමන්ගේ ජවනිකාව කරලා ආයෙම යනවා.

.

.

ඔය අතරේ ඉන්නවා විශේෂ අයත්. වංචාවක් නෑ, බොරුවක් නැත්තෙම නෑ… ඒත් අවංකයි වගේ.  මේ ලඟදී තමා දැක්කේ. කෝච්චියට නගින්නේ කොහෙන්ද බහින්නේ කොහෙන්ද කියන්න මම දන්නේ නෑ. ඒත් ස්ටේෂන් එකක් ඇර එකකදී බැහැලා වෙන පෙට්ටියකට මාරු වෙනවා. ඒ මනුස්සයා අතේ තියෙන්නේ යමහා කී බෝඩ් එකයි, වාඩිවෙන්න ගෙනියන පෝටබල් ආසනයයි විතරයි.

ඒ මනුස්සයාගේ වදන් වලින්ම කියනවනම්….

“මහත්තයා මේක මගේ වෘත්තිය. ඒකට මං බොරු කරන්නේ නෑ. මං මේ වාදනය කරන්නේ මේ දැන් කී බෝඩ් එකෙන් එන සද්ද. මේවා ප්‍රෝග්‍රෑම් කරලා නෑ. ඕනෙ කෙනෙකුට චෙක් කරලා බලන්න පුළුවන්“

කතාවේ ඇත්ත නැත්ත දන්නේ නෑ. ඒත් මිනිහා දුක කියන්නේ නෑ. බොරු සමීකරණ නෑ… කියන්නේ සිංදු විතරයි. ඒක ඒ මනුස්සයා තමන්ගේ ජීවිතේ රැකගන්න වෘත්තිය කරගෙන. කෝච්චිය වේදිකාව කරගෙන. කාගෙවත් බලපෑමක් නැතුව. දේශපාලඥයෝ පස්සෙ නොගිහින්… පන්දම් අල්ලන්නේ නැතුවම. අනිත් විරිදු කාරයෝ, බයිලා කාරයෝ හැමෝටම වැඩිය වෙනස්.

ඔය වගේ තව එක එක චරිත ඉන්නවා ඕනේ තරම්. හැම කෙනෙක්ම එකිනෙකාට වෙනස්. එක වේදිකාවක් මත සෑහෙන විවිධත්වයක්…! – at  ඒ වගේම අවුරුදු හතලිස් පහක් විතර වෙන ගැහැණු පිරිමි සුළු පිරිසකට කෝච්චිය වෙනම වේදිකාවක්…!

%d bloggers like this: