පරිවර්තනය…

මෙන්න මේ වගේ...

මෙන්න මේ වගේ…

මිනිස්සුන්ගේ හිත් ඇතුලේ එක එක විදියේ සිතුවිලි උපදිනවා. ඒවා සමහරක් විනාශකාරී වෙනවා. තවත් සමහරක් ඒවා කාටවත් කරදරයක් නැති ලස්සන ඒවා. ඉතිං ඔය ඇතිවෙන ලස්සන සිතුවිලි ක්‍රියාවට නැංවුවම ඒ සිතුවිලි වල අයිතිකාරයට විතරක් නෙමෙයි ඕනේ කෙනෙකුට දැකලා සතුටු වෙන්න පුළුවන්. පොරටෝක් එක අවසානයි..!

ඉස්සර මට තිබුනා පුංචි මාළු දාපු වීදුරු බෝල් එකක්. සිංහලෙන් කියන්නේ මොක්ද්ද මන්දා. ඒක ගත්තේ රුපියල් දෙදාහකට කිට්ටු ගානකට… හ්ම්… ඉතිං ඒ දවස් වල ඔෆිස් ගිහිං ගෙදර ආපු වෙලාවේ ඉඳන් මාළු ගැනම තමා කල්පනාව. නෙට් එකේ හොයලා එක එක ගැජට් ගෙනැල්ලා බෝල් එකට බස්සනවා. ඔය ඔක්කොම බැස්සුවම මාළුන්ට ඉඩත් නෑ. ඉතිං පස්සේ දවසක බෝල් එක අස් කරන ගමන් ඔය ඔක්කොම මෙව්වා අයින් කරලා හෝදලා වේලපු මුහුදු වැලියි සිප්පි කටු වගේකුයි විතරක් දැම්මා තැඹිලි පාට මොලී කීප දෙනෙක් එක්ක. ගෝල්ඩ් ෆිෂ්ලාට ආස වුනාට වුන්ව ඇති කරන්න බෑ අප්පා බෝල් වල. අපරාදේ කියන්න බෑ  කොයි වෙලාවේ කෑම දැම්මත් කනවා. ඊට පස්සේ දවස් දෙක තුනකින් බෝල් එක අස්කරලා අළුතෙන් වතුර පුරවන්න ඕනේ. හැම එකාම ඇවිත් “ආව් ෂෝයි මාළු ටැංකිය“ කියලා කිය කිය ගියාට එකෙක් නෑ ඕක අස්කරන්න උදවු වෙන්නේ. ඉතිං ඔහොම ගිහිං ගිහිං මාළු හැදිල්ල තිත තියන්න වුනා. කරන්න දෙයක් නැති පාර මාළු ටික ගෙවල් ලඟ පොඩි එකෙකුට දීලා බෝල් එක හොඳට හෝදලා මූනින් අතට නවලා තිබ්බ මේසේ උඩින්.

ආයෙ කවද හරි මාළු ඇතිකරන්න ආසාවක් තියෙන නිසා බෝල් එක එහෙම තිබ්බට, මාළු ප්‍රශ්නේ සුළුපටු නෑ. උන්ට කෑම දෙන්න ඕනේ. ඔක්සිජන් දෙන්න ඕනේ. වෙලාවට ටැංකිය අස්කරන්න ඕනේ. නැත්තං මාළු ටික ඉවරයි…! ලොකුම කාරනේ මාළු ටැංකිය තියලා ගෙදර අයත් එක්ක දවස් දෙක තුනක ගමනක් යන්න බෑ… ගිහිං එද්දි මාළු ටික උඩ පාවෙනවා. ඉතිං දුකින් වුනත් බෝල් එක තියාගෙන මාළු ටික දෙන්නම වුනා.

මේ වගේ හදාගන්න තමා දැඟලුවේ.... :(

මේ වගේ හදාගන්න තමා දැඟලුවේ…. 😦

ඊට පස්සේ ඔය බෝල් එක මාස හය හතක් දූවිලි වැදි වැදි තිබුනා මේසේ උඩ. දැන් මේසේ අස් නොකෙරෙන හින්දා බෝල් එක කියන්නේ මේසේ උඩ තියෙන ඉඩ ස්වල්පයක් අත්පත් කරගත් අනවශ්‍ය භාන්ඩයක්. එහෙමයි කියලා ඉතිං විසි කරන්නත් බෑ… කාටවත් දෙන්නත් බෑ… ලෝභ හිතනේ…! ඒක නිසා ඉතිං බෝල් එකට කරන්න දෙයක් හිත්නන වුනා.

ඒක හිතන්න අරගෙනත් මාස ගානක් ගියා. ඊට පස්සේ තමා චූටි මල් පැලයක් ඉන්දන්න හිතුනේ බෝල් එකේ. අපේ අම්මා රුපියල් 80ට මල් පෝච්චි අරං මල් පැල හිටවද්දි මං රුපියල් එද්දාස් ගානකට ගත්තු බෝල් එකේ මල් පැලයක් හිටවනවා කියන්නේ…! හ්ම්… කමක් නෑ… සමහර විට ලොකු කම පෙන්නන්න හොඳ අවස්ථාවක්…! වෙන හිතන්නම දෙයක් නැති තැන එහෙමවත් කියලා හිත හදාගන්න.

ඉතිං අමාරුවෙන් චූටි කැන්ඩියන් ඩාන්ස් පැලයක් හොයාගත්තා. ඒක ලස්සනයි මල් හැදුනම. පොල් ලෙලි කෑල්ලක හරි පොඩි කොට කෑල්ලක හරි වවලා බෝල් එක ඇතුලට දැම්මට හරි ලස්සනයි…! එහෙම තමා මුලින් හිතුවේ. කෙහෙම්මල…. මාස දෙකක් විතර ගියා එක මලක් නෑ ගහේ…! නිකංම නිකං කොල ටික විතරයි. හ්ම්… තව ඉවසන්න බෑ… ඒ පැලේ පොල් ලෙල්ල පිටින්ම ගලෝලා දුන්න අම්මට… “ඕං කොහේ හරි කණුවකට තියලා බඳින්න“ කියලා. ඊට පස්සේ ගෙනාව වතුසුද්ද එකේ චූටි සයිස් එක. කොලත් පුංචියි… මලුත් පුංචියි… ගහත් පුංචියි. ඒක ගෙනාවේ මල් තියෙද්දිම. නැත්තං ඉතිං ඒකෙත් මල් හැදුනේ නැත්තං ඒකත් පුජාකරන්න වෙනවානේ.

ම්....!

ම්….!

ගෙනාපු දවසේ තිබුන මල් ටික පිපිලා වැටුනා. ඔන්න දවස් තුනකට පස්සේ අද චූටි සුදු පාට මල් තුනක් පිපිලා. දැන් ඒක අම්මට දෙන්න ඕනේ නෑ…! ඒක තිබ්බා කාමරේ ජනේලේ අයිනේ. ඒකත් නරකම නෑ… කැන්ඩියන් ඩාන්ස් තරම් ලස්සන නූනට… උදේ පාන්දර පිපීගෙන එන මලක් දකිද්දි මොකද්දෝ එකක් දැනෙනවා. හැබැයි මං ඒකේ ෆොටෝ ගත්තෙනම් නෑ… ඔහේ තිබුනාවේ තව මාස දෙකක් විතර…! ඊට පස්සෙ ගන්න බැරියැ…

ඒක තමා ඉතිං පරිවර්තනේ… මාළු ටැංකියක් මල් පෝච්චියකට… නරකම නෑ වැඩේ… උදේට වතුර ටිකක් දාන එක විතරයි….!!! හැබැයි දැන් නම් මට ඕනේ මුළු ගේම කැලයක් කරන්න… –at ඊට පස්සේ මම ටාසන් වෙනවා… 😀

%d bloggers like this: