මාලිගයක් හදන්න හිතනවද….?

ඔයාලා කවද හරි පුංචි මාලිගයක් හදන්න ප්ලෑන් කරන්න ඉන්නවද…? හ්ම්… එහෙම නම් ලොකු ප්‍රශ්නෙකට මුහුන දෙන්න වෙනවා ඔයාලට. මාත් දැනගත්තේ ගොඩක්ම මෑතකදී…!

අහසට පේන හැටි...

අහසට පේන හැටි…

ගිය පෝය දවසේ මමයි තවත් යාළුවෝ දෙන්නෙකුයි ගියා කළුතර පලාතොට පාරේ තියෙන සුන්දර මාලිගයක් බලන්න. යනකන්ම දැනං හිටියේ නෑ ඒක මාලිගයක් කියලා. ඒකෙ නම තමා රිච්මන්ඩ් කාසල්…! ගොඩක් දෙනා දන්නවා ඇති. ඉතිං මේ පෝස්ට් එකේ අධ්‍යාපනික විස්තර නෑ… තියෙන්නේ පුංචි කතාවක් විතරයි. ඒ ගැන වැඩිදුර අධ්‍යාපනික විස්තර ඕනෙ නම් මෙ‍තනින් බලන්න.

අපි ඒ මන්දිරයට ඇතුලු වෙද්දිම ඒක බලාගන්න අයගෙන් කෙනෙක් ඉස්සරහට හම්බුවෙලා කිව්වා, “ටිකක් ඉන්න විස්තර කරන්න කෙනෙක්ව එනකං” කියලා. ඒ වගේ බලෙන් විස්තර කරන්නෙක් අපිට ලැබුන පළමු වතාව. නැත්තං අපි ගිහිං එපැයි විස්තර අහන්න. ටික වෙලාවක් ඉන්න කොට අපිට තවත් කට්ටියක් සෙට් වුනා. ඉතිං වටේ පිටේ ලස්සන බල බල ඉන්දැද්දි ඔන්න එනවා මනුස්සයෙක්… “ආහ් ඔහොම ඉස්සරහට ගිහිං වමට හැරෙන්න… මං විනාඩියෙන් එන්නම්…” කියාගෙන. අපිත් ඉතිං ගියා ඉස්සරහට. ම්… මරු ප්ලේස් එක. ඉස්සරහ ලොකු මිදුලක්…! පුංචි එවුන් රොත්තක් සෙල්ලම් කරනවා.

ඊට පස්සේ ඔන්න එනවා… අපේ විස්තර කරන්නා. මහත්තයලා දන්නවද කියලා අහලා පටන් ගත්ත විස්තරේ අන්තිමේ ඉවර වුනේ කොහෙවත් තියෙන මඩුවන්වෙල වලව්වෙන්…! හිතාගන්න අමාරුයි ඒ මනුස්සයාගේ ගිරා කට ගැන. චුට්ටක් කියන්නම්…. හැබැයි කියවද්දි ස්පීඩ් කියවන්න ඕනේ…

“මහත්තයා මේ මාලිගාව අවුරුදු 105ක් පරණයි. දොරවල් 99යි… උළුවහු 99යි… හැම එකකම තියෙන්නේ ජර්මනියෙන් ගෙනාපු සරනේරු. නිකං මේ දොරක් ඇරලා වහලා බලන්න මහත්තයා පොඩි සද්දයක්වත් එනවද කියලා… නෑනේ… මේකට මං දන්න කාලෙක ඉඳන් තෙල් බිංදුවක්වත් දාලා නෑ…”

ඒක ඇත්ත පුංචි සද්දයක්වත් නැගෙන්නේ නෑ දොරවල් වලින්. ඊට පස්සේ මුදලිතුමාට නාට්‍ය රසය ලබාදුන් වේදිකාවට එකක්ගෙන ගිහිං…

“මහත්තයා මේ වේදිකාව තනිකරම හදලා තියෙන්නේ තේක්ක වලින්. මේ හැම කණුවක්ම එක තේක්ක ගහක්. මේ මාලිගය හදන්න තේක්ක නැවු දෙකක් ගෙන්නලා තියෙනවා.”

ඉස්සරහින්...

පැත්තෙන්…

ඊට පස්සේ ඔහොම ගිහිං ගිහිං මනුස්සයා ට්‍රැක් එක මාරු කරා. මගේ යාළුවගෙන් ඇහුවා “මහත්තයා කොහෙද” කියලා… මූත් ඉතින් අර ඇවිල්ලා හිටිය කෙල්ලෝ ගොඩටම ඇහෙන්න අවිස්සාවේල්ලේ කියලා බෝල්ඩ් කරලා ලොකු අකුරෙන් කිව්වා…! අපෙන් අහන්නේ නෑනේ කොහෙද කියලා ඔය වගේ වෙලාවකදී…

“ආහ්… ඒ පැත්තේ නේද මඩුවන්වෙල වලව්ව තියෙන්නේ… ගිහිං නැද්ද…. ඒකෙ මහත්තයා මැද මිදුල් විසි එකක් තියෙනවා.” කියලා හෙන විස්තර වගයක් කිව්වා. මතක නෑ අප්පා ඒ ටික නම්. ඊට පස්සේ ඔන්න අපිව එක්කන් ගියා උඩුමහලකට. සඳලුතලයක් වගේ…!

“මහත්තයා මෙතෙන බොහොම වැදගත් ස්ථානයක්. ලෝකෙටම තියෙන්නේ මෙහෙම තැන් එකයි. මෙතෙනට තමා මහත්තයා ගඟක ආරම්භයයි අවසානයයි දෙකම පෙනෙන එකම තැන. අද නම් පේන්නේ නෑ… මීදුම අඩුදාට සිරීපාදේ පේනවා… ඒ කියන්නේ කළු ග‍‍‍‍ඟේ ආරම්භය… අර අනිත් පැත්තෙන් පේන්නේ අවසානය. ඊට පස්සේ මහත්තයා… මේක මඩුවන්වෙල වලව්ව වගේ වලව්වක් නෙවෙයි… මේක මාලිගාවක්…”

“මාලිගාවක් කියලා වෙන් කරන්න තියෙන ක්‍රම තමා මහත්තයා, මේකෙ වහල එක අඟලක්වත් බිත්තිවලින් එලියට පන්නලා නෑ. ඒ වගේම මැද මිදුල් තියෙන්නේ එකයි… ඒ වගේම තමා මහත්තයා මේකෙ කුස්සියක් නෑ… මෙ පහල තියෙන පොළොවට අල්ලා තියෙන්නේ මහත්තයා තනිකරම පිටරටවලින් ගෙන්නපු පිඟන් ගඩොල්. ඒවා මෙහේ හොයන්නවත් නෑ…”

ආදී වශයෙන් කියාගෙන කියාගෙන ගිහිං කාමර ගොඩකට එක්කන් ගිහිං තව විස්තර සෑහෙන ප්‍රමාණයක් ලබා දුන්නා. ගොඩක් දේවල් පෙන්නුවා. ඊට පස්සේ ඉතිං වත්තපිටියේ ඇවිදලා ටික වෙලාවකින් අපි එන්න පිටත් වෙලා පයින්ම එනකොට… එක යාළුවෙක් කතා නෑ… විනාඩි විස්සක් විතර මූ මොනාදෝ මන්දා කල්පනා කරනවා. සමහරවිට අර මනුස්සයා කිව්ව විස්තර ගැන මෙනෙහි කරනවා ඇති කියලා කටපියං හිටියා ඉතිං.

පස්සේ බැරිම තැන… මොකද *%@($% කියලා ඇහුවම…

නෑ බං මං හිතන් හිටියේ පුංචි මාලිගාවක් හදන්න. දැන් මාලිගාවක් හදන්නේ නෑ බං වලව්වක් හදනවා…

ඈහ් ඒ මොකෝ…

නෑ බං මාලිගාවක් හැදුවොත් කන්න වෙන්නේ කඩෙන්නේ… –at බලන්න මූ හිතලා තියෙන දුර…

නිවාඩු වෙලාවක ගිහිංම බලන්න. තව ගොඩක් දේවල් කිව්වා. ඒවා මං මෙහෙම ජොලියට කියනවට වැඩිය ගිහිංම අහගන්න එක තමා වටින්නේ…

ටියුබ් ලයිට් සඳහා – මාලිගයක කුස්සියක් නොමැති බැවිනි.

%d bloggers like this: